රුක්මනී දේවියට අපහාසයක් යැයි සිතා ලංකාවේ ප්‍රථම වරට තහනම් කළ චිත්‍රපටය නළඟන


සලරුවක කතාව

 

 

සිනමා තරුවලට ආදරය කරන සිනමා ලෝලයෝ උමතුවෙන් හසුන්පත් ලියන්නෝ, ඔවුන් වෙනුවෙන් ජීවිතය පූජා කරන්නෝ තමාගේ ප්‍රියතමයන් සිහිනෙන් දකින්නෝ ගැන අප කොතෙකුත් අසා තිබේ. Fans නමින් හඳුන්වන මොවුන්ගෙන් ඇතැමෙක් තමන්ගේ ඇඳුම්වල, අත්වල ප්‍රියතමයන්ගේ අත්සන් ලබාගත් අවස්ථා එමට අප අසා ඇත්තෙමු. ඇතැම් සිනමා ලෝලියන් තම පපුවේද ප්‍රියතම කලාකරුවන්ගේ අත්සන් ලබා ගත් අවස්ථා එමටය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයයෝ එවැන්නන් හඳුන්වා ඇත්තේ ‘මුග්ධ ප්‍රසන්නයෝ’’ නමිනි. කලාකාරයන්, කලාකාරියන් වටා බමන රැස් වළල්ලට වඳින පුදන මෝඩ බැතිමතුන් ලෙස මහාචාර්යවරයා අර්ථකථනය කර තිබේ.  


වසර 72 ක් සපුරන සිංහල කතානාද සිනමාවේ ප්‍රථම නිළිය හා ගායිකාව වූ රුක්මණී දේවිය එකල ඇය රඟපෑ චිත්‍රපටවල පරමාදර්ශි චරිතවලට සතුරුකම් කරන කුමන හෝ දුෂ්ටයන් මේ රසිකයෝ පිළිකුල් කළහ. සිනමා ලෝලි රසිකයන්ට ඒ සඳහා වරද පැටවිය නොහැකිය. හොලිවුඩයේ සිට බොලිවුඩයට ද මුළු විශ්ව සිනමාවට ද මෙය පොදු ලක්ෂණයකි. එහෙත් ශ්‍රී ලංකාවේ සිනමා ලේඛකයන්, චිත්‍රපට පරීක්ෂක මණ්ඩල සාමාජිකයන්ද රුක්මණී දේවියගේ සිනමා ලෝලයන්ගේ තත්ත්වයට පත් වූ අවස්ථා ගැන අපට අසන්නට ලැබෙන්නේ හැටේ දසකයේ මුල හරියේය. 1960 වසරේ මුල භාගයේ චිත්‍රපට පරීක්ෂක මණ්ඩලය විසින් මුල්වට සිංහල චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනය සඳහා තහනම් කර ඇත.  


චිත්‍රපටය ‘නළඟන’ය   


හේතුව - මේ චිත්‍රපටයෙන් සුචරිතයට, බෞද්ධාගමට සිංහල සංස්කෘතියට කුල සිරිත්වලට පහර වදින බවය. මෙහි ප්‍රධාන නිළිය සමාජශාලා නළඟනක් වටා ගෙතී ඇති කාරණාවය. සිංහල සිනමාවේ පරමාදර්ශී කාන්තා චරිතය රඟපෑ රුක්මණී දේවි බටහිර පන්නයට ජීන්ස් ඇඳගෙන සමාජශාලා නළඟනක්සේ රඟපෑම හා ගීත ගැයීමද වක්‍රව මෙයට බලපෑ බව පෙනේ.  


