රාජයෝග නැති දේශපාලනය අඳුරේ යන ගමනකි


ගමක, නගරයක ලියුම් බෙදන්නාගේ සිට පාර්ලිමේන්තුවේ රජ පුටුවක වාඩිවී සිට සේවයෙහි යෙදෙන හැම කෙනෙකුටම රාජ යෝග තිබේ. ඒ වූ කලී බෙලෙක් ඇළුමිනියම් පිත්තල යකඩ දක්වා හෝ තිරිවානා ගලේ සිට මැණික් ගල දක්වා වටිනාකමින් හෝ උසස් පහත් කමින් වෙනස් වේ. ජ්‍යොතිෂයේ දී රාජ යෝග යනුවෙන් හඳුන්වන්නේ මහත් ඉහළ බලයක් හෝ ශක්තියක් ඇති එකකි.  


රාජ යෝග යනු දේශපාලනයට සම්බන්ධ නෑකමක් ඇති වචනයකි. දේශපාලනයෙන් පරිබාහිරව එක් එක් වෘත්තීන් කෙරෙහිද රාජ යෝග සබඳකම් වේ. එය ඡන්දයකට ඉදිරිපත් වීම වැනි වචනයක් නොවේ.  


දේශපාලනය යන වචනයෙහි අර්ථය පළල්ය. එය රාජ්‍ය පාලනය, රජය, මහජනතාව සම්බන්ධ පරිපාලන ක්‍රියාදාමය හා සිවිල් පාලනය යන හැම එකක්ම දරා සිටින පුළුල් අරුතක් දරා සිටින වචනයකි. දේශපාලන බලය ගෙන දෙන ග්‍රහ යෝග යනු ජ්‍යොතිෂමය භාෂා ව්‍යවහාරයෙන් රාජ යෝග යනුවෙන් හැඳින්වීමට වැඩිදෙනෙක් පෙළඹෙති. එහෙත් ඒ අරුත මුළුමනින්ම නිවැරදි නොවේ.  


රාජ යෝග යනු යමෙකු උපත ලබන විටම ඔහු රාජ්‍ය පාලකයකු කරන්නට දෛව බලයක් ඇති ග්‍රහ යෙදුම් ලෙස සැලකූ යුගයක් විය. කොහොම වෙතත් රාජ යෝග යනු සුවිශේෂ ග්‍රහ පිහිටීම්ය. රජ පවුලක නැතොත් රාජ්‍ය නායකයෙකුගේ පවුලක උපන් කෙනෙකුට පිහිටන රාජ යෝග පහසුවෙන්ම රාජ්‍ය පාලනයට නැඹුරු වීමට සමීප වූ එකක් වුවත් පහළ සමාජ මට්ටමේ කෙනෙකුට එය ගමේ පාසලේ මුල් ගුරු පොලිස් අධිකාරීවරයෙකු යනාදී වශයෙන් පදවියක් ලබා සිටින හැම කෙනෙකුටම යම් කිසි රාජ යෝගයක් විය හැකිය. උනන්දුව ප්‍රබල වන තරමට පදවි බලය උසස් කර ගැනීමට සමත් පුද්ගලයෝ වෙති. නියමිත ක්ෂේත්‍රයට නොවැටුණොත් රාජ යෝග වුවද ඵල නොලබා අහෝසි විය හැකිය. එහෙත් සමූහයකට අධිපති වන්නට නම් රාජ යෝග විය යුතුය.  


ජන්ම කේන්ද්‍රයක් තුළ පිහිටීම පමණක් බලා රාජ යෝගවල ශක්තිය විමසීම් කළ නොහැකිය. ඒ සඳහා ෂඩ් වර්ග, අෂ්ට වර්ග, දශ වර්ග කේන්ද්‍ර සියල්ලම පරික්ෂා කොට පාරිජාත, උත්තමාංශ, ගෝපුරාංශ, දේවලෝකාංශ ආදී ග්‍රහ බලයද විමසිය යුතුය. එයද සර්ව සම්පූර්ණ නිවැරදි තේරීමක් නොවේ. රාජ යෝග තිබියදීත් වෙනත් මගකට යොමු වූ අය වෙති. එහෙත් ඒ අය ඒ අංශයේ උසස් තැනකට පත්වනු ඇත. ඒ හැම තැනකදීම රාජයෝග හිමියා නායකත්වයක් දරනු ඇත.  


