යකෙක් වගේ නටවන මත් පෙත්ත


ගවේෂණ

 

ගහට කොළට සතා සිවුපාවාට පවා ජීවත්වීමට ආදරය අවශ්‍යය. ඒ ආදරය යනු පෙම්වතුන් අතර පවතින ආකාරයේ ආදරයක් ම නොවේ. දෙමාපියන් හා දරුවන් අතර, හිතමිතුරන් අතර, සහෝදර සහෝදරියන් අතර පවතින ආදරය බඳු වුවද කම් නැත. හැම කෙනෙක්ම තමන්ගේ දුක සැප බෙද‌ා ගැනීමට කෙනෙක් සොයති. තමන්ගේ ළඟින් ඉන්න මිතුරු මිතුරියන්ගේ අවධානය, සැලකිල්ල, ආදරය බලාපොරොත්තු වේ. එහෙත් එය නොලැබී ගිය තැන පුද්ගලයකු හැසිරෙන ආකාරය සියයට අනූනවයක්ම තමන්ට මෙන්ම සමාජයටද හිතකර නොවනු ඇත.   

 

පියවි සමාජයේ ජීවත් වෙනවා වෙනුවට තමන් විසින් මවාගත් ලෝකයක ජීවත් වීමට උත්සාහ කරන්නේ හීනමානයෙන් යුතු වූවෙකි. ඇත්ත සමාජයට මුහුණ දෙන්නට අකමැති පුද්ගලයෝය. ඇත්ත සමාජයේදී තමන් මුහුණ දුන්, පීඩාවන් නැති හීන ලෝකවලට කැමති පුද්ගලයෝය. එවැන්නන් බිහිවෙන්නේ කෙසේද? 


කෙනෙකු කුඩා කල සිටම දෙමාපියන්ගේ ඇසුරෙන් මිදී හුදෙකලාව ජීවත් වූයේ නම්, ඔහුගේ හෝ ඇයගේ ඇසුරට ආච්චි අම්මා, සීයා හෝ වෙනත් පවුලේම වැඩහිටියෙක් නොසිටියේ නම් හුදෙක් ආයම්මා කෙනෙකු යටතේ හෝ නේවාසිකාගාරවල ජීවත් වීමට සිදුවූයේ නම්, දෙමාපියන් දෙදෙනාද නිතර රණ්ඩුදබර කරගන්නා, ඔවුන් එකගෙදර වුවත් දෙපසක ජීවත්වන්නවුන් සේ කාලය ගෙවයි නම් හෝ එවැනි පසුබිමක් තුළ හැදෙන වැඩෙන දරුවෙකුගේ මනසේ වර්ධනය අඩාළ වේ. ඔවුහු සමාජයට මුහුණ දීමට බියවෙති. ඒ තමන් ගැන. තම පවුලේ ප්‍රශ්න ගැන අනෙකා දැන ගනීවි යන යටිහිතේ තැන්පත් වූ අනියත බිය නිසාය. ඇතැම් විට තනිව කාලය ගතකිරීමට හුරුවී සිටීමෙන්ද සමාජ ඇසුරට ඔවුහු බියවෙති. සමහර විට පවුලේ විස්තර අනෙක් අය අහන විට දෙන්නට උත්තරයක් නැතිකම නිසාත් මෙවැනි දරුවෝ සමාජයට එක්වීමට මැළිවෙති. මේ සියල්ල තුළින් පෙන්වන්නේ ඔවුන්ගේ හීනමානයය. 


මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන බොහෝ දරුවන් අධ්‍යාපනයටද මැළිවෙන නමුත් ඇතැම් පවුල්වල දෙමාපියන්ගේ අධ්‍යාපනික හැකියාව නිසාම දරුවන් විභාග සමත් කරමින් ඉදිරියට යන අතර අධ්‍යාපනයට සුදුසු රැකියාද සොයා ගනී. එහෙත් ඔවුන්ගේ මනස තුළ වැඩුන හීනමානය තවදුරටත් එලෙසම පවතිනු ඇත. 


සාමාන්‍ය සමාජ ඇසුරෙන් මිදුණ එහෙත් යටි හිතේ එවැනි සමාජ ඇසුරකට කැමැත්තක් ඇති පුද්ගලයින් අතරට එන මුහුණු පොත ඔවුන්ගේ හිත් ඇද බැඳ ගැනීමට සමත්වීම අරුමයක් නොවේ. මුහුණු පොතේදී හමුවෙන මිතුරන් ගෙදර දොර තොරතුරු නොවිමසති. සමාජ මට්ටම් තරාතිරම් ගැන ඔවුන් අතර කතා බහ නොකෙරේ. ඒ නිසා හීන මානයෙන් පෙළෙන්නන්ට තමන්ගේ පාළුව මකා ගන්නට මිතුරන් සොයාගත හැකි හොඳම තැන මුහුණ පොතය. (මුහුණු පොතේ සැරිසරන සියලු දෙනා එලෙස යැයි මෙයින් අදහස් නොකෙරෙන අතර එය තොරතුරු සන්නිවේදනයේ ඉදිරිපියවරක් බව අප පිළිගනිමු) එසේ මුහුණු පොතේ සැරිසරන එක්තරා ව්‍යාපාරිකයන් කොටසක් තමන්ගේ ව්‍යාපාරික අරමුණු (ලාභ ඉපයීම) කරගෙන පවත්වන මිතුරු සාජ්ජ හීන මානයෙන් පෙළෙන තරුණයන් ආකර්ශනය කරගන්නේ ආයාසයකින් තොරවමය. 


