රවි, බුධ මාරුව ඔබට කොහොමද ....?


සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන රවි ග්‍රහයා 2018 සැප්තැම්බර් මස 17 වන දින මෙතෙක් ගමන් කළ සිංහ රාශියෙන් බුධ හිමි කන්‍යා රාශියට පැමිණෙයි. 2018 ඔක්තෝබර් මස 17 දක්වා රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගමන් කරයි.  


රවි ග්‍රහයා එක් රාශියක් දින 30 ක් 31 ක් වශයෙන් ගමන් කරයි. එය මේෂ, රවිය, වෘෂභ රවිය, මිථුන රවිය ආදී වශයෙන් වසරක කාලසීමාව තුළ රාශි 12ක ගමන් කරයි. රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි තුළ ගමන් කරන කාලය කෝණ මාසය නමින් හඳුන්වනු ලබන අතර ගෘහ නිර්මාණය, මුල්ගල් තැබීම ආදී කටයුතු මෙන්ම විවාහ කටයුතු ද මෙම කාලසීමාව තුළ සුබඵල නොදෙන බව මතක තබා ගත යුතුවේ.  


මේ අතර බුද්ධියට අධිපති බුධ ග්‍රහයා 2018 සැප්තැම්බර් මස 19 වෙනි දින කන්‍යා රාශියට පැමිණ උච්ච බලය ලබයි. 2018 ඔක්තෝබර් මස 06 වන දින දක්වා බුධ ග්‍රහයා කන්‍යා රාශිය වන තම නිවසේ සිට සිය බලය පතුරවමින් සිටී. ඒ අනුව පංච මහා පුරුෂ යෝග වලින් එකක් වන භද්‍රා යෝගය උදා වෙයි. බුධ ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව යම් ජන්ම කේන්ද්‍රයක 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානයක පිහිටීම භද්‍රා යෝගයයි. මෙම ග්‍රහ යෝගය නිසා බුද්ධිය, දැනුම, ධාරණ ශක්තිය, ඥාන ශක්තිය වර්ධනය වෙයි. ශාස්ත්‍රීය අවබෝධය ලබයි. කතාව සිත් ගන්නා සුළුයි. ග්‍රන්ථ කතුවරුන්, මහාචාර්යවරුන්, ගුරුවරුන්, නීතිඥයන් බිහිවන්නේ මෙම යෝගයෙනි.  
බුධ ග්‍රහයා කන්‍යා රාශියේ බලවත්ව ගමන් කරන කාලයේ බුධට අයත් කන්‍යා රාශිය උදා වන බදාදා දිනක බුධ හෝරාව හා පංචම කාල හෝරාව උදාවන වෙලාවට සරස්වතී යෝගය උදා වේ. මෙම යෝගය අකුරු කියවීමට සුබ නැකතකි.  


2018 සැප්තැම්බර් මස 19 වෙනි දින සිට 2018 ඔක්තෝබර් මස 06 වෙනි දින දක්වා බුධ ග්‍රහයා කන්‍යා රාශියේ බලවත්ව සිටින කාලසීමාවේ මෙලොව එළිය දකින මිථුන, කන්‍යා ධනු හා මීන යන ලග්න හිමි දරුවන්ගේ කේන්දරයේ බුධ ග්‍රහයා බලවත්ව පිහිටන අතර ලොව උගතුන් වැඩි පිරිසක් බිහිවන්නේ මෙම කාලය තුළය. නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට අකුරු කියවීමට, වෘත්තීය පාඨමාලා ඇරඹීමට හා සන්නිවේදන ව්‍යාපාර ඇරඹීමට සුබ නැකැත් සැප්තැම්බර් මස 19 සිට ඔක්තෝබර් මස 06 දක්වා මෙම කාල සීමාව තුළ උදාවේ. මාධ්‍යවේදීන්ට, ලේඛකයන්ට, සැලසුම් ශිල්පීන්ට, නීතිඥයන්ට, ජ්‍යොතීර්වේදීන්ට, ගුරුවරුන්ට, පරිගණක මුද්‍රණ ශිල්පීන්ට මෙම කාලසීමාව ඉතාමත් සුබදායක වේ.  


