රාජ යෝග 4 ක ප්‍රබල දරු උපතක්


යෝග යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරනු ලබන්නේ සම්බන්ධය හෝ එක්වීම හා බලවත් වීම යන්නය. එහෙත් විශේෂිතව ජ්‍යොතීර් විද්‍යානුකූලව යෝග යන්න ජන්ම පත්‍රයට කිසියම් ශක්තියක් හෝ බලයක් ආරෝපණය කරමින් හෝ ජන්ම පත්‍රයේ ශක්තිය හා බලය හීන කරමින් ග්‍රහයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකු අතර ඇතිවන සබඳතාව වශයෙන් ද පෙන්වා දිය හැකිය.

 
යෝග කොටස් 02 කට බෙදනු ලැබේ. එනම්, යෝග සහ අරිෂ්ඨ වශයෙනි. යෝග නමැති කොටසට ජයග්‍රහණ, ශරීර සෞඛ්‍ය උසස් අධ්‍යාපනය, පෞරුෂත්වය, මූල්‍යමය ලාභ හෝ ධන ලාභ, මානසික ශක්තිය, දේශපාලන ජයග්‍රහණ, යහපත් සහකරු/සහකාරිය, යහපත් දූ දරුවන්, යහපත් ගෘහ ජීවිතය, හොඳ මිතුරන්, ඥාතීන්, යහපත් චර්යාවන් ඇතුළු ජීවිතයේ වාසනාවන්ත යැයි හැඟෙන තත්ත්වයන් නම් කළ හැක.   


අරිෂ්ඨ නමැති කොටසට දුක් කරදර, වද වේදනා, බාධක, කම්කටොලු, අවහිර, කායික මානසික කැලඹීම්, අයහපත් ශරීර සෞඛ්‍ය, කායික හා මානසික විකෘතිතා, මුල්‍යමය පාඩු, දබරකාරී සහකරු/සහකාරිය, පාපී ක්‍රියා ඇතුළු ජීවිතය අවාසනාවන්ත යැයි හැඟෙන සියලුම දේවල් පෙන්වාදිය හැක. යෝගයක ශක්තිය රඳා පවතින්නේ ග්‍රහයන්ගේ ස්වභාවය අනුවය. ග්‍රහයන්ට ආවේණික ස්වභාවය සුබ, පාපී හා සම වශයෙන් කොටස් 03 කට වෙන්කර ගත හැක.   


ස්වභාවික වර්ගීකරණය අනුව සුබ ග්‍රහයන් වන්නේ ගුරු සිකුරු හා සුබ සංයෝග සහිත බුධ සහ පුරපස චන්ද්‍රයා වන අතර පාපී ග්‍රහයන් වශයෙන් රවි (ක්‍රෑර), කුජ, ශනි පාපී සංයෝගලත් බුධ සහ අවපස (ක්ෂීණ) චන්ද්‍රයා වේ.   
ජන්ම පත්‍රයක් නිරීක්ෂණය කිරීමේදී ලග්නාධිපති සහ අනෙකුත් ග්‍රහයන් සුබ සංයෝග සහිතව පාප දෘෂ්ඨිවලින් තොරව සිටීම වැදගත් වේ. සඳු පිළිබඳ ඒ ආකාරයටම පරික්ෂණයට භාජනය කිරීම සාධාරණ වේ.   
ත්‍රිකෝණාධිපතියන් නොහොත් ලක්ෂ්මි ස්ථානාධිපතියන් සහ කේන්ද්‍රස්ථානාධිපතියන් නොහොත් විෂ්ණු ස්ථානාධිපතියන් සමග ලග්නාධිපති ද සම්බන්ධ වීමෙන් අති ප්‍රබල රාජ යෝග උදාකරනු ලැබේ. තවද ඒ ඒ භාවාධිපතියන් අන්‍යොන්‍ය වශයෙන් භාව පරිවර්තනය කරගෙන සිටීම පරිවර්තන යෝග වශයෙන් පෙන්වා දිය හැක.   


