රාහු මහ දශාවේ සහ අන්තර් දශාවල පලාපල


වර්ෂ 18 කට මහදශාව යෙදී ඇත. නයි හිසක්ද මිනිස් සිරුරක්ද අශ්ව වාහනයෙන්ද අඳුරු වර්ණයෙන්ද යුක්තය.   


අර්ධ කායං මහා වීර්යං චන්ද්‍රා දිනත්‍ය විමර්ධනම්   

සිංහි කාගර්භි සංභූතං තං රාහුං ප්‍රණ මාම්‍යහම්   


විශ්ව ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව රාහු ජයග්‍රාහයෙකු ලෙස හඳුන්වයි. රාහු අරමුණින් තොරව ඇවිදීමට පොළඹවන දුර්වල බුද්ධියක සිටින ඉගෙනීමට බාධා ඇති කරවන සුරා සූදුවලට කැමති අනුන්ගෙන් පිළිසරණක් නොලබන පුරුෂ නපුංසක ග්‍රහයෙකු හැටියට සැලකේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින කාලයේ රාහු මහදශාව ලැබුවොත් ඉගෙනීම කඩාකප්පල් වන බවට පිළිගැනීමක් පවතී.   


නැකතක් සෑදීමේදී රාහු කාලය මගහැර නැකත සෑදීමට සැලකිලිමත් වෙයි. සූර්ය උදාව අනුව වෙනස්කර නැකත සෑදුවත් පොදුවේ රාහු කාලය ඉරිදාට 4.30 සිට 6.00 දක්වාද සඳුදා 7.30 සිට 9.00 දක්වාද අඟහරුවාදාට 3.00 සිට 4.30 දක්වාද බදාදාට 12.00 සිට 1.30 දක්වාද බ්‍රහස්පතින්දාට 1.30 සිට 3.00 දක්වාද සිකුරාදාට 10.30 සිට 12.00 දක්වාද සෙනසුරාදාට 9.00 සිට 10.30 දක්වාද පවතින බව පිළිගැනේ. මෙය දවල් සහ රාත්‍රී දෙකටම මෙසේ වේ. එමෙන්ම දවල් කාලයේ නැකත් සාදන විට සූර්ය උදාවේ සිට ගැණ ගන්නා අතර රාත්‍රී කාලයේ නැකත් සඳහා සූර්ය අස්තයේ සිට පසුදින සූර්ය උදාව දක්වා වෙනම ගැණ ගත යුතුය.   


රාහු වෘෂභ රාශියට උච්චවද මිථුන තුලා මකර රාශිවලට මිත්‍රවද කන්‍යා රාශියට ස්වක්ෂේත්‍රවද කුම්භ රාශියට මූලත්‍රිකෝණවද ධනු රාශියට සමවද මේෂ කටක සිංහ මීන රාශිවලට සතුරුව හා මුඨවද වෘශ්චික රාශියට නීචවද බලපෑම් යෙදෙයි.   


උපන් නිවසින් උපන් ගමින් ඈත්ව දුර බැහැර ගමන් යෙදීම හා විදේශ ගමන්වලටද රාහුගේ බලපෑමක් ඇතිවෙයි. 

 
පලාපල කථනයේදී කේන්දරයක 3 6 11 යන ස්ථානයක රාහු පිහිටීම ශුභඵල ගෙනදෙන බවට පිළිගැනීමක් ඇත. රාහුගේ දෘෂ්ඨිය 5, 7, 9, 12 යන ස්ථානවලට වැටෙන අතර රාහු සිටින භාවය අනුවද දෘෂ්ටි හා සංයෝග අනුවද ශුභ අශුභ ගෙනදෙයි.   


