යුදා ආගමිකයන්ගේ කොළඹ ‘නවාතැන’


කොළඹ, කොල්ලුපිටිය ආනන්ද කුමාරස්වාමි මාවතේ සිනමන් රෙඩ් හෝටලය ඉදිරිපිට ‘‘චාබඩ්’’ හවුස් යනුවෙන් හැඳින්වෙන ස්ථානයක් ඇත. තාප්පයකින් වට වූ එම ස්ථානයේ ගේට්ටුව නිතරම වසා ඇත. ඉඳහිට විදේශිකයින් දෙදෙනෙකු තුන් දෙනෙකු මෙම ස්ථානයට ඇතුළුවෙනවා විනා කිසිම ශ්‍රී ලාංකිකයකු මෙහි ඇතුළුවනු දක්නට ලැබෙන්නේ නැත. අඩුම වශයෙන් ‘‘චාබඩ් හවුස්’’ ස්ථානයට අල්ලපු වත්තේ සිටින ආරක්‍ෂක නිලධාරියාවත් චාබඩ් හවුස් කියා ස්ථානයක් ඇති බවවත් දන්නේ නැත.   


ශ්‍රී ලාංකිකයින්ට ආගන්තුක වූ මෙම ස්ථානයට සෑම සිකුරාදා දිනයකම සවස හතර වන විට තිහ හතළිහක විදේශිකයින් පිරිස් පැමිණෙනු දැකිය හැක.   
ශ්‍රී ලංකාවේ ඇති එකම යුදා ආගමික වන්දනා ස්ථානය එනම් ‘‘සිනොගය’’ පිහිටා ඇත්තේ මෙම චාබඩ් හවුස් හිය. ‘‘චාබඩ්’’ යනු මෙම ආගමිකයින් අයත් ජාත්‍යන්තර සංවිධානයයි. කොල්ලුපිටියේ පිහිටි චාබඩ් නිවස ජුදා ආගමික සිනොගයක් ලෙස මෙන්ම, ශ්‍රී ලංකාවට පැමිණෙන ජුදා ආගමිකයින් මුණගැසෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන්ද භාවිත වෙයි.   


ජුදා ආගමේ පූජකයා හඳුන්වන්නේ ‘‘රබ්බි’’ යන නමිනි. මෙම සිනොගය භාර රබ්බිවරයා සිනෝ මයින්ඩන්චික්ය. ඊශ්‍රායෙල් ජාතිකයෙකු වන ඔහු ටෙල් අවිව්හි ජුදා විශ්වවිද්‍යාලයේ ජුදා ආගම පිළිබඳව උපාධිධරයකු වෙයි. දරු තිදෙනෙකුගේ පියෙකු වන ඔහු ශ්‍රී ලංකාවට පැමින වසර හයක් සපීරී ඇත.   
රබ්බිවරයාගේ ප්‍රධාන වගකීම සබත් දින මෙහෙයන් පැවැත්වීමය. සබත් දින ආරම්භ වන්නේ සිකුරාදා දින හිරු බැසගිය පසුවය. සාමාන්‍යයෙන් සිකුරාදා සවස හයට ආරම්භ වන සබත් මෙහෙයන් සෙනසුරාදා පාන්දරයාමය දක්වා පැවැත්වෙයි. මෙම සබත් මෙහෙයන් පැවැත්වෙන ස්ථානයෙහි ඉදිරිපිට සුවිශේෂ ස්ථානයක ජුදා ආගමිකයන්ගේ ශුද්ධ ග්‍රන්ථය වූ ‘‘තෝරා බයිබලය’’ තැන්පත් කර ඇත.   