එහෙත් රුක්මණී ‘නළඟන’ චිත්‍රපටයේ රඟපෑවේ අඩ නිරුවතින් නොවේ. කිසිදු රාගික හැඟීමක් පිළිබිඹු වෙන අන්දමේ එකම දර්ශනයකවත් ඒ චිත්‍රපටයේ ඇය රඟපා නැත. එසේ නම් මේ චිත්‍රපටය තහනම් කිරීමට හේතුව ඇත්තේ පරමාදර්ශි චරිතම රඟපෑ ප්‍රධාන නිළියක් නළඟනක ලෙස රඟපාමින් අපේ නිර්මල සිංහල සංස්කෘතියට හානි කරන බවට චෝදනා ඉදිරිපත් කරමිනි. සිනමා ලේඛකයන්, විචාරකයන්ද මේ අදහස අනුමත කරමින් ලිපි, විචාර ලියා තිබුණි. චිත්‍රපට කර්මාන්තයේ නියුතු නළු නිළියන් හා අධ්‍යක්ෂකවරු එයට එරෙහි වූ අවස්ථා තිබුණි. එසේනම් චිත්‍රපටය විකාශනය වෙන අන්දම විමසා බලමු.  


කන්ද උඩරට බෑවුම් සහිත පාරක ගමන් ගන්නා සුඛෝපභෝගි මෝටර් රථයකි. මෙහි ගමන් ගන්නා කඩවසම් තරුණයාගේ රිය නතර කරන්නේ දැකුම් කළු හෝටලයකය. තරුණයාගේ නම සුනිල්ය. සුනිල්ට කලින් ඔහුගේ මිතුරා හෝටලයට පැමිණ සිටියේය. ඔහු විනෝදකාමී, විහිළු තහළුවලට ප්‍රිය කෙනෙකි. ඔහු හෝටලයට පැමිණි විගසම එහි පිළිගැනීමේ තරුණියගේ සිත දිනාගනී. මිතුරාගේ කටේ නිතරම රැව්දෙන වචනයක් ඇත. ඕනෑම දෙයකට ඔහු ‘මල් හතයි’ කියයි.  


‘මොනවද මල් හත?’ කියමින් සුනිල් හෝටලයට පැමිණෙයි.  


දෙමිතුරෝ නවාතැන්ගත් හෝටලයේ කළමනාකරු හැම දෙයක් ගැනම විමසිල්ලෙන් සිටී.  


කළමනාකරු විසින් සුනිල් හා මිතුරා සමාජ ශාලාවේ අයිතිකරු වූ විකීට හඳුන්වා දෙයි. විකී සිටියේ කාඩ් සෙල්ලම් කරමිනි. ඔහුට කාඩ් කුට්ටම අපූරුවට කවලම් කළ හැකිය. එහි පැමිණි සුනිල්ටද විකී කාඩ් සෙල්ලමට ඇරයුම් කරයි. කාඩ් සෙල්ලම යන අතරේ සුනිල්ගේ පිටපසින් හිටගෙන සිටි සමාජ ශාලාවේ කළමනාකරු විකීට අවශ්‍ය කාඩ් එක කෝට් සාක්කුවෙන් මතුකර පෙන්වයි. මේ නිසා විකී කාඩ් සෙල්ලමින් හැම විටම ජයගනී. මුදල් සියල්ලම සූරා ගන්නේ විකීය. හිටි හැටියේ ගීතයක් ඇසේ. ජින්ස් එකක් හැඳගත් නළඟනක් ගීතයක් ගයමින් නටන්නීය. ඇය ගයන ගීතයේ අර්ථය වැටහුනේ සුනිල්ට හා මිතුරාට පමණි.  


‘මේ ආවා මං ආවා  
මේ දිනාවි සමහරු දිනුවා  
ඒත් පරාදේ අත් වේ  
කෙනෙකුට දුක් වීළා හොඳ නෑ  
මේ ආවා  
ලෝකේ ප්‍රීති වෙන්නේ  
සූදුවෙන්නේ දිනීමේ පරාජයේ  
ආයේ එන්නෙ නෑනේ  
වාරයක් ජීවිතේදීම මේ වාගේ  
ඔබ දිනුවේ නැතොත් ආයෙ මේ ආසියා  
පරාද වී දන්නේ නැද්ද ඇයි  
ඥානන් සූදුවෙන් මේ  
ජය ගන්නයි කියන්නේ  
හිතා බලා  
වාසනාවන්තයින් මේ   
හොඳ සිහි කල්පනාවෙන් දිනන් වේ  
ඔබ දිනුවේ නැතොත් ආයෙ මේ ආසියා  
පරාද වී දන්නෙ නැද්ද ඇයි බලා ඉන්නෙ  


