රවි මාරුව ඔබේ ලග්නයට කොහොමද ?


රජුන්ට, රාජ්‍යයට එහි උසස් අයට බලවත් වන සෞරග්‍රහ මණ්ඩලයේ රජු නැතිනම් රවි ග්‍රහයා 2019 ජනවාරි මස 14 වන සඳු දින රාත්‍රී 7.51 ට සතුරු රාශිගතව මකර රාශියට පැමිණ පෙබරවාරි මස 13 වන බදාදා පෙ.ව. 8.49 ට කුම්භ රාශියට ගමන් කරයි.   


රවි ග්‍රහයා ගැන සලකා බැලීමේදී බලපවත්වන පුද්ගලයින් හා ස්ථාන වැදගත් වේ. අතීතයේදී රාජසභාය. වර්තමානයේ පාර්ලිමේන්තුව ආදේශ කළ හැකිය. සිංහාසන රටේ ප්‍රධාන විධායකය වශයෙන් ගත හැකිය. රජයේ නිලධාරීහු, උසාවි, රජයේ කාර්යාල, හමුදා කඳවුරු නම්කළ හැකිය. මේ අනුව රවි සතුරු රාශිගත කාලය දක්වා ඇති පුද්ගලයින්ට සහ ආයතනවලට යහපත් නැත. අවුල්, වියවුල්, ගැටුම්, මතභේද ඇතිවීමට ඉඩ ඇත. 

 
රටේ පවතින දේශපාලන ව්‍යාකූල බව මාර්තු මස 07 දින දක්වා පවතිනු ඇත. පාලකයින් ගන්නා බොහෝ තීරණ මතභේදයට ලක්වනු ඇත. හදිසි අනතුරු, විපත්, මිනීමැරුම්, දූෂණ, වංචා වර්ධනය වන මාසයක් හැටියට රවි සතුරු රාශිගත කාලය දැක්විය හැකිය. පෙබරවාරි 13 වන දින රවි කුම්භ රාශියේ සතුරු රාශිගත වේ. එය ශ්‍රී ලංකා කේන්දරයේ ඔළුවටම රවි පැමිණීමයි. ඒ ගැන පසුව ලියමි.   


මේෂ ලග්නය   


ඔබට ශුභඵල ගෙන දෙන රවි ග්‍රහයා 10 වැන්නට පැමිණේ. 10 වැන්න රවිට ඉතා බලවත් තැනක් වුවත් සතුරු රාශියකට පැමිණීම තරමක අශුභ තත්ත්වයකි. විශේෂයෙන් රජයේ සේවයේ නිරත අය ප්‍රවේසම් විය යුතුය. චෝදනාවන්ට ලක්විය හැකිය. රවි ඔබේ ලග්නයේ හෝ 5 වැන්නේ නම් රැකියා බලාපොරොත්තු ඉටුවේ. ප්‍රසිද්ධිය, කීර්තිය ලැබේ. රවි 10, 11, 3 වැනි තැනක සිටින මේෂ ලග්න අය ප්‍රවේසම් විය යුතුය. පියාට අශුභයි.   


වෘෂභ ලග්නය   


රවි 9 වැන්නට පැමිණ ඇත. 9 වැන්නද බලවත් තැනක් වුවත් ඔබට මිත්‍ර ග්‍රහයෙක් වූ රවිගෙන් මෙම මාසය තුළ ශුභඵල ලබාගත හැක්කේ 4, 12 වැන්නේ තැන්පත් නම් පමණි. ලග්නයේ 9, 10 වැනි තැනක රවි තැන්පත් අය විවාහ ප්‍රශ්න මතුවේ. විවාහකයන් සඳහා පියාගේ කැමැත්ත නොලැබී යයි. පියාගෙන් යම් දේපළ ලැබීමට ඇතිනම් රවි මකර රාශියේ ගමන් කරන කාලය තුළ නොලැබී යනු ඇත. රවි යහපත්ව පිහිටි උසස් අධ්‍යාපනය ලබන අය සතුටුදායක ප්‍රතිඵල ලැබේ.   


