යටට අඳින්න මැසූ ටී ෂර්ටය උඩ ඇඳුමක් වුණේ කොහොමද ?


විලාසිතා කියන කතා 

 

හැම විලාසිතාවකටම ඉතිහාසයක් ඇත. සමහර විලාසිතා සියවස් ගණනක් පැරණි ඒවා වන අතර ඇතැම් විලාසිතා මෑත කාලයක දී උපත ලද ඒවා වෙයි. කෙසේ වෙතත්, ලෝක ඉතිහාසයේ ප‍්‍රධාන සංධිස්ථාන විලාසිතා ලෝකයටත් කර තිබෙන්නේ සුළුපටු බලපෑමක් නොවේ. දෙවන ලෝක යුද්ධය මෙන්ම චිත‍්‍රපට කර්මාන්තයත් ලෝකය වෙනස් කිරීමට දායක වී තිබෙන අයුරු ඉතිහාසය හැදෑරීමේ දී පෙනී යයි. 

විලාසිතා ලෝකයට අලුතින් යමක් එකතු වන්නේ කලාතුරකිනි. වැඩි වශයෙන්ම සිදුවන්නේ කාලයක් ගත වෙන විට පැරණි විලාසිතාවක් තරමක් වෙනස් වී නැවත ආකර්ෂණීය විලාසිතාවක් බවට පත් වීමයි. නැවත ටික කලකින් ඒ විලාසිතාවත් යටපත් කරගෙන තවත් විලාසිතාවක් මතු වෙයි. එසේ වුවත්, හැමදාම එක සේ ජනප‍්‍රිය සර්වකාලීන විලාසිතා ද නොමැත්තේ නොවේ. ටී ෂර්ටය ද එවැනි විලාසිතාවකි. ලෝකයේ ජනප‍්‍රියම විලාසිතාව කුමක්ද? යනුවෙන් සමීක්ෂණයක් සිදුකළහොත්, මෙම ඇඳුම පළමු තැනට පත් වෙනු ඇත. 


මෙම ඇඳුම පළමුවරට භාවිත කළ බවට සාධක හමුවෙන්නේ ස්පාඤ්ඤ - ඇමරිකානු සිවිල් යුද්ධය පැවති කාලයේ, ආසන්න වශයෙන් 1913දීය. ඇමරිකානු නාවික හමුදාව යට ඇඳුමක් වශයෙන් එය සියලුම සෙබළුන්ට නිකුත් කරන ලදී. රවුම් කරක් හා කෙටි අත් සහිතව නිපදවුණු මෙම ඇඳුමෙහි භාවිතය වූ කලී හමුදා නිලධරයන්ගේ නිල ඇඳුමට යටින් ඇඳීමයි. නොබෝ කලකින්ම මෙය හමුදා නිලධාරීන්ට ලබා දෙන නිල සංකේතවල කොටසක් බවට පත් විය. ඉංග‍්‍රීසි ටී අකුරේ හැඩයෙන් යුත් හමුදා නිලධාරීන්ගේ ආකර්ෂණීය සිරුර නිසා මෙම ඇඳුමට ටී ෂර්ට් යන නම යෙදිණි. 


වරාය කම්කරුවන්, ගොවියන්, පතල් කම්කරුවන් මෙන්ම ඉදිකිරීම් වැඩවල යෙදුණු සිය දහස් ගණන් වෘත්තිකයන්ද උණුසුම් කාලගුණයේ දී අපහසුවකින් තොරව ඇඳිය හැකි පරිදි සැහැල්ලූ අමුද්‍රව්‍යවලින් නිපදවූ මෙම නව ඇඳුම එදිනෙදා භාවිත කළහ. මිලාදික නොවූ කපු රෙද්දෙන් මැසූ, සේදීමට ද පහසු වූ ටී ෂර්ටය සිය පුතුන් සඳහා මව්වරුන්ගේද අංක 1 තේරීම විය. 


