රිච්මන්ඩ් නම් මනරම්


රිච්මන්ඩ් කෞතුකාගාරය, සරේ, ලන්ඩන් 

 

 

 

රිච්මන්ඩ් නම් වචනය ළගන්නාසුලුය, සුමිහිරිය, මනෝහරය. ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ සිසු දරුවන් ‘රිච්මන්ඩ්වරුන්’ ලෙසින් හඳුන්වනු ලැබේ. ‘රිච්මන්ඩ්වරයකු වීම සාඩම්බරයකි’ යන්න ගාල්ලේ මෙන්ම දකුණේ පමණක් නොව සිරිලක කොහේදී වුවද රථවාහනයක පිටුපස අලවා තිබෙනු ඔබ දැක ඇතිවාට සැක නැත. රිච්මන්ඩ් ශිෂ්‍යයන්ට, ආදි සිසුන්ට ගුරුභවතුන්ට හෘදයාංගම වූ රිච්මන්ඩ් නාමය ඔවුනට පමණක් සීමාවූවක් නොවේ. එය පෘථිවිතලය පුරා විසිරී ගම්දනව් නගර සිසාරා පැතිරී තිබෙන්නකි. එහෙව් පරසිදු රිච්මන්ඩ් නාමයේ වගතුග නිච්චියටම දන්නේ කීයෙන් කී දෙනාද? මේ ලිපියේ අරමුණ රිච්මන්ඩ් නාමයේ ජන්ම පත්‍රය හා රිච්මන්ඩ් නාමධාරී ලෝ පතළ රමණීය ස්ථාන කීපයක වතගොත හෙළිදරව් කිරීමටයි.   


රිච්මන්ඩ් වංශ කථාවේ අක්මුල් ක්‍රි.ව. එකොළොස් වැනි සියවසේ නෝමන්වරුන්ගේ එංගලන්ත විජයග්‍රහණය දක්වා දිවයයි. එංගලන්තයේ අවසාන ඇන්ග්ලෝ සැක්සන් නරපති එඩ්වඩ් රජුට තමන්ගෙන් පසු රජකම උරුමකරදීමට දරුමල්ලන් කිසිවකුත් නොමැති විය. එහෙයින් එඩ්වඩ් රජුගේ ඇවෑමෙන් ඔහුගේ මස්සිනා වූ හැරල්ඩ් ගොඩ්වින්සන් රාජ්‍යත්වයට පත්වූයේය. නමුත් ඔහුට වැඩිකල් රජකම් කිරීමට ඉඩ හසර නොලැබුණි. ප්‍රංශයේ නෝමැන්ඩ් පළාතේ ආදිපා​ද දෙවන විලියම් විසින් මහා හමුදාවක් පිරිවරාගෙන එංගලන්තය ආක්‍රමණය කරන ලදී. ක්‍රි.ව. 1066 වසරේ ඔක්තෝබරයේ දී මෙකී දෙවැනි විලියම් විසින් පෝස්ටිං නුවරදී හැරල්ඩ් රජු පරදා විජයග්‍රහණය කරන ලදී. එංගලන්තයේ ඇන්ග්ලෝ සැක්සන් රජ පෙළපතේ අවසානයේම නෝමන් රජ පෙළපතක ආරම්භය ද සනිටුහන් කළ එය එංගලන්ත ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ. 
ජයග්‍රාහක විලියම් රජතෙමේ මෙම මහා සටන දිග් විජය කිරීමට උපකාර කළ ස්වකීය සෙන්පතියන්ට තුටු පඬුරු ලෙස ගම්වර පිරිනැමුවේය. විලියම් රජුගේ සෙනෙවියකු වූ ප්‍රංශ සිටුවර බ්‍රිටනියේ ඇලන් රූෆස් (රතු ඇලන්) හට එංගලන්තයේ උතුරු යෝක්ෂරයේ මහා ගම්වරයක් නින්දගමක් ලෙස හිමි විණි. මෙම රතු ඇලන් සිටුවරයා ක්‍රි.ව. 1071 දී උතුරු යෝක්ෂරයේ ස්වේල් නදිය අසබඩ තුඟු කඳු මුදුනක මහා මන්දිරයක් ගොඩනංවා ඊට ‘රිච්මන්ඩ්’ යන නාමය තැබුවේය. එය රිච්ම්න්ඩ් ජන්ම කේන්ද්‍රයේ තිඹිරිගෙයයි. මෙම සුන්දර රිච්මන්ඩ් මන්දිරය වටා වූ රාෂ්ට්‍රය එතැන් පටන් රිච්මන්ඩ්ෂයර් නොහොත් රිච්මන්ඩ් කෝරළය බවට පත්විය. මෙම රිච්මන්ඩ් කෝරළයේ අධිපතිවරු එවක පටන් රිච්මන්ඩ් හි අර්ල්වරුන් ලෙසින් හඳුන්වනු ලැබුවෝය. රතු ඇලන් සිටුවරයාගේ ඇවෑමෙන් රිච්මන්ඩ් මාළිගයේ හිමිකාරීත්වය උරුම වූ බ්‍රිටනියේ ආදිපාදවරු අනාදිමත් කාලයක් තිස්සේ රිච්මන්ඩ්හි අර්ල් පදවියද ඉසිලුවෝය. 


