රාගය සහ විරාගය


මේ ලෝකයේ සිටින සියලුදෙනා එකිනෙකාගෙන් වෙනස් තත්ත්වයන් ලබා ඇති බව කාටත් පැහැදිලි දෙයකි. ධනයෙන්, බලයෙන්, රූපයෙන් සහ ඥානයෙන් අපි සැම එකිනෙකාට වෙනස් බවින් යුක්ත වෙමු. රාගය ද එවැනිම තවත් සාධකයකි. වැඩි, මධ්‍යස්ථ, අඩු ආදී වශයෙන් රාගයේ අවස්ථා දැක්විය හැකිය. ඒ ලෝක ස්වභාවය අනුව සිදුවන දෙයකි. රෝගී අවස්ථාවන් හැර බොහෝ විට මෙය උපතින් ලබා එන දෙයකි. එය කාටවත් වෙනස් කළ ​ෙනාහැකිය. මේ තත්ත්වයන් එකක්වත් වැඩියෙන් හොඳ හෝ නරක නැත. නරක ඇතිකර ගන්නේ මිනිසුන්මය. ඒ නොගැළපෙන අයකු සමග විවාහවීමෙනි.   


රාගය වැඩි අය අනිවාර්යයෙන්ම එය පාලනය කරගත යුතුය. රාගය අඩු බොහෝදෙනාගේ විවාහ පසුවීම හෝ නොවීම තිබීම කාගේවත් නින්දාවට භාජනය විය යුතු කරුණක් නොවේ. එහෙත් තරුණ විය ඉක්මවා විවාහ නොවී සිටින අයට සමාජයේ වෙනත් අයගෙන් ලැබෙන මානසික හිරිහැර අපමණය.   


විවාහ උත්සව හෝ වෙනත් එවැනි හමුවීම්වලදී එවැනි කෙනකු දුටු හැටියේම සමහරු විමසන්නේ විවාහයේ ප්‍රමාදය ගැනය. බඳින්න අදහසක් නැද්ද? තවම කෙනකු හමුවුණේ නැද්ද? වයසට යනවා නේද? ආදී නොයෙක් නොයෙක් කරදරකාරී වචනවලින් අහිංසකයින්ට කරදර කරන අය අද සමාජයේ ඕනෑ තරම් සිටිති. මේ නිසා විවාහ ප්‍රමාද වූ බොහෝදෙනා තම නෑදෑයින්, හිතවතුන් රැස් වන තැන්වලට යාම මග හරිති. ඔවුන්ගේ අනවශ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපොහොසත් වන මේ අහිංසකයෝ එම අවස්ථා මගහැරීමට පෙළඹෙති.   


මිනිසුන් ගේ රාගය අඩුවැඩි වීම ස්වභාවික දෙයකි. එය කාගේවත් අපහාසයට උපහාසයට ලක්විය යුතු දෙයක් නොවේ. මෙම වෙනස කෙනකු උපදින විටම ඇතිවන දෙයකි. එය හඳහනට ඇතුළු වෙයි.   


හඳහනේ විවාහය ගැන කියවෙන ප්‍රධාන කොටුව හත්වැන්නය. විවාහයේදී වඩා බලවත් වන ග්‍රහයින් තිදෙනෙකි. ඒ රවි කුජ හා රාහුය. මෙයින් රවි හා කුජ තරමක් සමාන ප්‍රතිඵල දුන්නත් රාහු වෙනස් අයුරකින් මිනිසාට බලපායි.   