ගීතයෙන් කියැවෙන අර්ථය තේරුම්ගත් සුනිල්ගේ මිත්‍රයා යළිත් විකී හා සුනිල් කාඩ් සෙල්ලම් කරන විට එහි අසළ සිටින සමාජ ශාලා කළමනාකරුට ඉවතට යන්න කියයි.  
‘තමුසෙ මොකද සුනිල්ගෙ කාඩ් කුට්ටම දිහා බලන්නේ. යනවා මෙතැනින්.’  


ඔහු ඉවත් වූ පසු විකී සමඟ සුනිල් කරන කාඩ් සෙල්ලමින් ජය පිට ජය ලබයි. විකීට හොඳටම කේන්ති යයි. සල්ලි සේරම දිනාගත් සුනිල් මිතුරා සමඟ කාමරයට යන විට විකී කෝපයෙන් බලාසිටී.  


විකී හා කළමනාකරු බාර් එකේ දී නළඟන නොහොත් ප්‍රේමා මුණ ගැසෙයි.  


‘ප්‍රේමා ඔයාගෙන් උදව්වක් ඕනෑ. අපේ හෝටලයේ ඉන්න සුනිල්ගේ කාර් එක අපි සූදුවෙන් ලබාගෙන එයාට ගෙදර යන්න බස් එකට මගෙන් සල්ලි ඉල්ලගන්න තැනට පත් කරන්න ඕනෑ.’  


ප්‍රේමා මෙයට විරුද්ධ වෙයි. මේ අතර සුනිල්ට ප්‍රේමා ගැන ආදරයක් සිතෙයි. ඇය සුනිල්ගේ ආදරය නොපිළිගනී. විකීගේ සිත ඇත්තේ ප්‍රේමා ගැනය. ප්‍රේමා හා සුනිල් අතර ආදරයක් ගොඩ නැගෙන බව ඉවෙන් දන්නා විකී ඇයගේ ආදරය බලෙන් ලබා ගැනීමට උත්සාහ ගනී. ඒ අවස්ථාවේ විකී හා සුනිල් ගැටෙයි. සුනිල් හා ප්‍රේමා විවාහ වීමට තීරණය කරයි. ඇය තම ධනවත් ගෙදරට ගෙනගොස් මවට හා නැගණියට හඳුන්වා දෙයි. මුලදී අකමැති වූ අම්මාගේ කැමත්ත ලැබූ ඔවුන් විවාහයට සූදානම් වෙයි. ප්‍රේමා සාප්පු ගිය අවස්ථාවක විකී අහම්බෙන් ඇය දැක ලුහුබඳී. සුනිල්ගේ මවට විකී ප්‍රේමා නළඟනක් බව පවසා විවාහය නතර කරයි.  


මේ අතර ප්‍රේමා අතුරුදන් වෙයි. සුනිල්ට මව ලීලා නම් රූමත් තරුණියක් බලෙන් විවාහ කර දුන්නත් ඔහු ප්‍රේමා ගැන සිතමින් හුදෙකලාව ජීවත් වෙයි. සුනිල්ගේ මේ වෙනස තේරුම් ගත් ලීලා රෝගාතුර වෙයි. ඇය මානසික රෝගයකින් පෙළෙයි. ඇය නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහලේ ඇය භාරව සිටින්නේ ප්‍රේමාය. ප්‍රේමා ආශා නමින් පෙනී සිටින්නීය. ආශාගේ කාරුණික සාත්තුව නිසා ඇය ක්‍රමයෙන් සුව ලබයි. සුනිල් පැමිණි දිනක ආශාට සැඟවී නොසිටින තත්ත්වයට පත් වෙයි. මේ අතර විකී ප්‍රේමා ලුහුබැඳ ඇය සිටින රෝහලට පැමිණ සියලු තොරතුර දැන ගනී. ඔහු ප්‍රේමාගේ ආදරය දිනා ගැනීමට බාධාව සුනිල් බව දැන ලීලාට වසදී ඒ පව ප්‍රේමා පිට යැවීමට උත්සාහ ගනී. වස මිශ්‍ර කිරි විදුරුවක් බීමෙන් ලීලා මිය යයි. ප්‍රේමා සිර භාරයට පත්වෙයි. සුනිල් නියම මිනීමරුවා සොයා දීමට පොලීසියට සහාය වෙයි. විකී පොලිස් භාරයටද ප්‍රේමා සුනිල් භාරයට ද පත්වෙයි.  


