රවි, බුධ වෘශ්චිකයට, ඔබට කොහොමද බලන්න


ග්‍රහලොව ප්‍රධානියා වන රවි ග්‍රහයා 2018 ​නොවැම්බර මස 16 වන දින මෙතෙක් ගමන් කළ තුලා රාශියෙන් කුජ හිමි වෘශ්චික රාශියට පැමිණියේය. 2018 දෙසැම්බර් මස 16 දක්වා රවි ග්‍රහයා වෘශ්චික රාශියේ ගමන් කරයි. රවිට වාශ්චික රාශිය මිත්‍ර වේ. මේ අතර බුද්ධියට අධිපති බුධ ග්‍රහයාද 2018 ඔක්තෝබර් මස 26 වන දින සිට 2019 ජනවාරි මස 01 වන දින දක්වා වෘශ්චික රාශියක් තැන්පත්ව සිටී. කුජ ග්‍රහයාද 2018 නොවැම්බර් මස 06 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 23 දක්වා කුම්භ රාශියේ ගමන් කරයි. 


රවි ග්‍රහයා ග්‍රහලොව පිය රජු ලෙස හැඳින්වේ. රවි ප්‍රවිෂ්ට වන්නේ වෘශ්චික රාශියටය. වෘශ්චික රාශිය කුජට අයත්ය. කුජ ග්‍රහලොව සෙන්පතිතුමා වශයෙන් හඳුන්වනු ලැ​බේ. එසේ නම් මෙම ග්‍රහ මාරුව රජතුමා සෙන්පතිතුමාගේ භවනට යනවිට ග්‍රහලොව පුරෝහිතතුමා හා රාජ්‍ය ලේකම්තුමා එතුමා පිළිගැනීමට බලා සිටිනු ඇත. 


රවි, බුධ මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි... 


මේෂ - ඔබේ ලග්නාධිපති කුජ බලවත්ව එකොළොස්වැන්​නේද, රවි සමග ගුරු, බුධ අටවැන්නේද ගමන් කරයි. අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා ඇතිවන බව පෙනේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට වඩාත් සැලකිලිමත් වන්න. රැකියා කටයුතුවලදී උසස් අය සමග අමනාප වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ලියකියවිලිවලට අත්සන් තබන විට දුරදිග බලා කටයුතු කරන්න. මේ අතර ආදායම් තත්ත්වය යහපත් වේ. ඔබේ ලග්නාධිපති කුජ බලවත්ව ගමන් කරන නිසා සියලු බාධා ජයගත හැකි වේ. රවි හා ගුරු දශා ගත කරන අයට අපලයි. 


වෘෂභ - ඔබේ කේන්දරයේ රවි සමග බුධ, ගුරු හත්වැන්නේද කුජ දසවැන්නේද ගත කරයි. හවුල් ව්‍යාපාර සාර්ථක වෙයි. විවාහ සහකරුට සුබයි. අවිවාහක අයට මංගල යෝජනා ලැබේ. බිරිඳ හෝ සැමියාගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබේ. මේ අතර කුජ බලවත්ව දසවැන්නේ ගමන් කරන නිසා රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සුබදායක වේ. දරුවන්ට සුබයි. සෙනසුරු අටවැන්නේ ගමන් කරන නිසා ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. 


මිථුන - ඔබේ ලග්නයට හා හතරවැන්නට අධිපති බුධ සමග රවි, ගුරු හය වැන්නේ ගමන් කරයි. ඔබේ උත්සාහය හා ධෛර්යය වැඩි වේ. රැකියා හා ව්‍යාපාරවලට උසස් අයගේ උදව් උපකාර ලැබෙන අතර සේවක සේවිකාවන්ගේ සහයෝගයද ලැබේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබාගැනීමට හැකි වේ. මේ අතර විවාහ සහකරු සමග ඉවසීමෙන් කටයුතු කරන්න. සතුරු කරදර ජයගනී. ශරීර සෞඛ්‍ය බොහෝ දුරට යහපත් වේ. 


කටක - සඳු හිමි කටක ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ පස්වැන්නේ රවි සමග බුධ, ගුරු ගමන් කරයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු මිශ්‍රඵලදායක වේ. විභාගවලින් සමත් වේ. සම්මුඛ පරීක්‍ෂණවලින් ජයග්‍රහණ ලැබීමට බොහෝදුරට ඉඩ ඇත. දරුවන් ගැන වෙනදාට වඩා අවධානය යොමු කරන්න. මුදල් ආ​යෝජනයේදී වඩාත් සැලකිලිමත් වන්න. ​මේ අතර හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න. කුජ දශා ගත කරන අයට තරමක් අපලදායක වේ. 


සිංහ - රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වන රාජ්‍යකාරක රවි සමග බුධ, ගුරු හතරවැන්නේ ගමන් කරයි. මිශ්‍රඵලදායක වේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ඉඩකඩම්, වාහන මිලදී ගැනීමටද හිත යොමුවේ. මේ අතර ඉඩකඩම් හෝ පදිංචිය පිළිබඳ නීතිමය ප්‍රශ්නද, සිත් තැවුල්ද ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇත. ගෙදර වැඩිහිටියෙකුට තරමක් අපලයි. විවාහ සහකරු සමග ඉවසීමෙන් කටයුතු කරන්න. හෘදයාබාධ ඇති අය ප්‍රවේශම් වන්න. 