එක්සත් ජනපද නාවුක හමුදාවේ වැසුණු හා උණුසුම් සබ්මැරීන්වල සේවය කළ නිලධාරීන්ට ද කසන සුළු වූල් ඇඳුම්වලට වඩා ටී ෂර්ටය ඉතා පහසු ඇඳුමක් විය. 


1920 වන විට මෙය ඇමරිකානු - ඉංග‍්‍රීසි වචනයක් ලෙස නිල වශයෙන් මිරියම් - වෙබ්ස්ටර් ශබ්ද කෝෂයට පවා එක් වී තිබිණ. 


වසර 100ක් තරම් වූ කෙටි ඉතිහාසයක් සහිත ඇඳුමක් වූ ටී ෂර්ටය වැඩ ඇඳුමක සිට මිනිසා විසින් සොයාගනු ලැබූ වඩාත් නම්‍යශීලී ඇඳුමක් දක්වා වර්ධනය විය. 


ටී ෂර්ට් පුරාණයේ තවත් කතාවකට අනුව ටී ෂර්ටය සොයා ගැනෙන්නේ 1904දී Cooper Underwear සමාගම මගිනි. බොත්තම්, නූල් හෝ ඉඳිකටු අවශ්‍ය නැති ඇඳුම වශයෙන් එය ප‍්‍රචාරණය කෙරුණු අතර බොත්තම් ගැලවී ගිය ඇඳුමක් මසා ගන්නට අවශ්‍ය ප‍්‍රාථමික මැහුම් හැකියාවෙන් පවා තොර වූ අවිවාහකයන් මෙම ඇඳුමෙහි ඉලක්කගත පාරිභෝගිකයන් විය. ළාබාල වයසේදීම හමුදාවට එක් වූ තරුණයන් මෙම ඇඳුමෙහි පාරිභෝගිකත්වයට මනාව ගැළපුණු අතර එක්සත් ජනපද නාවුක හමුදාවේ වූ කිසිවකු විසින් නාවුක හමුදා භටයන්ට සුදුසුම ඇඳුමක් වශයෙන් මෙය නිර්දේශ කරන ලදී. බොත්තම් නොමැති වූද, පහසුවෙන් කරෙන් ඇඳිය හැකි වූද, ඇදෙනසුලු අමුද්‍රව්‍යයකින් නිමවා තිබුණා වූද ටී ෂර්ටය එවැනි තනිකඩ වෘත්තිකයන්ට මනාව ගැලපෙන ඇඳුමක් විය. 


කූපර් යට ඇඳුම් සමාගම මගින් ජනප‍්‍රිය කරනු ලැබුවා වුව ද, ටී ෂර්ට් විලාසිතාව සොයාගත්තේ ඔවුන් නොවේ. 


 

ටී ෂර්ටයට උපත දුන් ලෝන්ග් ජෝන් 


19 වැනි සියවසේදී පිරිමින් විසින් අඳිනු ලැබූ දිගු අත් සහිත ෂර්ට් එකකින් ද, දිගු පාද සහිත කලිසමකින් ද යුතු වූ ඇඳුම ලෝන්ග් ජෝන් යනුවෙන් හඳුන්වන ලදී. මෙය අඳිනු ලැබුවේ සීත සෘතුවේදී සිරුරේ උණුසුම රැකගැනීමටයි. එය ඕනෑම ඇඳුමකට යටින්, යට ඇඳුමක් ලෙස භාවිත විය. මෙහි කර රවුම් වූ අතර ඇදෙන සුලු වූ බැවින් කරෙන් ඇඳීමත් ගැලවීමත් පහසු විය. 


