රේල්ලුවේ උසස් නිලධරයකුගේ බිරිඳක් නිසා ඉපදුණු කැන්ඩි ඉන්ටර්සිටිය


ඉන්ටර්සිටිය මුල් කාලයේදී භාවිත කළ M 7 වර්ගයේ එන්ජිමක්

 

කන්ද උඩරට නොඑසේ නම් මහනුවර ප්‍රසිද්ධියට පත් වූයේ සිංහල රාජ සමයේ පටන් බව නොරහසකි. එයට හේතුව අන් කවරෙක් වත් නොව සිංහල ජාතියේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා සමිඳුන් වැඩ වෙසෙන ශ්‍රී දළදා මාලිගාව හේතුවෙනි. ‘මහනුවර’ යන නාම පුවරුවක් හෝ දුටු පමණක් මේ රටේ වෙසෙන්නන්ට පමණක් නොව විදේශිකයන්ට පවා නිතැතින්ම සිහියට නැගෙනුයේ ශ්‍රී දළදා මාළිගාව හා දළදා පෙරහරයි. ​​   


​මෙරට පොදු ප්‍රවාහනයේදී ද එදා බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිටම මහනුවරට යම් ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබූ බව ඉතිහාසය විමසීමේදී පෙනේ.   
මේ සඳහා උදාහරණ රාශියක් පෙන්වා දිය හැකි නමුත් දෙකක් පමණක් පැහැදිලි කරමි.   
මෙරට ​පොදු ප්‍රවාහන සේවාවක් වන මගී බස් සේවා වෙනුවෙන්. සෑම මාර්ගයන් සඳහාම මාර්ග අංකයක් ලබා දී තිබේ. මෙහි අංක 01 ලෙසට ආරම්භ වන්නේ මහනුවර මාර්ගයයි. අංක 02 කොළඹ - ගාල්ල වන අතර රත්නපුර - කොළඹ මාර්ග අංක 03 ලෙසට නම් කර ඇත. මේ අනුව ප්‍රමුඛතාව ලබා දී තිබෙන්නේ මහනුවරටය.
 දුම්රිය සේවාවේ ද වැඩිම නගරාන්තර දුම්රිය සංඛ්‍යාවක් ධාවනය කෙරෙන්නේ ද උඩරට මාර්ගයේ මහනුවරටත් බදුල්ලටත්ය.   
අදටත් මගී ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියව පවතින දිනපතා කොළඹ කොටුවෙන් පෙ.ව. 07.00 ට ගමන් අරඹන කොළඹ - මහනුවර නගරාන්තර දුම්රිය හෙවත් කැන්ඩි ඉන්ටසිටිය අතීත රහස් ගණනාවක් වසන් කරගෙන ගමනේ යෙදෙයි. මහනුවර සිට අඩුම වේලාවකින් (මාර්ගයේ බාධා නොතිබුණහොත්) අගනුවරට ළඟා විය හැකි පහසුම පොදු සේවාව වන්නේ ද මෙම දුම්රියයි. දිනපතා කොළඹ කොටුවෙන් උදෑසන 07.00 ට ගමන් ආරම්භ කරන මෙය පෙ.ව. 09.00 ට මහනුවරට ළඟා වන අතර ප.ව. 03.00 ට මහනුවරින් පිටත් වී සවස 5.30 වන විට කොළඹට පැමිණේ.   


මෙරට අදටත් මගීන් අතර ජනප්‍රිය හා රටේම ප්‍රචලිත රුහුණු කුමාරි, යාල්දේවි, උඩරට මැණිකේ ආදී දුම්රිය සේවා ආරම්භ කිරීමට ඒ ඒ කාල වකවානුවල කිසියම් නිශ්චිත හේතූන් තිබී ඇති නමුත් අප මේ කියන කැන්ඩි ඉන්ටසිටිය මෙකී වේලාවට ආරම්භ කිරීමට මගී ඉල්ලීම් හෝ කාලපරාසයක් නොතිබීම කුතුහලය දනවන්නක් වේ.  
මන්ද මේ දුම්රිය ගමන් ආරම්භ කෙරෙන උදෑසන 07.00 ට ආසන්නව ඉන්ටසිටි ගමන පටන් ගත් 1982 කාල වකවානුව වන විට මහනුවරට යා ගත හැකි තවත් ශීග්‍රගාමී දුම්රියන් දෙකක් කොළඹ කොටුවෙන් පිටත්වීමයි. මේ කාලය වන විට අලුයම 5.55 ට මහනුවර බලා ශීඝ්‍රගාමී දුම්රියක් පිටත් වූ අතර උදෑසන 6.35 ට පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය බදුල්ලට යාමට කොළඹින් ගමන ආරම්භ කෙරිණි.   
කැන්ඩි ඉන්ටර්සිටිය මහනුවර දක්වා පටන් ගත්තේ මේ දෙකටම මැද්දෙන් පෙ.ව. 7 ට වන අතර එදා 1982 සැප්තැම්බර් මස පළමුවැනිදා එවකට දුම්රිය සාමාන්‍යාධිකාරි මුල් පුටුව හෙබවූ ජී.පී.එස්. වීරසූරිය මහතා විසින් මෙම දුම්රිය මගී ජනතාව වෙතට පවරනු ලැබුවේ වසර ගණනාවක් තිස්සේ අලුයම 5.55 ට නුවර යාමට පිටත් වූ ශිඝ්‍රගාමී දුම්රිය අවලංගු කර පොඩි මැණිකේගේ ගමන් වේලාවද අලුයම 5.55 ලෙසට වෙනස් කරමිනි.   
​මේ කියන කාලය වන විට මහනුවර ශීඝ්‍රගාමිය හා පොඩි මැණිකේ මගී ජනතාව අතර බෙහෙවින්ම ජනප්‍රිය වී තිබිණි. මේ ජනප්‍රියභාවය තුට්ටුවකට හෝ නොසලකා හැර හිටිහැටියේම කැන්ඩි ඉන්ටසිටිය ඇරඹීම ගැන නිශ්චිත සාධාරණ හේතූන් හෝ හේතුවක් ඉදිරිපත් කිරීමට එදා දුම්රිය බලධාරීන් අපොහොසත්ව ඇති නමුත් මේ සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් හා මගීන් අතර ප්‍රචලිත කට කතා නම් බොහොමයකි.  


