රවි ග්‍රහයා සිංහ රාශියට පැමිණීම ඔබේ ලග්නයට බලපාන හැටි


 

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන රවි ග්‍රහයා 2018 අගෝස්තු මස 17  වැනි සිකුරාදා සවස 06.50 ට තම නිවසට (සිංහ රාශියට) පැමිණ සැප්තැම්බර් මස 17  දක්වා එහි ගමන් ගනී. සැප්තැම්බර් 02 දා සිට බුධ ග්‍රහයාද සිංහ රාශියේ 19  දා දක්වා ගමන් කරයි.   

රවි ග්‍රහයා කේන්ද්‍ර හිමියාගේ ගෞරවය, කීර්තිය, ප්‍රසිද්ධිය,  ශරීර ශක්තිය, ධාරණ ශක්තිය ඇති කරයි. රාජ්‍ය සේවා කටයුතුද රවිගෙන් සිදුවෙයි.  රාජ්‍ය බලය නිල බලය ආදී කරුණුද රවිගෙන් අනාවරණය වෙයි. ඡන්ම මොහොතේ රවි  කේන්ද්‍ර හිමියාට දුබල තත්ත්වයක් දුනිනම් ඔහු හෝ ඇය ආත්ම ශක්තියෙන්  හීන වෙයි. ප්‍රධානත්වය හිමි නොවේ. පිත් අමාරු හා වෙනත් ලෙඩ රෝග වලට භාජනය  වෙයි. රවි බලවත්ව උපත ලැබුවහොත් ජන්මියා යහපත් මඟක ගමන් කරවයි. කීර්තිය  තේජස ඇති වේ.   


රවිට කේන්ද්‍ර සටහනේ 10 වැන්න ඉතාමත් ශුභවන අතර 11 වැන්නේ  සිටිවිට දෝෂ නාශක යෝගයක් උදා වේ. වර්ෂයේ අගෝස්තු මැද සිට සැප්තැම්බර් මැද  දක්වා වූ කාලය තුළ උපන් අයගේ කේන්ද්‍ර සටහනේ රවි සිංහ රාශිගතව සිටී. රවි  සිංහ රාශියට ස්වකේෂත්‍ර වන අතර මේෂ රාශියට උච්ච වෙයි. වර්ෂයේ අප්‍රේල් 14 ත්  මැයි 14 ත් උපන් අයගේ කේන්ද්‍රයේ රවි මේෂ රාශිගතව සිටී. රවි සිංහ රාශි  ගතවීමෙන් (ස්වක්ෂේත්‍ර) උපේන්ද්‍රා යෝගයත් රවි මේෂ රාශි ගතවීමෙන් (උච්ච)  මයුරපාල යෝගයත් යෙදෙයි. මෙම යෝග 02 කින් උපන් අය ඉතා වාසනාවන්තයෝය.   


අගෝසතු 17 ත් සැප්තැම්බර් 17 ත් අතර උපදින දරුවන්ට රවි සිංහ රාශිගතව සිටීම ඉතා ශුභයි.   


රවි සිංහ රාශි ගතවීම ​ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය.   


ගුණනුවණින් යුක්තයි   


මේෂ:- 05 වැන්නාධිපතියා 05 වැන්නේ සිටීමෙන් ආත්ම ගෞරවය  රැකගනී. උසස් අයව ආශ්‍රය කරයි. අසරණ අයට සරණ වෙයි. වගකියයුතු තනතුරු ලබයි.  ආලය, ප්‍රේමය මත විවාහය සිදු කරගනී. දරුවන් වාසනාවන්තය. පළමු දරුවාට තරමක්  අගුණයි. 

 
දේපළ - වාහන ලාභ   


වෘෂභ:- දේපළ ඉඩම් කඩම් වාහන ලාබ ලැබීමට වාසනාව ඇත. පාලන බලතල  ලබයි. උසස් ඥාති පිරිස් ආශ්‍රය කරයි. අන් අයගේ සිත් දිනාගනී. තේජාන්විත  බවක් දිස් වේ. අයුතු ලෙස බලතල පාවිච්චි නොකරයි. බුධ සමඟ සිටින කාලය තුළ  ශාස්ත්‍රීය අංශයෙන් දියුණුව ලබයි.   


නිරෝගී බව   


මිථුන:- හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කරයි. විශ්වාසවන්තයි. ලෙඩ  දුක් කරදර වලින් මිදේ. ශරීරය ශක්තිමත්ය. පහත් ක්‍රියාවල නොයෙදේ. බලය  අයතුලෙස නොයොදවයි. තත්ත්වය, ගෞරවය රැකගනී. රූපය ලස්සන වේ.   


