රූමත් සිසුවියගේ සරසවි ගමන නැවැත්වූ ‘දේව ශාපය’


 

මිහිදුම් තිරපට අහස පුරා පොළොව පුරා විහිදී පැතිරී ඈත. ඈත මෑත කඳුයාය පෙනෙන නොපෙනෙන තෙක් වියන් ඇද ඇත්තේ සීතලම වූ මීදුමයි. දේදුනු වර්ණයෙන් ගැවසීගත් ඒ දේව විමානයේ දෙවි දේවතාවෝ සමූහය පොළොවට වඩනා වූ මේ අති රමණීය දසුන සත්තකින්ම සුන්දරය. මල් සුවඳින් සුවඳවත් වූ මේ වා තලය අහසින් පොළොවට පතිත වෙන මල් වරුසා මැද සොඳුරු රූපශ්‍රීයෙන් අනූන මේ දෙවි දේවතාවෝ දේවයානාවෙන් මිදී වත්සලාගේ හදවතට ඇතුළු වූවාහ.   

හදවත නිම්නාද කරවන සුමිහිරි සංගීත හඬ මුසුව අගනේය. දෑස ඉදිරියේ මැවෙන්නා වූ රූප, ශබ්ද, හඬ දෙසවන් දෙනුවන් කුල්ම්ත් කරනා සුලුය. සුන්දර සිහිනයක් බඳු වූ ඒ සිතුවම නිරතුරුවම ඇයට කතා කරන්නට වූවාය. සත්තකින්ම සිදුවෙන්නේ කුමක්ද යන්න ඇය එනම්, වත්සලා නම් වූ අපේ කතාන්දරයේ නායිකාව දැන සිටියේ නැත. මේ ඇයගේ කතාන්දරයි.   


දේව කෝපය නිසා ඇත්තෙන්ම මිනිසුන් අසනීප වේද? දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන්, කන්නලව් කිරීමෙන් රෝග සුව කළ හැකිද? දේව හාස්කමෙන් පේන කිව හැකිද? දෙවියන්ට මිනිසුන්ගේ ශරීරවලට වැහෙන්නට නැතිනම් ආරූඪ වෙන්නට පුළුවන්ද? දෙවියන්ට මිනිසුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකිද? දෙවියන්ට මිනිසුන්ගේ විභාග සමත් කර දිය හැකිද? දේව බලයෙන් ගිනි පෑගීම, සිරුරේ කටු ගැසීම කළ හැකිද? දෙවියන් නොයෙක් වේශයෙන් මිනිසුන්ට දර්ශනය විය හැකිද? මෙම ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු දීමට ඔබට හැකිද? එය ඕනෑම අයුරකින් සිතීමට ඔබට හැකිද? නමුත් ඔබගේ එම මතය නිවැරදිද? සියල්ලම ඔබ සතුය. 


අකුරැස්ස ප‍්‍රදේශයේ එක්තරා ග‍්‍රාමයක ජීවත් වන පවුලක එකම දරුවා වූයේ වත්සලාය. අගහිඟකම්වලින් අඩුවක් නොවුණු නිවසේ දෙමාපියන් සමඟ ජීවත් වූ ඇය පාසල් ශිෂ්‍යාවක වූවාය. වත්සලා අධ්‍යාපන කටයුතුවලින් ඉතා හොඳ දක්ෂතා පෙන්වූ අතර, බොහෝ වාරවලදී ඇය පන්තියේ පළමු වැනියා ද වූවාය. මෙසේ අධ්‍යාපනයෙන් දක්ෂතා පෙන්වූ වත්සලා පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ද ඉහළම ලකුණු ගත් අතර, කොළඹ නගරයේ උසස් පාසලකට ඇතුළත් වීමට වරම් ලැබුවාය. 