1890 පමණ වන විටත් ටී ෂර්ටයෙහි පෙනුම යට ඇඳුමක් (නූතන බැනියමට සමාන) මෙන් වූ අතර එය ප‍්‍රසිද්ධියේ ඇඳීම පොදු අපකීර්තියට පාත‍්‍රවීමක් ලෙස සැලකුණේ බහුතරයක් දෙනා එය දෙස බැලූවේ යටඇඳුමක් යන ආකල්පයෙන් වීම නිසයි. කියුබාවේ හවානාහි නීති සම්පාදකයෝ ටී ෂර්ටය ගැන කරුණු කොතෙක් දුරට ගෙන ගියා ද කිවහොත් එය ප‍්‍රසිද්ධියේ ඇඳීම තහනම් කර වූහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කම්කරුවන්ට තද ගිනි රස්නය ඇති එළිමහනේ දහඩිය වගුරවමින් දිගු අත් සහිත ජැකට් පැළඳ වැඩ කරන්නට සිදුවිය. 

 


එහෙත් රවුම් කර සහිත පහසු ඇඳුම දිනෙන් දින ජනප‍්‍රිය වෙමින් පැවතිණි. 1920දී මේ ඇඳුමම අලූත් නමකින් යුතුව උපත ලැබීය. ටී ෂර්ට් යන නම එයට භාවිත කිරීමට තවත් එක් හේතුවකි ස්කොට් ෆිට්ස් ජෙරල්ඩ් නමැති ලේඛකයා. මන්ද ටී ෂර්ට් යන නම පළමුවරට මුද්‍රණය කරනු ලැබුවේ ඔහු විසිනි. ඒ, This Side Of Paradise නමැති කෘතියෙනි. එම කතාවේ එන චරිතයක් ඔහුගේ අනෙකුත් ඇඳුම් කැඩුම් සමඟ බෝඩිමට ගෙන ඇඳුම් අතර මෙම ටී ෂර්ට් නමැති ඇඳුම ද වෙයි. 


1939දී Wizard of OZ නමැති චිත‍්‍රපටයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා එකම ආකාරයෙන් යුත් ටී ෂර්ට් භාවිත විය. 


1940 වන විට මෙය උසස් විද්‍යාලවල නිරන්තරව දක්නට ලැබෙන ඇඳුමක් වී තිබිණ. නැන්සි පෙපර් නමැති පුවත්පත් කලාවේදිනිය එවකට පුවත්පතක තීරු ලිපියක් ලියමින්, උසස් විද්‍යාලවල සිසුන්ගේ ඇඳුම් රාක්ක පිරෙන්නට ටී ෂර්ට් ඇතැයි ද, සමහර සිසුන් පෙම්වතියන් ආකර්ෂණය කරගැනීමට ටී ෂර්ට් කොළරය මත නොයෙක් වැකි ඇඳ තිබූ බව ද ලියුවාය. 


මේ අතරවාරයේ නොයෙක් සමාගම් හා ෆැක්ටරි ටී ෂර්ට් සැරසීම උදෙසා නොයෙක් ක‍්‍රම සැලසුම් කරමින් සිටියහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ස්ක‍්‍රීන් ප‍්‍රින්ටින් හෙවත් ටී ෂර්ටය මත ප‍්‍රින්ට් කිරීමේ රැල්ල ආරම්භ විය. පළමු වරට ප‍්‍රින්ට් හෙවත් මුද්‍රිත රූප, අකුරු සහිත ටී ෂර්ටයක් දක්නට ලැබුණේ දෙවන ලෝක යුද්ධය සඳහා ගුවන් නියමුවන් හා බෝම්බ හෙළන්නන් පුහුණු කෙරුණ ඇමරිකානු ගුවන් හමුදාවෙන් මුද්‍රණය කළ ටී ෂර්ටයකිනි. එය 1942 ජූලි 13 වැනිදා LIFE සඟරා කවරයේ ඡායාරූපය විය. 


