රජ දියණියට පෙම් බැන්ද ඉසිවරයා


භාරත දේව සභාව

 

ගාධි රජුගේ රාජධානියට වසන්තය එළඹ තිබිණි. ඒ වසන්තයේ සුන්දරත්වය දැක බලාගන්නට සිතුණු රුචික ඉසිවරයා, ගාධි රාජධානියට පිවිසියේය.   

 

රාජධානිය තුළ වූ අලංකාරම මල් උයන මැද සොඳුරුතම යුවතියෝ පිරිසක් විනෝද වෙමින් සිටියහ. ඉසිවර රුචික වහා උයනට ගියේ ඒ රූමතියන් කව්දැයි දැන කියා ගන්නටය. විසිතුරු සළු පිළි ඇඳ හිස මල් ගවසා ගෙන සිටි රූමත්ම යුවතියගේ ගෙලෙහි පිච්ච මලින් සෑදු සුවඳැති මල්දමක්ද වූයේය.   

 

ඉසිවර රුචිකගේ සිත ගියේ අන්න ඒ යුවතිය වෙතය.   


‘‘රජ්ජුරුවන්ගේ දූ කුමරිය ලෝකයේ ලස්සනම සහ නුවණැතිම යුවතිය සත්‍යවතී’’   


ඉසිවර රුචික මිමිණුවේය.   


ඇය වටකරගෙන සිටියෝ පරිවාර සේවිකාවෝය   


උයන පුරා මල් ගස් අසල දැවටෙමින්, උයනට පැමිණ සිටි කුරුල්ලන්ට, ලේනුන්ට පළතුරු කන්නට දෙමින් විනෝද වූ මේ පිරිස එක් මොහොතක පොකුණටද බැස්සෝය. පොකුණ පස් පියුමින් සැදුණු මනරම් එකකි. එහෙත් වැඩි ගැඹුරක් නැති බැවින් පොකුණේ ජලය තිබුණේ යුවතියන්ගේ දණහිස තෙක් පමණි.   


සත්‍යවතී, රතු නෙළුමක් කඩා ගත්තාය.   


‘‘මේ මල ගැලපෙන්නෙ මගෙ මල්දමේ කෙළවරට.’’   


එසේ කී යුවතිය තම සේවිකාවන්ගේ සහයෙන් මල්දම වඩාත් අලංකාර කරගත්තාය. ඉනික්බිති මල්දම යළි ගෙල පැළඳගෙන එහි හැඩ බැලුවාය.   


‘‘ඇත්තමයි, එය ඔබට හැඩයි කුමරිය’’   


සේවිකාවක් කීවාය.   


කුමරිය මඳ සිනා නැඟුවාය   


එවිට ඇගේ පිරුණු දෙතොලෙහි මැවුණේ ලොව මිහිරිතම හසරැල්ල බව රුචිකට සිතිණි.   


‘‘සත්‍යවතී, මා සරණපාවා ගත යුතුමයි’’   


ඉසිවර රුචික තමන්ටම කියාගත්තේය. ‘‘ඇය වැනි නුවණැති ලස්සන කුමරියක් ගැළපෙන්නේ මා වැනි ඉසිවරයකුටම පමණයි’’   


මල්දම ගෙල පැළඳගත් කුමරිය වෙත ආ එක් සේවිකාවක කුමරියට සරදම් ලෙස යමක් කීවාය. ඉන් කිපුණු බවක් පළකළ කුමරිය තම සේවිකාව තල්ලු කළේ පොකුණටය. එහෙත් සේවිකාව පොකුණට වැටුණේ කුමරියද සමගය. මේ නිසා කුමරියගේත් එකී සේවිකාවගේත් වස්ත්‍ර සියල්ල තෙමිණි.   


ජලයේ පෙඟුණු වස්ත්‍ර වලින් යුවතියන්ගේ සිරුරුවල හැඩය මොනවට කැපී පෙනුණි. ඉසිවර රුචිකගේ දෙනෙත් විමතියෙන් විවරවිණි. ඔහු වඩාත් වුවමනාවෙන් බැලුවේ කුමරියගේ සිරුර දෙසයි. තෙත් වූ වස්ත්‍ර සිරුරටම ඇලුණු බැවින් කුමරියගේ ළය මඩළේ හැඩය මතු වී පෙනිණි.   


