රුපියල් එකයි පනහේ කුලියට මළුවේ කාසි පහළට ගෙනා හැටි


සිරිපා සමයේ 
අතීත විසිතුරු-2

 

 

එද‌ා සිරිපා කරුණා කරන මාවත් මුලින් සඳහන් කර ඇති පරිදි අද මෙන් ගමනාගමනයට සුවපහසු ඒවා නොවීය. ගම්මාන පසු කර සිරිපා හිමයට පිවිසි පසු ඒවා තවදුරටත් අති දුෂ්කර ඒවා විය. සමහර තැන්වල යකඩ කණු සිටුවා දම් වැල් ඇද තිබුණු අතර සමහර තැන්වල දම්වැල්වල එල්ලී ඒ වාරුවෙන් යායුතු විය. ගමනාගමනය පහසු වීමට සමහර පිංවත්තු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ගල් පඩි (සිමෙන්ති පඩි නොවේ) සකස් කළහ. ගමන් වෙහෙස මහන්සිය නිවාගැනීමට මග දිගට ඈතින් ඈතින් තිබුණු කඩපිල් උපකාරී විය. මෙතැන කඩ යනුවෙන් සඳහන් වෙන්නේ ගම්මානවල තිබුණු ඒවා නොව සිරිපා හිමයට පිවිසි පසු හමුවෙන කඩය. 

හිමයේ තිබුණු කඩ දිසාපතිතුමාගේ බලපත්‍රලාභීන් විසින් පවත්වාගෙන යනු ලැබීය. සෑම කඩයකම පාහේ කෙසෙල් කැන් දෙක තුනක් වත් තිබුණි. අලුවා, අග්ගලා, කැවුම්, කොකිස්, මෙන්ම විස්කිරික්‍ඤ්ඤා සහ හුළං විස්කෝතුද තිබුණි. එකල සත 50ක් ගෙන නගරයේ බේකරියට ගිය විට විස්කිරිඤ්ඤා පනහක්ද හුළං විස්කෝතු පනහක්ද ගත හැකි විය. කැවුමක් කා තේ කහට කෝප්පයක් බීමට සත දෙකකින් හැකි විය. අද කඩපිලක් ගාණේ ගොඩ ගොඩවල් එල්ලා ඇති ‘ටිපිටිප්’ වැනි දේවල් වෙනුවට එදා තිබුණේ අමුතු ටිපිටිප් වර්ගයකි. එනම් මයියොක්කා අටු කොස් ගැඹුරු තෙලේ බැද පැණී දවටා බදින ලද හාල් පිටි ඉස තෙතමනය ඉවත් කරගත් ‘මයියොක්කා අටු කොස් මුල්’ ය ඒවා කොළ පත්වල ඔතා තිබුණි. එය ‘කර කුරුස්’ හඬින් හැපෙන ඉතා රසවත් කැවිල්ලක් විය.  


නඩයේ සිටින කෝඩුකාරයින් වෙනුවෙන් ‘කෝඩු අග්ගලා’ සකස් කරගෙන ඒමටත් බැතිමත්හු අමතක නොකළහ. ගම්මිරිස්, කරඳමුංගු වැනි දේ ස්වල්ප වශයෙන් එක් කර සුවඳවත්ව මෙන්ම රසවත්ව කෝඩු අග්ගලා සකස් කර තිබුණි. එම අග්ගලාවක් ලෙලි හරින ලද තරමක පොලයක් තරමේ විශාලත්වයකින් යුතු විය. එසේම කැබලි කිරීමටත් තරමක් අසීරු විය. කොළ පතක් මත තබා කැපෙන ආයුධයකින් ගසා කුඩා කොටස්වලට කඩා නඩයේ අය අතර බෙද‌ාගෙන තේ බීමට යොද‌ා ගැනුණි. කඩවල තිබුණු තවත් කැවිල්ලක් වූයේ ‘පොරි අග්ගලා’ ය. සාමාන්‍ය අග්ගලාවකට තරමක් ලොකුවට ඒවා තැනේ. සිරිපා හිමයට ඇතුලුවීමට පෙර හමුවෙන ගම්වල කඩපිල්වල මෙම පොරි අග්ගලා විශේෂයෙන් දක්නට ලැබුණි. ඊට පෙර සිරිපා සමයේ ඉතිරි වූ කැකුළු බත් වේලා තබා ගෙන අවශ්‍ය වූ විට ඒවා ගැඹුරු තෙලේ බැදගත් විට ඒවා ‘පොරි’ බවට පත් වේ. එම පොරි උණු පැණියේ දමා කලවම් කර බදින ලද හාල් පිටි ඒ මත ඉස පොරි අග්ගලා තැනුණි.  


අධික සීතලත් ගමන් වෙහෙසත් නිසා උගුර කට වේළීමෙන් වන අපහසුවෙන් මිදීමට ඉඟුරු දෝසි කඩපිල්වල තිබුණු අතර ඇතැම් වන්දනාකරුවන් ඉඟුරු දෝසි ගෙවලින්ම සකස් කර ගෙන එන ලදී. ‘නාරං බික්’ නමින් හැඳින් වූ ලොසින්ජර් වර්ගයක්ද කඩපිල්වල තිබුණි. තේ කහටවලට අමතරව බීමට තිබුණේ බෙලි මල් වතුර සහ සරුවත්ය. සීතලෙන් ආරක්ෂා වීමට කන් අසල බිඳුවක් ආලේප කිරීම භාවිතා වූ කුරුඳු තෙල් කුප්පි සෑම කඩයකම තිබුණු අතර සෑම වන්දනාකරුවකුගේම පාහේ කරේ එල්ලා ගත් කුරුදු තෙල් කුප්පියක් දැක ගත හැකි විය. අද ඇති බෝල පොයින්ට් පෑන් ​ෙකාපුවක ප්‍රමාණයේ කුඩා කුප්පිවල රතු පාට කුරුඳු තෙල් පුරවා ලී මූඩියක් ගසා කරේ එල්ලා තබා ගැනීමට නූලක් ද යොද‌ා තිබුණි. දුම් පානය කරන්නන් සඳහා ‘පී කොක්’ යන සිගරට් වර්ගයද බීඩි සහ සුරුට්ටු කඩවල තිබුණි.  


