රවි, බුධ ධනු රාශි ගතවීම ඔබට කොහොමද ?


ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා 2018 දෙසැම්බර් මස 16 වන දින මෙතෙක් ගමන් කළ වෘශ්චික රාශියෙන් ගුරු හිමි ධනු රාශියට පැමිණියේය. 2019 ජනවාරි 14 දින දක්වා රවි ග්‍රහයා ධනු රාශියේ තැන්පත්ව සිටී. ඉන් පසුව බුධ ග්‍රහයාද 2019 ජනවාරි 01 දින සිට 2019 ජනවාරි 20 දක්වා ධනු රාශියේ ගමන් කරයි. මේ වන විට සෙනසුරු ග්‍රහයාද ධනු රාශියේ ගමන් කරමින් සිටී. මේ අතර කුජ ග්‍රහයාද 2018 දෙසැම්බර් මස 23 සිට 2019 පෙබරවාරි 5 දක්වා මීන රාශියේ ගමන් කරයි.  


මේ අතර රවි ග්‍රහයා ධනු රාශියේ ගමන් කරන 2019 ජනවාරි 14 දින දක්වා කාලය තුළ කෝණ මාසයක් උදා වේ. එම නිසා මෙම කෝණ මාසය තුළ විවාහ මංගල කටයුතු හා ගෘහ නිර්මාණ කටයුතුවලට සුභදායක නොවන බව මතක තබාගන්න. එහෙත් 2019 ජනවාරි 02 වන දින සිට ජනවාරි 20 දක්වා බුධ ග්‍රහයා ධනු රාශියේ ගමන් කරන කාලයේ නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට අකුරු කියවීමට හා සියලුම අධ්‍යාපන පාඨමාලා ඇරඹීමට සුභ කාලයක් උදා වේ.  


රවි, බුධ මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි  


මේෂ - ඔබේ කේන්ද්‍රයේ නමවැන්නේ රවි සමග ශනි ගමන් කිරීම මිශ්‍රඵලදායක වේ. පසුගිය මාසයේ තිබූ ප්‍රශ්නයකට විසඳුම් ලබාගත හැකි වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අලුතින් ඉගෙනීමේ පාඨමාලා ඇරඹීමට සුදුසු කාලයක් උදා වේ. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. කෙසේ නමුත් ඔබේ ලග්නාධිපති කුජ දෙසැම්බර් 23 වැනිදා සිට දොළොස්වැන්නේ ගමන් කිරීම නිසා තරමක බාධා ඇතිවීමට ඉඩ ඇත.  


වෘෂභ - ඔබේ කේන්ද්‍රයේ රවි සමග ශනි අටවැන්නේ ගමන් කිරීම තරමක් අසුභඵල උදා කරන බව පෙනේ. ගෘහ ජීවිතයට තරමක බාධා ඇති බව පෙනේ. ඉවසීමෙන් කටයුතු කරන්න. ගෘහ නිර්මාණකරණයට හා මංගල උත්සවවලට මෙම කාලසීමාව එතරම් සුබ නොවේ. ගෘහාශ්‍රිත ව්‍යාපාර වලින් එතරම් ලාභ නොලැබේ. තැන්පත් ධනය පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන්න. උසස් අය සමග කටයුතු කරන විට කල්පනාකාරී වන්න. රුධිර පීඩනය හා උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න. සෙනසුරු දශා ගත කරන අයට අපලයි.  


මිථුන - බුධ හිමි මිථුන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ රවි සමග ශනි හත්වැන්නේ ගමන් කිරීම මිශ්‍රඵලදායකයි. උසස් අයගේ ආධාර උපකාර ලබා ගැනීමට හැකිවේ. බිරිඳ හෝ සැමියාට මිශ්‍රඵලදායකයි. අවිවාහක අයගේ මංගල යෝජනාවලට තරමක බාධා ඇතිවිය හැකියි. ප්‍රසිද්ධ සතුරන් සමග අවුල් වියවුල් ඇතිවීමටද ඉඩ ඇත. හවුල් ව්‍යාපාරවලටද මිශ්‍රඵලදායක වේ. කොලොස්ටරෝල්, දියවැඩියාව රෝග ඇති අය ප්‍රවේශම් වන්න.  


