ලංකාව යටත් කරගත් පල්ලවයෝ


ඉතිහාසය

 

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

දුර්වල ජන පිරිසක් බවට පත්වූ පල්ලවයෝ දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා පෙදෙසට සංක්‍රමණය වූහ. මේ වන විට ආන්ද්‍රාව උතුරින් ආර්යන් විසින් එළවා දමන ලද අසුරයින් පදිංචිව සිටි පෙදෙසක් විය. ඔවුන් මෙම පල්ලවයන්ගේ පැරණි මිතුරන් පිරිසක් විය. ආන්ද්‍රාවේ සිටි අසුරයන් ද, එම රටෙහි සිටි කුරුම්බ මාරව, කල්ලා සහ තවත් එවැනිම මං පහරන මංකොල්ලකාරී ගෝත්‍රිකයින් ද එක්රැස් කරගෙන ශක්තිමත් කොල්ලකාරි ජනතාවක් බවට මොවුන් පත්වූහ.  


දකුණු ඉන්දියාවේ වෙරළබඩ පෙදෙස් ද ආධිපත්‍ය තහවුරු කරගත් මොවුන් ක්‍රි.ව. 325 පමණ වන විට ආන්ද්‍රා දේශය පල්ලව දේශය බවට පත්විය. මෙසේ දකුණු ඉන්දියාව පුරා පැතිරී බලවත් වූ පල්ලවයෝ ක්‍රමයෙන් ඉන්දියානු ජන වර්ගයක් බවට පත්විය.  
රාවණ ප්‍රමුඛ රාක්ෂයො (අසුරයෝ) ආන්ද්‍රා දේශයට පැමිණියේ ඔවුන්ගේ තෙලිඟු භාෂාව ද සමඟිනි. පල්ලවයන් එරටට පැමිණියේ ඔවුන්ගේ පෙන්ලවි (පාලි) භාෂාව ද සමඟිනි. මුලදී තෙලිඟු බස පල්ලවයන් විසින් ද භාවිත කළ නමුත් ලියකියවිලි සඳහා යොද‌ා ගන්නා ලද්දේ සංස්කෘතයයි. පෙන්ලවි හෙවත් පාලි භාෂාව ප්‍රාකෘතයෙන් බිඳුනකි. ප්‍රාකෘතය යනු සිංහලයාගේ ආදි භාෂාවයි. පල්ලව භික්ෂූන් විසින් බෞද්ධ සහ ජෛන පොත පත ලියන ලද්දේ මෙම පෙන්ලවි හෙවත් පාලි භාෂාවෙනි.  
ලංකාවේ මහසෙන් රජුගේ කාලයේ දී (ක්‍රි.ව 276-303) අභයගිරි වාසී මහා බුද්ධරක්ෂිත නම් වූ සිංහල තෙරණුවෝ පංජාබ් රටට යවන ලද්දේ එහි සිටි ග්‍රීක් භාෂාව හා සංස්කෘතිය දැනසිටි ජාතීන් අතර බුදු දහම පැතිරවීම සඳහාය. විසිපස් වැනි වියේ පසු වූ උන්වහන්සේ එහිදී ග්‍රීක් භාෂාවට අමතරව පාර්සියන්, ලතින්, පෙන්ලවි, සොග්ඩියන් වැනි ජනතාව ප්‍රායෝගිකව ව්‍යවහාර කරන භාෂාවන් පිළිබඳව හසළ දැනුමක් ලබාගති. උන්වහන්සේ එහි ගත කළ කාලය වසර පහළොවකි.  
පල්ලව භික්ෂූන් වහන්සේලා බුදුදහම ග්‍රන්ථකරණය සඳහා ​යොද‌ාගත් පෙන්ලවි භාෂාව පාලි ලෙස පසු කාලයේදී හඳුන්වන ලදී.  
‘ටීකාවලින් වෙනස්වන පැහැදිලිව වෙන්කොට හඳුනාගෙන ඇති ධර්ම සංග්‍රහයන් පාලි වශයෙන් පස්වන ශත වර්ෂයේ දී හඳුන්වන ලදී’  


