රඟහල රසවත් කළ ආර්.ආර්.


පරපුරක
  උරුමය

ප්‍රවීණ නාට්‍යවේදී ගත්කතුවර ආර්.ආර්. සමරකෝන්ගේ දියණි බුද්ධිකා මුදිතානි සමරකෝන් සමග කළ කතාබහක්.  

 

මැටිල්ඩා - “ඇයි උඹ ඊයෙ රාත්තිරියෙ ගෙදර ආවෙ නැත්තෙ?”   
සරණපාල - “මේ බිංගේ ඇතුළෙ තුන්දෙනෙකුට නිදාගන්න පුළුවන්ද?”   


මැටිල්ඩා - “ආව් අම්ම. මදැයි උඩ ගිහින් තියෙන තරම. කියාපන්කො තාත්තට කිරිගරුඬෙන් මාලිගාවක් හදල දෙන්ට කියලා. පණුවො කාපු දතක් වාගෙ මුළු ගේම හෙල්ලුම් කනවා. ඊයෙ රෑ ගහපු හුළං පාරට තව පොඩ්ඩෙන් වහලෙත් නෑ. රෙද්දක් ඇඳගෙන දොට්ට බහින්න බෑ ඉහේ කෙස් ගාණට ණය වෙලා. ඒවා ඕන්නෑ උඹ පලයං රෝන්දෙ. ඇයි ඉතිං මම හිඟා කාල හරි තුන්වේලම බොක්ක පුරවනවනෙ. අර බෙලෙක්කෙ ඇති තේ කහට ටිකක්, ගිහින් වක්කරගෙන බීපන්.. ඇයි පාවඩ එළනකල් ද බලාගෙන ඉන්නෙ..? ගිහින් වක්කරගෙන බීපන්.”   


සරණපාල - “මට ඕන් නෑ.”   


මැටිල්ඩා - “උඹට මං සුද්ද සිංහලෙන් කියන්නෙ. ඔය පිප්පිලි ගෙරවිලිවලට එන්ට එපා මාත් එක්ක ඕං ඇහුණද? උඹලට රාජ බෝජන දෙන්න අපට හයිය නෑ.”  
 
මෙවන් නිර්දය දෙබස්වලින් වේදිකාව දෙදරුම් කන විට ප්‍රේක්ෂකයා බලා සිටින්නේ හුස්ම හිරවන තරම් වේදනාවකින්. පොදු සමාජ යථාර්ථය කිසිදු සංශෝධනයකින් තොරව එසේ සිය වේදිකා නාට්‍ය තුළින් ශූර ලෙස ගෙනහැර පෑ ආර්.ආර්. සමරකෝන් වැනි විශිෂ්ට නිර්මාණකරුවන් මේ වනවිට එම පවුල්වල උදවියට පමණක් සීමාවූ මතක බවට පත්වී තිබෙනවා.   
කැලණි පාලම යැයි කියන විට කැලණි ගඟට උඩින් වැටුණු අර පරසිදු කොන්ක්‍රීට් පාලම නොව ආර්.ආර්. සමරකෝන් නමැති නාට්‍යකරුවා මතකයට එන යුගයක් මේ රටේ තිබුණා. ඒ හැත්තෑව දශකයේ අග භාගයේ සිට සමරකෝන්ගේ කැලණි පාලම වේදිකා නාට්‍යය ගම්දනව් අස්සක් මුල්ලක් නෑර ජවසම්පන්නව වේදිකා ගතවෙමින් තිබූ යුගයයි.   
මැම්බර් මහත්තයා, චුට්ටෙ, මැටිල්ඩා, රූපවතී, සරණපාල, සුරංගනී වැනි චරිත කලකට බැහැර නොයන තැනට සමරකෝන් ඒවා ප්‍රේක්ෂක මනසට එන්නත් කළේ ඔහුගේ ජීවගුණයෙන් පිරිපුන් දෙබස් හරහායි.   


