මුහුදු පත්ලෙන් හමු වූ දැවැන්ත පිරමීඩය ගිලී ගිය මහාද්වීපයක කොටසක්ද ?


ලෝකයේ අබ්රහස්  

 

මිහිමතින් සැඟව ගිය බොහෝ වස්තූන් මුහුදු පත්ලේ සැඟව තිබේ. ගූගල් අර්ත් තාක්ෂණයට පින් සිදුවන්නට මුහුදු පත්ලේ සැඟව ගිය වසර 10,000 පැරණි ශිෂ්ටාචාර පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීමට අවකාශ සැලසී ඇත. මෑතකදී ගූගල් අර්ත් ඇසුරින් පැසිෆික් සාගරයේ මුහුදු පත්ලෙන් අනාවරණය කර ගැනුණු අපූරු වස්තුව අතීතයේ මුහුදුබත් වූ බවට සැලකෙන ඇට්ලන්ටිස් නගරයද? 


පිරමීඩයක් බඳු මෙම වස්තුව සොයා ගැනුණේ බටහිර මෙක්සිකෝව ආසන්න පැසිෆික් සාගරයේ මුහුදු පත්ලෙනි. එම ප්‍රදේශය මායා සහ ඇස්ටෙක් ශිෂ්ටාචාරය පැවැති කලාපය ආසන්නයේ පිහිටා තිබේ. එම පිරමීඩාකාර වස්තුවේ පාදම වර්ග මීටර 8000ක් පමණ වන අතර උසින් මීටර 60ක් පමණ වේ. එය මෙතෙක් හමු වූ විශාලතම පිරමීඩය යැයි, පිටසක්වළ ජීවීන් පිළිබඳ න්‍යායවාදියකු වන ස්කොට් සී. වෝරින්ග් පවසයි. ස්කෝට් සී. වෝරින්ග්ට අනුව මෙය සාගරයේ නවතා තැබූ හඳුනා නොගත් පියාසර වස්තුවක් හෝ පිටසක්වළ ජීවීන්ගේ කඳවුරක් හෝ විය හැකිය. මිනිසකුට මෙවැනි ඉදිකිරීමක් කිසිලෙසක කළ නොහැකි බවත්, එවැන්නක් කළ හැකි වනුයේ පිටසක්වළ ජීවීන්ට පමණක් බවත් පවසන ඔහු කෙසේ වුවද මෙය තවමත් හඳුනාගෙන ඇත්තේ ස්මාරකයක් ලෙසින් පමණක් වන හෙයින් වැඩිදුර ගවේෂණ කටයුතු සිදු කිරීමෙන් බොහෝ තොරතුරු අනාවරණ කරගත හැකි වනු ඇතැයි පවසයි. 


එහෙත් බොහෝ විශේෂඥයන්ගේ මතය ඔහුගේ මතයට පටහැණිය. මෙම පිරමීඩය පිළිබඳ වීඩියෝ පටය මේ වනවිට යූටියුබ් මගින් එළිදක්වා ඇති අතර එය නැරඹූ ප්‍රේක්ෂකයන් රැසකගේ අනුමානය වී ඇත්තේ එය පෞරාණික නගරයක් වූ ඇට්ලන්ටිස් විය හැකි බවටය. ඇට්ලන්ටිස් යනු පුරාණ ග්‍රීක පුරාණෝක්තියකි. එය ඇට්ලස්ගේ රාජ්‍යයයි. ඇට්ලන්ටිස් යන්න ප්‍රථමයෙන්ම හඳුන්වා දෙන ලද්දේ ද‌ාර්ශනිකයකු වූ ප්ලේටෝ විසිනි. ඇට්ලන්ටිස්වරුන් සතුව ඉතා සුපිරි තාක්ෂණයක් පැවැති අතර ඔවුන් කාලගුණය, ගිනිකඳු ආදිය පවා පාලනය කළ බැව් පැවසේ. මේ සඳහා ඔවුන් උපයෝගී කරගෙන ඇත්තේ පළිඟුය. ඒවා සතු වර්තන ශක්තිය යොදා ගනිමින් බොහෝ දේ පාලනය කිරීමටත් ඇතැම් ප්‍රදේශ විනාශ කිරීමටත් ඔවුන් ක්‍රියාකර තිබේ. අවසානයේ එයම ඔවුනට පාරාවළල්ලක් බවට පත් වී යමහල්වල ක්‍රියාකාරීත්වය ඉහළ යෑමෙන් ඇති වූ භූකම්පන හා සුනාමි තත්ත්වයකින් ඇට්ලන්ටිස් රාජ්‍යය මුහුදේ ගිලී ගිය බැව් පැවසේ. 