අලුත් පාසලකට යොමුවීමත් සමඟ ඇය, කොළඹ ප‍්‍රදේශයේ ජීවත් වූ ඇයගේ ඥාතිවරියකගේ නිවසේ නවාතැන් ගත්තාය. නව නිවසට පැමිණීමත් සමග වත්සලාගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි තිබූ දක්ෂතාවන් ක‍්‍රමක‍්‍රමයෙන් අඩු වන්නට විය. කිසිදු කටයුත්තක් කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ඇය පාසල් ගියේද ඕනෑවට එපාවටය. හුදකලාවට ප‍්‍රිය කළ වත්සලාගේ පාසල් යාමද ක‍්‍රමයෙන් අඩුවී ගියේය. ඇය නිවසටම වී කාලය ගත කරන්නට ප‍්‍රිය කළාය. පාසලේ පැවැත්වෙන විශේෂ දවසකදී ඇය වුවමනාවෙන්ම පාසල් යාම මගහැරියාය. ගමේ සිටියදී උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නියැළුණු ඇය එක් දිනෙකවත් පාසල් නොගොස් මගහැර සිටියේ නැත. නිවසට පැමිණියද පොතපතේම යෙදී සිටි ඇය ඕනෑම දෙයකට ඉදිරිපත් වෙන, දක්ෂතා පෙන්වන ශිෂ්‍යාවක වුවද ඥාති නිවසට පැමිණි දා සිටම කිසිඳු දෙයකට උනන්දුවක් නොදැක්වූවාය. ඥාති නිවසට යම් පිටස්තර පුද්ගලයෙකු පැමිණි විට ඒ අසලකටවත් නොපැමිණෙන ඇය තම කාමරයටම වී සිටීමට වගබලා ගත්තාය. 


මෙසේ අමුත්තන් පැමිණෙන අවස්ථාවලදී මෙන්ම බොහෝ දෙනා ගැවසෙන අවස්ථාවකට සහභාගි වීමට සිදුවුවහොත් අසනීපයක් කියා නිවසේ නතර වී හුදකලාව ඇය තම කාමරයට වී සිටියාය. එන්න එන්නම මුළුගැන්වෙන ස්වභාවයක් වත්සලාගෙන් දිස්විය. මෙම වෙනස්වීම හොඳින් වටහාගත් වත්සලාගේ ඥාතිවරිය එනම් වත්සලාගේ පියාගේ නැගණිය මේ බව වත්සලාගේ පියාට දැනුම් දුන්නාය. 


තම දියණියට කුමක් සිදුවීදැයි බැලීමට වත්සලාගේ දෙමාපියන් ගමේ සිට වත්සලාගේ නැන්දණියගේ නිවසට පැමිණියෝය. තම දියණිය වෙතින් පෙර දැකපු ප‍්‍රසන්න බව ගිලිහී ගොස් ඇති බව දෙමාපියන්ට වැටහුණි. ඇයගේ ක‍්‍රියාකාරකම්වලද විශාල වෙනසක් දෙමාපියන්ටද තේරුම් ගිය බැවින් ඔවුහු ද ටික කාලයකට මෙම නිවසේ නතරවීමට සිතා ගත්හ. ඉතා දුප්පත්, උගත්කමින් අඩු වත්සලාගේ දෙමාපියන් හට ඇයව වෛද්‍යවරයෙකු කරා යොමු කිරීමට තරම් දැනුමක් නොවිණ. තමන්ද දැන් දියණියත් සමඟ මෙහි නතර වී සිටින බැවින් කෙමෙන් කෙමෙන් ඇයගේ මෙම ගති ලක්ෂණ වෙනස් වේ යැයි වත්සලාගේ දෙමාපියෝ සිතූහ. 


