රෝහණ විජේවීරට ඉන්න බංකරයක් හදයි


විජේවීර සැඟව සිටි හම්බෙගමුවේ හේන් සොයා ගිය ගමන -5

කුඩා වැවක්   

 

අතහැර දැමූ පැරණි හේනක්   

 

හම්බෙගමුව පන්සලේ පැරණි නටබුන්   

 

 

 

අක්කර දහයක් පමණ වූ තල වගාව යටපත් කරමින් වටේ ඇති කංසා පැළ උස්ව වැවී තිබේ. කංසා පැළ නවාගෙන එන මඳ සුළඟ ඒ මැද ඇති තල හේනේ පැලට ද දැනෙයි. පැලේ සිටි කිහිප දෙනාගේ නික්ම යාමෙන් පසු ඉතිරි වූ නම්මුණිගේ අමරසේන බර කල්පනාවක නිමග්නව සිටී.   


අමරසේන සිටි පැලට එහායින් ඇති අනික් පැල් කොටේ සිටි තරුණයා කියවීමට හපනෙකි. නිස්කලංකව සිටින හැම මොහොතෙම ඔහු අත ඇත්තේ පොතකි. අද ඔහු කියවන්නේ අර්නෙස්ටෝ ගවේරා ඩී ලා සෙර්නා ගැන පොතක් ය.   


අර්නෙස්ටෝ ගවේරා ඩී ලා සෙර්නා යනු මානව දයාවෙන් පිරිපුන් තරුණ ගරිල්ලා නායකයෙක් වූ ආර්ජන්ටිනා ජාතික ‘චේ’ නමින් හැඳින්වූ පසුකලක ‘චේ ගුවෙරා’ නම් වූ ඇමෙරිකාවේ මිනිසුන් අතිශය ආදරය කළ මිනිසාය. ‘චේ’ ගැන සිංහලට පරිවර්තනය කර තිබූ ඒ පොත මේ තරුණයා කියවන්නේ ගැඹුරු අවධානයකිනි.   


අමරසේනට මේ දර්ශනය පුදුම සහගත එකක් නොවේ. තිස්වන වියට ආසන්නව සිටි අමරසේනට භාරදූර වගකීමක් පැවරී තිබුණි. ඒ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් තහනම් කළ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යයන් සඳහා අරමුදල් සෙවීමය. ඒ සඳහා ඉතා උපක්‍රමශීලී ක්‍රම අනුගමනය කරමින් ආරක්‍ෂක අංශවල අවධානය වෙනතකට යොමුකරමින් කටයුතු කිරීමේ වගකීම ද අමරසේන වෙත පැවරී තිබුණි.   


හම්බෙගමුවේ පදිංචි අමරසේනට ගොවිතැන අරුමයක් නොවේ. හේන් ගොවිතැන ද ඔහුට හොඳට හුරුය. ගොවිතැන් කළත් සූරා කෑමට ලක්ව හැමදාම දුක්විඳි ඔහු තමන් මෙන්ම සමස්ත ගොවි පරපුරම අතරමැදි වෙළෙඳුන්ගේ වහලුන් බවට පත්ව ඇති බව තේරුම් ගෙන තිබුණේ ඔහුට අවුරුදු විස්ස සම්පූර්ණ වෙද්දීය. ඔහු අද හැටතුන්වන වියේ පසුවෙයි.   
තම මව්පියන් දුක්විඳ වගාකරන අස්වැන්නට නිසි මිලක් කිසිදා නොලැබෙන බවට කරන කතාබහත්, සැමදාම ණයකරුවන් ලෙස ගෙවන ජීවිතයත් ගැන අමරසේනට තිබුණේ දුකකි. අම්මාගේ කනේ තෝඩු දෙකත් ගෙල බැඳි මා

ලයත් අවුරුද්දේ වැඩි කාලයක් තියෙන්නේ බැංකුවේ ය. බැංකුවක් හම්බෙගමුවට එන්නට පෙර ඒවා තිබුණේ පුද්ගලික උකස්කරුවකු යටතේ ය.   


