රස්සා දෙන්න සල්ලි ගත් ජාවාරමක් කොටු කළ හැටි


කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැකියා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව මුළා කරමින් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් උපයාගෙන ව්‍යාජ පත්වීම් ලිපි සකසා ජනතාව මුළා කළ පුද්ගලයෙකු පිළිබඳ ගවේෂණය කොට නීතියේ රැහැනට හසු කර දීමට අපට හැකිවිණි.   


දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන් පසුගිය මාස ගණනාවක සිටම කෘෂිකර්ම අමාත්‍යාංශයටත් මාතලේ පිහිටි කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයාගේ නිවසටත් වරින්වර එන්නට පටන් ගත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ලබා දුන් මුදල් ලබාගැනීමට සහ පත්වීම් ලිපි ලබා ගැනීම සඳහා යි.   

 

තමන්ගේ අරමුණ ඉටු නොවුණ තැන බොහෝ දෙනෙකුම දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකට ම ගොස් මේ පිළිබඳව පැමිණිලි කළද මුදල් ලබාගත් පුද්ගලයා හෝ අමාත්‍යාංශයේ කිසිවෙකුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමටවත් අසමත් වීම විශේෂත්වයකි.   


ඒ අතරතුරදී පැල්වෙහෙර කෘෂිකර්ම බීජ අංශයේ තනතුරු කිහිපයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලබාදුන් බව කියන පත්වීම් ලිපි රැගෙන කණ්ඩායමක් රැකියා ලබා ගැනීමට පැමිණ සිටියහ. එමෙන්ම තවත් කණ්ඩායමක් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ගන්නෝරුව ප්‍රධාන කාර්යාලයේ රැකියා ලබා ගැනීම සඳහා ද එවැනිම ලිපි ලබාගෙන පැමිණ සිට ඇත. එසේ රැගෙනවිත් තිබූ ලිපි ද ව්‍යාජ ඒවා බව කෘෂිකර්ම නිලධාරීන් වටහාගත්හ. ඒ පිළිබඳව අද‌ාළ නිලධාරීන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම් දුන්න ද කිසිදු වගවිභාගයක් ඒ පිළිබඳ නොවීය.   


පසුව අසාධාරණයට පත්වූ තරුණ තරුණියන් රැසක් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපව දැනුවත් කරන්නට විය. ඒ අනුව සතියක පමණ කාලයක් තිස්සේ රැකියා දෙන ආකාරයත් ජාවාරම්කරු මුදල් ලබා ගන්නා ආකාරයත් ඔහු සමඟ කතා බහ කරන ආකාරයත් පිළිබඳව හඬ පට ලබා ගනිමින් ගවේෂණයක නිරත​ෙවන්නට අපි ක්‍රියාත්මක වීමු.   


මාතලේ, දිවිල්ල, යටවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයකු විසින් කාලයක සිට මෙසේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබා ගැනීම සිදුකොට තිබේ. පුද්ගලයා නිරන්තරයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ මාතලේ පිහිටි කාර්යාලයෙත් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේත් නිරන්තරයෙන් ගැවසෙන ආකාරය අපි නිරීක්‍ෂණය කළෙමු.   


මෙම පුද්ගලයා රැකියා ලබාදීම සඳහා තරුණ තරුණියන් රවටා ගනු ලබන්නේ ද මාතලේ අළුවිහාරයේ පිහිටි වසන්ත අලුවිහාරේ රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලයට පැමිණෙන පිරිස් සහ කොළඹ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත පැමිණෙන පිරිස් අතරිනි ඉතා සූක්ෂම ලෙස ළඟාවෙමින් ඔහු එය සිදුකරන ආකාරය අනාවරණය කර ගැනීමට අපට හැකියාව ලැබිණි.   


බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන ආර්.වී. චන්ද්‍රසිරි පේමරත්න මහතා රුපියල් 45000 ක පමණ මුදලක් ලබා දී ඔහුට සිදුවූ සිද්ධිය පිළිබඳව මෙසේ සඳහන් කළේය.   