එකල සිරිපතුලට පූජා කිරීමට මල් මෙන්ම සුදු රෙදිද ගෙන ගියහ. සිරිපතුල මත සුදු රෙද්ද අතුරා ඒ මත නළල තබා වන්දනා කළහ. ඒ සමඟ මුදල් පූජා කිරීමද සිදුවිය. එම කාසි හා මුදල් නෝට්ටු පූජා කිරීම අදටත් විශාල ලෙස සිදු කෙරේ. සිරිපතුල වන්දනාමාන කිරීමෙන් අනතුරුව ගණ්ඨාව නාද කිරීම සිරිතක් විය. තමන් සිරිපා කරුණා කර ඇති වාර ගණනට සමාන වාර ගණනක් ඝණ්ඨාව නාද කිරීම සිරිතය.  


පොල් තෙල් ඇතුළුව බොහෝ බෙහෙත් තෙල් වර්ගත් සිංහල බේත් බඩු වර්ගත් දෙළොස් මහේ පහනට පූජා කිරීම එකල සිදුවිය. තෙල් වර්ග හා බෙහෙත් බඩු වන්දනාකරුවෝ තම ගෙවලින්ම සූද‌ානම් කරගෙන පැමිණියහ. බෙහෙත් බඩු වර්ග ගෙනෙනු ලැබූයේ කේතුවක හැඩයෙන් යුතුව රෙදිවලින් සකසා ගත් ලොකු කුඩා ‘මඩිස්සල’ වලය. මඩිස්සලයේ කට තද කර ගැනීමට රෙදි පටියක් ද ඇතිව මෙම මඩිස්සල සකසා තිබුණි. ඇතැම් මඩිස්සලයක උස අඩි එකහමාරක් පමණ ද වෘත්තාකාර කට වටේ ප්‍රමාණය අඩි දෙකක් පමණ ද විය. සිරිපා මාවතේ ඇතැම් කඩයක වන්දනාකරුවන්ට මිලදී ගැනීමට මෙම බෙහෙත් බඩු මඩිස්සල ද තිබුණි. සිරිපා කන්ද පාමුල ගම්මානවල ඇතැම් ගෙදරක යථෝක්ත බෙහෙත් බඩු මඩිස්සල සිරිපා මළුවෙන් රැස් කරගෙන විත් ලොකු ගෝනි දෙක තුන පුරවා අටුවේ දමා තිබුණි. එකල බොහෝවිට ලෙඩ දුක්වලට කෙරුණේ සිංහල වෙදකමයි. ලෙඩකට සිංහල වෙදමහත්මයාගෙන් බෙහෙත් වට්ටෝරුවක් ලියවාගෙන එන කෙනෙකුට යථෝක්ත බෙහෙත් බඩු ගෝනියක් ලිහා ගත් විට ඕනෑම බෙහෙත් බඩුවක් සපයා ගත හැකි විය.  


සිරිපා වැඳ අාපසු ගම රට බලා කරුණා කරන අතරේ වන්දනාකරුවන්ට තම ගෙවල්වලට ගෙන යාමට නොයෙක් ජාති හිමයේත් පහළ ගම්වල කඩපිල්වලත් තිබුණි. එයින් ප්‍රධාන ද්‍රව්‍යයක් වූයේ කිතුල් හකුරු මුල්ය. පොල් කටුවලට වක් කරන ලද හකුරු පියන් දෙකක් එකට තැබූ විට එය ‘හකුරු’ මුල නම් වී, කෙසෙල් පරඬැල් කීපයක් එක මත එක තබා ඒ මත හකුරු මුල තබා හොඳින් හකුලා වල්ලාපට්ට කෙන්දකින් හොදින් ගැට ගසා ගත් කළ එය ‘වෙලන ලද හකුරු මුලකි’ නැත්නම් ඔතන ලද හකුරු මුලකි. වෙළන ලද හකුරු මුලක ඇතුළේ ඇති හකුරු පියන් පිටතින් ස්පර්ශ කිරීමට හෝ බැලීමට නොහැකිය. එකල වැඩි අගයකින් යුතු වූයේ එසේ ‘වෙළන ලද හකුරු මුල්ය’ වෙලන්නේ නැතිව හකුරු මුල් විවෘතව තිබුණත් ඒවා අලෙවි කිරීමට නොහැකි විය. අද නම් අලෙවි කළ හැක්කේ විවෘතව තිබේ නම් පමණි. හකුරු මුල්වලට අමතරව හකුරු කැට, හකුරු අං, වැලි හකුරු මුල් ද වන්දනාකරුවන් ගම රට බලා යන අතරතුර ගෙන ගිය දේය. හකුරු කැට යනු හකුරු පියන් ලෙස පොල් කටුවලට වක් කොට තාච්චියේ රැඳුණු හකුරුවලින් තැනූ අග්ගලා වැනි කැටය. හකුරු අං ලෙස හැඳින්වුණේ කිතුල් මලේ අග හනස්ස කපා වියළා ගත් විට ලොකු මීහරක් අඟකට සමානය. එම කොටසට පොල් කටුවලට වක්කරන හකුරු වක්කොටගත් විට එය හකුරු අඟකි.  


