රූපලාවන්‍යශිල්පියාට පහරදී ඝාතනය කළ හැටි


 

 

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු ද කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවකු හා තරුණයන් දෙදෙනකු ද සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වූයේ රූපලාවන්‍යාගාරයක කළමනාකාරවරයකුට පහරදී ඝාතනය කිරීම හා රූපලාවන්‍ය ශිල්පිනියකට පහරදීම සම්බන්ධයෙනි.   


මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙන ගන්නා සිසුන් දෙදෙනා ද කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙන ගන්නා සිසුවා ද මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිතව සිටි 17 හැවිරිදි වියේ පසුවන්නෝය.  


අනෙක් දෙදෙනා පසුගිය වසරේ අ.​ෙපා.ස. උසස් පෙළ විභාගයට ලියා ඇති 24 හැවිරිදි වියේ පසුවන තරුණයන් දෙදෙනෙකි.  


එක් සිසුවෙක් හැරෙන්නට අනික් සිවුදෙනාම සමීපතම ඥාතීහුය.   


පහරකෑමට ලක්ව මිය ගොස් ඇත්තේ කොම්පඤ්ඤවීදිය, ස්ටැපල් වීදියේ පිහිටා තිබෙන රූපලාවන්‍ය ආයතනයක කළමනාකාරවරයෙක් ලෙස සේවය කළ පයාගල හල්කඳවිල පදිංචිව සිටි නිමල් අතගියක්දෙනිගේ (47) නමැති තිදරු පියෙකි.  


පහරකෑමට ලක්වූ බව කියමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන්නේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අවිවාහක රූපලාවන්‍ය ශිල්පිනියක වන්නීය.  
මහනුවර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි පාසල් සිසුවෙක් ඒ පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුවෙක් සමඟ පසුගිය 10 වැනිද‌ා කෝච්චියෙන් කොළඹ ආවේ නිවාඩු කාලය කෙළිදෙළෙන් ගත කිරීමට සිතාගෙනය.  


මිතුරා ද කැටිව කොළඹ ආ සිසුවා පාසල් යන්නේ ඔහුගේ පියාගේ මවගේ නිවසේ සිටය.  


ඔහුගේ පියා රට රැකියාවකට ගොස් ඇති අතර මව සිටින්නේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේය.  


මවත් සමඟ ඔහුගේ සහෝදරියන් දෙදෙනා ද කොම්පඤ්ඤවීදියේ පදිංචිව සිටිමින් පාසල් යති.  


මහනුවර සිට කැටුව ආ මිතුරා ද ඔහුගේ සමීපතම ඥාති සහෝදරයන් තිදෙනා ද කැටුව ගෝල්​ෙෆ්ස් එකට යන්නේ විනෝදවීමටය.  


ඒ යන විට මහනුවර සිට ආ සිසුවා ඔහුගේ වැඩිමල් සහෝදරිය ද කැටිව ගොස් ඇත.  


ඒ පසුගිය 10 වැනිදා සවස් යාමයේය.  


රෑ බෝවන තෙක් ඇති තරම් ගෝල්​ෙෆ්ස් පිට්ටනියේ විනෝද වූ පසු පස් හයදෙනා කොම්පඤ්ඤවීදියේ නිවසට පැමිණ ඇත.  


රෑට කෑමට රෙස්ටුරන්ට් එකකට යාමට එක් සිසුවෙක් යෝජනා කළ නිසා පස්දෙනාම නිවසින් පිටත්ව ගොස් ඇත.  


රූපලාවන්‍ය ශිල්පිනිය හා නිමල් ත්‍රිරෝද රථයකින් කොම්පඤ්ඤවීදිය ස්ටෙපල්ස් වීදියේ පිහිටා තිබෙන රූපලාවන්‍යාගාරයට 11 වැනිදා අලුයම කාලයේ ආවේ කුලී ත්‍රිරෝද රථයකිනි.  


ඒ නිමල්ගේ එහි තිබෙන ඇඳුම් බෑගයක් රැගෙන යාමටය.  


ත්‍රිරෝද රථයේ සිටි තරුණියට තරුණයන් පස්දෙනා යම් යම් දේ කියමින් උසුළු විසුළු කරමින් අඩන්තේට්ටම් කිරීම නිසා ඔවුන් හා බහින්බස් වීමකට නිමල් පැටලී ඇත.  
මේ බහින්බස් වීම කෙළවර වූයේ නිමල් තරුණයන් පස්දෙනා අතින් හොඳටම ගුටිකෑමෙන් පසුවය.  


රූපලාවන්‍යාගාරයේ කළමනාකාර නිමල්ට හොඳ හැටි පහර දුන් බව කියන තරුණයන් පස්දෙනා දිව යද්දී නිමල් හා ඔහුත් සමග ආ රූපලාවන්‍ය ශිල්පිනිය ත්‍රිරෝද රථ රියැදුරාට කියා ඇත්තේ පැන යන තරුණයන් පසුපස පන්නා යන ලෙසය.  


ත්‍රිරෝද රථ රියැදුරාද ඔවුන්ගේ කීමට අවනත වෙමින් පළා යමින් සිටි තරුණයන් පසුපස හඹා ගියේය.


මුත්තයියා පාරේ දී තරුණයන් පස්දෙනා කොටුකරගත් අතර එහිදී ද තරුණයන් පස්දෙනා නිමල්ට හොඳ හැටි පහර දී ඇත.  


