රාම කුමරුගේ කතාව සැබෑවක්


 

හින්දු සංස්කෘත සාහිත්‍යයේ එන මහා කාව්‍යයන් අතර ආදි කාව්‍යය වශයෙන් සැලකෙනුයේ රාමායණයයි.  උත්තර භාරතයේ අයෝධ්‍යා පුරවරයේ දශරථ රජුගේ පුත් රාම කුමරුද, මිථිලා නුවර ජනක රජුගේ දියණිය වූ සීතා කුමරිය හා  ලංකාවේ රජකළ රාවණා රජු වටා ගෙතී ඇති මෙම මහා කාව්‍යය වාල්මිකී නමැති සෘෂිවරයකු විසින් ලියන ලද්දක් ලෙස සැලකේ. හින්දුන්ගේ ශ්‍රේෂ්ඨතම කාව්‍යයක් ලෙසින් සැලකෙන රාමායණයෙහි  කතා ප්‍රවෘත්තිය අවිශ්වාස කිරීම පාපයක්ය යනුවෙන් බ්‍රාහ්මණයන් විසින් ඇති කරන ලද මතය හේතුවෙන් එහි සඳහන් කරුණු එපරිද්දෙන්ම විශ්වාස කිරීමට හින්දු ජනයා පෙලැඹී සිටිති. 


රාමායණයේ එන රාම දෙවියන් පිළිබඳ කතා ප්‍රවෘත්තිය සත්‍යයක්ද නැතිනම් ප්‍රබන්ධයක්ද යන්න පිළිබඳව ස්ථිර වශයෙන් සනාථ කර නොමැති වුවද රාමායණය සහ රාම දෙවියන් සත්‍යයක් බවට පිළිගන්නා උගතුන්, බුද්ධිමතුන් හා ගත්කතුවරුන් විශාල පිරිසක් ලොව සිටිති. ඔවුහූ රාමායණය යනු හුදු ප්‍රබන්ධයක් නොව ඉතිහාසගත පුවතක් ලෙසින්  හඳුන්වති. ඉන්දියාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාර ශ්‍රී රාජාජි, රාමායණය යනු ඉතිහාසගත සත්‍ය ප්‍රවෘත්තියක් යනුවෙන් පවසන අතර ඉන්දියානුවාදියකු වූ බි්‍රතාන්‍ය ජාතික ශ්‍රීමත් විලියම් ජෝන්ස්ද ඔහුගේ මතය සනාථ කර තිබේ.  රාමායණය හා ඉන්දියානු සංස්කෘතිය පිළිබඳ විවිධ අධ්‍යයනයනවල නිරතවී ඇති බටහිර ගත්කරුවෝද මෙම මතය තහවුරු කෙරෙන පොතපත ද එළිදක්වා තිබේ. ෆිලිප් ලුට්ජෙන්ඩෝෆ් ‘රාමාස් ස්ටෝරි ඉන් සිවාස් සිටි’ නමින්ද, ජෝ බර්ක්හෝල්ටර් සහ ලෝරි සියර්ස් ‘බවුන්ඩරිස් ඔෆ් ට්‍රැඩිෂනල් රාමායණ ඇන්ඞ් මහාභාරත පර්ෆෝමන්සස් ඉන් සවුත් ඇන්ඞ් ඊස්ට් ඒෂියා’ නමින්ද, ඈන් ආබර් සහ ඩබ්ලිව්. එල්. ස්මිත් ‘රාමායන් ට්‍රැඩිෂන්ස් ඉන් ඊස්ටන් ඉන්ඩියා‘ නමින්ද පළ කර ඇති කෘති ඒවායින් කිහිපයකි. 


රාමායණයේ සඳහන් වන රාම හා සීතා ජිවත් වූ බවට සැලකෙන ස්ථාන රැසක් අනාවරණ කරගෙන ඇති අතර රාමේස්වරම්, නාසික්, හම්පි වැනි එවැනි ස්ථාන ඓතිහාසික ස්ථාන ලෙසින් නම් කර තිබේ. බොහෝ දෙනා මෙම ස්ථාන සත්‍ය වශයෙන්ම රාම චරිතයට සම්බන්ධ ස්ථාන බවට පිළිගන්නා අතර, එම මතයේ සත්‍යයක් නොමැති යැයි සලකා බැහැර කළ නොහැකිය.