මේ තත්ත්වය ගොවීන්ගේ සුපුරුදු චර්යාවයි. අමරසේනට හැත්තෑහතේ මහ මැතිවරණය හොඳට මතකය. ඒ වනවිට ඔහු අවුරුදු විසි දෙකක කොලු ගැටයෙකි. තුන්හවුල් ආණ්ඩුවේ හාල් පොලු, මිරිස් පොලු හම්බෙගමුවට බලනොපෑවත්, උම්බලකඩ කෑල්ලක්, හාල්මැස්සෙක් කාපු කාලයක් මතක නැති බව වැඩිහිටියන් කියනවා අමරසේනට හොඳට මතකය.   
හේනක මුං ඇට, කව්පි වගේ ඇට වර්ගයක් වවා ගන්නා නිසා හම්බෙගමුවේ ගොවි ජනතාවට 70-77 ආණ්ඩුව කාලේ තිබුණ පාන් පෝලිම ගැටලුවක් නොවීය. ඒත් ලාම්පුතෙල් කූපන් එකත්, සීනි කූපන් එකත් නැති කෙනෙක් වුණොත් රෑට ඉන්න වෙන්නේ අඳුරේය. කහට ටිකක් බොන්න වෙන්නේ අල්ල ලෙවකාලාය. ඒ නිසා අමරසේනට ද එදා තිබූ වටපිටාව මතකය.   


එසේම 71 අවුරුද්දේ තරුණ සංහාරය ගැන ද වැඩිහිටියන් කියනු අමරසේනට මතකය. මේ සියලු කාරණාවලින් මිදී අලුත් ලෝකයක් තමන්ට හදාගන්න සිතා 1977 ජූලි 22 ද‌ා පැවති මහ මැතිවරණයේදී තුන්හවුල් ආණ්ඩුව පන්නා එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් පත්කරගන්නට රටේ වැඩි ජනතාවක් පියවර ගත් බව ද අමරසේනට මතකය.   
ඒත් එදා පත්කරගත් ඒ ආණ්ඩුව ද හම්බෙගමුව වැනි දුරබැහැර අති දුෂ්කර ජීවිත ගෙවන මිනිසුන් ගැන නොබැලූ නිසා තමන් 1980 දී ජනතා විමුක්ති පෙරමුණට බැඳී එහි පූර්ණකාලීනයකු ලෙස කටයුතු කළේ නිර්ධන පන්තියට සහනයක් ලබාදීමේ අදිටනින් බව අමරසේන පැවසුවේ ය.   


තමන් පක්‍ෂයට බැඳී වසර තුනක් ගතවෙත්ම පක්‍ෂය තහනම් වූ බව කී අමරසේන ඉන්පසු රහසිගතව පක්‍ෂයේ වැඩකටයුතු කරගෙන ගිය බව ද කීවේ ය. පක්‍ෂය තහනම් කිරීමෙන් පසු පක්‍ෂ නායකයන් ද රහසිගත ජීවිතවලට හුරු වූ බවත් හම්බෙගමුව ඔවුන් රැස්වන එක් මධ්‍යස්ථානයක් බවත් කීවේ අමරසේනට ඒ ගැන හොඳ අවබෝධයක් ඇති නිසාය.   
“මම 1980 ඉඳලා 1990 දක්වා අවුරුදු දහයක් පූර්ණ කාලීනව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්‍ධ වෙලා දවසේ පැය විසි හතරම කැපවෙලා වැඩ කළ කෙනෙක්. මම හිටියේ පක්‍ෂයේ ආර්ථිකය ගොඩනැංවීමේ අංශයේ. අපි මේ මහ කැලේ තල හේන් හැදුවා. අක්කර දහයක් විතර විශාලයි එක තල හේනක්. මේ තල හේන වටේට කංසා වවනවා. ඒ ආරක්‍ෂක අංශවල අවධානය වෙන පැත්තකට යවන්න.   