ගම රට බලා කරුණා කරන වන්දනාකරුවන් ගෙනයන්නට සොයන තවත් දෙයක් නම් ‘වෙනිවැල්ගැටය’ එනමින් හඳුන්වන්නේ වෙනිවැලේ (බාන්වැල) අර්බුදයක් ගෙඩියක් සේ අසාමාන්‍යයෙන් අනෙක් තැන්වලට වඩා මහත්ව ඇති කොටසකි. එද‌ා වෙනිවැල්ගැට නම් ඒවාය. අද බෙහෙත් බඩු කඩවල පවා ඇත්තේ කැබලිවලට කපන ලද වෙනිවැල්ය. ඒවා වෙනිවැල් කැබලි මිස වෙනිවැල් ගැට නොවේ. කැකුණ ඉටි (කැකුණ මළ) ද එකල වන්දනාකරුවන් ගම රට බලා කරුණා කරද්දී ගෙන ගිය තවත් දෙයකි. ලංකාවට ආවේණික ගසක් වන කැකුණ ගසින් වැහිරෙන ඉටි හෙවත් ලාටුවල ඇති ගන්ධයට සර්පයන් ඉවත යන බවට විශ්වාසයක් තිබූ නිසාය.  


සන්දේශ සාහිත්‍යයේ නොයෙක් විට සඳහන් වන කොකුම්, කාන්තාවන්ගේ රූපශ්‍රීය වර්ධනයට උපකාර වන ඖෂධයකි. කොකුම් ගසේ පිට පොත්තේ පිට කුරුට්ටට යටින් ඇති කහපාට කොටස ගෙන අඹරා ඊට රතු පාට මැටි ද කලවම් කොට වෘත්තාකාර රොටියක් සකසා අව්වේ වියළා ගත් විට ‘කොකුම් රොටියකි’ ස්නානය කරන විට එම රොටි ඇඟේ ගාගෙන මොහොතක් සිට දිය නෑම එකල ඇතැම් කාන්තාවන්ගේ සිරිතකි.   


වෙසක් මල් පඳුරු, කුඩා හැඩයා පඳුරු, මහ හැඩයා පඳුරු යනාදියද වන්දනාකරුවන් ගමට කරුණා කරන විට ගෙන යන්නට උත්සුක වූ දේවල් විය. පිපිණු කල මල් මාසයක් පමණ පර නොවන, සිරිපා හිමයට ආවේණික උඩවැඩියා විශේෂයක් වන වෙසක් මල් පඳුරු සිරිපා හිමයේ මෙන්ම තදාසන්න වනාන්තරවලද එකල බහුල විය. වටිනා ඖෂධ වන කුඩා හැඩයා පඳුරු සහ මහ හැඩයා පඳුරු ද සිරිපා හිමයේ බහුල විය. ඒවාත් උඩවැඩියා වි​ෙශ්ෂයන්ය. මේ පඳුරු ගලවාගෙන විත් පස් ස්වල්පයක් තබා කෙසෙල් පරඬැල් කොළයක ඔතා ඇතැම් කඩපිල්වල තිබුණි. සිරිපා වැඳ හැටන් මාර්ගයෙන් ගම රට කරුණා කළ පිංවතුන්ට ඉහත සඳහන් බොහෝ දේ ගම්වලට ගෙන යන්නට අවස්ථාව ලැබුණේ නැත. එයට හේතු වූයේ හැටන් මාර්ගයේ එදත් පැවතියේ වතු ආශ්‍රිත ජනාවාස වීමයි. එහි කඩපිල්වල වැඩිපුර තිබුණේ වෙනත් ප්‍රදේශවලින් ගෙනැවිත් කඩපිල්වල තිබුණු දොදොල්, මස්කට්, තලගුලි, කොට්ට කෙලෙන්ගං වැනි දේවල්ය.  


උඳුවප් පසළොස්වක සිට වෙසක් පසළොස්වක දක්වා සිරිපා වාරය පවතින අතර වැඩිපුරම පිරිසක් සිරිපා කරුණා කරන්නේ මැදින් පසළොස්වක ඇසුරු කරගෙනය. එම පසළොස්වකට දින දෙක තුනකට පෙර සිට එම පසළොස්වක පසු වී දින දෙක තුනක් යන තුරු වැඩි බැතිමතුන් පිරිසක් එද‌ාත් සිරිපා කරුණා කළහ. එම කාල සීමාවට ගැමියන් භාවිතා කළේ ‘‘මැදින් දිනේ’’ යනුවෙනි.  
“අග්ගල කං ඩෝං පුතා, හෙලේ නගිං ඩෝං පුතා” යනාදී කියමං භාවිතයට පැමිණියේ සිරිපා කරුණාව විනෝද ගමනක් බවට පරිවර්තනය වෙමින් පැවති වකවානුවේ සිටය.   


