යුගයක යශෝරාවය ඔහුයි


පරපුරක උරුමය

 

“දරුවන් දෙදෙනා කෙරෙහි මා තුළ පවත්නා අැල්ම විටෙක මටම පීඩාවක් බවට පත්වෙයි. කුඩා අවධියේ දරුවන් දෙදෙනාම මගේ පුස්තකාල කාමරයේ පාඩම් කළහ. දඟකරමින්, කෑගසමින් ඔවුන් කාමරයේ සිටීම විටෙක හිරිහැරයක් වුවද මානසික වශයෙන් සුවයක් විය. 


මා බොහෝදුරට ලියුවේ ඔවුන් දෙසද බලමිනි. ඔවුන්ට කියැවිය නොහැකි නැරඹිය නොහැකි එක අකුරක්වත් මා අතින් ලියැවී නැත. වයසින් වැඩෙත්ම පළමුව දුවද ඉක්බිතිව පුතාද තම තමන්ගේ කාමරවලට වූහ. මම හුදකලා වූවෙමි. 


ඔවුන් කුඩා කල වාඩිගත් පුටුව පමණක් ඉතිරි විය. එම පුටුව වසර විසිපහක් තිස්සේ තවමත් මගේ ලියන මේසය ළඟ තබා ගෙන සිටින්නේ දරු සුවඳ සඳහාය. සියලු බැඳීම්වලින් සිත නිදහස් කර ගැනීමට කාලය පැමිණ ඇතත් දරු බන්ධනය හරස් වෙයි.” 


මෙම පාඨය ලියූ තාත්තා දැන් අප අතර නෑ. 


මෙහි කියැවෙන පුතා නම් මේ දැන් මෙතැන අප සමග සිටිනවා. 


තාත්තා - සෝමවීර සේනානායක 


පුතා - අකලංක සේනානායක 


සෝමවීර සේනානායක නම ඉදිරියේ විශේෂණ පද රාශියක් ලියන්නට තිබුණත් ඒ කිසිවක් නොමැතිව වුවත් නම කී පමණින් ඔහු ගැන මේ රටේ ජනතාව තුළ ගෞරවනීය මතකයක් තිබෙන බවට සැකයක් නෑ. ඒ වෙසෙසින්ම ඔහු රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මෙරට ජන සමාජයේ ‘නිල ඇල්ලූ’ පුරෝගාමියෙක් නිසා. 


පුවත්පත් කලාවේදියෙක්, නවකතාකරුවෙක්, කෙටි කතා හා ළමා කතා රචකයෙක් රූපවාහිනී හා සිනමා තිර රචකයෙක්, විචාරකයෙක්, පරිවර්තකයෙක්, ලේඛකයෙක්, දේශකයෙක් ආදී වශයෙන් මෙරට සාහිත්‍ය කලා අංශ රැසක සුවඳැති මල් පුබුදුවාලූ සෝමවීර සේනානායකයන් ඒ සියල්ලටම වඩා ගුණයහපත් මිනිසකු වශයෙන්ද ප්‍රකටව සිටියා. 
2002 වසරේදී පමණ ඔහු විසින් ලියා පළ කරන ලද අපි තවමත් සංසාරේ නමැති ජීවිත සටහන් පොතෙන් උපුටා ගත් ඉහත දැක්වූ පාඨය ඔහු තුළ උතුරා ගිය දරු සෙනෙහස පිළිබඳ කදිම සාක්කියක්. 


ඉතින් දැන් අපි අකලංක සේනානායකට ඒ ගැන කියන්නට ඉඩහරිමු. 