කටක - සඳු හිමි කටක ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ හයවැන්නේ රවි සමග ශනි ගමන් කරයි. ඔබේ රැකියා හා ව්‍යාපාර කටයුතුවලට උසස් අයගේ උදව් උපකාර ලැබෙන අතර සේවක පක්ෂයේ සහයෝගයද ලැබෙන නිසා සාර්ථක වේ. රැකියාවේ උසස්වීම් ලැබේ. ගෘහජීවිතය සතුටුදායක වේ. ඔබට තරග විභාග හා සම්මුඛ පරික්ෂණ වලින් ජයග්‍රහණ හිමි වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබේ. සතුරු බලවේග මර්දනය වේ. නඩු වලින් ජයගත හැකි වේ. ඔබේ උත්සාහය හා ධෛර්යය ඉහළ මට්ටමක පවතී.  


සිංහ - රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වන රවි සමග ශනි පස්වැන්නේ ගමන් කරයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මිශ්‍රඵලදායක වේ. දරුවන් ගැන වෙනදාට වඩා අවධානය යොමු කරන්න. ව්‍යාපාරවලට මුදල් ආයෝජනයට එතරම් යහපත් නොවේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. කෙසේ නමුත් දෙසැම්බර් 23 සිට කුජ ග්‍රහයා අටවැන්නට පැමිණීම නිසා පවුලේ වැඩිහිටියෙකුට තරමක් අපලදායක වේ. තවද යටි බඩේ උෂ්ණාධික රෝග මෙන්ම හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න.  


කන්‍යා - ඔබේ කේන්ද්‍රයේ හතරවැන්නේ රවි සමග ශනි ගමන් කිරීම සුබාසුබ මිශ්‍රඵලදායක වේ. මෙම මාසය ඇතුළත රැකියාවේ සිත් තැවුල් ඇතිවිය හැකි බව පෙනේ. පදිංචිය පිළිබඳවත් ගෙවල් ඉඩකඩම් සම්බන්ධව කරදර ඇතිවීමට ඉඩ ඇත. ගොවිතැන් කටයුතු හා නිවසේ දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා ඇතිවිය හැකියි. අධ්‍යාපන කටයුතු වලට සුබදායකයි. මේ අතර අඹු සැමි අමනාපකම් ඇතිවීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. හෘදයාබාධ ඇති අය ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.  


තුලා - ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නේ රවි සමග ශනි ගමන් කරයි. සුබ ඵලදායක වේ. උත්සාහය හා ධෛර්යය වැඩි වේ. රජයේ රැකියාවල නිරත වන අයට උසස් නිලධාරීන්ගේ උදව් උපකාර ලැබේ. නව රැකියා ලාභ හිමි වේ. තනතුරු හිමිවේ. සහෝදරයකුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. කෙටි ගමන් බිමන්ද යෙදේ. අසල්වාසීන් අතර සුහදතාවය වර්ධනය වේ. ඔබේ ආදායම් තත්ත්වය යහපත් වේ. ලිපි ලේඛන හා අධ්‍යාපන කටයුතුවලට සුබයි.  


වෘශ්චික - ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නේ රවි සමග ශනි ගමන් කිරීම මිශ්‍රඵලදායක වේ. තැන්පත් ධනය වැයවීමට කරුණු යෙදිය හැකියි. කෙසේ නමුත් ආදායම් මාර්ගද ඇති වේ. උෂ්ණාධික රෝග හා ඇස්වල රෝගද ඇතිවීමට ඉඩ ඇත. ගෘහ ජීවිතය මිශ්‍රඵලදායක වේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආදායම් යහපත් වේ. අධ්‍යාපන කටයුතු වලට සුබයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. 2019 ජනවාරි 01 වැනිදා සිට විවාහ මංගල කටයුතුවලට සුබ කාලසීමාවක් උදා වේ.  