හාපුරා කියා සිරිපා මළුවට විදුලි ආලෝකය ලැබී ඇත්තේ සමන් දෙවිඳුන්ට වූ බාරයක් ඔප්පු කිරීමක් වශයෙනි. බාරය වී ඇත්තේ සර් ජෝන් කොතලාවල අගමැතිතුමාය. ලක්ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමය ආරම්භ කළ පසුව එහි කටයුතු නිසි පරිදි කරගෙන යාමට නොයෙක් ආකාරයේ බාධක මතුවී ඇත. සේවක වියවුල් ඊට ප්‍රධාන බාධකය වී ඇත. එසේම වැඩ බිමේදී දිනපතාම නොයෙක් අනතුරු සිදුවීම් බහුල විය. ඒ නිසා නිරන්තර සේවක මරණ සිදුවී ඇත. මේ නිසා යෝජනා ක්‍රමය අත්හිටුවන තත්ත්වයක් උද්ගතව තිබී ඇත. එම අවස්ථාවේදී කොතලාවල මැතිතුමාට කිසියම් පුද්ගලයකුගෙන් උපදේශයක් ලැබී ඇත. සිරිපා කරුණා කර වැඳ පුදාගෙන විදුලි යෝජනා ක්‍රමය කරදරයකින් තොරව කරගෙන යාමට සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටීමත් විදුලි බලය ලබා ගැනීමෙන් පසුව පළමුවෙන් සිරිපා මළුවට විදුලි එළිය ලබා දීමට පොරොන්දු වීමත් එම බාරය විය. එසේ බාර වීමෙන් පසුව කිසිම කරදරයකින් තොරව යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීමට හැකි වී ඇත. නියමිත කාලයටත් වඩා වසර දෙකකට කලින් කටයුතු අවසන් කිරීමට ද හැකි වී ඇත. ඉන්පසු සිරිපා මළුවට විදුලිය ලබා දී එය විවෘත කිරීම ද කොතලාවල මැතිතුමා අතින්ම සිදු වී ඇත.   


සිරිපා කරුණා කරන සෑම මාර්ගයකම ඇති ඇළ ගංගාවලට සිරිපා සමයේ දී කිසිදු විවේකයක් නැත. ඒවායේ බොහෝ අනාරක්ෂිත තැන් ද තිබුණි. ඒ තැන්වලදී කවුරුන් හෝ දන්නා කෙනෙක් උපදේශයක් දුන් විට එය පිළිගැනීමට තරම් එකල පිරිස් හණමිටි අදහස් දැරූවන් වූහ යි සිතමි. ඒ නිසා එවැනි අනාරක්ෂිත තැන් වල බොහෝ විට කාන්තාවන් දිය නෑමට අතපය සේදීමට ගිය විට කනේකරේ අතේ තිබුණු ආභරණ නැති වීම සුලභ සිදුවීමක් විය. පැය ගණන් සෙවුවත් බොහෝ විට සොයා ගැනීමට නොහැකි විය. අතුරුසිදුරු නැතිව ලොකු කුඩා මහතගල් කැටවලින් වැසී ගිය පො​ෙළාව මතින් ගලා ගිය දිය දහරාවේ යමක් වැටුණු විට සොයා ගැනීමට බැරි විය. රත්නපුර මාර්ගයේ පලාබද්දල ආසන්නයේ දියමංකඩක දී ආභාරණයක් නැති වූ විට දක්නට ලැබුණු අසිරිමත් සිදුවීමකි. සිරිපා කරුණාවේ යෙදුනු කිසිවකුගේ යමක් එසේ නැති වූ විට එම පුවත ගම්වැසියකුට දැන ගන්නට ලැබුණු විට ඔහුගේ උපදේශය වූයේ එවකට පලාබත්ගල ප්‍රදේශයේ සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු ගැනය. හොඳ උස මහත කෙනෙකු වූ ඔහුට අප ඇමතුවේ පීරිස් ආතා කියාය. මුහුණේ රැවුළු ගසක් වත් නොවූ ඔහු මූසලයකු යැයි සමහරුන් කියනු අප අසා ඇත. කෙසේ වෙතත් ඔහුට පණිවිඩයක් යවා ගෙන්වගෙන නැති වූ ආභාරණය සොයා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින ලෙසය. පණිවුඩය ලැබුණු පසු ඔහු පැමිණියේ ඉන්ද්‍රජාලියෙකු පරිදිය. කිසිවකුට ​ෙනාකළ හැකි කාරියක් කළ හැකි වීරයෙකු පරිදිය.   


“කොයි හරියෙද නෑවෙ?”   


“ආං අර හරියෙ”   


ඔහු ඒ හරියට ගියේ තමන් ​ෙපර තබා තිබූ දෙයක් ගෙන එන්නට යන විලාසයකිනි. එතනට ගොස් වට පිට බලා දියට නැමී අත පොවා ගල් කැට අතරින් නැති වූ ආභරණය ගෙනැවිත් “ආ මේකද?” අසා හිමිකරුට දී ආපසු ගියේය. මේ ආශ්චර්ය කළේ ​ෙකසේදැයි අදටත් අපට ගැටලුවකි.   