කාලයාගේ ඇවෑමෙන් දාහතර වැනි සියවසේ අගභාගය වනවිට උතුරු යෝක්ෂයර් රිච්මන්ඩ් මන්දිරයේ ශ්‍රී විභූතිය ක්‍රමක්‍රමයෙන් වියැකී යන්නට විය. ක්‍රි.ව. 1855දී උතුරු යෝක්ෂයර් මහජන හමුදාවේ මූලස්ථානය බවට පත් වූ එය, 1908-1910 වකවානුවේදී උත්තර රාෂ්ට්‍ර හමුදාවට අණදුන් බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩ්න් පවල් සාමිවරයාටද නිවහන වූයේලු. 


මෙකී රිච්මන්ඩ් නගරය දැන් ඊසාන දිග එංගලන්තයේ උතුරු යෝක්ෂයරයේ රිච්මන්ඩ්ෂයර් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අති රමණීය නගරයකි. යෝක්ෂයර් ඩේල්ස් ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇති රම්‍ය රිච්මන්ඩ් නගර මධ්‍යයේ ස්වේල්නදිය අභියසින් රතු ඇලන් සිටුවරයා විසින් ගොඩනංවන ලද රිච්මන්ඩ් මාලිගයේ මහා පවුරු පදනම් දෙනෝදාහක් සංචාරකයන්ගේ මනදොළ අමන්දානන්ද කරමින් දැනුදු විරාජමාන වන්නේය. ස්වේල් නදියේ රිච්මන්ඩ් නගරබද ඉසව්වේදී කඩා හැලෙන ‘රිච්මන්ඩ් දිය ඇලි පෙළේද, රිච්මන්ඩ් නුවර අසිරිය තව තවත් සුන්දර කරන්නේය. 

 

උතුරු යෝක්ෂරයේ රිච්ම්න්ඩ් මන්දිරයේ අවශේෂ 

 

 


ප්‍රංශ සිටුවර ඇලන් රූෆස් උතුරු යෝක්ෂරයේ ඉදිකළ මහ මැදුරට ‘රිච්මන්ඩ්’ නාමය යෙදුවේ ඇයි දැයි ඉඳුරාම කිව හැකි නොවේ. නමුත් ඇලන් රූෆස් සිටුතුමා සහ ඔහුගේ නයිට්වරුන් ප්‍රංශයේ බ්‍රිටනි පළාතේ සිට පැමිණි උදවියයි. දැනටත් උතුරු දිග ප්‍රංශයේ නෝමැන්ඩ් පළාතේ ‘රිච්මොන්ට්’ (Richemont) නම් ඉසව්වක් පිහිටා තිබේ. රිච්මන්ඩ් යන වදනක් "Rche Monte" යන ප්‍රංශ වදනෙන් බිඳී ආවක් ලෙස සැලකේ. මින් 'riche' යන්නෙන් ඉසුරුමත්, තේජස්වී, සමෘද්ධිමත් යන අර්ථ ගැන්වේ, 'monte' යන්න කන්ද, ගිර යන තේරුම් සහිත වේ. එනයින් ගත් කල රිච්මන්ඩ් නම් තේජාන්විත වදන ‘ඉසුරුගිර’ නොහොත් ‘තේජස්කන්ද’ යන අරුත් ගෙන දේ. 


එංගලන්තයේ හත් වැනි හෙන්රි රජතුමා වර්ෂ 1501දී සරේ ප්‍රාන්තයේ තේම්ස් නදී නිම්නයේ ෂීන් නම් ප්‍රදේශයේ මහා රාජ මාළිගාවක් ගොඩනැඟුවේය. හෙතෙම කිරුළු පැලඳීමට පෙරාතුව උතුරු යෝක්ෂයරයේ රිච්මන්ඩ් හි අර්ල්වරයා ලෙස කටයුතු කර තිබුණි. තමා අර්ල් පදවිය හෙබවූ උතුරු යෝක්ෂයරයේ රිච්මන්ඩ් ප්‍රදේශය සිහිගැන්වීමට හෙතෙම ක්‍රි.ව. 1500දී ෂීන් නගරය ‘රිච්මන්ඩ්’ ලෙසින් නම් කරන ලද්දේය. එතැන් පටන් එය මිහිපිට රිච්මන්ඩ් නාමයට උරුමකම් කියන දෙවැනි ස්ථානය ලෙසින් ජගත් ඉතිහාසයට එකතු විය. 1649 දී සිදුවූ පළමුවැනි චාර්ල්ස් රජුගේ අභාවය වෙන තුරු සරේ ප්‍රාන්තයේ තේම්ස් ගඟබඩ මෙකී මහා රිච්මන්ඩ් මාළිගය එංගලන්ත රජ පවුලේ රාජකීය වාසභවනක් වූයේය. එය වෙසෙසින් පළමු වැනි එළිසබෙත් මහා රාජිනියගේ ප්‍රියතම මන්දිරයක් වූ අතර රිච්මන්ඩ් උද්‍යානයේ මුවන් දඩයම් කිරීමට ඈ මහත් ලොල් වූවාය. එංගලන්ත රාජමාළිගා අතුරින් ඉතා උණුසුම් මාළිගයක් ලෙස සැලකුණු මෙම මනරම් රිච්මන්ඩ් මන්දිරයේ ශීත ඍතුව ගත කිරීමටද ඇය බෙහෙවින් ප්‍රිය කළාලු. 


