යක්ෂයා පැරද වූ අන්ජානාට තෑග්ගට විවාහයක්


භාරත දේව සභාව

 

 

විහිළු කිරීමේ වරදට රිෂී ඉසිවරයාගේ ශාපයට ලක් වූ අප්සරාවට වඳුරු රුවක් ලැබිණි. ඉනික්බිති අන්ජානා ලෙස පෙනී සිටි ඇය වනගත ආශ්‍රමයකදී යක්ෂයකුගේ භීෂණයට මුහුණ දුන්නාය. 
ගිය සතියේ පළවූ ඒ කතාවේ ඉතිරිය මෙතැන් සිට

 
කෙමෙන් සන්ධ්‍යාව එළැඹිණි. වනමැද වූ බැවින් ආශ්‍රමය ඉක්මණටම අඳුරට නතුවිය. එහෙත් සඳ පායා තිබූ බැවින් අර සැඳෑ අඳුර එතරම් දැඩි වූයේ නැත. 
මහා හඬක් නැගුණේ අන්ජානා සහ කේශාරී එකිනෙකා කතාබහේ යෙදී සිටින අතරතුරය. 
යක්ෂයා ආශ්‍රමයට පැමිණෙන අයුරු අන්ජනා දුටුවාය. ඔහුට විශාල ශරීරයක් තිබිණි. කළු පැහැති ඒ විසල් සිරුර සොලවමින් පියවර තබන විට දකින්නවුන්ගේ සිත් භීතියෙන් සසල වීම අරුමයක් නොවීය. 