(පාකිස්ථානයේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉෂාන් එච්. නදීම් බෞද්ධ ගන්ධාරය: පි 21)  


දකුණු ඉන්දියාවේ සිටි පල්ලව භික්ෂූන් වහන්සේලා මගධයේ බෞද්ධ පොත්පත් මාගයි භාෂාවෙන් පාලි භාෂාවටත් තෙලිඟු භාෂාවටත් පරිවර්තනය කළහ. එමනිසා මෙම භික්ෂූන් පාලිවරු ලෙසට හඳුන්වන ලදහ. ක්‍රි.ව. 1934 දී ලියන ලද ‘ශ්‍රී ලංකාද්වීප වර්ණනා’ නම් වූ පැරණි ග්‍රන්ථයක මෙසේ සඳහන් කර ඇත.  
මාගධිය මුල භාෂාවකි. පාලි දෙමළ පාලිවරුන්ගේ භාෂාවකි. සොලීහු මගධ දේශය අවුරුදු දාහකට පෙර අල්ලා ගත්තායින් පසු පාලිවරුන් බුදු බණ ලියූ පොත්පත් බොහොමයක් දකුණු දඹදිව කාංචි පුරයේ දී කාවේරි පට්ඨන නම් නගරයේ දී තෙලිඟු භාෂාවට සහ ආන්ද්‍රා භාෂාවට පරිවර්තනය කළ කල්හි මාගධි භාෂාවට පාලි කියා ව්‍යවහාර වූයේය.  
මේ වචනය ගැන දැනට යුරෝපාකාරයන් සහ බොහෝ බෞද්ධයන් ද පාලියෙන් බුදුහාමුදුරුවන් වහන්සේ ධර්මය දේශනා කළාය කියා වැරදි මතයක් ප්‍රබන්ධ කරගෙන තිබේ.  


(රාජ වෛද්‍ය ඩී.එම්. උභයසේකර ශ්‍රී ලංකාද්වීප වර්ණනා බු.ව 2477 පි - 20)  


ක්‍රි.ව. 640 දී හියුංසදං නම් චීන භික්ෂුන් වහන්සේ පල්ලව දේශයට පැමිණෙන විට එය ‘ද්‍රවිඩ දේශය’ ලෙස හඳුන්වන ලද බව උන්වහන්සේ සඳහන් කරයි. මෙහි බෞද්ධ විහාරාරාමාදිය දහසකට වඩා තිබුණු බවත් ඒවායේ භික්ෂූන් දසදහසක් පමණ සිටි බවත් පවසන උන්වහන්සේ එම භික්ෂූන් සියලු දෙනාම පාහේ මහායානික ස්ථවිරවාදයට අයත් වූවන් බවත් උන්වහන්සේ සඳහන් කරති.  
වින්ධ්‍යා කඳු වැටියේ පොඩියුර් කන්දෙහි පුලස්ති සෘෂිවරයා ශිව ආශ්‍රමයක් පිහිටුවාගෙන ආගමික මෙහෙවරෙහි යෙදුනේය. තපස් රැකීම රාක්ෂයින්ගේ කුල ධර්මයකි. අගස්ති හෙවත් පුලස්ති අන්දනර් නම් තාපසයාගේ පුත්‍රයාය. දෙමළ භාෂාවේ නිර්මාතෘවරයා පුලස්ති වේ. පුලස්තිගේ පුතා විජවාත් විය. විජවාත් ලංකාවට පැමිණ කුවේණිය විවාහ කරගනී. ලංකාවේ දී ඔහු හඳුන්වන ලද්දේ විජය යන නමිනි. විජබාන්ගේ පුතා රාවණා විය.   
මෙම රාවණාගේ පිරිස් ලංකාව ආක්‍රමණය කරන ලද අතර ඔහුගේ හමුද‌ා පරාජය කළ අතර සිංහලයින් විසින් ලංකාව එක්සේසත් කරන ලදී. මෙම රාවණා පරදවන ලද්දේ මලය දේශයේදීය. දහවන ශත වර්ෂය වන විට සොලී දේශය බලවත් රටක් බවට පත්විය. මෙම සොලීන් විසින් පල්ලව දේශය යටත් කරගත් පසු පල්ලවයින් ද්‍රවිඩයින් බවට පත්විය. ද්‍රවිඩ භාෂාවට හුරු වූ පල්ලවයින් වඩුග හෙවත් වඩක්කරයින් ලෙස හඳුන්වන ලදහ.  
ක්‍රි.ව. 640 දී චෝල දේශයට පැමිණි හියුංසෑං හිමියන් එම රට පිළිබඳව කරන ලද සඳහන මෙසේය.  


