මෙත් බෝසත් ගුණ මතු කරගෙන ලොවට සෙත සැදූ විදේශිකයා


අගක් මුලක් නැති කතා   

 

 

මිනිස් සිත් සමග ගමන් කරන විහිද යන අති ප්‍රබල ශක්ති විශේෂයක් බව අද නවීන විදු ඇසින් තහවුරු කර තිබේ. චිත්ත බලයේ ක්‍රියාකාරීත්වය සොයා ගැනීම පරමාණු බල ශක්තිය සොයා ගැනීම මෙන් සුවිශාල ජයග්‍රහණයක් යැයි පිළිගැනේ. විදු ඇසින් මේ ශක්ති විශේෂය දකින්නට බොහෝ කලකට පෙර බුදු ඇසින් ඒ බව දැක ලෝකය හමුවේ තබා ඇති වග බොදුනුවෝ දනිති.   


සියලු පව් දුරුකිරීම, කුසල් රැස් කිරීම සහ සිත පිරිසිදු කිරීම බුදු දහමේ හරය බව දැන සිටියත්, ඒ බව සඳහන් පාඨය ජප කරනවා විනා බොහෝ දෙනා ඒ මග යන බවක් නොපෙනේ. ඒ මිනිස් සිත් සතන්හි ඇති කෙලෙස් අඳුර හේතුවෙනි. ගුණ නුවණ දියුණු කර නො​ෙගන ඔවුහු මොහඳුරෙන් වෙළී පවෙහි ඇලෙති.   


එහෙත් දහම හරි හැටි දැන සමාධිය දියුණු කරගනිමින් ආත්ම ශුද්ධිය වඩවාගෙන නිදා සිටින බෝසත් ගුණ ඉස්මතු කර ගන්නා අයද මිනිස් සමාජයේ සිටිති. විශේෂයෙන් මෙත් සිතේ බලය අත් දකිමින් ඒ යහපත් සිතිවිලි ධාරාවන් විශ්ව බලවේගයක් මෙන් සිරුරෙන් පිටතට විහිදුවා අනුනගේ දුක නිවීමට යොදා ගන්නා උතුමන් ගැන වරින්වර අසන්නට ලැබේ. එය දේව බලයක් නොව විශ්ව බලවේගයකි. ධර්මානුකූල වූ ලෝක ස්වභාවයකි. සොබාදහමේ මහඟු දායාදයකි.   


ලෝක සත්‍යය හෙවත් සත්‍ය ධර්මය සොයා ගිය ඕල්කට් තුමා ඇතුළු පරම විඥානාර්ථවාදීන් අවසානයේ බුදු දහමේ ආලෝකයෙන් ප්‍රමුදිත විය. ඒ දහමේ ගැඹුරු තැන් හදාරමින් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ දහ අට වැනි සියවසේ බෝධිසත්වවරයා වූ ඕල්කට්තුමා සමාධිගතව සිටිමින් තම අාධ්‍යාත්මික ශක්තිය පුබුදුවා ගන්නට පුරුදු විය. මනුෂ්‍යයකුට කළ හැකි උසස්ම කර්මය භාවනාවෙහි නියැළීම හා කරුණා මෛත්‍රියෙන් කටයුතු කිරීම බව පසක් කරගත් එතුමා ඒ අාධ්‍යාත්මික ශක්තිය අනුනට සෙත සැලසීමට යොදා ගත්තේය. ඒ සම්බන්ධ රසවත් මෙන්ම අනුවේදනීය කතා කොතෙකුත් වේ. වැළලී යන ඒ අතීතයේ ​තොරතුරු සැබවින්ම විස්මිත වේ.   
ස්වකීය ශරීරයේ අාධ්‍යාත්මික ශක්තිය මුසු ජීවප්‍රවාහය හෙවත් කිරණ ශක්තිය රෝගියකුගේ ශරීරයට ඇතුළුවන්නට සැලැස්වීමෙන් සුවපත් කිරීමේ පුදුම බලයක් එතුමන්ට විය. එය මුලින්ම ක්‍රියාවෙහි යොදා අැත්තේ 1880 දී ලංකාවට පැමිණි මුල් කාලයේදී බව සඳහන් වී ඇත. ඉන්පසු ඉන්දියාව, ජපානය, බුරුමය ආදී රටවලදී ද ඒ අයුරින් ‘‘රෝගීන්’’ විශාල ප්‍රමාණයක් සුවපත් කර සෙත සැලසීමට ඔහු පියවර ගෙන ඇත්තේ මහත් දුක් ගැහැට මැදය.   