දාහත්වන සියවසේ මුල් භාගයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විධායකයට අනුව මෙම තේම්ස් නදීතෙර වූ රිච්මන්ඩ් මන්දිරයේ මිනුම් කටයුතු සිදුකර පවුම් 13000ක මුදලකට විකුණා දමනු ලැබිණි. කාලයාගේ ඇවෑමෙන් විභූතිමත් රිච්මන්ඩ් මාළිගය නටබුන්වූ නමුදු දැනට ශේෂ වී ඇති ගේව්හවුස්, වෝඩ්‍රෝබ් සහ ට්‍රම්පටර්ස් හවුස් යන අවශේෂයන් සහ මේ ඉසව්වේ පිහිටා ඇති පරණ මාළිගා පටුමග, පරණ මාළිගා අංගණය වැනි වත්මන් වීථි නාමයන් අතීත රාජකීය පෞඩත්වයේ ශ්‍රී විභූතිය දැනුදු සිහි ගන්වන්නේය. 
මහා ලන්ඩනය එංගලන්තයේ චිරාගත ප්‍රාන්තයකි. එය ලන්ඩන් නගරයත් ඒ වටා පිහිටි ලන්ඩන් පේරු තිස් දෙකකිනුත් සමන්විත වේ. එයින් රිච්මන්ඩ් නමින් යුතු පේරුව ‘තේම්ස් උඩ රිච්මන්ඩ්’ නොහොත් රිච්මන්ඩ් අපෝන් තේම්ස් නමින් හැඳින්වේ. තේම්ස් ගඟ දෙපැත්තේම පිහිටි බිම් පෙදෙස් අයත් වන එකම ලන්ඩන් පේරුව එයයි. අතීතයේ විසල් රිච්මන්ඩ් මාළිගාව වැජඹුණු රිච්මන්ඩ් නගරය වර්තමානයේ නිරිත දිග ලන්ඩනයේ තේම්ස් නදී නිම්නයේ පිහිටි උප නාගරිකයකි. දැනට එය ‘තේම්ස් උඩ රිච්මන්ඩ්’ ලන්ඩන් පේරුවට අයත් වේ. දැනුදු මෙහි විද්‍යාමාන වෙන රිච්මන්ඩ් පාලම, රිච්මන්ඩ් උද්‍යානය, රිච්මන්ඩ් කන්ද සහ රිච්මන්ඩ් තණතිල්ල යනාදී සුවිශේෂී ස්ථානයන් රම්‍ය රිච්මන්ඩ් සිරියාව තව තවත් අසිරිමත් කරවයි. 


ක්‍රි.ව. 1890 සිට 1965 දක්වා වකවානුවේ එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ රිච්මන්ඩ් නමින් නාගරික කොට්ඨාසයක් තිබුණේය. එය 1890 දී රාජකීය සන්නසක් මගින් බිහිකරන ලද්දකි. 1965 දී එය අහෝසි කෙරුණු අතර ‘තේම්ස් උඩ රිච්මන්ඩ්’ නම් ලන්ඩන් නාගරික පේරුව බිහි කෙරිණි. පැරැණි රිච්මන්ඩ් නාගරික කොට්ඨාසයේ පුරහල දැන් කෞතුක වස්තුන්ගෙන් අනූන රිච්මන්ඩ් කෞතුකාගාරයයි. 1988 වසරේදී දෙවැනි එළිසබෙත් මහා රාජිනියගේ සුරතින් විවෘත කෙරුණු මෙම කෞතුකාගාරයේ පුරාණ රිච්මන්ඩ් මන්දිරයේ ආකෘතියක් සහ එම මාළිගයෙන් ශේෂ වූ වෛවර්ණ වීදුරු කැබැලි තැන්පත් කර තිබේ. 