රවි බුධ මාරුව උපන් ලග්නවලට බලපාන හැටි  


මේෂ - ඔබේ කේන්දරයේ හයවැන්නට රවි සමග බුධ පැමිණේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබෙන නිසා සුබ ප්‍රතිඵල උදාකර ගත හැක. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබාගැනීමට අවස්ථාව උදාවේ. සතුරු කරදර මර්දනය වේ. මේ අතර බොහෝ අසනීප සුව අතට හැරේ. ඔබේ ලග්නාධිපති කුජද බලවත්ව ගමන් කරන නිසා රැකියාවල උසස්වීම් හා නව රැකියා ලාබ හිමිවේ.  


වෘෂභ - රවි සමග බුධ කේන්දරයේ පස්වැන්නට පැමිණෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තරග විභාග හා සම්මුඛ පරීක්ෂණවලින් සමර්ථ වේ. ව්‍යාපාර වලින් ලාභ අපේක්ෂා කළ හැකියි. මේ අතර හදිසි ධනලාභ ද ලැබීමටද ඉඩ ඇත. මෙම කාලසීමාවේ නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට අකුරු කියවීමට සුබ නැකැත් උදා වේ. සෙනසුරු අපලයට අදාළ ග්‍රහශාන්ති කර්ම කරගන්න.  


මිථුන - ඔබේ ලග්නයට හා හතරවැන්නට අධිපති බුධ බලවත් වී රවි සමග හතරවැන්නට පැමිණෙයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය මිශ්‍ර පලදායක වේ. ඉඩකඩම් හා වාහන මිලදී ගැනීමට සුබ කාලයකි. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ලැබේ. මේ අතර පවුලේ ඉඩකඩම් පිළිබඳ ගැටලුද ඇතිවීමට ඉඩ ඇත. නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට අකුරු කියවීමට හා සන්නිවේදන ව්‍යාපාර ඇරඹීමට සුබ නැකැත් උදාවේ.  
කටක - ඔබේ කේන්දරයේ තුන්වැන්නට රවි සමග බුධ පැමිණීම සුබදායක වේ. ඔබේ උත්සාහය හා නිර්භීත බව ඉහළ මට්ටමක පවතී. ලිපි ලේඛන හා අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවල දී ඉහළ තනතුරු ලැබෙන අතර ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩි වෙයි. බාල සහෝදරයන්ට යහපත් වේ. මේ අතර වාසිදායක ගමන් බිමන්ද යෙදේ. අසල්වැසියන් අතර සමගිය ඇති වේ.  


සිංහ - ලග්නාධිපති රවි සමග බුධ ඔබේ කේන්දරයේ ධනස්ථානයට පැමිණීම යහපත් වේ. අනාගත දියුණුව ගැන සිත යොමුවේ. තැන්පත් ධනය වර්ධනය වේ. කතාවෙන් ජය ගත හැකි වේ. මේ අතර නීතිඥයින්ට, මාධ්‍යවේදීන්ට, ගුරුවරුන්ට, ජ්‍යොතිෂවේදීන්ට හා ව්‍යාපාරික ප්‍රජාවට තම වෘත්තීය කටයුතු වලින් ලාභ ලැබේ. සන්නිවේදන ක්ෂේත්‍රයේ නියැළෙන අයට විශේෂ සුබඵල උදාවේ. මෙම කාලසීමාවේ දරුවන්ට අකුරු කියවීමට සුබ නැකැත් උදාවේ.  


කන්‍යා - ඔබේ ලග්නාධිපති බුධ බලවත්ව හා දිග්බලව ලග්නයේ රවි සමග ගමන් කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට සුබදායක වේ. දුරදිග බලා කටයුතු කරයි. ග්‍රන්ථකරණයේ යෙදෙන ලේඛකයන්ට සුබදායක වේ. සම්මාන හිමි වෙයි. රැකියා කටයුතුවලදී තනතුරු ලැබෙයි. ඔබේ ජනප්‍රියතාවය වැඩිවෙන අතර නිසි ගෞරවය ලැබේ. මෙම කාලසීමාවේ දරුවන්ට අකුරු කියවීමට හා සන්නිවේදන ව්‍යාපාර ඇරඹීමට සුබ නැකැත් උදාවේ.  
තුලා - ඔබේ​ කේන්දරයේ රවි සමග බුධ දොළොස්වැන්නට පැමිණීම එතරම් යහපත් නොවන අතර ලග්නාධිපති සිකුරු බලවත්ව ලග්නයේ ගමන් කරන නිසා බොහෝ බාධා ජය ගැනීමට උත්සාහ කරන්න. ඔබේ රැකියා කටයුතුවලට තරමක බාධා ඇතිවීමට ඉඩ ඇත. වැඩිමහල් සහෝදරයකුට හෝ මිතුරෙකුට එතරම් යහපත් නොවේ. වියදම් පාලනය කරගන්න. දුර ගමන් අධික වේ. ආගම දහමට සිත යොමු වේ.  


