මුහුණුපොතේ සාදයට කොල්ලො-කෙල්ලො අල්ලන ක්‍රම


ගවේෂණ

 

 

ඇතුල්වීමට ගාස්තුවක් අය කරනු ලැබේ. එය රුපියල් තුන්දහසේ සිට ඉහළට පවතී. එහි ද කොටස් දෙකක් තිබේ. ඒ සාමාන්‍ය ටිකට්පත් හා වීඅයිපී ටිකට්පත් ලෙසය. ෆේස්බුක් සාද බොහොමයක කෑමට කිසිවක් සපයන්නේ නැත. ඇතැම් සාදවල හොට් ඩෝග්, බර්ගර්ස්, කට්ලට් ආදී වශයෙන් වන කෙටි කෑම වර්ග වෙනම වෙළෙඳ කුටිවල තබා ඇත. මේ සෑම සාදයකම බියර්, රෙඩ් බුල්, බකාඩි, අරක්කු වැනි මත්පැන් වර්ග මෙන්ම මත්පැන් සමඟ භාවිතා කරන ඇතැම් සිසිල් බීම වර්ග ද ඇති තරම් තිබේ. එහෙත් සාදයට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයකුට මේ ආහාර හෝ මත්පැන් වර්ග හෝ සිසිල් බීම හෝ ඕනෑම දෙයක් මුදල් දී මිස නිකම් ලබාගත හැකි නොවේ.  

 

බොහෝ රටවල ව්‍යපාරිකයන් විසින් ෆේස්බුක් සාද සූදානම් කරන්නේ තම ව්‍යාපාරය පාරිභෝගික ජනතාව අතරට ගෙන යාමේ අවශ්‍යතාවෙනි. එවැනි බොහෝ සාදවල සැබෑවටම එකිනෙකා සජීවීව මුණ නොගැසෙන අතර ඔවුන් සාදයට එක්වන්නේ මුහුණුපොත තුළින්ම පමණි. එහිදී සියලු දෙනාට සම්බන්ධ විය හැකි විනෝද ක්‍රියා සහිත අංග කීපයක් මේ සාදවලට එක්කර ගනු ලැබේ. එසේම ෆේස්බුක් මිතුරු සමාජ ද පවතී. ඇතැම් විට යම් වෘත්තියක් පදනම් කරගනිමින් ඇතිවෙන මෙම මිතුරු සමාජ, තවත් විටෙක කිසියම් අධ්‍යාපන කවයක් වටා එකතු වේ. ඔවුහු ද සාද සංවිධානය කරති. ඇතැම් විට විනෝද චාරිකා, විනෝද ක්‍රීඩා සහිත දිනයන් සංවිධානය කරති. ඒ සාදවල ද මත්පැන් භාවිතා වනු ඇත. එහෙත් ඔවුන් මිතුරු කැලක් වන නිසා කිසිවිටෙක අනෙකාට බරපතළ හානියක් සිදුවන ආකාරයේ විෂ මත්ද්‍රව්‍ය තම සාදවලට එක්කර නොගනිති. 


  
එහෙත් අපි පසුගියවර කතාව ආරම්භ කළ ෆේස්බුක් සාදවලට එක්වෙන්නේ කිසිසේත්ම මිතුරු කැලක් නම් නොවේ. ඔවුන් එකිනෙකා හඳුනා ගනු ලබන්නේ සාදයේදීමය. එහෙත් ඒ මිතුරුකම් බොහෝවිට දිගට පවතින ඒවා ද නොවේ. (කිසිවෙක් මෙහිදී මිතුරන් නොවන බව මෙයින් අදහස් නොවේ.) මන්ද එතනට ඔවුන් එන්නේ හුදෙක් විනෝදය පිණිසමය. සාදයට සහභාගී වන අවස්ථාවේදී දන්නා අඳුනන හෝ නොහඳුනන, කවුරුත් ඉතා සුහදශීලීව සාදයට එක්වෙති. 


සාදයක් නම් එය සංවිධානය කරන්නෙක් සිටිය යුතු අතර ඔහුට හෝ ඇයට ඒ සඳහා වැදගත් හේතුවක් තිබිය යුතුය. එසේම සාදයකට සහභාගී වන්නෝ තමන් වෙනුවෙන් සාදය පවත්වන තැනැත්තාට හෝ තැනැත්තියට මුදලින් හෝ ද්‍රව්‍යවලින් තෑගි පිරිනමති. ඒ සාදයට පදනම් වූ කාරණාව වෙනුවෙනි. එහි කෑම බීම එයට සහභාගී වන පුද්ගලයන්ගේ ප්‍රමාණයට සපයනු ලැබේ. ඒ වෙනුවෙන් සාදය සංවිධානය කරන්නාගෙන් මිස එයට සම්බන්ධ වන පුද්ගලයන්ගෙන් සතයක්වත් වැය වන්නේ නැත. එහෙත් මේ ෆේස්බුක් සාද ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. 