‘‘උමා ඔය ව්‍යාපෘතියට අපේ ගෙවල් අහුවෙලා තිබුණා. අපේ අම්මා මේ පිළිබඳව දැනුම්වත් කරන්න කොළඹ කෘෂිකර්ම අමාත්‍යංශයට ගිහින් තිබුණේ. ඒ අවස්ථාවේදී තමයි මේ කියන රෝහණ අම්මට හම්බවෙලා තියෙන්නේ. එයා අමාත්‍යාංශය ඇතුළෙ ඉඳල කියල තියෙන්නෙ රැකියා නැති දරුවන් ඉන්නවනම් දැනුම් දෙන්න කියලා. ඒ අනුව එයාගේ දුරකතන අංකයක් දීල තිබුණා. අපේ අම්මා ගෙදර ඇවිල්ල කිව්වා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියා දෙනවා. උමා ඔය ව්‍යාපෘතිය එක්ක කෑගහන්න ඕනෑ නෑ රස්සාව ගන්න කියලා. ඒ අනුව දුරකථන අංකයට කතා කරලා අපිට කිව්වා රැකියා දෙනවා කියලා. අපි කොළඹට ආවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට එනකොට ඒ රස්සා දෙන මහත්තයා හිටියා. හොඳින් කතා බහ කරලා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළේ තවත් ලේකම් මහත්තයෙකුට අපිව හඳුන්වලා දීලා අයැදුම්පත්‍ර බාර දෙන්න කිව්වා. ඇමැති තුමාවත් අපිට පෙන්වල එළියට ඇවිල්ල කිව්වා රැකියාව ලබාදෙන්න රුපියල් 50, 000ක මුදලක් ඕනෑ කියලා.’’   


‘‘ඒ අනුව ඒ පුද්ගලයත් එක්ක අපි දිගින් දිගටම කතාබහ කළා. අවස්ථා කිහිපයක් අපි මාතලේ වසන්ත අලුවිහාරේ රාජ්‍ය ඇමැතිතුමාගේ කාර්යාලයටත් එක්ක ආවා. කොළඹ අමාත්‍යාංශයටත් එක්කන් ගියා. ඒ අනුව අපිට පත්වීම් ලිපි දෙකක් ලබා දුන්නා. අපි එයාට සල්ලි ලබා දුන්නා. ගන්නොරුවට ගිහින් මේ පත්වීම් ලිපි දෙනකොට අපට කිව්වා මේක හොර එකක් කියලා. ඊට පස්සේ මේ හැම තැනම දැනුම්වත් කළත් කිසිම ප්‍රයෝජනයක් වුනේ නැහැ.   


‘‘අපිත් එක්ක රැකියා ගන්න විසිපහක් තිහක් පමණ පිරිසක් ඇවිල්ලා හිටියා. ඔක්කොම සල්ලි දීලා තියෙනවා කියලා ආරංචි වුණා. හැබැයි අපි දන්නේ නෑ ඒ පිරිස කොපමණ මුදලක් දුන්නද කියල’’   


එමෙන්ම ඔහුට මුදල් ලබාදී රැකියා සිහිනය බොඳවූ පොළොන්නරුව ප්‍රදේශයේ තරුණයකු වන නාලක දිනේෂ් සෙනවිරත්න මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළේය.   


‘‘මටත් රැකියාවක් දෙන්න රුපියල් ලක්ෂයක මුදලක් අවශ්‍යයි කිව්වා. මම ඉන් 35000ක් දුන්නා. මට කම්කරු තනතුර දෙනවා කිව්වේ. මාවත් අවස්ථා කීපයක් ඒ ගැන කතා කරන්න මාතලේ වසන්ත අලුවිහාරේ රාජ්‍ය ඇමැතිතුමාගේ කාර්යාලයටත් එක්ක ආවා. කොළඹ අමාත්‍යාංශයටත් එක්කන් ගියා. අපිට කිසිම සැකයක් ඇතිවුණේ නැහැ එයා ගැන. ඇමැතිතුමා එක්කත්, ලේකම්වරයා බව කියන අසංක හෙට්ටිආරච්චි මහතා එක්කත් මෙයා හොඳට කතා බහ කරනවා. කාර්යාලය ඇතුළේ හොඳ නිලයක් දරන විදිහට තමයි හිටියේ,’’   


රස්සාව නොලැබුණු නිසා මම කීපවතාවක් අනුර කියන කෙනාට කිව්වා මොනවා හරි කරනවා කියල. ඊට පස්සේ තමයි දඹුල්ල පැල්වෙහෙර ගොවිපලට පත්වීම් ලිපියක් දුන්නේ.’’   