“රාම හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇත්තේ සුළු වශයෙන්. ඊට හේතු වී ඇත්තේ  ඒ සම්බන්ධයෙන් ක්‍රමානුකූල කැනීමක්  කිසිදා සිදු නොකිරිමයි” යනුවෙන් සඳහන් කරන ඉන්දියානු ඉතිහාසඥයකු වන නන්දිතා ක්‍රිෂ්ණන්,  ‘ක්‍රිස්තුන් වහන්සේ හා මහමත්තුමා සම්බන්ධයෙන්ද පුරාවිද්‍යාත්මක හමුවී තිබෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි. එතුමන් පිළිබඳ සියලු තොරතුරු බයිබලයේ සහ කුරාණයේ එන තොරතුරු ඇසුරින් පිළිගැනීමට ලක් වී තිබෙනවා. ඒ අනුව ඔවුන් මෙලොව ජීවත් නොවූයේයැයි අපට කිව හැකිද? රාමා දෙවියන් අහල්යා නිදහස් කර ගැනීම වැනි ප්‍රාතිහාර්ය පා තිබෙනවා. ක්‍රිස්තුන් වහන්සේ ජලය මත ඇවිද ගිය බැව් බයිබලයේ සඳහන් වන අතර මහමත්තුමා අසකු පිට නැගී ස්වර්ගයට ගිය බව පැවසෙන පුවතක් කුරාණයේ සඳහන්. එම තොරතුරු මගින් ගම්‍ය වනුයේ එතුමන්ගේ දිව්‍යමය ශක්තියයි.” යනුවෙන් ඇය පවසන්නීය.


රාමගේ ජීවිතයට සම්බන්ධ විවිධ ස්ථාන සහ සිදුවීම් පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරන ඇය “භූවිද්‍යාව අනුව රාමායණය ඉතාමත් නිවැරැදියි. රාම දෙවිඳු ජිවත් වූ ප්‍රදේශ මෙන්ම ක්‍රි. පූ. 1000 වැනි කාලයේ හෝ ඉන් පෙර හෝ එතුමාගේ පැමිණීම සලකුණු කරමින් ඉදිකෙරුණු දෙවොල හා සම්ප්‍රදාය තවමත් හඳුනාගත හැකියි.  කිසිදු ලේඛකයකු රට පුරා ඇවිද මෙම පුවතට සම්බන්ධ තොරතුරු ගවේෂණය කිරීමට කටයුතු කර නැහැ. ඒ වෙනුවට සිදු වී ඇත්තේ ජනප්‍රවාදයේ එන තොරතුරුවලට අනුගතවෙමින් දෙවොල ඉදිකිරීම පමණයි.” යනුවෙන් පවසන්නීය.


1975 වසරේ අයෝධ්‍යාවේ සිදුකෙරුණු පුරාවිද්‍යාත්මක ගවේෂණයකදී තද කළු පැහැති ‘කසවුති’ නමැති පාෂාණ වර්ගයකින් නිර්මාණ කෙරුණු කුලුනු 14ක පාදම සහ හින්දු කලා නිර්මාණ රැසක් අයෝධ්‍යාවේ ඉස්ලාම් දේවස්ථානයක් අසලින් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. රාමා උපත ලැබුවේ අයෝධ්‍යවේ වන අතර විවාහ වූයේ මිථිලාවේදී (වර්තමාන නේපාලය) ය.  මිථිලාව ආසන්නයේ පිහිටා ඇත්තේ සීතාමාරිය නොහොත් ජනක රජතුමා සීසාන විටදී හී විටකින් සීිතා හමු වූයේ යැයි පැවසෙන ප්‍රදේශයයි. රාමා සහ සීිතා මිථිලාවෙන් පිටත්ව අයෝධ්‍යාව වෙත ගියේ ලුම්බිනිය ඔස්සේය. අශෝක අධිරාජයා විසින්ලුම්බිනියේ ස්ථම්භයක් ස්ථාපනය කරන ලද අතර රාම හා බුදුන්ගේ ලුම්බිනි සංචාරය සලකුණු කරමින් එය ඉදිකෙරුණු බවට එහි ඇති ශිලා ලේඛනයේ සඳහන් වේ. අශෝක අධිරාජයා සහ රාම කුමරු ආසන්න සමයක ජීවත් වී ඇති අතර රාමකුමරු සම්බන්ධ තොරතුරු අශෝක අධිරාජයා දැන සිටින්නට ඇති බවට අනුමාන කළ හැකිය.