මේවා හුදු නිකරුණේ එසේත් නොමැති නම් කට කහනවාට පබැඳුණු කථා නොවන බවට හැඟී යන්නේ ඒ කාලයේදී මේ සඳහා හේතුභූත වූ කරුණු මෙම කටකතා සමග සංසන්දනය කිරීමේදීය.   
කැන්ඩි ඉන්ටසිටිය ආරම්භ කළ වකවානුවේ දී දුම්රිය දෙපාර්තමේන්තුවේ එක්තරා මහ පුටුවක් හෙබ වූ නිලධාරියෙකුගේ බිරිඳ සේවය කර ඇත්තේ මහනුවරට නුදුරු පේරාදෙණියේ රාජ්‍ය ආයතනයකය. මෙම රැකියාව සඳහා මහනුවර හෝ ඊට තදාසන්න ප්‍රදේශයක බෝඩිං නොවී දිනපතා කොළඹ සිට සේවා ස්ථානයට ගොස් රාජකාරි නිම කර සවසට ආපසු කොළඹ පැමිණීමේ “උණක්” මේ ඇත්තියට තිබී ඇත.   
සාමාන්‍යයෙන් විවාහයෙන් පසුව බිරියට ඇහුම්කන්දීම ඇයගේ උවමනා එපාකම් ඉටු කර දීම හා සමහර විටෙක ඇයට අවනතවීමට සිදුවීම බොහෝ ස්වාමිවරුන්ට අත්වන්නා වූ ඛේදාන්තයකි. සැමියා දරදඬු ස්ථාවරයක සිටී නම් බලහත්කාරයෙන් හෝ තම සිතැඟි ඉටු කර ගැනීම බිරින්දෑවරුන්ගේ සිරිතයි.   
අැතැම් විට බිරියගේ කන්දොස්කිරියාවෙන් බේරීමට ඇයට අවනත වන ස්වාමිපුරුෂයන් වේ. මේ කුමන අන්දමට වේවා තම බිරිඳගේ ගමන් පහසුව වෙනුවෙන් හෝ දිනපතා ඇය නොදැක සිටීමේ අපහසුතාවයකින් පෙළුණු මේ කියන ඉහළ නිලදරුවා ඇයට කලට වේලාවට රාජකාරියට ගොස් ආපසු පැමිණීමට මෙම ඉන්ටසිටිය ආරම්භ කළ බවට පවතින කටකතාව මුළුමනින්ම සත්‍යයෙන් තොර බවට බැහැර කළ නොහැක්කේ එදා කැන්ඩි ඉන්ටසිටිය අතරමඟදී නතර කළ එකම නැවතුම පේරාදෙණිය දුම්රියපොළවීමයි.   
අහසින් වැටුණාක් මෙන් එකවරම කඩාපාත් වූ මෙම නව දුම්රියටත් එතෙක් කාලයක් අලුයම 5.55 ට කොළඹින් පිටත් වූ මහනුවර ශීඝ්‍රගාමිය අහෝසි කර ​පොඩි මැණිකේ උදේ රැයින්ම ඒ වෙලාවටම පිටත් කිරීම පිළිබඳවත් මුල් කාලයේදී දැඩි මගී විරෝධයක් එල්ල වූ අතර මෙසේ කළේ ඇයි ද යන්න පිළිගත හැකි හේතු ඉදිරිපත් කිරීමක් ද දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් සිදුනොවිණි. බලධාරීහු කසාය බීගත් ගොළුවන් සේ පසුවූහ. එහෙත් කාලය ගෙවීයන විට අලුත් ඉන්ටසිටියද මගීන් අතර ජනප්‍රිය වූයේ මෙම දුම්රියටම පමණක් අදාළ වූ සුවිශේෂි හේතු ගණනාවක් නිසාය. මගීන් 208 දෙනෙකුට සැප පහසු ලෙසට ගමන් කළ හැකි පළමු පන්තියේ මැදිරි පහකින් මෙම දුම්රිය සමන්විත විය.
 මෙකල මෙන් දහ ජරාව ගිනි ගණනට අලෙවි කරන ආපන ශාලා මැදිරි නොව ලංකා හෝටල් සංස්ථාව විසින් පවත්වාගෙන යන ලද සුඛෝපභෝගී ආපන ශාලාවක් ද මෙහි තිබුණි. කෑම බීම තේ කෝපිවලට අමතරව බීර හා ස්ටවුට් ආදී මත්පැන් නොවන මත් පැන් ද මෙහිදී මගීන්ට ලබා ගත හැකි විය. මේ නිසාම කැන්ඩි ඉන්ටසිටිය විදේශික සංචාරකයන් අතර ප්‍රචලිත වූ දුම්රියක් බවට පත්වීමට වැඩි කලක් ගත නොවීය.   