‘‘ඒක අරගෙන ගියාම කිව්වා එ​ෙහ පත්වීම් ලිපි භාර ගන්නේ නැහැ කියල.  ඒ ලිපිය ගැන තවදුරටත් සොයල බලන්න කිව්වා. ඔයවගේ ලිපි රැසක් අරගෙන තරුණ තරුණියන් එනවා කිව්වා. බැරිම තැන තමයි අපි මේ පුද්ගලයාගෙන් තවත් ජනතාව බේරගන්න ඕන නිසා මේ ජාවාරම ගැන මාධ්‍යයට කියන්න තීරණය කළේ. මොකද කිසිම කෙනෙකුට කිව්වට ඵලක් වුණේ නැහැ.’’   


 ‘‘එමෙන්ම නාවුල ප්‍රදේශයේ තරුණයකු සහ තරුණියක මෙයාකාරයෙන් මුදල් ලබාදී රැකියාව අහිමි කරගෙන ඇති බව ඔවුන් අප සමග කියා සිටියහ. නාවුල ප්‍රදේශයේ තරුණියක වන ගීතානි යටවල මෙනවිය අපූරු කතාවක් මෙසේ කීවාය.   


‘‘මට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාව දෙන්නම් කිව්වා. මෙයාව සම්බන්ධ වුණේ වසන්ත අලුවිහාරේ මහත්තයලගේ ගෙදර දී. මම අපේ අයියත් එක්ක වසන්ත අලුවිහාරේ ඇමැතිතුමාලගේ ගෙදර ගියා රැකියාවක් තියෙනවද කියල හොයල බලන්න. අයැදුම්පතක් දීල කතා කරලා එළියට එනකොට තමයි ඇමැතිතුමා ළඟම හිටපු මේ අනුර කියන කෙනා මගේ ළඟට ආවේ. ඇවිල්ලා ඇහුවා මොකද වැඩේ කරගත්තද කියලා. මම කරල දෙන්නම් සපෝර්ට් එකක් දෙන්න කියලා. මගේ අම්මා ගොඩක් අසනීපෙන් ඉන්න නිසා එයාව ජීවත් කරවන්න අපට වෙන මගක් නැති නිසා කැමැත්ත ප්‍රකාශ කළා. මම එයාට සල්ලි දුන්නා තිස් දහසක්. මගේ අයියා ගෙදර ඉන්නේ රියැදුරු තනතුරක් තියනවා කිව්වා. එයත් සල්ලි දුන්නා. අයියා සල්ලි දැම්මේ කාන්තාවකගේ ගිණුම් අංකයකට’’   


‘‘ඒ විතරක් නෙවෙයි, එයා මට කිව්වා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළ තනතුරක් එයා දරනවා, රුපියල් හැටදාහක පඩියක් ලබා ගන්නවා කියලත් එයා විවාහ වෙලා නෑ කියලා විවාහ වෙන්නත් මට යෝජනා ගෙනාවා. මං ඒකට අකමැත්ත ප්‍රකාශ කළා. කිසිම සැකයක් හිතන්න බෑ එයා ඇමැති තුමා ළඟ වැඩ කරන්නේ නෑ කියලා. මොකද කොළඹ අමාත්‍යංශේ ඇමැතිතුමා ළඟ එතුමාගේ ලේකම් ළඟ තමයි ඉන්නේ. එයත් එක්ක සමීපව කතා කරනවා. දුරකථනයට පවා එයා තමයි උත්තර දෙන්නේ. මාතලේ කාර්යාලයට අපි ගියාමත් ඒ වගේම ඉතා සමීපව ඇමැතිතුමා ළඟ ඉන්නවා. අපි ඇත්තටම කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරියෙක් කියලා හිතුවේ. මායි අය්යයි අපේ අම්මගේ ඔපරේෂන් එකකට අයින්කරලා තිබුණු මුදල් දුන්නේ.’’   