ග්‍රහ පිහිටීම් අනුව රාජ යෝග පිළිබඳව පරාසර පඬිතුමා මෙසේ කියයි. හිරු මුදුන්වන වේලාවෙහි විනාඩි 24 ක කාල පරාසයක් තුළ උපත ලැබූ අයෙක් වේද හෙතෙම රජකු බඳු බලවතකු වේ. ඒ උපතම රාත්‍රී කාලයේ මැදියමෙහි දහ වන අංශකයේ ගමන් කරද්දී ඔහුගේ රාජ යෝග 10 වුවද විනාශ කරන්නේය. ඒ යෙදීමේ අරුත මෙසේය. මේෂ රාශිය තුළ අංශක 10 යේදී පරම උච්ච අංශකයට යෑමයි. එම රවිම තුලා රාශියේ අංශක 10 දී පරම නීච අංශකයකට යෑමයි.  


මේ රටේ දැවැන්ත විපර්යාසයක් කළ රාජ්‍ය නායකුගේ පුතකු ගේ කේන්ද්‍රය වෘෂභ වීය. ඔහුට කවර ලෙසින්වත් දේශපාලන කරළියට පැමිණීමට නොහැකි විය.  


යටත් පිරිසෙයින් ඔහුගේ ඡායාරූපයක් වත් පුවත් පතෙක පළ වූයේ නැත. කේන්ද්‍රය පරීක්ෂා කර බලන විට බලවත් ශනි, සිකුරු, රවි හා ගුරු යන ග්‍රහයන් පස්දෙනාම බලවත්ව සිටිති. එහෙත් ගුරුගේ බලය 8 වැනි රාශිය තුළය. රවි, කුජ දෙදෙනාගේ බලය 12 වැන්නේය. ඒ දෙකම දුෂ්ට රාශීන්ය. කේන්ද්‍රස්ථාන හතරම අධිපති ග්‍රහයන් බලවත් වූ හෙයින් නමින් ප්‍රකට විය. 11 වැන්නේ සිකුරුගේ පිහිටීම උච්ච බල සහිත නිසා ධනය අතින් අගහිඟයක් නොවීය. 10 වැන්නේ සෙනසුරු යෝග කාරක ග්‍රහයා බැවින් තනතුරු බලයද විය. එහෙත් එකම ග්‍රහයෙකු විසින්වත් ලග්න රාශිය දුටුවේ නැත. එකම ග්‍රහයෙකු විසින්වත් 10 වැන්න දුටුවේ නැත. ඒ නිසා ජනවරමකට මුහුණ දෙන තරමට බැගෑ නොවන ගතියක් වෙයි. රථයකට ඇන්ජිම සේ නොපෙනෙන බලවේගයක්ව කටයුතු කරන ශක්තියක් නම් ඒ කේන්ද්‍රයේ වෙයි.  


කේන්ද්‍ර සටහන තුළ ජන්මියාගේ බලය ශක්තිය, ජය, පරාජය, ලෙඩ, බාධක, නින්දා, ප්‍රශංසා ආදී හැම එකක්ම සටහන්ව ඇත.  