මෙසේ කාලය ගෙවී ඇය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දවසද උදා විය. අනෙක් ගැටලු එලෙසම තිබුණද ඇය විභාගය නම් අත්හළේ නැත. ඇය සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූවාය. කලා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට යොමු වූ ඇය පාසල් යාම හෝ පන්ති යාම කළේ ඉතාමත් අකමැත්තෙනි. නමුදු දෙමාපියන් තමන් නිසා සිත් රිදවා ගනී යන මතය නිසා ඇය අකමැත්තෙන් වුවද දිනපතා පන්ති ගියාය. උසස් පෙළ විභාගයෙන්ද විශිෂ්ට ප‍්‍රතිඵල ලැබූ වත්සලා ගැන දෙමාපියන්ට ඇති වූයේ ආඩම්බරයකි. තම දියණියගේ ක‍්‍රියාකාරකම්වල වෙනසක් දුටු හෙයින් ඇය මෙසේ විභාගයෙන් සමත් වේවි යැයි ඔවුන් සිතුවේ නැත. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ කෙදිනක හෝ තම දියණිය නීතීඥවරියක වනු දැකීමය. ඒ සඳහා ඉතා හොඳ ප‍්‍රතිඵල තිබුණද වත්සලා දෙමාපියන්ට පැවසුවේ විශ්ව විද්‍යාලයට යාමට ඇගේ කැමැත්තක් නොමැති බවය. 
“මොකද පුතේ ඔයාට වෙලා තියෙන්නේ. ඇයි විශ්ව විද්‍යාලයට යන්න බෑ කියන්නේ.” දෙමාපියන් කොතෙකුත් ප‍්‍රශ්න කළද වත්සලා ඔවුන් සමඟ ගැටුම් ඇති කරගෙන තම මතයේම සිටියාය. 


ගුරුවරුන් හා වැඩිහිටියන් මාර්ගයෙන් ඇයව විශ්ව විද්‍යාලයට යැවීමට කොතෙකුත් උත්සාහ දැරුවද වත්සලාගේ මතය වෙනස් වෙන බවක් දක්නට නොවීය. මුලින් මුලින් ඇය විශ්ව විද්‍යාලයට යාමට අකමැති හේතුව නොකීවද පහුවෙන විට ඇය දෙමාපියන්ට කීවේ ‘‘මම කැම්පස් යන්න බයයි’’ යනුවෙනි. වත්සලාගේ දෙමාපියන් හා නැන්දණියද ඇය විශ්ව විද්‍යාලයට යාමට කැමැති කරවා ගැනීමට නොහැකි වූ බැවින් ගුරුවරු මාර්ගයෙන් ඇයගේ සිත වෙනස් කිරීමට උත්සාහ ගත් අතර, ගුරුවරුන් කියා සිටියේ වත්සලාව මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසටය. 


‘‘අපේ දරුවට පිස්සු හැදිලා නැහැනෙ මනෝ වෛද්‍යවරුන්ට පෙන්නන්න. ඔය පිස්සු බෙහෙත් බිව්වොත් කවදාහරි මගේ කෙල්ලට යන කලදසාවක් නැතිවෙයි” පැවසූ වත්සලාගේ දෙමාපියන් එම යෝජනාව තරයේම ප‍්‍රතික්ෂේප කළහ. 


වත්සලාගේ තීරණයේද කිසිඳු වෙනසක් නොමැති හෙයින් ඇයගේ කේන්දරය බැලීමට දෙමාපියන් සිතා ගත්හ. ඒ සඳහා ඉතා හොඳ ජ්‍යෝතිෂවේදියෙකු කරා ගියා. දෙමාපියන් තම දියණියගේ තතු පැහැදිලි කර සිටියහ. ‘‘මේ කේන්දරයේ කිසිදු අපලයක් පේන්න නැහැ. දරුවා වෛද්‍යවරයෙකුට පෙන්නුවොත් හොඳයි” වත්සලාගේ කේන්දරය පරීක්ෂා කර බැලූ ජ්‍යොතිෂකරු කීවේය. 


‘‘මේ මනුස්සයටත් පිස්සුද කොහෙද. මගෙ දුවව දොස්තර කෙනෙක්ට පෙන්නන්න ලෙඩක් තියෙනවැයි” කියමින් වත්සලාගේ පියා ජ්‍යෝතිෂකරුට සිතින් බැනවදිමින් තම බිරිඳ හා නිවස කරා පැමිණියේය. 