ඒ වනාහී ජන ශුන්‍ය වනගත දේශයකි. මඩ වගුරුවලින් සහ කැලෑවලින් ගහණ වෙයි. ජනගහණය ඉතා ස්වල්පය. මංපහරන සොරමුල් රට සෑම තන්හි ප්‍රසිද්ධියේම ඔබ මොබ හැසිරෙති. දේශගුණය ඌෂ්ණය. මිනිසුන්ගේ ගති පැවතුම් අශිෂ්ටය නපුරුය. ස්වභාවයෙන්ම මිනිසුන්ගේ ක්‍රියාකලාපය භයජනක වෙයි. ඔවුහු මිසදිටු ආගම් අදහන්නෝ වෙනි. සංඝාරාමයෝ සහ සංඝයා නිස්ඨප්‍රාප්තද, අපවිත්‍රද වෙති. බොහෝ (හින්දු) දේවාලයෝ වෙත් නිර්ග්‍රන්ථ දෘෂ්ඨකයෝද (ජෛනයෝ) බොහෝ වෙත්. චෝල රජවරු ශෛව නිකායට අයත් වූහ’’


(රෝලිසෙන් - භාරතීය සංස්කෘතික ඉතිහාසය ‘‘දෙමළු පල්ලවයෝ සහ ලංකාව’’)  


හයවැනි ශත වර්ෂය අග භාගයේ දී සිංහ විෂ්ණු නම් පල්ලව රජු චෝල අධිරාජයා ද යටත් කර ගත්තේය. ඔහු ලංකාව ද යටත් කරගත් බව ඔහුගේ​ සෙල්ලිපිවල සඳහන් කර තිබුණ ද මහාවංසයෙහි ඒ බව සඳහන් නොවේ. මෙසේ වුවද ලංකාවේ දෙවැනි අග්‍රබෝධි (ක්‍රි.ව. 604-614) දෙටතිස් (ක්‍රි.ව. 628) ද‌ාඨෝපතිස්ස (ක්‍රි.ව. 639 - 650) සහ මානවම්ම (ක්‍රි.ව. 684-718) වැනි රජවරු සිය රාජ්‍ය බලයන් ලබාගැනීම සඳහා මෙම පල්ලවයන් කුලී හමුද‌ා ලෙස ගෙන්වා ගත්හ.


