යක්කු පෙන්නූ හැටි...


පෙනෙන ලොව සහ නොපෙනෙන ලොව

 

ගෙදර දොරේ වැඩ ඉවර කර හවස පොළට යන්න හිතාගෙන පළිඟු මැණිකා ඉක්මනට හාල්ගරන්නට පටන් ගත්තේ ළමයි පාසල් ඇරී ගෙදර එන්නට පෙර දිවා ආහාරය පිළියෙළ කරන්නටය.   


ඇය එළියෙ තියන පුංචි බංකුව උඩ ඉඳගෙන හාල් ගරන අතරෙ වයසක රැවුල වවාගත්ත හිඟන්නෙක් ඉඳිකඩේ උණ බම්බුවට හැරමිටියෙන් තට්ටු කොට හිඟමනට යමක් ඉල්ලීය. ඇයට ඒ වෙනුවෙන් කාලය මිඩංගු කළ නොහැකි හෙයින් දැන් දෙන්න දෙයක් නෑ වෙන දවසක එන්නයයි ශබ්ද නගා කීවාය. මේ පිළිබඳව මහලු හිඟන්නාට ඇතිවූයේ කෝපයකි.   
ආ එහෙමද කියා උරරැඳි ඔලගුවට අත දමා ගිරය සමග ගොලෑ ගෙඩියක් ගෙන එය මුවට ළංකර මතුරා ගිරය ගෙන ගොලෑගෙඩිය පලා ඇය දෙසට විසිකොට යන්න ගියේය. එය දුටු පළිඟු මැණිකා සිහිනැතුව හාල් කොරහ මත ඇද වැටුණාය. ගේ ළඟ දෙවට දිගේ යමින් සිටි රොසලින් මේ දැක වහා දිවවිත් පළිඟු මැණිකා කෙළින් කර ඉන්ඳා මූණට වතුර ගසා සිහි කොට වතුර ටිකක් පොවා කතාවට වැටුණා.   


වෙච්ච සිද්ධිය අකුරක් නෑර පළිඟු මැණිකා රොසලින්ට කීවාය.   


එහෙනම් හිඟන්නා ඔයාගෙන් පළිගන්න ගුරුකමක් කරල යන්නැති. රොසලින් ගත් කටටම කීවාය. ඌ හිඟන්නෙක් නෙමේ මහ යකෙක් වාගෙ මිනිහෙක්. පළිඟු මැණිකා කීවාය. එදින සිට දවසට කීප විටක් මෙම සිහිවිකල්වීම ඇයට සිදුවූයෙන් ගමේ සිටින ගුරුකම් කරන අය ගෙන්වා යන්ත්‍ර මන්ත්‍ර දැමූ නමුදු එයින් සුවයක් නොලැබිණ.   


මුදල් හදල් වියදම් කොට සෙත් ශාන්ති කළත් එයින් පලක් නොවූ තැන ඒ බව මාතර සිටින හින්නි මාමාට දන්වා යැවීය.   


ආ එහෙමද මං හෙට උදෙන්ම එන්නම්. ඊට කලින් ගොක් අත්තක් දෙකක් කෝටු හත අටක් කපල තියන්න. දුම්මල කට්ට කුමංජල් වාගේ කඩෙන් ගන්න. සිරා බීරා මං අරන් එන්න. මං එන්න හවස් වන නිසා ඔය ළමයා නාලා පිරිසිදු වෙලා ඉන්න. මස් මාළු කිළිකුණු මොකුත් ගෙට ගන්න එපා. මල් ටිකක් බුලත් ටිකක් හොයල තියන්න යනුවෙන් හින්නි මාමා දැන්වීය.   


මාතර පදිංචිව සිටින හින්නි මහා දක්ෂ මන්ත්‍ර ගුරුකම් කරන්නෙකි. මෙම සිද්ධිය නූල් පොටක් බැඳ සුව කළ හැකි දෙයක් නොවන බව දත් ඔහු මෙයට ගැළපෙන යන්ත්‍රය දැමිය යුතු බව සිතා ගත්තේය. මං ගෙදරට එනතුරු ආයෙ සිහිවිකල් වෙන්නෙ නෑ භය නැතුව ඉන්න යයි ඔහු කීය. ඉන් පසු ඇයට සිහිවිකල්වීම තාවකාලිකව නැවතිණ.   
නියමිත දින හින්නි මාමා පැමිණ වත්තේ වැට පනින විටම පළිඟු සිහිසන් නොමැතිව බිම ඇදවැටුණා. මාමා පැමිණ වතුර මතුරා මුහුණට ඉසූ පසු යළි සිහිගත්තාය.   
ඔන්න හෙට පළිඟු නෝනට වැහිල ඉන්න යකා එළවන්න මාතරින් කට්ටඩියෙක් එනවලු. එදාට අපිත් යමු මිනිහගෙ කෙරුම් බලන්න යයි ගමේ නමගිය කට්ටඩි කීපදෙනාම කතා කරගත්හ.   


