රූපවාහිනී තිරයෙන් පෙරභවය දුටු දරුවෙක්


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

 

දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන දියණියට නම් දී තිබුණේ අන්ජලා යනුවෙනි. ඇය අධ්‍යාපනය ලබමින් සිටියේ පළමු වසරේය. ඇගේ වැඩිමහල් සොයුරියද අධ්‍යාපනය ලැබුවේ එම පාසලේය. දියණියන් දෙදෙනා ආරක්ෂා සහිතව පාසල් කැඳවාගෙන යාම මව බාරගෙන තිබිණි. බාල දියණියට මවගේ දැඩි ආදරය හිමිවී තිබු අතර ඇයද මවට අසීමිත ආදරයකින් පසු වූවාය.   


එද‌ා 1960 ජූලි අට වැනිදාය. දියණියන් දෙදෙනා පාසලේ සිට නැවත නිවස වෙත කැඳවාගෙන ඒමට මව සමග මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියහ. දියණියන් දෙදෙනා පාර මාරුවීමට මාර්ගය හරහා ගමන් ගත්හ. ඔවුන්ට සිදුවූයේ බලාපොරොත්තු නොවූ අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවීමටය. පාර හරහා ගමන් ගත් බාල දියණිය මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක ගැටුණාය. ඒ වනවිට හත්වන වියේ පසුවූ සිඟිති දියණිය බරපතළ තුවාල සහිතව මාර්ගයේ ඇදවැටුණි. ඇය වහා රෝහල් ගත කළ නමුත් ඒ වන විටත් ඇය ජීවිතයෙන් සමුගෙන තිබිණි.   
දියණියගේ මරණය සිදුවූයේ තම නොසැලකිල්ල නිසා යයි මව දැඩි ලෙස ශෝකයට පත්වූවාය. ඇයටම ඇය සාපකර ගනිමින් හඬනගා අඬන්නට වූයේ දුටුවන්ද දැඩි කම්පනයට පත් කරවමිනි. මවගේ දැඩි ආදරය හිමිව සිටි සිඟිති දියණියගේ වියෝව විඳ දරාගත නොහැකි වූ මව මහත් විලාපදෙමින් හඬන්නට වීම දින ගණනාවක්ම පැවතිණි. දියණිය ඇයට දැක්වූ අසීමිත ආදරය සිහිපත්වන මොහොතක් පාසා මව දැඩි ශෝකයට පත්වූවාය.   
අන් දරුවන්ට වඩා ඇය මවගේ තුරුලේ සිටීමටත් අස්වාභාවික ලෙස ඇතැම් වදන් ප්‍රකාශ කිරීමටත් ඇය පුරුදුව සිටියාය. වරක් මව ඇමතූ දැරිය ඇයට පිරිමි භවයක් ලැබුණේ නම් හොඳ යයිද පවසා තිබිණි. ඒ සියලු වදන් සිහිවන විට මවට මියගිය දියණිය කෙ​සේවත් අමතක කළ නොහැකිවීය. ව්‍යාකූල සිත සනසා ගැනීමට මව නිතර නිතර ආගමික වැඩසටහන්වලටද සහභාගි වීම සිරිත විය.   


