රට යන්න ඔබට වාසනාව තිබේද ?


 

විවෘත ආර්ථික ජීවන රටාව තුළ මිනිසා විවිධ අරමුණු සඳහා විදෙස් සංචාරවල යෙදෙයි. බොහෝ දෙනා ගමන් බිමන්වල යෙදෙනුයේ ඵලදායී කාර්යයන් ඉටුකර ගැනීමේ චේතනාවෙනි.   


විනෝදය, විවේකය, අධ්‍යාපනය, ආගමික කටයුතු, රැකියා, වෙළෙඳ කටයුතු ආදී කාර්යයන් සඳහා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සංචාරයන්හි යෙදෙන අවස්ථා දක්නට ලැබේ. ලොව මූල්‍යමය ශක්තිය ගොඩනගා ගැනීම පිණිස මිනිසා විවිධ ක්‍රම භාවිත කරයි. විදේශගතවීමද ඉන් එක් ක්‍රමයකි. ඇතැම් පිරිස් රැකියා සඳහා මැදපෙරදිග සහ යුරෝපා රටවල යාමට ප්‍රවණතාව වැඩිවෙමින් පවතී.   


විදේශ ගමන් අතරින් විශේෂයෙන් රැකියා සඳහා පිටරට යන ඇතැම් අයව අනපේක්ෂිත කරදර බාධකයන්ට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා දක්නට ලැබේ. මේ අතර අපේක්ෂිත අරමුණු ඉටු නොවී සියරට පැමිණෙන අයද සිටිති. විදේශ රටකට යාම මානසික සතුටක් වුවද මැදපෙරදිග වැනි රටවල රැකියාවලට යාම ලෞකික ජීවිතයේ නොයෙකුත් අඩුපාඩුකම් සම්පූර්ණ කර ගැනීමේ අරමුණු මත ක්‍රියාත්මක වන අතර එම ගමන් තරමක සංවේදී මෙන්ම අභියෝගාත්මක වේ.   


මේ අතර ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම් ලබන රටවල ජීවත් වන උගත් බුද්ධිමත් තාක්ෂණ ශිල්පීන්, විශේෂඥ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් තමාගේ උගත්කමේ දක්ෂතාවලට සරිලන වැටුපක් ලබාගැනීමේ අරමුණින් විදේශගත වෙයි. මේ අතර තවත් පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙයි.   


මෙම ජන කොටස්වලින් සීමිත සංඛ්‍යාවක් යම් යම් හේතූන් මත ඒ ඒ රටවල අතරමංවීම, බන්ධනාගාර ගතවීම වැනි දේ අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබේ. මේ සෑම දේටම වඩා කණගාටුවකට කාරණය වී ඇත්තේ සමහරුන් විවිධ වධහිංසාවන්වලට භාජනය වීමයි.   


යම් පුද්ගලයෙකුට අදාළ මෙම සියලු ස්වභාවයන් සහ විදේශගතවීමේ ශුභ අශුභ තාවයන් ජන්ම කේන්ද්‍ර පරීක්ෂාව තුළින් අනාවරණය කර ගත හැක. එහිදී උත්පත්ති ග්‍රහ පිහිටීම් දශා අනුදශා කාල නියමයන් සහ ගෝචර ගමන් ආදී සාධක ඔස්සේ විමර්ශනාත්මක විග්‍රහයක යෙදිය යුතුවේ. මේ අනුව විදෙස්ගතවීමට යෝග්‍ය කාලවකවානු නිශ්චය කරගත හැකිය.   


එ් අනුව සමස්ත කේන්ද්‍රගත ග්‍රහ බලපෑම විදේශ සංචාර කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ යුතුය. මෙහිදී කටක රාශිය විශේෂ වන්නේ එය ජල රාශියක්ද වන බැවිනි. උභය රාශි වන මිථුන, කන්‍යා, ධනු සහ මීනද විශේෂයෙන් රාශි චක්‍රයේ 9 වැන්න වන ධනු සහ 12 වැන්න මෙන්ම ජල රාශියක් වන මීනද විශේෂ වේ.   


ජල රාශියක් මෙන්ම තිර වර්ගයකට අයත් වෘශ්චිකයද විදේශ ගමන් පිළිබඳව පරීක්ෂා කිරීමේදී වැදගත් වේ. සුභ තත්ත්වයේ පිහිටි 9 වන භාවය සහ ලග්න භාවය ඇති කේන්ද්‍ර හිමියාට විදේශ ගමන් හිමිවීම මෙන්ම එමගින් සාර්ථක බව ධන ලාභ සහ ජන්ම පත්‍රයේ පිහිටීම් අනුව ප්‍රසිද්ධිය ද හිමිවේ.   


ලග්නය, තුන්වැන්න, හත්වැන්න හා දසවැන්න, අධිපතීන්, චර රාශිවල සිටීම, ලග්නය හා 12 වැන්න අධිපතීන්, රාහු සමග සංයෝග වීම නොඑසේ නම් රාහු එම භාවවල තැන්පත් වීම විදේශ ගමන් සඳහා වැඩි නැඹුරුවක් පෙන්වන පිහිටීම් වේ.   


විදේශ ගතවීමේ අරමුණ ඒ ඒ ග්‍රහයින්ගේ නිවේදකත්වයන් තුළින් අනාවරණය වේ. යම් ජන්මියෙක් විදෙස් ගතවන්නේ අධ්‍යාපනික හෝ ශාස්ත්‍රීය අරමුණක් සඳහා නම් සිවුවැන්න පස්වැන්න සහ කාරක බුධ ඉහත සඳහන් කළ භාවයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සමග යහපත් අයුරින් සම්බන්ධතා තිබීම අවශ්‍ය වේ.   


