රවි කුම්භ රාශි ගත වීම ඔබේ ලග්නයට බලපාන හැටි...


සූර්යයා හෙවත් හිරු සියල්ලේ ආරම්භයයි. ලොව ඇති සියලු දේ නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් හා හිරුගේ ආලෝකයෙන් යැයි කියමනක්ද තිබේ. ග්‍රහ ලොව රජු ලෙස ද හිරු හැඳින්වේ. ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා 2018 පෙබරවාරි මස 13 වන දින මෙතෙක් ගමන් කළ මකර රාශියෙන් ශනි හිමි කුම්භ රාශියට පැමිණෙයි. 2018 මාර්තු 14 වෙනි දින දක්වා රවි ග්‍රහයා කුම්භ රාශියේ සිය අණසක පතුරුවමින් සිටී.  

රවි ප්‍රවිෂ්ට වන්නේ කුම්භ රාශියටය. කුම්භ රාශිය ශනිට අයත්ය. ශනි ග්‍රහ ලොව කම්කරු නායකයා වශයෙන් හඳුන්වනු ලැබේ. එසේ නම් මෙම ග්‍රහ මාරුව ‘රජතුමා කම්කරු නායකයාගේ නිවසට’’ යෑමට සමානය.  


සූර්යයා, ආදිත්‍ය, දිවාකර ආදී නම් වලින්ද හඳුන්වන රවිග්‍රහයාට හිරු දෙවියෝ යැයිද කියනු ලබන්නේ හිරු එළිය නොමැතිව ජීවත් වීමට පවා නොහැකි තරම් බලපෑමක් ඇති බැවිනි. රවි අවුරුද්දක් ඇතුළත රාශි දොලහටම මාරු වෙමින් ගමන් කරයි. එබැවින් රවිගේ බලපෑම වසරක් ඇතුළත දොළොස් ආකාරයකින් වෙනස්ව ලැබෙන බව පෙනේ. රජු වශයෙන් රවි හඳුන්වන්නේ පාලක පක්ෂයට, රජයට මෙන්ම සියලු නායක තනතුරු දරන්නන්ට අධිපති බැවිනි.  


සිංහ රාශියේ හිමිකාරිත්වය දරන රවි එහිදී ස්ව ​ෙක්ෂත්‍ර බලය ලබයි. මේෂ රාශියේ දී උච්ච බලය ලබන අතර තුලා රාශියේ නීච බලය ලබයි. රවි දශා කාලය පුරා වසර හයකි. කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් රවිගෙන් පාලනය වේ. ඉරිදා දිනය, රවි හෝරාව, දිළෙන සුදු, අංක 01 එවිට හිමිවේ. රවි හිමි මැණික පද්මරාග වේ.  


රවි කුම්භ රාශි ගතවීම උපන් ලග්නවලට බලපාන අයුරු:  


මේෂ - මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට රවි පැමිණෙයි. ඉතා යහපත් වේ. තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ හිමි වේ. ආද‌ායම් මාර්ග යහපත් වේ. රජයේ රැකියාවල නිරත වන අයට වැඩිපුර ගරු සැලකිලි නම්බුනාම හා තනතුරු ලැබෙනු ඇත. නව රැකියා ලාභ හිමිවේ.  


වෘෂභ - වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දස වැන්නට රවි පැමිණීම සුබපලද‌ායක වනු ඇත. ඔබේ නායකත්ව ගතිගුණ ප්‍රදර්ශන කරමින් අන් අය අතර ප්‍රධානත්වයක් ඇතිව කටයුතු කිරීමට හැකි වේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ගෘහ ජීවිතය ඉතා යහපත් වේ. රැකියා කටයුතුවල තත්ත්වය උසස් වේ. ශනි අටේ ගමන් කරන බැවින් ආගමානුකූලව ජීවත් වන්න.  


මිථුන - මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ නව වැන්නට පැමිණෙන රවි මිශ්‍රපල උද‌ා කරන බව පෙනේ. ඉගෙනීමේ කටයුතු වැඩි දියුණු වෙයි. තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ හිමිවේ. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටුවේ. වන්දනා හෝ විනෝද ගමනක් යෑමට සිදුවේ. ශරීර සෞඛ්‍යය යහපත් වේ.  


කටක - කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ අට වැන්නට රවි පැමිණීම අසුබ පල උදා කරන බව පෙනේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවල දී උසස් අය සමඟ කටයුතු කරන විට කල්පනාකාරී වන්න. නීතියේ පිහිට බලාපොරොත්තු නොවිය හැකි නිසා නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. තැන්පත් ධනය පරිහරණයේදී සැලකිලිමත් වන්න. උෂ්ණාධික රෝග හට ගැනීමට පුළුවන.  


සිංහ - සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නාධිපති රවි හත්වැන්නට පැමිණීමෙන් විවාහ ජීවිතය පිළිබඳව බාධා ඇතිවීමට ඉඩ තිබේ. මංගල යෝජනාවලට බාධා ඇතිවීමට හැකියි. හවුල් ව්‍යාපාරවල දී ඉවසිලිවන්තව කටයුතු කරන්න. ප්‍රසිද්ධ සතුරන්ගෙන් අවුල් වියවුල් ඇතිවීමට ඉඩ ඇත. මුදල් අතින් අගහිඟ කම් ඇතිවන නිසා වියදම් පාලනය කර ගන්න.  