අතීතයේ සිට සිරිපා පද්මයට මුදල් හා සුදු රෙදි පූජා කිරීමට බැතිමත්හු පුරුදුව සිටිති. එසේ පූජා කළ මුදල් නෝට්ටු කොළ පිරවූ පෙට්ටි දෙකතුනක් ද කාසි මිටි එකසිය පනහක් පමණ ද සුදු රෙදි මිටි කීපයක් ද එක් වරකට පහළට ගෙන ඒම සිදු විය. එක් සිරිපා සමයකට එසේ තුන් වරක් පමණ “මළුවේ සල්ලි බැස්සීම” සිදු විය. රුපියලේ දෙකේ පහේ දහයේ මුදල් නෝට්ටු වෙන් වශයෙන් පෙට්ටිවල අසුරනු ලැබූ අතර සතේ, දෙකේ පහේ, දහයේ විසි පහේ පනහේ කාසි වෙන් වෙන් වශයෙන් ගෙන රාත්තල් පනස් හයක බරින් යුතුව සුදු රෙදිවල ඔතා මිටි වශයෙන් සකස් කෙරැණි. ඒ එක් මිටියක් සිරිපා මළුවේ සිට කර තබාගෙන පලාබද්දල දක්වා ගෙන ඒමේ කුලිය වශයෙන් රු. දහයක් ගෙවනු ලැබීය. එකල සාමාන්‍ය කම්කරුවකුගේ දිනක කුලිය වූයේ රු. 1.50ක් පමණය. උසස් පෙළ ඉගන ගන්නා සමයේ මේ ලියුම්කරු ද අවස්ථා කිහිපයකදී එම මුදල් මිටි ගෙන ඒමට සහභාගිවී ඇත. ඉගෙනීමට වසරකට අවශ්‍ය ලිපි ලේඛන, පෑන්, පැන්සල් ආදිය මිලදී ගැනීමට ඒ මුදල අපට ප්‍රමාණවත් විය. සමහර ශක්තිමත් මෙන්ම පළපුරුදු අය එකවර එම මුදල් මිටි දෙක බැගින් කර තබාගෙන ආහ. මේ මුදල් බැස්සවීමේදී ​ෙපාලිස් රාලහාමිලා දෙතුන් දෙනකු ආරක්ෂාවේ යෙදුණු අතර ඔවුන් නිතර ගැවසුනේ මුදල් නෝට්ටු පිරි පෙට්ටි රැගෙන ආ අය ළඟය. කාසි මිටි රැගත් අය තම තමන්ගේ හැකියාව අනුව සමහරු ඉක්මනින්ද සමහරු හෙමින් ද පහළට ආහ. ඔවුහු හිතුණු හිතුණ තැන නැවතී ගිමන් හරිමින්ද කිසිදු බලපෑමකින් තොරව පහළට ආහ. සියල්ලන්ම පලාබද්දල ශ්‍රීපාද පන්සල් භූමියට පැමිණි පසු තමතමා සිරිපා මාළුවේදී භාරගත් මිටිය බලධාරීන්ට භාරදිය යුතු විය. නම කියූ විට තම කාසි මිටිය ගෙන ගොස් තමන්ම කාසි මිටි ගොඩට දැමිය යුතු විය. දිනක් එක් තැනැත්තෙකු ගෙනා කාසි මිටිය මිටි ගොඩට දැමීමේදී සුපුරුදු හඬට වෙනස් හඬක් මතු වූයෙන් එම මිටිය ලෙහා බලන්නට යෙදුණි. එහි තිබුණේ තැපැල් කන්තෝරුවල ලියුම් මළු බැඳීමේදී භාවිත කෙරුණු ඊයම් කැබලි රාශියකි. එය කලක් තිස්සේ සැලසුම් කර කරන ලද්දක් බව හෙළිවුණු අතර ඉන් පසුව සෑහෙන සිරිපා වාර ගණනක් ගතවනතුරු ‘මළුවේ සල්ලි බැස්සීම හැටන් මාර්ගය ඔස්සේ කරන්නට කටයුතු යෙදිණි.   


රටේ නොයෙක් පෙදෙස්වලින් පැමිණ එකල මෙන්ම මෙකලද සිරිපා හිමයට වැදී භාවනාවේ යෙදෙන අය සිටිති. සමහරු වරකට මාස කීපයකට සෑහෙන ආහාර වර්ග රැගෙන ගොස් වනගතව සිටි අතර සමහරු කැලෑ කොළ ආහාරයට ගනිමින් විසූහ. කැලෑ කොළ ආහාරයට ගත් අයට රෑට පවා හොඳින් ඇස් පෙනීම තිබුණු බව ගැමියන් අතර ප්‍රචලිතව තිබුණි. ගිහි ගෙය හැරදා මහණ වී සිවුරු දරා සිටි භික්ෂූන් වහන්සේලාද ගිහි බවින් මිදී එහෙත් මහණ නොවී තාපස ලීලාවෙන් සිටි අයද සිරිපා හිමයේ සිටියහ. ඒ අය ගැමියන් විසින් හඳුන්වනු ලැබූයේ ‘සාමි’ යන නමිනි. මෙසේ සිරිපා හිමයේ ගත කළ භික්ෂූන් වහන්සේලාත් අනෙත් සාමිවරුත් දිවා ගුහාව සොයා ගැනීමට වෙහෙසෙන බවටද ගැමියන් අතර විශ්වාසයක් පැවතුණි. බුදුන් වහන්සේ සිරිපා සලකුණ තබන්නට සමන්කුළට වැඩම කළ දින දිවා විහරණය කළේ දිවාගුහාව යන ස්ථානයේ බවට පෙර සිටම බෞද්ධයෝ සලකති. මේ ස්ථානය සොයා ගැනීමට වනගතව සිටි භික්ෂූන් මෙන්ම සාමිවරුන්ට අමතරව නොයෙක් පිරිස් නොයෙක් වර ගොස් සොයා බැලූ නමුත් නොහැකි විය.   


ධර්ම රාජ ගලේ ගල් පඩි ගැණීම සිරිපා කරුණාකරන්නන්ගේ විශේෂ අවධානයට ​ යොමු වූ කරුණකි. ගුරුන්නාන්සේලා තම කෝඩුකාරයින්ව ගල් පඩි ගැණීමට පෙළඹූහ. සෙසු බොහෝ අයද ගල් පඩි ගැණීම විනෝදාංශයක් කොට ගැනුණි. ගණන් කරන කිසියම් දෙදෙනකුට එකම සංඛ්‍යාවක් නොලැබීම මෙහි කුහුල දනවන කරුණක් විය.   