හේනේ වැට අද්දරට එන ඕනෑම කෙනෙකු හිතන්නෙ කංසා පැළ දැක්ක ගමන් මෙය නීතිවිරෝධී කංසා වගාවක් කියලයි. ජනතා විමුක්ති පෙරමුණ මේ වගේ දේවල්වලට විරුද්ධ හින්දා ඒ හේන් ඇතුළෙ ජේ.වී.පී. කාරයෝ ඉන්නවා කියලා ආරක්‍ෂක අංශ මුල් කාලයේ විශ්වාස කළේම නෑ. සමහර අවස්ථාවල පක්‍ෂයේ මුල්පෙලේ නායකයන් රැස්වුණේ ඔය තල හේන්වල. ඒ අය දවස් පහ හයක් එක දිගට ඉන්නවා. සාකච්ඡා කරනවා. ඊට පස්සේ යනවා. ආයේ එන්නේ මාස ගණනකින්.   


ඔය අලුත්වැව පාරේ එක තැනක පක්‍ෂයේ ඉහළ නායකයන්ට ආරක්‍ෂාකාරීව නවතින්න බංකරයක් හැදුවා. පොළොවේ අඩි දහයේ දහයේ වළක් කපලා, ඒක සිමෙන්තියෙන් බැඳලා කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දැම්මා. ඒකේ වැඩට හැමෝම ගත්තේ නෑ. මොකක්ද හදන්නේ කියන සැකය ඇති වුණොත් තොරතුරු පිටතට යන්න ඉඩකඩ තියෙන හින්දා එහෙම කළේ. අද ඒ තැන් තිබුණ තැනකවත් නෑ. දැන් ඒවායේ අලුතින් ගෙවල් හදලා.   

 

හම්බෙගමුව හේන් තිබූ පැත්ත දුරට පෙනෙන අයුරු   

 


කොහොම නමුත් මම හිතන විදියට රෝහණ විජේවීර සහෝදරයා ඔය බංකරේ දවසකට වැඩිය හිටියෙ නෑ. හැබැයි රෝහණ සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩලයේ හිටිය සහෝදරවරු කිහිප වතාවක් මෙහෙ රැස්වුණා මට මතකයි. ඒවා ඉතාම රහසිගතව සිද්ධ වුණේ. මට තමයි ආහාර සැපයීමේ වගකීම් පැවරිලා තිබුණේ. ඒ අය එන්න පෙර කල් ඇතිව අපි කෑම ජාති රැස් කළා. ඒවා සේරම තැන්පත් කළේ අර බංකරයේ. අවශ්‍ය ප්‍රමාණයන් විතරයි එළියට ගත්තේ.” අමරසේන විස්තර කළේය.   
“ඒවායින් පක්‍ෂයේ අරමුදල් තර වුණේ නෑ. අපි අර තලහේන් හැදුවේ ඒකට. පක්‍ෂයට සම්බන්‍ධ සහෝදරවරු ශ්‍රමයෙන් උදව් කළා. හේන් කෙටුවා, ගිනි තිබ්බා, පැල් හැදුවා, තල වැපුරුවා. නමුත් තල හේන වටේට කංසා ඇට දැම්මේ වෙනත් අය. සමහර වෙලාවට තල වපුරන්න ආ කෙනාට ආයෙ ආවානම් තල හේන හොයාගන්න බැරිවෙන විදියට තමයි වැඩ කෙරුණේ. අවිශ්වාසයකට නෙමෙයි ආරක්‍ෂක අංශවලින් බේරෙන්න එපායැ. ඒකට තමයි එහෙම කළේ.   


තල අස්වැන්න වගේම කංසා ටිකත් කපලා වේලලා ගංජා විදියට විකුණලා පක්‍ෂයේ අරමුදල් තර කරගත්තා. පක්‍ෂය තහනම් කළාට පස්සේ බරපතළම අර්බුද තත්ත්වය ආවේ 87න් පස්සේ. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරනවාට විරෝධය පළකරලා ජනතා විමුක්ති පෙරමුණ රටපුරාම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ආණ්ඩුවට එරෙහිව වෙනමම පෝස්ටර් ව්‍යාපාර ගියා. ඒවාට සල්ලි උවමනා වුණා. පක්‍ෂයේ තහනම ඉවත් කරන්න කියලා වරින්වර පෝස්ටර් කැම්පේන් ගියා. ඒවා කළේ ලොකු අවදානමක් ඇතිව. ආරක්‍ෂක අංශවල සාමාජිකයන් වෙස් වළාගෙන තැනින් තැන රාත්‍රියේ පවා හැංගිලා ඉන්න අවස්ථා තිබුණා.” අමරසේන ඒ අතීතය හෙළි කළේය.   


ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977 බලයට පත්වීමෙන් පසු සිරගත කර සිටි රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් නිදහස් කිරීමෙන් පසු පක්‍ෂයේ ප්‍රතිසංස්කරණ වැඩ ඇරඹිනි. විජේවීරලා නිදහස්වී වසරක් දෙකක් තුළ හම්බෙගමුව මහා විද්‍යාලයට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඇතුළු අට සහ නවය පන්තිවල දරුවන්ට සමාජ අධ්‍යයනය විෂය උගන්වන්නට තරුණ ගුරුවරයෙක් පැමිණියේ ය.   


ප්‍රියමනාප පෙනුමක් ඇති සියුමැලි තරුණයෙක් වූ හේ උපාධිධාරියෙක් විය. පාසලේ දරුවන්ගේ පමණක් නොව ගමේ කාගේත් සිත් දිනාගැනීමට ඔහු සමතෙක් විය. බළන්ගොඩ පින්නවල ප්‍රදේශයේ උපන් මේ තරුණ ගුරුවරයා වේලිඔය තෙක් ලංගම බස් රථයෙන් පැමිණ, එතැන් සිට හම්බෙගමුව දක්වා ගියේ පාපැදියෙනි. සුදුපාට කොට කලිසම ඇඳගෙන ටී ෂර්ට් එකකින් උඩුකය ආවරණය කරගෙන එන මේ තරුණ ගුරුවරයා පත්වීම් ලබා හම්බෙගමුව පාසලට එන වෙනත් ගුරුවරු මෙන් හොර රහසේ ස්ථානමාරුවී නොගිය නිසා ඔහු ලොකු පොඩි හැමදෙනා අතරම ජනප්‍රිය විය.   


“මුන්නැහැ නම් අපේ කොල්ලෝ කෙල්ලන්ගේ දෑස් පාදන්න ආපු දිසාපාමොක් කෙනෙක්. එයා මාරු හදාගන්න බලන්නේ නෑ. ඒක අපිට ලොකු හයියක්.” මේ තරුණ ගුරුවරයා සිය පාපැදිය පදවාගෙන යනු දකින වැඩිහිටියන්ගේ මුවින් පිටවුණ වදන් විය. 

 
හම්බෙගමුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් වැඩිවන්නට පටන් ගත්තේ 88-89 වකවානුවේය. ඒ නිසාම යුද හමුදා අනුඛණ්ඩයක් ද පිහිටවනු ලැබිණි. එසේ වුවද ජනතා විමුක්ති පෙරමුණ පසු නොබැස්සේ ය. සමහර අවස්ථාවල ඉන්දු-ලංකා ගිවිසුමට පක්‍ෂපාතී තැනැත්තන් දේශද්‍රෝහීන් බවට නම් කර ඝාතනයට ලක්විය. මහ දවාලේ සමහර තරුණයන්ගේ හිසට වෙඩි ප්‍රහාර එල්ල වන්නට විය. වෙළෙඳසැල්වලට පැමිණ කප්පම් ගන්නට විය. ඒවා මුදල් සහ බඩු පමණක් නොව කෑම පාර්සල් වැනි දේද රැගෙන යනු ලැබිණි.   


ඔය අතරවාරෙදි හම්බෙගමුවේ සිටි යුදහමුදාව කැඳවා එස්ටීඑෆ් එක යොදවනු ලැබිණි. එදා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්‍ධවී කටයුතු කළ සමහරු එස්ටීඑෆ් එකේ මොණරාගල දිසාව බාර ප්‍රධානියාගේ ගෝලයෝ වූහ. අපි මීට පෙර විස්තර කළ හම්බෙගමුව මහා විද්‍යාලයේ සමාජ අධ්‍යයන විෂය ඉගැන්වූ පාපැදියෙන් ආ තරුණ ගුරුවරයා වූයේ අද විශ්‍රාමිකව සිටින පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාය. ඒ නිසා එතුමන් හම්බෙගමුවේ උගන්වද්දී අට, නවය සහ දහය පන්තිවල ඉගෙනගෙන පාසල හැරගිය දරුවන් අතර කිහිප දෙනෙක් 88-89 වකවානුවේ ජවි​ෙප ක්‍රියාකාරීහූ වූහ.   