‘‘කොහෙන්වත් සහනයක් නැහැනේ. මොකක්ද මේකට කරන්නේ දැන්” වත්සලාගේ මවත් පියාත් අවසානයේදී ශාස්ත‍්‍රකරුවෙකු මුණගැසීමට තීරණය කළෝය. ‘‘මට නම් බෑ ඕවට එන්න” යනුවෙන් වත්සලා ගමන ප‍්‍රතික්ෂේප කළාය. පසුව මව හා පියා ශාස්ත‍්‍රකරු වෙත ගොස් තමන් පැමිණි කාරණය කීහ. 

 

දේව කෝපය නිසා ඇත්තෙන්ම මිනිසුන් අසනීප වේද? දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන්, කන්නලව් කිරීමෙන් රෝග සුව කළ හැකිද? දේව හාස්කමෙන් පේන කිව හැකිද? දෙවියන්ට මිනිසුන්ගේ ශරීරවලට වැහෙන්නට නැතිනම් ආරූඪ වෙන්නට පුළුවන්ද? දෙවියන්ට මිනිසුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකිද? දෙවියන්ට මිනිසුන්ගේ විභාග සමත් කර දිය හැකිද? දේව බලයෙන් ගිනි පෑගීම, සිරුරේ කටු ගැසීම කළ හැකිද? දෙවියන් නොයෙක් වේශයෙන් මිනිසුන්ට දර්ශනය විය හැකිද? මෙම ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු දීමට ඔබට හැකිද? එය ඕනෑම අයුරකින් සිතීමට ඔබට හැකිද? නමුත් ඔබගේ එම මතය නිවැරදිද? සියල්ලම ඔබ සතුය. 

 

 


ශාස්ත‍්‍රකරු සියල්ල හොඳින් අසා සිට දෙවියන්ට වත්පිළිවෙත් කර අවසානයේදී ‘‘ඔය දරුවන්ට දේව කෝපයක් තියෙනවා. දෙවියන්ට බාර වුණු දෙයක් හරියට ඔප්පු කරලා නැහැ” කීය. ‘‘ඔව්. ඒක වෙන්න පුළුවන්. ඒත් අපි හිතලා එහෙම දෙයක් කරලා නැහැ. ඒත් අමතක වීමකින් එහෙම වුණාද දන්නෙ නැහැ” 


වත්සලාගේ මව ශාස්ත‍්‍රකරුට පවසන්නට විය. ‘‘ඒකට දෙවියො කෝප වෙලා. ඒකයි මේ දැරිවිගේ පිටින් ගිහින් තියෙන්නෙ. මේක මගහැරලා දෙන්න ඕනෑ නම් දේව තොවිලයක් හා පූජාවක් තියලා අහවර කරගන්න වෙයි” ශාස්ත‍්‍රකරු කීවේය. ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරගත් වත්සලාගේ මවත් පියාත් නිවසට පැමිණියහ. දේව තොවිලයට හා පූජාවට දිනය උදාවිය. 


‘‘එක එක මිනිස්සු කියපු විදියට දොස්තරලා ළඟට ගියානම් මොකක් වෙයිද?” කියමින් වත්සලාගේ දෙමාපියන් දේව තොවිලයට හා පූජාවට රුපියල් තිස්දහසක මුදලක් ද සූදානම් කරගෙන අවශ්‍ය කළමනාද ලැහැස්ති කරගෙන දේව තොවිලය සිදුකෙරිණි. ‘‘දැන් ඉතින් දේව කෝපය අවසන්. ඔන්න දැන් මගෙ වැඩේ අහවරයි” ශාස්ත‍්‍රකරු උජාරුවෙන් කීවේය. සියල්ල සිදු කර අවසන් වූ පසු නිවසට පැමිණි දෙමාපියන්ට වත්සලා කීවේ ‘‘මම විශ්ව විද්‍යාලයට යන්න බයයි” යනුවෙනි. 


