රොබට් නොක්ස් සැඟව සිටි ගම්මානය


 

 

අතීත ශ්‍රී විභූතියේ නොමැකෙන සටහන් රැසක් සඟවාගෙන සිටින අපූර්වතම ගම්මානයක් ලෙස එලදැත්ත ගම්මානය හැඳින්විය හැක. රමණීය වෙල්යායකින් මැදිව පිහිටි මෙම ගම්මානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති සුන්දර මෙන්ම දැකුම්කලු ගම් පියසකි. ගැමිකම තුරුලු කොට ගත් අව්‍යාජ මිනිසුන් සමූහයක් සහිත මෙකී සුන්දර ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ.   


රොබට් නොක්ස් නම් ඉංග්‍රීසී ජාතිකයා දෙවන රාජසිංහ රජ දවසේ වසර ගණනාවක් මෙරට සිර ගතව සිටි පුද්ගලයෙකි. රොබට් නොක්ස් කිවු සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙනුයේ එදා හෙළදිව නම් ග්‍රන්ථයය. රොබට් නොක්ස් අති දක්ෂ ලේඛකයෙකු බව එම පොතෙන් පෙන්වා දෙන අතර ඔහු විසින් එම පොතේ සටහන් කොට ඇති දෑ අදටත් අප උපහැරණ ලෙස කියති. 


1641 වසරේ පෙබරවාරි මස 08 දින රෝබට් නොක්ස් උපත ලබන්නේ එංගලන්තයේ ටවර්හිල්හිදීය. රොබට් නොක්ස්ගේ පියා එවකට වෙළෙඳ නැවක අණ දෙන්නෙකු වූ අතර මධ්‍යධරණී සාගරයේ යාත්‍රා කරමින් සිටියදි ඔවුන් ගමන් ගන්නා ලද නැව කුණාටුවකට හසුව අනතුරකට ලක් වේ. අනතුරට පත් නැව යළි සකසා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කොට්ටියාරම් වරායට සේන්දු කරගෙන තිබේ. එහෙදී නැවට නව තුඹ ගසක් සකසා ගන්නා තුරු රෙදිපිළි වෙළෙඳාමේ යෙදෙන්නට සැලසුම් කරද්දී මෙම නැවේ පැමිණි පිරිස දෙවන රාජසිංහ රජුගේ අත්අඩංගුවට පත්ව ඇත. 


රොබට් නොක්ස්ගේ පියාත් සමග තවත් පුද්ගලයන් 18 කු එම නැවෙන් මෙරටට පැමිණ තිබේ. ඉතාමත් කෙටි කාලයකදී රොබට් නොක්ස්ගේ පියා මිය ගොස් ඇති අතර රොබට් නොක්ස් විසින්ම තම පියාගේ දේහය සත් කෝරළයේ බණ්ඩාර කොස්වත්ත යන ගම්මානයේ භූමිදානය කෙරූ බව පැවැසේ. 


රොබට් නොක්ස් විසින් පසු කලක රචිත ලංකාද්වීපය නම් ග්‍රන්ථයේ ඒ බව ඔහු මෙසේ සටහන් කොට තිබේ. ‘‘පියාගේ දේහය භූමිදානය කොට සිරකරුවෙකු පරිද්දෙන්ම මම තනි වීමි. අසරණ වීමි. අනාථවීමි. දැන් මම වනාහි ලෙඩෙක්මි. පියා මළ එකෙක්මි. මගේ සහනය පිණිස උඩ බැලූ විට අහසත්, වටපිට බැලූවිට වාතයත් බිම බැලූවිට මහ පොළොවටත් වැඩි කෙනෙක් නොවීය.” 

 

පුනහැල කන්ද

 

 


1660 අප්‍රේල් මස 04 වන දා දෙවන රාජසිංහ රජුගේ සිරකරුවෙකු බවට පත්වන විට රොබට් නොක්ස් අවුරුදු 19 මාස 01 යි දින 27 ක භද්‍ර යෞවනයේ පසු වූ තරුණ ගැටවරයෙකු විය. දෙවන රාජසිංහ රජු විසින් පනවන ලද රාජ නියෝගයට අනුව ඔහු ලැඟුම්දෙනිය නිවාසයේ සිටිය අතර ඔහුට ගම්වැසියන් විසින් ආහාර පාන ලබාදීම් සිදුකළ යුතුව තිබිණි. 
හිස් වැසුම් වියමින් ඒවා විකුණා මුදල් එකතු කිරීමේ යෙදී සිටි රොබට් නොක්ස් ලැඟුම්දෙනියේ නිවස අතහැර දමා ජල පහරක් දිගේ එලදැත්ත ගම්මානයට පැමිණ තිබේ. එසේ එලදැත්තට පැමිණි රොබට් නොක්ස් එම ගම්මානයේ උස් බිමක් වූ පුනහැල කන්ද වත්තේ නිවසක් තනාගෙන පදිංචි විය. පුනහැල කන්දේ ඔහුගේ නිවස තිබු ස්ථානයේ සලකුණු අදද දක්නට ඇති බවත් එහි ගලක කෙටූ සටහනක්ද ඇති බව එලදැත්ත ගම්වැසි​ෙයා් කියති. 