“මම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්‍ධවෙලා පක්‍ෂයේ කටයුතු කරන කාලේ මුලින්ම ගමට ආවේ හමුදාව. හමුදාවට අහු වුණොත් ඉවරයි. පාරෙ තොටේ නිකං හිටියත් හමුදාවෙන් අරං යන තත්ත්වයක් ඒ කාලේ තිබුණේ. ඊට පස්සේ එස්ටීඑෆ් එක ගමට ආවා. එස්ටීඑෆ් එක ඉවක් බවක් නැතුව වැඩ කළේ නෑ. කොල්ලෙක් ගෙනිච්චනම් ගෙනිච්චේ හොඳට හොයලා බලලා කියලා මතයක් ගමේ ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ අපිට අවාසියක් වුණා. සමහර දවස්වල ගෙවල් පිටිපස්සේ අහළ පහළ කෙසෙල් පඳුරු ආදිය අස්සේ එස්ටීඑෆ් එක හැංගිලා තොරතුරු හොයනවා කියලත් ආරංචි වුණා. ඔහොම යනකොට තමයි ආරංචි වුණේ ඒ වෙනකොට එස්ටීඑෆ් එකේ මොණරාගල ලොක්කා වෙලා ඉඳලා තියෙන්නේ අපේ ඉස්කොලේ සමාජ අධ්‍යයනය විෂය උගන්නපු ඉලංගකෝන් සර් කියලා.”  


අද පනස් දෙවන වියේ පසුවන එදා ජවි​ෙප ක්‍රියාකාරිකයෙක්ව එස්ටීඑෆ් එකට අසුවී පසු කාලීනව නිදහස්ව පැමිණි නම හෙළි නොකරන්නැයි ඉල්ලූ ‘ශාන්ත’ පැවසුවේය.   
‘ශාන්ත’ අපට කීවේ ඇත්තක්දැයි යන්න තහවුරු කරගැනීමට තොරතුරු සොයද්දී විශ්‍රාමික පොලිස්පති ඉලංගකෝන් මහතා හම්බෙගමුව මහා විද්‍යාලයේ සමාජ අධ්‍යයනය විෂය ඉගැන්වූ බව සත්‍යයක් යැයි තහවුරු කරගත හැකි විය.   


හම්බෙගමුව මහා විද්‍යාලයේ උගන්වන කාලයේ මුලින්ම උපපොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව පසුව උපාධිධාරීන් ඍජුව සහකාර පොලිස් අධිකාරී තනතුරුවලට බඳවා ගැනීම සිදුකළ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ (එස්ටීඑෆ්) සහකාර පොලිස් අධිකාරී තනතුරට ඉලංගකෝන් මහතා පත්වීම් ලැබූ බව හම්බෙගමුවේ වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම පැවසූහ. 88-89 වකවානුවේ මොණරාගල දිස්ත්‍රික්කය බාර එස්ටීඑෆ් ප්‍රධානියාව සිටියේ ඉලංගකෝන් මහතා බවත් ඒ අනුව හම්බෙගමුවේ පිහිටුවා තිබූ එස්ටීඑෆ් අනුඛණ්ඩය ද ඔහු බාරයේ තිබූ බවත් ඒ වැඩිහිටියෝ කීහ.   


ලිපිය ආරම්භයේදී කියූ “චේ ගුවේරා” සම්බන්‍ධයෙන් ලියැවුණ පරිවර්තන පොත කියවූයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් බව එදා තල හේනේ සිටි කිහිප දෙනාගේ විශ්වාසය විය. සමහරවිට ඒ රෝහණ විජේවීර විය හැකියැයි දැන් ඔවුහු අනුමාන කරති.   


