මුහුණේ කෝටු ගසා ලස්සන වුණු යනෝමාමි ගෝත්‍රිකයෝ


1799 වසරේ එක්තරා කාලයක ස්පාඤ්ඤ ජාතික ඩයස් නමැත්තෙක් තම පිරිසක්ද සමඟ ඇමේසන් වනාන්තරයේ ගවේෂණයක යෙදුණි. වෙනිසියුලාව සහ බ්‍රසීලය එකිනෙකින් වෙන්කළ පැඩාමෝ ගංගාව දිගේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටි ඔහු එක්වරම පැමිණියේ කිසියම් මිනිස් ගෝත්‍රයක් අතරටය.


ගවේෂණ යාත්‍රාව මේ ගෝත්‍රික ගම්මානය මැදින් ගමන් කරනු දුටු නිරුවත් ගෝත්‍රකයෝ පිරිසක් යාත්‍රාව දෙසට දුනු ඊ තල අමෝරාගෙන මහ හඬින් ඝෝෂා කළහ.


වහාම යාත්‍රාව නවත්වන්නැයි අණ කළ ඩයස්, ගෝත්‍රිකයන් වෙත සිනා පා තම මිත්‍රත්වය පළකර සිටියේය. එහෙත් පිටස්තරයන් ගැන අල්පමාත්‍ර වූ හෝ විශ්වාසයක් පළ නොකළ මේ ගෝත්‍රික ජනතාව තම අත්වල තිබූ දුනු ඊතල බිම දැමුවේ නැත.


ඔවුහු තවදුරටත් ඝෝෂා කරමින් කලබලකාරී ලෙස හැසිරුනහ. ඩයස් සිනාසෙමින් සංසුන් ලෙස බලා සිටියේය. අනතුරුව මේ යාත්‍රාවේ තිබූ කිසියම් භාණ්ඩ පොදියක් ගෙන මේ ගෝත්‍රික ජනතාව වෙත පෑවේ ඔවුන්ගේ මිත්‍රත්වය තවදුරටත් අපේක්ෂා කරමිනි.
තවත් මිනිත්තු ගණනාවක් ගෙවී ගියේ දෙපිරිසේ සිත්වල හටගත් සැකය ඉවත් නොකරමිනි. එහෙත් අවසානයේදී ස්පාඤ්ඤ ගවේෂකයෝ මේ වනචාරී ගෝත්‍රිකයන් සමඟ මිත්‍රත්වයෙන් බැඳුණහ.


ඉන්පසුව ඔවුහු යාත්‍රාව ගං ඉවුරෙහි නතර කර මේ ගෝත්‍රික ජනතාවගේ ගම්මානයට පිවිසුනහ.


ඒ සමඟම බටහිර ලෝකය පළමුවරට දැන කියාගත් මේ ගෝත්‍රය යනෝමාමි ලෙස නම් කෙරිණි.


යනෝමාමි ගෝත්‍රික ගම්මාන සෑදී ඇත්තේ අපූරු ආකාරයටය. මොවුන්ගේ පැල්පත් තැන තැන හුදෙකලා ලෙස ඉදිකර නොමැත. ඒ වෙනුවට එකම නිවාස සංකීර්ණයක් ලෙස ඉදිකර තිබේ. මැද අවකාශයක් සහිතව ඉලිප්සාකාර හැඩයකට ඉදිකෙරුණු ගෙවල් සියයක් පමණ මේ නිවාස සංකීර්ණයට අයත්ය. සබෝමෝ නමින් හැඳින්වෙන මේ පැල්පත් යාය, එකිනෙකින් වෙන්කර ඇත්තේ සිහින් මැටි බිත්තියකින් පමණකි.


මේ සබෝමෝවක මුළු ගම්මානයේ සියලුම ගෙවල් පිහිටා තිබීම එක අතකට ආරක්ෂාකාරීය. එසේම තවත් අතකින් බලනවිට අනර්ථකාරීය. එසේ වන්නේ යනෝමාමි ගෝත්‍රිකයෝ, ඔවුන්ගේ අසල්වැසි ගෝත්‍ර සමඟ හිත් නොහොඳින් පසුවීමය. මේ පසමිතුරුකම හේතුවෙන් ගෝත්‍ර අතර ආරවුල් හටගැනීම ද නිතරම පාහේ සිදුවේ.


එවැනි විටෙක මුළු සබෝමෝවම ගිනි ගැනීමට ද ඉඩ තිබේ.


මැටියෙන් සහ ශාක ලී සහ පත්‍රවලින් තනනු ලබන සබෝමෝවක උපරිම ............................? අවුරුදු තුනකි. වර්ෂා වනාන්තරයට නිරතුරුවම පතිතවන අධික වර්ෂාව, හමන අධික සුළඟ විසින් සබෝමෝවට නිරන්තර හානි එල්ලවන නිසාය. මේ නිසා වසර තුනකට වරක්වත් අලුතින් සබෝමෝවක් ඉදිකිරීම යනෝමාමිවරුන්ගේ පුරුද්දකි.


