රාජසිංහ රජුගේ ආරක්ෂකයන් 70ක් කපාකොටා දැමූ ගම


ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලාගෙන කන්ද උඩරට රාජ්‍යය අත්පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසින්ගේ හමුදා කණ්ඩායම් ඒ වන විට පැති කිහිපයකින් මහනුවර වෙතට පැමිණෙමින් සිටියහ. එයින් එක් හමුදා කණ්ඩායමක් 1815 ජනවාරි 30 වැනිදා රාත්‍රියේ නතර වී සිටියේ ගනේතැන්නේය. එම කණ්ඩායමේ නායකයා වූයේ මේජර් හුක්ය.  


ඒ වන විට ඉංග්‍රීසීන්ගේ හමුදා කණ්ඩායම ළැගුම් ගෙන සිටි ප්‍රදේශය අවට විසූ ගම් වැසියෝ සිදුවන්නට යන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව බියට පත් වී කැලෑවලට රිංගාගෙන සිටියහ.   


ඔවුන් පත් වී සිටියේ ගිරයකට හසු වූ පුවක් ගෙඩියක තත්ත්වයකටය. ශ්‍රී වික්‍රම රජුගේ පිරිස්වලට පක්ෂ පාතිත්වය දැරුවොත් ඉංග්‍රීසින්ගේ පිරිස්වලින් කරදර විපත් පැමිණෙතැයි සිතූහ. ඉංග්‍රීසින්ගේ පිරිස්වලට පක්ෂ පාතීත්වය දැරුවොත් ශ්‍රී වික්‍රම රජුගේ පිරිස්වලින් ​බේරෙන්නට නොහැකි බව ද හොඳ හැටි තේරුම් ගෙන සිටියෝය.  


ගනේතැන්නේ නැවතී සිටි ඉංග්‍රීසි හමුදා කණ්ඩායමේ ප්‍රධානියා වූ හුක් හමු වීමට එදින රැයේ සිංහල පුද්ගලයෙක් පැමිණ සිටියේය. පැමිණි පුද්ගලයා හුක්ට යමක් පවසනු දක්නට ලැබිණ. ඒ තැනැත්තා පැවසූ දෙය අසා හුක් කල්පනා කරනු දක්නට ලැබිණ. ඉන් පසු හුක් ප්‍රධාන හමුදා නිලධාරීන් සමග සිංහලයා පැවසූ දේ පිළිබඳව සාකච්ඡා කෙරුවා විය හැකිය.  


සිංහල පුද්ගලයා ලබා දුන් තොරතුර අනුව නාඳුනන ගමකට මහ රෑ යා යුතුව තිබේ. ගමන ඉතා අවදානම්ය. එහෙත් ලැබී තිබෙන අවස්ථාව මග හරින්නට හැකියාවක් ද නැත. හුක් දෙගිඩියාවෙන් වුවද තීරණය කළේ එම ගමට බල ඇණි දෙකක් යැවීමටය.  


සිය කණ්ඩායමේ සිටි කපිතාන් (කැප්ටන්) පාකර්ටත් ලුතිතන් (ලෙප්ටිනන්ට්) රිඩ්ටත් කුඩා බලඇණි දෙකක් ලබා දී මහන්තේගමට යන ලෙසට හුක් අණ කළේය. එම බළ ඇණි දෙකේ වැඩිපුර සිටියේ මැලේ හා සිපයි (බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළ ඉන්දියානු ජනවාර්ගික පිරිසක්) භටයින්ය. මැදියම් රැය ළඟා වෙමින් පැවති ඒ මොහොතේ බළ ඇණි දෙකට මහන්තේගමට යාමට මග පෙන්වූයේ මේජර් හුක්ට විශේෂ තොරතුරක් ලබා දුන් සිංහල පුද්ගලයාමය.  


බළඇණි දෙකේ පිරිස් මහත් වෙහෙසක් දරා මැදියම් රැය ආරම්භ වීමට ආසන්න මොහොතේ මහන්තේගමට පැමිණියෝය. පැමිණි ඔවුන් නිවෙසක් වට කළේ යුහුසුළුවය. බළඇණි දෙකේ සිටි භටයන්ට දක්නට ලැබුණේ නිවසේ එළියේ නි​ෙවස මුර කරමින් සිටි ශ්‍රී වික්‍රම රජුගේ සෙබළුන් කීප දෙනෙක් තද නින්දේ පසුවන බවය. මැලේ හා සිපයි භටයින් නිදාගෙන සිටි සෙබළුන් අල්ලා ගත්තේ එතරම් වෙහෙසකින් තොරවය. ඒ මොහොතේම කපිතාන් පාකර් තම භටයිනට අණ කළේ නිවසට ගිනි තබන ලෙසටය.  