සුබ ග්‍රහයන් දෙදෙනෙකු අතර ඇතිවන පරිවර්තන යෝගය වඩා බලවත් වේ. ඒවා ප්‍රබල ධනයෝග වේ. එයට හොඳම නිදසුන වන්නේ, මීන ලග්නයෙන් ඉපදී ලෝක ප්‍රකට ව්‍යාපාරිකයකු වූ උපාලි විජයවර්ධන මහතාගේ කේන්ද්‍රයේ ලග්නාධිපති හා අයස්ථානාධිපති නොහොත් එකොළොස්වැන්නාධිපති පරිවර්තනය වී සිටීම නිසා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඔහු දැවැන්තයෙක් විය. ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සංයෝග වී සිටීම තුළින් ද එම කේන්ද්‍රවල බලය තව තවත් වර්ධනය විය හැක. මෙම ග්‍රහ පිහිටීම්වලින් වඩා ප්‍රමුඛස්ථානය හිමිවන්නේ පංචමහා පුරුෂ රාජ යෝගවලටය.   


විවිධාකාර වූ යෝග බොහෝ සංඛ්‍යාවක් ජ්‍යෝතිර් විද්‍යාවේ සඳහන් කර ඇත. එම යෝගවල පිහිටීම අනුව ජන්මියාට සුබ අසුබ වශයෙන් ප්‍රතිඵල උදා කෙරේ. පෙරදිග ජ්‍යෝතිර් විද්‍යාවේ පලාපල කථනය සඳහා මෙම යෝග භාවිතයට ගනු ලැබේ. බුදුරජාණන් වහන්සේ මනස දියුණු කරමින් නිවන පසක් කරගත්තා සේ හිමාලයේ විසූ සෘෂිවරයන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ වසමින් දීර්ඝ කාලයක් තිස්සේ ජ්‍යෝතිර් විද්‍යාවේ ප්‍රගමනයට මෙම විෂය පිළිබඳව උසස් ග්‍රන්ථ සම්පාදනය කර ඇත. මෙම ලිපියෙන් මා අදහස් කරනු ලබන්නේ සැප්තැම්බර් මාසයේ යෙදෙන ප්‍රබල රාජ යෝග 04 සහ අනෙකුත් යෝග පිළිබඳව සරලව කෙටියෙන් තොරතුරු බිඳක් පාඨකයාගේ දැනගැනීම උදෙසා දැක්වීමටය. ඉතා කලාතුරකින් යෙදෙන රාජ යෝග 04ක් සහ තවත් යෝග ගණනාවක් සැප්තැම්බර් මාසයේ පහත සඳහන් දින තුළ දී ඇති වේ.   

 


ක්‍රි.ව. 2018 ක් වූ සැප්තැම්බර් මස 27, 28, 29 දින දක්වා තුලා ලග්නයෙන් ජනිත වන දරුවන් හට පහත සඳහන් ප්‍රබල රාජ යෝග ඇතිවන්නේය.   


චන්ද්‍රාධි යෝගය, මාලවී පංච මහා රාජ යෝගය, විදුරවි යෝගය, බුධ ආදිත්‍ය යෝගය, විමලා යෝගය, රුචක පංච මහා රාජ යෝගය, ගජ කේශරී රාජ යෝගය, ගුරු ලග්නයේ කෝටියක් ​ෙද්ෂ භංගවන යෝගය, සතර දීප ජය යෝගය. 


2018 සැප්තැම්බර් මස 27, 28 හා 29 දිනවල තුලා ලග්නයෙන් උපත ලබන දරුවන්ගේ ජන්ම පත්‍රය ඉහත දැක්වේ.   


ඉහත දින 03 ඇතුළත, දින සම්පූර්ණ මව්වරුන්ට ශල්‍යකර්ම මගින් තම දරු උපත සිදුකර ගන්නේ නම් ප්‍රබල රාජ යෝග ඇතුළත් දරුවන් බිහිකිරීමට හැකියාව ඇත. මෙහි උදාහරණ සහිතව පෙන්වා දෙන පුද්ගලයන් හට තිබෙන සියලු රාජ යෝග මෙම තුලා ලග්න දරු උපතට අතුළත් වීම මෙහි විශේෂත්වයයි. ඉදිරි අනාගතයේ දී මෙම දින 03 තුළ තුලා ලග්නයෙන් උපත ලබන දරුවන් මෙරටේ මැති ඇමැති ජනාධිපති වීම හෝ වෙනත් ප්‍රබල භූමිකාවක් නිරූපණය කිරීම පුදුමයක් නොවේ.   


