යළි ඉපදී ඥාතීන් සොයන තරුණියෝ


පෙර භවයේ ප‍්‍රබල සාක්කි කියවන පාඨකයන් කීප දෙනෙක්ම තම පවුල්වල දූ දරුවෝද පෙරභවය හෙළිකළ බැව් ප‍්‍රකාශ කරති. එහෙත් එම දරුවන් කුඩා කලදී ඒපිළිබඳව සොයා බැලීමට උනන්දු නොවූ බව ද කියති. එවැනි ඇතැම් දරුවන් දැන් තරුණ වියට ද පා තබා ඇතත් ඇතැමුන්ට පෙර භව සිදුවීම් තවමත් මතක තිබේ. එම තොරතුරු අනුව ඔවුන්ගේ පෙර භව නිවෙස් සොයා ගැනීමට දැන් උත්සාහ කරති. ඔවුන් අනාවරණය කර ඇති ඇතැම් තොරතුරුවල වැදගත් සිදුවීම් ඇතුළත්ය.   

ඇන්ජලා

 මාපියන් කීප දෙනෙක්ම අප වෙත අනාවරණය කළ එවැනි දරුවන්ගේ තොරතුරු අතර දැරියන් දෙදෙනකුම හෙළිකර ඇත්තේ පෙරභවයේදී තරුණයන් ලෙස ජීවත්ව සිටි බවය. යතුරුපැදි අනතුරුවලින් මියගිය බැව් හෙළිකළ දැරියන් දෙදෙනාම පෙරභවයේ ඥාතීන් කීප දෙනෙකුගේ නම් ද අනාවරණය කර තිබේ. එවැනි දැරියන් දෙදෙනෙක් හෙළිකළ පෙරභව තොරතුරු රැසක් මෙම ලිපියට ඇතුළත් කර ඇත. මෙම කරුණුවලට සමාන කිසියම් පවුලක් හෝ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට එම දෙමාපියෝ බලවත් කැමැත්තක් දක්වති.   


මාතර ආන්ජලා   
පෙරභවය හෙළි කළ එක් දැරියක් උපත ලබා ඇත්තේ මාතර රෝහලේදී 1985 වසරේදීය. ඇය හෙළිකළ පෙරභව තොරතුරු අනුව ඇය පෙර භවයේදී පෙම්වතියකි. පෙම්වතා හඳුන්වා ඇත්තේ බර්ටි නමිනි. ඇන්ජලා නම් එම දැරිය බහතේරීම අරඹමින් වචන උච්චාරණය කිරීම සිදුවුයේ මාස නවයේදී පමණය. වයස අවුරුදු දෙකක් පමණ වන විට ඇයට ඉතා හොඳින් කතා කිරීමට හැකියාව ලැබී ඇත. ඇගේ මව පවසන අන්දමට දිනක් ඇය මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී තරුණයෙකු දැක ‘‘ අන්න බර්ටි යනවා’’ යයි ප‍්‍රකාශ කර ඇත. එම තරුණයා වයස අවුරුදු දහඅටක පමණ වයසේ සිටි අයෙක් බව මවට මතකය.   


 දියණියගේ මෙම වදන පිළිබඳව මව එතරම් අවධානයක් යොමු නොකළාය. දින කීපයක් ගතවිය. තවත් දිනෙක මව ඇමතූ ඇන්ජලා ‘‘මම බර්ටි එක්ක බයිසිකලේ ගියා. එයාට බයිසිකලයක් තිබුණා’’ යැයිද කීවාය. මේ අතර ඇය තුළින් දක්නට ලැබුණු විශේෂත්වයක් විය. එනම් යතුරුපැදියක හඬක් ඇසෙනවිට හෝ යතුරුපැදියක් දක්නට ලැබෙනවිට ඇය අධික ලෙස බියට පත්වීමය. 


දියණිය පෙර භවයන් පිළිබඳව හෙළිකරන බැව් මෙම කරුණුවලින් මවට වැටහුණි. එහෙත් මව ඒ ගැන ඇන්ජලාගෙන් විමසීමට උත්සාහ නොගත්තාය. තවත් විටෙක අැය ‘‘උඩවත්ත’’ යයි නිතර කියන්නට වූවාය. එම වදන දියණියට ශ‍්‍රවණය වීමක් සිදුනොවූ වදනකි. දිනෙන් දින පෙරභව මතක හෙළි කළ ඇය අපේ තාත්තා එහෙදි ටීවි හැදුවා. ඒ ගෙදර දෙපැත්තෙ ගඟ යයි ද කී දැරිය අයියයි, පොඩි අක්කයි ගෙදර සිටියා යනුවෙන් ද කීවාය.   