ස්වතන්ත්‍ර වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ දෙබස් රචනයේ සුහුරුකම් පෑ කිහිපදෙනා අතර ආර්.ආර්. සමරකෝන් තවමත් මුදුනේම සිටින බවට වාදයක් නෑ. එසේ වේදිකාව දෙවනත් කළද ඔහු සාමාන්‍ය ජීවිතයේ නිහඬ චරිතයක් බවයි බොහෝදෙනා කියන්නේ.   
ඔහුගේ දියණිය බුද්ධිකා මුදිතානි සමරකෝන් කියන පරිදි එකල තාත්තාගේ හොඳම යාළුවා ඇයයි. ඇගේ හොඳම යාළුවා තාත්තායි. එසේ නම් ඒ තාත්තාත් දුවත් අතර මතක පාලම දිගේ අද ඇය අපව රැගෙන යාවි.   
“මම ඉපදෙනකොට තාත්තාට රස්සාවක් නෑ. දේශපාලන හේතුවක් මත තාත්තට රස්සාව නැතිවෙලා ගෙදර ඉන්න කාලෙ. ඒ නිසා මට වාසනාව ලැබුණා පුංචි කාලෙ ඉඳලම තාත්තගෙ ඇසුරේ ඉන්න. අම්මා රම්‍යා වනිගසේකර ගුවන්විදුලියෙ වැඩ. තාත්තා තමා මාව ඉස්කෝලෙ එක්ක යන්නෙ. මං ගෙදර එනකල් බලාගෙන ඉන්නෙ. නිතරම අපි දෙන්න ඇවිදින්න යනවා. මැච් බලන්න යනවා.   


අපි හිටියෙ මොරටුවෙ, ඉතින් ටිරොන් ප්‍රනාන්දු ග්‍රවුන්ඩ් එකේ මොන මැච් එකක් තිබුණත් තාත්තයි මමයි එතැන. මාව කොළඹ ඉස්කෝලෙකට දැම්මෙත් නෑ. ඒ කාලෙ රටේ කලබල නිසා තාත්තටම ගිහින් ගන්න පුළුවන් තැනකට යවමු කියලා මොරටුවේ කොන්වන්ට් එකට මාව දැම්මා.   
තාත්තා සැර නෑ. හරිම කරුණාවන්තයි. ආදරණීයයි. විනෝදකාමීයි. ඒත් වැරැද්දක් හදන්න ඕන තැනදි සැරයි. කියල බැරි නම් ගහල හරි නිවැරදි කරනවා. මට ආදරේට කිව්වෙ උක්කුං අම්මා කියලා. එහෙම නැත්නම් දෙයියම්මා පැටියා කියලත් කියනවා. මම ලොකු කාලෙත් තාත්තා එහෙමම තමා කතා කළේ. ඕන දෙයක් තාත්තත් එක්ක කියන්න පුළුවන්. ඉල්ලන්න පුළුවන්. තාත්තට හැම වෙලාවෙම ඕන වුණේ මාව සතුටින් තියන්න.   


මොරටුවෙ අපි නිතරම ප්ලේන් යනවා දකිනවානෙ. ගෙදරට උඩින් ප්ලේන් යන සද්ද ඇහෙනවා. ඉතින් තාත්තයි මමයි ඒ දිහා බල බලා ඉන්න කොට මම කියනවා තාත්තෙ අපිත් ප්ලේන් එකක යමු කියලා. හා යමුකො දවසක කියලා තාත්තත් කියනවා. ඊට පස්සෙ කාලෙක තාත්තට අවස්ථාව ලැබුණා අහසින් වැටුණු මිනිස්සු නාට්‍යය එංගලන්තය, ප්‍රංශය, ඇමෙරිකාව වගේ රටවල් ගණනාවකට අරන් යන්න. ඒ ගමනට අම්මත් යනවා. රඟපාන නිසා, තාත්තට හොඳටම වුවමනාව තිබුණා මාත් ඒ ගමනට එක්ක යන්න.   
හැබැයි නාට්‍ය කණ්ඩායම හැර වෙන කවුරුත් ගෙනියන්න බෑ. තාත්තා ඒ සංවිධායකයො එක්ක කතා කරල කතා කරල බැරිම තැන කියල තිබුණා හරි එහෙමනම් අපි මේ නාට්‍ය පෙන්වන එක නවත්තමු කියලා. ඒක තාත්තට ලැබුණු හරිම දුර්ලභ අවස්ථාවක්. රටවල් ගොඩකට යන්න තිබුණා. ඒත් මාව එක්ක යන්න නොලැබුණොත් ඒ අවස්ථාව අතහරින්න වුණත් තාත්ත කැමැත්තෙන් හිටියා. හැබැයි කොහොම හරි පස්සෙ ඔවුන් කැමති වෙලා මටත් යන්න ලැබුණා. ප්ලේන් එකේ යන්න මට තිබුණු ආසාව තාත්තා ඉටු කළා එහෙම.   
ඒ සිද්ධියෙන් පස්සෙත් තාත්තාගෙ නාට්‍ය පෙන්වන්න රට රටවල යන්න ලැබුණා. සමහර වෙලාවට තාත්තා නැවතිලා හරි අම්මත් එක්ක මාව ඒ හැම ගමනකටම යැව්වා. අම්මා නාට්‍ය කණ්ඩායමේ නිසා යන්නම ඕන. තාත්තා නොගියට කමක් නෑ කියලා බලෙන් හරි මාව යවනවා.”   
අද ඇහැට නොපෙනුණත් බුද්ධිකාගෙ හිතට තවමත් තාත්තව දැනෙනව බොහොම තදින්.   