මේ වන විට ආශ්‍රමය මිනිසුන්ගෙන් පිරී තිබිණි. මන්දයත් යක්ෂයාට බිය වූ මිනිසුන් තම ගෙවල් දොරවල් අතැර, ආරක්ෂාව පතා ආශ්‍රමයට පැමිණ සිටි නිසාය. 
යක්ෂයා දුටු ගැහැනු ද, ළමයිද භීතියෙන් කෑ ගැසූහ. 
“අපි මේ යක්ෂයාව ආශ්‍රමයෙන් නෙරපා දැමිය යුතුයි” 
කේශාරි, ඔහුගේ ගැඹුරු හඬින්ම පැවසුවේය. 
ඔහු, හෝරාවකට පමණ කලින්, සුද්ධ පවිත්‍ර කළ ආයුධය අතට ගත්තේය. ඒ සමඟ ඔහුගේ වඳුරු හමුදාව අවි ආයුධ අත දරාගෙන කේශාරී වට කර ගත්හ. 
‘යක්ෂයාට පහර දෙනු’ 
කේශාරි අණ කළේය. 
එහෙත් ඒ හඬ ඇසුණු සැනින් යක්ෂයා කළේ තම සැබෑ රුවෙන් මිදී වෙනත් රුවක් මවා ගැනීමය. මේ නිසා කේශාරී පත්වූයේ අපහසුතාවයකටය. ඔහුත්, ඔහුගේ වඳුරු හමුදාවත්, යක්ෂයා සෙවූහ. එතෙක් මෙතෙක් දකින්නට සිටි යක්ෂයා පෙනෙන්නට නොවීය. 
එසේ වුවත් එක් හී හිසක් වේගවත් ගමනකින් යක්ෂයා ලුහුබැන්දේය. තම ස්වභාවික පෙනුම වෙනස් කරගත් යක්ෂයා වෙත අර හී හිස ගමන් කළ අතර, එය ඇනී, ඔහුගේ සිරුරෙන් ලේ පදාසයක් පොළොවට පතිත විය. 
කේෂාරි, යක්ෂයා කොහේදැයි බැලුවේය. පොළොව මත වැටුණු ලේ පැල්ලම ඔහු දුටුවේ එවිටය. වහාම ඒ ඔස්සේ තම ආයුධය ඉලක්කගත කළ කේෂාරි පහරදීම ඇරඹුවේය. 
කේෂාරිගේ වඳුරු හමුදාවද, යක්ෂයා වෙත තම ඊතල මුදා හැරීමට පටන් ගත්හ. 
ඊතල ගණනාවකින් තම සිරුර තුවාල වන හැටිත් තුවාල වලින් ලේ ගලායන හැටිත් යක්ෂයාට දැනිණි. තව දුරටත් ආශ්‍රමයේ රැඳීසිටීම අනතුරුදායක බව දැනගත් යක්ෂයා වහාම පලායායුතු බව තීරණය කළේය. වෙනත් රුවක් මවාගෙන අතුරුදන් වීමට ඔහු කටයුතු කළේ එබැවිනි. 
යක්ෂ බිය පහවිය 
ආශ්‍රමයේ රැඳී සිටි සෙනඟ වහා දිවවිත් අන්ජානා සහ කේෂාරි ඔසොවාගත්හ. 
“කේෂාරිට ජයවේවා” 
“අන්ජානා සැරදේවා” 
“කුරිරු යකා පලවා හළ වීරයන්ට ජයවේවා” 
සෙනඟ තාලයට කියමින් ආශ්‍රමය වටේ ගමන් කරන්නට වූහ. නටමින් ගයමින් ඒ නැටුම් තාලයට කේෂාරි සහ අන්ජානා උඩදමමින් සව්දිය පිරූහ. 
සම්බසඩාන් යක්ෂයා තමන් ගිය වැරැදි ගමන ගැන පසුතැවිලි විය. 
ඊතල වලින් සිදුරු වූ සිරුරෙන් තවමත් ලේ ගලමින් තිබිණි. එම තුවාලවලට බෙහෙත් ආලේප කරගත් යක්ෂයා සිය විමානයට ගොස් වැතිර ගත්තේය. ඔහුට දවසක් දෙකක් විවේක ගැනීමට අවශ්‍යව තිබිණි. 
අතීතයේ දවස්වල සිදු වූයේ සම්බසඩාන් යක්ෂයාගෙන් මිනිසුන් මියයෑම හෝ තුවාල වීමය. ඇත්තටම ඔහුගේ අඩන්තේට්ටම්වලට ලක් නොවූ මිනිසකු නොසිටි තරම්ය. එහෙත් මෙදා සිදුවූයේ වෙනම දෙයකි. 
‘මට පහර දුන්නෙ කව්ද? 
සම්බසඩාන් තමන්ගෙන්ම අසාගත්තේය. 