ඇමේසන් වන මැද වෙසෙන ගෝත්‍ර අතරින් වැඩියෙන්ම ආක්‍රමණශීලී ගෝත්‍රය වන්නේ යනෝමාමිය. ඒ නිසාම ඔවුහු නිතරම පාහේ යාබද වෙසෙන ගෝත්‍රිකයන්ගේ ගම්මාන ආක්‍රමණය කරති.


එම ගෝත්‍රයක පිරිමි ළමයින් සහ පිරිමින් අමු අමුවේ මරා දැමීම, ස්ත්‍රීන් දූෂණය කිරීම සහ රූමත් යුවතියන් තම ගෝත්‍රය කරා රැගෙන ඒම මෙම ආක්‍රමණවල දී සිදුකෙරේ.


ඒ නැතත් යනෝමාලි පිරිමි අතිශයින් කලහකාරීය. තම ගෝත්‍රිකයන් සමගම ගැටුම් ඇති කර ගැනීම ද මොවුන්ගේ කැත පුරුද්දකි. බොහෝවිට මෙම කලහවලට පදනම වන්නේ ලිංගික ඊර්ෂ්‍යාවයි. කෙසේ හෝ මේ ගෝත්‍රයේ පිරිමින්ගේ මරණවලට හේතුව වන්නේ අපරාධය. හැම යනෝමාමි පිරිමියෙකුටම පාහේ කිසියම් ගැටුමකදී අනෙකෙකු අතින් මියයන්නට සිදුවන නිසාය.


යනෝමාලිවරු තම ගෝත්‍රික අනන්‍යතාව ලෙස මුහුණෙහි කෝටු තුනක් පැලඳ ගැනීම කරති. මෙම කොටු තුන යටි තොල අසලින් සවිකෙරෙන අතර, ඒවා සවි කෙරෙන්නේ කට දෙපැත්තෙන් දෙකක්ද කට මැදින් නිකට කෙළින් එකක්ද ආදී වශයෙනි. යනෝමාමිලා සිතන්නේ මේ කෝටු කෑලි ඔවුන්ගේ මුහුණුවලට ලස්සන එකතු කරන බවය.


මොවුන්ගේ අනෙක් ජනප්‍රිය මෝස්තරය මුහුණ මත සිත්තම් කිරීමය. ඇහි බැමි යාකරමින් මුහුණු පුරා යන දිගු කළු පැහැති ඉරක්ද නහය දෙපසින් යන තවත් කළු ඉරක්ද ඒ මත කළුපාට තිත් ද තබමින් මේ මෝස්තරය නිර්මාණය කෙරේ. මෙය යනෝමාමිලාගේ සම්ප්‍රදායික මුහුණ පින්තාරු කිරීමේ මෝස්තරයයි.


ඊළඟට සෙවිය යුත්තේ මොවුන්ගේ දින චර්යාව පිළිබඳවය. උදේ පාන්දරින් අවදිවන මොවුන්ගේ පළමුවැනි කටයුත්ත හරකුන්ගෙන් කිරි දොවා ගැනීමයි. එළකිරි පානයෙන් අනතුරුව කාන්තාවන් කරන්නේ තම තමන්ගේ ගොවිපොළවල් කරා යෑමය. මෙහිදී සියලුම කාන්තාවෝ කඩිසර ලෙස තම වගාබිම්වල සියලු කටයුතු ඉටුකරති.


ගස්ලබු, අඹ, කෙසෙල්, යනෝමාමිලාගේ ගොවිපොලවල්වලදී නිතර දැකිය හැකි පලතුරුය. ඔවුන් බහුලව වගාකරන එළවළු ද රාශියකි. මේවායේ ඵල නෙළා ගැනීමක් ඉඳුණු පල වැල බෙදාහදා ගැනීම මොවුන්ගේ පුරුද්දකි. කාන්තාවන් කරන තවත් කටයුත්තක් වන්නේ ගෙම්බන්, ගැඩවිලුන් ආදිය එකතු කිරීමයි. එසේම මැරුණු ගස්වල කඳන්වල වාසය කරන සුදු පාට විශාල කඳ පණුවන්ද ඔවුහු එකතු කරති. මේ සතුන් තමන්ම වියාගන්නා එක්තරා මලු විශේෂයකට අඩුක්කරගෙන ඔවුන් තම සොබෝනාවට යන්නේ රසවත් ආහාරයක් පිළියෙළ කරගනු  පිණිසය. ගෙඹි මාංශ මෙන්ම ගැඩවිල් මාංශත් යනෝමාමිලාගේ ප්‍රණීත ආහාරයකි.
සතුන් දඩයම මොවුන් නිතරම කරන කටයුත්තක් නොවේ. එහෙත් ලොකු සතුන් දඩයම් කරගත් විට තම පවුලේ ඥාතීන්ට මෙන්ම හිතවතුන්ටද මාංශ කොටස් බෙදාදීම සිදුකෙරේ. සතකු මරාගත් දවසට එම පවුල්වලට රජ මඟුල් ය. එවැනි දිනවල රාත්‍රියට යනෝමාමිලා කරන්නේ සාජ්ජයක් සංවිධානය කිරීමය. මෙයට පලතුරුවලින් පෙරාගන්නා මත්පැන්ද එකතු කෙරේ. ඒ මත්පැන් පිරිමින් මෙන්ම ගැහැනුන්ද පානය කරන අතර ඔවුන් රාත්‍රිය පහන් වනතුරුම හරි හරියට නටති, ගයති.