දසවැනි ශත වර්ෂයේ දී දකුණු ඉන්දියාවේ සොලී බලය ප්‍රබලවත්ම ඔවුන්ගේ හමුද‌ා මෙරට අගනුවර ආක්‍රමණය කළේය. පොළොන්නරුව අල්ලාගත් ඔවුන් මහා විජේබාහුගේ නැගණිය ඔවුන්ගේ අත්අඩංගුවට පත්විය. සොළියෙකු වූ ජයබාහු විසින් මින්නා කුමරිය විවාහ කරගත් මෙම ආක්‍රමණිකයින් සොලීන් පමණක් නොව පාණ්ඩ්‍ය, කේරළ මෙන්ම වැඩි වශයෙන් පල්ලවයන්ගෙන් සමන්විත විය. මෙම ආක්‍රමණිකයින්ගෙන් සමහරු සිංහල කාන්තාවන් විවාහ කර ගනිමින් සිංහල සමාජයට සම්මිශ්‍රණය විය. එසේම සිංහල පාලකයින් දුර්වලවත්ම රාජ්‍යය පැහැර ගැනීමට ද උත්සුක වූහ.  
ආක්‍රමණික සොළියෙකු වූ ජයබාහු මහා විජේබාහුගේ නැගණිය වූ මින්නා කුමරිය විවාහ කරගැනීමෙන් ඔවුන් දෙපොළට ලැබූ පුත්‍රයා පාණ්ඩ්‍යනාර් වීරපෙරුමාල් විය. ඔහු රාජ්‍යත්වයට පත්වූයේ මානාභරණ යන නමිනි. මානාභරණ විවාහ වූයේ සොලී දේශයේ පළමුවන කුලෝන්තුංග රජුගේ කණිටු දියණිය සමගය. ඇය බුන්දවල්ලියාර්වාර් විය. එම දෙපොළගේ පුත්‍රයා මහා පරාක්‍රමබහු විය. මහා පරාක්‍රමබාහු විවාහ වූයේ පාණ්ඩ්‍ය වංශික ජයරාම් ලීලාවතී සමගය. මහා පරාක්‍රමබාහු යුගයේ දී පල්ලව, පරාර, මුක්කර මෙන්ම කේරළ එනම් මලයාලයන්ද දස දහස් ගණනින් මෙරටට සංක්‍රමණය වූහ. සිංහල ජනයා විශේෂයෙන්ම රෝහණවාසීන් විශාල ලෙස ඝාතනයට ලක්විය.  
කෝට්ටේ යුගයේ ලම්භකර්ණ වංශික හයවැනි පැරකුම්බාවන්ගේ කාලයේ දී පල්ලවයින් ප්‍රමුඛ ද්‍රවිඩ හමුද‌ා රජුගේ බලවත් පිරිසක් බවට පත්විය. රජ මාළිගයේ සේවය කළ පණික්කර්ගේ පුතා සෙබ්බගබ්බ පෙරුමාල් විය. පල්ලවයින් වූ ඔවුන් පෘතුගීසි ලේඛකයින් විසින් සඳහන් කර ඇත්තේ සම්භහප්පෙරුමාල්වරු ලෙසටය. මෙම සෙබ්බගම්බ පෙරුමාල් කෝට්ටේ රාජ්‍යයට පත්වූයේ හයවැනි බුවනෙකබාහු යන නමිනි.  


පණික්කර්ගේ මලයා වූද සෙබ්බගබ්බ පෙරුමාල්ගේ බාප්පාවූද අරුප්පුඩි තින්නාඩු මුඩිත්ත පෙරුමාල්ගේ පුත්‍රයා කෝට්ටේ රාජ්‍යත්වයට පත්වූයේ අටවන වීරපරාක්‍රමබාහු යන නමිනි. ඔහුගේ පුතා ධර්ම පරාක්‍රමබාහු විය. බලගතු පෘතුගීසින් සමඟ එකතු වූ මොවුන් සිංහල බලවේගය විනාශ කර දමා කෝට්ටේ රාජ්‍යත්වය තහවුරු කරගති. පෘතුගීසි අධ්‍යාපනය මෙන්ම කිතුදහම වැළඳගත් කොණප්පු බණ්ඩාර විවාහ වූයේ පල්ලවයෙකු වූ වීදිය බණ්ඩාරගේ මලයා වූ තම්මිට බණ්ඩාරගේ දියණිය සමඟය.  
කොණප්පු බණ්ඩාර පළමුවැනි විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යයට පත්වූ පසු විවාහ වූයේ පල්ලව පරපුරේ දෝන කැතරිනා සමඟය. උඩරට සෙනරත් රජු සිය පුතුන් දෙදෙනාට විවාහ කර දෙන ලද්දේ නායක්වරයෙකුගේ ලේලියන් දෙදෙනෙකි. මෙම වටපිටාව උඩරට පල්ලව බලය දියුණු තියුණු වීමට හේතුවිය.  
ලන්දේසි යුගයේ දී ඔවුන්ගේ නම්වලින් උඩරටට මෙන්ම යාපනයටද දකුණු ඉන්දීය විවිධ ජන කොටස් වහලුන් ලෙස මෙරටට ගෙන ආවෝය. තොරමැන්ඩල් වෙරළ ලන්දේසීන් සතුව තිබූ නිසා එම කාර්ය කිරීම ලන්දේසීන්ට පහසු විය. ලන්දේසීන් විසින් මබර් යනුවෙන් හඳුන්වන ලද මෙම වෙරළ තීරුව මලබාර්වෙරළ ලෙස ව්‍යවහාරයට පත්විය මෙම වෙරළින් මෙරටට ගෙන ආ දකුණු ඉන්දීය පිරිස් මේ නිසා මලබාර්වරු ලෙසට හඳුන්වන ලදහ. (ඇමුණුම 01) බලන්න. 
පෘතුගීසීන් විසින් මෙරටට පැමිණි දකුණු ඉන්දියානු විවිධ ජන කොටස් පිළිබඳව විස්තර සඳහන් කර අැත. ඔවුන් විසින් පල්ලවයින් පිළිබඳව විස්තර කර ඇත්තේ මෙසේය.  
‘පල්ලරු කුලය ඉන්දියාවේ අදටත් පවතින ඉතාම පහත් කුලයකි. මොවුන් පරයින්ට (පරවර) වඩා මඳක් ඉහළය.  