උස් වූ කඳු ගැටයක් වන පුනහැල කන්දේ රොබට් නොක්ස් තම නිවහන එසේ තනා ගන්නට ඇත්තේ තම ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කොට විය යුතුය. එලදැත්ත ගම්මානය ඉස්මත්තේ පුනහැල කන්ද පිහිටා ඇති අතර, එදා රොබට් නොක්ස් විසු නිවස තිබූ ස්ථානය අද ගම්මුන් හඳුන්වන්නේ ‘නොක්ස්ගේ කොටු තාප්පය’ යනුවෙනි. 
රොබට් නොක්ස් වෙළෙඳාම අතහැර පසුකාලයේ ගොවිතැනට එළැඹ තිබේ. එලදැත්ත ගම්මුන් පවසන පරිදි තම පරම්පරා කතාවලින් පැවැසෙන්නේ රොබට් නොක්ස් ගොවිතැනට අති දක්ෂයෙකුව සිටි බවය. උඩරැටියෙකු ලෙස සරම කමිසය ඇඳි හැඩි දැඩි මෙකී විදේශිකයා ගොවිතැනට දැඩි ලෙස ආදරය කොට ඇත්තෙකි. පුනහැල නොක්ස්ගේ කොටුවේ සිට වැටී ඇති ගල් පඩි සහිත මාර්ගය ඔහු විසින් පවත්වාගෙන ගිය එළුගාලට යාමට හා ඒමට භාවිත කොට තිබේ. 


රොබට් නොක්ස් ගොවිතැන් කරන ලද වෙල්යාය අදටත් එලදැත්ත ගම්මානයට එකතු කරනුයේ අති රමණීය සුන්දරත්වයකි. එම වෙල්යාය මැද්දේ ඇති අඩිපාර එවකට පැවැති වැවේ වැව් කණ්ඩිය බවත් ඊට යාබදව ගලින් තැනු සො​ෙරාව්ව එම වැවේ සොරොව්ව බවත් එලදැත්ත ගම්මු සඳහන් කරති. 


මෙම සුන්දර වෙල්යායට දකුණු පසින් ජලය පිරිණු ඇළ මාර්ගයක් ගමන් කරයි. එම ඇළ මාර්ගයේ එක් ස්ථානයක සකස් කොට ඇත්තේ විස්මයජනක මෙන්ම විශිෂ්ට වූ වාරි නිර්මාණයක් ලෙසිනි. ගවයින් 30 දෙනෙකු පමණ යොදා කොළමැඩිය හැකි විශාල කමතක් එදවස තිබී ඇති අතර අදටත් එම ස්ථානයේ එකී කොළමඩින එම කමත දැකිය හැක. මෙකී විශාල කමත යටින් ඇළ මාර්ගය උමං ඇළක් ලෙස සකසා ඇති අතර එය අඩි 163 ක් තරම් දිගකින් යුක්තය. විශාල ගල් පතුරු සිටුවා ඒ මත තවත් ගල් ලෑලි තබා එකින් එක කිසිදු බදාමක් භාවිත නොකොට තනා ඇති මෙකී උමං වාරි ඇළ සැබෑවටම විස්මයජනක නිර්මාණයකි. 


මෙම නිර්මාණය පිළිබඳව බොහෝ වාරි ඉංජිනේරුවන් පවසනුයේ මෙලෙස තැනු වාරි උමං ඇළ මාර්ගයක් ශ්‍රී ලංකාවේ කිසිම තැනක දැකිය නොහැකි බවය. එලදැත්ත ගම්මානයේ කුඹුරුවලට ජලය සපයමින් ගලා බසින මෙම විස්මිත වාරි උමං ඇළ මාර්ගය ලැඟුම්දෙනිය ගම්මානය හරහා ගලාගෙන ගොස් මහවැලි නදියට එක්වෙයි. මෙම ඇළ මාර්ගය අදද ජලයෙන් පොහොසත්ව තිබේ. ලැඟුම්දෙණියේ සිට මෙම ඇළ මාර්ගය ඔස්සේ රොබට් නොක්ස් එලදැත්තට පැමිණ ඇති බව පැවැසේ. 