රාහු ලග්නයේ පිහිටිවිට ජන්මියා නිර්භීත වෙයි. දෙවැන්නේ නම් සුරා සූදුවට ඇබ්බැහි වන අතර නිතර කෝපයට පත්වෙයි. තෙවැන්නේ නම් ක්ෂණික තීරණ ගනියි. ධනවතෙකු වෙයි. සිව්වැන්නේ නම් ඇවිදීමට ප්‍රිය වෙයි. කලබල වෙයි. සමහරවිට උපන් ප්‍රදේශයෙන් ඈත්ව ජීවත්වන අයෙකු විය හැකිය. පස්වැන්නේ නම් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කටයුතු කරන නපුරු කෙනෙකු විය හැකිය. හයවැන්නේ නම් සැලකිය යුතු ජීවන තත්ත්වයක සිටින රෝගවලින් පීඩා විඳින ස්ත්‍රීන්ට ඇළුම් කරන ධනවතෙකු විය හැකිය. කලස්ත්‍රස්ථානය හෙවත් හත්වැන්නේ රාහු තැන්පත්ව ඇත්නම් සුරා පානයට ගිජු කාමාධික අයෙකු විය හැකිය.   


අටවැන්නේ නම් පහත් ගතිගුණ බලපාන කෝලාහලවලට ප්‍රියවෙන කලබලයෙන් ක්‍රියා කරන කෙනෙකි. නවවැන්නේ නම් ආගම දහමට භක්තිය ඇති සහකාරියට අවනත කෙනෙකුවීමට ඉඩ තිබේ. දහවැන්නේ නම් කලා කටයුතුවලට හා දේශපාලනයට කැමති රැකියා කරන ස්ථානයේ ප්‍රධානීන්ට පාලක පක්ෂයට විරුද්ධව ක්‍රියා කරන අයෙකු වීමටද ඉඩ තිබේ. එකොළොස්වැන්නේ නම් මුදල් ඉපයීමට දක්ෂ වන කවුරුත් ඇසුරු කරන කෙනෙකි. දොළොස්වැන්නේ නම් විදේශ ගමන් බිමන් විදේශ රැකියා ලැබිය හැකිය.   


දශා අනුව බැලීමේදී රාහුගේ රාහු අන්තර් දශා කාලය වර්ෂ 2 මාස 8 දින 12 ක් පමණ වේ. උපතේදී රාහු වෘෂභ මිථුන කන්‍යා තුලා මකර කුම්භ රාශියක සිටියා නම් තද අපල ඇති නොවේ. දශාව ලබන කාලයේ ඉහත සඳහන් රාශියක නම් එම අන්තර් දශා කාලයේදී ශුභඵල දෙන අතර ලග්නයටද ශුභ නම් දියුණුව සලසයි. ලග්නයට සතුරු වී මේෂ කටක සිංහ වෘශ්චික යන රාශියක නම් අශුභ ඵල උදා විය හැකිය. මෙම කාලයේ ආරම්භ කරන කටයුතු අවුල් තත්ත්වයකට පත්වීමට ඉඩ තිබේ. මෙම අතුරු දශාව තුළදී විවාහවීම වැනි දේට සුදුසු නැත. දශාව ලබන කාලයේ රාහු 5 වැන්නේ හෝ 9 වැන්නේ උච්චව හෝ ස්වක්ෂේත්‍රව හා ලග්නයටද ශුභ වන්නේ නම් යහපත් ප්‍රතිඵල ඇති වේ.   


රාහුගෙන් ඇති වන අශුභඵල අතර අපකීර්තිය ලැබීම, කල්පනාව අඩුකම, සමේ රෝග හා සර්ප බිය වැනි දේට ප්‍රධාන තැනක් හිමි වෙයි. බුධ කේතු සංයෝග වී යෙදී ඇත්නම් සමේ රෝගවලට ප්‍රවණතාව වැඩිය. රාහු සිටින රාශියට ගෝචරයෙන් කුජ පැමිණි විට සතුරු උවදුරු හා කලකෝලාහලද සිකුරු ගෝචරයෙන් පැමිණිවිට පුරුෂයින්ට ස්ත්‍රීන් සම්බන්ධවද ස්ත්‍රීන්ට පුරුෂයින් සම්බන්ධවද කරදර පැමිණීමට ඉඩ තිබේ. මෙම අන්තර් දශා කාලයේදී කරදර වැඩි බවක් හැඟේ නම් නාගර්ජුන යන්ත්‍රය මෘත්‍යුංජය යන්ත්‍රය විෂ්ණු මණ්ඩලයේ යන්ත්‍රය වැනි යන්ත්‍රයක් පැලඳවීම සෙත්කවි කීම බෝධිපූජා පැවැත්වීම ශුභදායකය.   