පල්ලාරු මිනිසුන් ගල්ගුහාවල සහ කැලයේ ජීවත් වූ බව වැලන්ටයින් පවසයි. ලංකාවේ කුල පිළිබඳ සේරම් මහමුදලි කරන විස්තරයේ පල්ලාරුන් පිළිබඳ සඳහන් කරන්නේ ඔවුන් වශී ගුරුකම් මෙන්ම සොරකම් කිරීමේ ද දක්ෂයන් වූ අතර ඕනෑම මෙහෙවරක් කිරීමට සැදී පැහැදී සිටින පිරිසක් මෙන් හඳුන්වා දී ඇත.  
පල්ලයින් වශයෙන් හඳුන්වන ජන කොටසක් වේ. මේ අය සමාජයෙන් කොන් කරන ලද ශාපලත් කොටසක් ලෙස සලකනු ලැබේ. මේ අය ජීවත් වන්නේ වංශවතුනට යාමට නොහැකි වගුරු කුඹුරු බිම්වලය. ඉතා කුඩා පැල්පත්වල වාසය කරන මේ අය එම කුඹුරු වපුරති. ඔවුන් සී සෑම සඳහා මීගවයින් මෙන්ම එළ ගවයින් ද උපයෝගී කරගනී. වංශවතුනට මුහුණට මුහුණ දී කතා කිරීමට ඔවුනට වරම් නැත. ඉතා උස් හඩින් කතා කළවිට ඇසෙන මානයේ බොහෝ දුරින් සිට කීමට ඇති දේ කිව යුතුය. මහ මඟ යන විට ද ඔවුන් මහ හඬින් කෑ ගසමින් යන්නේ ඉදිරියෙන් එන වංශවතුනට ඔවුන්ගේ හඬ ඇසී තමන් මාර්ගයේ එන බව දැන් වූ විට මාර්ගයෙන් ඉවතට ගොස් සැඟවී සිටීමට හැකිවන පරිදිය.  


මෙම මිනිසුන් වශී බන්ධනය කිරීමේ අති දක්ෂ අය වන අතර සොරකම් කිරීම් පිළිබඳව ද නම් දරා සිටියහ. එමෙන්ම අධම විලිලැජ්ජා නැති මිනිසුන් කොටසක් හැටියට ද ප්‍රසිද්ධව සිටියහ. ක්වේරෝස් මේ අය පිළිබඳව පවසන්නේ මෙසේය.  
මේ වකවානුවේ ට්‍රිබපුලේ (වීදිය බණ්ඩාර) ආධාර පතා තම ගම්මානය වූ ගුයිලගම (ගල්ගමුව) නම් ප්‍රදේශයට ගියේය. මේ ගමේ සිටියේ පල්ල කුලය නමින් හැඳින්වෙන ඉතා පහත් කුලයක මිනිසුන්ය. එහෙත් මේ අය යන්ත්‍ර මන්ත්‍ර වශී ගුරුකම් පිළිබඳ මහත් දක්ෂතාවක් දැක්වූ අයයි.  