සිරිපා හිමයේ ඉතා වටිනා පලතුරු වත්තක් ඇති බවට බොහෝ දෙනා අතර විශ්වාසයක් තිබුණි. එක් තැනැත්තෙක් සිරිපා හිමයේ අතරමංව ඇවිදින අතර එම පලතුරු වත්ත දක්නට ලැබී බඩ පිරෙන තුරු පළතුරු කා ඇවිදින අතරේ ඉතා අමාරුවෙන් පාර සොයා​ෙගෙන ගමනා ගමනය කරන මාවතට පැමිණ ඇත. ඔහු තම ගමට ගොස් තම යහළුවන්ට මේ සිද්ධිය පවසා ඔවුන්ට ද පලතුරු වත්ත පෙන්වන්නට කැඳවාගෙන ගිය නමුත් සොයා ගැනීමට හැකි වී නැත. අවසානයේදී ඔහුට පාචනය සැදී මිතුරන්ගේ කර මතින් එන අතරේ මිය ගොස් ඇත. මේ පලතුරු වත්ත සෙවීමට වෙනත් විවිධ අවස්ථාවල ගිය විවිධ පිරිස්වලට ද නොයෙක් බාධකවලට, කරදරවලට මුහුණ දෙන්නට සිදුවී ආපසු හැරී ආ බව කියැවේ. කෙසේ වෙතත් ඉදිකටුපාන හරහා ගලා යන ඇළ පාරේ තැඹිලි පොල් අතු ගසාගෙන විත් තිබෙනු බොහෝ දෙනා දැක ඇත. ඒවා මෙම පළතුරු වත්තෙන් ගසා ගෙන ආ ඒවා බවට විශ්වාස කෙරිණි. කෙසේ නමුත් මෙම පළතුරු වත්තෙන් ඕනෑ තරම් පළතුරු කෑ හැකි නමුත් රැගෙන එන්නට අවස්ථාව නොලැබෙන බවත් පැරැන්නෝ අතර කතා බහ පැවතුණි.   


සිරිපා සමය ඇරඹෙන පසළොස්වකට සමන් දේව රාජයා හා දේවාභරණ පැල්මඩුල්ලේ ගල්පොත්තාවල විහාරස්ථානයේ සිට සිරිපා මළුවට වැඩමවා සිරිපා සමය නිමාවන වෙසක් පෝය දා ආපසු ගල්පොත්තාවල පන්සලට වැඩම කරවීම සිරිතයි. මෙසේ සිදු කෙරුණේ රජ මාවත නමින් ප්‍රසිද්ධ රත්නපුර ගිලීමලේ හරහා වැටී තිබුණු පලාබද්දල මාර්ගයේය. දිනක් මෙසේ සමන් දේවරූපය හිස මත තබා ගෙන වැඩම වූ තැනැත්තා මො​හොතක් විවේක ගැනීමට පලාබද්දල කඩමණ්ඩියේ කඩයක කරවල බක්කියක් මත දේව රූපය තබා ඇත. සැණෙකින් පරිසරය ඇඳුරු වී මහා සුළඟක් ඇති වී අම්බලමේ හා කඩවල වහළවල් ගැලවී යන තරමටම ප්‍රබල වී ඉතා තදින් කෙළවරක් නැතිව බරපතළ ලෙස අකුණු පුපුරන්නට පටන් ගෙන ඇත. තත්ත්වය එන්න එන්නම දරුණු වීගෙන එන බව දුටු අවට සිටියවුන් බය බිරාන්ත වී ඇත. කඩමණ්ඩියේ සිටි තැනැත්තෙක් සමන් ​ෙද්ව රූපය ඔසවන්නට තැත් කළත් අතතියන්නට බැරි තරමට රත්වී තිබී ඇත. ඔහු එහෙ මෙහෙ දුවගොස් සුදු රෙදි කීපයක් සොයාගෙන විත් ඒවායින් දෙව් රුව ඔතා වසාගෙන අසල විහාරස්ථානයේ සමන් දේවාලයට ගෙන ගොස් තැන්පත් කිරීමෙන් අනතුරුව මතු වී තිබූ බරපතළ තත්ත්වය සැණෙකින් පහව ගොස් ඇත. අප කුඩා කල සිට වැඩිහිටියන් ඔවුන්ගේ තරුණ අවධියේ මෙසේ සිදු වූ බව කියනු අප අසා අැත.   