 

මොරටුවෙ අපි නිතරම ප්ලේන් යනවා දකිනවානෙ. ගෙදරට උඩින් ප්ලේන් යන සද්ද ඇහෙනවා. ඉතින් තාත්තයි මමයි ඒ දිහා බල බලා ඉන්න කොට මම කියනවා තාත්තෙ අපිත් ප්ලේන් එකක යමු කියලා. හා යමුකො දවසක කියලා තාත්තත් කියනවා. ඊට පස්සෙ කාලෙක තාත්තට අවස්ථාව ලැබුණා අහසින් වැටුණු මිනිස්සු නාට්‍යය එංගලන්තය, ප්‍රංශය, ඇමෙරිකාව වගේ රටවල් ගණනාවකට අරන් යන්න. රඟපාන නිසා, තාත්තට හොඳටම වුවමනාව තිබුණා මාත් ඒ ගමනට එක්ක යන්න.   හැබැයි නාට්‍ය කණ්ඩායම හැර වෙන කවුරුත් ගෙනියන්න බෑ. තාත්තා ඒ සංවිධායකයො එක්ක කතා කරල කතා කරල බැරිම තැන කියල තිබුණා හරි එහෙමනම් අපි මේ නාට්‍ය පෙන්වන එක නවත්තමු කියලා.


රණසිංහ රාජපක්ෂ සමරකෝන් නාවලපිටියේ දෙකිඳ නම් පිටිසර ගමේ ඉපදිලා නාවලපිටියේ සාන්ත ඇන්ඩෲ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හමාර කොට කොළඹට පය ගසන්නේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ලිපිකාර රැකියාවට.   
පාසල් වේදිකාවේ විදුර රජ කතාවේ ගැහැනු චරිතයක් නිරූපණය කරමින් වේදිකාවට පිවිසි ආර්.ආර්. සමරකෝන් රඟපෑම එතැනින්ම කෙළවර කොට වේදිකා නාට්‍යයක් ලිවීමට උනන්දු වුණා. ඒ අනුව ඔහු ලියූ රහස් පරික්ෂක කතාවක් පාසලේ සාහිත්‍ය ගුරුවරයාගේ ඉමහත් ප්‍රශංසාවට ලක්වුණා. කොතරම් ද කියනවා නම් පාසල මගින්ම එය නවකතාවක් ලෙස වෙස් මුහුණු නමින් මුද්‍රණය කරදී ආර්.ආර්. සමරකෝන් නවක ලේඛකයාට මතුවීමට අවස්ථාව උදාකර දුන්නා.   