එසේම ගමන අතරතුර මගියෙකුගේ හදිසි අවශ්‍යතාවකදී දුම්රිය තුළ සිට බාහිර පාර්ශ්වයන් වෙත ඇමතුම් ලබා ගත හැකි දුරකථන සේවාවක් ද මෙම දුම්රිය වෙත ලබා දී තිබිණි. වලංගු ප්‍රවේශ පත්‍රයක් සතු ඕනෑම අයෙකුට දුම්රියේ නියාමකවරයා හරහා මෙම පහසුකම ලබා ගත හැකි විය.   
අද මෙන් සාක්කුවෙන් සාක්කුවට ස්මාර්ට් ජංගම දුරකථන නොවූ ඒ කාලයේ මෙම සේවාවේ වටිනාකම කොතෙක් දැයි සිතා ගැනීමටවත් නොහැක. එසේම මැදිරියෙන් මැදිරියට සවි කර තිබූ ස්පීකර් හරහා ගමන නිමවන තුරු සංගීත රස විඳ ගැනීමේ පහසුකම ද මෙම දුම්රියේ විය. බීර උගුරකින් තොලකට තෙමමින් සංගීතයට කන්දෙමින් නොඉඳුල් සොඳුරු පරිසරය සිපගෙන එන සිහිල් පවනින් ගත සනසාගෙන බිම් ගෙවල් අස්සෙන් බලන, කඩුගන්නාව කඳු නැඟ කන්ද උඩරටට ඉන්ටසිටියෙන් එදා ගිය ගමන කෙතරම් සුන්දර වන්නට ඇතිද?   


කැන්ඩි ඉන්ටර්සිටියේ තවත් විශේෂත්වයක් වූයේ ගමනට දින දහයකට පෙර මෙහි ආසන වෙන් කර ගැනීමට පහසුකම් සලසා තිබීමයි. මුල් කාලයේදී මෙම සුඛෝපභෝගී මැදිරි ඇදගෙන කඳු නැගීමට M 7 වර්ගයේ එන්ජිමක් යොදා තිබූ අතර ඒ කාලයේදී M 7 දෙපාර්තමේන්තුව සතුව තිබූ බලයෙන් අඩු එන්ජිමක් විය. ඉන්ටසිටිය වෙනත් දුම්රියන්ගෙන් වෙන් කර හඳුනාගැනීමට හා විශේෂ පෙනුමක් ලබාදීමට එන්ජිම හා මැදිරිවලට වෙනස් අන්දමක වර්ණ රටාවක් ලබා දී තිබුණි.   


දෙවන පන්තියේ මැදිරි හා සංචාරකයන් වෙනුවෙන් නැරඹුම් මැදිරියක් ඉන්ටසිටියට එකතු කරන ලද්දේ පසුකාලීනවය. එසේම ගමන යන අතරතුර මහනුවර ගමනාන්තය පෙනි පෙනී පේරාදෙණිය පමණක් නතර වී ගිමන් නිවා ගත් ඉන්ටසිටිය ගම්පහ නැවැත්වීම සිදුකරන ලද්දේ පසු කාලයකදීය. එයට ද රසවත් කතාවක් එකතු වී තිබේ.   
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ ධුරයක් දැරූ එක්තරා නිලධාරියෙකුගේ දියණියක් අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකය. මෙකී නිලධාරියා පදිංචිව සිට ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ වන අතර දියණියට දුම්රියට ගොඩවීමට ඉන්ටසිටිය ගම්පහ නතර කරවීම සිදුකර ඇත්තේ ඔහුගේ බලපෑම මතය. එතෙක් මෙතෙක් අදත් කැන්ඩි ඉන්ටසිටිය මහනුවර බලා කඳු අදින නමුත් එදා මුල් යුගයේ තිබු පහසුකම් නම් අද දක්නට නැත. අතීතය සිහිපත් කරවීමට දෝ මෙය අදටත් ගම්පහ හා පේරාදෙණිය නතර කෙරේ.   

 


සටහන හා ඡායාරූපය  
තිලක් පුෂ්පකුමාර   
තොරතුරු ලබා ගැනීමේදී උපකාර කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ නලින් අබේසිංහ මහතාට ස්තූතිය.