‘නළඟන’ චිත්‍රපටයේ ප්‍රේමා මෙන් රුක්මණී දේවිද, සුනිල් මෙන් රවීන්ද්‍ර රූපසේනද, ලීලා මෙන් ලීනා ද සිල්වාද විකීලෙස ඇල්ප්‍රඩ් එදිරිමාන්නද, සුනිල්ගේ මිතුරා මෙන් එඩී ජයමාන්නද, සමාජ ශාලා කළමනාකරුලෙස එච්.ඩී. කුලතුංගද, සුනිල්ගේ මවමෙන් රූබීද මෙල් ද, සුනිල්ගේ නංගී ලෙස උදුලා දාබරේද රඟපාති. මෙයට අමතරව ජෝ අබේවික්‍රම, රිචඩ් ඇල්බට්, නාලනී අභයපාල, විජිත මල්ලිකා, පිටිපන සිල්වා, ඩඩ්ලි වානගුරු ද මේ චිත්‍රපටයේ රඟපාති.  


‘නළඟන’ චිත්‍රපටයේ කිසිදු අසැබි දර්ශනයක් නැත. එය 1957 වසරේ තිරගත වූ ‘හිල් ස්ටේෂන්’ නම් හින්දි චිත්‍රපටයේ කථාව ඇසුරෙන් පිටිපන සිල්වා දෙබස් ලියූ චිත්‍රපටයකි.  
‘හිල් ස්ටේෂන්’ හින්දි චිත්‍රපටයේ බිනාරයි, ප්‍රදීප් කුමාර් හා ශස්ඩා රඟපෑහ.  


රුක්මණී දේවි කොයිමේ පරමාදර්ශී ස්ත්‍රී ප්‍රතිරූපයක් ඇති කරගෙන සිටියාද යත් ඇය වෙනස් සංකීර්ණ චරිතවලට (ප්‍රතිරූපයට හානි කරන) චරිත රඟපෑම ගැන සිනමා ලෝලයන් මෙන්ම විචාරකයන්ද අකැමැත්තෙන් සිටි බව පෙනේ. මේ බව ‘‘දෙවිසි වසරක සිංහල චිත්‍රපට හා විචාරක සම්මාන’’ සඟරාවේ මෙසේ සඳහන්වෙන මේ ඡේදයෙන් මොනවට පැහැදිලි වේ.

  
‘නරඹන්නන්ගේ මනෝ ලෝක තුළ පූජනියත්වයට පැමිණ නොනැසී පවතින නළු නිළි ප්‍රතිරූපවලට ගැළපෙන චරිත මැවීම නොමඳව කෙරිණ’’  