තුඟු කඳු ශිඛර දෙකක් මෙන් ඉස්මතුව පෙනුණු ඒ හංසයන්ට ඉසිවරයාට ලෝබ නොසිතුණා නොවේ. ඒ මොහොතේම ගොස් කුමරියට විවාහ යෝජනා කිරීමේ නොඉවසිල්ලක් ඔහුට දැනිණි.   


‘‘කුමරිය, වහා මැදුරට ගොස් ඔය තෙත වස්ත්‍ර ඉවත් කරන්න’’   


ප්‍රධාන සේවිකාව පැවසුයෙන් සත්‍යවතී කුමරිය, කුමරී මැදුර බලා ගියාය.   


ඇය යන විට පිරුණු නිතඹ සැලෙන හැටි මහත් ආශාවෙන් බලා සිටි ඉසිවර රුචික, රාජකීය උද්‍යානයෙන් නික්මුණේය.   


‘‘මම හෙටම ගිහින් රජතුමා මුණ ගැහෙනවා’’ 

 
රුචික තමන්ටම කියාගත්තේය.   


පසුද‌ා හිමිදිරි උදයේම තම ආරාමයෙන් පිටත් වුණු රුචික ගාධි රජුගේ මැදුරට ගියේය.   


තමන් වෙත පැමිණි ඉසිවරයා කැඳවූ රජු ඔහුට සවන් දුන්නේය.  


‘රජතුමනි මම ඉසිවර රුචික. නමුත් ඔබ මා ගැන කිසිවක් දන්නේ නැතුව ඇති එහෙත් මගේ පියා ගැන නම් ඔබ පමණක්​ නොව මුළු ලොවම දන්නවා. ඔහු තමයි චයාවන ඉසිවරයා.’’  


‘‘චයාවන ඉසිවරයා?’’  


රජු වහා මිමිණුවේය.  ඔහු ගැන නොදන්නේ කවුරුන්ද? ’’ 


රජු පෙරටත් වඩා ලෙන්ගතු ලෙසින් පැවසුවේය  


‘‘ඔබේ පැමිණීම සතුටට කරුණක් ඉසිවරයාණනි. නමුත් ඔබ පැමිණියේ කුමන කාරණාවකටදැයි විමසන්න මට අවසර දෙන්න’’  


රජතුමා පැවසුවේය.  


‘‘රජතුමනි, සත්‍යවතී, ඔබේ දියණිය මෙලොව සිටින නුවණැතිම කාන්තාව බව මා දන්නවා. එසේම මෙලොව සිටින ලස්සනම කාන්තාවත් ඇයයි’’  


‘‘එසේද?’’  


රජු සිනාසී ඇසුවේය.  


‘‘එහෙමයි මා පැමිණියේ ඇය පිළිබඳ සිතක් මා සිතේ උපන් බව ඔබට පැවසීමටයි. ඇගේත් ඔබේත් විරෝධයක් නැතිනම් සත්‍යවතී සරණපාවා ගැනීමට මා සූදානම්’’  


රජුගේ දෙනෙත විසල් විය  


පුදුමයට පත් වූ රජු ඉසිවරයා දෙස බලාසිටියේය. සාමාන්‍යයෙන් ඉසිවරුන් වාසය කරන්නේ වනාන්තර වල තැනූ කුඩා තාපසාරාමවලය. එවැනි නිවෙස්වල සැප පහසුකම් අඩුය. රජ මැදුරක අතට පයට දැසි දස්සන් සහිතව උයන් වතුවල පොකුණු අද්දර සිරි අසිරි නරඹමින් කෙළිදෙළෙන් ජීවත් වූ යුවතියකට තාපසාරාමයක දිවි ගෙවීම අසීරුය.  


‘‘රජතුමනි, ඔබ සිතන්නේ ඔබේ දූ කුමරියට තාපසාරාමයක සතුටින් ජීවත් විය හැකිද කියායි. නමුත් මා ඔබට පොරොන්දු වෙනවා ඇයව ලෝකයේ ප්‍රීතිමත්ම කාන්තාව බවට පත් කරන්නට.’’   


ඉසිවර රුචිකගේ ඒ පොරොන්දුවට රජුගේ ප්‍රතිචාරය වූයේ සරදම් සිනාවක් පමණි. රජුට ඇවසි වූයේ මේ මංගල්‍යය නොකෙරෙන තැනට වැඩ සිදු කිරීමටය. එබැවින් ඔහු ඉසිවර රුචිකට කළ නොහැකි කාර්යයක් පැවරීමට තීරණය කළේය.  