වසරක් පමණ ගතවිය. ඇය දරුවෙකු පිළිසිඳ ගෙන ඇති බැව් මවට දැනෙන්නට විය. දරු ගැබට මාස හතක් පමණ විය. නිදියහනේ සිටි මවට දිනක් තම මියගිය දියණිය සිහිනෙන් දක්නට ලැබිණි. තම සිතේ දියණිය පිළිබඳව පවතින දැඩි සෙනෙහස නිසා ඇයට සිහිනෙන් දක්නට ලැබුණේ යයි මව සිතුවාය. දරු ගැබට මාස නවය පිරීමත් සමග ඇය දරුවෙකු මෙලොවට බිහිකළාය.   
එම දරුවා පිරිමි දරුවෙකු විය. ඔහු උපත ලැබුවේ 1962 අගෝස්තු මාසයේදීය. එම දරුවාට වයස අවුරුද්දක් පමණ ගතවිය. දිනක් මව තුරුලේ සිටි දරුවාද සමගින් රූපවාහිනිය නරඹමින් සිටියාය.   
රුපවාහිනී තිරයේ මෝටර් රථයක් ධාවනය කරන දර්ශනයක් ඇතුළත් විය. එය ධාවනය වන අතර දරුවෙකු පාර මාරුවන අයුරු තිරයේ දිස්විය. එම දර්ශනය දුටු සැණින් මව තුරුලේ සිටි දරුවා දැඩි ලෙස කලබලවිය. ‘‘අනේ අනේ එපා එපා’’ යැයි බියට පත්ව කෑගසන්නට විය. තම පුත්‍රයාගේ මෙම හැසිරීම් රටාව මවට බලවත් ගැටලුවක් විය, එ් වන විට ඔහුට හරි හැටි වචන උචාරණය කිරීමටද නොහැකිව තිබිණි.   
තවත් මාස කීපයක් ගතවිණි. වරක් මව ඇමතු දරුවා ‘අනේ අම්මේ එදා ඔයා හරියට ඇඬුවා. අම්මා හොඳටම ඇඩුවානේද’’ යි විමසුවාය. මවගේ මුහුණ බලමින් එසේ විමසීම නිතර නිතර සිදුවිය.   
තවත් දිනක් මම අනෙක් දියණියද සමග සිඟිති පුත්‍රයා සමගින් මහාමාර්ගයේ ගමන් කරමින් සිටියාය. එක්වරම ඔවුන් පසුකර ගිය මෝටර් රථයක් දුටු සැණින් දරුවා බියට පත්විය.   
‘අඩන්න එපා අම්මේ, අඬන්න එපා’’ යයි ඔහු නැවත ප්‍රකාශ කළේය. දරුවාගේ මෙම ප්‍රකාශය පිළිබඳව මම දැඩි අවධානයක් යොමු කළාය. එහෙත් තම පුත්‍රයා පෙරභවයක තොරතුරු හෙළි කරන්නේ යැයි මවට අවබෝධයක් නොවීය. මේ අතර තම පුත්‍රයාගේ හැසිරීම් රටාව තුළින් කිසියම් වෙනස් බවක් ඇති බැව් මවට දක්නට ලැබිණි. දිනක් ඔහු අධ්‍යාපනය ලබන පාසලේ පන්තියේ ගුරුවරියගෙන් මවට කැඳවීමක් කර තිබිණි.   
මව හමුවූ ගුරුවරිය පැවසුවේ පුත්‍රයා පිරිමි දරුවෙකු වුවත් ඔහුගේ හැසිරීම් රටාව ගැහැනු දරුවෙකු ලෙස දන්නට ඇති බවය. හැකිනම් ඔහු මනෝ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන ලෙසද ගුරුවරයා මවට උපදෙස් දුන්නාය. දරුවාගේ භාෂා විලාසයද පිරිමි දරුවෙකුට වඩා ගැහැනු දරුවෙකුගේ විලාසය විදහා දක්වන බවද ගුරුවරිය දැනුම්දුන්නාය. මෙම හැසිරීම් රටාව නතර කරවීමේ අදහසින් දිනක් ගුරුවරිය දරුවා ඇමතුවාය.   


‘‘ඔයා පිරිමි දරුවෙක්, ගැහැනු දරුවෙක් නොවෙයිනේ’’ යනුවෙන් පැවසුවාය. එයට ක්ෂණයෙන් පිළිතුරු දුන් දරුවා ‘‘නැහැ මම ගැහැනු ළමයෙක්’’ යැයි කීවේ ගුරුවරිය පුදුමයට පත්කරවමිනි. මේ අතර දිනක් නිවසේදී දක්නට ලැබුණෙ එම දරුවාගේ පෙරභවය පිළිබඳව ප්‍රබල සාක්කියක් ඉදිරිපත්වීමේ සිදුවීමකි.   
දෙමාපියන් හොඳින් ඇසුරු කළ මවක් සිය පාසල් සිසුවකු සමගින් ඔවුන්ගේ නිවසට පැමිණියාය. එම මව සමග පැමිණි සිසුවා දුටු දරුවා ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීය.   
‘‘ඔයාගේ ලී අශ්වයා තාම තියෙනවාද?’’ එම ප්‍රශ්නය විය. එම විමසීම මවුවරුන් දෙදෙනාට මෙන්ම සිසුවාටද ඇදහිය නොහැකි විය. පෙර භවයේ මිතුරෙකුව සිටි පාසල් සිසුවාට කුඩා කලදී සෙල්ලම් ලී අශ්වයෙක් තිබුණේය. ඒ බැව් දැන සිටියේ එම දරුවන් දෙදෙනා පමණි. දෙමාපියන්ටද එය සිහිපත් කරන තුරු මතකයට නොනැගිණි.   
ලී අශ්වයා කෙබඳු දැයි ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා ඔහුගෙන් විමසීය. එය ලී වලින් සාදා තිබුණත් රෝද සවිකර තිබු බවත් වලිගයට අශ්ව කෙඳි යොදා තිබූ බවත් ඔහු විස්තර කළේ එහි සිටි අය මවිතයට පත්කරවමිනි.   
මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණය මෙහෙවීමේදීද එම සිදුවීම අතිශය ප්‍රබල සිදුවීමක් ලෙස පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත් කර තිබේ. ඒ බැව් එහි සඳහන්වන්නේ,   
''THE WOODEN HORSE. HE REMEMBERED IT AS BEING MADE OF WOOD, HAVING REINS AND A TAIL MADE OF REAL HAIR IT WAS NOT A ROCKING HORSE BUT HAD WHEELS'' යනුවෙනි.   