කේන්ද්‍රයක රාශි 12 තුළ ග්‍රහයන් පිහිටි අයුරින් ඔහුගේ ජීවන ගමන සිදුවේ. ඒ සටහනේ රහස්‍ය භාෂාවකින් කියන කථාන්තරය වෙනස් කිරීමට බැරි වෙනත් ඒ ජන්ම සටහනේම තවත් ග්‍රහයෙකුගේ බැල්මකින් රාශි බලයෙන් එයට පිටුපා සිටිය හැකිය. පිලිප් ගුණවර්ධන මහතාගේ ජන්ම කේන්ද්‍රය තුලාව විය එහෙත් 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථාන හතරම ග්‍රහයන්ගෙන් තොරය. බැලූ බැල්මට හතර කේන්ද්‍රය පාළුය. එහෙත් ලග්නාධිපති 4 අධිපති, ඇතුළුව පංච ග්‍රහයෝගයක් තුන්වැන්නේ වේ. ඒ නිසා කුශාග්‍ර දේශපාලනඥයකු වුවත් මේ රටේ අගමැති තනතුරටවත් පත්වන්නට බැරි විය.  


අතේ තිබෙන එකම ගිනිකූරද නොසැලකිලිමත්ව දල්වතොත් එය සුළඟේ නිවී යා හැකිය. වැඩකට යොදා ගැනීමට බුද්ධිමත් වෙතොත් ළිප් කීපයක් දල්වා ගත හැකිය. අවැඩකට යෙදුවොත් රටක් ගිනි තැබිය හැකිය. ශක්තිය වූ කලී යොදන පිළිවෙළ අනුව, බුද්ධිය අනුව, ප්‍රතිඵල වෙනස් වන්නේය.  


පුංචි බලවත් ග්‍රහයෝගයක් වුවද ජීවන ජන්මයේ ඉහළටම නගින්නට වුවද සෑහෙයි. එහෙම වන්නේ බුද්ධි මහිමය හා උනන්දුව මතය. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ කේන්ද්‍රය ඊට නිදසුන්ය. ඒ කේන්ද්‍රයේ රාජ යෝග පොදිගසා තිබුණේ නැත. එකම බලවතා වූයේ උච්ච බල සහිත සෙනසුරුය. එතුමා ජනාධිපති තනතුර දක්වා ඉහළට නැගුණේ තමාට වඩා උගත් බලවත් ජ්‍යෙෂ්ඨ ප්‍රබලයන් තිදෙනකු පසු කරගෙනය. ඒ තමාට වඩා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ ඊ.එල්. සේනානායක මහතා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සහතික ලද දෙදෙනෙකු පසු කරගෙනය. සහතිකයේ උසස්කම තුබූ නමුත් ඒ දෙදෙනාට ප්‍රේමදාස මහතාගේ සිත දිනා ගත නොහැකි වූයේ තමාට වඩා පදවි බලය හිමි ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේම සර්’ යි අමතන්නට නොහැකිව එක්ෂලන්ට් කියා ඇමතීම නිසාය. බලවතාට යටත්වීම, අවනත වීම පොදු ධර්මතාවකි. හැම කෙනෙකු තුළම වෙස්වළා හැසිරෙන අහංකාරකමක් තිබේ.  


ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමාගේ කේන්ද්‍රයේ බොහෝ දෙනෙකුට නැති යෝග පොකුරක්ම විය. මිථුන ලග්නයෙන් ඉපිද 10 වැන්න සහ 11 වැන්න අතිශයින්ම බලවත් වූ ජන්ම කේන්ද්‍රය අපූරුය. 02 සහ 10 බලවත් කෙනෙකු ගෙයක් අතුගෑමට නොගත යුතුයැයි සටහනක් වේ. එයට හේතුව කාලයාගේ ඇවෑමෙන් ඔහුට ඒ ගෙයද හිමිවන තරම් වාසනා බලයක් ඇති නිසාය.  


එතුමා රැකියාව ආරම්භ කළේ එක්තරා වෙළෙඳසලක බිල් ලියන්නෙකු වශයෙනි. ඒ අතර වෙළෙඳසල් හිමියා මිය ගියේය. එතුමා එම වෙළෙඳසලත් වෙළෙඳසල් හිමියාගේ වැන්දඹු බිරිඳත් යන දෙකම හිමිකරු බවට පත් විය.  