චන්ද්‍රාධි යෝගය:- අධි යෝගය හා චන්ද්‍රාධි යෝගය යනුවෙන් දෙආකාර වේ. ලග්නයෙන් 6, 7, 8 යන තැන්හි නෛසර්ගික ශුභයන් වෙයි නම්, ලග්නාධියෝගය චන්ද්‍රාධි යෝගය උදාවනුයේ චන්ද්‍රයා කෙරෙන් 6, 7 හා 8 හි එකී සුබ ග්‍රහයින් තැන්පත් වීමෙනි. මෙහි ඵල විපාක වන්නේ, ආචාරවත් වූද විශ්වාසනීය උත්තමයෙකි. සුබදායක, ප්‍රීතිමත් දිවියකට වාසනාව ඇත. සමෘද්ධිමත්ය. ආඥාදායකයෙකු, අධිපතියෙකු අමාත්‍යවරයෙකු හෝ පළාත් පාලකයෙකු වන්නට හැකියාව ඇත. සතුරන් හට පරාජය පමුණුවයි. නිරෝගීය. අතුරු අන්තරා අවමය. දීර්ඝ කාලයක් ජීවත් වේ. උගත්කමින් බැබලේ. මෙයට හොඳම නිදසුන වන්නේ පහත සඳහන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කන්‍යා ලග්න ජන්ම පත්‍රයයි.  

 


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්‍රයේ චන්ද්‍රාධි යෝගය තැන්පත් වී ඇති අයුරු   


රුචක පංච මහා රාජ යෝගය - මෙම යෝගයේ ඵල විපාක වන්නේ, මැනවින් වැඩුණු සවිබල දේහයකි. සම්ප්‍රදාය සිරිත් විරිත් ආදියට අනුකූලතාව පායි. රජෙකු හෝ රජෙකු බඳු කෙනෙකු වීමේ භාග්‍යය සහිතය. ආගමික දැනුම හා ඇදහීම ඇත්තේය. ප්‍රිය මනාප පෞරුෂයකි. වාසනාව කීර්තිය අැති වේ. නිදහස් මතධාරීය. ජයගන්නා සුළුය. බලපරාක්‍රමාන්විතය. ත්‍රිවිධ හමුදාවට ප්‍රධානියා වන්නේය. නිර්භීතකම කැපී පෙනේ. කෲර බවක් ද පවතී. සැත්තෑ විය තෙක් ජීවත්වීමේ වාසනාව ඇත.   

 

 

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජන්ම පත්‍රයේ රුචක පංච මහා රාජ යෝගය තැන්පත් වී ඇති අයුරු. 

 
මෙයට හොඳම නිදසුන වන්නේ, ඉහත සඳහන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කටක ලග්න ජන්ම පත්‍රයයි.   


මාලවී පංච මහා රාජ යෝගය - මෙහි ඵල විපාක වන්නේ මනස්කාන්ත දේහයකින් යුක්තය. පූර්ව පුණ්‍ය බල වේ. සුඛෝපභෝගී නිවාස, නවීන යාන වාහන සම්පත් උරුම වේ. ධනය අත්පත් කර ගනී. රාජකීය බලය යෙදවීමෙහි සමත් හේ බල පරාක්‍රමයෙන් ද අධිකාරි බලයෙන් ද යුක්ත වන්නේය. දැඩි තීරණ ගැනීමේ ශක්තිය සහිතය. නිදහස් මතධාරියෙකි. සත් සැත්තෑ වසරක් ජීවත් වීමේ වාසනාව ඇත්තේය. අගනා සළුපිළි ලබයි.  

 

 


රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම පත්‍රයේ මාලවීපංච මහා යෝගය සහ ගජ කේශරී රාජ යෝගය තැන්පත් වී ඇති අයුරු.   


මෙයට හොඳම නිදසුන වන්නේ, ඉහත සඳහන් වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීන ලග්න ජන්ම පත්‍රයයි.   


ගජ කේශරී රාජ යෝගය - මෙහි ඵල විපාක වන්නේ, ආචාර සම්පන්න හා ත්‍යාගීවන්ත, ගෞරවනීය කෙනෙකි. බෙහෙවින් නිරවුල් පැහැදිලි බුද්ධියකින් හෙබිය. සාහිත්‍ය කලා ගැඹුරු ශාස්ත්‍රාදිය කෙරෙහි සහජ හැකියාවක් ඇති කෙරේ. ධනය ඇත. ගමකට ​ෙහා් නගරයකට හෝ එහි අධිකාරි බලය දරන්නෙකු වේ. අසූතුන් වසරක් ආයු අැත්තේය. මරණින් පසු බොහෝ කලක් ඉක්ම යනතුරු පවත්නා නාමයක් සාදාගනී. ජර්මනියේ හිටපු හිට්ලර්ගේ කේන්ද්‍රයේ මෙම යෝගය පිහිටා තිබේ. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තුලා ලග්න ජන්ම පත්‍රයේ මෙම යෝගය දක්නට ලැබේ.   