එයට ඇතුළ්වීමට ගාස්තුවක් අය කරනු ලැබේ. ඒ රුපියල් තුන්දහසේ සිට ඉහළට පවතී. එහි ද කොටස් දෙකක් තිබේ. ඒ සාමාන්‍ය ටිකට්පත් හා වීඅයිපී ටිකට්පත් ලෙසය. ෆේස්බුක් සාද බොහොමයක කෑමට කිසිවක් සපයන්නේ නැත. ඇතැම් සාදවල හොට් ඩෝග්, බර්ගර්ස්, කට්ලට් ආදී වශයෙන් වන කෙටි කෑම වර්ග වෙනම වෙළෙඳ කුටිවල තබා ඇත. මේ සෑම සාදයකම බියර්, රෙඩ් බුල්, බකාඩි, අරක්කු වැනි මත්පැන් වර්ග මෙන්ම මත්පැන් සමඟ භාවිතා කරන ඇතැම් සිසිල් බීම වර්ග ද ඇති තරම් තිබේ. එහෙත් සාදයට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයකුට මේ ආහාර හෝ මත්පැන් වර්ග හෝ සිසිල් බීම හෝ ඕනෑම දෙයක් මුදල් දී මිස නිකම් ලබාගත හැකි නොවේ.  


එසේම ඒ සෑම දෙයක්ම සාමාන්‍ය වෙළෙඳපොළේ තිබෙන මිලට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගනු ලැබේ. කැමැති අයට අතේ මිටේ ඇති හැටියට ඒවා මිලදීගත හැකිය. මීට අමතරව සංවිධායකයන් විසින් යොදවනු ලබන පිරිසක් සාදයට සහභාගී වන අයට රහසිගතව තවත් ද්‍රව්‍යයක් සපයනු ලබයි. ඒ මත්පෙති, විෂ මත්ද්‍රව්‍යවලින් සකස් කරනු ලැබූ මුද්දර හැඩැති මත්ද්‍රව්‍ය ආදිය වේ. මේවාට ද විශාල ගාස්තුවක් අයකරනු ලබයි. 
සාදයක් අවසන් වනවිට සංවිධායකයන් උපයන මුදල්වලින් සාක්කු පමණක් නොව සිය වාහන පවා පිරවිය හැකිය. මන්ද එක සාදයකට අවම වශයෙන් 1500ක් වත් සහභාගී වන අතර ඇතුළ්වීමේ ගාස්තුවේ සිට විවිධ ආහාර බීම වර්ග හා මත්පැන්, මත්ද්‍රව්‍ය සඳහා එක් පුද්ගලයෙක් එක් සාදයක් අවසන් විට රුපියල් විසිදාහක්වත් අවම වශයෙන් වියදම් කරනු ලැබේ. ඒ සියලු මුදල් අවසානයේ එකතු වන්නේ සංවිධායකයන්ගේ සාක්කුවලටය. සැබැවින්ම මෙය සාදයකට වඩා ව්‍යාපාරිකයෙක් හෝ ව්‍යාපාරිකයන් කීපදෙනෙක් එකතු වී සංවිධානය කරන වෙළෙඳ ප්‍රදර්ශනයන් වැනිය. එහි වෙළෙඳාමට තිබෙන්නේ මත්ද්‍රව්‍යයන්ය. 

 

 


එසේ නම් මේ සාදවලට තරුණයන් ඇදී එන්නේ ඇයි? ඒ හුදෙක් විනෝදය සඳහාමය. තරුණයා අලුත් අත්දැකීම් ලැබීමට කැමතිය. හැමදාමත් දකින සංගීත සංදර්ශනවලට, කාගේ හෝ උපන් දින සාදයකට, මංගල උත්සවයකට සහභාගී වී ඒවායේ ඩීජේ සංගීතයට නටනවාට වඩා වෙනස් අත්දැකීමක් ලබන්න තිබෙනවා නම් ඒවාට ඔවුන් ආකර්ශනය වෙන්නේ ඉබේටමය. ෆේස්බුක් සාද සංවිධානය කරන ව්‍යාපාරිකයෝ එය හොඳින්ම වටහා ගෙන ඇත. ඒ නිසා සංවිධායකයෝ පළමුව කරන ලද ෆෙස්බුක් සාදයේ තරුණ තරුණියන් මත්වී රඟන රැඟුම්, සාදය පැවැත්වෙන හෝටලයේ සුන්දර දර්ශන, නිදහස් බව රාත්‍රී කාලයන්හිදී ඒ හෝටල්වල වටපිටාව, අලෝකය පවතින ආකාරය ආදී දර්ශන වීඩියෝගත කර ඒවා මුහුණුපොත ඔස්සේ ප්‍රචාරය කරති. තරුණ තරුණියන් ඇදී එන්නේ ඒ ප්‍රචාරයන් වෙත ආකර්ෂණය වෙමිනි. ඇතැම් විට ඔවුන්ට මෙහිදී අත්දකින්නට සිදුවෙන මත්පෙති සංග්‍රහය ගැන කිසිවක් නොදන්නවා වන්නට ද හැකිය. ඒ අත්දැකීම ඔවුන්ට ලැබෙන්න සාදයට සහභාගී වූ පසුවය. එය ද තරුණ තරුණියන් ආකර්ෂණය කරගන්නා කෙතෙක් ද යත් සාදයේදී තමන් ඉදිරියේ සීයක් මැරී වැටුණ ද එහි වරද මිය යන්නාට මිස සාදය සංවිධානය කරන්නා වෙත පැටවීමට මේ සාදවලට සම්බන්ධ වන කිසිදු තරුණයකු තරුණියක කැමැති වන්නේ නැත. වාද්දුවේදී පැවැති ෆේස්බුක් සාදයේදී සිව්දෙනකු මිය ගොස් තිබියදීත් ගල්කිස්සේ තවත් සාදයක් පසුගියදා පැවැත්වීමට හැකියාව ලැබුණේ ඒ නිසාය. 