රාහු මහ දශාවේ ගුරු අන්තර් දශා කාලය වර්ෂ 2 මාස 4 දින 24 ක් පමණ වේ. කේන්දරයේ ගුරු, මේෂ කටක සිංහ වෘශ්චික ධනු මකර මීන යන රාශියක සිටී නම් ශුභය. තත්කාලීන මිත්‍ර නම් වඩාත් ශුභය. ගුරු ත්‍රිකස්ථානයේ පිහිටියේ නම් සතුරන් මිතුරු වේ. දියුණුවට කාගෙනුත් උදව් උපකාර ලැබෙන අතර අඩාළව තිබූ අධ්‍යාපන කටයුතු යළි පණ ලබයි. ඉදිරිපත් වන කටයුත්තෙහි ජය ලබන අතර ඒරාෂ්ඨකයක් පැවතුණොත් ශුභ ප්‍රදානය අඩු වේ. ගුරු 3 6 8 12 යන ස්ථානයක හෝ වෘෂභ මිථුන කන්‍යා තුලා කුම්භ යන රාශියක උපතේදී සිටියා නම් අශුභඵල ඇති වේ. පෙණහල්ලේ රෝග සෑදීමට ඉඩ තිබේ.   


රාහු මහ දශාවේ සෙනසුරු අන්තර් දශා කාලය වර්ෂ 2 මාස 10 දින 06 ක් පමණ වේ. රාහු සෙනසුරු මිත්‍ර ග්‍රහයන් වන නිසා තත්කාලීන මිතුරන් වී වෘෂභ මිථුන කන්‍යා තුලා ධනු මකර කුම්භ මීන රාශියක සිටිනවිට ශුභඵල උදා කරයි. මේෂ කටක සිංහ වෘශ්චික රාශියක සෙනසුරු තත්කාලීනව සතුරුව සිටියොත් අපල ගෙන දෙයි. එවිට විෂ්ණු දෙවියන් වෙනුවෙන් සෙත්කවි කීම බෝධිපූජා පැවැත්වීම යහපත්ය.   


රාහු මහ දශාවේ බුධ අන්තර් දශා කාලය වර්ෂ 2 මාස 6 දින 18 ක් පමණ වේ. රාහුට බුධ මිත්‍රවන අතර බුධට රාහු සම වේ. මේෂ වෘෂභ මිථුන සිංහ ධනු මකර යන රාශියක බුධ තැන්පත්ව සිටීනම් ශුභ තත්ත්වයකි. ව්‍යාපාරික කටයුතු සාර්ථක වන අතර සිහිබුද්ධිය හොඳට ලබයි. කටක වෘශ්චික කුම්භ මීන රාශිවලට බුධ තත්කාලීන සතුරු බැවින් අශුභය. බොහෝවිට කල්පනා ශක්තිය දුර්වලවීමට ඉඩ තිබේ.   


රාහු මහ දශාවේ කේතු අන්තර් කාලය වර්ෂ 01 මාස 00 දින 18 ක් පමණ වේ. නෛසර්ගික සතුරු තත්ත්වයක් ඇති වුවහොත් අපල ඇති වේ. වස විසවලින් පීඩා සර්ප බිය සමේ රෝග හා අපහාස විඳීමට සිදුවීම වැනි දේ උදාවීමට ඉඩ වැඩිය. කේතු මේෂ කටක වෘශ්චික ධනු මීන යන රාශියක තැන්පත් නම් ඉහත අපල හීන කරවයි. අපල කරදර වැඩිවන බව හැඟේ නම් නව ගුණ යන්ත්‍රය පැලඳීම බෝධි පූජා පැවැත්වීම ශුභය.   


වර්ෂ 18 කට මහදශාව යෙදී ඇත. නයි හිසක්ද මිනිස් සිරුරක්ද අශ්ව වාහනයෙන්ද අඳුරු වර්ණයෙන්ද යුක්තය.   රාහු මහ දශාවේ සිකුරු අන්තර් දශාකාලය අවුරුදු 3 ක් පමණ වේ. රාහු සිකුරු දෙදෙනා මිත්‍රය. තත්කාලීන මිත්‍ර වී සිකුරු වෘෂභ මිථුන කන්‍යා වෘශ්චික මකර කුම්භ රාශියක තැන්පත් නම් ඉඩකඩම් ලාභද පවුලේ දියුණුවටද වැඩ සිදුවෙයි. මුදල් හදල් යාන වාහන ලැබීමට යහපත්ය. කරන කියන කටයුතු ව්‍යාපාර දියුණුවට පත් වෙයි. එහෙත් තත්කාලීන සතුරු වී මේෂ කටක සිංහ ධනු යන රාශියක තැන්පත් නම් තමන්ගේ උත්සාහයෙන්ම සෑම දෙයක්ම කරගැනීමට සලස්වයි. බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාදවුවත් තද විපත් ඇති නොවේ.   