‘‘තෝරා බයිබලය’’ එම කුටියෙන් බැහැරට ගන්නේ අඩුම වශයෙන් ජුදා ආගමිකයින් දහ දෙනෙක්වත් එකතුවුවහොත් පමණකි.   
චාබඩ් හවුස්හි ජුදා ආගමික මෙහෙයන් සඳහා වැඩිපුර එන්නේ යුදෙව් සංචාරකයින්ය. ව්‍යාපාර කටයුතු සඳහා මෙහි නේවාසිකව සිටින යුදෙව්වන්ය.   
සිකුරාදා දිනයෙක, එනම් සබත් දිනයක ආරම්භයෙන් පසු ජුදා ගෘහයක ගිනි දැල්වීමක් සිදු නොකරන නිසා විදුලි බුබුළු දැල්වීමද ඒ වෙලාවට පෙර සිදුවෙයි. එම වෙලාවට පෙර ආහාර පිළියෙල කර උණුසුම් පෝරණුවල තැන්පත් කරනු ලබයි.   


සබත් දින මෙහෙයන් රබ්බිවරයා විසින් සිදු කරන අතර එම මෙහෙයට සහභාගී වන අවස්ථාවේ ස්ත්‍රී පක්‍ෂය වෙනමත්, පුරුෂ පක්‍ෂය වෙනමත් රෙදි කඩතුරාවකින් දෙපසට වී සහභාගීවෙති.   


එම ආගමික මෙහෙයෙන් පසුව රාත්‍රී ආහාර භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබේ. එහිදී කාන්තා පුරුෂ දෙපාර්ශ්වයම වාඩිවන්නේ අඛණ්ඩව එක දිගට ඇති මේසයකය. එන පිරිස අනුව සාලාවෙන් පිටතටද මේසය දිග්කරනු ලැබේ. එම රාත්‍රී ආහාර භෝජන සංග්‍රහයේ ප්‍රමුඛයා රබ්බිවරයාය.   


ප්‍රථමයෙන් වයින් බඳුනක් ගෙන එයට යැදුමක් සිදුකර වයින් බිඳුවක් පානය කර ආහාර මේසයෙහි වාඩි වී සිටින සියලු දෙනා අතටම යවන අතර ඔවුන් එයින් බිඳුවක් බැඟින් තොලගානු ලැබේ. පසුව සියලු දෙනාම අත් සෝදා ගනිති. මුහුන් එක් නොකළ පාන් පෙතිවලට කපන රබ්බිවරයා එම පාන් පෙතිවලට ලුණු ඉස ආහාර මේසයෙහි සිටින අය වෙත වැළඳීම සඳහා පිළිගන්වනු ලැබේ.   


සිනොගයක් ලෙසින් මෙන්ම, ජුදා ආගමික වත්පිළිවෙත් අනුව ආහාර පිළියෙල කරන ස්ථානයක් වන KOSHER HOUSE වශයෙනුත් මෙහි කටයුතු සිදු වෙයි.   
ජුදා ආගමික වත් පිළිවෙත් අනුව ඔවුනට සූකරමාංශ වැළඳීම තහනම්ය. ඉස්සන්, කකුළුවන්, දැල්ලන් අනුභවය තහනම්ය. මත්ස්‍යයන් අතරින් වරල් සහ කොරපොතු ඇති මත්ෂ්‍යයන් කෑමට සුදුසු ලෙස සැලකේ.   
බොහෝ විට එළවළු අතරින් බෝංචි ආහාරයට නොගන්නා අතර, සතුන් අනුභව කළ එළවළු කිසිසේත් ආහාරයට නොගනී. එළවළු හැරුනු විට, අනික් ආහාර ​බොහෝමයක්, චාබට් හවුස් වෙත ගෙන එනු ලබන්නේ ඊශ්‍රායලයෙනි.   


ඕනෑම ආහාරයක් පිළියෙල කිරීමට පෙර රබ්බිවරයා ඒවා මැනවින් පරීක්ෂාකර අනුමැතිය දිය යුතුය. මස් කෑමෙන් පසු කිරිපානය කිරීමට අඩුම වශයෙන් පැය දෙකක් ගත කළ යුතුය. එසේම ඔවුන් කිරි සහ කෝපි එකට කළවම් කර පානය නොකරති. කිරි වෙනමත් කෝපි වෙනමත් පානය කරන අතර ඒ සඳහා වෙනම හැඩයේ භාජන ඇත.   
ජුදා ආගමික වත් පිළිවෙත් සඳහා භාවිත කරන ‘‘මික්චි’’ යනුවෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ එකම නාන තටාකය චාබඩ් හවුස් හි පිහිටා ඇත. වැස්සෙන් එකතුවෙන ජලය පෙරා මෙම තටාකයට ජලය එකතුකරගන්නා එකම ක්‍රමය වෙයි.   