හමුදාවල සේවය කළ නිලධරයන් නිවාඩුවට හා යුද්ධය නිමවී යළි තම නිවෙස්වලට යාමේදී හමුදාවෙන් ලැබුණු ටී ෂර්ට් රැගෙන ගොස් අඳින්නට පටන් ගත්හ. ඉන්පසුව ක‍්‍රම ක‍්‍රමයෙන් එය හමුදාවට පමණක් සීමා නොවී, තාරුණ්‍යය වැළඳගත් විලාසිතාවක් බවට පත් විය. 


ඉන්පසු ටී ෂර්ට්වල මුද්‍රණය වූ ජනප‍්‍රියම රැල්ල වූයේ මිකී මවුස්ය. මිකී මවුස්ගෙන් ඇරඹුණු ටී ෂර්ට් වෙළෙඳ දැන්වීම් කලාව සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට බහුලව භාවිත විය. 


නළුකම නිසා ජනප‍්‍රිය වෙයි: 


1950දී එතෙක් නොලැබුණු පිළිගැනීමක් ටී ෂර්ටයට ලැබුණි. එම පිළිගැනීම ඇති වීම උදෙසා මාලන් බ‍්‍රැන්ඩෝ රඟපෑ A Streetcar Named Desire නමැති චිත‍්‍රපටය ප‍්‍රධාන සාධකය විය. කඩවසම් හා සරාගී නළුවා චිත‍්‍රපටයේ ඇඳ සිටින පරිදි ටී ෂර්ට් ඇඳීමට ඔහුගේ රසිකයන්ටත් පොදු ප්‍රෙ‌්ක්ෂකයාටත් ඇතිවූයේ උන්මාදනීය අවශ්‍යතාවකි. එපමණක් නොව, මෙම චිත‍්‍රපටය නිසා එය පිටතට අඳින විලාසිතාමය අගයෙන් ඉහළ ඇඳුමක් ලෙස ද ජනප‍්‍රිය විය. එම වසරේ අවසානය වෙන විට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක ටී ෂර්ට් වෙළදාම් කර තිබිණි. 


1955 දී ජේම්ස් ඩීන් නළුවාද Rebel Without a Cause චිත‍්‍රපටයෙන් ටී ෂර්ටයට හොඳ පිළිගැනීමක් ඇති කරවීය. 


1960 දශකයේ අග භාගය වන විට ටී ෂර්ට් යන්න ඇඳුමකට වඩා පුද්ගලික ප‍්‍රකාශනයක් හා ඇඳිය හැකි කලාවක් බවට පත් වී තිබිණ. වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරණයේදී, සමරු වශයෙන් හා උද්ඝෝෂණවලදී ද මුද්‍රිත ටී ෂර්ට් භාවිත කෙරිණි. 


Miami Vice (මියාමි වයිස්) ටෙලි කතා මාලාවේ සොනී ක්‍රොකට් හෙවත් රහස් පරීක්ෂකයෙකුගේ භූමිකාව රඟපෑ ඩොන් ජොන්සන් නමැති නළුවා විසින් කබාය සමඟ මෘදු පැස්ටල් වර්ණවල ටී ෂර්ට් ගලපා අඳින විලාසිතාව ජනප‍්‍රිය කරවීය. ළැව් ගින්නක් මෙන් පැතිර ගිය එම විලාසිතාව අදටත් එදා මෙන්ම ජනප‍්‍රියය. 


ෆෙස්බුක් ස්ටේටස්, ට්විටර් හා ඉන්ස්ටග‍්‍රෑම් ෆොටෝ පෙන්විය හැකි ස්ක‍්‍රීන් සහිත ටී ෂර්ට් තවමත් පර්යේෂණ මට්ටමේ ඇත. නුදුරු අනාගතයේදී සරල හා සැහැල්ලූ ටී ෂර්ටය ඇඳිය හැකි, උසස් තාක්ෂණයෙන් යුත් ඇඳුමක් වනු ඇත. 

 

 

 

 

 

 

 

 


සටහන - නිසංසලා දිසානායක 
අන්තර්ජාලය ඇසුරිනි