මිථුන ලග්නය


ඔබට පාපී ග්‍රහයෙක් වන රවි 8 වැන්නට පැමිණ සිටින කාලය යහපත් නැත. දුක් කරදරවලට මුහුණදීමට සිදුවේ. මධ්‍යම වයස පසුකර සිටින අය ලෙඩ රෝගවලට පහසුවෙන් ගොදුරු වේ. පිත් රෝග, අක්ෂි රෝග ඇතිවිය හැකිය. විවාහයෙන් දායාදය ලැබීමට ඇත්නම් ඒවා නොලැබී යයි. ව්‍යාපාර හෝ හවුල් වැඩවලින් පාඩු සිදුවිය හැකිය. රවි ග්‍රහයා ඔබගේ ජන්ම කේන්දරයේ 8, 9, 12 වැනි නැකත නම් අපල වැඩිය. 3, 11 නැකත තැන්පත් අයට බියවීමට කරුණු නැත.   


කටක ලග්නය 

 
7 වැන්නට රවි පැමිණීම එතරම් යහපත් නැත. මෙම කාලය තුළ විවාහය ප්‍රමාද කරනු ඇත. විවාහකයින් අතර වාද භේද ඇතිවේ. මධ්‍යම වයස පසුකර සිටින අයට අර්ශස්, මුත්‍රා සහ ලිංග ආශ්‍රිත රෝග හට ගැනීමට ඉඩ ඇත. විශේෂයෙන් රවි ග්‍රහයා ජන්ම කේන්දරයේද 7 වැන්නේ හෝ 8, 11 වැන්නේ සිටින අයට අශුභයි. වස්තු හා ධන හානි සිදුවිය හැකිය. රවි 2, 10 තැනක තැන්පත් අයට අයහපත් දේ සිදු නොවනු ඇත.   


සිංහ ලග්නය   


ඔබේ ලග්නාධිපති රවි 6 වැන්නට පැමිණේ. රවිට 6 වැන්න බලවත් තැනකි. එසේ වුවත් සතුරු රාශිගතව පැමිණෙන නිසා රවි ඔබේ ලග්නයේ හෝ 9 වැන්නේ තැන්පත් නම් ප්‍රසිද්ධ කෙනෙකු වේ. රක්ෂාවක් සඳහා ඔබ පරීක්ෂණයකට පෙනී සිටින්නේ නම් ඔබව තෝරාගනු ඇත. ජන්ම කේන්දරයේ 6, 7, 10 යන ස්ථානවලින් එකක රවි තැන්පත් අයට ශුභඵල ලබාගැනීම අසීරු වේ.   


කන්‍යා ලග්නය   


ඔබට පාපී ග්‍රහයෙක් වූ රවි 5 වැන්නට පැමිණීම යහපත් නැත. දරුඵල බලාපොරොත්තු කඩවේ. දරුවන් ඔබට අකීකරු වනු ඇත. ප්‍රාථමික අධ්‍යාපනය ලබන අයටද මෙම මාසය අධ්‍යාපන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල ලබාගැනීම අපහසු වේ. රවි ග්‍රහයා 5, 6, 9 නැකත සිටින අයට අශුභ වන අතර, 8, 12 නැකත නම් එතරම් අයහපතක් සිදු නොවනු ඇත.   


තුලා ලග්නය   


ඔබටද පාපී ග්‍රහයෙක් වූ රවි 4 වැන්නට පැමිණ ඇත. ඔබේ නිවසට රවි පැමිණීම යහපත් නැත. මැදි වයස පසුකර සිටින අයට ඉඩකඩම් ගේ දොර අවුල් වියවුල් ඇතිවේ. ශරීර සැපයටද යහපත් නැත. පිත් රෝග, පපුවේ දාහය ගතිය වැඩි වේ. පවට බර ඇති අය ආශ්‍රයට වැටේ. රවි ලග්නයේ හෝ 7, 11 තැන්පත් අයට අශුභඵල නොලැබේ. රවි 4, 5, 8 වැනි නැකත තැන්පත් අයට සහෝදර සහෝදරයින් අතර අමනාපකම් ඇතිවිය හැකිය. විවාහ බලාපොරොත්තු ප්‍රමාදවේ.   


වෘශ්චික ලග්නය   


ඔබේ 3 වැන්නට රවි ග්‍රහයා පැමිණ ඇත. රවිට යහපත් ස්ථානයක් වුවත් ඔබට මිත්‍ර ග්‍රහයෙක් නිසා ඔබේ ජන්ම කේන්දරයේ 3, 4, 7 යන නැකත පිහිටා ඇතිනම් අපල කරනු ඇත. ඒ අනුව අධ්‍යාපනය ලබන අයට සුළු සුළු බාධා ගෙනදේ. ළඟම ඥාතීන් අසල්වාසීන් සමග සම්බන්ධතා බිඳවැටේ. සහෝදර සහෝදරියන් අතරද නොහොඳ නෝක්කාඩු බලාපොරොත්තුවන්න. ඔබ සෙනසුරු ඒරාෂ්ඨකයේ අවසන් අදියර පසු කරන බැවින් ප්‍රවේසම් වන්න.   