 දියණියගේ පෙරභව හෙළිකිරීම පිළිබඳව මව මේ වනවිට දැඩි අවධානයකින් සිටින්නට වූවාය. එහෙත් ඇය හෙළිකළ කරුණු රහසිගතව තබා ගැනීමට තීරණය කළාය. දියණියගෙන් ඒ පිළිබඳ විමසීමට අකමැතිවූ මව ඇය කරන ප‍්‍රකාශ දැඩි අවධානයකින් අසා සිටියාය. තවත් දිනක් මව සමඟ සිටි ඇන්ජලා‘‘ අපි දවසක් උඩවත්තෙ අශෝක අයියගේ වෙඩින් එකට ගියා. තාත්තට වෑන් එකක් තිබුණා. මඟුල් ගෙදර ගියේ වෑන් එකේ යයිද කීවාය. ඇන්ජලා පැවසූ පරිදි ඇගේ පෙර භවයේ මව සිහින් සිරුරක් ඇති කාන්තාවකි. ඇය ඒ බැව් හෙළිකරන්නේ ඒ අම්ම ඔයා වගේ නෙවෙයි කෙට්ටුයි යනුවෙනි.  

 
 ඇන්ජලා පෙරභවයේදී ඇය හැඳින්වූයේ සදීපා කුමාරි යනුවෙන් බව ද මවට මතකය. පේරාදෙණිය සරසවියට රැකියාවක් සඳහා ඉල්ලුම් කළ බවක්ද ඇය වරක් හෙළි කර තිබේ. දෙපැත්තගම හෝ දෙපැත්ත ගඟ යනුවෙන් පරිසරයක්ද ඇය නිතර අනාවරණය කර තිබේ. මෙම දැරිය හෙළිකර ඇති අන්දමට පෙර භවයේදී මෝටර් බයිසිකල් අනතුරකින් පසු ගඟට වැටීමක් හෝ ග​ෙඟ් ගිලීමක් සිදුවී ඇතැයි සිතිය හැකි බැව් මව පවසයි. ඇය අනාවරණය කළ තොරතුරු මව විසින් ප‍්‍රකාශ කරන පරිදි පෙරභවයට සම්බන්ධ කරුණු මෙසේය.   
‘‘ බර්ටි එක්ක බයිසික​ෙල් යනවා   
උඩවත්තෙ ආච්චි   
අශෝක අයියා   
පොඩි අයියා   
තාත්තා ටීවී හැදුවා   
කැම්පස් එකට රස්සාවකට ඉල්ලූම් කළා.   
පෙරභවයේ නම සදීපා කුමාරි   
බයිසිකලේ යනවිට තුවාල වුණා.   
ගඟට වැටුණා


මෙම තොරතුරුවලට සමාන පවුලක් සොයා ගැනීමට හැකිවුවහොත් මේ පිළිබඳව විමර්ශනයක් කිරීමට මව සූදානමින් සිටී. ඇන්ජලා හෙළි කර ඇති තොරතුරු අනුව ඇගේ පෙරබව පෙම්වතා බර්ටි යනුවෙන් හැඳින්වූ බැව් ඇය කුඩා කුල සිටම පැහැදිලිව ප‍්‍රකාශ කර තිබේ.   
 කොළඹ නදීෂා   
යතුරුපැදි අනතුරකින් මරණයට පත්වූ බැව් හෙළිකරන තවත් දැරියක් උපත ලබා ඇත්තේ කොළඹදීය. නදීෂා නම් ඇය පවුලේ බාලදියණිය වූවාය. බහ තෝරන වියට පත්ව සිටි නදීෂා දිනක් නිවෙසේ වැටී තිබූ කොණ්ඩා කටුවක් දුටුවාය. එක් වරම එය අතට ගත් ඇය ‘‘මේ තියෙන්නෙ චූටි අක්කගෙ කොණ්ඩ කට්ට යයි කීවාය. චූටි අක්කා යනුවෙන් ඇය ප‍්‍රකාශ කළේ කාට ද යන්න මව ඇගෙන් විමසීමක් කළාය.  