අපට බැරි දේ මිනිහ කොහොම කරන්නද බැරි වුණොත් මිනිහට යන්න වෙන්නෙ ඇඳුම් නැතුව තමා. පීතර කට්ටඩි තැන ශබ්ද නගා කීවේ. වෙලේ කඩේ තියන ලොවි බංකුව උඩ ඉඳගෙන බුලත්විට කන ගමන්ය. යමු යමු අපිත් එනවා ඒක බලන්න. එතන සිටිය තරුණයෝ කීපදෙනෙක් කීහ.   


නියමිත දින හින්නි මාමා තාන්තුවාව කිරීමට අවශ්‍ය අඩුම කුඩුම රැගෙන පළිඟු මැණිකාගේ නිවසට පැමිණියාය. පළිඟු නෝනාගේ මව සකස් කරදුන් තේ පානයෙන් පසු මල්පැල සිටුවා මල් බුලත් පුටුව තනා ඒ මත යන්ත්‍රය අඳින ලද තඹ කොළය තබා එය ජීවම් කිරීමට පටන් ගත්තේය.   

 

ටිකෙන් ටික ඇඳිරි වැටෙන්නට වූයෙන් එහෙන් මෙහෙන් පැමිණි කීපදෙනෙක්ම ගෙදරට ගොඩවූයේ පළිඟු මැණිකාට කරන්නට යන තාන්තුවාව බැලීමටය. මේ අතර පළිඟු මැණිකාට බලි තොවිල් කළ ඇදුරෝද වූහ. පැමිණි සියල්ලටම ගෙදරින් ආහාරපාන ලැබුණ හෙයින් වැඩිදෙනෙක් තාන්තුවාව ඉවර වන තුරු මෙහි නතර වූහ.  


ගෙදරදී යන්ත්‍රය ජීවම් කළ ගෙදර වත්තේ කෙළවර පිහිටි තුන්මන්සලේද යකුන් වෙනුවෙන් පිදේනියක් තබා එයට හත්මාළුව පුළුටු පහ ඇතුළු ආහාර, පලතුරු, ගොඩ මස්, දියමස් ඇතුළු කුකුළු බිලි පුදා තවදුරටත් යන්ත්‍රය ජප කර රෝගියාට දෙහි කපා යන්ත්‍රය ශබ්දක ඇතිව මන්ත්‍ර කියා යන්ත්‍රය කරට දමනවිට රාත්‍රී දොළහත් ඉක්ම ගොස් තිබිණ.  
මේ වන විට කලින් කට්ටඩිකම් කළ වෙද්දු මාතර කට්ටඩි තැනට සමච්චල් කරන තත්ත්වයට ඔවුන් පත්වී සිටි හෙයින් මාතර වෙදරාලගෙන් නොයෙක් ප්‍රශ්න අසන්නට විය.  
මාතර කියන්නෙ යන්ත්‍ර මන්ත්‍ර වලට බලිතොයිල් වලට කප් ගහපු පළාතක් නොවැ. වෙද මහත්තය ඔය බලි තොවිල් කරන්නට යක්කු පෙරේතයො හෙම දැකල කතා කරල හෙම නැද්ද කට වාචාල කමට කතා කරන සීමන් කියන කට්ටඩියා ප්‍රශ්න කළේ මාතර කට්ටඩි තැන සමච්චලයට ලක් කිරීමටය.  


ඇයි නැත්තෙ මං දැකල තියෙනවා. මං බය නෑ යක්කු දකින්න ඔහු ප්‍රශ්න කළ තැනැත්තා දෙස අවඥා සහගත ලෙස බලමින් කීය.  


හෑ දැකල තියනව හරි කෙරුමෙක්නෙ. ඔහෙ සීමන් ළඟ වාඩිවී සිටි තවත් කට්ටඩියෙක් කීය.  


ඔව් මං හරි කෙරුමෙක් තමා. මාතර කට්ටඩි තැන කෝපයෙන් කීය.  


අපටත් යකෙක් පෙන්නන්න බැරිද සීමන් ඇසීය. ඔව් පුළුවන් මාතර කට්ටඩි තැන කීය.  