කන්‍යා - කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හය වැන්නට රවි පැමිණීම සුබපලදායක වේ. සතුරු බලවේග මර්දනය වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවල දී උසස් අයගේ උදවු උපකාර ලැබෙන අතර නීතිමය අංශවල සහයෝගය ලැබේ. නව රැකියා බලාපොරොත්තු ඉෂ්ඨ වේ. තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ හිමිවේ. උත්සාහය ධෛර්යය වැඩි වේ. අසනීප වලින් සුව අතට හැරේ. තම රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ.  


තුලා - තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ පස් වැන්නට රවි පැමිණෙයි. එතරම් යහපත් නොවේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. විවාහ අපේක්ෂිත පෙම් සබඳතාවලට අසතුටුදායක තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇත. රැකියා හා ව්‍යාපාර කටයුතුවල දී උසස් අයගෙන් තමාට අගෞරව ලැබීමට ඉඩ ඇතිවේ. තත්ත්වය රැක ගැනීමට අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් වැළකීමට සිතට ගන්න. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න.  


වෘශ්චික - වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හතර වැන්නට රවි පැමිණෙයි. මෙම මාසය ඇතුළත සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇත. තරමක් කරදර සහිත වේ. ගෘහ ජීවිතය ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. මව්පියන්ට ද කරදර සහිත බව පෙනේ. ස්ථාන, ගෙවල්, ඉඩකඩම් පිළිබඳ නීති ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. ගෘහාශ්‍රිත ව්‍යාපාර වලින් එතරම් ලාභයක් බලාපොරොත්තු නොවිය යුතුයි. පපුවේ ආබාධ ඇති අය විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය.  


ධනු - ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ තුන්වැන්නට රවි පැමිණීමෙන් සුබපලද‌ායක වේ. ධෛර්යය හා උත්සාහය ඉහළ යයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. සහෝදර හා අසල්වාසීන් සමග සබඳතා අලුත් වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට උසස් අයගේ උදවු උපකාර ලැබේ තනතුරුවල උසස් වීම් ලැබේ. රජයේ නව තනතුරු ලැබේ. ආද‌ායම් තත්ත්වය යහපත් වේ. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් නිතර යෙදේ. ආගම දහමට සිත යොමුවේ. සෙනසුරු අපලයක් ඇති නිසා ආගමානුකූලව ජීවත් වන්න.  


මකර - මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දෙවැන්නට රවි පැමිණීම නිසා මෙම මාසය සුබාසුබ මිශ්‍රපල ගෙන දෙනු ඇත. ගෘහ ජීවිතය පිළිබඳව තරමක බාධා කරදර ඇතිවීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න. කතා කරන විට දූරදර්ශී නොවුණ හොත් කතාව නිසා පාඩුවක් සිදු වීමට ඉඩ ඇත. තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදිය හැකි නිසා නිසි කළමනාකරණයෙන් මුදල් පාවිච්චි කරන්න. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.  
කුම්භ - කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නයට රවි පැමිණීම නිසා මෙම මාසය සුබාසුබ මිශ්‍රපල ගෙන දෙනු ඇත. දැඩි ලෙස අවිවේකී කාලයක් වනු ඇත. වැඩ කටයුතු බහුල වෙයි. රැකියා හා ව්‍යාපාර කටයුතු සඳහා උසස් අයගේ ආධාර උපකාර ලැබේ. විවාහයක් බලාපොරොත්තු වෙන් සිටින තරුණ තරුණියන්ට මංගල යෝජනා ඉදිරිපත් විය හැක. හිසේ රෝග, උෂ්ණාධික රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති නිසා ශරීර සෞඛ්‍ය රැක ගැනීමට උනන්දු වන්න.  


මීන - මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දොළොස් වැන්නට රවි පැමිණේ. උසස් කෙනෙකු හෝ රැකියා ප්‍රධානියෙකු අමනාප වීමට ඉඩ තිබේ. රජයේ රැකියා කරන අයට විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය. අනවශ්‍ය වියදම් ඇති වේ. පවුලේ සාමාජිකයකුගේ රෝගයක් වෙනුවෙන් වැඩිපුර කාලයක්. ශ්‍රමයක් වැය කිරීමට සිදුවේ. නඩුහබ කලකෝලාහල වැනි දේට මුහුණ දීමට සිදුවිය හැකිය.  


මේ අනුව රවි මාරුව සමහර ලග්නවලට සුබ පල මෙන්ම ලග්න කිහිපයකට අසුබ පලත් උද‌ා කරන බව පෙනේ. රවි අපලය ඇති අය ඉරිද‌ා දින රවි හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා, ආලෝක පූජා තැබීම සුබය. සූර්ය පිරිත කියවීම යහපත් වේ. මව්පියන්ට උපස්ථාන කිරීම හා ඇස් අන්ධ අයට උපකාර කිරීම සුබය. තවද පිපාසයෙන් පෙලෙන අයට සිසිල් පැන්, තැඹිලි ආදිය දීම වැනි ශාන්තිකර්ම මගින් අපල සමනය කර ගත හැක.  

 


​ෙජ්‍යතිර්වේදිනි  
අජන්තා නිශාන්ති ඒකනායක 
අංක 121, මාංගොඩ, මැදමහනුවර 
දු.අං 0774275328