හැටේ දශකයේ මුල එක් සිරිපා සමයක් ආරම්භ වුණා පමණි. හිමය තුළ කඩ පිල් සියල්ල සැකසී තිබුණේ ද නැත. පානදුර ප්‍රදේශයේ ජීවත් වූ අ​ෙප්​ ඉතා සමීප ඥාති නව යුවළක් සිරිපතුලට භාරයක් ඔප්පු කිරීමට පැමිණියහ. ඒ යුවළ සිරිපා වන්දවා බාරේ ඔප්පු කරවා ගමට කරුණා කරවීම පැවරුනේ එකල උසස් පෙළ හදාරමින් සිටි මේ ලියුම්කරුටයි. මා​ෙග් තවත් සම වයසේ දෙපළකට මේ සඳහා ඇරයුම් කළෙමි. කට වරද්දා ගැනීම් බොහෝ දුරට බලපවත්වන්නේ සිරිපා හිමයට බැහැර පෙදෙස්වල සිට පැමිණෙන්නන්ට බව එකල සමාජයේ පිළිගැනීම විය. කට වරද්දා ගැනීම සහ අනෙකුත් වත්පිළිවෙත් එම දෙපළට තේරුම් කර දී  ගමන පිටත් වීමු. ඒ ජනවාරි හයවෙනිදාක බව අදටත් මතකය. පිටත් වූ මොහොතේ පටන් නව යුවළගේ කතා බස් මේ හිමයට නොගැළපෙන බව හැඟුණත් මම නිහඬව සිටියෙමි. පලාබත්ගල ගම්මානයේ පිහිටි ඉහළම ගෙවල් පසු කර ටික දුරක් ගියා පමණි. මනමාලයා විදුලි කණුවකට හේත්තු වී සිටිනු දුටුවෙමි. සැණෙකින් ඔහු අල්ලා කතා කළත් කතා බහක් නොවීය. ළඟින්ම ඇත්තේ ළිහිණි හෙළ අම්බලමය. යාළුවකුත් මමත් මනමාලයා දෑත්වලට ඔසවා ගෙන ළිහිණි හෙළ අම්බලමට දිව ගියෙමු. එහි කඩය තනන්නට ද ගොස් සිටි කිහිප දෙනෙකුගේත් උපකාරයෙන් රෝගියා මැස්සක් උඩ තබා යටින් ගිනි මොළවා සිරුර තලා පෙළා මොහොතකින් කතා කිරීමට හැකි විය. ළිහිණි හෙළ අම්බලම යනු සිරිපා හිමයේ පළමු නවාතැනය. අසීරු කොටස ඉදිරියටය. සීතල ක්‍රමයෙන් වැඩි වේ. මගේ උපදේශය වූයේ නව යුවළ එතනම සිටියදී අප කෙනෙක් ගොස් බාරය ඔප්පු කර එන්නටය. එදින රාත්‍රිය ඒ උපදෙස් පිළිගනිමින් සිට පසුදා පහන් වු විට කෙසේ හෝ ඉහළට නගින්නට ඕනෑම යැයි පැවසූහ. නමුත් ඒ වන විට පලාබත්ගල ගම් ප්‍රදේශයේ වන්දනා පිරිසකට නම් සිරිපා වැඳ ආපසු ගමට පැමිණීමට තරම් කාලයක් ඒ වන විට ඉක්ම ​ගොස් තිබිණි. එදින දහවල වන විටවත් අප ආපසු ​නොපැමිණියේ නම් අප​ෙග් ගෙවල්වල අය කලබල වන නිසා අප ගමන ඉතාම හෙමින් බවත් ඒ නිසා සෑහෙන්න ප්‍රමාද වන බවත් කලබල නොවන ලෙසත් දන්වා එක් යාළුවෙක් හරවා ගෙදර යැවීමි.