තත්ත්වය මෙලෙස සිදුවීත් දෙමාපියන් දේවාල කරා යාම අත්හළේ නැත. ආර්ථික අගහිඟකම් වලින් පිරිපුන් පවුලක් වූ මොවුහු මේ නිසාම පොලියට ද මුදල් ගත්හ. හොඳ දේවාලයක් තියෙනවා. හොඳ කපු මහත්තයෙක් ඉන්නවා යනුවෙන් ආරංචියක් ලැබුණු වහාම කෙසේ හෝ ණයට මුදල් සොයාගෙන දේවාල කරා යාම වත්සලාගේ දෙමාපියන්ගේ දින චර්යාවේ කොටසක් බවට පත්විය. නමුත් ගැටලුව එලෙසමය. 


විශ්ව විද්‍යාලයට යන දිනය ද ළං වේ. නමුත් වත්සලා පවසන්නේ කොහෙත්ම නොයන බවයි. දෙමාපියන්ටද දැන් දේවාල පසුපස ගොස් එපා වී ඇත. මොවුන්ගේ ක‍්‍රියාකලාපය තවත් නොඉවසූ වත්සලාගේ මාමා කෙනෙකු ‘‘ඔය දරුවව දැන්වත් දොස්තර කෙනෙකුට පෙන්නපල්ලා ඔය මනස්ගාත අතහැරලා” තදින්ම කියා සිටියේය. ‘‘ඒකවත් කරලා බලමු එහෙනම්” වත්සලාගේ පියා තීරණය කළේය. 


ශ‍්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත එලෙස මෙම ගැටලුව යොමු කෙරිණි. විස්තර සියල්ල විමසා බැලූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වත්සලාට අවශ්‍ය මනෝ ප‍්‍රතිකාර ලබාදුනි. මනෝ ප‍්‍රතිකාරවලින් පසු ඇයගේ විශ්ව විද්‍යාලයට යාමට පැවති බිය ඇගේ සිතෙන් තුරන් විය. වත්සලාගේ තත්ත්වය සුභ අතට හැරුණු අතර, ඇය මේ වනවිට නීති ශිෂ්‍යාවකි. මෙහිදී වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා සිද්ධිය මෙසේ විස්තර කළේය. 


මිනිසුන්ට සෑදෙන සුළු මානසික රෝග අතරින් එකක් තමයි භීතිකා කියන්නේ. මෙහිදී සමහර පුද්ගලයින් ඇතැම් දේට අසාමාන්‍ය බියක් පෙන්නනවා. මෙම භීතිකා අති විශාල සංඛ්‍යාවක් තිබෙනවා. උදාහරණ ලෙස සමහරුන් පිරිසක් ඉදිරියට යන්නට බයයි. තවත් සමහරුන් විභාගවලට බයයි. ලේ දකින්නට බයයි. ඒ වගේම උස් ස්ථානවලට නැගීමට බිය, කුරුමිණියන්, කුහුඹින් වැනි සතුන්ට බිය, විවාහයට බිය, ලිංගික ඇසුරට බිය, වතුරට බිය, අඳුරට බිය, වහපු කාමරවල සිටීමට බිය, කැරපොත්තන්, හූනන්, මකුළුවන්, හැකරැල්ලන් වැනි සතුන්ට බිය, බල්ලන්ට බිය, ගින්දරවලට බිය, මළමිනීවලට බිය, සුළඟට බිය, වැස්සට බිය, පිරිමින්ට බිය, ස්ත‍්‍රීන්ට බිය, අකුණු ගසනවාට ඇති බිය, පුළුන්වලට බිය, නොයෙක් වර්ණවලට බිය, වාහනවල යාමට බිය, තනිව සිටීමට බිය, වේදිකාවල කතා කිරීමට බිය ආදී බොහෝ දේ තිබෙනවා. 