මෙම පිරමීඩය හමුවූයේ පැසිෆික් සාගරයේ සාඕ මිගුවෙල් හා අසොරෙස්හි පිහිටි ටෙර්සෙයිරා දූපත් ආසන්නයෙනි. එය ඇට්ලන්ටිස් නගරය පිහිටි ස්ථානය පිළිබඳව ප්ලේටෝ සඳහන් කරන ලද තොරතුරුවලට සමානකමක් දක්වයි. අසොරෙස් යනු පෘතුගාලයේ අගනුවර වන ලිස්බන් සිට කිලෝමීටර 1000කට පමණ ඈතින් පිහිටි යමහල් සහිත දූපත් නවයකින් යුතු කලාපයකි. එය උතුරු ඇමෙරිකා, යුරේෂියා සහ අප්‍රිකානු භූ තැටි අතර පිහිටා තිබේ. 


ප්ලේටෝගේ සඳහන අනුව ඇට්ලන්ටිස් මුහුදේ ගිලී ගියේ එක් රැයෙකිනි. “ඇට්ලන්ටිස් පිහිටා තිබුණේ අත්ලාන්තික් සාගරයේ හර්කියුලිස්ගේ ස්ථම්භය ඉදිරියෙනි. ඉතා දරුණු භූකම්පාවකින් හා ප්‍රචණ්ඩ ජලගැල්මකින් එක් අවාසනාවන්ත දිනයක ඇට්ලන්ටිස් රාජ්‍යය මුහුදු පත්ලේ සැඟව ගියේය.” යනුවෙන් ප්ලේටෝ සඳහන් කර තිබේ. 


මෙම පිරමීඩාකාර වස්තුවේ කේන්ද්‍රීය ලක්ෂය අනුව එය අවම වශයෙන් වසර 20,000ක් පමණ පැරැණි හෝ පෘථිවියේ ග්ලැසියර දිය වී යෑම ආරම්භ වූ අවසාන හිම යුගයේ නිර්මාණය වූවක් හෝ බවට නිගමනය කළ හැකියැයි පර්යේෂකයෝ සඳහන් කරති. 


2012 වසරේ බහමාස් ආසන්නයේ පිහිටි බිමිණි වෙරළාසන්න සමුද්‍ර පත්ලෙන් ඊජිප්තුවේ මහා පිරමීඩය මෙන් තුන්ගුණයක් පමණ විශාල පළිඟු වැනි පිරමීඩාකාර වස්තුවක් සොයා ගැනිණි. සාගර විද්‍යාඥයකු වන ආචාර්ය වර්ලාග් මේයර් විසින් සෝනාර් තාක්ෂණය ඇසුරින් සොයා ගන්නා ලද මෙම වස්තුවේ පාදම දිගින් මීටර 300ක දිගින් යුතු වූ අතර උස මීටර 200ක් විය. පිරමීඩය මුදුනේ විශාල සිදුරු දෙකක් තිබූ අතර එතුළින් ඉතා වේගයෙන් ජලය ගලා ගියේ යෝධ සුළි නිර්මාණය කරමිනි. එය සාගරය මතුපිට වේගවත් රළ ඇති කිරීමට හා මීදුම් සහිත පරිසරයක් නිර්මාණය කිරීමට බලපෑවේය. 19 වැනි සියවසේ මෙම ප්‍රදේශයේ ඇති වූ අසාමාන්‍ය විද්‍යුත් චුම්භක විෂමතා සඳහා මෙම සුළිවල බලපෑමක් තිබෙන්නට ඇතැයි විද්‍යාඥයෝ සැක මතු කරති. 

 


මෙම පළිඟු පිරමීඩය පිළිබඳව ප්‍රථමයෙන් අනාවරණ වූයේ 1970දී රේ බ්‍රවුන් නමැති ඇරිසෝනා ස්වභාවික විද්‍යාඥයකු විසින් කරන ලද හෙළිදරව්වකිනි. තමා බහමාස් දූපත ආසන්නයේ කිමිදුණු අවස්ථාවක පළිඟු මෙන් සුමට පිරමීඩාකාර වස්තුවක් දුටු බැව් ඔහු සඳහන් කර තිබිණි. ඒ වටා කිමිදී ගිය ඔහුට එයට පිවිසීමේ දොරටුව හමු විය. ඒ තුළට පිවිසි ඔහුට එහි ඇතුළත බිත්ති ඉතා සුමට ලෙස මැද තිබෙනු හා ඇල්ගීවලින් තොර ඒ මත කොරල් වැඩී තිබෙනු දැකගත හැකිවිය. එතුළ ඍජුකෝණාශ්‍රාකාර කුඩා කුටියක් තිබූ අතර එහි සිවිලිම පිරමීඩාකාර හැඩයකින් යුක්ත විය. එම සිවිලිමේ සිට ලෝහමය දණ්ඩකින් එල්ලී තිබූ රතු පැහැති මැණිකක් දුටු ඔහු එය ගලවාගැනීමට උත්සාහ කළද එය කළ නොහැකි විය. 