හතේ රාහු විකෘති කාමාශා ඇති කරයි. එමෙන්ම හතේ රාහු නැති අයකු හා විවාහ වුණොත් විවාහය අවුල් කරයි. ගුරු, ශනි හා කේතු යන ග්‍රහයින් හතේ සිටින අය සාමාන්‍යයෙන් රාගී බව අඩුය. ඉතිරි ග්‍රහයින් වන චන්ද්‍ර බුධ හා සිකුරු හතේ සිටින අය සාමාන්‍ය රාගී අය වෙති. (වෙනත් ග්‍රහයින් ගේ ක්‍රියාකාරිත්වයෙන් ඉහත දැක්වූ අදහස් වෙනස් වන අවස්ථා තිබෙන බව සැලකිල්ලට ගන්න) සමාන රාගී අය හෙවත් ලිංගික වශයෙන් සමාන බලවත් අය අතර ඇති වන විවාහ සාර්ථක වන අතර අසමාන ලිංගික ශක්තීන් ඇති අය අතර ඇතිවන විවාහ සාර්ථකත්වයෙන් අඩුය. අසතුට, අසමගිය හා නොයෙක් ගැටුම් ඔවුන් අතර සිදුවේ. ඉතා හොඳ පෙම්වතුන් විවාහ වී ටික කලකින් සතුරන් බවට පත්වන්නේ දික්කසාද ඇති වන්නේ මේ නිසාය.   


විවාහයකදී තවත් සැලකිය යුතු කරුණු කීපයක් ඇත. ඒ ලිංගික ශක්තිය අඩුවීම හා වැඩිවීම වැනි කරුණුය. එසේ නම් එය දැනගන්නේ කෙසේද? සමාජයේ අවිවාහකවම සිටින තරුණ විය ඉක්මවූ අය සිටින බව ඔබ දනිති. උගත් නූගත් ධනවත් දුප්පත් ආදී කිසිදු භේදයක් නැතිව අවිවාහක අය සමාජයේ සිටිති. අප සමාජයේ පිළිගැනීම තරුණ වයසේදී විවාහ ජීවිතයට ඇතුළු වීම වුවත් එසේ අැතුළු නොවී සිටින්නේ කුමක් නිසාදැයි ඔබ නිකමටවත් සිතා බැලුවාද?   


ඔවුන්ට විවාහ ජීවිතයක් ගෙන යාමට අවශ්‍ය මුදල් නැති නිසා නොවේ. ජීවත්වීමට ගෙයක් දොරක් නැති නිසා නොවේ. කෙනෙකුට විවාහ වීමේ ආශාව තිබේ නම් සියලු බාධක බිඳගෙන විවාහ වී ඇති බව පෙනේ. ලිංගික ආශාව අඩුකම විවාහ නොවී සිටීමට හෝ ප්‍රමාද වීමට හේතු වන බව කීවොත් එය පිළිගැනීමට ඔබ අදිමදි කරනු ඇතැයි සිතමි.   
ශනි ගේ ක්‍රියාකාරිත්වයෙන් බොහෝදුරට විවාහ ප්‍රමාද සිදුවේ. සිකුරු සමග ශනි සිටීම, සිකුරුට යාව ශනි සිටීම, විවාහ වන වයසේදී ශනි මහ දශාව පැවතීම, ශනි ගුරු සංයෝගය, හත අධිපතියා සමග ශනි සිටීම, ශනි චන්ද්‍ර යෝගය ශනිට චන්ද්‍රයා පෙනීම ශනි හත්වැන්න දැකීම, ශනි තුලා රාශිගත වීම ශනි සිකුරු යෝගය, ශනි සිකුරු පරිවර්තනය ආදී ශනි සම්බන්ධ දේවල් නිසා විවාහය ප්‍රමාද වේ. මෙයින් පැහැදිලි වන්නේ ශනි විවාහයට බාධා කරන බවය. ශනි විවාහයට අකැමැති ග්‍රහයාය. ශනි ගේ බලය නිසා සිකුරු ගේ බලය අඩු වේ. එය ලිංගික ආශා අඩුවීමට හේතුවේ.   