රාම, ලක්ෂ්මන සහ සීතා අයෝධ්‍යාවෙන් පිටවී ගියේ ශ්‍රින්ගවේරපුරටය. එය වත්මන් උත්තර් ප්‍රදේශ්හි ඇති ශ්‍රින්ග්වේර්පූර්ය. ඔවුන් විසින් ගංගා නදිය තරණය කරන ලද්දේ එම ස්ථානයෙනි. ඔවුන් චිත්‍රකූඨයේ ජීවත් වූ අතර භාරත සහ සත්රුඝන එහි පැමිණ තම පියාණන්ගේ අවසන් කටයුතු සිදු කරන ලද්දේ එහිදීය. ඔවුන් මධ්‍යම ඉන්දියාවේ දණ්ඩක වනය වෙත සංක්‍රමණය වූ අතර, එය රාක්ෂයන්ගේ අඩවිය ලෙස සැලකෙයි. ඔවුනට එහිදී හමු වූ ගෝත්‍රික ජනයා වර්තමානයේද එම වනාන්තරවල දැකිය හැකිය.  ලක්ෂ්මන ස්නානය කළ ස්ථානය වශයෙන් සැලකෙන තපෝවනය ආසන්නයේ ප්‍රදේශයේ ඔවුන්ගේ කථා ප්‍රවෘත්තියේ සඳහන් ගල්ගුහා අදටද දැකිය හැකිය.


රාම පිරිස පසුවු බද්‍රචලාම් ආසන්නයේ පිහිටි පන්චවතිය කරා සංක්‍රමණය වූ අතර, රාවණා සීතා පැහැර ගන්නා ලද්දේ එම ස්ථානයේදීය. රාමා, සීතා සොයා ගිය ගමනේදී ඔහුට සුග්‍රිව සහ හනුමාන් හමු වූයේ හම්පි ප්‍රදේශය අසල පිහිටි ක්‍රිෂ්කින්ද නමැති ස්ථානයේදීය. මෙම ස්ථානය රාමාගේ ජීවිතයට සම්බන්ධ වැදගත් ස්ථානයක් වන අතර එහි ඇති සෑම ගල්කුලක් සහ ගංගාවක්ම රාම චරිතය හා සම්බන්ධ වී තිබේ. හොස්පට් ආසන්නයේ පිහිටි අන්ජනාද්‍රිය හනුමාන්ගේ උපන් බිමය. සුග්‍රිව වාසය කර ඇත්තේ පම්පා (තුංගබද්‍රා) ගං ඉවුරේ පිහිටි රිෂ්යමුඛ නම් ස්ථානයේය. රාම සහ වානර හමුදාව විසින්  ලංකාවට යෑම සඳහා පාලමක් තනන ලද්දේ රාමේෂ්වරමේ ධනුෂ්කොඩියේ සිට තලෙයිමන්නාරම දක්වාය. එය ආදම්ගේ පාලම නමින් හැඳින්වෙයි. ධනුෂ්කොඩිය හා තලෙයිමන්නාරම යා කරමින් පෝක් සමුද්‍රසන්ධි මුහුදේ ගිලී ඇති මෙම පාලම නාසා ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූපවල සටහන් වි තිබේ.  ආපසු සිය රට බලා පැමිණි රාම, සීතා වැලිවලින් තැනූ සිව ලිංගයට පිදුම් කරන ලද්දේ රාමේෂ්වරම්හිදීය. එම ස්ථානය වර්තමානයේ හින්දූන්ගේ ගෞරවණීය පුදබිමකි.