තේම්ස් නදිය හරහා දහ අට වැනි සියවසේදී ඉදි කෙරුණු රිච්මන්ඩ් පාලම දැකුම්කුලු ගල් ආරුක්කු පාලමකි. එමගින් තේම්ස් උඩ රිච්මන්ඩ් නම් ලන්ඩන් පේරුවේ අර්ධයන් ද්විත්වය එකිනෙක හා සම්බන්ධ කෙරේ. තවද රිච්මන්ඩ් නගර මධ්‍යයට කිට්ටුවෙන් පිහිටා ඇති රිචිමන්ඩ් තණතිල්ල එංගලන්තයේ නාගරික තණ තිලි අතුරින් රමණීය තණ පිටියක් ලෙස සැලකේ. ‘රිච්මන්ඩ් පාක්’ උද්‍යානය තේම්ස් උඩ රිච්මන්ඩ් නම් ලන්ඩන් පේරුවේ ඇති දර්ශනීය උද්‍යානයකි. දාහත් වැනි සියවසේදී පළමු වැනි චාල්ස් නිරිඳුන් විසින් මෙය මිගදායක් (මුව උයනක්) ලෙසින් අරඹන ලදී. අක්කර 2500ක වපසරියක් පුරා පැතිර පවතින එය ලන්ඩනයේ ඇති විශාලතම රාජකීය උද්‍යානයයි. දැකුම්කලු පෞරාණික ස්මාරක හා ගොඩනැගිලි රැසකින් හෙබි මෙම සුන්දර උද්‍යානය එංගලන්තයේ ජාතික සොබා රක්ෂිතයක් ලෙසින් මෙන්ම පළමු ශ්‍රේණියේ ඓතිහාසික උද්‍යානයක් ලෙසින් කිරුළ දරයි. එමෙන්ම එය යුරෝපයේ සුවිශේෂී සංරක්ෂිත ප්‍රදේශයකි. මෙම රිච්මන්ඩ් උයනේ පිහිටි මනරම් ධවල නිවහන කලෙක රාජකීය වාසභවනක් ලෙස යොදා ගැනුණු අතර දැන් එය රාජකීය බැලේ පාසලට නිවහන වේ. 

 

තේම්ස් නදිය හරහා ඇති රිච්මන්ඩ් පාලම 

 

 


ලන්ඩනයේ රිච්මන්ඩ් කන්ද තේම්ස් නදී නිම්නයේ උතුරු දෙසින් අපූරු දසුන් මවමින් නැගී සිටී. මෙම රිච්මන්ඩ් ගිරිමුදුනේ සිට නෙත ගැටෙන රමණීය දසුන දුටුවන් මනමත් කරවයි. රිච්මන් ගිරි ශිඛරය මත්තට දිස්වන මෙම මනරම් භූ දර්ශනය කෙතරම් වැදගත්ද යත් එය පාර්ලිමේන්තු පනතකින් ආරක්ෂිත එකම එංගලන්ත භූමි දර්ශන පථයයි. 1902 දී නීතිගත කෙරුණු රිච්මන්ඩ්, පීටර්ෂැම් සහ හැම් එළිමහන් අවකාශ පනත මගින් එය සුරක්ෂිත වී තිබේ. මෙම අති සුන්දර අතුල්‍ය භූමි දර්ශනය මිහිපිට රිච්මන්ඩ් නාමය ලැබූ තවත් අනභිභවනීය විජයභූමි ද්විත්වයකට මඟ පෙන්වූයේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියාවේ රිච්මන්ඩ් නුවර නිර්මාතෘ විලියම් බර්ඩ් II වර්ජිනියාවේ ජේම්ස් නදියේ ගං දඟරය, ලන්ඩනයේ තේම්ස් නදියේ ඇති ගං දඟරය හා සමාන බැව් දැක, ඊට රිච්ම්න්ඩ් යන නාමය ලබා දුන්නේ යැයි කියැවේ. පසුව කී රිච්මන්ඩ් නුවර දැන් ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ අගනුවරයි. එය රිච්මන්ඩ් නාමය ලැබූ ලොව තුන්වැනි නගරය ලෙස සැලකේ. 


1843 වර්ෂයේදී වෙස්ලියානු මෙතෝදිස්ත සභාවේ දේවධර්ම අධ්‍යයන ආයතනය එංගලන්තයේ සරේහි තේම්ස් ගංතෙරේ පිහිටි සුන්දර රිච්මන්ඩ් කන්දේ ස්ථාපනය කරනු ලැබිණි. දේවධර්ම ප්‍රචාරය සඳහා දේශ දේශාන්තරයන් කරා යැවුණු වෙස්ලියානු මෙතෝදිස්ත මිෂනාරිවරුන් බොහෝ දෙනෙකුට ගුරුහරුකම් දුන් තැන මෙතනයි. ලක්දිවට ගොඩබට මෙතෝදිස්ත මිෂනාරීවරුන් බොහෝමයක් දෙව්සිප් ලැබූ තැන වූයේද මෙකී රිච්මන්ඩ් වෙස්ලියානු දෙව්සත්හලයි. දීර්ඝ කාලයක් තිස්සේ වෙස්ලියානු මෙතෝදිස්ත මිෂනාරීවරුන්ගේ නැණ නුවණ පෑදූ මෙම රිච්මන්ඩ් දෙව්සත්හල කාලයා සමඟ අනේකවිධ වෙනස්වීම්වලට බඳුන් විය. 1972 වසරේදී මෙතෝදිස්ත සම්මේලනය විසින් මෙම දෙව්සත්හල වසා දමා එහි දේපළ සියල්ලම විකුණා දමන ලදී. දැනට එම පරිශ්‍රයේ ලන්ඩනයේ ඇමරිකානු ජාත්‍යන්තර සරසවියේ රිච්මන්ඩ්හිල් මණ්ඩපය පවත්වාගෙන යනු ලැබේ. 