‘‘නළඟන’’චිත්‍රපටය ගැන ආන්දෝලනයක් ඇති කිරීමට කෙතරම් සමත් වීද යත් චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ සියලුම සභිකයන් කැඳවා පැවැත් වූ දෙවැනි ප්‍රදර්ශනයෙන් පසු එනම් 1960 ජුනි 15 වෙනිද‌ා ගත් තීරණයක් අනුව චිත්‍රපටය මහජනයාට ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතු බව තීරණය කරන ලදී. ‘නළඟන’ චිත්‍රපටය තහනම් කළ යුතුය යන චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ තීරණය අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති බර්නාඩ් අලුවිහාරේ මහතා විසින් නිෂ්ප්‍රභාකොට එය මහජනයාට ප්‍රදර්ශනය කිරීමට නිදේශය ලැබුණු බව 1960 ජුලි 12 වෙනිදා ‘ලංකා චලනචිත්‍ර’ සඟරාවේ පළවී තිබුණි. ඇමැතිවරයාගේ මේ තීරණයට විරුද්ධව පරීක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් සංදේශයක් ඉදිරිපත් කර තිබුණි. එම නිවේදනය ද ‘ලංකා චලන චිත්‍ර’ සඟරාවේ පළ වූ අතර එයට අත්සන් තබා තිබුණේ පී.පී. වික්‍රමාරච්චි, ටී.යු.ද සිල්වා, ඇල්.එච්. මෙත්තානන්ද, අමරසේකර උක්වත්තගේ, ඊ.සී. රාජපතිරණ යන සාමජිකයන්ය. එහි මෙසේද සඳහන්ව තිබිණ.  


‘නළඟන නමැති සිනමා චිත්‍රපටය දුෂ්චරිතයට ජය ග්‍රහණය හා සුචරිතයට පරාජයත්, ලැබෙන බැව් හුවා දැක්වෙන කථා ශරීරයක් නිරූපනය කෙරෙන හෙයින් සදාචාරයට හානි කරවූද බෞද්ධාගම සහ ජාතික සංස්කෘතිය කෙළසන්නා වූද සිංහල ශිෂ්ටාචාරයට හා කුල චාරිත්‍රවලට පටහැනි වූ ද පොලිස් නිලධාරීන් දුර්වල අඥාාන පිරිසක් වශයෙන් අවඥාවට භාජනය කර තිබෙන්නා වූද දර්ශන ඇතුළත් ජන සමාජය නොමඟට පොළඹන අසභ්‍ය චිත්‍රපටයක් හෙයින් සිනමා චිත්‍රපට පරීක්ෂණය පිළිබඳ ව්‍යවස්ථා මාලාවට විරුද්ධ වූ එකී චිත්‍රපටය මහජනයාට ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතු බැව් ප්‍රසිද්ධ සංදර්ශන පරීක්ෂක මණ්ඩලය තීරණය කරයි.’ මේ යෝජනාව පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කිරීමෙන් පසු ඡන්දය විමසීමේදී ඡන්දය දුන් සභිකයන් නව දෙනාගෙන් හය දෙනෙක්ම ඊට පක්ෂව ඡන්දය දුන්හ. රැස්වීමට පැමිණ සිටි සිංහල බෞද්ධ සභිකයන් හයදෙනාම මෙම චිත්‍රපටය තහනම් කළ යුතු යයි එක හෙළා කියා සිටියහ.  


‘කලා’ සිනමා සඟරාව තම මතය ඉදිරිපත් කරමින් කියා සිටියේ චිත්‍රපට පරීක්ෂක මණ්ඩලය පහළොස් දෙනෙකුගෙන් සකස් වුවත් හය දෙනෙකු ‘නළඟන’ පෙන්වීම නුදුසුයයි තීරණය කිරීම වැරදි බව හා යුක්ති නොවන බවය.  


1960 ජුලි 27 වැනිද‌ා ‘නළඟන’ චිත්‍රපට විචාරයක් ‘දිනමිණ’ පුවත්පතට ලියූ ජයවිලාල් විලේගොඩ කියා තිබුණේ රුක්මණීට ලැබී ඇති කොටස ඇයට නොගැලපෙන බවත් චිත්‍රපටයේ හොඳම නිළිය (ලීලා) ලෙස රඟ පෑ ලීනා ද සිල්වා බවය. විලේගොඩ මෙසේද පවසා තිබුණි.  