වෘශ්චික - රවි සමග බලවත් බුධ ඔබේ කේන්දරයේ එකොළොස්වැන්නට පැමිණීම සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවලට සුබ වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. වැටුප් වැඩි වේ. පිරිස් බලය ලබයි. ආදායම් තත්ත්වය යහපත් වේ. මේ අතර බුද්ධිමත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව උදා වේ. දරුවන්ට අකුරු කියවීමට නැකැත් උදාවේ.  


ධනු - ඔබේ කේන්දරයේ දසවැන්නේ දිග්බල රවි සමග බලවත් බුධ ගමන් කිරීම සුබ වේ. ඔබගේ රැකියා හා ව්‍යාපාර කටයුතුවලට විශේෂ සුබපල ඇති කරයි. ඉහළ තනතුරු ලැබේ. නව රැකියා ලාභ හිමි වේ. විවාහ සහකරුගේ රැකියා ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවේ. විදේශ ගමන් සාර්ථක වේ. දරුවන්ට අකුරු කියවීමට හා සන්නිවේදන ව්‍යාපාර ඇරඹීමට සුබ නැකැත් උදාවේ. කෙසේ නමුත් සෙනසුරුගේ අපලයක් ගත කරන නිසා ආගමානුකූලව ජීවත් වන්න.  


මකර - රවි සමග බුධ භාගස්ථානයේ ගමන් කිරීම සුබදායක වේ. පෙර පින, වාසනාව හා දෙවියන්ගේ පිහිට ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දක්ෂ ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. විදේශීය රටකින් ශිෂ්‍යත්ව බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ හිමිවේ. මේ අතර පුණ්‍ය කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව උදාවේ. වන්දනා ගමන් ද යෙදේ. දරුවන්ට අකුරු කියවීමට සුබ නැකැත් උදාවේ.  


කුම්භ - ඔබේ කේන්දරයේ අටවැන්නට රවි සමග බුධයේ පැමිණීම එතරම් යහපත් නොවේ. රැකියා කටයුතු කිරීමේදී උසස් අය අමනාප වීමට ඉඩ ඇති අතර නීතිමය ගැටලුද ඇතිවිය හැකියි. විවාහ සහකරුට එතරම් යහපත් නොවේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනයේදී වඩාත් සැලකිලිමත් වන්න. කෙසේ නමුත් දුරදිග බලා කතා කරන්න. ලිපි ලේඛනවලට අත්සන් කිරීමේ දී ප්‍රවේශම් වන්න. උෂ්ණාධික රෝග හට ගැනීමට ඉඩ ඇත.  


මීන - ඔබේ කේන්දරයේ රවි සමග බුධ හත්වැන්නේ ගමන් කිරීම මිශ්‍රඵලදායක වේ. ගෘහජීවිතය සතුටින් ගත කිරීමට හැකිවේ. විවාහ සහකරුට සුබවේ. හවුල් ව්‍යාපාර සාර්ථක කර ගැනීමට හැකි වේ. ඔබට මහජන ප්‍රසාදය ලැබේ. ඉඩකඩම් හා රථවාහන මිලදී ගැනීමට වාසනාව උදාවේ. ප්‍රසිද්ධ සතුරන්ගෙන් ජය ලැබේ. මේ අතර ඔබේ ලග්නාධිපති ගුරු ඔක්තෝබර් 11 වැනිදා වෘශ්චික රාශිගත වීම වඩාත් සුබදායක වේ.  

 

 

 


අජන්තා ඒකනායක, 
අංක 121, මාංගොඩ, මැද මහනුවර.