රාහු මහ දශාවේ රවි අන්තර් කාලය මාස 10 දින 24 ක් පමණ වේ. රාහුට රවි සතුරුය. තත්කාලීන මිතුරුවී රවි කටක සිංහ වෘශ්චික ධනු මීන යන රාශියක නම් ප්‍රධානීන්ගෙන් වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබීමට සැලසේ. පියාගේ තත්ත්වය උසස්වීමට ඉඩ තිබේ. තත්කාලීන සතුරුවී රවි, වෘෂභ, මිථුන, තුලා, මකර, කුම්භ යන රාශියක තැන්පත් නම් තද කරදර මතු කරවයි. සතුරු පීඩා උෂ්ණාධික රෝග ඇති වෙයි. පවුල් අවුල් කරවන තරමට අහිතකර බලපෑම් ඇතිවීමට ඉඩ තිබේ. පියාගේ වැඩද අඩාළවීමට ඉඩ තිබේ. නිශ්ඵල ගමන් යෙදීමට ඉඩ තිබේ. නවග්‍රහ පූජා කිරීම, නවග්‍රහ යන්ත්‍ර පැළඳීම බෝධිපූජා කිරීම හොඳය.   


රාහු මහදශාවේ සඳු අන්තර් දශා කාලය වර්ෂ 1 මාස 6 ක් පමණ වේ. රාහු සඳුට සතුරුය. කරන කියන කටයුතු අතරමග නතරවන කාලයකි. බලවත් උත්සාහයකින් සැම වැඩක්ම කරගන්නට සිදුවෙයි. සෙම්දෝෂ තදින් බලපානු ඇත. සඳු තත්කාලීන මිතුරු වී මේෂ මිථුන කටක සිංහ කන්‍යා ධනු මකර යන රාශියක තැන්පත් නම් තදබල අගුණ ඇති නොවේ.   


රාහුගේ කුජ අන්තර් දශා කාලය වර්ෂ 1 මාස 00 දින 18 පමණ වේ. මේ දෙදෙනාට දෙදෙනා සතුරුය. තත්කාලීන සතුරුවීමෙන් නැති අවුල් සාදවයි. හොඳ නමට කැලැල් ඇතිවන වැඩ සෑදෙයි. හිතුවක්කාරවීමෙන් නොමග යවා විපත් පමුණුවයි. සතුරු පීඩා කලකෝලාහල ඇතිවීමට ඉඩ වැඩිය. ස්ථානගත අවුල් ඇති වී හිටිහැටියේ පහ කරයි. සතුරු පිරිසක් සාදවයි. තත්කාලීන මිතුරු වී මේෂ වෘෂභ කටක සිංහ වෘශ්චික ධනු මීන යන රාශියක කුජ සිටියොත් තරමක් යහපත් වේ. සාමාන්‍යයෙන් වැඩ කටයුතු සඵල කරගැනීමට හැකි වේ. අපල කාලවලදී නාගර්ජුන යන්ත්‍රය විෂ්ණු මණ්ඩලයේ යන්ත්‍රය පැලඳීම ශුභය. විෂ්ණු දෙවියන්ට සහ කතරගම දෙවියන්ට සෙත්කවි කියවීම හොඳය. බෝධි පූජා පැවැත්වීම හොඳය.   


සත්තා බුදුගුණෙන් මගේ රාහු අපල දුරුවේවා   
යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී නැතිවේවා   

 


ජ්‍යොතිෂ ශාස්ත්‍රසූරී ඩී.බී. වීරතුංග  
ශ්‍රී සම්පත් ජ්‍යොතිෂ කාර්යාලය  
304, දේවාල පාර  
බටකැත්තර, පිළියන්දළ