පසුව එම විදුහලේම ගුරුවරයකු ලෙස ටික කලක් සේවය කරන ඔහු කොළඹ රැකියාවට පැමිණ තමන්ගේ නාට්‍ය පිටපත්වලට පණදීමට අවශ්‍ය වටපිටාව සාදා ගන්නවා. මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, ධම්ම ජාගොඩ, ගුණසේන ගලප්පත්ති, මහගම සේකර වැනි ප්‍රවීණයන් අැසුරු කරමින් ඊට ගුරුහරුකම් ලබාගත්තා.   
ලෙඩක් නැති ලෙඩෙක්, චරිත දෙකක් වැනි ස්වතන්ත්‍ර නාට්‍ය මුලින්ම අත්හදා බැලූ ආර්.ආර්. නාට්‍යකරුවකු වශයෙන් රටම හඳුනා ගත්තේ 1971 දී වේදිකා ගත කළ අහසින් වැටුණු මිනිස්සු නාට්‍යයෙන්. ඔහු එම වසරේම ගේ කුරුල්ලෝ නමින් නවකතාවක් ද ලියා පළ කළා. 1971 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය වශයෙන් අහසින් වැටුණු මිනිස්සු රාජ්‍ය සම්මාන රැසක් ලබාගන්නා විට එවර රාජ්‍ය සාහිත්‍ය උළෙලේ හොඳම නවකතාව වශයෙන් ගේ කුරුල්ලෝ සම්මානයට පාත්‍රවීම සුවිශේෂ සිදුවීමක්.   
දුප්පත්කමින් මිරිකෙන සමාජයේ පීඩිත ජනතාවගේ ජීවන පුවත් සමරකෝන්ගේ සියලු නිර්මාණවලට තේමා වුණා. ඔහුගේ ‘එක කුසේ උපන් එවුන්’ නවකතාවට ප්‍රස්ථාවනාව ලියන මහාචාර්ය සුනිල් ආරියරත්න මෙවන් අදහසක් දක්වා තිබෙනවා.   


“සමරකෝන්ගේ නාට්‍යවලින් ද නවකතාවලින්ද අපට හමුවන්නේ දිරිමත් මිනිස් චරිතයි. ඔවුන් මුහුණපාන්නේ අපද දෛනික ජීවිතයෙහි මුහුණ පාන්නා වූ ව්‍යාකූල සමාජ සංසිද්ධීන්ටයි. මේ නිසා සමරකෝන් මවන පාත්‍රයෝ බොහෝවිට අපගේ ජීවිතයට බෙහෙවින් සමීප වී සිටිති. සමරකෝන්ගේ නාට්‍යවල හා නවකතාවල සන්දර්භ රීතීන් ඉතා සරල වේ. සරල බව තුළින්ම විරල විචිත්‍ර රස මවයි.”   
“මම පුංචි කාලෙ අම්මලා නාට්‍ය පුහුණුවීම් කළෙත් වේදිකාව පිටුපස මාව නිදිකරවලාලු. නාට්‍ය දර්ශනයකට කොයි තරම් දුර තැනකට ගියත් ඒ බස් එකේ මාවත් අරන් යනවා. මාව බලාගන්න කෙනෙකුත් හිටියා. ඉතින් නාට්‍ය බස් එකෙයි වේදිකාවෙයි තමා මමත් වැඩුණෙ. මට වැඩිපුරම ඇහුණෙ නාට්‍ය දෙබස්. අපේ පවුලේ පැවැත්ම තිබුණෙ වේදිකාවෙ. ඒ ජීවන ක්‍රමයට මමත් ඉබේටම හැඩගැහුණා. ඒක කවදාවත් මට අපහසුවක් කියලා දැනිලා නෑ.   
මම උසස් පෙළ පන්තියේ ඉන්න කාලෙ කැලණි පාලමේ සුරංගනීගෙ චරිතය කළා. ඒක ඒ චරි

තයට හොඳටම ගැළපෙන වයස. ඒ නිසා ආසාවෙන් කළා. හැබැයි මට රඟපාන්න කියල හරි එපා කියල හරි තාත්තවත් අම්මවත් බලපෑම් කළේ නෑ. මටත් ලොකුවට වුවමනා වුණේ නෑ දිගටම රඟපාන්න. මං ගුවන්විදුලි නාට්‍යවල රඟපෑවා. වේදිකාවෙ රඟපානවාට වඩා මං ඒකට ආසයි. ඒක කටහඬින් විතරක් කරන රඟපෑමක්නෙ. කටහඬින් චරිත මවනකොට එක එක්කෙනාට චරිතය මැවෙන විදිහ වෙනස්නෙ. ඒකට මං කැමතියි.   