 
 කව්ද චූටි අක්කා? මවගේ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් දැරිය.   
අපේ නල්ලගමේ, නැන්දෑවේ චූටි අක්කා යයි පිළිතුරු දුන්නාය. තම දියණිය පවසන චූටි අක්කා කව්ද? මවට ප‍්‍රහේලිකාවක් විය. මව නැවතත් ඒ පිළිබඳව විමසා සිටියාය.   
 චූටි අක්කා කොහේද ඉන්නේ? මම නැවත මතුකළ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් දියණිය.   
 එයා ඉන්නේ නැන්දෑවේ. එයා මට වෙරළු තම්බලා දෙනවා. මම පුංචි අයියත් එක්ක බයිසිකලේ ගියා. බයිසිකලෙන් වැටිලා කකුල තුවාල වුණා. යයි තවත් තොරතුරක් අනාවරණය කළාය.   
 දියණියගෙන් ඒ ගැන විමසීමට සිතු මව   
‘‘එහෙදි ඔයාගෙ නම මොකක්ද? යැයි ප‍්‍රශ්න කළාය.   
 ‘‘තතිංකා’’   
‘‘තනිංකගෙ අම්මා මොකද කළේ.   
බත් උයනවා.   
තාත්තා මොකද කළේ?   
අප්පච්චිට පොල් තියෙනවා. ඒවා බිඳිනවා යයි පවසා අත්ල මත තබා පොල් බිඳින අයුරු නිරූපණය කළාය. ඇය නිතර හෙළිකර ඇත්තේ අප්පච්චි පොල් බිඳින බවකි. ඒ සමගම ඇය පියාව අමතා ඇත්තේ අප්පච්චි යනුවෙනි. ‘‘අප්පච්චි’’ යනුවෙන් පියාට ඇමතීමක් අැය ඒ වනවිට කිසි දිනක නොදැන සිටි බවද පියා පවසයි.   


පෙර භවයේදී නැන්දා කෙනෙක් ගෙදර සිටි බවද මෙම දැරියට ඉතා හොඳින් මතක තිබේ. එම නැන්දා ගැන ඇය පවසන්නේ.   
‘‘අපි නැන්දත් එක්ක එහෙදී කැලේ දරගේන්න යනවා. දර කඩාගෙන බැඳගෙන එනවා. යනුවෙනි.   


 නදීෂාගේ පියා පවසන අන්දමට ඇය කුඩා කලදී පෙරභව නිවෙස සොයා දෙන ලෙස නිතර නිතර පියාට බලකර තිබේ. එහෙත් එම නිවස හමුවුවහොත් දියණියට කිසියම් අවහිරයක් සිදුවේයයි සිතු නිසා එයට උනන්දුවක් දක්වා නොමැත. එහෙත් දියණිය සහ පියා එම තොරතුරු පිළිබඳව විමර්ශනයක් කිරීමට දැන් සුදානමින් සිටී.ඇය පෙරභවයේ පදිංචිව සිටි ප‍්‍රදේශ පිළිබඳව එතරම් පැහැදිලි බවක් නොමැත. ඇය ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘නැන්දැව’’ සහ ‘නල්ලගම’ යනුවෙනි.  

 
 එම දැරිය ප‍්‍රකාශ කළ වදන් අතර පෙරභවයට සම්බන්ධ තොරතුරු පියා ලිඛිතව සටහන් කර තිබේ. එම සටහනේ දැක්වෙන තොරතුරු ලැයිස්තුවක් ඇත. එය සඳහන් වන්නේ   
‘‘නල්ලගම’’   
නැන්දැව’   
නන්ද අක්කා   
චූටි අක්කා   
අප්පච්චි   
තතිංකා   
පුංචි අයියාත් එක්ක බයිසිකලේ ගියා   
බයිසිකලෙන් වැටුණා   
කකුල තුවාල වුණා   


දොස්තර මහත්තයා බෙහෙත් දැම්මා.යනුවෙනි. පියා පවසන අන්දමට දිනක් රූපවාහිනියේ පැරණි උළු සහිත නිවෙසක් දුටු නදීෂා ‘අන්න අප්පච්චිගේ ගෙදර’ යයි ප‍්‍රකාශ කර තිබේ. අනතුරුව එම නිවෙසට කැඳවාගෙන යන ලෙසද ඇය නිතර ප‍්‍රකාශ කර ඇත. පෙර භවයේදී බයිසිකලයෙන් වැටී තුවාල වූ බැව් පවසන ඇගේ කකුලේ එම ස්ථානයේ උපතින්ම කැළලක් දක්නට ලැබී ඇත. මෙම දැරිය හෙළිකර ඇති කරුණුවලට සමාන කිසියම් තොරතුරක් ඔබ දන්නේ නම් මේ පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමට නදීෂාත් පියාත් සූදානමින් සිටිති.  

තිස්ස ජයවර්ධන 

 

 

නදීෂා