‘‘එසේ නම් ඔබට සිදුවෙනවා මට අසුන් දහසක් සැපයීමට හැබැයි එ් අසුන් තනිකරම සුදු පැහැවිය යුතුයි. උන් හැමකෙනකුගේම වම් පස කන පමණක් කළු පැහැයෙන් දැකීමටද මට අවශ්‍යයි. ඔබට මගේ ඉල්ලීම ඉටු කිරීමට හැකි වුවහොත් පමණක් ඔබේ ඉල්ලීම ගැන සලකා බැලීමට පුළුවන්.’’   


රජුගේ ඉල්ලීමට කන්දුන් රුචික රජ මැදුරෙන් පිටවූවේය. කනක් කළු සුදු අශ්වයින් දහසක් සොයාගැනීමේ ගැටලුව ඔහු අභියස විය.  


‘‘වරුණට කිව්වොත් මේ අර්බුදයෙන් ගොඩ ආ හැකියි.’’  


තමන්ටම කියාගත් රුචික වරුණ සොයා ගියේය.  


වරුණ සතු අසීමිත බලය හේතුවෙන් කනක් කළු සුදු අශ්වයන් දහසක් සොයාගැනීමට හැකිවනු ඇතැයි රුචික කල්පනා කළේය.  


නිබඳවම භාවනානුයෝගීව පසුවන වරුණ සතුව අසීමිත ශක්තියක් විය. එක් පැත්තකින් ඔහු සයුරටද වැස්සටද අධිපතිය   


‘‘වරුණ මට ඔබෙන් උපකාරයක් අවශ්‍යයි’’  


රුචික කී​ෙව්ය  


‘‘උපකාරයක්? එ් කිමෙක්ද?’’  


‘‘වම් කන පමණක් කළු, සුදු අශ්වයන් දහසක් මට වුවමනා වී තිබෙනවා. කරුණාකර මට අසුන් දහසක් සපයන්න’’  


‘හොඳයි මට දවසක් කල් දෙන්න’  


වරුණ කීවේය.  


ඔහු කී පරිදිම දවසක් ඇතුළත වම්පස කන කළු සුදු ලස්සන අසුන් දහසක් රුචිකට භාර දෙන්නට වරුණ සමත් විය.  


අසුන් දහසත් රැගෙන රජ මැදුරට ගිය රුචික, ගාධි රජු ඉදිරියේ පෙනී සිටියේ ආඩම්බරයෙනි.  


රජු මොහොතකට මැදුරෙන් පිටට ගියේය.   


රජමැදුරු අංගණය පිරී තිබුණේ සුදු අසුන්ගෙනි. පුදුමයකට මෙන් ඒ හැම කෙනකුගේම එක් කනක් පමණක් කළුපාටය. රජුට පුදුමයට පත් නොවී සිටීමට නොහැකි විය.  


‘‘මේක නම් භාවනා ශක්තියේ බලයෙන්ම කළ වැඩක්. නැත්නම් එකම විදිහේ අස්සයෝ දහසක් සෙවීම දුෂ්කර කටයුත්තක්’’  


රජු තමන්ටම කියාගත්තේය.  

 

 

අකමැත්තෙන් වුවත් තම එකම දියණිය, ඉසිවර රුචිකට සරණපාවා දෙන්නට රජුට සිදුවිය.  


‘‘රජතුමනි, සරණ මංගල්‍යය උත්සවයක් පැවැත්වීමට අවශ්‍ය නෑ’’  


රුචික කීවේයර.  


අන්තිමේදී සත්‍යවතී කුමරිය, රුචික ඉසිවරයා සමඟ වනමැද පිහිටි ඔහුගේ ආශ්‍රමය බලා ගියාය.  


වනස්පතීන් ගැවසෙන සුන්දර වනගහනයේ එක් සොඳුරු තැනිතලාවක තාපසාශ්‍රමය පිහිටා තිබිණි. එහි අවට මිදුල පුරා වූයේ හරිත පැහැගත් සුන්දර තණ පලසකි. දවසේ උදේ වරුවම පාහේ ඒ තණ මත පිනි පලසක්ද තිබිණි.  