 

 

 


ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල්ක්ලින්ටන් ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රයේ ගජ කේශරී රාජ යෝගය   


ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතාගේ ඉහත ජන්ම පත්‍රයේ ප්‍රබල ගජකේශරී රාජ යෝගය තැන්පත් වී තිබෙන අයුරු මෙයට හොඳම නිදසුනය.   


විදුරවි යෝගය යෙදෙන්නේ බුධ ග්‍රහයා කන්‍යා රාශියේ තැන්පත් වීමෙනි. මෙහි ඵල විපාක වන්නේ ඉතා බුද්ධිමත්, ඥානවන්ත, පරසිඳු විද්වතෙකු වේ. පණ්ඩිත නුවණය. උගත්කමේ අග්‍රස්ථානයට ළඟාවේ. වහා අවබෝධ වන නුවණකින් හෙබිය. කයට වඩා බුද්ධිය මෙහෙයවා ජයග්‍රහණ අත්පත් කර ගනී. 

 
උක්ත කේන්දරයේ ගුරු ග්‍රහයා ලග්නයේ තැන්පත් වීම තුළින් කෝටියක් දෝෂ භංගවන අතර සෙනසුරු ග්‍රහයා වික්‍රමස්ථානයේ තැන්පත් වීමෙන් සතුරන් පරාජය වන අතර ශුභ ග්‍රහයන් තිදෙනෙකු කේන්ද්‍රස්ථානවල තැන්පත් වීමෙන් රාජ ලක්ෂණ යෝගය හා පර්වත යෝගය ද උදාවන බැවින් එම දින තුළ උපදින දරුවන්ගේ ජන්ම පත්‍ර තව තවත් උත්දීපනය වේ. මේ ලිපියෙන් මා අදහස් කරනුයේ, දින වකවානු සම්පූර්ණ මව්වරු සිටී නම් සැප්තැම්බර් 27, 28, 29 යන දිනයන්වල තුලා ලග්නයෙන් ශල්‍යකර්මවලට භාජනය කිරීමෙන් මෙවැනි ප්‍රබල රාජ යෝග සහිත දරුවන් ලබා ගැනීමට එම මව්වරුන්ට වාසනා මහිමය ඇති බව පෙන්වා දීමය.

   
මෙම දින තුළ සිට සති දෙකක් ඉදිරියට දරුවන් බිහිකරන්නට බලා සිටින මව්වරුන්ට ද ඉහත දින තුනේ දී සැත්කම්වලට භාජනය කිරීමෙන් මෙවැනි ප්‍රබල රාජ යෝග සහිත දරුවන් මෙලොවට ජනිත කළ හැක. ප්‍රබල රාජ යෝග සහිත දරුවන් ශල්‍යකර්ම මගින් මෙලොවට බිහිවීමේ වාසනාව නූතන ලෝකයේ පවතින නිසා එහි කිසිදු වරදක් මා දකින්නේ නැත. එවැනි සැත්කම්වලින් මෙලොවට ජනිත වී ඇති දරුවන්ගේ ජන්ම පත්‍ර පරික්ෂා කිරීමේදී එහි ප්‍රබලත්වය පිළිබඳව ජ්‍යොතිෂවේදියෙකු ලෙස මා ලබා ඇති අත්දැකීම් බහුලය. මෙවැනි ප්‍රබල රාජ යෝග හතරක් ඇති වන්නේ ඉතා කලාතුරකින්ය. මෙය ඉතා දුර්ලභ අවස්ථාවකි.   

 

 

 


ජ්‍යෝතීර් විශාරද
විජිත රෝහණ විජේමුණි,
සරණ ජ්‍යොතිෂ පර්​ෙ‌ය්ෂණ ආයතනය
නො. 25, 2 නව මහල, 
සුපිරි වෙළෙඳ සංකීර්ණය, නුගේගොඩ.