මේ අතර තම වනය යක්ෂ බියෙන් නිදහස් වූ ප්‍රීතිය භුක්තිවිඳීමට ජනතාවට අවශ්‍ය විය. ඔවුහු දැවැන්ත සැණකෙලියක් සංවිධානය කළහ. නැටුම් ගැයුම් කෑම් බිම් වලින් සමන්විත ඒ සැණකෙළිය මේ වනගත ගම්මානයේ සිදුවූයේ ප්‍රථම වතාවටය. ඒ නිසා හැම වැසියෙක්ම මේ ‘සැණකෙළියට සහභාගී වූයේ සතුටෙනි. සැහැල්ලුවෙනි. 
මේ සැණකෙළියේ හඬ ඇසුණු තවුසෝද එය කුමක්දැයි බලන්නට පැමිණියහ. එසේ පැමිණි එක් වියපත් තවුසෙක් යක්ෂයා පළවාහැරීමට දායක වී වීරත්වයට පත් වූ අන්ජානා සමග කතා කරන්නට ඉදිරිපත් විය. 
මේ තවුසා අන්ජානා දෙස බලා සිටියේ විමතියෙනි. කිසිත් කතා නොකර පුදුමයෙන්. ඇස් දෙක ලොකු කරගෙන බලාසිටි ඔහු දෙස අන්ජානාද හැගීම් විරහිතව බලා සිටියාය. 
“අන්ජානා” 
අවසානයේ තවුසාගේ සංසුන් කටහඬ ඇසිණ. 
ඒ කටහඬේ මෘදු බවද කරුණාවද ගැබ්විය. 
“අන්ජානා, යම් කිසිවෙක් අපට යම් උපකාරයක් කළොත් ඔහුට හෝ ඇයට ස්තුති කිරීම ප්‍රශංසා කිරීම, අගය කිරීම මෙන්ම ත්‍යාග ලබාදීම අප සාමාන්‍යයෙන් කරන දෙයක්. ඔබ අපට කළේ ලොකු උපකාරයක්. අප වෙනුවෙන් ඔබ බිහිසුණු යක්ෂයකු සමග සටන් වැදුණා. යක්ෂයා පරාජය කර පළවා හැරීමට ඔබ සමත් වුණා ඇත්තටම ඒක පුදුමයක්. මොකද? මේ යක්ෂයා ඉතාම බිහිසුනු නපුරෙක්” 
අන්ජානා තවුසා දෙස බලාසිටියේ ඔහු විසින් තමන්ට තිළිණ කරන ත්‍යාගය කුමක්දැයි යන බලාපොරොත්තුවෙනි. 
‘ඔබ කැමති නැද්ද කේෂාරි සමඟ විවාහ වීමට?” 
තවුසා හීන් හඬින් විමසුවේය. 
අන්ජානා ඔහු දෙස බලා සිටියේ පුදුමයට පත්වය. 
ඔහු වීරයෙක්. ඒ වගේම ඔබත් වීරවරියක් ඒ නිසා ඔබට දියයුතු හොඳම තිළිණය ඔහු. ඔහුට දිය හැකි හොඳම තිළිණය ඔබ” 
අන්ජානාගේ හිත ලැජ්ජාවෙන් පිරී ගියෙන් ඇය කිසිවක් කතා කළේ නැත. මද සිනාවකින් යුතුව බිම බැලූ ඇය පා ඇඟිල්ලකින් පොළොව හාරන්නට පටන් ගත්තාය. 
‘කේශාරි කියන්නෙ යකෙකුටවත් බය නැති කෙනෙක්” 
අන්ජානා තමන්ටම කියාගත්තාය. 
‘ඒ වගේම එයා බොහොම නුවණක්කාරයෙක්. යක්ෂයාගේ ලේ පැල්ලම දැකලා යක්ෂයා ඉන්න තැන උපකල්පනය කරලයි පහර දුන්නෙ” 
එසේ වුවත් ඔහුට තිබුණේ වඳුරු මුහුණකි. එය එතරම් ප්‍රසන්න මුහුණක් නොවේ. 
“ඒත් මටත් තියෙන්නෙ වඳුරු මුහුණක්නෙ’ 
ඊළඟ මොහොතක අන්ජනාට මතක් විය. 
“එයත් වඳුරෙක් මාත් වදුරෙක්. එහෙව් එකේ අපි දෙන්න බැන්දට ප්‍රශ්නයක් නැහැ” 
“හොඳයි මම කැමතියි” 
අන්ජානා උගුර යටින් ආ සිහින් ස්වරයකින් තෙපලුවාය. 
තවුසා අපමණ සතුටට පත්විය. 
“අපි ඔහුත් සමඟ මේ ගැන කතා කරලයි තියෙන්නෙ. ඔහුත් හිතනවා ඔබ බොහොම නිර්භීතයි. ලස්සනයි කියලා. ඔහුටත් අවශ්‍ය ඔබ සමඟ විවාහ වීමට. නමුත් ඔහු සැකෙන් හිටියෙ ඔබ කැමතිවෙයිද කියලා” 
තවුසා කීවේය. 
අන්ජානා සිනාසුණාය. 