සමහරු අහනවා අම්ම වගේ නිවේදන කටයුතුවලට යොමුවුණේ නැත්තෙ ඇයි කියලා. ඒකත් ටිකක් කරලා තියෙනවා. ඒත් මොකද්දෝ පසුබෑමක් හිතේ තියෙනවා. බයයි වගේ. ගුවන්විදුලියෙ ළමා වැඩසටහන්වලට කාලයක්ම සහභාගි වුණා.   
පුංචි කාලෙ ඉඳලම කැලණි පාලම නාට්‍යයේ දෙබස් මුළුමනින්ම මට කටපාඩම්. නව නිෂ්පාදනවලදිත් දෙබස්වල සුළු වැරැද්දක් වුණත් මට දැනෙනවා. තාත්තගෙ නාට්‍යවල රිද්මය තියෙන්නෙ දෙබස්වල. සංගීතය යොදා ගත්තෙ නෑ. දෙබස්වල ප්‍රබල බව නිසා ඒක අඩුවක් හැටියට දැනුණෙත් නෑ.   
නළු නිළියන්ට වචනයක් දෙකක් මාරුවුණාට අදහස වෙනස් නොවෙන්න පුළුවන්. නමුත් නියම තැනට ඒ නියම වචනය නියම විදිහට උච්චාරණය වුණොත් තමා තාත්තගෙ නාට්‍යවල රසය, ජවය දැනෙන්නෙ. ඒ නිසා නව නිෂ්පාදනවලදීත් අපි ඒ ගැන හුඟක් අවධානයෙන් ඉන්නවා.   
තාත්තා නාට්‍යයක් නිෂ්පාදනය කරනවා මුල ඉඳලම මම දැක්කෙ ‘දූවිලි’ නාට්‍යයෙන්. ඒක මම ඉපදුණාට පස්සෙ කළේ. ඒ නිසා ඒකත් මට හුඟක් සමීපයි.”   
බුද්ධිකා කියන දේ හරියටම හරි.   


ආර්.ආර්ගේ නාට්‍යවල විශේෂත්වය වශයෙන් ගැනෙන්නේ ද කිසිදු අනුශාංගික අංගයක් නොමැතිව දෙබස්වලින් පමණක් ඔහු වේදිකාවේ කරන විප්ලවයයි.   
සංගීතය, ගීත වැනි ප්‍රේක්ෂක ආකර්ශනයට අදාළ අංග ඔහුගේ නාට්‍යවල ඇත්තේම නෑ. හැමවිට ස්වතන්ත්‍ර නාට්‍ය වේදිකාවට ගෙන ආ ඔහු පවතින සමාජ ගැටලු විනිවිද දකිමින් ඒවා හාස්‍ය, උපහාසය, ඇඟවීම්, දැනවීම්, අභිනය වැනි ප්‍රයෝග සමග මුසු කොට ප්‍රේක්ෂකයා රඳවා ගත් අයුරු අපූරුයි.   
හැත්තෑව දශකයේ ආර්.ආර්. සමරකෝන්ගේ විශිෂ්ට නාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය වුණා. අහසින් වැටුණු මිනිස්සු, ඉඩම, කැලණි පාලම, මිනිහෙක් (කෙටි නාට්‍ය) ඒ අතර ප්‍රධානයි. ඉන්පසුව දූවිලි, රජකතාව, කපුටු බෝ, කකුල් හතරේ ඉලන්දාරියා වැනි නාට්‍ය මගින් ද ඔහු ප්‍රේක්ෂකයා කුල්මත් කළා.   
සතොස ආයතනයේ ලිපිකාර රැකියාවට පැමිණි ඔහු පසුව එහි භාෂා පරිවර්තකවරයකු වශයෙන්ද කටයුතු කොට ආයතන කළමනාකාර තනතුරක් ද දැරුවා. භාෂා පරිවර්තනය ඔහුගේ වෘත්තිය වුව ඔහු කිසිදු විදේශ නාට්‍යයක් හෝ කිසිදු විදේශ සාහිත්‍ය ග්‍රන්ථයක් පරිවර්තනය කිරීමට ඉදිරිපත් වුණේ නෑ. ඔහුගේ නාට්‍ය මෙන්ම නවකතා සියල්ල ද ස්වතන්ත්‍ර නිර්මාණ.   


