රාවණ ඝාතනයට ඉසිවර නාරදගෙන් උපක්‍රමයක්


භාරත දේව සභාව

මෙහි මුල් කොටස ගිය සතියේ පළවිය...

රාවණා බරපතළ කල්පනාවකට වැටිණි. විටෙක මදහසකින් දෙතොල නහවාගත් ඔහු තවත් විටෙක හිස සැලුවේය.  
‘යම කියන්නේ මරණයේ දෙවියන්. ඉතින් මා යමට පහර දිය යුතුද?’’  
රාවණා තමන්ගෙන්ම අසාගත්තේය. ‘‘ඒත් ඉතින් නාරද ඉසිවරයනෙ කිව්වෙ. ඒ නිසා මම එයා කියපු විදිහට කරනවා’’  
බොහෝ වේලාවක් දෙගිඩියාවෙන් සිටි රාවණා​ අන්තිමේදී තීරණයකට එළඹුණේය.   
ඉසිවර නාරද මැදුරෙන් නික්ම ගියේ දෙතොල රඳවාගත් සිනාවක් ඇතිවය. ඔහු සිතූ පරිදි සියලු දේ සාර්ථකව සිදුවනු ඇතැයි යන විශ්වාසය ඔහු තුළ විය.  
යමයි බ්‍රහ්මයි කියන්නේ මරණයේ සහ උපතේ දෙව්වරු. මේ දෙන්න ළඟ තියෙන්නෙ බලගතු ආයුධයක්. කාලදණ්ඩ කියන මේ අායුධය පිපිරුවොත් වටේ පිටේ ඉන්න හැමෝම මැරෙනවා. ඒත් මට ප්‍රශ්නයක් නැහැ. මං ළඟ තියෙන බලය නිසා මාව ආරක්ෂා වෙනවා. රාවණාගෙ ඉරණම එයාගෙ දෛවය අනුව විසඳේවි’’  
නාරද යළිත් සිනාසෙමින් සිතුවේය.  
ඉසිවර නාරද ඔහුගේ ගමනාන්තය ලෙස යමගේ මැදුර තෝරාගත්තේය.  
‘‘උතුමානෙනි’’  
යමගේ මැදුර අසලට ගිය නාරද හඬ නගා කතා කළේය.  
ඒ වන විටත් සිය මැදුරේ ඇතුළු කාමරයකට වී විවේක සුවයෙන් පසුවූ යම, කිසිවකු පැමිණ ඇතැයි සිතා ආලින්දයට ගියේය.  
ඔහු දුටුවේ තම මැදුර ඉදිරියට වී සිටින ඉසිවර නාරදය. ඔහුගේ පැමිණීම යමට පුදුමයට කරුණක් විය.  
‘ඉසිවර නාරද ඔබ ​ෙමාකද මෙහෙ කරන්නෙ?’’  
යම ඇසුවේය.  
ඇත්තටම ඉසිවර නාරදගේ පැමිණීම ඔහුට විසඳිය නොහැකි ප්‍රහේලිකාවක් වැනි විය.  
එහෙත් ඉසිවර නාරදගේ දෙතොලෙහි වූයේ සරදම් සිනාවකි. දඟකාර ලෙස යම දෙස බැලූ ඉසිවරයා හඬ අවදි කළේ යාම්තමටය.  
‘‘මම රාවණාට කිව්වා ඇවිත් ඔබට පහර දෙන්න කියා’’  
යමගේ ඇස්වල වූ විමතිය. එලෙසම තිබිණි.  
‘‘ඒ මොකටද?’’  
ඔහු ඇසුවේය.  
‘‘එහෙත් කිසිම මනුෂ්‍යයකු කිසිම දවසක තමන් හා සටන් කරන්නට එතැයි යම සිතුවේ නැත.   
නාරද ඉසිවරයා කිව්වට රාවණා කවද‌ාවත් මා එක්ක සටනට එන්නෙ නැහැ. මම මරණයේ දෙවියා බව රාවණා නොදන්නවයැ’’  
යම තමන්ටම කියාගත්තේය.   
එහෙත් ඒ සමග මැදුරු දොරට ඔබ්බෙන් ඇසුණේ තදබල ඝෝෂාවකි. යම දෙනෙත් හැකිතාක් විසල් කර හඬ නැගුණු දිසාව බැලුවේය. ඔහු දුටුවේ යමගේ මැදුරට ඇතුළුවීම සඳහා පොරකන බල සේනාවකි.  
‘‘එහෙනම් රාවණා හමුද‌ාවකුත් අරගෙන ඇවිත්’’  
යම, නාරද දෙස බලා කීවේය.   
හමුද‌ාවට ප්‍රධානත්වය දෙමින් සිටියේ රාවණාය. යම ගැඹුරු හුස්මක් ගත්තේ පපුව සැහැල්ලු කරගන්නටය’’  