මේ සාදවලට සම්බන්ධ වෙන සියලු දෙනා තරුණයින් නොවන අතර මධ්‍යම පාන්තික පවුල්වල විවාහක කතුන් හා විවාහක පිරිමින්ද එයට එක්වේ. ඒ මධ්‍යම පාන්තික විශේෂයෙන්ම ව්‍යාපාරික පවුල්වල පවතින අසහනකාරී වටපිටාව නිසාය. සැමියා ව්‍යාපාරික කටයුතු නිසා පවුල් ජීවිතය ගත කිරීමටවත් කාලයක් නැතිව පීඩාවට පත්වෙද්දී තනිවම නිවසට වී දවස ගෙවන බිරින්දෑවරුන්ටද ඇතිවෙන හුදෙකලාවේ පීඩනය දරා ගැනීමට නොහැකිය. ඔවුන්ගේ සමාජ තත්ත්වය අනුව ඒ බවක් පිටස්තරයන් සමග කතාකිරීමටද නොහැකිය. ඒ සියලු දෙනා තමන්ගේ පීඩාව නැතිකර ගන්නේ රාත්‍රී සමාජ ශාලාවල කාලය ගත කිරීමෙනි. මෙවැනි ඇසුරකට පත්වූවන්ටද මුහුණු පොතේ සාජ්ජ ආකර්ශනීය වීම සාමාන්‍ය තත්ත්වයකි. 

 


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පෙන්වා දෙන පරිදි මෙවැනි දේවල්වලට යොමුවූවන් එයින් ගලවා ගැනීමේදී ඇතැම් විට ඒවායේදී භාවිතා කරන මත්ද්‍රව්‍යවලින් ඇති කරන වෙනස් හැසිරීම් ආදිය ගැන කතා කිරීමත්, ඒ කෙරෙහි කෙනෙක් ආකර්ශනය කරගැනීමට හේතුවේ. මන්ද හීනමානයෙන් පෙළෙන්නන්ට ඒවා “ෂා මරුනේ” කියා හිතෙන්නට ඉඩ තිබෙන බැවිනි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මුහුණු පොත ඔස්සේම කරන ලද සමීක්ෂණවලදී විවිධ කාරණාවලට එක් එක් පුද්ගලයන් දක්වන ප්‍රතිචාර පිළිබඳව සොයා බැලීමේදී ඒ බව තහවුරු වී ඇත. උද‌ාහරණයක් ලෙස අපි කිව්වොත් අහවල් මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙකුට ළඟපාත ඉන්න අය පුංචියටයි පේන්නේ, ඒ වෙලාවට ඔවුන්ට පහර දෙන්න වුණත් ශක්තියක් එනවා කියලා. ඒකට ෂා මරුනේ කියලා හිතන්න මෙවැනි හීනමානය සහිත පුද්ලයන් පෙළඹේ. ඒ නිසා මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී මෙන්ම වාර්තාකරණයේදී මාධ්‍ය වෙතද විශාල කාර්යභාරයක් පැවරී ඇති බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පෙන්වාදේ. සැබවින්ම මේ මුහුණු පොතේ සාජ්ජ නිසා අනතුරට ලක්වන්නේ විනාශයට පත්වන්නේ අපේ රටේ තරුණ පිරිසය. 


කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පෙන්වාදෙන පරිදි මෙම සාදවලට සහභාගිවෙන්නන් භාවිතා කරන මත් පෙති වර්ගය නිසා එවැනි අයෙකුට තමන්ට ඕනෑම දෙයක් කරන්න ශක්තිය තිබෙනවා කියලා දැනෙන්න පටන්ගනී. ඒ නිසා ඔවුන් හැකි තරම් නැටීමටත් සිංදු කීමටත් පෙළඹෙති. එලෙස දිගින් දිගටම නැටීමත් භාවිතා කරන පෙති වර්ගයේ රසායනික ක්‍රියාකාරීත්වයත් නිසා ශරීර උෂ්ණත්වය බරපතළ ලෙස ඉහළ යාමෙන් මාංශ පේශි බිඳ වැටේ. එසේ බිඳ වැටීමේදී මාංශපේශිවල පවතින මයොග්ලොබින් නමැති රසායනිකය ලේවලට මිශ්‍රවීමෙන් ඒවා වකුගඩුවල වෘක්කානුවල හිරවී වකුගඩු ක්‍රිකාකාරීත්වය අවහිරවේ. එය වකුගඩු නරක්වීමට බලපානු ඇත. එය ක්ෂණික මරණයක් අත්කර නොදුන්නද ක්‍රමයෙන් මරණය කැන්දනු ඇත. 