ගේ කුරුල්ලෝ සම්මාන ලත් නවකතාවෙන් පසු ආර්.ආර්. සමරකෝන් දෙහදක් අතර, ගැහැනියකගේ චරිතයක්. එක් සත්‍ය කතාවක්, එක් කුසේ උපන් එවුන්, තලමල, අකලංක, අසම්මත ආදරයක්. චන්ද්‍රතාපය, හෙට කළුවර දවසක්, ලොකු අක්කා යන නවකතා කෘති ද රාත්‍රිය අවදි නොවේ නමින් කවි පොතක්ද ලියා පළ කළා. ගුවන් විදුලි නාට්‍ය රචනා හා ගීත රචනා තුළින්ද සමරකෝන් සිය නිර්මාණාත්මක ප්‍රතිභාව මැනැවින් පෙන්නුම් කළා.   
“තාත්තාට විවිධ පැලැන්තියේ යාළුවො හිටියා. පුංචි තැන්වල මිනිස්සු වැඩිපුර ආශ්‍රය කළා. පොළේ වෙළෙන්දො, මාළුකාරයා, ටැක්සි ඩ්‍රැයිවර්ලා, පදික වේදිකාවෙ මිනිස්සු එක්කත් කතා කරලා තොරතුරු එකතු කරගන්නවා. සූක්ෂ්ම විදිහට ඒ අයගේ ඇතුළාන්තය සොයා බලනවා. කතා කරන විදිහ, වචන, ඉරියව් ගැන පවා අවධාරණය කරගන්නවා. එහෙම දැනගන්න තොරතුරු බොහෝ වෙලාවට පොඩි පොඩි කොළ කෑලිවල ලියාගන්නවා. සිගරට් කොළවල පවා ලියලා තියෙනවා.   
තාත්තගෙ ලියන මේසය උඩ එක එක විදිහෙ කොළ කෑලි පිරිලා. අයියෝ මොකද්ද මේ මේසෙක හැටි කියලා සමහර දවසට අම්මා ගිහින් මේසෙ අස් කරනවා. එහෙම මේසෙ අස්කළ දවසට ඔන්න තාත්තා අරක නෑ මේක නෑ කියලා හොයනවා. අපෙ අම්මා තාත්තාගෙන් බැණුම් අහන එකම දේ තමා ඔය මේසෙ අස්කරන එක. තාත්තාට චූටි කොළ කෑල්ල ගැන වුණත් හොඳට මතකයි.   


අහවල් වෙලාවට ලියනවා කියල තාත්තාට නියමිත වෙලාවක් නෑ. හිතුනම ඕන වෙලාවක ලියනවා. ලියන වෙලාවට අපි කතාවට යන්නෙ නෑ. ටීවී දාන්නෙත් නෑ. තාත්තා එපා කියල නෙවෙයි. ඉබේටම අපි හැඩගැහිලා තිබුණා ඒකට. සමහරවිට මහ රෑ නැගිටලත් ලියනවා. පාන්දරත් ලියනවා. ඒ වගේම තමා පොත් කියවන්නත් කොහොම හරි වෙලාව හොයාගන්නවා. හරියට පොත් කියෙව්වා.   
අපි හිටිය මොරටුවෙ මහල් නිවාසවල තමා සයිමන් (නවගත්තේගම) අංකල් එහෙමත් හිටියෙ. හිතුනම කතා කර කර ඉන්න එහෙ යනවා. නැත්නම් සයිමන් අංකල් සුගත් (සුගතපාල ද සිල්වා) අංකල්ල, අපේ ගෙදර එනවා. එක දිගට දවස් ගණනක් හරි කතා කර කර ඉන්න පුළුවන් ඒගොල්ලන්ට.   
අපේ අම්මා තමා ඒ කාලෙ ගෙදර සියලු ඕනෑ එපාකම් බැලුවෙ. අම්ම ගුවන්විදුලියෙ වැඩට යනවා. රඟපාන්නත් යනවා. ගෙදර වැඩත් කරනවා. හරිම අවිවේකී ජීවිතයක් ගත කළේ. උදේ හයට ප්‍රවෘත්ති කියන දවසට පාන්දර හතරට ගුවන්විදුලියෙ වෑන් එක ගෙදරට එනවා. මං පුංචියිනෙ පොඩි සද්දෙටත් ඇහැරලා කෑගහන නිසා අම්මා හරිම අමාරුවෙන්ලු ඇඳෙන් බැහැලා යන්නෙ. මටත් දැන් පුංචි දුවෙක් ඉන්නවා. අම්මා එදා කොච්චර අපහසුවකින්ද යන්න ඇත්තෙ කියල මට දැන් හිතෙනවා.”   
බුද්ධිකා තාත්තා ගැන කියන කතාවට තවත් ටිකක් එකතු කළා ඇගේ අම්මා රම්‍යා, රම්‍යා වනිගසේකර. 