ජනාධිපති ප්‍රේමදාස මැතිතුමන්ගේ ආරාධනය පිට මැතිවරණයට මුහුණ දී ජය ගත්තේය. තැපැල් ඇමැතිකම ද හිමි විය.  


ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමාට අගමැතිකම දුන්නේ සුදුසුකම් සපිරි දෙදෙනෙකු සිටියදීය. දහයෙන් දහ වැන්නාධිපති හා නමයෙන් නමවැන්නාධිපති ගේ යෝගය කේන්ද්‍රයේ කොතනක තිබුණත් එය රාජ යෝගයකි. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමාගේ කේන්ද්‍රයේ ඒ අතිශය බලවත් යෝගය 10 වැන්නේම විය. සටනක් නොමැතිව පදවි බලය හිමිවන එම යෝගයට සඳුගෙන් 7, 8, 9 යන රාශි තුනේම ග්‍රහයන් වීමේ වාසියද විය. එයට අමතරව 2, 11 අධිපතීන් යෝගව ධනස්ථානය වූ 2 වැන්නේම විය. මේ අතිශය බල සම්පන්න ග්‍රහ පිහිටීම් දෙක නිසා එතුමා ජනාධිපති තනතුර දක්වා ගෙන ගියේය. රාහු මහ දශාවේ ගුරු අතුරු දශාව ගෙවමින් සිටි එතුමාට 8 වැන්නේ සිටි රාහු බුධ දශා අතුරු දශාව දක්වා ගමනක් යා හැකි විය.  


මෙතෙක් රාජ්‍ය බලය අත්කරගත් බොහෝ රාජ්‍ය නායකයන්ගේ කේන්ද්‍රවල විපරීත රාජයෝග, ඉෂ්ටබල යෝග, චන්ද්‍රාධියෝගය, පංචමහා යෝග වැනි යෝගයකින් එකක් දෙකක් විය. විපරීත රාජයෝගය යනු කාලිදාස පඬිතුමාගේ උත්තර කාලාමෘතය නමැති ග්‍රන්ථයේ අපූරුවට වර්ණනා කර ඇති රාජ යෝගයකි. ඒ යෝගය යෙදෙන්නේ ජන්ම කේන්ද්‍රයේ 6, 8, 12 යන දුෂ්ට රාශීන් අධිපති ග්‍රහයන් තිදෙනා එකී රාශි තුනෙන් එකක යෝගව සිටීමය. ඉෂ්ට බල යෝගය යනු ලග්නය පහ හා නවය යන රාශි අධිපතීන් යෝගන ශුභ රාශියක වීමය. චන්ද්‍ර අධියෝගය යනු සඳු සිටි රාශිය කෙරෙන් 7, 8 යන රාශි තුනේම ග්‍රහයන් සිටීමය.  


ලග්න අධියෝග යනු ලග්නය කෙරෙන් 6, 8, 12 යන රාශි තුනේ ශුභ ග්‍රහයන් සිටීමය. නීච භංග රාජ යෝග යනු උච්ච නීච ග්‍රහයන් දෙදෙනෙකු යෝගව ශුභ රාශියක වීමය. ඵල දීපිකාවේ 7 වැනි පරිච්ඡේදයේ 26 - 30 යන පිටුවල විස්තර කෙරේ. නිදසුන් කේන්ද්‍ර ඉදිරිපත් කළොත් මෙසේය.  


මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, බ්‍රිතාන්‍ය මහ රැජින, එඩී ජයමාන්න, වලිසිංහ හරිශ්චන්ද්‍ර, අනගාරික ධර්මපාල, ප්‍රේමදාස රණසිංහ, සර් ඩී.බී. ජයතිලක, ඒ.ඊ. ගුණසිංහ, ඩයනා කුමරිය, ලලිත් ඇතුළත් මුදලි, ඉන්දිරා ගාන්ධි, ජේ.ආර්. ඩඩ්ලි, රන්ජන් විජේරත්න, ඩබ්. දහනායක, මේ හැමදෙනාටම රාජ යෝග විය. දැනුම, පරිණත බව, ජනප්‍රසාදය, ධන ශක්තිය අනුව ලබන පදවි බලය වෙනස් වේ.  


වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ නියුතු වැඩි දෙනෙකුගේ ජන්ම කේන්ද්‍රවල එම රාජ යෝග වේදැයි විස්තර කිරීමට පෙළඹෙන්නේ නැත. වෘශ්චික ලග්නයෙන් හා සියාවස නැකතෙන් උපන් ගෝඨාභය රාජපක්ෂ, පුවපුටුප නැකතින් විමල් වීරවංශ, තුලා ලග්නයෙන් රාහුගේ නැකතින් උපන් රජිත සේනාරත්න, මීන ලග්නයෙන් මුල නැකතින් උපන් රතන හිමි, තුලා ලග්නයෙන් මා නැකතින් උපන් කථානායකතුමා, කටක ලග්නය හිමි මංගල සමරවීර, මිථුන ලග්නය හිමි සුවණ නැකතෙන් උපන් සජිත් ප්‍රේමදාස, කුම්භ ලග්නයෙන් මා නැකතින් උපන් ටී.බී. ඒකනායක තුලා ලග්නයෙන්, අනුර ප්‍රියදර්ශන යාපා මේ හැමටත් නම සඳහන් නොකළ වැඩිදෙනෙකුටත් රාජ යෝග නැත්තේ නොවේ.  


එම කේන්ද්‍ර විග්‍රහ කිරීමට මේ අවස්ථාව නොවේ. මේ සියල්ලෝම දේශපාලන කරළියේ ප්‍රකටයෝය. එහෙත් එයින් කී දෙනෙක් අගමැති ජනපති වැනි උත්තරීතර පුටුවක වාඩි වේදැයි නිගමනය කිරීමටද නොවෙහෙසෙමි.  


මා විශ්වාස කරන්නැයි ජනතාව ඉදිරියේ සපථ කරන්නට මෙයින් කී දෙනෙකුට හැකි දැයි තීරණය කරන්නේ මහජනතාවගේ තීරණය උසාවියේ තීරණය උසාවියේ තීරණයට වඩා ඉහළින් සිටියි විශ්ව සාධාරණත්වයේ තීරණය පෙර සිටියි. විශ්ව සාධරණත්වයේ තීරණය පෙර සඳහන් කළ දෙකටම වඩා බලවත්ය. එහෙත් වත්මන් දේශපාලන නාම පුවරුව හිමි වැඩිදෙනෙක් විශ්ව විනිශ්චය ඉදිරියේ අන්ධයෝය. මේ වූ කලී විශ්ව සාධාරණ නීතියට පිටුපා බලය රුපියල් ශතවලට වෙන්දේසි කරන නායකත්වය මිශ්‍ර යුගයකි. එතැනදී රාජ යෝග වුවත් වෙන්දේසියේ වැඩි ඉල්ලුමට අලෙවි වන එකකි. රාජ යෝග වෙතත් මිලියන ගණනින් මුදල් විසි කළ හැකි හොරා ඉදිරියේ මහත්වරු පසුපසිනි. පරාජිත වෙති.  
මහා සාගරයේ හාල් මැස්සාගේ සිට තෝරා, මෝරා දක්වා වූ අප්‍රමාණ මත්ස්‍යයෝ වෙති. හාල් මැස්සා ඊට වඩා ලොකු සතකුගේ ගොදුරකි. ඒ නිසා රාජ යෝග පොදිගසා ජන්ම කේන්ද්‍රයේ වෙතත් කළු සල්ලි අතේ නැත්නම්, තෝරා, ​මෝරා හාල් මැස්සන්ට පරදිති.  