“දිගින් දිගටම නැටීමේදී ඔවුන්ගේ සිරුරෙන් ද‌ාඩිය සමග සෝඩියම් විශාල ලෙස පිටවීම සිදුවෙනවා. ඒ නිසා මොළේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මේ තත්ත්වය නිසාත් ශරීර උෂ්ණත්වය ඉහළ යාමත් නිසා වලිප්පුව වැනි තත්ත්වයක් ඇති විය හැකිය. එසේම මේ පෙතිවල රසායනික ක්‍රියාකාරීත්වය නිසා මොළෙන් නිකුත්වෙන පෙරටොනික් නමැති රසායනිකය වැඩියෙන් නිකුත්වීම සිදුවන අතර එයින් ප්‍රෙෂර් තත්ත්වයක් ඇති විය හැකිය. මේ තත්ත්ව සියල්ල එකට එකතු වීමෙන් කෙනෙක් මිය යා හැකිය. එසේ නොවුනද ඔවුන් දිගු කාලීනව දරුණු රෝගාබාධවලට ගොදුරු විය හැකිය.” 


ෆේස් බුක් සාදවලට කෙනෙක් යොමුවීම වළක්වාගන්නේ කෙසේද? 


ඒ පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යාපන හා පුහුණු අංශයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කුමාර කොහොලානේගෙදර මහතා දැක්වූයේ මෙවැනි අදහසකි. 


 “දරුවෙක් මේවාට යොමුවන්නේ ඇයිද කියලා අපි මුලින්ම කල්පනා කර බැලිය යුතුයි. පළමුවතාවට මෙවැනි දේකට කෙනෙක් යොමුවන්නේ ඔවුන්ට ලැබෙන වැරදි සන්නිවේදනයන් නිසයි. එද‌ා විවේක කාලය ගමේ තරුණ පිරිස් සමග එකතුව ක්‍රිකට් ගහන්න, පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්න පෙළඹුන දරුවන් අතට අද අන්තර්ජාල පහසුකම් හා වෙනත් නවීන පහසුකම් සහිත ජංගම දුරකතන ඇවිත්. ඒ නිසා ඔවුන් තමන්ගේ කාලයෙන් වැඩිම කාලයක් ගතකරන්නේ මේ උපකරණයත් සමග නිසා ඔවුන්ට ඒ ඔස්සේ මේ අනවශ්‍ය තොරතුරු පැමිණෙනවා. තරුණයා කියන්නේ හැමවිටම කුතුහලය සහිතව වැඩෙන කෙනෙක්. ඒ නිසා ඔවුන් තමන්ට ලැබෙන වැරදි තොරතුරුවලින් ලැබෙන දේවල් අත්හද‌ා බලන්න උත්සාහ කරනවා. ඒ අනුව තමයි මේ සාදවලට ඔවුන් සම්බන්ධ වන්නේ. එහෙත් මේ සාදවලට සම්බන්ධ වන සියලු දෙනා ඒවාට දිගින් දිගට යොමු වන්නේ නැහැ. දිගින් දිගට යොමුවීම කියන්නේ ඇබ්බැහිවීමක්. එය කෙනෙක් ඉන් ගලවා ගැනීමට දිර්ඝකාලීන ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන්න සිදුවෙනවා. එහෙත් ඇතැමුන් පළමු අවස්ථාවෙන් පසු එයින් අත්මිඳෙන්න උත්සාහ කරනවා. ඒ නිසා අප පළමුව කළ යුත්තේ යොමුවීම වළක්වා ගැනීමයි. ඒ සඳහා කළ යුත්තේ හැකි තරම් මේ සාදවලින් ඇතිවන අනිටු ඵල විපාක ගැන දැනුවත් කිරීමයි. ඒ වගේම මේ සාද සංවිධානය කරන අය ප්‍රචාරය කරන කරුණු ඇත්ත නොවෙන බව පෙන්වාදීමයි. ක්ෂණිකව හා දිගුකාලීන රෝගවලට ගොදුරුවී මරණය ළඟා කර ගැනීමට සිදුවෙන තත්ත්වය පිළිබඳව දැනුවත් කළ යුතුයි. එය ආයතනයක් ලෙස අපි පමණක් නොව මුළුමහත් සමාජයේම යොමුවීමක් අවශ්‍යයි.” 


කොහොලානේගෙදර මහතා පෙන්වා දෙන පරිදි මෙවැනි සාදවලට දිගුකාලීනව යොමුවූවන් එයින් ගලවා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව වඩාත් ගැඹුරෙන් හරවත් සාකච්ඡාවක් ලබන කලාපයෙන් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. 

 

 

 


මුදිතා දයානන්ද