තවත් කීපදෙනකුම අපට හමුවිණි.   


මෙම පුද්ගලයා කොටුකර ගැනීමේ මාධ්‍ය මෙහෙයුම සඳහා අප අවස්ථා ගණනාවක් ක්‍රියාත්මක වුවද එය අසාර්ථක විය. ඒ අනුව පොළොන්නරුව, මාතලේ, නාවුල, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශ කිහිපයකදී ම මෙම පුද්ගලයාගේ ග්‍රහණයට හසුව සිටි තරුණ තරුණියන් පිරිසක් ඒකරාශි කොට පත්වීම් ලිපිවල ඇති අඩුපාඩු සකසා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කරන්නට අපි උපායක් යෙදුවෙමු. ඒ අනුව මෙම පුද්ගලයා දඹුල්ල, පැල්වෙහෙර ගොවිපොළට පැමිණෙන ලෙස අපට දැනුම් දුන්නේය. පැල්වෙහෙර බීජ ගොවිපොළ ළඟට පැමිණ බොහෝ වේලාවක් ගත කළ ද ඔහු නොපැමිණියේය. නැවත දුරකතන ඇමතුමක් ලබා ගැනීමේ දී කියා සිටියේ මාතලේ ප්‍රදේශයේ දෙමහල් හෝටලයක දෙවැනි මහලට පැමිණෙන ලෙසය. ඔහු කීවේ පත්වීම් ලිපියේ අඩුපාඩුව ඇමැතිවරයාට කියා වෙනස් කර දෙන බවය. ඒ අනුව අප රැකියා ලාභීන් සමග මාතලේට එම පුද්ගලයා හමුවීමට ගියෙමු.   


මාතලේ හෝටලයේදී හමුවූ මෙම පුද්ගලයා පිළිබඳව අපි තොරතුරු විමසන්නට වූයෙමු. ඔහු මාතලේ, දීවිල්ල ප්‍රදේශයේ පදිංචි අනුර වීරරත්න නමැති අයෙකි. එමෙන්ම ඔහු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ආධාරකරුවකු ලෙසද පෙනී සිටියි. ඔහු පසුගිය මැතිවරණය සඳහා දීවිල්ල කොටසින් අපේක්ෂකයකු ලෙස පෙනී සිටින බව පැවසෙන බැනර් කීපයක් අන්තර් ජාලයට මුදාහැර තිබිණි. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ ඇමැති සම්බන්ධීකරණ ලේකම් අසංක හෙට්ටිආරච්චි මහතා සමග ලබාගත් සමීප ඡායාරූප පෙන්වා අපව නොමග යවන්නට ද විය.   


මෙසේ රැකියා ලබාදීම බොරුවක් බවට ඔප්පු කිරීමට ඔහු ඉදිරියේ අපට හැකිවිණි. ඒ අනුව සඳහන් කළේ මෙවැනි ප්‍රකාශයකි.   


‘‘මේක මගේ උවමනාවකට කරපු එකක් නෙවෙයි. මේක (ඔහු නමක් කියයි) මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ වැඩ කළේ නෑ. සේවය කරන්නේ (.... තුමාගේ) සහයෝගයට. ඒ සඳහා මට මාසෙට රුපියල් දහ දාහක මුදලක් දුන්නා. මමයි මේ ලේකම්තුමයි එකට තමයි මත්පැන් පවා පානය කරන්නේ. අපි ගොඩාක් හිතවත්ව තමයි ඉන්නේ. මට ගිණුම් අංකයක් දීල තිබුණේ ඒකට සල්ලි දාන්න කියලා. එහෙම නැතුව මම මේ සල්ලි ගත්තේ නෑ. මට දීපු සල්ලි ඔක්කොම මම (නමක් කියයි) දුන්නා. සල්ලි වියදම් කළේ මැයි රැලියට ගිය බස්වලට දෙන්න. අන්තිමට මම තමයි මේකට කොටුවෙලා ඉන්නේ’’ මම ලක්ෂ පහක පමණ මුදලක් හොයලා දුන්නා. රැකියා දුන්න නම් මේ දේ වෙන්නේ නැහැ. මම හැමදාම කිව්වා මේ රස්සා ටික දෙන්න කියලා’’ ඔහු කීවේය.   


