රාහු සහ කේතු මාරුව ඔබට කොහොමද බලන්න


ග්‍රහලොව නවග්‍රහයින් ගැන කතා කරන විට ජ්‍යොතිෂයේදී රාහු හා කේතු ඡායා මාත්‍ර ග්‍රහයින් ලෙස හැඳින්වේ. රාහු හා කේතු මාරුවක් සිදුවන්නේ වසර එකහමාරකට පසුවය. මාස 18ක් රාශි චක්‍රය වටා ගමන් කරන ලද රාහු හා කේතු යන ග්‍රහයින් දෙදෙනා 2019 මාර්තු මස 07 වන දින බුධ හිමි මිථුන හා ගුරු හිමි ධනු රාශිවලට පැමිණ 2020 සැප්තැම්බර් මස 23 දක්වා මෙම රාශිවල ගමන් කරමින් සිටී. මෙම ග්‍රහයින් දෙදෙනාට ඒ රාශි දෙක මිත්‍ර වේ. මීට පෙර රාහු හා කේතු යන ග්‍රහයින් දෙදෙනා මිථුන හා ධනු රාශි ගතවී ඇත්තේ 2000 වසරේ අගොස්තු 01 වැනිදාය. රාහු දශා කාලය අවුරුදු 18යි. අද, සා, සියාවස යන නැකැත් රාහුගෙන් පාලනය වේ. කේතු දශාව වසර 07කි. අස්විද, මා, මුල යන නැකැත් කේතුගෙන් පාලනය වේ. 


රාහුට ඇත්තේ නයි ඔළුවක් සහිත සිරුරක්, ඉණෙන් උඩට ද මිනිස් සිරුරක්, ඉනෙන් පහළට පෙන්වන රූපයකි. රාහු ජන්ම පත්‍රයක යහපත් ස්ථානයක බලවත් වීමෙන් ඉක්මන් දියුණුව හා හදිසි ධනලාභ ලබා දෙයි. ප්‍රසිද්ධියට පත්වේ. ජන්ම පත්‍රයක රාහු දුර්වල වූ විට නිෂ්ඵල ගමන් බිමන්, වියදම් අධික වීම නිසා සිතේ සන්සුන් බව නැතිවීම, අදූරදර්ශීව කතා කිරීම, නොගැලපෙන ආශ්‍රය, මත්ද්‍රව්‍යවලට අැබ්බැහිවීම හා ඉගෙනීමට බාධාවීම් දක්නට ලැබේ. 


මේ අතර මිනිස් හිසක් හා නාග සිරුරක් කේතුට හිමිය. කේතු සිහි බුද්ධිය දියුණුකර ඉගෙනීමේ කටයුතු දියුණු කරන අතර ප්‍රසිද්ධ වීමට ඉඩ නොදෙයි. ශරීරය විටමින් හා යකඩ ඌණතාව නිසා ඇතිවන රෝගාබාධවලට ගොදුරු වීමට ඉඩ ඇත. 


රාහු කේතු මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි. 


මේෂ- මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු තුන්වැන්නටද, කේතු නවවැන්නටද පැමිණෙයි. තරමක සුබ කාලයකි. උත්සාහය හා ධෛර්යය වැඩි වේ. අභියෝග ජයගනී. සහෝදරයින් හා අසල්වාසීන් නිසා වෙහෙසීමට සිදුවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ. මේ අතර ආගම දහමට සිත යොමු වේ. 


වෘෂභ- වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු දෙවැන්නටද, කේතු අටවැන්නටද පැමිණෙයි. එතරම් සුබදායක නොවේ. මිල මුදල්වලින් කරදර ඇති වේ. තැන්පත් ධනය පරිහරණයේදී කල්පනාකාරී වන්න. ධන හානි සිදුවීමට ඉඩ ඇත. දුරදිග බලා කතා කරන්න. ශාරීරික ආබාධවලට ලක්වීමට ඉඩ ඇත. ශරීරයේ විටමින් හා යකඩ ඌණතාව නිසා ඇතිවන රෝගාබාධවලට ගොදුරු වීමට ඉඩ ඇත. සෙනසුරු ග්‍රහයා අටවැන්නේ ගමන් කරන නිසා ආගමානුකූලව ජීවත් වන්න. 


මිථුන- මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු ලග්නයටත් කේතු හත්වැන්නටද පැමිණෙයි. ප්‍රසිද්ධිය හා කීර්තිය ලැබේ. ගමන් බිමන් අධික වේ. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. යුග ජීවිත ගත කිරීමේදී එකිනෙකාගේ අදහස්වලට නම්‍යශීලී වන්න. යටි බඩේ රෝග ඇතිවීමට ඉඩ ඇත. 


කටක- කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු දොළොස්වැන්නටත් කේතු හයවැන්නටද පැමිණේ. මෙම කාලසීමාවේ නිෂ්ඵල වියදම් ද පිට පළාත්වල ගමන් බිමන්ද යෙදේ. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ විදේශ ගමන් සිහිනය සැබෑ වේ. ශරීර සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. 