දකුණු දිග ලංකාවේ ගාල්ලේ කුඹල්වැල්ලේ පිහිටියා වූ සෙවුවර්කන්ද නොහොත් සිලරිගේ කන්ද දහනම වැනි සියවසේ මැද භාගයෙදී ලියන වඩුගේ කන්ද දොස්තර කන්ද ආදී නම්වලින්ද හඳුන්වනු ලැබූ, ගැමි සුන්දරත්වයෙන් අනූන වූ, රමණීය භූමිභාගයක් විය. 1857 වර්ෂයේදී එවකට මෙතෝදිස්ත සබාවේ ගාලු ප්‍රධානියා වූ ජෝසෆ් රිපන් දේවගැතිතුමාගේ මඟ පෙන්වීමෙන් මෙම භූමිය පවුම් හැත්තෑපහක මුදලක් ගෙවා වෙස්ලියානු මෙතෝදිස්ත මිෂනාරි ව්‍යාපාරය විසින් මිලට ගනු ලැබිණි. මෙම මනරම් කඳු ගැටයේ ස්වභාවලංකාරයෙන් වශීකෘතවූ ජෝසෆ් රිපන් දේවගැතිතුමා මෙහි ශෝභාවේත් සරේහි රිච්මන්ඩ් කන්දේ සිරියාවේත් සමරූපීතාවක් අත්විඳින්නට ඇත. තවද ජෝසෆ් රිපන් දේවගැතිතුමා අධ්‍යාපනය ලැබුවේ තේම්ස් නදී නිම්නයේ රිච්මන්ඩ් නුවර වෙස්ලියානු දෙව්සත්හලෙයි. ඉතින් රිපන් දේවගැතිතුමා විසින් එවකට සිලරිගේ කන්ද ලෙසින් හැඳින්වූ මෙම කෙම්බිම රිච්ම්න්ඩ් කන්ද ලෙසින් නම්කරන ලදී. 


එකල ශාස්ත්‍ර දියුණුවට සිතැති වූ දකුණු පළාත්වාසී තරුණයෝ තමුන්ගේ ඕනෑකම් ඒ පළාතේදී පිරිමසා ගැනීමට මඟක් නොලදින් බොහෝ විය හියදම් සහ අසීරු අමාරුකම්ද ඇතුව කොළඹ පළාතට විත් සිටියෝය. එහෙයින් එබඳු වූවන්ටත්, එලෙස විය හියදම් දරා හොඳ ඉගැන්වීමක් ලබාගන්ට බැරි සෙයින් ලද පමනින් සතුටු වෙන්ට සිත සිටියවුන්ටත් අපමණ ප්‍රයෝජනයක් අත්වනු පිණිස 1876 වසරේ මැයි මස පළමු වැනි දින මෙම මනස්කාන්ත කඳුගැටය මත්තෙහි සැමුවෙන් ලැංඩන් උන්නාන්සේගේ ප්‍රධානත්වයෙන් ගාලු අග්‍ර පාඨශාලාව අභිනවයෙන් ස්ථාපනය කරනු ලැබිණි. 


දකුණු පළාත්වාසීන්ට පැතූ ලෙසින්ම ශාස්ත්‍ර නිධානයක් වූ ගාලු අග්‍ර පාඨාශාලාව සැමුවෙන් හිල් විදුහල්පතිතුමාගේ සමයේ 1882 පෙබරවාරි මස 4 වැනි දින පැවැත්වූ දක්ෂිණ ලංකා වෙස්ලියානු දිසා සම්මුතිය අනුව ‘රිච්මන්ඩ් විද්‍යාලය’ ලෙසින් නම් කරනු ලැබිණි. හිමිදිරි උදෑසන අරුණෝදය සමගින් සමනොළගිරද, ඈත දියඹේ සිතිජ ඉමේ ඔබ මොබ සැරිසරන මහා නෞකාවන්ද, හිරු රශ්මි කදම්බයක් මහසයුරු රළ මත පතිත වී දිදුළන අපූරුවද සුන්දර රිච්ම්න්ඩ් කඳු මුදුනට නෙත ගැටේ. සුන්දර මැයිමාර මලින් වැසීගිය බිම් කඩින්, බෝගන්විලා ආදී නේක කුසුමින් විකසිත මල් යායන්ගෙන්, දසත සෙවණත සදන මහා වනස්පතීන්ගෙන් මෙන්ම අතුපතර සැරිසරන සුන්දර සියොත් ගී රාවයෙන්ද මේ සොඳුරු බිම විසිතුරු වී තිබේ. 