කාන්තාවන්ගේ මාසික පිරිසිදුවීමෙන් පසුව මෙම මික්චි තටාකයෙන් ස්නානය කර තම පුරුෂයා හා ලිංගිකව එක්වීම ආශිර්වාදිත කරුණක් ලෙස ජුදා ජනතාව සලකනු ලැබේ.   
එසේම ජුදා ආගමට කෙනකු ඇතුළත් කර ගැනීමේදී ‘‘මික්ච්’’ තටාකයක ගිල්වා ස්නානය කරනු ලැබේ. නමුත් ඒ වර්ගයේ මික්ච් මෙරට නැත.   
ජුදා ආගම එක් ආකාරයක ගෝත්‍රික ආගමකි. ගෝත්‍රයෙන් පිට අයට එම ආගමට ඇතුළත් වීමට නොහැක. ඒ සඳහා රුධිර සම්බන්ධතාවක් තිබිය යුතුය. විශේෂයෙන් එම සම්බන්ධතාව මනින්නේ මව් පාර්ශ්වයෙනි.   


නමුත්, ශ්‍රී ලාංකික එකම ජුදා ආගමිකයා වන ඩැනී පෙරේරා ජුදා ආගමට එකතු වෙන්නේ එවැනි ඥාති සම්බන්ධතාවක් නිසා නොවේ.   
කොළඹ ගල්කිස්සේ උපන් ඔහු ඉගනුම ලැබුවේ ස්ටැපර්ඩ් විදුහලේය. 1950 ගණන්වලය.   
‘‘ඒ කාලෙ අපේ නිවස අවට ගොඩාක් ජුදා ආගමිකයින් හිටියා. ජුදා සංහාරයෙන් බේරිලා ආපු අයට අපේ තාත්තල ගෙවල් කුලියට දීලා තිබුණා. ඒක නිසා මට ගොඩක් යුදෙව් යාළුවො හිටියා.’’   


ඩැනි පෙරේරා පවසන ලෙස දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළ ඔහුගේ මාමා කෙනෙකු ඊජිප්තියානු යුදෙව් කාන්තාවක සමඟ විවාහ වී ඒ වන විට ගල්කිස්සේ පදිංචිව සිටියේය.   


මෙලෙස ශ්‍රී ලංකාවේදී වැඩි වශයෙන් යුදෙව්වන් ඇසුරු කළ ඔහු 1972 දී ජර්මන් ඉ​ෙගනීම සඳහා ප්‍රෙඩ්රික් ඇලෙක්සැන්ඩර් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ විට නේවාසිකාගාරය බෙදා හදා ගන්නට සිදු වූයේද යුදෙව්වන් සමඟය.   


මේ වන විට ඊජිප්තියානු යුදෙව් කාන්තාවක සමඟ විවාහ වී සිටි ඩැනීගේ මාමා ඊශ්‍රායලයට පැමිණ සිටියේය. 1978 දී ඩැනී ඔවුන් සමග පදිංචියට ගියේය.   
.යුදෙව් තරුණියක වූ අවීවා සමඟ ඩැනී පෙම් සබඳතාවක් ඇතිකරගන්නේ එම කාලයේය.   


‘‘අවීවා මට ජුදා ආගමට එන්න කිව්වේ නැහැ. නමුත් මම ඊශ්‍රායලයේ ඉන්නවා නම් ජුදා ආගම ගැන දැනගන්න ඕනය කියල හිතුණා.’’ සිංහල බෞද්ධයකු වූ ඩැනී පෙරේරා, ජෙරුසලමේ ජුදා ආගමික ශාස්ත්‍රාලයක අර්ධවාර්ෂික පාඨමාලාවක් හදාරන්නේ එම නිසාය.   


‘‘සාමාන්‍යයෙන් ජුදා ආගමට අලුතෙන් එකතු කරගන්නවා අඩුයි. වසර ගණනාවක් පීඩාවට පත්වුණ ආගමික කොට්ඨාසයක සාමාජිකයකු වන්නේ ඇයි කියලා රබ්බිවරයා මගෙන් ඇහැව්වා. ජුදා ආගමේ ඉතිහාසයට හා සම්ප්‍රදායට මම හුඟාක් උනන්දුයි කිව්වා. කොහොම හරි මට ඒ සුවිශේෂ අවස්ථාව ලැබුණා.’’ ඩැනී පෙරේරා පැවසීය.   
පසුව ඔහු වසර තුනක පුහුණුවෙන් පසු ඊශ්‍රායෙල් ආරක්‍ෂක හමුදාවට බැඳුණේය. ඔහු පවසන්නේ ඊශ්‍රායෙල් හමුදාවේ කමාන්ඩර් පදවියක් ලද ප්‍රථම ආසියාතිකයා ඔහු බවය. එමෙන්ම ඊශ්‍රායෙල් විදේශ ගමන් බලපත්‍රයක් ඇති එකම ශ්‍රී ලාංකිකයා ඔහු බවය.   


ඊශ්‍රායෙල් යුදෙව් තරුණියක වූ අවීවා සමග විවාහ වූ ඩැනී පෙරේරාට ලිහිනි යනුවෙන් දුවක්ද, ලියරෝයි යනුවෙන් පුතෙක්ද සිටිති. ඔවුන් ජීවත්වන්නේ ටෙල් අවිව් නගරයේය. වසරකට වරක් ඔව්හු ශ්‍රී ලංකාවට පැමිණෙති.   


කලක් ඊශ්‍රායලයේ රෙදි සායම් කිරීමේ පෙහෙකම්හල් කීපයක් පවත්වාගෙන ගිය ඔහු පසුව ශ්‍රී ලංකාවට පැමිණ සකස් කළ මත්ස්‍යයන් අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.’’   
‘‘කටුනායක ගුවන්තොටුපළේ ගුවන් යානාවලට එල්.ටී.ටී.ඊ ප්‍රහාර එල්ලවෙනකම් යුදෙව් පවුල් හතළිස් අටක් ලංකාවේ හිටියා. ඒ ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායෙල් රජය ඔවුන්ව ඊශ්‍රායලයට ගෙන්වා ගත්තා.’’ එසේ පවසන ඩැනී පෙරේරා වැඩිදුරටත් කියන්නේ බොරැල්ල කනත්තේ ජුදා ආගමිකයින් සඳහා වෙනම කොටසක් වෙන්කර ඇත්තේද වැඩි යුදෙව් පිරිසක් මෙරට සිටි නිසා බවය.   


කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ඉදිරිපසට වෙන්නට ජුදා වන්දනා ස්ථානයක් තිබී ඇත. අද බාලතම්පෝ මාවත එදා හඳුන්වා ඇත්තේ. ‘‘සි​ රෝඩ් යනුවෙනි. (ජුදා පල්ලිය හඳුන්වන්නේ සිනොගය යනුවෙනි.   
දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ මෙරට සිටි ජුදා ආගම අදහන්නන් මෙම සිනොගය තම ආගමික කටයුතු සඳහා භාවිතයට ගෙන ඇත. එක්දහස් නවසිය පනහ - හැට කාලය ඇතුළත මෙම සිනොගය විනාශයට පත් කර ඇත.   


නමුත් ශ්‍රී ලංකාවේ යුදෙව් අතීතය එයටත් බොහෝ ඈතට දිවයයි. අදිරිස් නමැති අරාබි සංචාරකයා පවසන ලෙස නමවන සියවසේ මෙරට පාලනය කළ රජු (හතරවන කාශ්‍යප) සමීපයෙහි සිටි උපදේශකයින් දහසය දෙනා අතර ජුදා උපදේශකයින් සතර දෙනෙකු සිට ඇත.   


දහවෙනි සියවසෙහි මෙහි පැමිණි අබු සෙයින් අල් හසන් නමැති අරාබි දේශගවේෂකයා පවසන්නේ ඔහුට ශ්‍රී ලංකාවේදී බොහෝ යුදෙව්වන් හමුවූ බවය. දොළොස් වන සියවසේ මෙහි පැමිණි බෙන්ජමින් ඔෆ් ටුඩෙල්ලා පවසන්නේ එවකට ශ්‍රී ලංකාවේ යුදෙව්වන් තුන් දහසක් ජීවත් වූ බවය.   


පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු මෙරට සිටි සමහර යුදෙව්වන් මෙරටින් පිටව යන්නට ඇත. නැතිනම් මෙරට සිටි අනිත් ජාතීන් අතරට මුහුවෙන්නට ඇත.   
ජනමාධ්‍යවේදීයකු සහ පර්​ෙ‌ය්ෂකයකු වන ජේ.බී. මියුලරි පවසන්නේ බොහෝ බර්ගර් ජාතිකයින් යටත් විජිත සමයේ, පෘතුගීසි හා ලන්දේසි සමග මිශ්‍ර වූ ජුදා මූලයන් ඇති බවය.   
ජර්මනියේ ජුදා පවුලකට අයත් මාරි මියුසියස් හිඟින්ස් මැතිනියගෙන් මෙරට බෞද්ධ අධ්‍යාපනයට සිදුවූයේ අතිසුවිශාල සේවාවකි. ජර්මනියේ මැක්ලන්බර්ග් ප්‍රාන්තයේ අගවිනිසුරුවරියකගේ දියණියක වූ ඇය ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ මියුසියස් විද්‍යාලය ආරම්භ කළාය.   


බ්‍රිතාන්‍ය යුදා පවුලකින් පැවත එන ලෙනාඩ් මුල්ෆ් බ්‍රිතාන්‍ය පරිපාලන සේවයට ඇතුළත්ව 1908 සිට 1911 දක්වා ලංකාවේ දකුණු පළාතේ සේවය කර හම්බන්තොට උපදිසාපතිවරයා ලෙසද සේවය කළේය. දකුණු පළාතේ වනගත ගම්වැසියන්ගේ ජීවිතය අළලා ඔහු ලියූ බැද්දේගම සාහිත්‍ය ලෝකයේ සම්භාවනවාට පාත්‍රවිය.   
1936 ශ්‍රී ලංකාවේ අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස සේවය කළ සිඩ්නි ඒබ්‍රහම්, බ්‍රිතාන්‍යයේ බර්මින්හැම්හි යුදා පවුලක උපත ලැබූවෙකි. ලංකා සමසමාජ පක්‍ෂය විසින් පවරන ලද බ්‍රෙස්ගේල්ඩ් පිටුවහල් කිරීමේ නඩුවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාට විරුද්ධව තීන්දුවක් දෙමින් හෙතෙම ශ්‍රීලංකා නීති හා දේශපාලන ඉතිහාසයේ ගෞරවනීය චරිතයක් බවට පත්විය.   


වාමාංශික දේශපාලනයේ ගෞරවනීය චරිතයක් වූ පීටර් කෙනමන් මහතාගේ බිරිඳ හෙයිඩ් ද ඔස්ට්‍රියානු යුදෙව් කාන්තාවකි. කේම්බ්‍රිජ් සරසවියේදී ඇති වූ පෙම් සබඳතාවයකින් පීටර් කෙනමන් හා විවාහ වී මෙරට පැමිණි ඇය තම සැමියා සමඟ දේශපාලන කටයුතුවල නිරතවූවාය. නිතරම රතු කපු සාරියකින් සැරසුණු ඇය බොහෝ දෙනා හැඳින්වූයේ ‘‘බජිරි නෝනා’’ යනුවෙනි. ඒ අැය දෙවන ලෝක යුද සමයේ සහල් හිඟවූ විට රටවැසියන් අතරේ ආහාරය සඳහා බජිරි ඇට බෙදා දුන් නිසාය.   