ශනි ගේ ක්‍රියාකාරිත්වයට අමතරව වෙනත් ග්‍රහ පිහිටීම් ද විවාහය කල් යාමට බලපායි. ඒ අතර හතේ නීච ග්‍රහයකු සිටීම හත්වැන්නාධිපතියා නීච වීම, සිකුරු නීච වීම, නීච රාහු හතේ හෝ නවයේ සිටීම කාලසර්ප යෝගය නව වැන්නේ මන්දගාමී ග්‍රහයකු සිටීම, කුජ කේතු යෝගය වැනි ග්‍රහ පිහිටීම් ද වේ. තවද රවි සමග හෝ චන්ද්‍රයා සමග හෝ දෙදෙනාම සමග හෝ ග්‍රහයින් හතර දෙනෙකුට වඩා එක කොටුවක සිටීම විවාහය ප්‍රමාද කරනවාට වඩා විවාහ නොවී සිටීමට හේතු වේ. ශනි චන්ද්‍ර සිකුරු එකට සිටීම ද විවාහ නොවීම සිටින තවත් අවස්ථාවකි.   


මීට අමතරව විවාහය ප්‍රමාද කරන හා විවාහය අහිමි කරන ග්‍රහ පිහිටීම් ද ඇති බව සලකන්න. කේතු මහ දශාවේදී හා ශනි මහ දශාවේදී විවාහ සිදුවීම හොඳටම අඩුය. නැති තරම්ය. බලෙන්ම වාගේ කෙරෙන විවාහයක් හැර සාමාන්‍ය විවාහයක් සිදු නොවේ. කේතු මහ දශාව ලැබූ විට ලිංගික ආශාව අඩුවන අතර විරුද්ධ ලිංගිකයන්ගේ ඇල්ම බැල්ම ද අඩු වේ. ශනි ගෙන් සිදුවන විවාහ ප්‍රමාදය ශනි මහ දශාවේදීම නැති වී විවාහ වන අවස්ථා ඇත.   


ශාරීරිකව හා මානසිකව නොගැළපෙන ග්‍රහ පිහිටීම් ඇති දෙදෙනකු විවාහ වුණොත් දෙදෙනාගේම ජීවිත අඳුරු වේ. උදාහරණයක් වශයෙන් සිකුරු නීච අයකු සිකුරු බලවත් අයකු හා විවාහ වුණොත් විවාහ වූදා සිටම ගැටුම් ඇති වේ. නැත්නම් මාස කීපයකින් නොරිස්සුම් ඇතිවේ. ගැළපීම් ගැන නොසලකා හතේ බලවත් ග්‍රහයකු සිටින අයකු හතේ දුර්වල ග්‍රහ පිහිටීමක් ඇති අයකු හා විවාහ වුණොත් ගැටුම් මැද අසතුටින් ජීවත් වීමට සිදුවේ. පිටට වෙනත් හේතුවක් පෙන්වුවත් අභ්‍යන්තරයේ පවතින්නේ මේ ලිංගික නොගැළපීමය.   
ලිංගික ශක්තීන් අඩු කරන ග්‍රහ පිහිටීම් ඉහත සඳහන් කළාක් මෙන් එම ශක්තීන් වැඩි කරන ග්‍රහයෝග ද ඇත. ඒ අතර කුජ සිකුරු යෝගය, රාහු සිකුරු යෝගය හා රවි සිකුරු යෝගය ද වේ. මීට අමතරව පහේ කුජ සිටීම, හතේ කුජ සිටීම පහේ චන්ද්‍රයා සිටීම ද කාමාශා වැඩි කරන පිහිටීම්ය. මහණ කිරීමේදී ලිංගිකත්වයට වැඩි ආශාවක් නැති අයම මහණ කිරීම නුවණට හුරුය. ලිංගික ආශාව වැඩි අය මහණ කිරීම බුද්ධ ශාසනයේ පැවැත්මට බාධා වන අයුරු සමාජයෙන් පෙනේ. දැන් දැන් මහණ කරන්නේ මහණ දම් පිරීමට නොව වෙනත් වෙනත් අරමුණු ඇතිව බව බොහෝ විට පෙනෙන දෙයකි.   