රිච්මන්ඩ් නාමය මිහිපිට කෙතරම් දුරට පැතිරී ඇද්දැයි කියතහොත් දැනට ලොව පුරා රිච්මන්ඩ් නාමයෙන් යුත් නගර, ගම් දනව්, ඉසව්, ස්ථාන 123කට වැඩියෙන් තිබේ. සැබැවින්ම ලොව සැම මහාද්වීපයකම රිච්මන්ඩ් නාමයෙන් යුත් ඉසව්වක් පිහිටා තිබේ. ශීත හිමගිරිමුදුන් පිරි ඇන්ටාක්ටිකා මහාද්වීපයේ පවා රිච්මන්ඩ් නමින් ගිරි මුදුනක් පිහිටා තිබේ. නමුත් අතිශය වැදගත්ම කාරණය වන්නේ, ලොව කොහේ වුවත්, රිච්මන්ඩ් ලෙසින් නම් කෙරුණු සැම තැනක්ම අති රමණීය, මනරම් තැන් වීමයි. එපමණක් නොව ‘රිච්මන්ඩ්’ යනු එක්සත් රාජධානියෙන් මුලාරම්භ වී ලොව පුරා වඩාත්ම ප්‍රචලිත වූ බ්‍රිතාන්‍ය ස්ථාන නාමයයි. 

 

ජර්මනියේ (Schloss Richmond) බ්‍රවුන්ස්ච්විග් නුවර රම්‍ය රිච්මන්ඩ් මාළිගාව 

 

ලන්ඩනයේ ‘රිච්මන්ඩ් අපෝන් කේම්ස්’ හි රිච්මන්ඩ් පාක් උද්‍යානය 

 

 

 


ඇමෙරිකා එක්සත් ජනපදයේ රිච්මන්ඩ් නමින් යුතු නගර හැත්තෑවකට අධික සංඛ්‍යාවක් තිබේ. ඇලබාමා, ඇරිසොන්, කැලිෆෝනියා, ෆ්ලොරිඩා, ඉන්දියානා, ජෝජියා, අයෝවා, ඔහියේ, පෙන්සිල්වේනියා, ටෙක්සාස්, විස්කොන්සින් ආදි ප්‍රාන්ත ගණනාවක් පුරා මේ රිච්මන්ඩ් ගම් නගර විසිරී තිබේ. කැනඩාවේ රිච්මන්ඩ් නාමධාරී නගර එකොළහක් පමණ තිබේ. ක්විබෙක් ප්‍රාන්තයේ රිච්ම්න්ඩ් හා නව රිච්මන්ඩ් ලෙසින් තැන් දෙකක්ම තිබේ. එමෙන්ම ඔන්ටේරියෝහි මහා ටොරොන්ටෝ ප්‍රදේශයේද රිච්මන්ඩ්හිල් නම් ඉසව්වක් පිහිටා තිබේ. 


රිච්මන්ඩ් නමින් යුතු ගංගාවන් දෙකක් මිහිපිට ගලා බසී. ඉන් එක් රිච්මන්ඩ් නදියක් ඕස්​ට්‍රේලියාවේ නිව් සවුත්වේල්සයේ පිහිටා ඇත. ඕස්​ට්‍රේලියාවේ මෙම රිච්මන්ඩ් නදීබඩ මිටියාවත්වල ආදිවාසී ඇබොරිජින්වරු දිවි ගෙව්වෝය. 1828 වසරේදී මෙම නදියේ මුවදොර සොයාගත් කපිතාන් හෙන්රි ජෝන් රූස් විසින් එංගලන්තයේ උතුරු යෝක්ෂරයේ රිච්මන්ඩ්හි පස් වැනි ආදිපාදවරයා වෙනුවෙන් මෙම නදිය රිච්මන්ඩ් ලෙසින් නම් කර තිබේ. ලොව අනෙක් රිච්මන්ඩ් ගංගාව ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්ස් නම් කැරිබියන් කලාපයේ පිහිටි ස්වෛරී රාජ්‍යයේ පිහිටා ඇත. 


ගංගා පමණක් නොව දූපත් පවා රිච්මන්ඩ් නාමයෙන් නම් කෙරි ඇත. ඉන් එක් රිච්මන්ඩ් කොදෙව්වක් ඇමෙරිකා එක්සත් ජනපදයේ කේප් එළිසබෙත් ආසන්නයේ ඇති දූපතකි. අනෙක් දූපත ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ රාජ්‍යයට අයත් කුඩා දූපතකි. 