“එහෙනම් ඔහෙට ඉල්ලන ඕනෑ දෙයක් දෙන්නම් අපටත් පෙන්වන්නකො” කට්ටඩි කීපදෙනෙක් කීහ.  


“දැන් කීයද වෙලාව. පළිඟු නෝනගෙ තාන්තුවාවත් ඉවරනොවැ. නිකම් මෙතෙන්ට වෙලා බුලත් කකා මිදුලෙ කෙළ ගගහ කාලෙ මරනවට වැඩිය මේ රටේ නමගිය කට්ටඩි මහත්වරු කීපදෙනෙකුට යක්කු පෙන්නන්න ලැබීම මගෙ වාසනාවක් කියල මට හිතෙනවා. මේ මාතරය කව්ද කියල පළාතට කියන්න මේක හොඳ අවස්ථාවක්.”  


දැන් මේ කට්ටඩි මහත්වරු හතර පස්දෙනා එකතු වෙලා දිග පිත්ත තියෙන පොල්අතු දහයක් දොළහක් එකතු කරල ලොකු මිටියක් බඳින්න. හැබැයි පත්තු කරල උඩට අල්ලපු විට ලෙහෙන්නෙ නැති විදිහට බඳින්න ඕනෑ. මේක අරන් අර තුන්මං හන්දියට යන්න ඕනෑ.  


අනික් කාරණේ තමයි තෙල් තාච්චිකුයි බිත්තරේකුත් ඕනෑ. ලිපක් හදන්න ගල් ගෙඩි තුනක් දර පොල් කොළ ටිකක් ගිනි පෙට්ටියක් ඕනෑ.  


මේ ටික අරන් යක්කු බලන්න ආශා අය තුන්මංසලට යන්න හැබැයි එකක් කියන්න ඕනෑ. යක්කු බලන්න බය අය එන්න එපා. යක්කු දැකල බය වුණාට බය අරින්න එතන නතර වන කට්ටඩි වෙදෙක් නෑ. ඉන්නෙ ඔය කට්ටඩි ටික විතරයි යැයි කිය යුතු සියලු කරුණු විස්තර ඇතුව කී මාතර කට්ටඩි තැන ඔවුන් ලවාම මහා හුළුඅත්ත තුන්මංසලට ගෙන යන්නට සැලැස්විය.  


කලින් යක්කු බලන්න වාරන් කතා කී දෙතුන්දෙනෙක් මගහැර ගිය අතර අනෙක් පිරිස ගියහ.  


තුන්මංසලට ගිය මාතර කට්ටඩි තැන තෙල් තාච්චිය ළිප තබා ළිපට ගින්දර අවුළුවා මහ හයියෙන් මන්තර කියා බිත්තරය ජීවන් කරන්න විය. හා දැන් ඔය හුළ පත්තු කරළා අවටම එළිය වැටෙන්න ඉහළට උස්සල අල්ලගෙන ඉන්න අතඅරින්න එපා.   


වැටෙන ගින්දර අළුවලට පුච්ච ගන්නත් එපා. ඇඳගෙන ඉන්න සරම පහළ දාල හුළු අත්ත පැත්තකට බර නොවී අල්ල ගන්න.  


ඕංරීං හරි නමෝ කියමින් අතේ තිබුණ ජීවන් කළ බිත්තර පැහෙන තෙල් තාච්චියට දැම්මේ අතින් පොඩි කරමිනි.  


චෝෂ් යන හඬින් බිත්තර තාච්චියට වැටෙත්ම බඹ දෙකක් විතර තටු තියෙන මහා කළු වවුලෙක් ලේ පාට ඇස් බිමට හරවා දැල්වෙන මහා හුළුඅත්ත මුදුනට ළංව බස් බස් මහා හඬක් නංවමින් හුළු අත්තේ මහා ගිනි සිළුව නිවන්නට විය. එය දැක බියට පත් කට්ටඩි පිරිස ඇඳුම්වල මල මුත්‍රා පහ කරගෙන සිහිසුන්ව එක තැන වැටී සිටියහ. මාතර කට්ටඩි තැන ඔය අකරතැබ්බය දැක පළිඟු මැණිකාගේ ගෙදරට ගියේ කිසිවක් නොදුටු කෙනෙකු ලෙසය.  


එහෙත් ගම්මුන්ගේ කන්නලව් හා පළිඟු මැණිකාගේ හා සැමියාගේ ඉල්ලීම මත ඔවුන්ට පියවි සිහිය ලබාදී ඇත්තේ මාතර කට්ටඩි තැනය.  

 

 


සත්‍ය සිද්ධියක් ඇසුරිනි  
කලාභූෂණ
ධර්මසේන කරුණානායක