 
“හුඟක් ගැඹුරු දේවල් වේදිකාවට ගෙනාවට එයා හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන් හිටපු මනුස්සයෙක්. ජීවිතේ කිසිම බරක් ඔළුවට ගත්තෙ නෑ. මගේ රඟපෑම්වලටත් එයා හුඟක් සතුටු වුණා. මට පිටපතක් ලැබුණාම එයා තමා මුලින්ම කියවන්නෙ. පස්සෙ මමත් කියවලා අපි දෙන්නම ඒ චරිතය ගැන සාකච්ඡා කරනවා. සමහර වෙලාවට දන්න කියන චරිත උදාහරණයට පෙන්නනවා. අහවලා ඇවිදින හැටි බලන්න කියලා එහෙම මාව හරියට දිරිමත් කළා.   
ෂූටිංවලට වෙලාවට යන්න එහෙම වද කරනවා. මොකද එයා දන්නවනෙ එයාගෙ නාට්‍යවලට කවුරුහරි වෙලාවට ආවෙ නැත්නම් වැටෙන අමාරුව. ඒ නිසා මං ගෙදරින් පිටත් වෙනකල් වෙලාව කියනවා. මාව එහෙම නිදහස් කළාම තමා එයාත් නිදහස් වෙන්නෙ.   


එයා එයාගෙ නිර්මාණ කෘති තමා දරුවො වගේ ඇතිදැඩි කළේ. පොතක් ලිව්වාම එයාට ඒ කතාව කාටහරි කියනකල් ඉවසුමක් නෑ. යාළුවන්ට ටෙලිෆෝන් කර කර කියවනවා. මටත් කියනවා. රම්‍යා මේ බලන්න අද හරිම ලස්සනට මේ කොටස ලියවුණා කියලා.   
තමන්ගෙ නිර්මාණ ගැන අනිත් අය මොනවද හිතන්නෙ කියල දැනගන්න එයාට පුදුම උනන්දුවක් තිබුණෙ. ගෙදර අපි අපි අතර ප්‍රශ්නයක් ඇති වුණත් එයා මොනව හරි හිනා යන දෙයක් කියලා ඒක ඉවර කරලා දානවා.   
1982 දේශපාලන පලිගැනීමකට එයාට මාරුවක් ලැබුණා යාපනයට. ඒකට නොයා රස්සාව දාල ගෙදර ආවා. ඒ ගැන වගේ වගක් නැතුව 1995 වෙනකල් ගෙදර හිටියා. 95 තමා නැවත රැකියාව ලැබුණේ. ඒ අතරතුරත් නාට්‍ය කීපයක් කළා.”   


රම්‍යාට, සමරකෝන් ගැන එහෙම කෙටියෙන් කියල ඉවර කරන්න පුළුවන්කමක් නෑ. ඒක මහ පොතක් වගේ කතාවක්.   
උදව්වක් ඇවැසි කෙනකුට පසුනොබා උදව්කරන, දක්ෂයන් දුටු තැන නොවලහා අතදෙන සමරකෝන් මෙරට නාට්‍ය ක්ෂේත්‍රයට අනගි නළු නිළි පරම්පරාවක් සොයා දුන්නා.   
“අම්මා තමා දැන් කැලණි පාලම ඇතුළු නාට්‍ය කිහිපයක් නව නිෂ්පාදන ලෙස කරගෙන යන්නෙ. තවමත් ඒවාට ඉල්ලුම තියෙනවා. අදත් මුණ ගැහෙනවා දහදොළොස් වතාවක් කැලණි පාලම එහෙම බැලූ අය. අහසින් වැටුණු මිනිස්සුත් නව නිෂ්පාදනයක් කළා. දූවිලි නාට්‍ය අලුතෙන් කරන්න හිතාගෙන ඉන්නවා. කැලණි පාලමත් දූවිලි නාට්‍ය රන්කහවනු නමිනුත් පොත් වශයෙන් පළ වුණා.   


කොහොම වුණත් තාත්තගෙ නාට්‍යවල සර්වකාලීන වටිනාකම අඩුවෙන්නෙ නෑ. අද බැලුවාම ඒ තේමාවන් එදාටත් වඩා අදට ගැළපෙනවා. තාත්තා හිටියා නම් මේවන විට තියෙන සමාජ පසුබිම යටතේ තවත් හොඳ නාට්‍ය කිහිපයක් කරන්න තිබුණ නේද කියලා මට හිතෙනවා.”   
ඔව්, බුද්ධිකා කියන දෙයම ආර්.ආර්. සමරකෝන් එදා මේ විදිහට කියල තියෙනවා.   
“මේ රටේ මිනිසුන්ගෙ ජීවිත අත්දැකීම් ගවේෂණය කළහොත් ස්වයං නිර්මාණ සඳහා වස්තුබීජ ඕනෑ තරම් හොයාගත හැකියි. අපේ සමාජ පසුබිම, සංස්කෘතික ජනවිඥානය නොතකා කරන නාට්‍ය ගැන මගේ එතරම් කැමැත්තක් නෑ.”   