සත්‍යවතී තම නිරුවත් දෙපා ඒ තණ පත් මත තබා ලැබුවේ ඉමිහිරි සුවයකි. සුන්දර මුවන්, හාවුන් වැනි වන සතුන් පමණක් නොව දිවියන්ද ඒ තණ බිම මතින් ඇවිද ගියහ. ඒ හැම සතෙකුටම හදවතින්ම ආදරය කළ සත්‍යවතීට ඒ සතුන්ගෙන්ද ලැබුණේ ආදරයකි.   


රෞද්‍ර ගති ඇති කොටියන් පවා පැමිණ සුරතල් බළලුන් මෙන් සත්‍යවතී සමඟ සෙල්ලම් කළේය. මේ නිසා ඇය සිටියේ ප්‍රීතියෙනි. එහෙත් එකම එක කරුණක් නිසා ඇගේ හිතේ කණගාටුවක්ද තිබිණි.  
රුචික වහා ඇගේ වෙනස හඳුනාගත්තේය.   


‘‘සත්‍යවතී, මා සිතා සිටියේ ඔබ මෙම ආශ්‍රමයේ සිටින්නේ සතුටින් බවයි. එහෙත් මට ඔබේ මුහුණින් කනස්සල්ලක ලකුණු පෙනෙනවා. කියන්න ඔබේ දුකට හේතුව කුමක්ද කියා’’  


රුචික, සත්‍යවතීගේ හිස ආදරයෙන් පිරිමදින අතරේ ඇසුවේය.   

 


‘‘මගේ පියා ගැන මගේ හිතේ ඇත්තේ කණගාටුවක්’’  


සත්‍යවතී කීවාය.  


රුචික තම බිරිඳ දෙස බැලුවේ විමතියට පත්වය.  


‘‘පියා ගැන? ඇයි ඔබේ පියාට කුමක්ද සිදුව ඇත්තේ?’’  


සත්‍යවතී තම සැමියා දෙස බැලුවේ පුදුමයෙනි.  


‘‘මගේ පියාට කුමක්ද සිදුව ඇත්තේ?’’ ඇයි ඔබට වැටහෙන්නේ නැතිද? දැන් ඔහු තනිවෙලා ඔහුට දරු​ෙවකුට සිටින්නේ මා පමණයි. නමුත් දැන් මා සිටින්නේ ඔහුගේ රාජධානියේ නොවේ. ඔබගේ ආශ්‍රමයේ මහා වනයක් මැද ඉතින් මගේ පියාගෙන් පසුව ඒ රාජ්‍යය කරන්නේ කවුරුන්ද?’  


සත්‍යවතී විචාළාය. ඇගේ කටහඬෙහි කෝපයක් ගැබ්ව තිබිණි.  


ඉසිවර රුචික සිනාසුණේ සැහැල්ලුවෙනි.  


අප්පෝ ඕකද ප්‍රශ්නෙ ඕක මට කලින් කිව්වනම් මෙලහකටත් විසඳලා ඉවරයිනෙ’’  


රුචික කී විට සත්‍යවතී ඔහු දෙස බලාසිටියාය. මේ තරම් බරපතළ ගැටළුවකට ඔහු සතුව ක්ෂණික විසඳුම් තිබේදැයි ඇයට සිතන්නටවත් නොහැකිවිය. 

 
ඊළඟ මොහොතේ රුචිකගේ දෝතෙහි රැදුණේ මංජුසා දෙකකි. ඔහු එම මංජුසා දෙක සිය බිරිඳට දුන්නේය.  


‘‘ඔය මංජුසාව ගෙන ගොස් ඔබේ මවට දෙන්න මෙහි තැන්පත්ව ඇත්තේ ලොව පවත්නා ඖෂධීය පානයයි. ඒ පානයේ බලයෙන් දිනෙක බිහිවන්නේ පින්වත් දරුවෙක් ඔහු අනාගතයේ හොඳ රජකෙනෙකු වීමට හැම අතින්ම සුදුසු නුවණැති බලවත් දරුවෙක්.’’  


සත්‍යවතී තවත් පුදුමයට පත්වූවාය. තම සැමියා මේ තරම් ඉක්මනින් අනාගත රජකු බිහි කරන්නේ කෙසේදැයි සත්‍යවතීට විමතියක් විය.  


ඇය මංජුසාව සුරත දරාගෙනම තම සැමියා දෙස බලා සිටියාය.  


‘‘ඔය මංජුසාව ඔබේ මවට...... ඔබට පානය කිරීමට මා ලබාදෙන්නේ මේ මංජුසාවයි. මෙය පානය කළ පසු ඔබට ලැබෙන දරුවා අනාගත සෘෂිවරයකු වේවි.’’  