මෙහිදී යමෙක් සාමාන්‍ය දේට බියවීම භීතිකා ලෙස නොසලකයි. උදාහරණයක් ලෙස යමකු සර්පයින්ට බියවීම, තමන්ට කවුරුහරි කෙනෙක් වෙඩි තියන්නට එළවුවහොත් ඊට බියක් දැක්වීම වැනි දේ සාමාන්‍ය බියයි. නමුත් බිය නොවිය යුතු දේවලට අසාමාන්‍ය ලෙස බියක් දැක්වීම රෝගී තත්ත්වයක්. මේවා මනෝ ප‍්‍රතිකාර මගින් සුව කළ හැකි බව බොහෝ දෙනා දන්නෙ නැහැ. ඒ නිසා පීඩා විඳිමින් ජීවත් වෙනවා. වත්සලාගේ තත්ත්වයද එවැන්නක්. ඇය සබකෝලය නැතහොත් සමාජ භීතිකාවෙන් පෙළී සිට ඇත. ඒ වගේම පාසල් යාමට අකමැත්තක් තිබූ අතර, වැඩි වශයෙන්ම ඇයට බලපෑවේ සබකෝලයයි. එම නිසා ඇයට මිනිසුන් ඉදිරියේ කතා කිරීමට බය, අපහසුව, වෙව්ලීම වැනි තත්ත්වයන් ඇති වී තිබෙනවා. විශ්ව විද්‍යාලයට යාමේදී එහි ගොස් අන් අය සමඟ මුසුවීමට හා එම අවස්ථාවන්ට මුහුණදීමට ඇති බිය නිසා ඇය විශ්ව විද්‍යාලයට යාම ප‍්‍රතික්ෂේප කළා. විශේෂයෙන් සබකෝලයෙන් පෙළෙන්නෙකු තුළ පහත ලක්ෂණ තිබිය හැකියි. එනම්, 


පිරිසක් ඉදිරියට යාමට බිය, පිරිසක් ඉදිරියේ කතා කිරීමට බිය, අනෙක් අය තමා දෙස බලා සිටියි යන බිය, අන් අය ඉදිරියේ කතා කිරීමේදී වෙව්ලීම, අන් අය දකින විට දහඩිය දැමීම, හෘද ස්පන්දනය වැඩිවීම, තොල කට වේලීම, වචන පැටලීම, අන් අය බලා සිටින විට ලිවීමට බැරිවීම, ඔවුන් තමාට හිනාවේයැයි සිතීම, තමන් ගැන ඇති හීනමානය හෝ අවතක්සේරුව ආදී බොහෝ කරුණු තිබිය හැකියි. 


මෙවන් කරුණු නිසා ඔවුන් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු අවුල් කරගනී. මෙම තත්ත්වයට නිසි ප‍්‍රතිකාර කිරීමෙන් මෙම භීතිකා තත්ත්වයන් සුව කළ හැකියි. 


මේක මගේ කරුමය, පූරුවේ අකුසල්, මේක මගේ අපල කාලයක්, හතුරෙක් කරපු අණවින, කොඩිවිනයක්, ගෙදර දෝෂයක්, දේව කෝපයක්, අමනුෂ්‍ය බලපෑමක් ආදී අසුභවාදී සිතුවිලිවල නොරැඳී නිසි විසඳුම් ලබාගැනීමෙන් ජීවිතයේ සතුට, සැහැල්ලුව, නිරෝගී බව වැඩිකර ගත හැකි බව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා තවදුරටත් පහදා දුනි. 


මෙහිදී දෙවියන්ට හා කිසිදු දේව සංකල්ප ගැන කියවෙන ආගම්වලට කිසිඳු අවමානයක් නොකරන බවත්, තමාට වැළඳෙන රෝගවලට හේතුව පවා දෙවියන් පිට පැවරීම වැරදි බවත් පැහැදිලි කළ යුතුයි යනුවෙන් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පවසයි. 


මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්ෂණ සංගමය සතුව ඇති අතර, සත්‍ය සිදුවීමකි. 

 

 

 

 


සටහන- 
හබරාදූව නිමල් අල්ගෙවත්ත