ඉදිරියට ලංකාවේ මේ දේශපාලන කිළිටි වස්ත්‍රය පවිත්‍ර කිරීමට සමත් බලවේග දෙකක් ක්‍රියාත්මක වනු ඇත. පූර්ව 543 දී පමණ යවනාචාර්ය නම් වූ මහා සෘෂිවරයාන කෙනෙකු විසූ බව හෙළි වී ඇත. ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශයට මායා රට යන නම තබන ලද්දේ එවකට ලංකා රටෙහි වාසය කළා වූ මායා සෘෂීන්ගේ නම සිහිපත් වනු පිණිස වන අතර, පූර්වෝක්ත යවනාචාරයෝ මෙකී මායා සෘෂීන්ගේ සමකාලීනයෙක් වෙයි.  


යවනාචාර්ය යන්නෙහි අරුත ග්‍රීක්වරුන්ගේ ගුරුවරයා යන්න වේ. මෙම ශාස්ත්‍රය පෘථුලව හැදෑරූ ම්ලේච්ඡයෝ සහ යවනයෝ වුවද සෘෂීන් වශයෙන් ගරු බුහුමන් ලබතියි ගර්ග සෘෂිවරයා උපුටා දක්වමින් වරහ මිහිරයෝ පවසති. මෙහි යවනයෝ ලෙස හඳුන්වා ඇත්තේ ග්‍රීක ජාතිකයන්ය. යවනාචාර්යයන් විසින් කරන ලද මානසාගර පද්ධති නම් ග්‍රන්ථයක් පිළිබඳව භාරතීය ජ්‍යොතිෂ විශාරදයින් විසින් වරින් වර සඳහන් කර ඇතත් එහි එන සිද්ධාන්තයන් ගැන හෝ එතුමන් විසින් පළ කර ඇති වෙනත් ජ්‍යොතිෂ න්‍යායන් ගැන හෝ පර්​ෙ‌ය්ෂණයක් වත් අර්ථ දැක්වීමක් වත් භාරත දේශයේ සිදු කෙරී නැත. ඒ අතරින් රාජ යෝග, ධනය බලය පිරි නැමීමට හේතුවන යෝග කීපයක්, කිහිපයක්, නිදසුන් ජන්ම පත්‍ර ඇසුරින් විශ්ලේෂණය කිරීමකි මේ.  