සිංහ- සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නටත්, කේතු පස්වැන්නෙත් ගමන් කිරීම නිසා සුබ කාලයක් උදා වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. විදේශීය ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සමාජයේ ඉහළ තැනක් හිමි වේ. මිත්‍ර සම්බන්ධතා වැඩිදියුණු වේ. එහෙත් වෙස්වළා ගත් මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. මංගල කටයුතුවලට පදනම වැටේ.

 
කන්‍යා- කන්‍ය ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු දසවැන්නටත්, කේතු හතරවැන්නෙත් ගමන් කරයි. වැඩ කටයුතු සඵල වේ. ප්‍රසිද්ධ වෙයි. ව්‍යාපාරවලට සුබ වේ. ගමන් බිමන් බහුල වේ. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටුවේ. රැකියා ලාභ හිමි වේ. ඉඩකඩම් දේපොළවලින් තරමක කරදර ඇතිවීමටද ඉඩ ඇත. නෑදෑයින් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. 


තුලා- තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු නවවැන්නටත්, කේතු තුන්වැන්නටත් පැමිණේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. විදේශ ගමන් හෝ වන්දනා ගමන් යෙදේ. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. කේතු තුන්වැන්නේ ගමන් කිරීම නිසා චිත්ත ධෛර්යය ඉහළ යයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. අසල්වාසීන් හා සහෝදරයින් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. බලාපොරොත්තු රහිත ලාභ ලැබේ. 


වෘශ්චික- වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රයෙ රාහු අටවැන්නටත්, කේතු දෙවැන්නටත් පැමිණීම එතරම් යහපත් නොවේ. මිල මුදල් පිළිබඳව ලාභ අඩු කාලයකි. රහසිගත ආදායම් ඇති කරගනී. වචන පාවිච්චියේදී සැලකිලිමත් වන්න. රැකීරක්‍ෂා හා ව්‍යාපාර කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. 


ධනු- ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු හත්වැන්නටත්, කේතු ලග්නයටත් පැමිණේ. ප්‍රසිද්ධිය හා කිර්තීය ඇති වේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. රහස් සම්බන්ධතා ගොඩනැගේ. අවිවාහක අයට විවාහය ඉක්මන් වේ. ප්‍රසිද්ධ සතුරෝ ඇතිවේ. මුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. ශරීර ශක්තිය හීන වේ. සෙනසුරු අපලයට අදාළ ශාන්තිකර්මවල නිරත වන්න. 


මකර- මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු හයවැන්නටත්, කේතු දොළොස්වැන්නටත් පැමිණේ. ශරීර සනීපය අැතිවේ. රැකියාවලින්ද, ව්‍යාපාරවලින්ද දියුණුව ලැබෙන කාලයකි. සතුරු කරදර අඩු වේ. සේවක ගැටලු විසඳේ. කේතු දොළොස්වැන්නේදී වියදම් අඩු වේ. ආගම දහමට ලැදි වේ. දුර ගමන් හෝ වන්දනා ගමනකට පදනම වැටේ. 


කුම්භ- කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු පස්වැන්නටත්, කේතු එකොළොස්වැන්නටත් පැමිණීම මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපනය ලබන අයට තරමක බාධා සහිත කාලයකි. දුරදිග බලා ආයෝජන කටයුතු කරන්න. උදරාබාධ ඇති වේ. කේතු 11 සිටීමෙන් ආදායම් තත්ත්වය යහපත් වේ. ඉඩකඩම් ධනය ලබා දේ. උත්සාහයෙන් ප්‍රතිඵල ලැබේ. 


මීන- මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු හතරවැන්නටත්, කේතු දසවැන්නටත් පැමිණෙයි. පවුලේ ඉඩකඩම් දේපළ පිළිබඳව තරමක කරදර ඇතිවීමට ඉඩ ඇත. පදිංචියද තරමක් වෙනස් වේ. ගෘහ නිර්මාණකරණයට බාධා ඇතිවිය හැකිය. රැකියා හා ව්‍යාපාරික ස්ථානයේ කටයුතු කල්පනාකාරීව කරන්න. තම දක්ෂතා හැකියාවන් උසස් අයට නොපෙනේ. තමන් ආරම්භ කරන කටයුතුවලට බාධා පැමිණේ. හදවත් රෝගීන් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. 


මේ අනුව රාහු, කේතු මාරුව සමහර ලග්නවලට සුබ ඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ ඵලත් ඇති කරන බව පෙනේ. රාහු අපලය ඇති අය බුද්ධ පූජා, බෝධි පූජා තබන විට වැටකෙයියා මල් පූජා කිරීම ද ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාරහාර වීම ද සුදුසු වේ. සූර්ය පිරිත කියවීමත් යහපත් වේ. කේතුගේ අපලයක් ඇතිවිට කළු පාට ඇඳුම් භාවිතය ඉතා අශුභය, බුද්ධ පූජා, බෝධි පූජා තැබීමත් ඒ පින් කතරගම දෙවියන්ට අනුමෝදන් කර පිහිට පැතීම සුබ වේ. කරණීයමෙත්ත සූත්‍රය භාවිත කිරීම සුබවේ.  

 


මෙවැනි ශාන්තිකර්ම මගින් අපල සමනය කර ගත හැක. 
ජ්‍යොතිර්වේදීනි 
අජන්තා ඒකනායක, 
අංක 121, මංගොඩ, මැදමහනුවර.