රාම චරිතයට පාදක වන බොහෝ ස්ථාන ශ්‍රී ලංකාවේද දැකිය හැකිය. සීතා සඟවා තැබූ ස්ථාන ලෙස සැලකෙන රාවණා ඇල්ල අසල ඇති ගල් ගුහා, අසෝක වනය ලෙසින් සැලකෙන නුවරඑළිය ප්‍රදේශයේ ඇති සීතා අම්මාන් කෝවිල වැනි ස්ථාන සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකා ජනශ්‍රැතියේ රාම චරිතයට සම්බන්ධ ස්ථාන 30ක් පමණ හඳුනාගෙන තිබේ.


රාවණා සීතා පැහැර ගැනීම සඳහා යොදා ගත් යානය  හින්දූන් විසින් ‘පුෂ්පක විමානම්’ ලෙෂ හඳුන්වනු ලබන අතර, ශ්‍රී ලාංකිකයෝ දඬු මොණරය ලෙසින්ද හඳුන්වති. පුරාවෘත්තවලට අනුව මෙම යානය මහියංගණයට කිලෝමීටර 10ක් පමණ ඔබ්බෙන් පිහිටි වේරගංතොටට ගොඩබාන ලදැයි කියවේ. සීතා රැගෙන ගිය ගුරුළුපොත වර්තමානයේ සිතාකොටුව ලෙසින් හැඳින්වෙයි.

සීතාකොටුව මහියංගණයේ සිට කිලෝමීටර 10ක් පමණ නුවර දෙසට ගමන් කරන විට හමුවන ස්ථානයකි. සීතා රඳවා තබන ලද්දේ සීතාඑළියේ ගුහාවකය. එම ස්ථානයේ ඇය නමින් ඉදිකෙරුණු කෝවිලක් දැකිය හැකිය. එම කෝවිල ඉදිකෙරුණු ස්ථානය ආසන්නයෙන් ගලා ගිය දියපහරකින් සීතා ස්නානය කළ බවට විශ්වාසයක් පවතී. 


මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි යුදගනාපිටිය රාම = රාවණ යුද්ධය පැවැති ස්ථානය ලෙස සැලකේ. සිංහල පුරාවෘත්තයනට අනුව රාම විසින් බ්‍රහ්මසරය නම් හීයෙන් විද රාවණා මරාදමන ලද්දේ දුනුවිල නම් ස්ථානයේදීය. රාවණා රජු රාම සමඟ සටන සැළසුම් කළ ස්ථානය ලකේගල නමින් හැඳින්වේ. රාවණාගේ සිරුර තැන්පත් කර තිබුණේ යහන්ගල නම් ස්ථානයේය. රාවණා රජු බ්‍රහ්මණයකු වූ බැවින් සටනේදී වුව ඔහු මරා දැමීම පාපයක් ලෙස සැළකිණි. එම පාපයෙන් නිදොස්වීම ස`ඳහා රාම වර්මානයේ මුන්නේස්වරම් කෝවිල නමින් හැඳින්වෙන පුදබිමේ පුදපූජා පැවැත්වූ බැව් සඳහන් වේ. එය හලාවත ප්‍රදේශයේ පිහිටා ඇති කෝවිලකි.


තවත් සිංහල පුරාවෘත්තයකට අනුව සීතා දේවිය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශය ආසන්නයේ එක්තරා ස්ථානයක රඳවා සිටි බවද එහිදී ඇය දැඩි ලෙස රෝගාතුර වූ අතර ඇය සුවපත් කර ගැනීම සඳහා ඖෂධ රැගෙන ඒමට හිමාල වනයට ගිය හනුමාන් අවශ්‍ය ඖෂධ සොයාගත නොහැකි වු බැවින් ද්‍රෝනගිරි පර්වතයම ඔස්වාගෙන පැමිණ උණවටුන ප්‍රදේශයේ තැබූ බවට විශ්වාසයක් පවතී. 