“ඇත්තටම අපි පුංචි කාලෙ ගෙදරදී වැඩිපුරම කාලය ගත කළේ තාත්තගෙ පුස්තකාලෙ. ගෙදර විශාල පුස්තකාලයක් තියෙනවා. තාත්තාත් දවසෙ වැඩි කාලයක් ඉන්නෙ ඒ පුස්තකාලෙ. පාන්දරම නැගිටලා බුදුන් වැඳලා ලියන්න පටන් ගන්නවා. සමහර විට එක දිගටම ලියනවා. එහෙම නැත්නම් ලිවීම ටිකක් නවත්තලා මිදුලට බැහැලා වත්තෙ ඇවිදලා එහෙම ඇවිත් ආයෙත් ලියනවා. නැත්නම් කියවනවා. හවස ලියන්න පටන් ගත්තාම මහ රෑ වෙනකල්ම ලියනවා. ලිවීම, කියවීම හැර තාත්තාට වෙන වැඩක් තිබුණෙම නැති තරම්. 
සමහර දවසට හිටි හැටියෙම අපි ඔක්කොම එක්ක ඈත දුර ගමනක් ගිහින් දවසක් දෙකක් හොඳ විවේකයෙන් ඉඳලා එනවා. සතියකට දෙකකට සැරයක් තාත්තගෙ ගමේ යනවාමයි. ආච්චියි සීයයි බලන්න අවිස්සාවේල්ලෙන් බැලවානට යන ඒ ගමනටත් නිතරම වගේ අපි එක්ක යනවා. අාච්චියි සීයයි නැති වුණාට පස්සෙත් මාසෙකට දෙකකට වරක්වත් එහෙ යනවා. බැලවාන කැලණි ගඟ අද්දර ලස්සන ගමක්. 


තාත්තා ලියනවා කියලා පුංචි කාලෙ අපට ඒතරම් දැනුමක් නෑ. පස්සෙ අපි ටික ටික ලොකු වෙනකොට අක්කයි මමයි ටිකක් සද්ද කළත් තාත්තා නෙවෙයි අම්ම තමා අපට සීමා පනවන්නෙ. ඉතින් හැම වෙලාවෙම අපට පරිස්සම් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා ගෙදර හරි නිහඬ පරිසරයක් තිබුණෙ. 


අම්ම වුණත් ගුවන්විදුලිය, රූපවාහිනිය එහෙම ඇහුවෙ බැලුවෙ නෑ සද්දෙට. ඒ තාත්තා එපා කියලම නෙවෙයි. අම්මා තාත්තට සුදුසු පරිසරය හදල දුන් විදිහ. හැබැයි තාත්ත ලියූ ටෙලිනාට්‍යයක් යන වෙලාවට අපි ඔක්කොම එකට ඉඳලා බලනවා. 


සමහර චරිත අරය වගේ මෙයා වගේ කියල අපට තේරෙනවා. ලොකු කාලෙ නම් අපි නාට්‍යවල සමහර දේ ගැන අපේ අදහස් කියනවා. මෙහෙම හරි නෑ. ඒක මෙහෙම වුණා නම් හොඳයි කියනවා. සමහර ඒවා තාත්තා පිළිගන්නවා. එහෙම නැත්නම් ඒක එහෙම වුණේ හෝ නොවුණේ ඇයි කියලා පහදලා දෙනවා. 


මං රැකියාවට ගියාට පස්සෙ තාත්ත පරිගණක හෝ වෙනත් අලුත් තාක්ෂණයට අද‌ාළ දේ මගෙත් එක්ක කතා කළා. ඒ වගේම මගේ පරම්පරාවෙ තරුණයන්ගෙ අදහස් උදහස් ආකල්ප ගැන සාකච්ඡා කරනවා. ඒ අදහස් තාත්තගෙ කතාවල චරිත හැසිරවීමට උදව් කරගන්නවා. මොනව ලිව්වත් ඒ වගේ අද‌ාළ හුඟක් තොරතුරු හොයල නිවැරදිම දේ දැනගෙන තමා තාත්තා ලියන්නෙ. අනුමානෙට ලියන්නෙ නෑ...” 


අකලංක සේනානායක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් මෙන්ම පරිගණක ආයතනයක විධායක නිලධාරිවරයෙක්. අප ඔහු හමු වුණේ බොරලැස්ගමුව, ඇඹිල්ලවත්ත පාරේ සෝමවීර සේනානායකයන් විසූ නිවසේදීමයි. අදත් බෙහෙවින් නිස්කලංකව සාඩම්බර ලීලාවෙන් එම නිවස නැගී සිටින්නේ ලේඛකයකුට විශිෂ්ට නිර්මාණ උල්පත් පාද‌ා දුන් ඓතිහාසික මෙහෙවරක උරුමය විදහාපාමින්. 