ඉන් පසු පාන්දරම ළිහිණි හෙළ අම්බලමෙන් ගමන ඇරඹීමු. එදින අඳුර වැටීගෙන එද්දී ඇහැළකණුව ළඟට එනම් මහගිරිදඹය පාමුලට පැමිණියෙමු. මහගිරිදඹය මැද්දේ දී යළිත් මනමාලයා යකඩ බටයක් අල්ලගෙන ගල් ගැසී ගියේය. එතැනින් ඉතා අමාරුවෙන් ඔහුව ඔසවාගෙන මළුව උඩට ගියෙමු. මළුවේ වැඩ විසූ හිමිනමක් මනමාලයාගේ සිරුරේ බෙහෙත් තෙලක් ගැල් වූ නිසා පිරිමැද යන්තම් සුවඅතට පත්විය. මළුව උඩ සීතල වැඩි නිසාත් එමෙන්ම රාත්‍රිය එළඹෙන විට තවත් සීතල වැඩි වන නිසාත් හැකි ඉක්මණින් පහළට කරුණා කරන ලෙස මළුවේ සිටි අයගෙන් උපදෙස් ලැබිණි. බාරහාර ඔප්පු කර වැඳපුදාගෙන පහළට කරුණා කරන්නට සූදානම් වීමු. සිරිපා සමය ආරම්භ වූවා පමණක් වූ බැවින් වෙනත් සිරිපා කරුණා කරන්නෝ මළුව උඩවත් මඟතොටේවත් නොවූහ. හැරමිටිපානෙන් තරමක් පහළ සිට ගල්පොත්ත කඩේ දක්වා මඟ දෙපස ලයිට් නැති බවත් ඒ නිසා මළුවේ අයගේ භූමිතෙල් බෝතලයක් හැරමිටිපාන පොලිසියේ ඇති බවත් එය ඉල්ලාගෙන පොල් මුඩු මුඩියක් ගසා ගෙන දල්වා ලයිට් නැති කොටසේ ගමන් ගන්නා ලෙසත් මළුවේ සිටි අයගෙන් උපදෙස් ලැබිණි. ඒ අනුව හැරමිටිපාන පොලිසියට ගොස් භූමිතෙල් බෝතලය ද ඉල්ලාගෙන පොල් මුඩුවකින් මුඩියක් ගසාගෙන ගිනි පෙට්ටියකුත් අතේ තියාගෙන පහළට කරුණා කළෙමු. සීත ගඟුල කිට්ටුවට කරුණා කරන විට විදුලිය ක්‍රියා විරහිතව පැවති පෙදෙසට ළඟා වීමු. ගලක් මත වාඩු වුණු මම භූමිතෙල් බෝතලය පහතට හරවා මූඩිය හොඳින් භූමිතෙ​ෙලන් පොඟවා ගිනි පෙට්ටිය ගෙන කූරක් ගසා මූඩියට ළං කළෙමි. දැල්වුණේ නැත. තවත් කූරක් ගසා බෝතලය තරමක් ඇළ කර මූඩියට යටින් ගිනි දැල්ල සිටින සේ දල්වන්නට තැත් කළෙමි. දැල්වුණේ නැත. ඊළඟට කළේ මූඩිය ගලවා ​ෙබා්තලේ කට තුළට රුවා තිබුණු කොටස දල්වන්නට තැත් කළෙමි. ඒ කෙළවර ද දැල්වුණේ නැත. බෝතලේ කටට නැහැය තබා බැලුවෙමි. බූමිතෙල් ගඳක් ද නැත. එය භූමිතෙල් බෝතලයක් නොවන බව තීරණය කළෙමි. ආපසු යාම සීතල වැඩි තැනකට යාමකි. කරුණා කළ යුත්තේ කෙසේ හෝ පහළට බව මම තීරණය කළෙමි. කැටිකරගෙන සිටි මගේ සුදු සරම දෙපතුළට වැටෙන සේ දිගහළෙමි. කෙතරම් අඳුරේ වුවද යම් සේයාවක් එමගින් ලැබිණි. එක් සිරිපා වාරයකට අඩු තරමේ දහ පහළොස් වරක් වත් සිරිපා කරුණා කර පළපුරුද්ද තිබුණ මගේ මිතුරාටත් මටත් මාර්ගයේ ගැටලුවක් නොවුණි. ගැටලුව වූයේ මාර්ගය ගැන කිසිම පළපුරුද්දක් නැති දෙදෙනෙකු මේ ඝන අඳුරේ පහළට දොක්කන් කර ගැනීමයි. මම ඉදිරියෙන් සිටගතිමි. මනාලයාගේ අතින් අල්ලා ගතිමි. මගේ සුදු සරමේ සේයාවත් අතඅල්ලා ගැනීමෙන් ලද සහයත් අනුව මා පසු පසින් මනාලයා ද ඔහුගේ අත අල්ලා ගත් මනාලිය ඊට පිටුපසින් ද ඇගේ අනෙක් අතින් අල්ලා ගත් මගේ මිතුරා පිටුපසින් ම ද වශයෙන් ඉතා හෙමින් පහළට කරුණා කළෙමු. අප සිව් දෙනා හැරෙන්නට වෙනත් මිනිස් පුළුටක්වත් ළඟ පාතක නැති මේ ඝන අඳුරේ අලි කොටි ගැවසෙන මේ සමනළ හිමයේ මනාලයාට යළිත් අසනීප තත්ත්වයක් මතු වුව හොත් කරන්නේ කුමක් දැයි මගේ පපුව ගිඩි ගිඩි ගා ගැහෙමින් තිබිණි. කෙසේ හෝ මේ ආකාරයට ගෙත්තම්පානද පසු කළෙමු. එක් වරම මනාලයාගේ පා එසවීම නතර විණි. කතාව නැවතුණි. මගේ මිතුරාත් මමත් මනාලයා හරහට ඔසවා ගතිමු. ඊළඟ ගැටලුව වූයේ මනාලියට පිරිස පසු පසින් ගමන් කිරීමට පැවති බියයි. මගේත් මිතුරාගේත් පරිශ්‍රමයෙන් හැකි ඉක්මණින් ගල්පොත්තකඩය නම් ස්ථානයට පැමිණියෙමු. කඩය තනන අය ඒ වෙන තුරු පැමිණ නොසිටියහ. ගල්තලාව මත තිබුණු වියළි බට දඬු ගිනි තබා රෝගියා උණුසුම් කර අමාරුවෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කර ගතිමු. මඟ දිගට කඩ පටන් ගෙන නොතිබූ බැවින් දරන්නට බැරි තරමේ බඩගින්නෙන් අපි හතර දෙනාම පෙළුනෙමු.

 

ගල්පොත්තෙන් පසු දිගටම මඟ දිගටම විදුලි එළිය තිබුණි. කෙසේ වෙතත් ඒ රැය පහන් වූයේ ද හිමයේ දීමය. රැය පහන් වුවත් නව යුවළගේ ගොළුබෙලි ගමන නිසා සිරිපා හිමය පටන් ගන්නා පවනැල්ල ගම්මානයට බැසගත හැකි වූයේ එදිනත් අඳුර වැටීගෙන එන සමයේය. එහිදී අපගේ ගෙවල්වල අය සෑහෙන පිරිසක් රැස් කරගෙන අපව සොයන්නට එනු අපට හමුවිය.    


ජනමාධ්‍ය පොතපත මගින් සිරිපා හිමය ආශ්‍රිතව  මෙතෙක් ප්‍රකාශයට පත්නොවූ තොරතුරු පමණක් මෙහිලා ඇතුළත් කළෙමු. සැකසීමේ දී නොයෙක් දේ සිහිපත් කර දෙමින් උපකාර කළ මෑත දී පැවිදි දිවියට පත්ව පයාගල ගෝමරන්කන්ද පුරාණ රජමහාවිහාරයේ වැඩ වසන ශ්‍රී පලාබද්දල ශාසනවංශ හිමි (ගිහි කළ කේ.සී. දයානන්ද) විශ්‍රාමලත් ග්‍රාම නිලධාරි ශ්‍රි පලාබද්දල ඇම්.කේ.ජේ. ප්‍රේමසිරි, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එරත්​ෙන් චාල්ස් පැළෑඳගම, විශ්‍රාමලත් පාඨශාලාචාර්ය මාලිබොඩ පේරිපල්ලේ පීටර් ඉංලගරත්න යන හිතවතුන්ට අපගේ ස්තූතිය.   

 

 

 

(මතු සම්බන්ධයි)  

 

 

 

 

 

 

 

 

 

විශ්‍රාමලත් විදුහල්පති කලාභූෂණ   
ශ්‍රී පලාබද්දල කේයස් සපුගහලන්ද   
බාඳුරාගොඩ