තේජාන්විතයි   


කටක:- ගරුසරු ලැබීමට වඩාත් කැමැතියි. තේජාන්විත ගතියක්  දිස් වේ. ප්‍රධානත්වය ලබයි. යටත් පහත් වීමට කැමැති නැත. උපයන විටම වියදම්ද  කරයි. සැපවත් විවාහ ජීවිතයක් ගත කළ හැකියි. බුධ සමඟ රවි හැසිරෙන කාලයේ  හදිසි ධන ලාබ ලබයි. 

 
කාර්ය ශුරයි   


සිංහ:- ලග්නාධිපති රවි ලග්නගත වීමෙන් වැඩට දක්ෂයි. උද්​ෙ‌යා්ගයෙන්  කටයුතු කරයි. ප්‍රධානත්වය ලැබේ. රජයේ උසස් නිල තල හා උසස්වීම් ලබයි.  නිර්භීතයි. ගති පැවතුම් යහපත්ය. බුධ සමඟ රවි සිටින කාලය තුළ තරමක් අහංකාරය.    


දුරබැහැර ගමන් බිමන්   


කන්‍යා:- ආත්ම ගෞරවය රැකගෙන කටයුතු කරයි. තමාගෙන් අන්‍යයන්ට  උදව් උපකාර සැලසෙයි. පියාගේ ආදරය ලබයි. උසස් සමාජ තත්ත්වයක් හිමි කරගනී.  විදේශ ගමන් හෝ දුර බැහැර ගමන් ඇති වේ. වෙහෙස මහන්සි වී දියුණුව උදාකර ගනී. 

 
උසස් ලෙස පෙනී සිටීමට කැමැතියි.


තුලා:- උසස් සමාජ  තත්ත්වයක් හිමිකර ගනී. තරමක අහංකාර බවත් දිස්වෙයි. අධ්‍යාපන කටයුතු වල නිරත  අයට ඉතාශුභයි. යහපත් විවාහයක් කරගනී. අන් අයට යටත් පහත් වීමට කැමැති නැත.  ප්‍රධානත්වය හිමිකර ගනී.   


කීර්තිධර වෙයි   


වෘශ්චික:- රවි 10 වැන්නේ වීමෙන් රැකියා නැති අයට රැකියා  අවස්ථා උදා වේ. කරන රැකියාවෙන් උසස්වීම් ලබයි. උසස් ලෙස පෙනී සිටීමට  කැමැතියි. තේජවන්තයි. කීර්තිධරයි. පහත් ක්‍රියාවල නොයෙදේ. උසස් තනනතුරු  ලබයි.   


දේපළ ලබයි   


ධනු:- ආගම දහමට ළැදිවේ. කොයි කාගේත් සිත් දිනාගෙන කටයුතු  කරයි. පියාට ඉතා ශුභයි. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. රවි බුධ  සමඟ සිටින විට ඉගනීම් කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. උසස් විවාහයක්  කරගනී. විවාහකයින්ටද ශුභයි. 

 
ආගම දහමට ළැදියි   


මකර:- ඉහත ආත්මයේ කරන ලද ක්‍රියා මාර්ග වලට සමානව කටයුතු  කරයි. පිං දහම් කරයි. දුක සැප දෙකම සමසේ විඳ දරා ගනී. ලොකුවට පෙනී සිටීමට  කැමැතියි. ශරීරයේ උෂ්ණගතිය වැඩියි. ඉ​ෙස්, ඇස්වල ආබාධ ඇති විය හැකිය.   


අන් අයට පිහිට වෙයි   


කුම්භ:- ආත්ම ගෞරවය ගැන බලවත් අවධානය යොමු කරයි. කරුණාව  අනුකම්පාව පවතී. අන් අයට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වේ. වගකිය යුතු තනතුරු  ලබයි. විවාහය ප්‍රමාද වීමට පුළුවනි. අර්ශස් ආබාධ, හිසරදය උෂ්ණ රෝග බලපායි.   

 
නිරෝගී වෙයි   


මීන:- ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙයි. ගතිගුණ යහපත්ය. අන් අයට  කරදර හිංසා නොකරයි. අවිවාහයකයින්ට යහපත් විවාහ මංගල යෝග යෙදේ. සහෝදරාදීන්ට  හිතවත්ය. සතුරු කරදර අඩුයි. එහෙත් රහසිගත සතුරන් සිටී. ඇස්වල ආබාධ ඇතිවිය  හැකිය.   

 

 


මීරිගම - විද්‍යාල මාවතේ ජ්‍යොතිර්වේදී, කලා භූෂණ සාම විනිසුරු   

 


ආර්.ඇම්.ටී.බී, රත්නායක