නවකතා දහයක් ඇතුළු ග්‍රන්ථ විසිතුනක් ද දීර්ඝ ටෙලි රචනා විසි එකක් ද ඒකාංගික ටෙලි නාට්‍ය තිහකට වැඩි සංඛ්‍යාවක් ද වාර්තා ටෙලි පිටපත් විස්සක්, චිත්‍රපට තිර රචනා එකොළහක් යනාදී වශයෙන් සෝමවීර සේනානායකයන්ගේ නිර්මාණ සම්පත් මහ ගොඩක් ගණනය කළ හැකි නමුත් මෙම සංඛ්‍යා ඇතැම් විට මීට වැඩි මිස අඩු නොවන බව නම් විශ්වාසයි. 


ඉතින් සෝමවීරයන්ගේ වචනවලින්ම කියනවා නම් “මා මේ සියල්ල ලියා ඇත්තේ මගේ නිවස තුළදීය.” යන්නෙහි ඇති ආස්වාදය කොතරම්ද? 


“ඒ හැර තාත්තගෙ පුවත්පත් ලිපි සංඛ්‍යාව සිය ගණනක් ඇති. පත්තරේ වැඩ කරන කාලෙ ඒ වෙනුවෙන්ම කැපවූ තාත්තා තමන්ගේ නිර්මාණ කටයුතු ගෙදරදීම කිරීම සිරිතක් කොටගෙන තිබුණා. 


ලේක්හවුස් එකේ රැකියාවට ගිහින් තියෙන්නෙ විශ්වවිද්‍යාල අවසාන විභාගයට ලියා ඉවරවූ ගමන්මයි. එද‌ා නවයුගය පුවත්පතේ උපකර්තෘවරයකු ලෙස බඳවා ගැනීම තාත්තාට ලොකු සතුටක් වුණේ පාසල් අවධියේත් මුලින්ම ලිපි ලියා තිබෙන්නෙ එයට නිසා. කොහොම වුණත් ලිපි විසි-තිස් ගණනක් යැව්වට පස්සෙ තමා එකක් පළවෙලා තියෙන්නෙ. ලිපියක් සඳහා මුලින්ම රුපියල් දහයක ගෙවීමක් ලැබිල තියෙන්නෙත් නවයුගයෙන්මයි. 


ඉන් පස්සෙ සිළුමිණ, දිනමිණ, සරසවිය වගේ අනෙක් පත්තරවලත් වරින්වර උපකර්තෘ තනතුරේ වැඩ කරලා, පසුව නවයුගයේම ප්‍රධාන කර්තෘ වීමට ලැබීමත් තාත්තාට ලොකු සතුටක් වුණා. ඒත් පසුකාලීනව විවිධ හේතු නිසා යම් යම් කලකිරීම් ඇතිවී තිබෙනවා. 


උපාධි කිහිපයක්ම තිබිලත් 1986 විතර ලේක්හවුස් එකෙන් ඉල්ලා අස්වනතුරුම තාත්තා වෙන කිසිම රැකියාවකට ඉල්ලුම් කර නෑ. හැලහැප්පිලි මැද වුවත් පුවත්පත් රැකියාවට ඔහු ඉතා ඇලුම් කළා. 


තාත්තගෙ මුල්ම නවකතාව ‘ආදරයට බය මිනිස්සු’ ඉන් පසුව ‘අඹුසැමියෝ’, ‘මවකගේ ගීතය’, ‘එක්ටැම් ගෙවල්’, ‘මතු දවස’, ‘ඉරහඳ පායන ලෝකය’, ‘යශෝරාවය’, ‘මැණික් නදිය ගලා බසී’, ‘බලදේවගේ ලෝකය’, ‘පංචවරුණ’ කියන නවකතා අතරින් මම ‘මවකගේ ගීතය’ සහ ‘පංචවරුණ’ නවකතා දෙකට හුඟක් කැමතියි. 


මවකගේ ගීතයට පසුබිම වෙලා තියෙන්නෙ තාත්තගෙ ගම. බැලවාන, ඇපලපිටිය, තල්දූව ආශ්‍රිත ගැමි ජීවිතය. මම ඒකට තදින් සංවේදී වුණා. 


ඔහු වැඩිපුර මහන්සි වුණේ මැණික් නදිය ගලා බසී, ඉරහඳ පායන ලෝකය, පංචවරුණ වැනි නවකතාවලට. මොකද, ඒවාට හුඟක් තොරතුරු හෙව්වා. මැණික් කර්මාන්තය, ඒ ආශ්‍රිත ජන ජීවිතය, මැණික් ව්‍යාපාරයේ ස්වාභාවය පිළිබඳ සෑහෙන්න ගවේෂණය කරලා තමා මැණික් නදිය පොත ලියා තිබෙන්නේ. 


පංචවරුණ නවකතාවට ජ්‍යෙතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ගැන පවා හැදෑරීම් කළා. තාත්තා ඉරහඳ පායන ලෝකය පොත ගැන සඳහන් කරන්නෙ මෙහෙම. 


“ඉරහඳ පායන ලෝකය ලිවීමට පෙර මහනුවර යුගයේ ආහාර පාන, සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම්, අවි ආයුධ, ඇදහිලි විශ්වාස, වචන ආදී වශයෙන් පරිච්ඡේද බෙද‌ා සටහන් ලියුවෙමි. මේ සඳහා පොත් රාශියක් කියවීමට සිදුවිය. ජනකතා, ජනකවි, ජන ඇදහිලි ගවේෂණය කළ යුතු විය. ඉක්බිතිව මහනුවර හඟුරන්කෙත අතර ඇවිදිමින් නවකතාවේ භූගෝලීය පරිසරය සටහන් කළෙමි. මා නවකතාව ලිවීම ආරම්භ කළේ මෙබඳු පෙර සූද‌ානමකින් පසුවය. 


සෝමවීරයන් නවකතාවක් සඳහා ගත් වෙහෙස, කැප කළ ශ්‍රමය මේ ආදී ප්‍රකාශ තුළින් හොඳටම පැහැදිලියි. ඒ වෙහෙස කිසිසේත් අපතේ නොගිය බව මේ රටේ සාහිත්‍ය රසික ජනතාව හොඳ‌ාකාරවම දන්නවා. මවකගේ ගීතය, යශෝරාවය, මැණික් නදිය ගලා බසී යන නවකතා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද අනෙක් සියලු නවකතා ඉහළම පාඨක ප්‍රසාදයෙන්ද බුහුමන් ලැබුවේ ඒ නිසයි. 


“තාත්තා ඔහුගේ සියලුම නවකතාවලට එක වගේ කැමැත්තක් දැක්වූවා, ආදරය කළා. කැමතිම එක කියලා එකක් වෙන්කරලා පෙන්නුවේ නෑ. ඊට හේතුව තාත්තා හැම පොතක්ම ප්‍රකාශයට පත් කළේ, තමා සියයට සියයක්ම සෑහීමකට පත්වුණොත් විතරයි. සමහර විට අපි දන්නෙ නැතුව ටිකක් ලියල එපා වුණ පොත් ඕන තරම් කුණු කූඩෙට ද‌ාලත් ඇති. 
තාත්තා පොත්වලට නම් දැම්මෙත් ගණ බලලා හරිම සැලකිල්ලෙන්. පිටකවරය ගැන වුණත් කවර නිර්මාණ ශිල්පියා සමග හුඟක් සාකච්ඡා කරනවා. 


රූපවාහිනී නාට්‍ය රචනය නිසා තාත්තගෙ නවකතා ලිවීම පසුබෑමකට ලක් වුණා තමා. නමුත් ඉහළම තරාතිරමේ සිට පහළම ජන කොටස් දක්වා මිනිසුන් සෝමවීර සේනානායක ගැන දැනගත්තේ රූපවාහිනියෙන්. ඒ ඒ නාට්‍යවල චරිත, තේමාවන්, පරිසරය එහෙම පොදු රසිකයාට සමීප අත්දැකීම් වුණ නිසා ඒ නාට්‍ය රචනා සමාජයට ආකර්ෂණීය වුණා. 
‘දූ දරුවෝ’ වැනි දීර්ඝ නාට්‍ය අත්හද‌ා බැලීම් නිසා තාත්තට ඒ සඳහා වැඩි කාලයක් ගත කරන්න සිදු වුණා. යශෝරාවය, බලදේවගේ ලෝකය, කන්දෙගෙදර, අසල්වැසියෝ, පළිඟුමැණිකේ, මැණික් නදිය ගලා බසී, මවකගේ ගීතය වගේ හැම නාට්‍යයක්ම මිනිස්සු බැලුවෙ ඒ අත්දැකීම තමන්ගෙ කරගෙන. 


තාත්තා ඔය නාට්‍යවලට යොද‌ාගත් චරිත අපි එදිනෙද‌ා දකින කියන ඇසුරු කරන පුද්ගලයන්. වීරසේකර මහත්තයා සුදුහාමිනේ, සූරසේන, බලදේව, සුවිමාලි, සුරනිමල, සුදු සීයා, බාල මහත්තයා, ලොකු හාමිනේ, පෝල් මහත්තයා මේ ඔක්කොම සැබෑ සමාජයේ ජීවත් වූ මිනිස්සු. යශෝරාවය මුළුමනින්ම මේ බොරලැස්ගමුව පසුබිම් වූ කතාවක්. වීරසේකර මහත්තයා පෝල් මහත්තයා එහෙම මේ අපේ ගේ ඉස්සරහ පාරෙන් ඒ කාලෙ නිතර යනව එනව.” 


චරිත පමණක් නොවේ. මධ්‍යම පන්තික පවුල් අරගලත් මිනිසුන්ට දැනුණා. විවෘත ආර්ථිකය නිසා ගැමි ජීවිත වගේම නාගරික ජීවිතත් ශීඝ්‍රයෙන් වෙනස් වෙද්දී උද්ගතවූ පවුල් ඛේදවාචක සෝමවීරයන්ගේ තිර රචනා තුළින් ඉතා නිර්මාණාත්මකව කියැවුණා. 


සෝමවීර සේනානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් නිර්මාණ සාහිත්‍යකරණය පිළිබඳ මුල්ම පාඨමාලාවේ ඉහළින්ම සමත්වූ ශිෂ්‍යයා වුණා. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ නිබන්ධය වුණේ යශෝරාවය නවකතාව. නවකතාවක් උපාධි නිබන්ධයක් ලෙස ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාවත් එය බවයි කියන්නේ. 


සෝමවීරයන් ඉතා නිරවුල්ව භාෂාව පරිහරණය කරන්නෙක්. ඔහුගේ නවකතාවේ සරල රීතිය නිසා පාඨකයාට සැහැල්ලුවෙන් එය විඳින්නට අවකාශ සැලසුණ බව තමා පොදු විචාරක මතය වුණේ. 


“කොතරම් රූපවාහිනී තිර රචනා ලිව්වත් තාත්තගේ කැමතිම මාධ්‍ය වුණේ නවකතාව. තාත්තම කියනවා රූපවාහිනී නාට්‍ය පැය බාගෙන් ඉවරයි. පොතක් පරම්පරා ගාණක් කියවනව කියලා. ඇත්තටම රූපවාහිනියට නැඹුරු නොවුණා නම් තාත්තාට තව නවකතා කිහිපයක් ලියන්න තිබුණා. 


අනික මට හුඟක් දැනෙන කාරණයක් තමා, තාත්තා කෙටිකතා පොත් පළ කළා මදි කියන එක. එක කෙටිකතා පොතයි පොතකට කියලම කතා ලියා පළ කළේ. පුවත්පත් සඟරාවලට පසු කාලෙ කෙටි කතා ලිව්වට මුලින්ම කළ ‘සුද්ද‌ා පරාදයි’ කෙටි කතා පොතට පස්සෙ පොතක් කළේ නෑ. ඒක ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා. 
තාත්තගෙ කෙටි කතාවලත් නවකතා තරම්ම හරවත්, සාරවත් ලක්ෂණ තිබුණා. ලෙස්ටර්ට වෑකන්ද වලව්ව තිර පිටපත ලියන්න ලැබීම ඔහු ජීවිතේ ලැබූ ඉහළම භාග්‍ය යැයි සිතුවා.


තාත්තාගේ අන්තිම ටෙලි නාට්‍ය පිටපත ‘රන්බැඳි මිනිස්සු’ මේ දිනවල විකාශය වෙනවා. 


ලියන්න කියලා තාත්තා අපට කිසි දවසක බල කරලා නෑ. අක්කයි මමයි වුණත් ඒ ගැන ලොකුවට හිතුවෙ නෑ. හැබැයි අපි පොඩි කාලෙ පත්තරවලට පොඩි පොඩි රචනා එහෙම ලිව්වා. ලිවීමේ හැකියාව තරමක් තියෙනවා. 


තාත්තගෙ උපහාර උත්සවයකට අක්ක ලියූ උපහාර ගීයක් ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරලා ලක්ෂ්මන් විජේසේකර ගායනා කරලත් තියෙනවා. තාත්තා අපි කැමති දේ හඳුනාගෙන ඒ මාර්ගයේ යන්න අපට පහසුකම් සම්පාදනය කර දුන්නා මිසක් අපට බලපෑම් කළේ නෑ. 


ඔහු වෙලාවට වැඩ කළ කෙනෙක්. අපටත් ඒක පුරුදු කරලා තිබුණා. තාත්තට කේන්ති යන දෙයක් තමා වෙලාව නොසලකා හැරීම. පන්ති ගියාම වුණත් වෙලාවට ගෙදර එන්න ඕන. අපි ඉස්කෝලෙ ගිහින් හරි ගෙදර එන්න ප්‍රමාද වුණොත් තාත්තාට ඉවසිල්ලක් නෑ. ඉස්තෝප්පුවේ ඉඳලා ගේට්ටුව ළඟටයි, ගේට්ටුවේ ඉඳලා ඉස්තෝප්පුවටයි අපි එනකල්ම ඇවිද ඇවිද ඉන්නවාලු.” 


අවිස්සාවේල්ල, බැලවානේ සෝමවීර සේනානායක බොරලැස්ගමුව, ඇඹිල්ලවත්ත පාරේ රූපා ලාලනී බමුණුආරච්චි සමග විවාහ වීමෙන් අනතුරුව සෝමවීරගේ ලිවීමට රූපාගේ ලැබුණු සහාය අප්‍රමාණයි. නිවස හා දරුවන්ගේ කටයුතු කරට ගත් අැය සියල්ල මැනවින් කළමනාකරණය කර නොගන්නට, සෝමවීර සේනානායක නමැති ලේඛකයෙක් ගැන මෙතරම් කතා කරන්නට දෙයක් ඉතිරි නොවන්නටද ඉඩ තිබුණා. 


ඇත්තටම අපේ අම්ම බොහොම ඉවසීමෙන්, කැපවීමෙන්, පරිස්සමින් ගෙදරදොර වැඩ කටයුතු කළා. තාත්ත වැඩක ඉන්නව නම් සමහරද‌ාට කෑම කන්න වුණත් සැරින් සැරේ මතක් කරන්න ඕන. පොතක් ලිව්වාම අම්මත් එක්ක ඒ ගැන කතා කරන සිරිතකුත් තාත්තගෙ තිබුණා. ඒ දෙන්න හොඳ අවබෝධයෙන් හිටියා. 


තාත්තා ලේඛකයෙක් වීම නිසා අපට ලැබුණු ප්‍රතිලාභ තමා කලා රසවින්දනයට හුරුවීම, භාෂාව සාහිත්‍යයට ආදරය කරන්න පුරුදුවීම. ඒ වගේම ජීවත් වන වටපිටාවෙන් තාත්තාට හිමි ගෞරවයෙන් කොටසක් නිතැතින්ම අපටත් ලැබුණා. 


සෝමවීර සේනානායක චිත්‍ර කතා රචකයකු ලෙසත් කලක් ජනප්‍රිය වී සිටියා. පෙතිගෝමර, සත්වෙනි දවස, තනිතරුව නමින් ඔහු සිළුමිණ පුවත්පතට ලියූ චිත්‍ර කතා සිනමාවටත් නැගුණා. ඔහු සාහිත්‍ය මෙහෙවරට සමගාමීව කළ සමාජ මෙහෙවරද නොසලකා හැරිය නොහැකියි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, හෙල්ප්ඒජ්, ලෝක බෞද්ධ සම්මේලනය, ෂියා පදනම, වැවිලි හා නිවාස සුබසාධන භාරය ආදී අන්තර්ජාතික ආයතන හා සංවිධාන සමග සම්බන්ධව ඔහු නිහඬ කාර්යභාරයක් ඉටු කළා. 


“තාත්තා තමයි පවුලෙ වැඩිමලා. ඒ නිසා තාත්තා ලොකු වගකීමකින් තාත්තගෙ නංගිලා, මල්ලිලා ගැනත් නිරන්තරයෙන්ම සොයා බැලුවා. ආච්චියි, සීයයි ඉන්න කාලෙ සිංහල අවුරුද්දට එහෙම ගෙදර කට්ටිය ඒ මහගෙදරට එකතු වෙනව වගේ ඒ දෙන්න නැති වුණාට පස්සෙ ඒ වගේ අවස්ථාවල ඔක්කොම මෙහෙ අපේ ගෙදරට තමා එකතු වෙන්නේ. තාත්තා නැතත් අද වුණත් ඒ සම්බන්ධකම්, බැඳීම් ඒ විදිහටම තියෙනවා. 

 

තාත්තා නාට්‍යවලට යොද‌ාගත් චරිත අපි එදිනෙද‌ා දකින කියන ඇසුරු කරන පුද්ගලයන්. වීරසේකර මහත්තයා සුදුහාමිනේ, සූරසේන, බලදේව, සුවිමාලි, සුරනිමල, සුදු සීයා, බාල මහත්තයා, ලොකු හාමිනේ, පෝල් මහත්තයා මේ ඔක්කොම සැබෑ සමාජයේ ජීවත් වූ මිනිස්සු. යශෝරාවය මුළුමනින්ම මේ බොරලැස්ගමුව පසුබිම් වූ කතාවක්. වීරසේකර මහත්තයා පෝල් මහත්තයා එහෙම මේ අපේ ගේ ඉස්සරහ පාරෙන් ඒ කාලෙ නිතර යනව එනව.” 


මං දන්න විදිහට තාත්තා පුවත්පත් කලාවෙ හුඟක් ගරු කළ පුද්ගලයා එඩ්වින් ආරියද‌ාස මහතා. ඔහුට ගුරුවරයකුට වගේ භක්තියක් තිබුණා. නවයුගය කර්තෘ හැටියට සිටි ආරියද‌ාස මහතාගෙන් තාත්තා ලැබූ ගුරුහරුකම් ගැන ඕන තැනක කියන්න පැකිළුණේ නෑ. ඒ වගේම ආරියද‌ාස මහතාටත් ඒ කාලෙ ‘සෝමෙ’ නැතුවම බැරි කෙනෙක් වුණා. 
තාත්තා ඉන්න කාලෙ ආරියද‌​ාස මහත්තයා මහරගම අවටින් කොහේ ගියත් අපේ ගෙදරට ඇවිත් යනවා. ඒ.ඩී. රංජිත් කුමාර වගේ ලේඛන ජීවිතේ පුරාම ළඟින් හිටිය යාළුවො ගොඩක් හිටියා.” 


සෝමවීරයන්ගේ පියා දක්ෂ වෙද මහත්මයෙක් නිසා සෝමවීර තරුණයාද එක්තරා කාලෙක සිංහල වෙද මහත්මයෙකුවීමේ ආසාවෙන් හිටියලු. ඒත් ඔහුගේ පියාට ඕනෑ වී තිබුණේ ඔහු බටහිර වෛද්‍යවරයෙක් කිරීමට. කොහොම වුණත් දේශීය වෙදකමට ඔහුගේ බලවත් කැමැත්තක් තිබුණු බව පසු කාලෙකත් කියා තිබුණේ ලේඛන කලාව සමග වෙදකමක් කිරීමට හැකි වූවා නම් තමා සතුටුවන බවයි. ඒත් සෝමවීරයන්ගේ මල්ලී කෙනෙක් තාත්තාගේ පාරම්පරික වෙදකම දිගටම කරගෙන යෑමට බාර ගැනීම නිසා ලොකු අයියා සිය කනස්සල්ලෙන් අත්මිදෙන්නට ඇති. 


හා හා පුරා කියා තම මවගෙන් අයනු ආයනු උගෙන කුඩගම කනිෂ්ඨ විද්‍යාලයෙන් හා සීතාවක මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඔහු රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන්. 


එහි ගත කළ කාලය තුළ පොත පත කියවීමට ලැබුණු පහසුකම් ලේඛකයකුවීමේ අඩිතාලම ශක්තිමත් කළ බව සෝමවීරයන් නිතර කියා තිබෙනවා. 


ඉන්පසු විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් තම දැනුම මුවහත් කරගන්නා ඔහු එම කුසලතාව හැකියාව නිර්ලෝභීව රටට බෙද‌ා දීම වෙනුවෙන් විද්‍යෝදය විභූෂණ ගෞරව නායමද දිනා ගත්තා. එසේ ජන සමාජය තුළ නොමැකෙන සේ සිය මුද්‍රාව තබා ඔහු නොඑන ගමන් ගොස් අදට, ජූනි 09 වැනි දිනට හරියටම වසරක් පිරෙනවා. 

 

 


පුෂ්පා ඉලංගන්තිලක 
පින්තූරය - චානුක කුලසේකර