ගැහැනු ළමයකු වැඩිවිය පත්වීම මොවුන් සලකන්නේද අපිරිසිදුකමක් හැටියටය. එනිසාම වැඩිවිය පත් ගැහැනු ළමයා හුදෙකලා කුටියකට කොටුකරන තැබීම සිරිතකි. දින කිහිපයකට පසුව ඇය නාවා ගෙට ගන්නා අතර, ඊළඟට ඇගේ විවාහය සිදුකිරීමටද ඉක්මන් වෙති. බොහෝවිට යනෝමාමි ගෝත්‍රයේ විවාහ සිදුකරන්නේ නෑනා මස්සිනා අතර ය.


මොවුන්ගේ විවාහ චාරිත්‍ර ද අපූරු ය. වැඩිවිය පත්වූ හැටියේම දැරිය පවුලට ලේ ඥාතිත්වයක් ඇති මස්සිනා සමඟ විවාහ විය යුතු වීම එක් අතකින් පුදුම සහගතය. අනෙක් අතට මේ මස්සිනාට පෙර බිරින්දෑවරුන් සිටීමද යනෝමාමිලාට ප්‍රශ්නයක් නැත. හේතුව එම සමාජයේ බහුභාර්යා සේවනය වරදක් නොවීමය. මේ අනුව ඇතැම් පිරිමියෙකුට බිරින්දෑවරුන් හතර පස් දෙනෙක් සිටිති.


ඒ නිසාමදෝ මේ පවුල්වල හිංසනය සහ සණ්ඩු සරුවල් වැඩිය. එක් අතකින් යම් පිරිමියෙකුගේ පළමුවැනි භාර්යාවගේ අණසකට අනෙකුත් බිරින්දන්ට යටත්වීමට සිදුවේ. එසේම සැමියාගේ අනන්ත තාඩන පීඩනවලට ලක්වීමට ද මේ බිරින්දන්ට සිදුවේ.


මෙහි ප්‍රතිඵලය වන්නේ බොහෝවිට බිරින්දන් තම සැමියාගෙන් වෙන්ව ආපසු තම සහෝදරයා වෙත පැමිණිමය. මෙබඳු පවුල් අවුල් වියවුල් යනෝමාමි සමාජයේ බහුල ය.


යනෝමාමි කාන්තාවන්ගේ කූඩා විවීම ගැනද කතාකළ යුතුමය. කූඩා විවීමට යනෝමාමිලා තරම් උපන් හපන්කම් පෙන්වන වෙනත් ගෝත්‍රයක් ඇමේසන් වනාන්තරයේ නොමැති නිසාය.


එක්තරා ශාක පත්‍ර විශේෂයකින් වියාගන්නා මේ කූඩාවලට වර්ණ යොදා මෝස්තර යොදා හැඩ වැඩ කර ගැනීමට මේ කාන්තාවන් දක්ෂය. කොටින්ම තමන් වියූ කූඩය, අනුන්ගේ කූඩවලට වඩා ලස්සනට තබාගැනීම මොවුන්ගේ අහිංසක ආශාවකි. 


ඇමේසන් වනාන්තරයේ වෙසෙන සියලු ගෝත්‍ර සැලකූවිට ඔවුන’තරින් වඩාත්ම රූමත් යුවතියන් සිටින්නේ යනෝමාමි ගෝත්‍රය තුළ බව පැවසේ. ඔවුන්ගේ මුහුණුවල පෙනුම සෞම්‍ය ය. සිරුරුවල හැඩය ද එසේමය.


අද ලෝකයේ යනෝමාමි ගෝත්‍රිකයන් සිටින්නේ තිස්පන් දහසකට ආසන්න ගණනකි. මොවුහු වෙනිසියුලාවටත් බ්‍රසීලයටත් බෙදී සිටිති. නමුත් සත්‍ය කතාව නම් මොවුන් සියල්ලක්ම වාසය කරන්නේ එකම වනාන්තරයක එකම ගඟක දෙපැත්තේය. එහෙත් මේ ගඟ දෙරටක මායිම වීම නිසා යනෝමාමිලාව දෙරටකට බෙදා තිබේ.


එහෙත් ඔවුනට නම් මේ ලෝක බෙදීම්වල කිසිම වටිනාකමක් නැත. ගඟත් ගඟේ ඉවුරු දෙකත් ඔවුන්ගේය. වන පෙත ඔවුන්ගේය. ඒ විතරක් නොවේ, වනයේ වෙසෙන වනස්පතීන් උස් කඳු මුදුන් ඔවුන්ගේ දෙවිවරු ය. ඔවුන් වැඳුම් පිදුම් කරන්නේ මෙන්න මේ ගස්වලට සහ කඳු වලට ය.

ශාන්ත කුමාරවිතාන