ධනු - රවි සමග ශනි ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ ගමන් කිරීම නිසා සුබාසුබ මිශ්‍රඵල ගෙන දෙනු ඇත. ශාස්ත්‍රීය හා අධ්‍යාපන කටයුතුවලට සුබඵලදායක වේ. වැඩිදුර ඉගෙනීමකට දොරටු විවර වෙයි. බිරිඳට හෝ සැමියාට සුබයි. අවිවාහක අයට මංගල යෝග උදා වේ. හවුල් ව්‍යාපාර සාර්ථක වේ. පෙර පින හා වාසනාව උදා වේ. හිසේ රෝග, උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න. ක්ෂණික කෝපය නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. සෙනසුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.  


මකර - ඔබේ කේන්ද්‍රයේ දොළොස්වැන්නේ රවි සමග ශනි ගමන් කිරීම අපලදායක වේ. ඔබ සාර්ථකව කරගෙන ආ කටයුතු වලට තරමක බාධා ඇතිවිය හැකියි. විදේශ ගමන් පිළිබඳව තිබූ බලාපොරොත්තු ඉටුවීමට බො​ෙහා්දුරට ඉඩ ඇත. රැකියා කටයුතුවලදී උසස් නිලධාරීන් අමනාපවීමට ඉඩ ඇති නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. වියදම් පාලනය කරගන්න. රජයේ රැකියා කරන අය විශේෂයෙන් ප්‍රවේශසම් විය යුතුය. නීති විරෝධී කටයුතුවල නිරත නොවන්න. උෂ්ණාධික රෝග ගැන සැලකිලිමත් වන්න.  


කුම්භ - ඔබේ කේන්ද්‍රයේ එකොළොස්වැන්නේ රවි සමග ශනි ගමන් කිරීම සුබඵලදායක වේ. ආදායම් මාර්ග යහපත් වේ. උසස් අයගේ ඇසුර ලැබේ. රජයේ රැකියාවල නිරත වන අයට වැඩිපුර ගරු සැලකිලි නම්බුනාම හා තනතුරුවලින් උසස් වීම් ලැබේ. නව රැකියා ලාභ ලැබේ. විවාහ සහකරුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. පිරිස් බලය ලබයි. අවිවාහක අයට මංගල යෝග උදා වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. විභාගවලින් සාමාර්ථ ලබයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. හවුල් ව්‍යාපාරවලට සුබයි.  


මීන - ඔබේ කේන්ද්‍රයේ රවි දිග්බලව ශනි සමග දසවැන්නේ ගමන් කිරීම සුබඵලදායක වේ. නව රැකියා අපේක්ෂිතයින්​ගේ බලාපොරොත්තු ඉටු වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වේ. තනතුරුවල උසස්වීම් ලැබේ. රැකියා කටයුතුවලට උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ඔබේ නම පැතිරේ. බිරිඳ හෝ සැමියාට සුභඵලදායකයි. නිවසේ දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ. පියාගෙන් ධනය හිමි වේ. ඉක්මන් කෝපය පාලනය කරගන්න.  


මේ අනුව රවි බුධ මාරුව සමහර ලග්න වලට සුබ ඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ ඵලත් ඇති කරන බව පෙනේ. රවි අපලය ඇති අය බුද්ධ පූජා බෝධි පූජා ආලෝක පූජා තැබීම සුබය. කතරගම දෙවි පිහිට පැතීමත්, සූර්ය පිරිත කියවීමත් යහපත් වේ. බුධ අපලය ඇති අය ධර්ම දානය වැනි ශාන්ති කර්ම මගින් අපල සමනය කර ගත හැක.

  
2019 නව වසර රටටත් ඔබ සැමටත් සාමය සතුට සහ සෞභාග්‍යය උදාවේවා!  

 


ජ්‍යොතිර්වේදිනී  
අජන්තා ඒකනායක  
අංක 121 මාංගොඩ, මැද මහනුවර.