තම පුත්‍රයා මියගිය දියණියගේ යළි උපත ලෙස පිළිගැනීමට දෛමාපියන්ට සාධාරණ සාක්කි ඉදිරිපත් වී තිබිණි. ඔහු පෙරභවය පිළිබඳව කළ ප්‍රකාශ අතරින් පෙරභව සිදුවීම් හෙළිකිරීම විශේෂත්වයක් විය. පෙරභව නම් ගම් හෙළි නොවූ නමුත් හැසිරීම් රටාව මගින් සහ මිය ගිය දැරියගේ ගති සිරිත් විදහා දක්වීම ප්‍රබල සාක්කි බවට පත්වී තිබිණි.   
කුඩා කල සිට මෝටර් රථවල තිරිංග හඬක් ඇසුන විටද ඔහු බියපත් වූ බැව් මේ පිළිබඳව සිදුකළ පර්​ෙ‌ය්ෂණයේදී දරුවාගේ මව ප්‍රකාශ කර තිබිණි. එම බියපත්වීම සිදුවන්නේ වේගයෙන් ගමන් කරන රථයක් තදබල තිරිංග හඬක් ඇසුණ විටදීය.   
කුඩා කලදී ඔහු කළ ප්‍රකාශ අතර යළි පොළොව මත ඉපදීමට හැකියාව ඇති බවද වරක් මව සමග පවසා තිබේ. මෙම දරුවා වයස අවුරුදු තුනේදී මව මවිතයට පත් කළ තවත් සිදුවීමක් මෙම පුනර්භව සාධකයට ඇතුළත් වී තිබේ. දිනක් මව මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටියාය. නිවසේ වෙනත් කාමරයක තිබූ රෙදි මහන මැෂිම ක්‍රියාත්මක වන හඬ මවට ඇසුණි. මව වහා එහි දුව ගියාය. මවට දක්නට ලැබුණේ මැෂිම ක්‍රියා කරවමින් සිටි තම පුත්‍රයාය.   
‘‘ඔයාට මැෂිම වැඩ කරන්න බැහැ ඉඳකටු ඇනෙයි’’ යනුවෙන් මව දරුවාට උපදෙස් දී එය නතර කරවීමට උත්සාහ කළාය. එයට පිළිතුරු දුන් දරුවා ‘‘මට පුළුවන් මට පුළුවන් මම මහල තියෙනවා’’ යයි පැවසීය.   


ඉන් නොනැවතුණු ඔහු මැෂිමේ ඉදිකටු මාරුකරන අයුරුද ක්‍රියාත්මක කර පෙන්වූයේ මව පුදුමයට පත්කරවමිනි. මේ පිළිබඳව මව ප්‍රකාශ කළේ මියගිය දියණියට මහන මැෂිම ක්‍රියා කරවීමට ඇය මියයන වයසේ සිටියදී හැකියාව තිබූ බවය.   
හැසිරීම් රටාව තුළින් පෙරභව ප්‍රබල සාක්කි ඉදිරිපිත් වූ පුනර්භව සාධකයක් ලෙස මෙම දරුවාගේ සිදුවීම පර්​ෙ‌ය්ෂණවලට ඇතුළත් වී තිබේ. 1970 වසරේදී පර්​ෙ‌ය්ෂණ සිදුකළ මෙම දරුවාගේ කතා පුවත.   
(INVESTIGATED CASES FROM THE SECOND HALF OF THE 20TH CENTURY) යටතේ පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ.   

 


තිස්ස ජයවර්ධන