ධනු ලග්නය 

 
ඔබේ මිත්‍ර ග්‍රහයෙකු වන රවි 2 වැන්නට පැමිණ ඇත. ඔබේ ජන්ම කේන්දරයේද රවි 2 වැන්නේ නම් ඔබේ කථාවේ යම් දුර්වලතා මතුවිය හැකිය. අක්ෂි රෝග සෑදිය හැකිය. වැය පැත්ත වැඩිවේ. අනවශ්‍ය වියදම් දැරීමට සිදුවේ. රවි ලග්නයේ 4, 5, 9 වැනි තැනක තැන්පත් අයට ශුභඵල බලාපොරොත්තු විය හැකිය. එවිට අධ්‍යාපනය ලබන අයට උසස් ප්‍රතිඵල ලැබේ. නිවසේ සතුට ඇතිවේ. පියාට ශුභයි.   


මකර ලග්නය   


ඔබට සතුරු ග්‍රහයා වන රවි ලග්නයටම පැමිණ ඇත. ලග්නයේම රවි තැන්පත් අයට උද්යෝගිමත් බව අඩුවේ. යම්කිසි තැනකට හෝ ක්‍රියාවකට පැමිණිවිට අන් අයට වඩා පසුබෑමට සිදුවේ. උෂ්ණාධික රෝග හටගනී. පීනස් රෝගය විශේෂයි. රවි ලග්නයේ 2 වැන්නේ 5 වැන්නේ තැන්පත් අයට මෙම මාසය යහපත් වන්නේ නැත. 4, 8 වැනි තැනක රවි සිටින අයට එතරම් අශුභ ගෙන දෙන්නේ නැත.   


කුම්භ ලග්නය   


ඔබටද සතුරු රවි 12 වැන්නට පැමිණ ඇත. වස්තු හානි ඇති කරයි. නඩුහබවලට යොමු වේ. රවිගේ මහ දශාව ගත කරන්නේ සිරගත වීමට වුව සිදුවිය හැකිය. වම් ඇසේ රෝග තත්ත්වයක් ඇති කරයි. රවි ග්‍රහයා 3, 7 වැන්න වැනි තැන සිටින අය පුණ්‍ය කටයුතුවලට යොමු වේ. විදේශ ගමන් යෙදේ. සතුරු කරදරවලට මුහුණදීමට සිදුවන්නේ රවි 12, ලග්නයේ 4 වැනි තැනක සිටින අයටයි. වංචා ප්‍රයෝගවලට අසුවේ. 

 
මීන ලග්නය

   
ඔබටද පාපී ග්‍රහයෙක්වූ රවි 11 වැන්නට පැමිණ ඇත. ආශ්‍රය කරන මිතුරන්ගෙන් ප්‍රවේසම්වන්න. ආදායම් තත්ත්වය පහළ වැටේ. දරුඵල බලාපොරොත්තු සුන්වේ. රවි බලවත්ව ලග්නයේ 2, 6 වැන්නේ නම් සතුරන්ගෙන් කරදර නැතිවී යයි. ආදායම් තත්ත්වය යහපත්වේ. උසස් අයගෙන් වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. රවි 3, 4, 11, 12 සිටින අයට නම් මෙම මාසය යහපත් නැත.   


රවි මකර රාශිගත වීම නිසා ඒ ඒ ලග්නවලට පොදුවේ. ශුභ අශුභ ඉහත අන්දමට දක්වා ඇත. තම තමන්ගේ ලග්නවලට පාපී අශුභ ග්‍රහයින්ගේ දශා අතුරු දශා ඒරාෂ්ඨක අපල ගත කරන අයට අපල වැඩිය. එමෙන්ම තමන් බලවත් ග්‍රහයින්ගේ දශා අතුරු දශා ගත කරන්නේ නම් සියලු අපල දුරුවී ශුභඵල ගෙනදෙනු ඇත.   

 


ජ්‍යොතිර්වේදී හංවැල්ලේ ඇස්. සිරිවර්ධන   
133 සී. ජයන්ති පාර, දොම්පේ