මෙම පිරිසේ නායකයින්ට බොහෝ වස්තුව ද සම්මාන ද වරප්‍රසාද ද පොරොන්දු වෙමින් ඔවුන් තමනට ආධාර කිරීමට පොළඹවා ගැනීමට ඔවුන් සමත් විය. කඳුකරයේ කඳු බෑවුම්වල ගුහා හාරා ඒ තුළ තිරිසන් සතුන් මෙන් ජීවත් වීමට පුරුදු වී සිටි මේ මිනිසුන් දෝනා හෑරීම පිළිබඳව සහජ දක්ෂතාවක් දැක්වූ පිරිසක් වූහ.   
කුරුණෑගල දිස්ත්‍රික්කයේ බමුණැස්ස සහ කිංකිනියාව යන ගම්වල පල්ලාරු මිනිසුන් පවුල් 30ක් පමණ ජීවත් වේ. ඉටන්වන්ත සහ වැලිගම්පත්තුවේ ද තවත් අය ජීවත් වේ. මේ අය පදු කුලයට (ද. ඉන්දියාවේ පරවර) අයත් මිනිසුන්ට ද වඩා පහත් ලෙස සලකනු ලැබුව ද ඔවුන් පවසන්නේ තමන් දෙපිරිසම එකම කුලයකට අයත් අය බවය.  
මේ අය සමහර විට මේ අයට කර්මාන්තයෝ කියා ද, කුල හේවායෝ කියා ද හඳුන්වනු ලබයි. සමහර අය පවසන්නේ මේ මිනිසුන්ගේ සිරුරෙන් නිකුත්වන අමුතු දුර්ගන්ධය නිසා රොඩී මිනිසුන් පවා මොවුන් හෙළා දකින බවයි. මේ නිසා බාබෝසාගේ කතාවක් සිහිපත් වේ. මොල්ලිගොඩ සිට බොල්ගොඩට කපා ඇති ඇළේ කොටසක් අද පවා හඳුන්වනු ලබන්නේ ‘පල්ලරූන් කැපූ ඇළ’’ හැටියටය. (පෝල් ඊ. පීරිස්, ලංකාව පෘතුගීසි යුගය, සිං/ස අභය හේවාවසම් පිටු - 236 සහ 237)  


පහළොස්වන සහ දහසය වැනි ශත වර්ෂවල සිදු වූ මෙම ආක්‍රමණයන්ට අත්තිවාරම දැමුවෝ පල්ලව භික්ෂූන්ය. ඒ හතරවන හෝ පස්වැනි ශත වර්ෂවලදීය. සිංහල බෞද්ධයා පුවත්පතක ඒ පිළිබඳ පුළුල් විස්තරයක් ඇතුළත් විය.  


“ලංකාවේ සිංහල භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කර තිබූ බුදු දහම සිංහල භාෂාවෙන් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ ද්‍රවිඩ දේශය හෙවත් පල්ලව දේශයෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් විසිනි. බුද්ධඝෝෂ, බුද්ධදත්ත හා ධර්මපාල ප්‍රමුඛ ද්‍රවිඩ භික්ෂූන් වහන්සේලා පහළොස් නමක් කුමන්ත්‍රණකාරී ලෙස පත් කරන ලදුව අනුරාධපුර මහා විහාරයට පැමිණ එය සිදු කරන ලද්දේ මගධ දේශයට නැවත බුදු දහම හඳුන්වාදීමේ පරමාර්ථයෙන් යැයි හැඟවීමෙනි.   
සිංහලයෙන් ලියැවී තිබුණු ත්‍රිපිටකය පාලි භාෂාවට හැරවීමෙන් පසු සිංහල පොත්පත් මහා විහාරය ඉදිරිපිට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලද බව සඳහන් වෙයි. එසේ විනාශ කරන ලද සිංහල පොත්පත්වල ප්‍රමාණය ඇතුන් හත් දෙනෙකුගේ උසට සමාන විය”  


(සිංහල බෞද්ධයා - පියසිරි එම්. හෙට්ටි​ගේ Stop the Alieuation of non-pali speaking followers from the Dhamma)   


බුද්ධඝෝෂ හිමියන් විසින් ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය.   