වරක් ඉන්දියාවේ බගල්පූර්හි දෑසම අන්ධ වූ නීතිඥයකු වන බාබු බද්රිනාත් බැනර්ජිගේ අසනීපයට ප්‍රතිකාර කළ අන්දම විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. කණවැල අල්ලාගෙන එහා මෙහා ගිය මේ නීතිවේදියා කල්කටාවේ සියලු දක්ෂ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගෙන සුන්වූ බලාපොරොත්තු ඇතිව සිටියදී ඕල්කට් තුමා හමුවටද පැමිණියේය.   


එතෙක් අන්ධයකුට ප්‍රතිකාර කොට නොතිබූ එතුමා තම උත්සාහය අත් නොහැර සිය හදව​තේ ඇති කරුණාව මෛත්‍රියද ආත්ම ගත පුණ්‍ය මහිමයද, විශ්ව බල​ෙය් ක්‍රියාකාරීත්වය ගැනද විශ්වාසය තබා අධිෂ්ඨානශීලීව වැඩය පටන් ගත්තේය.   


සුරත දිගු කොට ඇඟිලි තුඩු රෝගියාගේ ශරීරයේ නළල් තලයට ඉතාම සමීප කොට තම අත දිගේ විත් ඇඟිලි තුඩුවලින් නික්මෙන කිරණ ශක්තිය රෝගී ශරීරයට ඇතුළු වන්නට සැලැස්වීය. මෙසේ විනාඩි කිහිපයක් සිට ඇඟිලි සෙමෙන් ඈත්කරන විට ඒ අනුව රෝගියාගේ හිසද ඇඟිලි තුඩුවලට සමීපව නැමෙන්නට වූයේ කාන්දමකට ඉඳිකටුවක් ඇදෙන්නාක් මෙනි. ඉන්පසු අතේ අැඟිලි ක්‍රමයෙන් පහතට ගෙන යද්දී රෝගියාගේ හිසද ඒ අනුව පහතට යැවුණේය.   


අනතුරුව රෝගියාගේ හිස් මුදුනේ පසුපස සිට කලින් කී ආකාරයටම ඇඟිලි තුඩු පහතට මෙහෙයවීය. ඉන්පසු ප්‍රතිකාරයේ යෙදුණ එතුමා තම දකුණතේ ඇඟිලි රෝගී ඇස් ඉදිරියෙන් එල්ල කොට සම ශක්ති විශේෂය දෙනෙත්වලට ද බෙල්ලේ වම් පැත්තටද ලබා දුන්නේ පැය භාගයකට වඩා ගත කරමිනි.   


වෙනදා නොදැනෙන රතු එළියක්ද ඉන්පසු සුදු එළියක්ද දුටු බව ​ෙරා්ගියා පැවසීය. මෙසේ දින දහයක් පමණ දිනපතා එම ප්‍රතිකාරය කළ පසු ​ෙරා්ගියාට සම්පූර්ණ සුවය (පෙනීම) ලැබී තිබිණි. මේ සියලු සේවා මිනිස් ප්‍රජාව වෙනුවෙන් ඕල්කට් තුමා සිදුකළේ නොමිලේය. ඒ වෙනුවෙන් යමක් ප්‍රදානය කරන්නේ නම් එය නැති බැරි අයට ලබාදෙන ලෙස හෙතෙම ඉල්ලා සිටි බව 1953 දී මේ විස්තර ඇතුළත් කුඩා පොතක් ලියූ ලේඛක ඩී.ඩබ්ලිව්. සේනාධීර මහතා සඳහන් කර අැත.   


ගාල්ලේ ඊ.ආර්. ගුණරත්න වාසල මුදලිතුමා වෙත ඕල්කට් තුමා එවූ ලිපියක තවත් විස්මය දනවන තොරතුරක් ඇතුළත් වේ. අති පූජනීය වූ ඉන්දියා බුද්ධගයාවේ දේපළ තම පෞද්ගලික වස්තුවක් සේ පරිහරණය කරමින් අයිතිය කියන ලද හින්දු භක්තික මහන්තාට වැලදුණු දරුණු වාත රෝගයක් විනාඩි තුනකින් මෙසේ සුව කළ හැකි වූ බව එම කරුණයි.   


තම හිතමිතුරු අනගාරික ධර්මපාලතුමා සමග බුද්ධගයාව උදෙසා ගැටුණු තැනැත්තාටද කරුණා මෛත්‍ර්‍රියෙන් පිහිට වූ බෝසත් ගුණය ඉන් ප්‍රකට වේ. තමන් ඒ ප්‍රතිකාරය කළේ සිදුහත් බෝසතාණන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීණ කොට උතුම් බුද්ධත්වයට පත් වූ ශුද්ධ භූමියට යාර කිහිපයක් දුරින් සිට බව එම ලිපියේ සඳහන් කොට ඇත. ඒ අති පාරිශුද්ධ භූමියේදී මල්පූජා කොට දණින් වැටී තමන් පංචශීලය සමාදන් වූ බවද ඕල්කට් තුමා එවා ඇති එම ලිපියේ සඳහන් කර තිබේ.   


