රටේ ඉදිරි ගමන ජ්‍යොතිෂයට අනුව


මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන අරාජිකත්වය පිළිබඳව ජ්‍යොතිෂයට අනුව කළ හැකි විග්‍රහයකි.   


1948 පෙබරවාරි 04 වනදා ශ්‍රී ලංකාවට ඉර උදාවුණේ අපට නිදහස රැගෙනය. වසර සිය ගණනක් යටත් විජිතයක්ව පැවති අපට එදින බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීමේ අයිතියට හිමි විය.   


1948.02.04 උදේ 07.30 ට යෙදුණ සුබ මොහොතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස මොක්ස් මේසන් මුවර්තුමා සර් ජෝන් හොමර්ස් අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එම අවස්ථාවේ උදාවූ තත්කාල ලග්නය ශ්‍රී ලංකාවේ රාජ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලැබේ. එය කුම්භ ලග්නය වූ අතර මෙහි දක්වා අැත්තේ එම රාජ්‍ය කේන්ද්‍රයයි.   
මෙම නිදහස් කේන්ද්‍රය මූලික කරගෙන විවිධ ජ්‍යොතීර්වේදීන් අනාවැකි පළකරනු ලැබේ. එම අනාවැකි සාර්ථක වන අවස්ථාද ඇත. එමෙන්ම තවත් ජ්‍යොතීර්වේදීන් පිරිසක් තමන්ගේ පෞද්ගලික දේශපාලන අදහස් ජ්‍යොතිෂ අනාවැකි ලෙස ඉදිරිපත් කරයි. සැබවින්ම ඒවා අනාවැකි නොවන බව පාඨකයන් තේරුම් ගත යුතුයි. ජ්‍යොතිෂයෙන් කළ හැකි වැඩද බැරි වැඩද තිබේ.   


උදාහරණයක් ලෙස 2020 කවුරුන් බලයට පත්වේදැයි අපෙන් ඇසුවාට ජ්‍යොතිෂයෙන් එයට පිළිතුරු දිය නොහැකිය. නමුත් යමෙකු යම් පුද්ගලයකු අරමුණු කරගෙන බුලත් තබා අදාළ පුද්ගලයා දිනයිද පරදීද යන්න විමසුවහොත් එම අවස්ථාවට උදාවූ තත්කාල ලග්නය හා එහි ග්‍රහ පිහිටීම් පදනම් කරගෙන ජය පරාජය පිළිබඳ ප්‍රකාශයක් කළ හැකිය. එසේ නොමැතිව නම් ගම් ඇතුව මොහු දිනයි. මොහු පරදියි. 2020 බලයට පත්වන්නේ මොහුය යනුවෙන් දක්වන අදහස් ජ්‍යොතිෂ අනාවැකි නොවේ. නමුත් පොදුවේ රටේ දේශපාලනයේ ඇතිවිය හැකි වෙනස්කම් හැලහැප්පීම් රටේ කේන්ද්‍රය මූලික කරගෙන පරිණත ජ්‍යොතීර්වේදියකුට ප්‍රකාශ කළ හැකිය. 

 
කුමන අරමුණකට හෝ ජ්‍යොතිෂය භාවිත කොට පලාපල කීමේදී ප්‍රධාන කරුණු තුනක් දෙස අවධානය යොමු කළ යුතුයි. පළමුව ජන්ම ග්‍රහ පිහිටීම හෙවත් මුල් කේන්ද්‍රයේ පිහිටීම් ගැන අවධානය යොමු කළ යුතුයි. දෙවනුව එම කේන්ද්‍රයට අනුව ගතවන දශා සහ අන්තර් දශා පිළිබඳව අවධානය යොමු කළ යුතුය. තුන්වනුව එම මූලික කේන්ද්‍රයට සාපේක්ෂව වත්මන් හෝ ඉදිරි ග්‍රහ ගමන ගැන විමසා බැලිය යුතුයි.   


මෙම සියලු කරුණු නොවිමසා රටකට හෝ පුද්ගලයකුට කියන පලාපල සත්‍ය නොවේ. නිදහස ලැබුණු අවස්ථාවේ යොදාගත් තත්කාල නැකත නැකැත් ශාස්ත්‍රයට අනුව දුර්වල එකක් නොවේ. එම කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නගතව බුධ සිකුරු තබා රාජ්‍යස්ථානය හෙවත් 10 වැන්නේ සඳු ගුරු යන ග්‍රහයන් සිටින ලෙස සකස් කොට ඇත. එමෙන්ම අට වැන්නේ පාප ග්‍රහයින්ගෙන් තොර වන ලෙස නැකත යොදා ගැනීම එම නැකත සෑදූ ජ්‍යොතීර්වේදියාගේ පරිණත බව කියාපානු ලබයි. එදින පැවති හොඳම ග්‍රහ පිහිටීම ඔහු එම නැකතට යොදාගෙන තිබේ.   


නමුත් මෙම ශ්‍රී ලංකා කේන්ද්‍රයට අනුව ලග්නාධිපති ශනි සිටින්නේ 6 වැන්න හෙවත් සතුරු ස්ථානයේ දුර්වලවය. එමෙන්ම ලග්නය පාප ග්‍රහයන් දෙදෙනෙකුගේ දෘෂ්ටියට ලක් වේ. එමගින් කියාපානු ලබන්නේ ශ්‍රී ලංකා රජයේ දේශපාලන ගමන බොහෝ බාධක හා දුෂ්කරතාවන් ගෙන් යුක්ත බවයි. සැබවින්ම ගතවූ වසර 70 තුළ එම විපාක අප හොඳින්ම අත්විඳ ඇත. මෙම අයහපත් විපාකද හැමදාම එකසේ ලැබෙන්නේ නැත. දශා සහ ග්‍රහ ගමන අනුව ඒවා අඩු වැඩි වශයෙන් වෙනස් වෙයි.   


මේ වනවිට ශ්‍ර්‍රී ලංකා රජය ගෙවන්නේ රාහු මහ දශාවේ රාහු අන්තරයයි. එය 2020 අප්‍රේල් දක්වා පවතී. රාහු ඔළුව නැති ග්‍රහයකු බව ජ්‍යොතිෂය නොදන්නා අයද දන්නා කරුණකි. එමෙන්ම පාප ග්‍රහයකු වන රාහු චර රාශියක සිටින විට ඔහුගේ ක්‍රියාකාරීත්වය වඩාත් ප්‍රබල වේ. රාහු නිතර වෙනස්කම් ඇති කරන ග්‍රහයෙකි. එහෙයින් ගතවන දශාවන්ට අනුව රජය පිස්සු නැටීම, රාජ්‍ය නායකයන් පිස්සන් ලෙස ක්‍රියා කිරීම ගැන පුදුම විය යුතු නොවේ.   


​ෙමවන් කාල වකවානුවල ඔවුන්ට කළ යුතු දේ නොකළ යුතු දේ නොවැටහෙයි. එමෙන්ම උපදෙස් ගන්නේද නොසුදුසු පුද්ගලයන්ගෙන්ය. දැනට ගත වන දශා අධිපති රාහු ශ්‍රී ලංකා කේන්ද්‍රයේ 6 වැන්නේ සතුරුව ගමන් කරන නිසා විපාක වඩාත් අහිතකර ලෙස පිරිනමනු ලබයි.   


මෙම තත්ත්වය 2020.04 වන මාසය දක්වා පවතිනු ඇත. යම් යම් ජ්‍යොතීර්වේදීන් පසුගියදා සිදුවූ ගුරු මාරුව මෙම දේශපාලන විපර්යාස කෙරෙහි ඈඳුවත් එය සම්පූර්ණ සත්‍ය නොවේ. මෙම දේශපාලන වාතාවරණයට වැඩිපුර බලපා ඇත්තේ පවතින දශා සහ ග්‍රහ ගෝචරයයි.   


වත්මන් ග්‍රහ ගමන ශ්‍රී ලංකා ලග්නයට අනුව විමසා බලනවිට ලංකා කේන්ද්‍රයේ ශනි ගමන් කරන්නේ 11 වැන්නෙහිය. එය අයහපත් ග්‍රහ ගමනක් නොවන නමුත් රාජ්‍ය කේන්ද්‍රයේ සඳු සිටි තැනින් 12 වැන්නේ සෙනසුරු ගමන් කිරීම ඒරාෂ්ටකයකි. මේ ගෙවෙන්නේ එම ඒරාෂ්ටකයේ අවසාන කාලපරිච්ඡේදයයි. 2020 ජනවාරි දක්වා මෙම සෙනසුරු ඒරාෂ්ටකය ලංකාවට බලපානු ලැබේ. ලංකා කේන්ද්‍රයේ 12 වැන්නේ කේතු දුබලව ගමන් කිරීමද රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගැටලු ඇති කරන පිහිටීමකි.   


එහෙයින් වත්මන් ග්‍රහ චාරය ශ්‍රී ලංකාවට යහපත් නැත. මෙම සියලු කරුණු දෙස බලනවිට 2019 මාර්තු පසුවන තෙක් දේශපාලන වශයෙන් ස්ථාවර බවක් දැකිය නොහැකිය. කවුරු බලයට පත්වුවත් දේශපාලන අර්බුද නොකඩවා පවතී. 2019 මාර්තු වලින් පසු මෙම තත්ත්වය තරමක් යහපත් අතට හැරෙන නමුත් 2020 ජනවාරි පසුවන තෙක් රට ස්ථාවර වන්නේ නැත. දේශපාලන නායකයන්ට මෙන්ම ජනතාවටද නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවේ.   


2020 සිට රටේ දේශපාලන ගමන් මග වෙනස්වෙයි. දැනට දේශපාලනයේ සිටින හොරුන්ට, වංචාකාරයන්ට පක්ෂ පාට භේදයකින් තොරව ගෙදර යන්නට සිදුවේ. ජ්‍යොතිෂයට සාධක අනුව 2020 වනවිට ප්‍රබල දේශපාලන නායකයකුට මරණය ගෙනදීමට කටයුතු යෙදෙයි. දැනට පවතින අයහපත් දශාද ඒරාෂ්ටක තත්ත්වයද 2020 මුල් මාස කිහිපය තුළ නිමාවට පත්වේ. එතැන් සිට රට නව දේශපාලන ගමන් මගකට හැරෙයි. එය මා හඳුන්වන්නේ අලුත් යුගයක ආරම්භය ලෙසයි. එතෙක් ඔබටත් මටත් ඉවසා සිටින්නට සිදුවේ.   
පවතින දේශපාලන වාතාවරණය ඉදිරියටත් යහපත් නොවන බැවින් මහජනතාව ඉතා ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම දේශපාලන කටයුතුවලින් ඈත් වී සිටීම වඩාත් යහපත් වනු ඇත. 2020 සිට නව නායකයකු රට මෙහෙයවනු ඇත.   

 


වාස්තු විද්‍යා උපදේශක ජ්‍යොතිෂාචාර්ය   
අනුරාධ පෙරේරා