‘‘ධර්ම භාණ්ඩාගාරික සැරියුත් මහ රහතන් වහන්සේ සහ උන්වහන්සේගේ අනුගාමිකයින් විසින් දේශනා කරන ලද ධර්ම කරුණු ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භයේ දී පදනම් කරගත් දහම් කොටස් දෙවන හා තෙවන සංගායනාවල දී සංගායනා කරන ලද දහම් කොටස් සහ අර්හත් මහින්ද විසින් මෙරට ජනතාවගේ අභිවෘද්ධිය පිණිස සිංහල භාෂාවෙන් නොහොත් හෙළ බසින් දේශනා කරන ලද ධර්ම කොටස් ද මම මෙහිදී සිංහල භාෂාවෙන් ඉවත් කර ඒ වෙනුවට තර්කවලින් තොර ලිහිල් එසේම වැදගත් යැයි සැලකෙන ලේඛන භාෂාවක් වූ පාලි භාෂාවට පරිවර්තනය කිරීම මාගේ අරමුණයි’’  


පාලි භාෂාව කරළියට ගෙනඒම තුළින් නිර්මල බුදු දහම පිළිබඳ සිංහල වර්ගයා තුළ තිබුණු දැනුම ක්‍රමාණුකූලව පරිහානියට පත් කිරීමට ඉඩකඩ සැලසීම මොවුන්ගේ අරමුණ විය.  
බුදු දහමෙන් ජනතාව අෑත් කිරීමත් එමඟින් විදේශ ආක්‍රමණික රජවරුන්ට ඔවුන් පහසුවෙන් යටත් කර ගැනීමට හා ඔවුන් පහසුවෙන් පාලනය කිරීමටත් අනෙකුත් ආගම්වලට යම් ප්‍රමාණයකට නැඟී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් එමඟින් බලාපොරොත්තු විය. මෙමඟින් සිදුවූ ප්‍රබලම විපර්යාසය වූයේ නිර්මල ථෙරවාදය වෙනුවට මහායාන බුදුදහම ක්‍රමයෙන් මෙරට තුළ ව්‍යාප්ත වීමයි.  


සර් එමර්සන් ටෙනන්ට් අප රට ගැන කර ඇති සඳහනක් මෙසේය.  


කොපමණ සංඛ්‍යාවෙන් හා බලයෙන් වැඩි වුව ද මලබාර්වරු ඔවුන් කළ කිසිම කටයුත්තකින් ලංකාව සෞභාග්‍යමත් කිරීමෙහි හෝ අලංකාර කිරීමෙහි හෝ රටේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමෙහි නොයෙදුන බව පැහැදිලිව දක්නට තිබීම සැලකිය යුතු කරුණකි.  


රට සෞභාග්‍යමත් කිරීමෙන් අලංකාර කිරීමෙන් හැම වැඩපිළිවෙළක්ම ආරම්භ කරන ලද්දේ රටේ ආදිම පදිංචිකරුවන් වූ ගංගානම් ගංගා නිම්න වාසී (ආර්ය) ජාතිකයන් විසිනි. මලබාර්වරුන්ට ඕනෑ කළේ රට සරුසාර කිරීමට හෝ අලංකාර කිරීමට නොවේ. එය දුගී බවට පත් කිරීමට හා අවලක්ෂණ කිරීමටය.  


ලංකාවේ මුලදී පැවති තත්ත්වය උසස් මට්ටමකට පත් කිරීමත්, ශිෂ්ඨ සම්පන්න බවට පත් කිරීමත් ආරම්භ කරන ලද්දේ උතුරු ආක්‍රමණිකයින් විසිනි. දකුණේ මලබාර් ජාතියේ පහත්කම පැහැදිලිවම පෙනී යන්නේ ඔවුන් කළ හැම දෙයක්ම රටේ විනාශයටත්, නිහීනත්වයටත් හේතුවීම නිසාය. මලබාර්වරුන්ගේ ඒ බලපෑම් මේ වන තුරුත් දැකගත හැකිය.   


(ජේම්ස් එමර්සන් ටෙනන්ට් - සිලෝන්, 1859 ප්‍රථම කාණ්ඩය, පි - 401)  


එම්.කේ. ජයසේන  
(විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)