රොබට් නොක්ස් ස්නානය කරන ලද ජල පිහිල්ල අදද එපරිද්දෙන්ම නොමැති වුවත් එම ස්ථානයේ තිබේ. මෙම ජල පිහිල්ලේ ජලය කිසිදු ඉඩෝරයකට නොසිඳී පවතින බව එලදැත්ත ගම්මු කියති. මෙකී පිහිල්ලේ ජල උල්පත ගල් පොත්තකින් වසන ලද ආරක්ෂිත ජල පෝෂකයකින් නිර්මාණය වී තිබේ. මේ වනවිට එම ජල පිහිල්ලට නව ජල බටයක් යොදාගෙන ඇති අතර ජලය පිරීම සඳහා විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් බැරලයක් තබා තිබේ. 


නිරන්තරයෙන් එම බැරලය ජලයෙන් පිරී ඉතිරී යන අතර එලදැත්ත ගම්මානයේ විශාල පිරිසක් දියනෑම හා රෙදි සෝදා ගැනීම සඳහා මෙම පිහිල්ල භාවිත කරති. එම ජල පිහිල්ල අසලින් වැටී ඇති ගල්පඩි සහිත මාර්ගයේ ඉහළට ගිය විට එලදැත්ත ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය හමුවේ. එම ස්ථානයේ මාර්ගය අසල රොබට් නොක්ස්ගේ සිහිවටන ඵලකයක් කළු ගලින් සකසා පිහිටුවා තිබේ. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ජේ.පී. ලුවිස් මහතා විසින් එලදැත්ත ගම්මානයේ මෙම සිහිවටන ඵලකය 1908 වසරේදී ස්ථාපිත කොට තිබේ. ලැඟුම්දෙණිය ගම්මානයේද මෙවැන් ස්මාරකයක් එම වසරේදීම ඔහු විසින් ඉදිකොට ඇත. 

 

කමත

ගල්ලෑලි භාවිතා කරමින් තැනු උමං ඇළ මාර්ගය 

 

 

 


රොබට් නොක්ස් නම් මෙම ඉංග්‍රීසි ජාතිකයා කාලයාගේ අැවෑමෙන් මෙරට රජුගේ ඇස් වසා 1679 වසරේ ඔක්තෝබර් මස 18 දින ලක්දිවෙන් සමුගෙන එංගලන්තයට පැන ගියේය. 
රොබට් නොක්ස් නම් පිටදේශක්කාරයා අපිට වටිනුයේ ඔහු මෙරටින් පැන ගොස් මෙරට පිළිබඳව ලියන ලද පොත්පත් හේතුවෙනි. එදා හෙළදිව ග්‍රන්ථය, ලංකාද්වීපය ඊට කදිම සාක්ෂියකි. ඔහු වරක සටහන් කොට ඇත්තේ ‘මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය දැරීමටත් සුදුසු’ බවය. එම වදන් පෙළ එදා සිට අද දක්වාත් නුපන් හෙට දිනයේදීත් අප කාගෙත් මුවගේ රැව් පිළිරැව් දෙයි. වසර 350 කට එහා ගිය මෙරට අතීතයක් පිළිබඳව ලියන ලද රොබට් නොක්ස්ගේ පොත් නොකියවන ලද පුද්ගලයෙක් නැති තරම්ය. එම පොත් රැසක් සිංහල භාෂාවට පරිවර්තනය කොට පවා තිබේ. 


එලදැත්ත ගම්මානයේ පිහිටි මෙම සොඳුරු ලේඛකයාගේ සිහිවටන කිසිවක් මෙතෙක් සංරක්ෂණය කොට නොමැත. කොටු පවුර සහිත නිවස පිහිටි බිමත් ජල පිහිල්ලත් විස්මිත උමං වාරි ඇළ මාර්ගයත්, කොළමඬින කමතත් මතු පරපුරටත් එලෙසින්ම දැක බලා ගැනීමට ආරක්ෂා කිරීම වගකියයුතු අංශවල අවධානය යොමු විය යුතුව ඇතැයි අපිට නම් සිතේ. 


ලංකාවේ දුවා දරුවන්ටත්, මෙරටට පැමිණෙන සංචාරකයන්ටත් මෙකී අසහාය පුද්ගලයාගේ ඉතිහාසයේ මතක සටහන් ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් සිදු නොකර තිබීම කනගාටුවට කරුණකි. එය වූ කලී අපට මදි පුංචිකමක් යයි ඇතැමුන් සිතනවා විය හැක. 

 

 

සටහන හා ඡායාරූප - තලවකැලේ- 
ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