ජර්මන් යුදෙව් පවුලක තරුණියක වූ ඈන්, සිංහල බෞද්ධ වෛද්‍යවරයකු වූ වෛද්‍ය ඩී.ඒ. රණසිංහ සමඟ විවාහ වී මෙරට පදිංචියට පැමිණි අයෙකු වූවාය. දරුවන් හත් දෙනෙකුට මවක් වූ ඇය සැමියා මියයෑමෙන් පසු කාව්‍යකරණයට පිවිසියාය. සුරූපී තරුණියක වශයෙන් ඇය ලද අත්දැකීම් ඇයගේ කවිවලට ප්‍රස්තුත වී ඇත.   


ශ්‍රී ලංකවේ මෙන්ම ජර්මනියේද ඇගේ කාව්‍ය නිර්මාණ සඳහා සම්මාන හිමිවී ඇත. පසු කාලයක ඇයට ශ්‍රී ලාංකික පුරවැසිකම ලැබුණි.   


ඈන් රණසිංහ බොහෝ විට පැවසුවේ එකම ලාංකික යුදෙව්වා තමන් බවය. ඇය යුදෙව් පවුලක උපත ලබා විවාහයෙන් පසුව ශ්‍රී ලාංකික වූවාය.   
නමුත් ඩැනී පෙරේරාගේ කතාව එයට වෙනස්ය. ඔහු සිංහල බෞද්ධ පවුලක උපත ලබා පසුව යුදෙව් ආගම වැලඳ ගත්තේය.   


ඒ අනුව ප්‍රථම සිංහල යුදෙව්වා ඩැනී පෙරේරාය.   


බ්‍රිතාන්‍ය පාලන සමයේ (1841-1865) බ්‍රිතාන්‍ය යුදෙව්වෙකු වූ ඩිස්රායෙල් අගමැතිව සිටි සමයේ බ්‍රිතාන්‍ය යුදෙව්වෝ තමන්ගේ සෞභාග්‍යය සොයා යටත්විජිත රටවලට පැමිණියෝය.   
යුරෝපීය බැංකුකරුවන් වන රොක්ෂීල්‍ඩ් පවුලට ඥාති සබඳකම් ඇති, ඩී. වොර්ම සහෝදරයන් වූ මොරිස් සහ ගේබ්‍රියෙල් යන බ්‍රිතාන්‍ය යුදෙව් ජාතිකයින් දෙදෙනා මෙරට පැමිණ නුවරඑළියේ මහා කැලෑ එළිකර කෝපි වැවූහ. තම වගා බිම් ඔවුහු රොක්ෂීල්ඩ් වතුයාය යනුවෙන් නම් කළහ. වෛරස් රෝගයක් නිසා කෝපි වගාව අසාර්ථක වූ විට මොවුන් චීනයෙන් තේ බීජ ගෙනැවිත් රොක්ෂීල්ඩ් වතුයායේම වගා කළහ.   


ශ්‍රී ලංකාවේ කෝපි වගාව මෙන්ම තේ වගාවද ආරම්භ කළේ මෙම බ්‍රිතාන්‍ය යුදෙව්වන් දෙදෙනාය.   


මොවුන් අතරින් ගේබ්‍රියෙල් වෝර්ට්, ඡන්දය දීමේ අයිතිය සීමිත පිරිසකට පමණක් හිමිව තිබූ සමයේ 1847 දී ව්‍යවස්ථා සභාවට ඡන්දයෙන් පත්විය.   


කතෝලිකයකු නොවන යුදා ආගමිකයකු වූ බයිබලය මත අත තබා දිවුරුම්දීමට අකමැතිවිය. මෙනිසා ගේබ්‍රියෙල් වෝර්ම්ට ලංකාවේ ව්‍යවස්ථා සභාවට ඡන්දයෙන් පත් වූ එකම ජුදා මන්ත්‍රීවරයා වශයෙන් ඉතිහාසයට එක්වීමේ මහඟු අවස්ථාව නැති විය.   


1865 දී ඩී. මෝර්ම්සිලා තම වතුයායෙන් මෙන්ම ශ්‍රී ලංකාවෙන්ද බැහැරව ගියහ.   

 


පීටර් කැනියුට් පෙරේරා