පසුව අප දුරකථනය හරහා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාට කතා කළෙමු. මෙම පුද්ගලයා නගන චෝදනා පිළිබඳව විමසන්නට වූයෙමු. ඇමැතිවරයා කියා සිටියේ මෙම පුද්ගලයා පිළිබඳව තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බවත් විශාල පිරිසකගෙන් මේ ආකාරයෙන් රැකියා දෙන බව පවසමින් තමන්ගේ ලිපි ශීර්ෂ භාවිත කරමින් අත්සන භාවිත කරමින් මුදල් ලබාගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය. එමෙන් ම ඔහු විශේෂයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් මෙම පුද්ගලයා උපයාගෙන ඇති බවය.   


ඇමැතිවරයා අප හා සම්බන්ධ වෙමින් කියා සිටියේ වහාම මෙම පුද්ගලයා පොලීසියට බාරදී පරීක්ෂණයක් පවත්වන්නට උදව් කරන ලෙසය. තමාගේ නම භාවිත කර ඔහු කර  ඇත්තේ බරපතළ වරදක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය. එමෙන්ම ගන්නෝරුව කෘෂිකර්ම කාර්යාලයට ගොස් මෙවැනි ලිපි ලබාදී ඇති බවද සඳහන් කළේය.   


කෙසේ වෙතත් කොළඹ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් බව කියන අසංක හෙට්ටිආරච්චි මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කරන්නට වු​ෙණමු. ඔහුද ජංගම දුරකථනය හරහා අපි සම්බන්ධ කර ගත්තෙමු.   


අනුර යන අය ඔහු සමග කියා සිටියේ ‘‘සර් අද මම තනියම එ්කට අහුවෙලා. සර්ට සල්ලි ගෙනත් දුන්නෙ ඇයි සර් මට එහෙම කරන්නේ? මේක ඇත්ත කියන්න. ජංගම දුරකතන පරීක්ෂා කරන්න පුළුවන්. මම සල්ලි දුන් හැටි සර් දන්නවා. සර් දීපු පත්වීම් ලිපි තමයි මම ගිහින් දුන්නේ. ඇයි එහෙම කරන්නේ? මට කරුණාකරලා දැන් උදව් කරන්න. සල්ලි ගත්ත ඒව කියන්න.   


ඊට පිළිතුරු ලබාදුන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වූ අසංක හෙට්ටිආරච්චි මහතා මෙසේ ඊට පිළිතුරු දුන්නේය.   

 

 

‘‘තමුසේ කියන්නේ බොරු. තමුසේ මං දන්නෙත් නෑ අඳුනන්නෙත් නෑ. තමුසෙ මේ අමාත්‍යංශයට ඇවිල්ල යනවා. කරන බලුවැඩවලට අපි පටළවන්න එපා තේරුණාද? ’’ ඔහු දුරකතනය විසන්ධි කළේය.   
කෙසේ වෙතත් නැවත වරක් අපි සම්බන්ධීකරණ ලේකම්වරයාට ඇමතුමක් ලබාගෙන මේ පිළිබඳව කරුණු විමසන්නට වීමු. එහෙත් ඔහු කියා සිටියේ තමන්ගේ කිසිදු සම්බන්ධයක් මෙම ගනුදෙනුවට නොමැති බවය. පසුව අවස්ථා 15ක් පමණ ලේකම්වරයා සම්බන්ධ කරගන්නට උත්සාහ ක​ෙළ් ඔහු සේවකයකු ලෙස අනුර යන අය තබාගෙන සිටියේද යන්න විමසීමටය. එහෙත් අසංක හෙට්ටිආරච්චි ලේකම්වරයා ඇමතුමට නොපැමිණියේය.   
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් බී. විජේරත්න මහතාගෙන් විමසීමේදී ඒ මහතා කීවේ කිසිදු ආකාරයකින් එසේ සිදුකළ නොහැකි බවත් ඔහුගේ නිවසේ හෝ පුද්ගලික ජීවිතයේ සේවකයන් ලබාගත්තද අමාත්‍යංශයේ සේවයේ යෙදවීමට නොහැකි බවය.   