එහෙත් රාවණා සහ ඔහුගේ බලගතු හමුද‌ාව මැදුරු දොර අසල කලබලකාරීව හැසිරෙන හැටි දුටුවිට යමගේ හිතේ තිගැස්මක් හටගත්තේය. ඔහු වහාම තම හමුද‌ාව අමතා සටනකට සූද‌ානම් වන්නැයි නියෝග කළේය.  
‘අපිට ප්‍රහාරයක් එල්ල වේවි.  
සතුරු බලවේගයේ ප්‍රධානියා රාවණා බැවින් තම හමුද‌ාවට නායකත්වය තමන් විසින්ම දියයුතු බව යම තීරණය කළේය.  
‘කව්ද අපිට පහර දෙන්න ඇවිත් ඉන්නෙ?’’  
යමගේ හමුද‌ා ප්‍රධානීහු කුහුලින් විමසූහ.  
‘රාවණා’  
‘රාවණා කිසිම මනුස්සයෙක් මෙච්චර කාලයකට අපිට පහරදෙන්න ඇවිත් නැහැ. මේක නම් පුදුමයක්’  
හමුද‌ා ප්‍රධානීහු එකිනෙකාට කියාගත්හ.  
‘කොහොම වුණත් අපි කල්පනාකාරී වෙන්න ඕනෑ. මොකද, රාවණට ඉන්නෙ බලවත් හමුද‌ාවක්’  
ඒ වගේම බුද්ධිමත්? ‘මේ වනවිටත් ඔවුන් රටවල් රාශියක් අත්පත් කරගෙන අවසන්’  
ඒ වනවිටත් යමගේ හමුද‌ාව සෙමින්ද උපක්‍රමශීලී ලෙස යමගේ මැදුරු දොර අසලට ළඟාවෙමින් සිටියහ.  
ඉසිවර නාරද සිටියේ ප්‍රීතියෙනි. තව මොහොතකින් රාවණා යමගේ මැදුරු දොර වෙත පැමිණි විගස යම ඔහුගේ කාලදණ්ඩෙන් රාවණට පහර දෙනු ඇත. ඒ වන විටත් ඔහු එම රුදුරු අවිය අතින්ගෙන රාවණා ඉලක්ක කරමින් සිටියේය. කාලදණ්ඩ පුපුරා ගිය විට, රාවණා පමණක් නොව ඔහුගේ හමුද‌ාවද සුන්නද්දූලි වී යති. ඉසිවර නාරද බලාසිටියේ ඒ මොහොත උද‌ාවනතුරුය.   
එහෙත් ඒ ඛේදනීය මොහොත දැකගන්නට ඉසිවර නාරදට නොහැකිවිය. මරණයේ දේවතාවෝ සහ රාවණා අතර හටගන්නට යන සටන බ්‍රහ්මට පෙනුණ බැවිනි. ඔහු මේ සිද්ධිය දෙස බලාසිටියේ විමසිල්ලෙනි.  
බ්‍රහ්ම උතුමානෝ සැනෙකින් යම හා රාවණා අතර මැද පෙනී සිටියහ.  
යම මෙන්ම නාරද ඉසිවරයාටද බ්‍රහ්ම දැකගත හැකිවිය. ඔවුන් දෙදෙනාම පුදුමයට පත්වූහ.  
මගෙ පුතා කරුණාකරල ඔය ආයුධය පැත්තකට ද‌ාන්න. ඕක පුපුරුවන්න එපා පිපුරුවොත් වෙන්නෙ මහා විනාශයක්.  
බ්‍රහ්ම සංසුන්ව පැවසුවේය.   
ඉසිවර නාරද සහ යම එකිනෙකාගේ මුහුණ දෙස බැලූහ.  
ඒ මොහොතේ රාවණාද විමතියට පත්ව සිටියේය. ඔහු යම අත වූ කාලදණ්ඩ දුටුවේ එ​් මොහොතෙහිය. එය එතරම් බිහිසුණු අවියක් බව රාවණා දැන සිටියේ නැත.  
‘කරුණාකරල ඔය ආයුධය පැත්තකට ද‌ාන්න’  
බ්‍රහ්ම යළි පැවසීය.  
නැවත වරක් එකිනෙකා දෙස බැලූ නාරද ඉසිවරයා හා යම ඊළඟ මොහොතේ බැලුවේ බ්‍රහ්ම දෙසය.  
‘උතුමානනි, මේක තමයි හොඳම මොහොත’  
ඉසිවර නාරද තෙපලුවේය.  
‘මේ වෙලාවෙ කාලදණ්ඩ පුපුරුවන්නට ඕනෑ. ඔබතුමාට පුළුවන් යමට අමර වරමක් දෙන්න. කාලදණ්ඩ පුපුරලා රාවණා විනාශ වෙනවා දකින්ඩයි අවශ්‍ය. ඔහු මුළු ලෝකයම ඔහුගේ අණසක යටතට ගන්නයි හදන්නෙ. ඒ නිසා ඔහු ලෝකයට කරදරයක්. විය යුත්තේ ඔහුගේ මරණය ඉක්මන් වීමයි. සියලු මිනිසුන්ටත් ජීවත්වීමට වරම ලබාදෙන්න රාවණාට හැර.  