 

 

නැකත් සහිත සුබ දවසක කේශාරි සහ අන්ජානාගේ විවාහය සිදුවිය. ආශ්‍රමය භාර තවුසාගේ ආශිර්වාදය ඇතිව ජනතාවගේ සුබපැතුම් මැද සිදු වූ මේ විවාහය අතිශය අලංකාර උත්සවයක් වූයේය. තවුසා සහ ගම්වැසියෝ එක්ව ප්‍රණීත භෝජන සංග්‍රහයක්ද පැවැත්වූහ. 
කේශාරිගේ සහ අන්ජානාගේ විවාහය ප්‍රීතිමත් එකක් වූයේය. හැමදාමත් දෙදෙනා එක්ව ශිව දෙවියනට සහ පාර්වතී දෙවඟනට යාච්ඤා කළ අතර ශිව වන්දනාවද නිසි ලෙසම පැවැත්වූහ. ඒ වන්දනාවේ අරමුණ වූයේද ප්‍රීතිමත් යුග දිවියකි. 
රිෂි ඉසිවරයා දිනක් අයෝධ්‍යා පුරවරයට ගියේය එහි රජු දශරථ සිය බිසෝවරුන් තිදෙනාත් සමඟ ගත කළේ අසතුටුදායක ජීවිතයකි. මාලිගා, යාන වාහන සියල්ල නොඅඩුව තිබුණත් රජ සැප උපරිමයෙන් භුක්ති වින්දත්, දශරථ රජුට දරුවන් සිටියේ නැත. මේ නිසා රාජ්‍යයේ ඊළඟ භාරකාරයා වන්නට කිසිවෙක් නොසිටියහ. දශරථ රජු හැම විටම සිටියේ මේ ගැටළුවෙන් පීඩා විඳිමිනි. 
රිෂී ඉසිවරයා දශරථ රජු හමුවුණු විට දශරථ ගේ දරු ප්‍රශ්නය සාකච්ඡාවට භාජන විය. 
“මා ඔබට යාච්ඤාවක් කියා දෙන්නම්” 
රිෂි ඉසිවරයා පැවසුවේය. 
“හැමදාමත් උදේටත් හවසටත් ඔබ මේ යාච්ඥාව කරනවිට ශිව දෙවියන්ගෙන් ඔබට පිහිටක් ලැබේවි.” 
රිෂී ඉසිවරයා දශරථ රජුට පුත්‍රකමේස්ති යාච්ඤාව කියා දුන්නේ අනතුරුවය. 
දරුවකු වෙනුවෙන් සිහින දුටු දශරථ රජු මහත් භක්තියෙන් යුතුව පුත්‍රකමේස්ති යාච්ඤාව කළ අතර කලකට පසු ඔහුට ශිවගෙන් තිළිණයක් ලැබිණි. 
ඒ ප්‍රණීත පුඩිමකි. 
දශරථ රජුගේ අතට පුඩිම ලැබුණු පසුව, කිසියම් හඬක් ඔහුට ඇසිණි. 
‘‘ඔය පුඩිම කොටස් තුනකට කඩා ඔබේ බිසෝවරු තිදෙනාට දෙන්න” 
ඒ හඬ දෙව්ලොවෙන් ඇසෙන්නක් බව රජුට වැටහිණි. 
ඔහු වහාම ඒ හඬට අවනත විය. 
අත වූ පුඩිම කොටස් තුනකට කඩා සිය බිසෝවරු තිදෙනාට කෞෂල්‍යාට, තෛකේසිට සහ සුමිත්‍රාට දුන්නේය. 
එහෙත් සුමිත්‍රාට පුඩිම් කෑල්ල දෙනවිටම අහසේ පියාසර කළ කුරුල්ලකු පැමිණ හොටින් ගත්තේය. ඌ වහාම ඉගිළ ගියේ ඉන් කුස පුරවා ගන්නා අටියෙනි. 
“දැන් මොකද කරන්නේ.” 
දසරථ රජු අහසේ පියාසලන කුරුල්ලා දෙස බලාගෙන ඇසුවේය. 
“ඒකට කමක් නෑ අපේ පුඩින් කෑලි දෙකෙන් බාගෙ බාගෙ සුමිත්‍රට දෙමු.” 
කෞෂල්‍යා කීවාය. 
කෞෂල්‍යාගෙන් සහ ​තෛකෙයිෂිගෙන් ලැබුණු පුඩිං කෑලි දෙකම අනුබව කළ බැවින් සුමිත්‍රාට ලැබුණේ නිවුන් දරුවන්ය. 
ඒ ලක්ෂ්මන සහ එ්ත්රුගනය. 
කෞෂල්‍යා, රාම් නම් දරුවකුටද තෛයිකේෂි භාරත් නම් දරුවකුටද ඡන්මලාභය දුන්හ. 
දශරත් රජුගේ අතින් හොරාගෙන ගිය පුඩින් කෑල්ල, කටේ රුවාගත් කුරුල්ලා වේගයෙන් ඉගිල ගියේය 
එහෙත් අතර මගදී කුරුල්ලාගේ හොටෙන් අර පුඩින් කෑල්ල ගිලිහිණි. 
ඒ බලවත් ආහාරය වායු දෙවියන් දුටුවේය. ඔහු සුළං දෙවියා අමතා අර පුඩින් කෑල්ල ප්‍රවේසමෙන් පොළොව කරා පහත් කරන්නැයි පැවසුවේය. 
ඒ වන විට වනාන්තරයේ ගසක් පාමුල වාඩි වී සිටි අන්ජානා සහ කේෂාරි ළඟටම ඒ පුඩිං කෑල්ල රැගෙන යන්නට සුළං දෙවියා සමත් විය. 
අවසානයේදී එය පතිතවූයේ අන්ජානා ළඟටමය. 
ඒ වන විට අන්ජානා සහ කේෂාරි ඔවුන්ගේ උදෑසන යාච්ඤාව අවසන් කළා පමණි. තමා අසලටම පහත් වූ පුඩින් කෑල්ල දෙස දෙදෙනාගේම ඇස් යොමුවූයේ පුදුමයත් සමගය. 
“අන්ජානා ඔය පුඩින් කෑල්ල කන්න.” 
දිව්‍යමය ස්වරයක් එක්වරම ඇසිණි. 
‘ශිව දෙවියා’ 
අන්ජානා අහස දෙස බැලුවාය. 
‘කන්න’ 
යළිත් ඒ දිව්‍යමය ස්වරය ඇසිණි. 
දෙවරක් නොසිතූ අන්ජානා, පුඩින් කෑල්ල අනුබව කලාය. 
එහි ප්‍රථිපලය වූයේ ඇයට දරුවකු ලැබීමය. හනුමන්තා යනු ඒ දරුවාගේ නමයි. 
අන්ජනීය, පවන් පුත්‍ර, කේෂාරිනන්දන් යන අපරනාම හනුමන්තාට ලැබුණේ ඒ නිසාය. 
හනුමන්තාගේ උපතත් සමඟ අන්ජානාට බලපෑ ඉසිවර ශාපය අවසන් විය. 

 

 

 


ශාන්ත කුමාර විතාන