ඉන්දියාවේ රාම දෙවිඳුට සම්බන්ධ සියලු ස්ථාන, ශුද්ධවූ ස්ථාන වශයෙන් පවත්වාගෙන යෑමේ ඇති වැදගත්කම නන්දිතා ක්‍රිෂ්ණන් පෙන්නා දෙන්නීය. හින්දු සාහිත්‍යයේ සඳහන් රාම අයෝධ්‍යාවෙන් පිටව ගිය බැව් සත්‍යයක් බැව් සනාථ කෙරෙන පුරාවිද්‍යාමක සාධක අනුව සාහිත්‍ය හා ඉතිහාසය අතර සම්බන්ධයක් නැතැයි කිව නොහැකි බැව් ඇය පවසන්නීය.  “පුරාවිද්‍යාත්මකව ට්‍රෝයි නගරය සොයාගන්නා තෙක් හෝමර්ගේ ඉලියඞ් කාව්‍යය සත්‍යයක් ලෙස කිසිවෙක් පිළිගත්තේ නැහැ. ඒ අයුරින් රාමායණයද සත්‍යයක් බවට පුරාවිද්‍යාත්ම සාධක ඔස්සේ අනාවරණ කර ගත හැකියි. අභාග්‍යකට මෙන් අයෝධ්‍යාවේ  හෝ මතුරාවේ හෝ රාමායණයට සම්බන්ධ යැයි සැලැකිය හැකි ස්ථානවල යළි යළිත් ඉදිකිරීම් සිදුවී ඇති බැවින් එවැනි ගවේශණයක් සිදු කිරීම අසිරු වී තිබෙනවා.”


“පුරාවිද්‍යාත්මක සාධක අවම හෙයින් රාමායණය ඉතිහාසයට සම්බන්ධ නැතැයි අපට පැවසිය නොහැකියි. වසර 7000කට ඉහත පැවැති ගොඩනැගිලි  නොමැති හෙයින් එකල එවැනි ශිෂ්ටාචාරයක් නොතිබි බව හෝ එවැනි පුද්ගලයන් නොසිටි බව හෝ අපට නිගමනය කළ හැකිද? යනුවෙන්  පුෂ්කර් භාත්නගර් නමැති ඉතිහාසඥයා විමසා සිටී. සාහිත්‍යමය වශයෙන් රාමායණය හා භගවත් පුරාණ වැනි පාඨ ග්‍රන්ථවලට අනුව ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී රාම දෙවිඳු ජීවත් වූ බවට නිගමනය කළ හැකියි. ලොව පුරා සිටින හින්දු බැතිමතුන් ඓතිහාසික සිදුවීම් හා ශ්‍රද්ධාව ඔස්සේ රාමායණය සත්‍යයක් බවට පිළිගෙන තිබෙනවා. විශේෂයෙන් ගිනිකොනදිග ආසියාවේ මෙම විශ්වාසය විශාල වශයෙන් දැකිය හැකියි. බුරුමය කාම්බෝජය, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව පිලිපීනය සහ වියට්නාමය වැනි රටවලද රාම දෙවිඳුන්ට සම්බන්ධ තොරතුරු හමුවී තිබෙනවා. අතීතයේ අප්‍රිකාවේ කුෂද්වීප නමින් හැඳින්වුණු ප්‍රදේශය රාම දෙවිඳුන්ගේ කුෂ් නමැති පුත්‍රයකු  විසින් පාලනය කරන ලදැයි පැවසෙනවා.” ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.


“රාමායණය රචනා කළ වාල්මිකී රාමගේ සමකාලිනයෙක් විය යුතුයි. රාමායණයේ එන සිදුවීම් ගොනු කිරීමේදී ඔහු ග්‍රහයන් පිහිටි ස්ථාන පිළිබඳව මනාව පැහැදිලි කරනවා. වත්මන් ග්‍රහ විද්‍යාව අනුව ඔහුගේ ග්‍රහ විග්‍රහය පිළිබඳව විමර්ශනයක් කිරීමෙන් රාමායණයේ පැවසෙන්නේ සත්‍යයක්ද අසත්‍යක්ද යන්න විමසා බැලිය හැකියි. රාම උපත ලබා ඇත්තේ චරිත මාසයේ (චරිත නම් චන්ද්‍රමාසයේ 9 වැනි පුරදිනය) නවම් තිථිියේ ශුක්ල පක්ෂයේය. එදින පැවැතියේ පුනාවාස නැකතයි. සූර්යයා, අඟහරු, සෙනසුරු බ්‍රහස්පති, සිකුරු යන ග්‍රහයන් පිළිවෙළින් මේෂ, මකර, තුලා, කටක හා මීන යන රාශිවල පිහිටා තිබුණා. ඔහුගේ ලග්නය කටක ලග්නයයි. ඒ අනුව සොයා බැලීමේදී රාමගේ උපත කි.පූ. 5114 ජනවාරි 10 වැනිදා උපත ලබා ඇති බවට තිරණය කළ හැකියි.”  යනුවෙන් ඔහු සඳහන් කරයි. 