‘රුක්මණීට අන්දවා ඇති ඇඳුම් ඇයට නොහොබී. ඉදිරිපත් කරන නැටුම් ඇයට මදි කමකි. මේ අපහසුකම් මැද තනි වූ රුක්මණී පුරුදු සමත් කම් පාන්නට බැරිව අසරණව සිටී’  
‘නළඟන ජාතික අපරාධයකි’ මැයෙන් (1960 අ​ගොස්තු 01 වෙනිදා) ‘ලංකා චලන චිත්‍ර’ සඟරාවට සිරිල් ඒ.සීලවිමල කියා ඇත්තේ මේ අදහසය.  


‘නළඟන මගින් කර ඇති තවත් විශාල වරදක් නම් සිංහල තිරයේ අසහාය නිළිය රුක්මණී දේවි පිළිකුලට පත් කිරීමයි. ඇය ජීන්ස් ඇඳ බාර් එකේ නටන විට ‘‘අනේ රුක්මණීට කළ අපරාධයක හැටි’’ යන සිතිවිල්ල ඇති වේය රුක්මණී, ජීන්ස්වලටත්. බාල් නැටීම්වලටත්, එහි ගයන අන්දමේ ගී ගැයීමටත් නුසුදුසු බව දැන දැනම අධ්‍යක්ෂ ඇයද පිළිකුලට භාජනය කරවා ඇත.’  


නළඟන, මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේද අප්‍රසාදයට පත් වූ චිත්‍රපටයකි. ‘ගැමි ජනයා සහ සිංහල සිනමා සිත්තම්’ නම් ලිපියෙන් (සිළුමිණ 1960 අගෝස්තු 07) මේ බව පැවසෙයි.  

 

සුනිල් (රවීන්ද්‍ර රූපසේන) ප්‍රේමා (රුක්මණී)  සහ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න

 

රුක්මණී දේවි සහ ලීනා ද සිල්වා අතර ආරවුල බේරීමට රවීන්ද්‍ර රූපසේන තැත් කරන දර්ශනය

 

 


‘නළඟන කොළඹ හා තවත් නගරයක දෙකක හැර අනෙක් උප නගරවල හා ගම් නියම්ගම්වල දැක්වීම තහනම් කළ යුතු සිත්තමකියි මම සිතමි. නාගරිකයන්ට අසභ්‍ය නොවූ පලියට ඒ හැම දේ ගම්වලට යැවීම ජාතියක් වශයෙන් ලාංකිකයන්ගේ විනාශයට මඟ පෑදීමකි. නළඟන සිනමා සිත්තම නාගරික සංස්කෘතිය විසින් හික්මවනු ලැබූ උගතුන්ට නම් අසභ්‍ය නොවේ. එහෙත් ඔවුන් අතුරින් වඩාත් හොඳ උගැන්මක් ලැබූවන්ගෙන් සියයට අනූ දෙනකුත් ‘නළඟන’ සිත්තම ග්‍රාම්‍ය යැයි හෙළා දකිනු ඇත. අසභ්‍ය සිනමා සිත්තමක් කලාත්මක වශයෙන් උසස් විය හැකිය. ග්‍රාම්‍ය සිනමා සිත්තම් කලාත්මක දෙයක් වශයෙන් ලබන්නේ පහත් තැනකි. හොඳ රුචියක් ඇති උගත් නාගරිකයන්ගේ විනිශ්චය අනුව ‘නළඟන’ ග්‍රාම්‍ය සිනමා සිත්තමකි.’  


‘නළඟන’ චිත්‍රපටයේ ගීත 10 කි. මේ ගීත අතුරින් වඩාත් ජනප්‍රිය වූයේ එකම ගේය පද රචනය එකම තනුව දෙවතාවක් ගැයීමය. එක් වරක් රුක්මණි දේවි හා මොහිදීන් බෙග් ද තවත් වරෙක ජී.එස්.බී. රාණි පෙරේරා ද ගයති. ගේය පද රචනය ඩබ්ලිව්.බෙනඩික්ට් ප්‍රනාන්දුය..  