රාගය අඩු පිහිටීම් ඇති අය විවාහ වන්නේ බොහෝ විට තම අවශ්‍යතාවට නොව මවුපියන්ගේ හා සමාජයේ අවශ්‍යතාවටය. තම කර්තෘත්වයෙන් විවාහ නොවෙති. විවාහ ජීවිතයකට අවශ්‍යතාව තමා තුළ නැත්නම් විවාහ නොවීම සිටීම තවත් කෙනකු කරදරයේ දැමීමෙන් වැළකී සිටීමකි. මවුපියන්ගේ හා සමාජයේ අවශ්‍යතාවට විවාහ වී තවත් කෙනකුගේ ජීවිතයට හා සෙල්ලම් නොකිරීමට වගබලාගන්න. තම ජීවිතයත් අාඝාතයට ඇද දමා ගන්නේ කුමටද? හොඳින් ජීවත් වීමට අවස්ථාව තිබුණු අයකු අමාරුවේ දැමීම මහා අපරාධයකි.   


විවාහ නොවීම සිටියා නම් තම පාඩුවේ සතුටින් කාලය ගත කළ හැකි අවස්ථාව තිබියදී දැන දැන පෙනි පෙනී ගින්නට පැනීම මෝඩකමකි. මවුපියන් ගෙ​ෙනන විවාහ යෝජනාවලට නොයෙක් හේතු දක්වමින් මගහැරියත් විවාහ යෝජනා ගේන්න එපා කීමට ආත්ම ශක්තියක් නැති නිසා දෙමවුපියනුත් රවටන අවස්ථා ඇත. මවුපියන් ගන්නා උත්සාහය අපමණය. ඒ සත් භාවයෙන් දරුවා විවාහ කරදී නිදහස් වීමටය. එහෙත් එයින් පසු මහා යුද්ධයකට මුහුණ දීමට සිදුවන්නේ ද එම දරුවාටමය.  


විවාහ වීමට යම් තරමක් හෝ අවශ්‍යතාවයක් ඇති වන්නේ නම් ඒ තරුණ කාලයේදීය. තරුණ වයස ඉක්මවූ පසු ඇතිවන්නේ ඒ පිළිබඳ ඇල්මැරුණු තත්ත්වයකි. සමහරුන්ට විවාහ වීමට ලැබෙන්නේ තරුණ වයස ඉක්මවූ පසු විවාහයට එතරම් අවශ්‍යතාවක් නැති තාරුණ්‍යය ඉක්මවූ පසුය. එවිට ඇති වන විවාහය කා සඳහාද? කුමන අරමුණකින්ද?  


සමාන ශාරීරික හා මානසික ශක්තීන් ඇති අයම එකතු විය යුතුය. එය තෝරා දිය හැක්කේ උගත් ජ්‍යොතිර්වේදියකුටමය.​ වෛද්‍යවරයකුටවත් කළ නොහැකි එම මහා භාරදූර කර්තව්‍යය වැරදි අයුරින් කරන ජ්‍යොතිෂවේදීන් නිසා ජ්‍යොතිෂය පිරිහෙන අතර අහිංසක තරුණ පිරිස අතරමං වෙති.  


පොරොන්දම් පමණක් බලා අද සමාජයේ කෙරෙන විවාහ අපමණය. ඔබ හෝ දරුවන් ඒ මුළාවට අසු නොවීමට වගබලා ගන්න. සමාන ශාරීරික හා මානසික ශක්තීන් ඇති අයම එකතු විය යුතුය.  

 

 


ජ්‍යොතිර්වේදී විශ්‍රාමලත් විදුහල්පති  
ඒ.ඩී. කරුණාතිලක,  
32, ගලවැටි මෝදර පාර,  
නල්ලුරුව, පානදුර