සත්‍යවතී තම සැමියා දෙස බැලුවේ ලජ්ජාවෙනි. සරණ බැඳී මධුසමය ගතකළා පමණකි. මේ ඉක්මනටම දරුවකු හද‌ාවඩා ගන්නේ කෙසේදැයි සත්‍යවතී කල්පනා කළාය.  


කෙසේ වෙතත් ආපසු රජ මැදුරට ගිය සත්‍යවතී. ඖෂධ කුසලාන දෙකත් රැගෙන මව හමුවූවාය. කුසලාන දෙකෙහි ඇති ඖෂධ ගැන පැවසූ ඇය එම බඳුන් දෙකම මවගේ සුරතෙහි තැබුවාය.   


ඉන් එකක් පානය කළ ඇය, අනෙක සත්‍යවතීට දුන්නාය. එහෙත් ඔවුන් පානය කළේ රුචික ඉසිවරයා පැවසූ පරිදි නොවේ. රජ පැටියා සත්‍යවතීටත් ඉසිවර පැටියා ඇගේ මවටත් ඉපදෙන පරිදිය.  


සත්‍යවතීගේ මව, අවසානයේදී කෞෂික නමින් දරුවකු ලැබුවාය. භාරත ​ෙද්ව සභාවේ ප්‍රභල චරිතයක්ද වූ කෞෂික අති බලසම්පන්න ඉසිවරයෙකු වූවේය.  


සත්‍යවතීගේ කුස මෝරා එනවිට ඉසිවර රුචික කලබලයට පත්විය.  


‘‘ඔබ පානය කළේ මා ඔබට පානය කිරීමට දුන් ඖෂධ කුසලානය නොවේද?’’  


රුචික ඇසුවේය.  


‘‘ඇයි ඔබ එසේ අසන්නේ?’’  


සත්‍යවතී විමසුවාය.  


‘‘ඔබේ කුස තුළ වැඩෙන්නේ රජකුමරෙක්   


ඔහු කිසිසේත්ම ඉසිවරයෙක් නොවේ’’  


රුචික එසේ පැවසූවිට සත්‍යවතී කලබල වූවාය. 

 
‘‘අනේ, මට අවශ්‍ය රජ කුමරෙක් නොවේ. ඔබ වැනි බලසම්පන්න ඉසිවරයෙක් වේදයේ ප්‍රවීණයෙක්’’  


සත්‍යවතී ඇඬෙන්නට ආසන්න හඬකින් පැවසුවාය.  


‘‘එසේද? එසේනම් මට පුළුවන් ඔහුගේ ස්වභාවය වෙනස් කරන්නට නමුත් ඔහුගෙන් ඉපදෙන පුතා නම් අනිවාර්යයෙන් රජ කුමරකු වෙනවා. එය මට වෙනස් කළ නොහැකියි’’  


‘‘කමක් නෑ. මගේ පුතු, ඉසිවරයකු කරන්න’’  


රුචික ඔහුගේ මානසික බලයෙන් මිහිරි පලතුරක් මැවුවේය. එය ගෙන සත්‍යවතීට දුන් ඔහු එය වළඳන ලෙස පැවසුවේය.   


‘‘මෙය බොහෝ මිහිරි පලතුරක්’’  


රුචික කීවේය  


සිය දෝතින්ම පලතුර ගත් සත්‍යවතී එය මුවෙහි තැබුවාය. මිහිරි සුවදක් වහනය වූ අතර සත්‍යවතීගේ සිතේ හටගත්තේ පලතුර ඉක්මනටම අනුභව කිරීමේ කැමැත්තකි.  


සත්‍යවතී වහා පලතුර අනුභව කළාය’’ එහි අනුහසින් ඇයගේ කුසේ සිටි දරුවාගේ ගති ස්වභාවය වෙනස් වූයේය.  


නිසි කළ පිරුණු පසු සත්‍යවතීගේ කුසින් බිහිවූයේ පින්වත් දැහැමි දරුවෙකි. ඔහු කවද‌ාකවත් රජවෙන්නට හිතුවේ නැත.  


එහෙත් පසුකලෙක බිහි වූ සත්‍යවතීගේ මුනුපුරා නම් අති දක්ෂ රජ කෙනකු වූවේය.  

 

 

 


ශාන්ත කුමාර විතාන