‘පරම රමණී අපේ ආලේ  
සදා කල් සැපත වී ලෝලේ  
සමාජේ රුදුරු කාන්තාරේ  
කොහේ අපි යමු යනු නොමතේරේ’  


මහාචාර්ය සුනිල් ආරියරත්න පවසා ඇති අන්දමට (සිංහල චිත්‍රපට ගීතාවලිය (1957-1961) ‘නළඟන’ චිත්‍රපටයේ ඇතැම් ගී තනු ස්වතන්ත්‍ර බවය. ඒවා නම් මුත්තුසාමි ගයන ‘ගිලුණා සෝක ගඟේ’ ‘පරම රමණී’ රුක්මණි ගයන ‘සිතෙහි බැඳි ආලේ’ ගීතය. ‘හිල් ස්ටේෂන්’ හින්දි චිත්‍රපටයට හේමන්ත් කුමාර සැපයූ පසුබිම් සංගීතය පවා මුත්තුසාමි අනුකරණය කර ඇතැයි සිනමා විචාරක ජයවිලාල් පවසා ඇති බව මහාචාර්ය ආරියරත්න පවසයි.  


1960 ජූලි 17 වෙනිදා ප්‍රදර්ශනය ඇරැඹූ ‘නළඟන’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇල්.ඇස්. රාමචන්ද්‍රන්ය. සංගීත අධ්‍යක්ෂවරයා ආර්. මුත්තුසාමිය.  


‘නළඟන’ චිත්‍රපටයේ තහනම ගැන එකල පුවත්පත්වල අදහස් පළවී ඇත. ප්‍රධාන නිළි චරිතය රඟ පෑ රුක්මණි දේවි ‘දිනමිණ’ (1960 ජුලි 05) අදහස් පළ කරමින් තමා ‘නළඟන’ චිත්‍රපටයේ රඟපෑම් ගැන තමා කිසිසේත් කලකිරෙන්නේ නැති බව පවසා සිටියාය. එකල තවත් ජනප්‍රිය චිත්‍රපට නිළියක් වූ ෆ්ලෝරිඩා ජයලත් ද (1960 ජුලි 05 දිනමිණ) රුක්මණීගේ අදහස් අනුමත කරන තවත් ලිපියක් පළකොට තිබුණි.  


චිත්‍රපට අධ්‍යක්ෂ බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්න 1960 ජුලි 06 වෙනිදා ‘දිනමිණ’ පත්‍රයට ‘චිත්‍රපට පාලනය කරන්නේ අවබෝධයක් ඇතිවද?’’ යන ප්‍රශ්නය මතුකොට තිබුණි.  


‘‘තහනම් කරන්නට තීරණය වූ ‘නළඟන’ චිත්‍රපටය සංස්කෘතික ඇමතිගේ නියමෙන් එක් දර්ශනයක් පමණක් කපා දැන් ප්‍රදර්ශනයට ඉඩ දී තිබේ’’.  


‘‘අපේ චිත්‍රපට පරීක්ෂක මණ්ඩලය නැත්නම් මණ්ඩලයේ වැඩිදෙනා තමන්ට අයත් වගකීම හෝ කාර්යය ගැන නොදන්නා ඔලමොට්ටල පිරිසක්’’  


චිත්‍රපට නළු ලැඩී රණසිංහ (1960 ජුලි 06 - දිනමිණ) කියා තිබුණේ තහනම් කළ යුත්තේ පරීක්ෂක මණ්ඩලය බවය.  


‘‘මේ පරීක්ෂක මණ්ඩලය පත් වූ දා සිට දුන් හැම තීන්දුවකින්ම පෙනුණේ ඔවුන්ගේ මන්ද බුද්ධියයි. සිංහල සිනමාවේත් රටේත් යහපතම තකා කළ යුත්තේ මේ මණ්ඩලය තහනම් කිරීමයි’’ ලැඩී රණසිංහ කියා ඇත.  


සිංහල සිනමාවේ ‘නළඟන’ චිත්‍රපටය එක්තරා අන්දමක විවාද සම්පන්න බව මේ අනුව පෙනී යනු ඇත. 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්