ඒ කියන ආකාරයට ඔහු කැලණි පාලම සඳහා අත්දැකීම් ලබාගත් අයුරු ද විස්තර කරනවා මෙහෙම.   
“වැහිබර දවසක මම දළුගම පදිංචි රවීන්ද්‍ර රන්දෙණිය හමුවීමට බස් රථයකින් යමින් සිටියදී කැලණි පාලම දෙපස කූඩාරම් තනාගෙන යුද්ධයක් කරන මිනිස්සුත් ළමා ළපටිත් මගේ නෙත ගැටුණා. පෑලියගොඩින් බසයෙන් බැසගත් මම ආපසු ගිහින් ඒ මිනිසුන් අතරට වී ඔවුන් ඒ අත්දැකීමට මුහුණ දෙන හැටි බලා සිටියා. ගඟ දිය සැඩ පරුෂ විදිහට ගලා යද්දී පුංචි ළිප් තනාගෙන පාලම උඩ ආහාර පිසිමින් පුංචි ළමුන් පවා හුරුපුරුදු සේ හැසිරෙන අයුරු දැකීමෙන් තමා කැලණි පාලම මගේ හිතේ නිර්මාණය වුණේ.”   
“ඉස්සර ඉස්කෝලෙ නිවාඩු කාලෙට අපි තාත්තගෙ ගමේ යනවා. නාවලපිටියෙ. තාත්තා ගමේ යන්න හරි ආසයි. පාසල් නිවාඩුව එනකල් බලාගෙන ඉන්නවා. ඉතින් කල් ඇතුවම අත්තම්මට ටෙලිෆෝන් කරල කියනව මඤ්​ෙඤාක්කා කොළ මැල්ලුම් කොස් මාළුව ඔය වගේ කෑම ලිස්ට් එකක්. කොහොමටත් තාත්ත දිනපතාම වගේ අත්තම්මට කතා කරනවා. කෑවද කෑවෙ මොනවද ඔක්කොම විස්තර අහනව.  


අනික තාත්තා පුදුම තරම් ක්‍රිකට් ලෝලියෙක්. හැම මැච් එකකම ක්‍රීඩකයන්ගෙ ඉඳල ඔක්කොම විස්තර මට කියල දෙනව. මට හොඳට මතකයි 96 වර්ල්ඩ්කප් එක කාලෙ අපි දෙන්නට පුදුම පිස්සුවක් තිබුණෙ. අන්තිමට මටත් ලොකු කෙනෙකුට තරම්ම ක්‍රිකට් දැනුමක් ඇතිවුණා.  
කොළඹ පොත් ප්‍රදර්ශනය පළවෙනි වතාවට තිබුණ කාලෙ මාව එක්ක ගියා පොත් ගන්න. මම තෝරලා තෝරලා ගත්තෙ ෆැෂන් ඩිසයින් පොතක්. මම ඒක අතගගා ඉඳලා තාත්තගෙන් ඇහුවා අරන් දෙනවද කියලා. හා ගමු කියලා අරන් දුන්නා.  


ඊට පස්සෙ මට ෆැෂන් ඩිසයින් දිගටම ඉගෙන ගන්න ආසා හිතුණා. තාත්තයි අම්මයි එපා කිව්වෙත් නෑ. ඒ සම්බන්ධයෙන් උසස් පාඨමාලා කීපයක් කරලා දැන් ව්‍යාපාරික මට්ටමින් එය කරගෙන යන්න සැලසුම් කරනවා. ඇත්තටම තාත්තා හිටිය නම් හුඟක් සතුටු වෙයි ඒ ගැන.  
තාත්තා ගැන දුවකගේ මතක කොහොමද කියල ඉවරකරන්නෙ?  

 

 


පුෂ්පා ඉලංගන්තිලක  
ඡායාරූපය - චානුක කුලසේකර