“මම ඩිංගක් ලියන්න කියන්න ඉගෙනගෙන ති​ෙයනවා. ඇත්තටම මම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්‍ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලා. අනික් පක්‍ෂ වගේ පවුලේ අය අතර මේ පක්‍ෂයේ නායකත්වය බෙදුනේ නෑ. තාත්තා පාර්ලිමේන්තුවේ නම් අම්මා පළාත් සභාවේ. පුතා ප්‍රාදේශීය සභාවේ. අද අපේ ලොකු ජනමතයක් තියනවයි කියන පක්‍ෂවල තත්ත්වය ඕක. ජනතාව දන්නේ නෑ ඒ අය ඒ පක්‍ෂවල නායකයන්ගේ වහල්ලු, අතවැසියෝ කියලා. අපේ පක්‍ෂයෙන් පත්වෙන නියෝජිතයෝ අනවශ්‍ය විදියට වරප්‍රසාද භුක්ති වින්දේ නෑ. හිතවතුන්ට නෑදෑයන්ට පොදු දේපළ පරිහරණය කරන්න ඉඩ දුන්නේ නෑ. රටේ දියුණුව ඇති කරන්න දැක්මක් තිබුණා. ඔවුන් නිර්ධන පන්තියේ උවමනාව වටහාගෙන තිබුණා. නිෂ්පාදන ආර්ථිකයක් තුළින් රට දියුණු කරන්න ඕනෑ කියන තැන හිටියා. මහජන දේපොළ විකුණනවට උදව් කළේ නෑ. ජනතාවගේ ශ්‍රමය සූරාකනවට සම්පූර්ණයෙන් විරුද්ධ වුණා. ඒ හින්දා එදා ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කරන්නට ආණ්ඩුව ක්‍රියා කළා.” ඔහු කියාගෙන ගියේ ය.   


“ඇත්තටම අපි එදා ජේවීපී කළාට පක්‍ෂයේ ඉහළ නායකයෝ හම්බෙගමුවට ආවා ගියා කියලා දන්නේ පස්සේ කාලේදි තමයි. පක්‍ෂයේ කට්ටියක් එන බව සමහර අවස්ථාවල දන්නවා. මොකද ඒ අයට අවශ්‍ය කෑම බඩු අපි හොයන්න ඕනෑ කියලා දන්වන විට හිතුවා කට්ටියක් එනවා ඇති නැත්නම් කැලේ තියන පුහුණු කඳවුරුවලට ගෙනියන්න වෙන්න ඇති කියලා හිතුණා.”

 

අතහැර දැමූ පැරණි හේනක්   

 


“මිනිස්සු සූරාගෙනකමින් හම්බකරගත්තු මිනිස්සුන්ගෙන් තමා එදා අපේ ව්‍යාපාරයට යම් දෙයක් ගත්තනම් ගත්තේ. හැබැයි සමහර මිනිස්සු අපිට කැමැත්තෙන් යම් යම් දේවල් දුන්නා. සමහරු ඒවා කළේ අපෙන් කරදරයක් වෙයි කියලා බයට කියලා පස්සේ අපිට තේරුණා. ඒ සමහරු අපි ගැන ආණ්ඩුවට ඔත්තු දීලා අපේ තරුණ කොල්ලෝ අල්ලලා දීලාත් තිබුණා. ඒ වුණාට මහ කැලෑවේ හේන්වල වැඩකරපු අය අපිට ආරක්‍ෂාවක් දුන්නා. සමහර අවසථාවල හමුදා මෙහෙයුම් තියන වෙලාවට අපි අපිත් එක්ක හිටපු අපේ ප්‍රබල නායකයන් එක්කගෙන කැලෑ වැදිලා හේන් ආශ්‍රිතව දවස් දෙක තුන හැංගිලා ඉඳලා තියනවා. පස්සේ තමයි දන්නේ ඒ අපිත් එක්ක හැංගිලා හිටියේ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සමන් පියසිරි ප්‍රනාන්‍දු වගේ පක්‍ෂයේ ප්‍රබලයින් කියලා.” මීට පෙර අපිත් සමග අතීත තොරතුරු කතාකළ ‘පාල’ හෙළිදරව්වක් කළේය.   


ඉතිරි කොටස ලබන සතියේ ‘ජවිප ප්‍රබලයෝ හම්බෙගමුවෙන් පසුබහී.   

 


අජිත්ලාල් ශාන්තඋදය සහ 
හම්බෙගමුව මහින්ද අබේරත්න