බුධ, මේෂ, කටක, තුලා, මකර වැනි චර රාශියක සිටියහොත් ජන්මියා විදේශයකට යාමට ආශා කරයි. මෙය බොහෝ විට අධ්‍යාපන කටයුතුවලට අදාළ වෙයි.   


එමෙන්ම ව්‍යාපාර අරමුණු සඳහා විදෙස් ගතවන අයගේ දසවැන්න හා එහි අධිපතීන්ගේ නිවේදකත්වය ප්‍රබල අයුරින් ක්‍රියාත්මක වේ. මෙම කටයුතු සාර්ථක වීම සඳහා ආදායම් සහ ලාභ තත්ත්වයන් නිවේදනය කරන එකොළොස් වෙනි භාවයේද ශුභදායක දායකත්වයක් අවශ්‍ය වේ. රජයේ අනුග්‍රහයෙන් රැකියා සම්බන්ධ වැඩිදුර පුහුණුවක් වැනි අවශ්‍යතාවන් සඳහා නම් දසවැන්න එහි අධිපති රවි සහ බුධද බලවත් විය යුතුය.   
විදේශගතවීමට ජන්ම පතක 9 වැන්න හා 12 වන භාවය යන භාව දෙකම කුමන ආකාරයකින් හෝ රාහු ගුරු යන ග්‍රහයින්ගේ සම්බන්ධයකුත් තිබිය යුතුය යන්න මූලික ජ්‍යොතිෂ්‍ය නියමයකි.   


මීට අමතරව විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව දායක වන්නාවූ ග්‍රහයින් සංයෝග හා දෘෂ්ඨීන් ආදිය අවධානයට ලක්කිරීමද අවශ්‍ය වේ. අනෙක් අතට රාහු සහ ශනි යන ග්‍රහයින් සඳු මත ගමන් කරන වකවානුවලදී විදේශ සංචාරයන්වල යෙදීමෙන් අනර්ථකාරී විපාක ඇති විය හැක. පාපී ග්‍රහයින් අයත් දශා අනුදශා කාලවලදී මෙම තත්ත්වය වඩා අයහපත් විය හැක.   


ගුරු 9 වැන්නේ සිටීම පිටරට ගමන්වලට හොඳම ග්‍රහයාය. මේෂ ලග්නය වී ගුරු 9 වැන්නේ වුවහොත් එම ජන්මියා පිටරට ගොස් හොඳ ආදායමක් ලබයි.   


රාහු 12 හෝ 8 වැන්නේ බලවත් වීම   


4 වන භාවය සහ එහි අධිපති 12 වන භාවයේ බලපෑමට හසුවීම ​හෝ 12 පිහිටීම ඇති විට එම ජන්මියාට ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් විදේශගතව ජීවත් වීමට හැකි වේ.   


ලග්නාධිපති 12 පිහිටීම 12 අධිපති හා සංයෝග වීම හෝ 12 අධිපති ලග්නයේ පිහිටීම ඇති විට ජන්මියා විදේශ රටක නිවාස පිහිටීම හා එහි පදිංචිය පෙන්වයි.   


තවද 12 අධිපති 1, 4, 5, 7, 9, 10 යන ස්ථානයක පිහිටීමද විදෙස් ගතවීමේ ලක්ෂණයකි.   


කේන්ද්‍රයක 4 වැන්නෙන් තමාගේ උපන් බිම පෙන්වන අතර එහි අධිපතිය තැන්පත් ග්‍රහයා හා පීඩා වී ඇති නම් උපන් බිමෙහි වැඩි කලක් ජීවත් නොවේ.   


ලග්නාධිපති සිටින රාශියෙන් 12 වැන්න අධිපතියා සතුරුව නීචව හෝ දුර්වලව සිටී නම් ඔහුට යාමට සිදුවන්නේ නොදියුණ රටකටය.   


1, 7, 9, 12 යන ස්ථානයන්ගේ අභියෝග සබඳතා පරිවර්තනය පිහිටි අයද ඥාති සබඳතාවයකින් හෝ රාජකාරි හේතූන් නිසා විදෙස් ගමන් යොදා ගනී.   


වංචනිකයින්ට හසුවීම් හෝ මාස ගණන් කල් ප්‍රමාදවීම්වලට ලක්වන්නේත් අ​ෙත් තිබෙන දේ නැතිකරගෙන දුක් සුසුම් හෙලන්නට සිදුවන්නේත් උත්තේජ කේන්ද්‍රගත ග්‍රහ බලය විදෙස් ගමන් සඳහා බලාත්මක නොවන විටය.   


කිසියම් කාර්යයන් සඳහා විදේශගතවීමට පෙර ඒ සඳහා අවස්ථාවක් ලැබේද. නොලැබේද යන්නත් එමෙන්ම එම ගමන ශුභද අශුභද යන්නත් දක්ෂ ​ෙජ්‍යාතිර්වේදියෙකු ලවා පරීක්ෂා කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. ඇතැම් විට එවැනි බලාත්මක ග්‍රහ පිහිටීම් තිබුණද ජන්මියා ගත කරන දශා අන්තර් දශා කාල විදෙස් ගමන් සඳහා යෝග්‍ය නොවේ නම් එම අරමුණු ඉෂ්ඨ කරගැනීමට යාමේදී බාධා ප්‍රමාද වීම් ඇතිවේ.   


මේ නිසා විදෙස් ගතවීමට පෙර සමස්ත කේන්ද්‍ර ගත ග්‍රහ බලය මැනවින් විග්‍රහ කරගැනීම නුවණට හුරුවේ.   

 

 


ජ්‍යොතිර්වේදී   
තුෂාරා වික්‍රමසිංහ   
317 දාගොන්න (වැව පාර) මීගමුව.