රාම කුමරු වර්ෂ මිලියන ගණනකට ඉහත එනම් ත්‍රේත යුගයේ උපත ලබන්නට ඇතැයි ඇතැමෙක් විශ්වාස කරති. ඒ භගවත් පුරාණයේ රාම කුමරු එම යුගයේ රාජත්වයට පත් වූ බවට වන සඳහන හේතුවෙනි. අප කලියුගයේ වසර 5000ක් ජිවත් වී තිබේ. ඉන් පෙර පැවැතියේ ද්වපාර යුගයයි. එය වසර 864,000ක් පැවතිණි. ත්‍රෙත යුගය වසර 12,96,000ක් පැවතිණි. ඒ අනුව රාම ජීවත් වූයේ වසර මිලියන ගණනකට ඉහත විය යුතුයැයි ඔවුහු තර්ක කරති. වායු පුරාණයේ රාවණා රජුගේ ආයු කාලය පිළිබඳ සඳහන් වෙයි. එහි සඳහන් පරිදි රාවණා ඝාතනය කෙරුණේ 24 වැනි ත්‍රෙත යුගයේදීය. රාම, රාවණා ඝාතනය කරන විට රාමගේ වයස අවුරුදු 39 යැයි සඳහන් වේ.


හින්දු මතය අනුව ත්‍රෙත යුග 1000ක් බ්‍රහ්මයාගේ එක් දිනයකි. අප ජිවත් වනුයේ දිව්‍ය යුග නොහොත් සත්‍ය යුගය (කෘත), ත්‍රෙත යුගය, ද්වාපාර යුගය සහ කලියුගය නමැති යුග සතරින්  28 වැනි චක්‍රයේය. ඒ අනුව රාම වසර මිලියන 18කට පමණ ඉහත ජිවත්වන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති. මෙය සනාථ කළ හැකි පුවතක් රාමායණයේ සුන්දර කන්ද නම් කොටසේ සඳහන්ය. රාම කුමරු දළ සතරක් සහිත හස්තියකු පිට නැගී යනු සීතාව සිහිනයෙන් දැක තිබිණි. දළ සතරක් සහිත හස්තියකු පිළිබඳව සඳහන් කිරීමට වාල්මිකී හා එම යුගයේ විසුවන් එවැන්නක් දැක තිබිය යුතුය. එන්කාර්ටා විශ්වකෝෂයේ දළ සතරක් සහිත  හස්තියා හඳුන්වා ඇත්තේ මස්ටොඩොන්ටොයිඩියා නමිනි.  එම හස්තීන් ජිවත්ව ඇත්තේ මින් වසර මිලියන 38කට පමණ ඉහතදී බැව් එහි සඳහන් වෙයි.


මෙවැනි බොහෝ තොරතුරු අනුව රාම දෙවිඳු ඉතිහාසයේ සෑබෑ චරිතයක් බවට පිළිගත හැකිය. රාම පුරාවෘත්තය සත්‍ය සිදුවීමක් ලෙසින් හෝ ප්‍රබන්ධයක් ලෙසින් හෝ පිළිගැනීම ඒ ඒ පුද්ගලයාගේ මතය අනුව තීරණය කළ හැකිය. එහෙත් ලොව බොහෝ පිරිසක් රාම ඉතිහාසයේ බිහි වූ සත්‍ය චරිතයක් වශයෙන් පිළිගැනීමට නොපැකිළෙති.
‘ලෝඞ් රාමා ෆැක්ට් ඕ ෆික්ෂන්’ නමින් ස්ටිවන් නැප් විසින් ලියන ලද ලිපිය ඇසුරිනි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා