යළි ඉපදී සිතුවම් කළ පෙර භවයේ මාරක අනතුර


​පෙර භවයේ ප්‍රබල සාක්කි

කුඩා දරුවෝ ඇතැම් විට නිවෙස්වල බිත්ති මත පවා විවිධ චිත්‍ර අඳිනු දක්නට ලැබේ. ඔවුන් විසින් අඳිනු ලබන එවැනි චිත්‍ර පිළිබඳව මාපියෝ කිසිදු අවධානයක් යොමු නොකිරීමද සිරිතය. එහෙත් කුඩා දරුවන් විසින් අඳිනු ලබන එවැනි ඇතැම් චිත්‍ර මගින් ඔවුන්ගේ පෙර භව සිදුවීම් අනාවරණය වූ අවස්ථා තිබේ. පුනර්භව පර්‌යේෂණවලට ලක්වූ ඇතැම් චිත්‍ර පෙරභවයේ පාරිසරික දර්ශන සහ පෙර භවයේ මරණයට තුඩු දුන් මාරක අනතුරුද විදහා දක්වන චිත්‍ර ලෙස පිළිගැනීමට සිදුවිය.  

පෙර භවය හෙළි කළ දරුවන් රැසක් සිය මරණ සිදුවූ ආකාරය චිත්‍ර මගින් ඇඳ පෙන්වූ සිදුවීම් දේශීය මෙන්ම විදේශීය පර්‌යේෂණ අතරද ඇත. ඇතැම් දරුවෝ ඔවුන් විසින් එවැනි දර්ශන අඳිනු ලැබුවේ බහ තෝරන අවදියටත් පළමුවය.  


එවැනි පුනර්භව සාධකවලට සම්බන්ධ චිත්‍ර රැසක්ම රිය අනතුරු සිදුවූ අන්දම නිරූපණය කරනු ලැබුවේ මාපියන් සහ පර්‌යේෂණයන්ද පුදුමයට පත් කරවමිනි.  


පෙර භවය හෙළි කළ දරුවන් විසින් ඔවුන්ගේ මරණය සිදුවූ අයුරු චිත්‍රයට නැඟනු ලැබූ සිදුවීම් අතර ගුවන් යානා අනතුරු බස්රථ අනතුරු ලොරි රථ අනතුරු දුම්රිය අනතුරු සහ කාර් වලින් සිදුවූ අනතුරුද ඇතුළත් වී තිබේ. පසුගිය සුනාමි ව්‍යසනයෙන් පැරෑලිය දුම්රිය අනතුරෙන් මිය ගිය දරුවෙක්ද මීට වසර කීපයකට උඩදී කොළඹ ප්‍රදේශයේ ඉපදී මියගිය අයුරු හෙළි කළේය. දුම්රිය රළ පහරට හසුවී පෙරළී ගිය අන්දම මළ සිරුරු සමග ඔහු චිත්‍රයට නැඟීය. ඒ වන විට එම දරුවා සුනාමි දුම්රිය අනතුර පිළිබඳව කිසිවක් නොදැන සිටීම විශේෂත්වය විය. ඔහු උපත ලැබුවේ එකම මව් කුසෙන් වීමද තවත් විශේෂත්වයකි.  


පෙර භවය හෙළි කළ තවත් දරුවෙක් ප්‍රකාශ කළේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී මරණයට පත්වූ බැවිය. එම දරුවා ඉතා කුඩා කලදී හෙලිකොප්ටර් යානයක් ධාවනය වන හඬ ඇසෙන විට දැඩි ලෙස කලබලවීමද ඔහු තුළින් දක්නට ලැබුණු විශේෂත්වය විය. අනතුරුව බහ තෝරන වියට පත්වූ ඔහු හෙලිකොප්ටර් යානය පැදවූයේ ඔහු බවත් තවත් මිතුරන් තිදෙනෙක් සමග යාපනය ප්‍රදේශයේ එය ජලයකට කඩා වැටුණු බවත් කීවේය. හෙලිකොප්ටර් යානයක සමීප දර්ශනයක් හෝ ඒ වන විට දැක නොතිබූ එම දරුවා එම යානයේ ඇතුළත දර්ශන පවා පැහැදිලිව චිත්‍රයට නැගීය.  


එම දරුවා හෙළි කරන ලද්දේ පසුගිය යුද සමයේදී යාපනය ප්‍රදේශයේදී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයක සේවයේ යෙදී සිට මරණයට පත්වූ බවය. එම දරුවා පිළිබඳව සිදුකළ පර්‌යේෂණයේදී පෙරභවයේ පියාව සහ ඡායාරූප කීපයක් නිවැරදිව හඳුනා ගැනීමටද ඔහුට හැකිවිය. 1998 වසරේදී උපත ලද පසිඳු නම් එම දරුවා මගින් අනාවරණය වූයේ 1984 වසරේදී යාපනය කලපුවට කඩා වැටීම නිසා එම අනතුරෙන් මියගිය ගුවන් නියමුවකු පිළිබඳවය.  


පෙර භවයේදී තම ජීවිතය අවසන්වූ මාරක රිය අනතුරක් චිත්‍රයට නැඟු දුමින්දි නම් දැරියක් උපත ලැබුවේ කෑගල්ල රෝහලේදීය. 2009 පෙබරවාරි මාසයේදී උපත ලද එම දැරිය පෙරභව තොරතුරු හෙළි කිරීමේ සිදුවීමද අතිශය පුදුම උපදවනසුලුය. ඉතා කුඩා අවධියේදී ඇය එක් පාදයක් දැඩි ලෙස වේදනා දැනෙන බැව් ප්‍රකාශ කළාය. මව බියට පත්ව වහා ඇය වෛද්‍යවරයකු වෙත රැගෙන ගියාය. ඇය පරික්ෂා කළ වෛද්‍යවරයාගේ මතය වූයේ ඇයට කිසිදු රෝගී බවක් දක්නට නොමැති බවය. තවත් සති කීපයක් ගතවිය. කකුලේ වේදනාව ගැන ඇය තවත් තොරතුරක් හෙළි කරන්නට වූවාය. ඇය පැවසුවේ ත්‍රිරෝද රථයක යනවිටදී අනතුරකට පත්ව පාදය තුවාල වූ බැව්ය.  


ඇගේ පෙර භව තොරතුරු තවදුරටත් අනාවරණය කළ දැරිය පෙර භවයේදී පාසල් ගිය බවත් ඇගේ නම මානෙල් බවත් කීවාය. ගමන් ගත් ත්‍රිරෝද රථය ලොරි රථයක ගැටුණු අයුරු එම දැරිය පැහැදිලිවම චිත්‍රයට නඟා පෙන්වූවාය. ඇගේ මළ සිරුර භූමදානය කිරීමේදී සිරුර සුසාන භූමියේදී වැළලූ අයුරුද එම දැරිය විසින් තවත් චිත්‍රයක් ඇඳ පෙන්වීමද ඇගේ විශේෂත්වය විය. මෙම දැරිය අනාවරණය කළ අැගේ පෙර භවයේ නෑදෑ පිරිස සොයා ගැනීමට මව තවමත් උත්සාහයක යෙදී සිටින්නීය. මෙම දැරිය අප හමුවූ අවස්ථාවේ ඇයට මොකද වුණේ යයි විමසූ විට ඇය කියා සිටියේ ‘‘ත්‍රීවිලරය ලොරියක හැපුණා මායි තාත්තයි මැරුණා’’ යනුවෙනි. ඇය පැවසූ පරිදි ඇයට සිදුවූ අනතුර පිළිබඳව ඉතා හොඳ මතකයක් ඇතැත් අනතුර සිදුවූ ස්ථානය පිළිබඳව එතරම් පැහැදිලි මතකයක් නොමැත. නුවරට යන මහා මාර්ගයේදී අනතුර සිදුවූ බවත් පමණක් ඇගේ මතකයේ තිබේ.  


දෙදහස් නවය වසරේදී බිබිල ප්‍රදේශයේදී උපත ලැබූ දරුවකු විසින්ද පෙර භවයේ මරණය සිදුවූ අනතුර චිත්‍රයට නඟනු ලැබීය. දමිත් නම් එම දරුවාද බහ තෝරන වියේදී පෙර භව මතක සටහන් හෙළි කළේය. යන්තම් කතා කිරීමට හැකි වීමත් සමගම ඔහු සිරුරේ ඇතිවන වේදනාවක් පිළිබඳව පැවසීය.  


‘‘මගේ බඩේ පැත්තක් රිදෙනවා. කකුලත් රිදෙනවා’’ යනුවෙන් ඔහු ප්‍රකාශ කරන්නට විය. එහෙත් එම වේදනාව දැනෙන බැව් ඔහු පැවසුවේ වරින් වර වීමද විශේෂත්වයක් විය. දරුවා වෛද්‍යවරුන් වෙත රැගෙන යෑමට ඔවුහු සූදානමින් සිටියහ. මේ අතර දරුවා සිය වේදනාව පැවසූ අවස්ථාවකදී පියා ඒ පිළිබඳව පුංචි විමසීමක් කළේය.  


බඩයි, අතයි රිදෙන්නෙ කොහොමද? යනුවෙන් පියාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් දරුවා ‘‘එහෙදී ලොරියට යටවුනේ ඒ පැත්ත තමයි’’ යනුවෙන් පැවසීය. පුත්‍රයාගේ පිළිතුරෙන් මවිතයට පත්වූ පියා ඒ පිළිබඳව තවදුරටත් විමසීම් සිදුකළේය.  


‘‘එතකොට මම හිටියෙ පන්සලේ. එදා පන්සලේ ඉන්න කොට ලොරියක් ඇවිත් මාව යටවුණා’’ යයිද ඔහු කීය. තම පුත්‍රයා නියත වශයෙන්ම පෙර භවයක තොරතුරු හෙළි කරන බව පියාට පැහැදිලි විය. එ් අනුව පුත්‍රයාගේ පෙරභව තොරතුරු විමර්ශනය කිරීමට පියා උත්සාහ ගත්තේය.  


එම දරුවා ප්‍රකාශ කර තිබුණේ පැවිදිවීම සඳහා විහාරස්ථානයට පැමිණ සිටි දරුවකු පිළිබඳවය. එම දරුවා පන්සල් භූමියේ සිටියදී පැමිණි වැලි ලොරියකට යටවීමෙන් ඔහුගේ මරණය සිදුවී තිබිණ. එම දරුවා ප්‍රකාශ කළ තොරතුරු සනාථ වූ අතර එදා විහාරස්ථානයේදී වැලි පිරවූ ලොරියක පිටුපස රෝදයට යට වී ඔහුගේ මරණය සිදුවී ඇති බැව් තහවුරුවිය. එම දරුවාට ඔහුගේ මාරක අනතුර සිදුවූ ආකාරය පැහැදිලිව චිත්‍රයට නැගීමට හැකිවීම මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් බවට පත්විය.  


ගාල්ල තල්පේ ප්‍රදේශයේදී උපත ලද අභිෂේක් නම් දරුවෙක්ද ඔහුට පෙර භවයේ සිදුවූ අනතුර චිත්‍රයට නගා පෙන්වූයේ මාපියන් පුදුමයට පත් කරවමිනි. 2008 වසරේදී උපන් එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේදී කුරුණෑගල ප්‍රදේශයේ ජීවත්ව සිටි බවකි.  


‘‘මට එහෙදි මෝටර් බයිසිකලයක් තිබුණා. දවසක් මම බයිසිකලේ පැදගෙන යනකොට බස් එකක හැපුණා. එතකොට මගේ හෙල්මට් එක විසිවෙලා ගියා’’ යයිද පවසන ඔහුට පියා වෛද්‍යවරයකුව සිටි බවත්ද මතකයේ තිබේ. ‘‘මම ලොකුවෙලා හරි ගිහින් මගේ අම්මයි තාත්තයි හොයා ගන්නවා’’ යනුවෙන් පවසන මෙම දරුවා ඔහුට සිදුවූ අනතුර ඉතා පැහැදිලිව චිත්‍රයට නඟා තිබේ. බස්රථයක් හා යතුරුපැදියක් අඳිනු ලැබූ එම චිත්‍රය මගින් ඔහු වැටී සිටි අයුරුද සිතුවම් කරනු ලැබුවේ පුදුම අයුරිනි. හිසේ තිබුණ හිස් වැසුම පවා මෙම දරුවා විසින් චිත්‍රයට නඟනු ලැබීය.  