මෙම පුද්ගලයා විසින් දෙන ලද පත්වීම් ලිපියක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ගොවි ලිපිකරු ස්ථිර සේවයේ පිහිටුවීම පත්වීම් ලිපිය යන ශීර්ෂ යටතේ පසුගිය අප්‍රේල් මාසයේ 6 වැනිද‌ා ලිපිය ලබා දී තිබිණි. එම පත්වීම් ලිපි කියවා බැලීමේදී ඕනෑම අයෙකුට එය ව්‍යාජ ලිපියක් යැයි හැඟී යනු නිසැකය. එමෙන්ම මෙම පත්වීම් ලිපියේ සියලු තොරතුරු සත්‍ය බවට ප්‍රතිඥා කරමි යන්න සඳහන් කරමින් වසන්ත අලුවිහාරේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන මන්දිරය, රජමල්වත්ත පටුම, බත්තරමුල්ල යන අකුරු ඇති මුද්‍රාවක් තබා ඊට අත්සනක් ද යොදා ඇති අයුරු දැක ගැනීමට හැකිය.   


දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා ලබා ගැනීමට පැමිණි බොහෝ දෙනකු ලක්ෂ ගණන් මුදල් මෙම පුද්ගලයා අතට පත්කොට ඇති බවත් එමෙන්ම තවත් බොහෝ දෙනෙකු මොවුන් විසින් ලබාදෙන රජයේ බැංකුවකට අයත් දමයන්ති යන නමින් යුත් බැංකු ගිණුමකට මුදල් බැර කළ කුවිතාන්සි රැසක් අප වෙත ඔවුහු ලබා දුන්හ.   


එම ගිණුම් අංකය සහ මුදල් ලබා ගන්නේ කවුරුන් දැයි අපි මුදල් ලබාගන්නා බවට චෝදනා එල්ල වී ඇති අනුර නමැත්තාගෙන් විමසීමක් කළෙමු.   


 ‘‘මේ ගිණුම් අංකය මට දුන්නේ (ඔහු යම් නිලධාරියකුගේ නමක් කියයි) එයා කිව්වේ මේ අමාත්‍යංශයේ වැඩකරන එක්කෙනෙක්ගේ නම්බර් එකක් කියලා. අතින් ගන්න සල්ලිත් දුර ඉන්න අයට අයත් සල්ලි දැම්මේ මේ නම්බර් එකට තමා. ඒ නිසා මම හිරගෙවල් සීයක ගියත් කමක් නැහැ මේක සිද්ධ කරපු කට්ටිය හොයලා බලන්න කියලයි මමත් ඉල්ලන්නේ’’   


 තවදුරටත් මෙසේ මුදල් ලබාගන්නා අනුර නමැත්තා පිළිබඳව අපි ගවේෂණය කළෙමු. එහිදී ඔහු විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, දීවිල්ල කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයකු ලෙස ව්‍යාජව සැකසූ දැන්වීම් අන්තර්ජාලයේ මෙන්ම ඔහු විසින් රැකියා දෙන බවට පොරොන්දු වී සිටින බොහෝ දෙනෙකුට ලබා දී තිබිණි. එමෙන්ම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයකු යැයි කියන නිලධාරියකු සමඟ ගත් ඡායාරූප රැසක් ඔහු බොහෝ දෙනෙකුට පෙන්වීමද විශේෂත්වයකි.   


සති ගණනාවක සිට මෙම පුද්ගලයා පිළිබඳව ගවේෂණය කළ අප මේ ආකාරයෙන් මාතලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක දෙවන මහලේ දී ඔහු ගැන මාතලේ පොලිසියට දැනුම්දී අත්අඩංගුවට පත්කිරීමට අපට හැකිවිය.

   
මේ සිද්ධිය පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මාතලේ පොලිස් අධිකාරි අයි.බී.ටී. සුගතපාල මහතා යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.   

 

 

 

 

සටහන- ඡායාරූප 
දඹුල්ල කාංචන කුමාර ආරියද‌ාස