 එම කුටියේ දෑත දිගුකරගත් ලෝකඩ ප්‍රතිමාවක් ද හමු වූ අතර එහි දෑත මත අඟල් 4 පමණ විෂ්කම්භයකින් යුතු පළිඟු ගෝලයක් විය. බ්‍රවුන් එම පළිඟු ගෝලය ගොඩබිමට ගෙන ඒමට සමත් විය. එම පළිඟු ගෝලය තුළ එකිනෙකට ඉදිරියෙන් පිහිටි පිරමීඩ තුනක රූප දැකිය හැකිය. සය වැනි ඉන්ද්‍රීය මනාව පුහුණු කළ අයෙකුට සිව් වැනි පිරමීඩයක් ද දැකිය හැකි යැයි පැවසේ. එම පිරමීඩ විවිධ කෝණවලින් බැලීමේදී එතුළ ඇති දහසකට අධික ඉතා සියුම් රේඛා හඳුනාගත හැකිය. එම සියුම් රේඛා ඉලෙක්ට්‍රොනික පරිපථවලට සමාන වූවක් ලෙස බ්‍රවුන් හඳුන්වයි. ඇතැම් ලෝහවර්ග මෙම පළිඟු ගෝලය ආසන්නයට ගෙන ආ විට ඒවා තාවකාලික චුම්භක බවට පත් වෙයි. කොම්පාසුවක් ළං කළ විට එය ඔරලෝසු කටුවේ ගමන්මඟට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරයි. මෙම සොයාගැනීම් 1968න් පසු ඇට්ලන්ටිස් හමුවන බවට එඩ්ගා කේසි පළ කළ අනාවැකිය සත්‍යයක් බවට පත්වීමක්ද? 


තායිවානයේ නැගෙනහිර වෙරළට සැතපුම් 75ක් පමණ දුරින් පිහිටි ජපානයේ රියුකියු දූපත් සමූහය අසල සාගර පතුළින් ද තවත් අපූරු පිරමීඩයක් සොයා ගැනීමට සමුද්‍ර විද්‍යාඥයන් පිරිසක් සමත් වූහ. අඩි 240 පමණ දිගින් හා අඩි 90 පමණ පළලින් යුතු එම පිරමීඩය පිළිබඳ තොරතුරු අනාවරණ වූයේ 1986දී කිමිදුම්කරුවකු හෙළිකළ තොරතුරු අනුවය. මෙම තොරතුරු පර්යේෂකයකු වූ මහාචාර්ය මසාකි කිමුරාගේ අවධානයට යොමු වූ අතර ඔහු එම ප්‍රදේශයේ සිතියමක් නිර්මාණය කළේය. මහාචාර්යවරයාට අනුව එම ප්‍රදේශයේ වසර 5000කට වඩා පැරණි නගරයක නටබුන් පවතී. ඒ අතර විශාල ඉදිකිරීම් 10ක් පමණ පවතින බවද ඔහු පවසයි. ඔහුගේ ගවේෂණය අනුව එම ප්‍රදේශයෙන් ඊජිප්තුවේ ස්පින්ක්ස් රුවට සමාන ඉදිකිරීමක්, දෙවොල පහක් සහ මංමාවත් හා ඇළමාර්ගවලට සම්බන්ධ විශාල ක්‍රීඩාංගණයක් ද සොයාගැනීමට හැකි විය.

 
මේවා ඉදිකරන ලද්දේ කවරකු විසින් වුවද ඔවුන් උසස් බුද්ධියකින් හෙබි පුද්ගලයන් පිරිසක් බවත් ඔවුන් ඇතැම් විට යෝධයන් බඳු මිනිසුන් පිරිසක් විය හැකි බවත් මහාචාර්යවරයාගේ මතය වී තිබේ. 


සාගර පතුලේ ගිලී ගිය ඉතාම දියුණු ශිෂ්ටාචාර පවතින බවට මෙම සොයාගැනීම් සාක්ෂි සපයයි. දියුණු තාක්ෂණය ඇසුරින් අනාගතයේ මුහුදු පත්ලේ සැඟවුණු තවත් බොහෝ ඓතිහාසික ස්ථාන රැසක් පිළිබඳව අනාවරණ කරගැනීමට හැකි වනු ඇත. 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා 
අන්තර්ජාලයෙනි.