පෙර භවයේදී පදවාගෙන ගිය මෝටර් රථය විශාල ළිඳකට පෙරළී මරණය සිදුවූ බැව් හෙළි කළ තවත් දරුවෙක් රත්නපුර ප්‍රදේශයේදී උපත ලැබීය. එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේ ජීවත්ව සිටි ප්‍රදේශය නෙල්ලිගොඩ යනුවෙන් හැඳින්වූ බවය. සමන්ත යනුවෙන් හැඳින්වූ නමක්ද මෙම දරුවාට මතක තිබිණ. තට්ටු දෙකක නිවෙසක සිටි බැව්ද හෙළි කළ එම ‘‘දරුවා, ධාවනය කළ නොහැකිව ලොරි රථයක් නිවස අසල නවතා තිබූ බැව්ද මතකයේ තිබේ. මම දවසක් කාර් එක රිවස් කරන කොට විශාල ළිඳකට වැටුණා. මට එතකොට වයස අවුරුදු විස්සක් විතර ඇති’’ යනුවෙන් පැවසූ එම දරුවා ඔහුගේ මෝටර් රථය විශාල ළිඳකට පෙරළීම සිදුවූ අයුරු චිත්‍රයට නගා පෙන්වීය.  


ඔහු පවසන අන්දමට මෝටර් රථය ළිඳක් වැනි කිසියම් ජලාශ පිරුණු ස්ථානයකට පෙරළීම නිසා සිදුවූ මරණයක් අනාවරණය වන බැව් මාපියෝ පැවසූහ. එම දරුවා විසින්ද ඔහුට සිදුවූ අනතුර චිත්‍රයට නගන ලද්දේ වයස අවුරුදු පහක පමණ වයසේදීය. ඒ වන විට කිසිදු මෝටර් රථ අනතුරක් ඔහු නොදැක සිටීමද විශේෂත්වයක් විය.  


දරුවන් විසින් අඳින ලද චිත්‍ර මගින් ඔවුන්ගේ පෙර භවයේ අනතුරු අනාවරණය වූ සිදුවීම් රැසක් විදේශ පර්‌යේෂණ අතරද තිබේ. මහාචාර්ය ස්ටීවන්සන් හන්ගේරියාවේදී සිදුකළ පර්‌යේෂණයකදී දරුවෙක් අඳින ලද චිත්‍රයක් දෙමාපියන් මවිතයට පත් කෙරිණ. ගේඩන් නම් එම දරුවා නිතර නිතර චිත්‍ර ඇඳීම ඔහුගේ සිරිත විය. ඔහු විසින් අඳිනු ලබන සෑම මිනිස් රූපයක්ම තද කළු පැහැයෙන් වර්ණ කිරීමටද පුරුදුව සිටියේය. මිනිස් රූපවලට කළු පැහැය නොයොදන ලෙස මව කොතෙක් කීවත් ඔහු එය වෙනස් නොකළේය.  


වරක් ඔහු අඳින ලද චිත්‍රයක් මගින් දුන්නකින් සතුන්ට විදින දර්ශනයක්ද විය. මේ අතර ඔහු ප්‍රකාශ කළේ පෙර භවයේදී ඔහු කොටියකුට හෙල්ලකින් ඇන මැරීමට තැත් කළ බවත් එහෙත් කොටියා නොමැරී ඔහු වෙතට කඩා පැන්න බවත්ය. එම දරුවා පිළිබඳව සිදුකළ පර්‌යේෂණ​ෙයදී ඔහු විසින් චිත්‍රයට නගන ලද්දේ නිග්‍රෝ ජාතික ගෝත්‍රික ජීවිතයක් පිළිබඳව බැව් අනාවරණය විය.  
එම පර්‌යේෂණය මහාචාර්ය ස්ටීවන්සන්ගේ INVESTIGATED CASES FROM THE SECOND HALF OF THE CETTURY නම් පර්යේෂණ වාර්තාවකටද ඇතුළත් කර තිබේ. පෙර භවය හෙළි කරමින් එම දරුවා විසින් අඳින ලද චිත්‍රය පිළිබඳව ඔහු කරන ලද විග්‍රහය.  


GEDEON EXPLAINED DETAILS OF THE DRAWING TO HIS MOTHER AND CONCLUDED BY SAYING THAT HE HAD BEEN OUT HUNTING ON DAY. THREW HIS SPEAR AT A TIGER WOUNDING IT. BUT NOT KILLING IT. THE TIGER THEN SPRANG AT HIM AND HE REMEMBERED NOTHING AFTER THAT"   
යනුවෙන් පෙර භවයේ ප්‍රබල සාක්කි ලෙස හඳුන්වා දී ඇත.   

 

 

 

 

 

 


තිස්ස ජයවර්ධන