පහර කා ඇදවැටුණු පසු ද නිමල් නමැත්තාට පා පහර ද එල්ල කර ඔවුන් සමග සිටි තරුණියට ද (රූපලාවන්‍ය ශිල්පිනිය) පහර කිහිපයක් එල්ලකර තරුණයන් පස්දෙනා යළි පළා ගොස් තිබේ.  


රූපලාවන්‍ය ශිල්පිනිය කෑගසමින් සිටියදී රාත්‍රියේ ජංගම සංචාරයේ යෙදුණු ගුවන් හමුද‌ාවේ නිලධාරීන් කණ්ඩායමක් කැබ් රථයකින් සිද්ධිය වූ ස්ථානය පසුකරගෙන යාමට ගොස් ඇත.  


රූපලාවන්‍ය ශිල්පිනිය එම කැබ් රථය නතර කරගෙන සිද්ධිය ඔවුන්ට දැනුම් දී ඇත.   


පළා යමින් සිටි තරුණයන් පස්දෙනාම ගුවන් භට කණ්ඩායම අල්ලාගෙන ඇත්තේ යුනියන් පෙදෙසේදීය.  


අල්ලාගත් පස්දෙනාව ගුවන් හමුදා නිලධාරීන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට බාර දීමෙන් පසු පොලිසිය ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  


“මම කාලයක් නිමල් කළමනාකාරවරයා වශයෙන් සේවය කරන රූපලාවන්‍යාගාරයේ රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස සේවය කර තිබෙනවා. දැන් මා එහි සේවය කරන්නේ නැහැ. නිමල් එක්ක මම ගෝල්​ෙෆ්ස් පිට්ටනිය කිට්ටුව තියෙන රෙස්ටුරන්ට් එකකට එද‌ා රෑ ගියා. වොඩ්කා බෝතලයක් අපි දෙන්නා මුලින්ම බිව්වා. ඊට පස්සේ බියර් බෝතල් දෙකක් ද දෙන්නා බිව්වා. ෆ්‍රයිඩ් රයිස් එකක් අපි දෙන්නා කෑවා. රෙස්ටුරන්ට් එකෙන් එළියට එනකොට අලුයම් කාලය උදාවෙලා තිබුණා. නිමල්ට එයාගේ ඇඳුම් බෑගය ගන්න ඕන කිව්ව නිසා අපි දෙන්නා ත්‍රිරෝද රථයකින් ස්ටෙපල් වීදියේ තියෙන එයා කළමනාකරු ලෙස සේවය කරන රූපලාවන්‍යාගාරයට ආවේ. පාරේ ගිය කොල්ලෝ කට්ටියක් මට උසුළු විසුළු කරන්න පටන්ගත්ත නිසා තමා මේ සිද්ධිය වුණේ. පහර කා බිම වැටී සිටිය නිමල්ව මම ආපු ත්‍රිරෝද රථයෙන්ම පෞද්ගලික රෝහලකට අරගෙන ගියා. වෛද්‍යවරු පරීක්ෂා කර බලා කිව්වා නිමල් මිය ගොස් තිබෙනවා කියා. කොල්ලෝ කට්ටිය මටත් පහර දුන්නා.”


කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් සිද්ධිය ගැන ප්‍රශ්න කළ අවස්ථාවේ රූපලාවන්‍ය ශිල්පිනිය එසේ කියා ඇති බව පැවැසේ.  


පොලිසිය සැකකාර තරුණයන් පස්දෙනාගෙන් ද සිද්ධිය ගැන ප්‍රශ්න කර ඇත.  


ඒ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් මෙසේ පැවැසූ බව පොලිසිය කියයි.  

 

 


“අපි පස්දෙනා මුත්තයියා පාර දිගේ එනකොට පාර අයිනේ බල්ලෝ තුන්දෙනෙක් නිද‌ාගෙන සිටියා. විනෝදයට වගේ අපි නිද‌ාගෙන හිටිය ඒ බල්ලෝ තුන්දෙනා ඇවිස්සුවා. එතකොට බල්ලෝ බුරන්න පටන්ගත්තා. අපි මේ අක්කට විහිළු කරන්න ගියේ නැහැ. එත් ඒ අක්කා එක්ක හිටිය අයියා අපිත් එක්ක රණ්ඩුවට ආවා අක්කාට විහිළු කළා කියා. නමුත් අපි අක්කාට මුකුත් කිව්වේ නැහැ.”


අකල්හි වීදි සංචාරය කරන්නට එපා කියා බුදු බණේ ද සඳහන් කර ඇත.  


පාසල් සිසුන් තිදෙනෙක් ඇතුළු පස්දෙනෙක් අමාරුවේ වැටුණේ අවේලාවේ ගමන් බිමන් යාමට ගොස්ය.

  
පාසල් නිවාඩුව කෙළිදෙළෙන් ගත කිරීමට සිතා සිටි මේ පස්දෙනාටම අවසානයේ රිමාන්ඩ් බන්ධනාගාරයේ තැපීමට සිදුවූයේ පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වීම හේතුවෙනි.  


මෙම සැකකරුවන් කොටුව අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා හෙට (19) දිනය දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළාය.  


කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත සහ කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කළුආරච්චිගේ මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් නිමල් (32188), පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක (84244), දිසානායක (39858), අනුර (45803), බාලසූරිය (91075) සහ ජයසිංහ (63375) යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.  

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය