රජු මරා බලය අල්ලන්න හැදූ මොළදණ්ඩේ කුමන්ත්‍රණය


සියමෙන් හාමුදුරු නමක් ගෙන්වා බණ කියන ගමන් රටේ රජතුමා මරා දමා රාජ්‍ය පැහැර ගැනීමට භික්ෂූන් වහන්සේලා හවුල්වී කළ ලක්දිව ප්‍රථම කුමන්ත්‍රණය ‘‘මොළ දණ්ඩේ කුමන්ත්‍රණය’’ යි.  


 මෙම කුමන්ත්‍රණයට හවුල් වී හිරේ ගියේ එසේ මෙසේ අය නොවේ. ලංකාවේ අවසාන සංඝරාජ, අසරණසරණ පිණ්ඩපාතික වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන් වහන්සේ සහ මල්වත්ත විහාරයේ තිබ්බොටුවාවේ සිද්ධාර්ථ හිමියෝය. එක් අයකු හිස ගැසුම් කෑවේය. තුන් දෙනෙකු උලතබා මැරුවේය.  


 හාමුදුරුවරු දෙනමක් හිරේ ගියහ. ඒ වසර 260කට පෙරයි. එනම් 1760 වර්ෂයේය. මේ සිදුවීම අපේ රාජාවලිය ඇතුළු ඉතිහාස පොත්වල සඳහන්ව ඇතත් හොඳම විස්තරය ලියා ඇත්තේ සැමුවෙල් ලැනරෝල් ලියූ CEYLON ANTIQUARY AND LITERARY RIGISTER (VOLUNii පිටු 272, 73, 74) නමැති ග්‍රන්ථයේය. ඔහු එවකට රජවාසල අප්පුහාමි කෙනෙකි. පසුකලෙක බෝමිරියට ආවේය. L.S. දේවරජා ලියූ THE KINDAM OF SRILANKA (1707-1782) නමැති ග්‍රන්ථයේද මොළදණ්ඩේ කුමන්ත්‍රණය ගැන විස්තර සඳහන්ව තිබේ.  
 මොළදණ්ඩේ කුමන්ත්‍රණය ලෝකයට ගියේ සී.ඊ. ගොඩකුඹුර මහතා ලියූ ‘‘ශාසනාව තීරණ වර්ණනාවෙනි. එහි මුල් පිටපත බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අදත් දැකිය හැකිය.  
 කුණ්ඩසාල කුමාරයා හෙවත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1706-1739) සිංහල රජ පෙළපතේ අවසාන රජතුමා විය. ඔහු අවුරුදු තිස්තුනක් සෙංකඩගල නුවර සමාදානයෙන් රාජ්‍යකොට කාලක්‍රියා කළේය.  


 ඉන්පසු උඩරට රජකම හිමිවූයේ නායක්කර් වංශිකයන්ටයි. දකුණු ඉන්දියාවේ මදුරයි ප්‍රදේශයට අයත් නායක්කර්වරු මුස්ලිම් ආක්‍රමණ නිසා කොරමැන්ඩල් වෙරළබඩ ප්‍රදේශයේ පදිංචි වූ ප්‍රදේශ පාලකයෝ වූහ. මේ පවුල් හා විවාහ සබඳකම් ඇතිකර ගැනීම 17 වැනි සියවසේ උඩරට රාජවංශ ඉතිහාසයේ දක්නට ලැබුණ දෙයකි. සිංහල රජ පෙළපතේ අවසාන රජු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුද මදුරාපුර නායක්කර් වංශයේ කුමාරියක් බිසව කොටගෙන සිටියේය. ඒ බිසවගේ බාල සහෝදරයෙක් රජුගේ ඇවෑමෙන් ශ්‍රී විජය රාජසිංහ නාමයෙන් රජ විය. ඔහුගෙන් පසුව රජකමට පත්වුණේද කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1780) නමැති නායක්කර් කුමාරයෙකි.  


 නරේන්ද්‍රසිංහ රජතුමා මෙසේ වඩුග ජාතිකයෙකු ලංකාවේ රජකමට ගෙන්වා ගත්තේ තමාගෙන් පසු රජය භාරදීමට සුදුසු සිංහලයෙකු නැති නිසාය. ඔහු එසේ කළේ තමන්ට හිතවත් ඇමැතිවරුන්ගේත්, එවකට සාමනේරව සිටි වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ අනුමැතිය ඇතිවය. ඔහු ලංකාවට ගෙන්වා ධර්ම ශාස්ත්‍රය ඉගැන්වීමට බාරදුන්නේ සරණංකර සාමනේර හාමුදුරුවන්ටයි. ඒ ගැන ‘‘මන්දාරම්පුර’ පුවතේ මෙසේ සඳහන් වේ.  


 රජ සිරි ලැබිය යුතු දූ දරු නැති බැවින  
 හෙරණිඳු සහ ඇමැතියන් අදහස් ලෙසින  
 මදුරාපුර පිරිසිදු රජ කුලෙන් එන  
 සිය මෙහෙසිය සොහොවුරු පින් ගුණ නැණින  


 මන්දාරම් පුවත (ක්‍රි.ව. 1647-1702) යනු සෙංකඩගල රජ සමයේ ලියවුණ නව ඉතිහාස කාව්‍යයකි. සීතාවක රාජසිංහ රජුගේ කාලයේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා රාජ්‍යයේ නොයෙක් ඉතිහාස තොරතුරු මෙහි ඇත)  
 මොළදණ්ඩේ කුමන්ත්‍රණය සිදුවූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලයේදී (1760) ය. කුමන්ත්‍රණයේ නිමිත්ත කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මරා දමා වෙන අයෙකු රජකරවීමයි.  
 කුමන්ත්‍රණකාරයෝ ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ වැලිවිට සරණංකර හිමි, මල්වත්තේ තිබ්බොටුවාවේ හිමි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ උප අගමැති සමනක්කොඩි (මේ නම කොටගම වාචිස්සර හිමියන් ලියූ ‘‘සරණංකර සංඝරාජ සමය’’ නමැති ග්‍රන්ථයේ ඇත්තේ සමරක්කොඩි අදිකාරම් කියාය. පිටුව 184) කඩුවෙලරාල, මැටින්පොල දිසාවේ ආදීහු ප්‍රධාන කොටගත් පිරිසකි. කුමන්ත්‍රණයේ නායකත්වය දැරුවේ මොළදණ්ඩේ ගජනායක නිලමේ තුමාය. මෙය මොළදණ්ඩේ කුමන්ත්‍රණය ලෙස හැඳින්වූයේ ඒ නිසාය.  
 මේ පිරිස කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මරාදමා සිහසුනෙන් පළවා හැරීමට කටයුතු කළේ කාලයක් තිස්සේ සිටයි. ඔවුහු තැන තැන සාකච්ඡා කළෝය. වරෙක මල්වත්තේ පංසලේද තව වරෙක පිට පළාත්වලද මේ රහස් කතාබස් සිදුවිය. කෙසේ වෙතත් මල්වත්ත විහාරය කුමන්ත්‍රණයේ මූලස්ථානය විය. සමරක්කොඩි අදිකාරමත් තිබ්බොටුවේ නාහිමියන්ගේ ඥාතීන් වීම මෙහි තවත් විශේෂයකි.  


 මෙම කුමන්ත්‍රණය පිළිබඳව කොටගම වාචිස්සර හිමියන් ලියූ ‘‘සරණංකර සංඝරාජ සමය’’ පොතේ මෙසේ සඳහන්ව ඇත.  


 ‘‘... කිත්සිරි රජු බෞද්ධයෙකු වුවත් ද්‍රවිඩ චාරිත්‍රයට අනුව නළලෙහි අළුගෑම අතහැරියේ නැත. මේ ගැන නොසතුටට පත් සමරක්කොඩි අදිකාරම සහ මොළදණ්ඩේ ගජනායක නිලමේද මල්වතු විහාරයේ ඇතැම් භික්ෂූන් රජුට විරුද්ධව පෙළඹවීමෙහි සමත් වූහ. (මොළදණ්ඩේ විප්ලවය – (CEYLON ANTIQUARY.P272) සියම් භික්ෂූන් මෙරට උපසම්පදාව පිහිටුවා අට වැනි අවුරුද්දේ එනම් 1760 දී කිත්සිරි රජු මැරවීම සඳහා මොවුහු කුමන්ත්‍රණයක් කළහ. ඒ කුමන්ත්‍රණයේ අදහස වූයේ කිත්සිරි රජු මරවා සියමෙන් පැමිණි රාජවංශික භික්ෂුවක සිවුරු හැරවා සිරිලක සිහසුනට පත් කිරීමයි. මේ සියම්රාජ භික්ෂුව මෙහි ගෙන්වීමට ලන්දේසීන්ද උදව් වූහ යැයි සමහර ඉතිහාසඥයෝ සලකති. (ඉන්දා සහ චරඤාණ චරිතය 92 පිට) ‘‘ශාසනාවතීර්ණ වර්ණ’’ නම් තත්කාලීන ඉතිහාස ග්‍රන්ථයෙහි විස්තර වන අයුරු එය සිදු වී තිබෙන්නේ මෙසේය.  


 සියමෙන් විදර්ශනාචාර්යවරයෙකු ගෙන්වා ඇති බව ප්‍රසිද්ධ කොට ගෙනෙන ලද දහම්පොත් සතර වීදියේ පෙරහරින් වැඩමකොට උන්වහන්සේගේ ධර්මදේශනය අසනු පිණිස රජුටද ආරාධනා යවන ලදී. මෙසේ කිරීමෙන් පසු පෝය ගෙයි ගැඹුරු බොරු වළක් කණවා එහි උල් සිටුවා රජු පැමිණි පසු එහි වැටෙන සේ කටයුතු සලසන ලදී. ඒ දුෂ්ට පිරිස අදහස් කළේ රජු වැටුණයින් පසු ඔහු වසා පස් දැමීමටය.  


 අස්ගිරි විහාරයේ යටවත්තේ නමැති නායක නමකට මෙය දැන ගන්නට ලැබිණි. ඒ තෙරණුවෝ සිවුරු හැර රජ ගෙදරට ගොස් ගෝපාල මුදියන්සේ නමැති රජගෙදර සිටි මුස්ලිම් මෙහෙකරුට මේ බව රහසින් දැන්වූහ. රජුට මෙය දැනගන්නට ලැබුණේ ඔහුගෙනි.  
 (CEYLON ANTIQUARY P272)  


 ශාසනාවතීර්ණ වර්ණාවෙහි පිලිමතලාවේ නම් නිලමෙවරයෙකු රජුට මේ බව දන්වා සිටි බව පැවසේ. රජතුමා මේ ගැන දැන දැනත් මල්වත්තේ විහාරයට ගොස් බොරුවළ තිබෙන තැන ඉදිරිපිට සිටගෙන ධර්ම දේශනාව අවසන් වනතුරුම එය අසා පිරිකරද පූජා කළේය. එයට පසු තමා අත තිබුණ ජයකොන්තයෙන් බොරුවලට ඇන්නේය. ලැබුණ ආරංචිය සත්‍ය බව දැන රජ වාසලට ගිය කීර්ති ශ්‍රී රාජසිංහ රජ වැලිවිට සඟරජුන් ඇතුළු මල්වත්තේ නායකවරුන්ද රදල මුදලිවරුන්ද රජු ඉදිරියට ගෙන්වීය. එයට පසු එතුමා වැලිවිට මාහිමියන්ගෙන් පින්කමෙහි තොරතුරු විචාලේය.  
 (ශාසනාවතීර්ණ වර්ණනාව)   
සඟරාජ හිමියෝ නිහඬව සිටියහ. රජතුමා යළිත් ප්‍රශ්න කළේය. උන්වහන්සේ රජුගෙන් බේරුමක් නැති බව දැන ඒ පින්කම ගැන දන්නා බව පැවසූහ. ‘‘...එසේ නම් මට ඒ බව කලින් නොදැන්නුවේ මන්ද?..’’ යැයි කෝපයෙන් ඇසුවේය.  
 සරණංකර මාහිමියෝ රජුට සිය ඇඟිල්ල පෙන්නා මෙසේ කීහ.  


 ‘‘...දේවයිනි මගේ මේ ඇඟිල්ලේ නිය පිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි සිටින පණුවා මැරෙන හෙයින්ය. මම ඒ තරම්ම පර පණ නැසීමට බිය ඇත්තෙමි. ඉතින් මම මේ සිද්ධිය ගැන ඔබට දැන්වී නම් ජීවිත කීයක් වැනසෙන්නට තිබුණේද...’’ මෙසේ කියා සඟ රජුන් නැවතුණ විගස ම කිත්සිරි රජ කතා කරමින් ‘‘...එසේ නම් මා මැරුණොත් හොඳද..‘‘ යි ඇසීය. නිරපරාද සරණංකර සංඝරාජයාණන් වහන්සේ ‘‘...නොකී නිසා එයට මට වැරැද්දක්... නැතැ...’’ යි කියා සැළ කළහ.  
 රජතුමා නැවතත් ප්‍රශ්න කරමින් ‘‘...එවිට තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳද...’’ යි කී සඟ රජුහු නිහඬ වූහ. කෝපයෙන් දිලිහුණු රජ ‘‘...වැලිවිට කණා සස්නෙ වවනවා... කියා ලෝක ශාසන දෙකම නසාපි...’’ කියා සඟරජුන් සිර කරන්නට නියම කළේය.  


 මේ කුමන්ත්‍රණයේ වරදකරු වශයෙන් සැලකුණ සරණංකර මා හිමියන් දුම්බරද තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධ රක්ඛිත හිමියන් කුරුණෑගල සිරකොට තැබූ බවද මොළදණ්ඩේ විප්ලවය ජොන්ස්ටන් නම් ඉංග්‍රීසි ජාතිකයෙකු සපයන ලද ලියුමක සඳහන් වේ. (CEYLON ANTIQUARY P.272) ඒ ලියුම්කරුගේ විස්තරය අනුව නම් මේ කෙරෙන්නට ගිය කුමන්ත්‍රණයේ නායකත්වය දැරුවෝ වැලිවිට සංඝරාජ හිමියෝද තිබ්බොටුවාවේ සිද්ධාර්ථ හිමියෝද වෙති. එහෙත් ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් සත්‍යයැයි පිළිගත නොහැකි බව කොටගම වාචිස්සර හිමි ‘‘සරණංකර සංඝරාජ සමය’’ ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. (පිටුව 186).   


 කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බොරු වළක වට්ටවා උල්ගොඩක අමුණවා මරවන්නට තැත් කළ මොළදණ්ඩේ ගජනායක නිලමේ (රටේ රාල) කඩුවෙල රාල, මැටිහස්පොල දිසාවේ යන රදළවරුන් උලසිටුවා මැරවීය. සමරක්කොඩි (සමනක්කොඩි) අදිකාරමේ හිස ගස්සවා දමා මැරෙව්වේය. මේ බව රාජාවලියේ සඳහන්ව තිබේ.  
 අග්‍රවිනිශ්චයකාර සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් (1811-1818) ලිපිගොනුවේද (NO10) මෙම කුමන්ත්‍රණය ගැන විස්තරාත්මකව සටහන් කර තිබේ. එවකට තිබූ ඕලන්ද ලියකියවිලිවලද මොළදණ්ඩේ කුමන්ත්‍රණය හා එහි රහස් සාකච්ඡාවල සටහන් දක්නට හැකිය. ලංකාවේ පිට පළාත්වල පන්සල්වල වැඩ විසූ සංඝයා වහන්සේලා විශාල පිරිසක් මෙම කුමන්ත්‍රණයට සම්බන්ධකම් පැවැත්වූ බව සඳහන් වුවත් උන්වහන්සේලාගේ නම් ගම් සඳහන් වී නොමැත.  


 කීර්ති ශ්‍රී රාජසිංහ රාජසිංහ රජතුමා මරාදමා ඒ වෙනුවට රජ කරන්නට සූදානම් වූයේ සියමේ රජපෙළපතේ කුමාරයෙකි. ඔහුගේ නම ‘‘ක්‍රොම් මු එන් ටෙප් පිපිට්) (CROM MUEN TEP PIPPIT) ය. මේ සියම් කුමාරයා එවකට සියමේ රජු වශයෙන් සිටි බොරොන්කොට් (BRON KOT 1732-1758) රජතුමාගේ දෙවැනි බිසවගේ දරුවෙකි.  
 මේ කුමන්ත්‍රණය පිළිබඳ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පියා වන නාරණප්පා නායක්කාර්ටද සැළවී තිබුණි. අස්ගිරි විහාරයේ වැඩසිටි නායක හාමුදුරුවන් කෙනෙකුට කුමන්ත්‍රණය සැලවූ ගමන්ම උන්වහන්සේ මේ පුවත රජුට සැලකිරීමට ගියේ සිවුරු හැර දමමිනි. සැමුවෙල් ලැනරෝල්ගේ C.A.L.R ලේඛනයේ සඳහන් වන්නේ මෙම නායක ස්වාමීන් වහන්සේ හුලංගමුවේ හාමුදුරුවෝ ලෙසටයි.  


 මොලදණ්ඩේ ගජනායක නිලමේට අයත්ව තිබූ සියලු දේපළ රාජ සන්තක කොට, රජතුමා ඒවා මේ ඔත්තුව ගැන මුලින්ම දැන්වූ පරකුඹුරේ රාජකරුණා වෛද්‍යතිලක ගෝපාල මුදලියාර් නමැති මරක්කල තැනැත්තාට සහ ඔහුගේ දරු මුණුපුරු පරපුරටම ලබාදුන්නේය.  


 ලන්දේසීන්ගේ ආධාර ඇතිව සියමෙන් ගෙන ආ භික්ෂූන් වහන්සේලාට හා රජකරවීමට සිවුරු පොරවාගෙන ආ ක්‍රොම් ඩු එන් කුමාරයාටද රජතුමා දඬුවම් කිරීමට සූදානම් වුවත්, මීගස්තැන්නේ නිලමේ මැදිහත් වී එය වැළැක්වූයේය. එහෙත් ඔවුන්ට මහනුවර වාසය කිරීමට ඉඩ නොදී පන්නා දැමූ බව සඳහන් වේ. ඔවුන් බොහෝ දෙනෙකු දළුක් කිරී බී මියගිය බව ‘‘ශාසනාව තීර්ණයෙ’’ සඳහන් වේ.  


 (ගොඩකුඹුරේ සංස්කරණය පිටුව11)  


 ‘‘ශාසනාව තීර්ණ වර්ණනාව’’ ලියුවේ සී.ඊ. ගොඩකුඹුර (1907-1977) මහතායි. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කලක් සේවය කළ එතුමා පොත් විශාල සංඛ්‍යාවක් ලියා ඇත. SINHALA LITERATURE නමින් සිංහල සාහිත්‍ය ඉතිහාසයද ලියූ මෙතුමා කිරළ සංදේශය හා තිසර සංදේශය ශෝධනය කර ඇත. පනාපිටිය අම්බලමේ කැටයම්, මැදවල විහාරයේ බිතුසිතුවම්, සිංහල උළු, බුදු පිළිම, මුරගල් ආදී එතුමා ලියූ පුරා විද්‍යාත්මක පොත් අදද දක්නට ඇත.  


 මෙතුමා ලියූ ශාසනාතීර්ණ වර්ණනාවේ ‘‘මොළදණ්ඩ කුමන්ත්‍රණය’’ පිළිබඳ තොරතුරු රාශියක් තිබේ. බුදු සමය සම්භව​ කොට ඇති සංක්ෂිප්ත එක් කිරීම නිකාය සංග්‍රහයයි. ශාසනයට බැසීම යන තේරුම ඇතිව ‘‘ශාසනාකකාරය’’ යනුවෙන්ද මෙයි හැඳින්වේ. මේ නම දෙකම පොතට අර්ථ වන්නේය. 

 
 සම්බුද්ධ පරිනිර්වාණයේ සිට බුද්ධ ශාසනයේ කොටස්ව ගිය භික්ෂු කණ්ඩායම් ගණ වශයෙන් වෙන් වී ඒ ඒ නම් වලින් හැදුණ හැටි මෙහි සංක්ෂිප්ත කර දක්වා තිබේ.  
 නිකාය සංග්‍රහ හෙවත් ශාසනාවතාරය ලියුයේ ගම්පොළ අතිප්‍රසිද්ධ පඬිවරයෙකු වූ ද්විතීය ධර්ම කීර්ති මා හිමියි. දේවරක්ෂිත ජයබාහු යන නමකින්ද උන්වහන්සේ හැඳින්වූහ. මේ කුමන්ත්‍රණයට සංඝරාජ හාමුදුරුවෝ අසු වූයේ තමන්ගේ නොහික්මුණු ශිෂ්‍යයන්ගේ සහ රදළවරුන්ගේත් අදූරදර්ශී ක්‍රියාමාර්ගය නිසා බව කොටගම වාචිස්සර මාහිමියෝ පවසා තිබේ.  


 සියම් භික්ෂූන්ට සිදුවූයේ කුමක්දැයි ‘‘ශාසනාවතීර්ණය’’ හැර වෙන එකම පොතකවත් සඳහන් වී නැත.  


 මේ කුමන්ත්‍රණය සිදුවන්නට වූයේ තමා නළලේ අළු ගාගත් නිසා යැයි සිතූ රජතුමා නළලේ අළුගෑම සම්පූර්ණයෙන්ම අත්හැරියේය. එපමණකින් නොනැවතුණු රජතුමා අළු, දැළි ගෑ ලියුමක්වත් නොබලන ලෙසට පුස්කොළ පත් ඉරු කහවලින් මදින්නට පටන් ගත්බව පැවසේ.  

 

 

 

 පී.ඇම්. සේනාරත්න