නි​ෙවස ඇතුළේ සිටියේ ශ්‍රී වික්‍රම රජතුමා​ගේ සෙබළුන්ය. නි​ෙවස ගිනි ගන්නා විට නි​ෙවස තුළ රැඳී සිටි සෙබළුන් ගින්නෙන් පිළිස්සීමෙන් වැළකී සිටින්නට නිවසින් එළියට පනින්නට වූයේ සිය ජීවිත රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. එළියට පණින සෙබළුනට ඉංග්‍රීසින්ගේ භටයෝ වෙඩි තැබූහ. කඩුවලින් කෙටූහ. බුර බුරා නැගෙන ගින්නෙන් රජුගේ ඇතැම් සෙබළුන්ගේ සිරුරු දැවී පිළිස්සෙන්නට විය. ඉංග්‍රීසි භටයෝ රජුගේ සෙබළුන් තිදෙනෙකු පණ පිටින් අල්ලා ගත්හ. ඉංග්‍රීසි භටයෝ රජුගේ සෙබළුන්ගේ තුවක්කු ඇතුළු ආයුධ තම භාරයට ගන්නටද ක්‍රියා කළෝය. 

 
පසු දින එනම් 1815 ජනවාරි 31 දා උදෑසන ගනේතැන්නේ ඉංග්‍රීසි හමුදා කණ්ඩායම සමග සිටි වෛද්‍ය හෙන්රි මාෂල් මහන්තේගම සිද්ධිය සිදු වූ ස්ථානයට ගියේය. එහිදී රජුගේ සෙබළුන්ගේ මළ සිරුරු 70 ක පමණ ප්‍රමාණයක් මාෂල්ට දක්නට ලැබිණ. කඩු පහරක් වැදී හිස් කබළේ පෙත්තක් දකුණු කන පැත්තේ එල්ලී තිබූ රජුගේ සෙබළෙකුට මාෂල් ප්‍රතිකාර කළේය. ප්‍රතිකාරයෙන් පසුව ඔහුට ජීවත් වන්නට පුළුවන් වූයේ ද? නැත්ද? යන්න සොයා බැලීමට මාෂල්ට අවස්ථාවක් නොවීය.  


කන්ද උඩරට රාජ්‍යය ආක්‍රමණයේදී ඉංග්‍රීසින්ගේ හමුදා විසින් එක තැන වැඩිම පිරිසක් ඝාතනය කරනු ලැබ ඇත්තේ මේ අවස්ථාවේදීය.  


කපිතාන් එල්. ද බුෂේගේ ‘ලෙටස් ඔන් සිලෝන්’’ ග්‍රන්ථයේත් වෛද්‍ය හෙන්රි මාෂල්ගේ ‘සිලෝන්’ ග්‍රන්ථයේත් එක් තොරතුරක් හැර අනෙක් තොරතුරු ඇතුළත්ව පවතී. සිද්ධීය වූ ස්ථානය එක් ග්‍රන්ථයකවත් සඳහන්ව නැත.  


සිද්ධිය වූ දිනයේ ගනේතැන්නේ කඳවුරේ සිටි ජෝන් ඩොයිලි 1815 ජනවාරි 31 දා දාතමින් ගනේතැන්නේදී රාත්‍රී 8.00ට ලිපියක් ලියා ඇත. ලියූ එම ලිපිය ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් වෙත යවා තිබේ. එම ලිපියේ එක් තැනක ඇති සඳහනක් මෙසේය.  


‘මෙම ස්ථානයේ සිට සැතපුම් 4ක් පමණ දුරින් ඇති මහන්තේගමට ඊ​යේ බොහෝ රෑ වී ගිය ගමනේ ප්‍රතිඵල ගැන මේජර් හුක් ඔබතුමාට දන්වනවා ඇත. අද උදේ වන තුරු මම මෙය ගැන නොදත්තෙමි’’  
එම සිද්ධිය මහන්තේගමදී සිදු වූ බව ඔප්පු කිරීමට ඇති එකම සටහන එය වේ.  


වර්තමානයේ දී මහනුවර සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා විට සුප්‍රසිද්ධ කඩුගන්නාව මුණ ගැසෙයි. කඩුගන්නා​වේ සිට ටික දුරක් ගමන් ගන්නා විට ගනේතැන්න හමු වෙයි. ගනේතැන්නේ සිට කිලෝ මීටර් 3ක පමණ දුරක් ගමන් කර මහන්​තේගමට පැමිණිය හැකිය. 

 

හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