1. ලග්නට මීනය වී ගුරු එහි තැන්පත්ව සිටියදී සඳු 5 වැන්නේ හෝ සඳ වැන්නේ වෙයි නම් ජන්මියා ආනුභාවය, බලපුළුවන් කාරකම් හා ප්‍රභූත්වය සහිත වනු ඇත.  
2. මීන ලග්නයෙන් උපන්නෙකුගේ ජන්ම පත්‍රයෙහි රවි, ශුක්‍ර ලග්න ගතවද, බුධ දොළහේද, සඳු 02 වැන්නේද, රාහු තුන්වැන්නේද යෙදී සිටිත් නම් එය රාජ යෝගයකි.  
3. ශනි සිකුරු බුධ ත්‍රිකෝණස්ථානවල හෝ ශනි බුධ යෝගය 3, 6, 10 ස්ථානයක දක්නට ලැබෙන විට පුර පස සඳු පස් වන භාවයට ගියේ නම් එවිට උපන් දරුවා රජෙකු බඳු වන්නේය.  
4. ශනිත් සඳුත් ලග්නයෙහි යෝගව සිටියදී සිකුරු අටවැන්නේ වෙයි නම් එවැනි ග්‍රහ පිහිටීමක් සහිතව උපත ලද තැනැත්තා බොහෝ ධනවත් භාර්යාවක් ලබන අතර ගරු නම්බු ද ලබයි. ප්‍රසිද්ධියට පත් වේ.  
5. සිංහ රාශියේ ගුරු තැන්පත්ව සිටින විට අනෙකුත් ග්‍රහයින් තුලාවේ සිට මකරය දක්වා වන රාශිවල තැන්පත් නම් ජන්මියා සුවිසල් භූමි ප්‍රදේශයකට අධිපතියෙකු වනු ඇත.  
6. රවි සිංහ රැසෙහි හිඳිනා කල සිකුරු තුලාවට ද සෙනසුරු මිථුනයට ගියේ නම් ඒ ජන්මියා ම්ලේඡයෙකු වුවද බලය සහිත තත්ත්වයක් කරා උසස් වේ.  
7. ගුරු පස්වැන්නේ ද සඳු නවවැන්නේ ද රවි තුන්වැන්නේද නම් ධනේශ්වරයෙකි.  
8. පස්වැන්න මේෂය වූ රවි එහි තැන්පත් නම් හෝ වෘෂභ වී සඳු එහි වී නම් සහ ගුරු කටකයේ වෙයි නම් කේන්ද්‍ර හිමියාහට ශක්තිමත් සිරුරක්ද මහත් වූ ධනයක් ද බලවත්කමද පිරිනැමේ.  
9. රවි මේෂ ලග්නයේත්, සඳු හා සිකුරු දෙවැන්නේත් රාහු තුන්වැන්නේත් ගුරු සිව්වැන්නේත් බුධ 12 වැන්නේත් හිඳින අතර ශනි කන්‍යා කුම්භ දෙරැසින් එකක පතිත වුවහොත් ඒ ජන්මියා රාජ පෙළපතක උපන්නේ නම් නිසැකයෙන්ම රජකමට පත්වන්නේය. සාමාන්‍ය පවුලක උපන්නෙකු නම් රජකු හා සමානව දිවි ගෙවන්නේය.  
10. කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක ගුරු උච්චව සිටියදී සඳු, බුධ, සිකුරු තිදෙනාගේම දෘෂ්ටියට ලක්වෙයි නම් හෝ එසේ නොවේ නම් ඒ ග්‍රහයින් තිදෙනා උච්ච ගුරු සමග එක්ව සිටී නම් අන්‍යයන් පරදවා ජය ලබන්නෙකි. එසේම ප්‍රධානියෙකි.  


යම් පුද්ගලයෙකුගේ භාග්‍යය හෝ අභාග්‍ය ප්‍රකට වන්නා වූ කාල සීමාව පිළිබඳව යවනාචාර්යයන් විසින් බෙහෙවින් වැදගත්කමකින් යුතුව කතා කර තිබේ. ඔහුගේ සිද්ධාන්තයන් වැඩි ගණනක් නව වැන්න පදනම් කරගෙන ඒ වටා ගොඩ නැගී ඇත. නවය අධිපතියා රවි නම් ජීවිතයේ 22 වන වසරද සඳු නම් 24 වසරද, කුජ නම් 28 වසරද බුධ නම් 32 වසරද ගුරු නම් 16 වසරද, සිකුරු නම් 25 වසරද හා ශනි නම් 36 වන වසරද නියමිත වර්ෂයක් ලෙස ඔහු සටහන් කරයි.  


ලග්නාධිපතියා කෙරෙන්ද මෙවැන්නක් වටහාගන්නට පිළිවන. බලවත්ව යෙදුණු සඳු ලග්නයේ හෝ නව වැන්නේ වීම සිය භාග්‍ය කරණ කොට ගෙන ජන්මියාව මහත් කීර්තියට පත් කරයි. නවවැන්න අධිපතියාත්, ලග්නාධිපතියාත් ස්වක්ෂේත්‍රව සිටිත් නම් හෝ ඔවුන් එකිනෙකා දකී නම් ජන්මියා තමා උපන් රටේම නැත්නම් උපන් ප්‍රදේශයේම ප්‍රසිද්ධිය හා කීර්තිය ලඟා වේ. නවවැන්න අලලා යවනාචාර්යයන් විසින් පළකර ඇති තවත් වැදගත් කරුණු කීපයෙකි ඒ.  

 


ආචාර්ය පියසේන රතුවිතාන