කන්‍යා - බුද්ධියට අධිපති ඔබේ ලග්නාධිපති බුධ සමග රවි, ගුරු තුන්වැන්නේ ගමන් කරයි. සුබපලදායක වේ. ඔබේ උත්සාහය හා ධෛර්යය ඉහළ මට්ටමක පවතී. ලිපිලේඛන හා අධ්‍යාපන කටයුතුවලට සුබයි. ප්‍රයෝජනවත් කෙටි ගමන්ද යෙදේ. මේ අතර අසල්වාසීන් හා සහෝදරයින් අතර සමගිය වර්ධනය වේ. ඔබගේ රැකියා කටයුතුවලදී ඉහළ තනතුරු ලබාගැනීමට වාසනාව උදාවේ. ජනප්‍රියතාව වැඩිවෙයි. සතුරු කරදර ජය ගනී. බොහෝදුරට අසනීපවලින් සුවය ලැබේ. 


තුලා - සිකුරු හිමි තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සිකුරු ලග්නයේ බලවත්ව ගමන් කරන විට රවි සමග බුධ, ගුරු දෙවැන්නේ ගමන් කරයි. මිශ්‍රඵලදායක වේ. ඉතිරිකිරීම් ශක්තිමත් වන අතර පවුලේ වියදම් ඉහළ යන බව පෙනේ. තැන්පත් ධනය පවා වියදම් වීමට ඉඩ ඇත. මේ අතර දුරදිග බලා කතාකරන්න. කතාවෙන් ජයගත හැක. දරුවන් ගැන වෙනදාට වඩා අවධානය යොමු කරන්න. උෂ්ණාධික රෝග, ඇස්වල රෝගද ඇතිවීමට ඉඩ ඇත. 


වෘශ්චික - ඔබේ ලග්නාධිපති කුජ හතරවැන්නේද රවි සමග බුධ, ගුරු ලග්නයේද ගමන් කිරීම මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට සුබදායක වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුද සාර්ථක වේ. ඔබට තරමක විවේක කාලයක් උදාවේ. රැකියා කටයුතුවලට උසස් අයගේ උදව් උපකාර ලැබේ. මේ අතර ක්‍ෂණික කෝපය නිසා ගෘහජීවිතයේ සමගියට බාධා ඇතිවිය හැකියි. නෑදෑයින් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. නිවසේ වැඩිහිටියකුට අපලයි. උෂ්ණාධික රෝගවලින් ප්‍රවේසම්වන්න. 


ධනු - ලග්නාධිපති ගුරු සමග රවි, බුධ දොළොස්වැන්නේද ශනි ලග්නයේද ගමන් කරයි. එතරම් යහපත් නොවේ. ඔබ සාර්ථකව කරගෙන ආ කටයුතුවලට තරමක බාධා ඇතිවිය හැකියි. උසස් අය ඇසුරු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. නීති විරෝධී කටයුතුවල නිරත නොවන්න. මේ අතර විවාහ සහකරුට එතරම් යහපත් නොවේ. දුර බැහැර ගමන්ද යෙදේ. බලාපොරොත්තු වූ විදේශ ගමන් සාර්ථක වේ. වාසනාවට වඩා තමා ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. ශනි, රවි හා ගුරු දශා ගත කරන අයට අපලයි. 
මකර - රවි, බුධ, ගුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නේ ගමන් කිරීම සුබදායක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වන අතර තනතුරේ උසස්වීම් ලැබීමට ඉඩ ඇත. වැටුප් වර්ධක හිමිවේ. රැකියා අපේක්‍ෂිතයින්ට නව රැකියා ලාභ හිමිවේ. පිරස් බලය ලබයි. ආදායම් තත්ත්වය සතුටුදායක වේ. මේ අතර උසස් බුද්ධිමත් අය හඳුනාගැනීමට අවස්ථාව උදාවේ. සහෝදරයින්ට සුබයි. කතා රන විට දුරදිග බලා කතා කරන්න. වියදම් පාලනය කර ගන්න. 


කුම්භ - ඔබේ කේන්දරයේ දසවැන්නේ දිග්බල රවි සමග බුධ, ගුරු ගමන් කිරීම සුබදායක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවල දියුණුව ඇති වේ. උසස් වීම් ලැබීමට ඉඩ ඇත. උසස් අයගේ ඇගයීමට ලක් වේ. නීතියේ පිහිට ලැබේ. ඔබට සමාජයේ නිසි ගෞරවය ලැබේ. නව රැකියා ලාභ හිමිවේ. විවාහ සහකරුගේ රැකියා ප්‍රශ්නවලට විසඳුම් ලැබේ. මේ අතර සිකුරුද බලවත්ව භාග්‍යස්ථානයේ ගමන් කරන නිසා පෙර පින, වාසනාව හා දෙවියන්ගේ පිහිට ලැබේ. 


මීන - මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ නවවැන්නේ රවි සමග බුධ, ගුරු ගමන් කිරීම මිශ්‍රඵලදායක වේ. පසුගිය මාසයේ තිබූ කරදරවලට විසඳුම් ලැබේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවන අයට මිශ්‍රඵලදායක වේ. යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලබේ. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටුවේ. ආගමික කටයුතු සඳහා සිත යොමුවේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතුද සාර්ථක වේ. මේ අතර දුර ගමන් හෝ වන්දනා ගමන්ද යෙදේ. 


මේ අනුව රවි, බුධ මාරුව සමහර ලග්නවලට සුබපල මෙන්ම ලග්න කිහිපයකට අසුබ පලත් ඇති කරන බව පෙනේ. රවි අපලය ඇති අය බුද්ධ පූජා, බෝධි පූජා, ආ​ලෝක පූජා තැබීම සුබය. කතරගම දෙවි පිහිට පැතීමත්, සූ්රය පිරිත කියවීමත් යහපත් වේ. බුධ අපලය ඇති අයට ධර්ම දානය වැනි ශාන්තිකර්ම මගින් අපල සමනය කරගත හැකිය.

 

 

 
ජ්‍යොත්ෂවේදිනී, 
අජන්තා ඒකානායක, 
අංක 121, මාං​ගොඩ, මැද මහනුවර.