කැරිබියන් මුහුදේ ග්‍රෙනඩා නමින් දූපත් රාජ්‍යයක් තිබේ. කොදෙව් හතකින් සමන්විත මෙය ‘කුළුබඩු දිවයින’ යන විරුදාවලියෙන්ද ප්‍රචලිතව ඇත. මෙම රටේ අගනුවර වන ශාන්ත ජෝජ් නගරයේ සුන්දර රිච්මන්ඩ් කන්දක් පිහිටා තිබේ. මේ මනරම් කඳු ගැටය ඉස්මත්තේ ෆෙඩ්රික් කොටුවනම් දැකුම්කලු කොටුවක් වෙයි. මේ ඉසව්වට මුළු මහත් දකුණු දිග ග්‍රෙනඩාවම සේයාරුවක් සේ මනරම්ව දර්ශනය වේ. බහමාස් රටේ ග්‍රේට් එක්සියුමා පෙදෙසේ ද මනරම් රිචිමන්ඩ් කන්දක් පිහිටා ඇත. ධවල පුලිනතලාවන්ගෙන් සපිරුණු මන බඳින වෙරළක් එහි තිබේලු. 


අප්‍රිකා මහාද්වීපයේදී ද රිච්මන්ඩ් නගරයන්ට පිවිසිය හැකිය. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් සහ කේප්ටවුන් නගර අතර මහා කරූ නම් දිස්ත්‍රික්කයේ රිච්මන්ඩ් නම් සිත්කලු නගරයක් ඇත. දකුණු අප්‍රිකාවේ ක්වාසුලු-නටාල් නම් ප්‍රදේශයේ ද රිච්මන්ඩ් නම් කුඩා නුවරක් වෙයි. ඉලේවෝ ගඟබඩ පිහිටි මෙයද අති සුන්දර කුඩා නගරයකි. එමෙන්ම සිම්බාබ්වේ රටේ බුලවායෝ නගරයේද රිච්මන්ඩ් නම් ඉසව්වක් පිහිටා තිබේලු. 


යුරෝපා මහාද්වීපය තුළ එක්සත් රාජධානිය හා අයර්ලන්තය හැරුණු කොට රිච්මන්ඩ් නාමය ඇති එකම ස්ථානය ඇත්තේ ජර්මනියේ බ්‍රවුන්ස්විග් නගරයේය. එනම් එහි ඇති මනෝරම්‍ය රිච්මන්ඩ් මන්දිරයයි. ක්‍රි.ව. 1768-1769 වකවානුවේ මේ මහාර්ඝ මන්දිරය ඉදිකරනු ලැබුවේ එවකට ජර්මනියේ බෲන්ස්වික්හි ආදිපාද ධුරන්දර චාල්ස් විලියම් ෆර්ඩිනන්ඩිගේ ප්‍රිය භාර්යාව වූ ඔගස්ටා කුමරිය වෙනුවෙනි. බ්‍රිතාන්‍ය රාජ කුමරියක වූ ඔගස්ටා බ්‍රිතාන්‍යයේ දෙවැනි ජෝර්ජ් රජුගේ දියණියකි. තුන් වැනි ජෝර්ජ් රජුගේ වැඩිමල් සොයුරියයි. ජර්මනියේ බ්‍රවුන්ස්ච්විග්හි ඉදිකෙරුණු මේ මහා මාළිගයට ‘රිච්මන්ඩ්’ නාමය උරුම වූයේ ඔගස්ටා කුමරියගේ එංගලන්ත නිවහන වූ රිච්මන්ඩ් උයන සිහිගන්වමිනි. රිච්ම්න්ඩ් නාමය සමඟ අවියෝජනීයව සබැඳුණු මනරම් සෞන්දර්යය මේ ප්‍රතාපවත් මන්දිරයටද උරුම වී තිබේ. මේ අයස්කාන්ත මන්දිරය සරත්, වසන්ත, ගිම්හාන, ශීත ආදී සියලු සමයන්හිදි එකලෙසින් සිත්කලුය, සුන්දරත්වයෙන් අනූනය. 