උතුම් බුදු බණ හොඳින් හදාරමින් දුකින් පෙ​ෙළන රෝගීන්ගේ පැතුම් සපල කරන්නට වෙහෙසුණ මේ ඇමරිකානු ජාතිකයා ඒ කාර්යයන් සිදු කළේ සිය රටේ දී​ නොව විදේශයන්හිදීය. දේශන පවත්වමින් සමාජ සේවාවේ නිරතවෙමින්, ගැටලු විසඳමින් සංවිධානවල නිලතල දරමින් ඒ අතර රෝගීනටද පිහිට වූ මෙතුමා ඒ නිසාම අවිවේකී ජීවිතයක් ගත කළේය. ශරීර ශක්තියද පිරිහෙන්නට විය.   


1883 දී ඔහු සිය දුර්වලත්වය හා අපහසුතා ගැන සලකා රෝගීන් තමන් වෙත ඒම වැළැක්වීමට ඉන්දියාවෙ සියලුම පුවත්පත් කතුවරුන්ගෙන් ඉල්ලා සිටියේ ඒ ගැන පත්‍ර මාර්ගයෙන් දැනුම් දීමටය. පත්‍රවල එකල පළවූ ​ඔහුගේ එවැනි එක් ලිපියක මෙසේ ද සඳහන් වී ඇත.   


‘‘මම බෙංගාලයේදීත් බිහාරයේ සහ ලංකාවේදීත් ජීව ප්‍රවාහයන් උපයෝගී කොටගෙන ලෙඩුන් සුවපත් කරන අන්දම ගැන අසා අසාධ්‍ය රෝගීන් මා වෙත එන්නට පෙළඹී ඇත. දිනපතා ඒ ගැන විමසා ලියුම් ද ලැබේ. මට කලින් දැනුම් නොදී මගේ අනුමැතියකින් තොරව කිසිම රෝගියෙක් මා වෙත නොපැමිණෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.   


ප්‍රාතිහාර්ය පෑ​ෙම් බලයක් මට නැත. මගේ ප්‍රතිකාර ක්‍රමයට කිසිඳු දිනක තෑගි බෝග ලබාගෙන නැති අතර මතුවටද එවැනි කිසිවක් ලබා ගැනීමට අදහසක් නැත. රෝගියකුගෙන් ප්‍රතිකාර පිණිස වෛද්‍යවරයකු කිසියම් ගාස්තුවක් ගැනීමේ වරදක් නැතත් ධනවත් රෝගියකුගෙන් වුවද වැඩි මුදලක් අය කිරීම බරපතළ වරදක් යැයි මම සලකමි. එය එම ශාස්ත්‍රයට කරන නින්දාවකි. විපතකට පත්වීමෙන් ව්‍යාධියකින් විනාශ වූ ශරීර අවයව ප්‍රකෘතිමත් කිරීමටද මට හැකියාවක් නැති බව සැලකිය යුතුය’’ යනුවෙනි.   


මෙතුමන් සතු රෝග සුවකිරීමේ ආධ්‍යාත්මික බලශක්තිය කොතරම්ද යත් ඇතැම් රෝගීන් වෙත සිය අත දිගුකොට මෙත් සිත පතුරුවන විට රෝගියාගේ සකල ශරීරයම (විදුලි සැරයක් වැදුණාක් මෙන්) මොහොතකට කම්පනය වූ බව ඔහු විසින්ම සඳහන් කොට තිබේ. සුවපත් වූ රෝගීන් මේ බෝසත් ගුණැති විදේශිකයාගේ දෙපා මුල වැඳ වැටී ප්‍රණාමය පුදකළ බව සඳහන් කොට තිබේ. 1907 දී අවසන් ගමන් ගිය ඕල්කට්තුමන්ගේ අවසාන කෘත්‍යය බෞද්ධ චාරිත්‍ර අනුව සිදු කරනු ලැබුව ද බ්‍රාහ්මණ, හින්දු, පාර්සි, ක්‍රිස්තියානි පූජකවරුන්ද ඒ අවස්ථාවේ ඔවුනගේ ප්‍රණාමය පුද කළේය.   


සියලු ආගම්වලට ගෞරව කරමින් සත්‍යයට මහත් සේ ගරු කළ මෙතුමාගේ අවසන් කටයුතු අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුන අතර අවසන් නියමය පරිදි භෂ්මාවශේෂ වලින් කොටසක් මහසයුරට දමනු ලැබීය. ඉතිරි කොටස කරඬුවට බහා බරණැසට ගෙන ගොස් බොහෝ ගරු බුහුමන් සහිතව ගංගානම් නදියට යොමු කරනු ලැබීය. 

 

 
දෙවිනුවර   
දම්සිරි කරුණානායක