යස ඉසුරු දෙන සඳු සහ සිකුරු


 

අපි මෙලොව එළිය දකින විට නැගෙනහිර ක්ෂතිජයෙන් උදාවන රාශිය ලග්නය ලෙස හැඳින්වේ. කේන්ද්‍රය යනුවෙන් හැඳින්වෙන්නේ රාශි දොළහට ග්‍රහයින් කොටු කරගත් සටහනයි. මෙම කේන්ද්‍රයේ හිමි භාව 12 තුළ මිනිස් ජීවිතයේ අරුම පුදුම සිදුවීම් පෙළක් ලියැවී ඇත. යම් පුද්ගලයකුට කේන්ද්‍රය මාර්ගෝපදේශකයා ලෙස භාවිත කිරීමෙන් තම ජීවන ගමන සාර්ථක කරගත හැකි වේ. කේන්ද්‍රයක සුවිශේෂී භාවයක් ලෙස හතර වන භාවය හැඳින්විය හැක.   


හතර වන භාවය ගෘහස්ථානය, බන්ධුස්ථානය හා මාතෘස්ථානය ලෙස හැඳින්වේ. යම් පුද්ගලයකුට ලැබෙන දේපල, යානවාහන, ඉඩකඩම් හා නිශ්චල දේපළ හතරවැන්නෙන් නියෝජනය වේ. තමාගේ මව, සිත හා ශරීරයේ පපුව හතර වැන්නට අයත් වේ. තවද ගරුක කර්ම නියෝජනය වේ. මේ අතර සඳු ග්‍රහයා හතරවැන්නට කාරකත්වය දරන අතර චිත්තකාරක සඳු හා කම් සැපට අධිපති සිකුරු යන ග්‍රහයින් දෙදෙනා ඉතා බලවත් වෙයි. මොවුන් හතර වැන්නට දිග්බල ග්‍රහයින් ලෙස සැලකෙයි. මෙම ග්‍රහයින් දෙදෙනා හතර වැන්නේ තැන්පත් වීම ඉතා සුබදායක වේ. 

 
ග්‍රහලොව මව් හා රජ බිසව ලෙස හැඳින්වෙන සඳු සිව් වැන්නට දිග්බලයි. මෙය ඉතා සුබදායක පිහිටීමකි. වෘෂභ රාශිය සිව්වැන්න වීම ඉතා බලවත් වේ. සඳු වෘෂභ රාශියේ උච්ච බලය ලබන අතර කටක රාශියේ ස්වක්ෂේත්‍ර බලය ලබයි. වෘශ්චික රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත්වේ. සඳු බලවත් පුද්ගලයින් යහපත් සිතුවිලි සහිත ප්‍රියමනාප රූපශෝභාවක් සතු වේ. සඳු බලවත් අය ජ්‍යොතිෂය, ගුප්ත ශාස්ත්‍රය වැනි දෑ හැදෑරීමට දක්ෂය. මෙවැනි පිහිටීමක් අැති ජ්‍යොතිර්වේදීහු ඔවුන්ගේ ජීවිතයේ අවසන් වනතෙක් ජ්‍යොතිෂ කටයුතුවල සාර්ථකව නිරත වෙති. ජීවිතයේ අග කාලය බැබලෙන ජීවිතයක් ගත කරයි.   


තවද සඳු සිව් වැන්නේ පිහිටි අයට ජලාශ්‍රිත ව්‍යාපාරවලින් විපුල ඵල ලැබේ. මෙවැනි අය ජලය හා ඒ ආශ්‍රිතව පදිංචියට වැඩි රුචියක් දක්වන අතර ආගම දහමට ලැදිවේ. මවුපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගරු සරු කරයි. උසස් අධ්‍යාපනයක් ලබයි. සඳු දුර්වල නම් පපුවේ රෝග, සෙම් රෝග ඇති කරන අතර මොවුන්ගේ මානසිකත්වය ඉතා දුර්වල වේ.   
සඳු ග්‍රහයා වෘෂභ රාශිගත වීමෙන් සස යෝගය යෙදෙයි. ප්‍රියමනාප පෙනුම, පිරිසිදු සිතුවිලි, මවට සුබ වන අතර මවගේ ධනය ලබයි. ගේදොර, ඉඩකඩම්, භූමිලාභ ලැබේ. සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකි වේ. තවද සඳු ග්‍රහයා කටක රාශිගත වීමෙන් ‘කුලීර’ යෝගය යෙදේ. ගුණයහපත් කාරුණික කෙනෙක් වේ. සාර්ථක විවාහ ජීවිතයකට හිමිකම් ඇති අතර වාසනාවන්ත දරුවන් ලැබේ.   


තවද ග්‍රහලොව කුමරිය ලෙස හැඳින්වෙන අලංකාර හා චමත්කාර සිකුරු ග්‍රහයා හතරවැන්නට දිග්බලයි. මීන රාශිය හතර වැන්න වීම ඉතා බලවත් පිහිටීමකි. තුලා හා වෘෂභ රාශි සිකුරුට ස්වක්ෂේත්‍රය. සිකුරු කන්‍යා රාශියේ නීච වන අතර මීන රාශියේ උච්ච බලය ලබයි. හතර වැන්නේ සිකුරු බලවත් නම් අලංකාර රූපශෝභාවටද, තාරුණ්‍යයටද, චිත්ත ශක්තියට හා විනෝදශීලී ජීවන රටාවකටද හිමිකම් ලබයි. තවද අලංකාර ගේදොර, යාන වාහන හා භූමිලාභ ලැබී සියලුම ලෞකික සැප ලබයි. විවාහයෙන් පසු ජීවිතය වඩාත් සාර්ථක වේ.   


සිකුරු මීන රාශිගත වීමෙන් ‘මහෞෂධ’ යෝගය යෙදේ. රූමත් ගුණවත්, නිරෝගී අයෙක් වෙයි. අසරණ අයට උදව් උපකාර කරයි. රෝගීන්ට උපස්ථාන කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා හිමිවේ. සිකුරු ග්‍රහයා තුලා රාශියේ පිහිටීමෙන් ‘පියුමාකාර’ යෝගය යෙදේ. ගේදොර, ඉඩකඩම්, යානවාහන ආදී සැප සම්පත් ලැබේ. වෙළඳ ව්‍යාපාරවලටද සුබ යෝගයක් වේ.   


සිකුරු වෘෂභ රාශියේ තැන්පත් වීමෙන් ‘විෂ්ණු’ යෝගය යෙදේ. ප්‍රසන්න පෙනුමෙන් යුක්ත වේ. අලංකාරයට හා විනෝදයට ප්‍රිය කරයි. ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳීමේ භාග්‍යය හිමිවේ. ගේදොර, භූමිලාභ හා යාන වාහන ලාබ හිමිවේ. තවද සිකුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව 1-4-7-10 යන කේන්ද්‍රස්ථානයක තැන්පත් වීමෙන් ‘මාලවී’ යෝගය උදාවේ. ලෞකික සුවය, යාන වාහන මිල මුදල් හා රූපශ්‍රීය උදාකරයි.   


සඳු හා සිකුරු කේන්ද්‍රයේ තැන්පත් වී ඇති ආකාරය අනුව නීච වී හෝ සතුරු රාශිගතව සහ පාප ග්‍රහයින් සමග සංයෝග වී හෝ පාප ග්‍රහයින්ගේ දෘෂ්ටි ලැබීමෙන් ග්‍රහ බලය දුර්වල වේ.   

 


ජ්‍යොතිෂවේදිනී,   
අජන්තා ඒකනායක   
අංක 121, මාංගොඩ, මැද මහනුවර.