නවසිලන්තයේ දකුණු දිවයිනේ නෙල්සන් පළාතට කිට්ටුවෙන් මස්මන් බොක්කට නුදුරින් රිච්මන්ඩ් නම් මනරම් නුවරක් වෙයි. සොඳුරු වෙරළ තීර සහ සශ්‍රීක ගොවිබිම්වලින් පිරිපුන් මේ රිච්මන්ඩ් නුවර දෙනෝදාහක් සංචාරකයන්ගේ මන බැඳගත් සුප්‍රකට නිවාඩු නිකේතනයකි. සමස්ත නවසීලන්තයෙන්ම අව්ව වැඩියෙන්ම ලැබෙන නගරය ලෙසද මෙය සැලකේ. අති මනරම් ‘මවුන්ට් රිච්මන්ඩ්’ වනෝද්‍යානයද මේ අඩවියේ පිහිටා තිබේ. මනරම් ශත සහස්‍ර සංඛ්‍යාත මංකඩවල්, අනේකවිධ භූ දසුන් හා රමණීය දිය දහරාවන්ගෙන් පිරිපුන් මෙම වනෝද්‍යානය නවසීලන්තය සතු මහාර්ඝ දායාදයක් ලෙස චිර ප්‍රසිද්ධය. එමෙන්ම මවුන්ට් රිච්ම්න්ඩ් නමින් ජාතික උද්‍යානයක් ඕස්​ට්‍රේලියාවේද වෙයි. ඕස්​ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි මෙයද සුවඳැති වනමලින් ගහණ, දුඹුරුවන් කෝලා වලසුන් සැරිසරන, නොඉඳුල් පඳුරුතලාවන්ගෙන් පිරිපුන්, සුවහසක් සංචාරකයන්ගේ හදනයන බැඳගත් අපූරු ගමනාන්තයකි. 

 

ඕස්​ට්‍රේලියාවේ මවුන්ට් රිච්මන්ඩ් පාර්ක් වනෝද්‍යානය 

 

බටහිර ඕස්​ට්‍රේලියාවේ රොකිං හැම්හි රිච්මන්ඩ් විල

 

 


බටහිර ඕස්​ට්‍රේලියාවේ රොකිං හැම් ප්‍රදේශයේ රිච්මන්ඩ් නම් මිරිදිය විලක් තිබේ. කාලාන්තරයක් තිස්සේ ආදිවාසී ඇබොරිජින්වරුන්ගේ සංස්කෘතික පුරාණොක්ති හා සබැඳුණු මේ මනරම් විලට රිච්මන්ඩ් නාමය හිමිවූයේ ලන්ඩනයේ පුරාණ රිච්මන්ඩ් නාගරික පේරුව මගින් යැයි කියැවේ. සයුරු තෙරට ඉතා කිට්ටුවෙන් පිහිටන නමුත් මිරිදියෙන් සපිරි මෙම රිචිමන්ඩ් විලේ අතීතය වසර මිලියන ගණනාවක් ඈතට දිවේ. මිහිමත බිහිවූ මුල්ම ජීවයේ විරල අවශේෂයන් ලෙස සැළකෙන ත්‍රොම්බොලයිට් නම් සජීවී ෆොසිලයන් සපිරි මේ රිච්මන්ඩ් විල බටහිර ඕස්​ට්‍රේලියාවේ මාහැඟි ජෛව උරුමයකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ ඇබර්ඩීන් නගරයේද රිච්මන්ඩ් ලේක් නම් සතුටු උයනක් පිහිටා ඇත. එමෙන්ම ලක්දිව හපුතලේ කෙල්බර්න් වතුයාය ආසන්නයේද රිච්මන්ඩ් නමින් විලක් තිබේලු! කළුතර පලාතොට, කළු ගංතෙර, කුඩා කඳු ගැටයක් මත්තේ මහා දානපති දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලිතුමා විසින් තනවන ලද මහා රිච්මන්ඩ් මැදුර කාමර 16කින් ජනෙල් 34කින් සහ දොරවල් 99කින් සමන්විත මහා මන්දිරයකි. මුදලිතුමාගේ ඇවෑමෙන් දැනට එය මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ යැයි කියැවේ. 


රිච්මන්ඩ් යන ළබැඳි සොඳුරු නාමය සෑම විටම උරුම වී ඇත්තේ ලොව අතිශය සුන්දර මනරම් ස්ථානයන් සඳහාම පමණි. ලොව පුරා රමණීය කඳුගැට, සුන්දර දියඇලි, චමත්කාර ගංගාවන්, මනරම් විල්, නීලහරිත වනෝද්‍යාන, මනෝරම්‍ය උද්‍යාන, අද්විතීය විද්‍යා නිකේතන සහ තේජාන්විත මහ මැදුරු රිච්මන්ඩ් නාමයෙන් සැරසී අත්‍යාලංකාර වී සොඳුරු සිරි අසිරියෙන් විරාජමාන වන්නේය. ලොව කොතැනක තිබුණත් සොඳුරු රිච්මන්ඩ් නාමයත් මනරම් යන නාම විශේෂණයත් එකිනෙක සමඟ අවියෝජනීය සබඳියාවකින් වෙලී ඇත්තේය. එහෙව් මනෝහර රිච්මන්ඩ් නාමය සුමිහිරිය, සුන්දරය, අමාරසය ඉතින් ‘රිච්මන්ඩ් නම් මනරම්’ යැයි නොකියා වෙන කුමක් කියමුද? 

 

 


වෛද්‍ය 
ගිහාන් චමින්ද උඩලමත්ත ගමගේ