බ්‍රහ්මගේ ඇස්වල කදුළු පිරුණි. එසේම මුහුණද සැනින් අඳුරු විය.  
‘ඔබට අවශ්‍ය මා බොරුකාරයෙක් කරන්නද?’  
බ්‍රහ්ම ඇසුවේය.  
ඔහුගේ කටහඬෙහි වූයේ කම්පිත බවකි.  
‘‘කුමක්ද?’’  
යම ඇසුවේය.  
බ්‍රහ්ම යළිත් කතාකරන්නට පටන් ගත්තේය. ‘‘මම රාවණට පොරොන්දු වෙලා තියෙන්නෙ හැම දෙවියෙක්ගෙන්ම ඔහුට ආරක්ෂාව ලබාදෙන බව. ඒ නිසා ඔබ කාලදණ්ඩ පිපුරුවොත් ඔහුගෙ ආරක්ෂාව නැතිවෙලා මා බොරුකාරයෙක් වෙනවා.  
ඉසිවර නාරද හිස සැලුවේය   
ඔහුට යමක් අවබෝධ වූ බව එම ඉරියව්ව කියාපෑවේය.  
‘‘බැරිවෙලාවත් යම කාලදණ්ඩ පාවිච්චි ක​ළොත් කරුණු දෙකක් සිද්ධ වෙන්න පුළුවන්. එක්කෝ රාවණා මිය යනවා. නැත්නම් ඔහු සද‌ාකාලික වෙනවා. බැරිවෙලාහරි ඔහු මිය ගියොත් බ්‍රහ්ම බොරුකාරයෙක් වෙනවා. ඔහු රාවණාට නිසි රැකවරණය දෙන බව පොරොන්දු වෙලා හිටියත්, ඒ රැකවරණ නොදුන් නිසා එතකොට බ්‍රහ්ම දුන්නු වරය ගැන විශ්වාසය නැතිව යනවා. බැරිවෙලාවත් රාවණා රැකුණොත් යමගෙ කාලදණ්ඩ කියන බලගතු ආයුධය බොරුවක් වෙනවා’’  
ඉසිවර නාරද තමන්ටම කියාගත්තේය.   
බ්‍රහ්ම තවමත් ඔහුගේ මෙහෙවර අවසන් කර නැත. ඔහු යම හමුවේ විය යුතු දේ පැහැදිලි කරදෙමින් සිටියේය.  
‘‘ඔය සටන නතර කරල ද‌ාන්න. කරුණාකරල මෙතැනින් ඉවත් වෙන්න  
බ්‍රහ්ම කීවේ ගැඹුරු හුස්මකට අනතුරුවය.  
බ්‍රහ්ම දෙස බලා සිටි යම අවසානයේ හඬ අවදි කළේය.  
‘ඔබට අවශ්‍ය මේ මිනිසුන්ගේ අතින් මගේ මරණය සිදුවෙනවා දකින්නද?
යම එවර බ්‍රහ්ම දෙස බලා කතා කළේ කෝපයෙනි.  
ඊට පිළිතුරු ලෙස කිසිවක් නොකී බ්‍රහ්ම බිම බලාගත්තේය. ගැඹුරු හුස්මක් ගත් යම ඉසිවර නාරද සහ බ්‍රහ්ම දෙස ඍජුව බැලුවේය. ඊළඟ මොහොතේ තම අත වූ අවිය රාවණා වෙත දමා ගැසුවේය.  
සියල්ල සුනු විසුණු වන්නට ගතවූයේ ඇසිල්ලකි.   
කලකට පසුව දීර්ඝතම නිද‌ාවෙන් අවදි වූ රාවණා උඩ බිම බැලුවේය. හිස සෙලවූයේය. තමන් මේ සිටින්නේ කොහිද? මෙතැනට පැමිණියේ කුමකටද යන්න ගැන ඔහු සිතන්නට පටන්ගත්තේය.  
අවසානයේ ඔහුට සියල්ල සිහිපත්විය.  
මං ආවෙ යම එක්ක සටන් කරන්න. ඒ වෙලාවෙ එයා මට බලගතු අවියකින් දමලා ගැහුවා. ඒ එක්කම හැම දෙයක්ම නොපෙනී නොදැනී ගියා මේ වෙනකම්ම.  
රාවණ මිමිනුවේය. එහෙත් බ්‍රහ්ම දුන් වරම නිසා මට හානියක් වුණේ නෑ’  
සැනසුම් සුසුමක් හෙලූ රාවණා අවසානයේදී යළි ලංකාපුර රාජධානිය කරා පසුබැස්සේය.  

 

 


ශාන්ත කුමාර විතාන