වාද්දුව සාදයට සම්බන්ධ වූ සමහර කෙනකුගෙන් එම සාදයේදී සිව්දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් විමසූ විට ඔවුන් කළ පැහැදිලි කිරීම එයට කදිම උදාහරණයකි. 


“මල්ලී, මේ මැරුණ හතරදෙනා අතරේ ඔයා දන්න කවුරුහරි ඉන්නවා ද?” 


“ඔව්. මගේ යාළුවත් නැති වුණා. එයාව එක්ක ආවෙත් මමමයි.” 


“එයාට මොකද වුණේ? එයාට වෙන මොනවා හරි ලෙඩ තිබුණා ද?” 


“මට හිතාගන්න බැහැ මොකද වුණේ කියලා. එයාට කිසිම වෙනත් ලෙඩක් තිබුණෙත් නැහැ.” 


“ඔයාල මත්පෙති ගත්තාට පස්සෙ ද මෙහෙම වුණේ?” 


“අනේ අපිට නම් එහෙම මොනවත් ලැබුණේ නැහැ. එතන තිබුණේ කූල් ඩ්‍රින්ක්ස්, බකාඩි, බියර් වගේ දේවල් විතරයි. සිගරට් අපිට ගෙනියන්න ඉඩ දී තිබුණා.” 


“මත්පෙති මෙතන තිබුණ බවට සාක්ෂි ලැබිලා තියෙනවානේ. ඔයා කියන්නේ එහෙම දේවල් ඔයාලට දකින්නවත් ලැබුණේ නැහැ කියල ද?” 


“අනේ ඔව්. අපිව ඇතුළ් කළෙත් ........... සමාගමේ ආරක්ෂක නිලධාරී හැම තැනක්ම හොඳට පරීක්ෂා කරලා බලලා. ඒ වාගේ දෙයක් ඇතුළට ගෙනිච්චේ කොහොම ද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි නම් ඒවා දැක්කෙත් නැහැ, ගත්තෙත් නැහැ.” 


“එතකොට ඔයාගේ යාළුවා මැරුණේ බකාඩි බීලා කියල ද ඔයා කියන්නේ?” 


“අනේ මන්දා මිස්, අපිට හිතාගන්න බැහැ මේ දේවල් සිද්ධ වුණේ කොහොම ද කියලා. යාළුවාට මම කියලා අරන් ගියේ අපි අරක්කු අරන් යනවා. ඒවා වාහනේ තියෙන්නේ. ඒවා හැර එතනින් ලැබෙන කිසිම දෙයක් බොන්න එපා කියලා.” 


“එතනින් වැරැදි දෙයක් දෙන්නේ නැත්නම් ඇයි එහෙම උපදෙසක් දුන්නේ?” 


“නෑ. ඒවාට ගෙවන්න එපායෑ. අනික කවුරු හරි මත්ද්‍රව්‍යයක් ගෙනාවොත් හොරෙන් වගේ. ඒවාට මෙයා අහුවෙයි කියලා බයටයි කිව්වේ. අනික මෙතන බොන්න තිබුණා කියලා අපි බොන්නම ඕන නැහැනේ. අපි දැන ගන්න ඕන අපේ පරෙස්සම හදාගන්න. ඒකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ.” 


ඔන්න ඔය ආකාරයටයි සාද සාමාජිකයන් සාද සංවිධායකයන් ආරක්ෂා කරනු ලබන්නේ. 


ඔවුන් මේ තරම් උනන්දුවෙන් සාද සංවිධායකයන් ආරක්ෂා කරන්නේ ඇයි? මේ සාද සාමාජිකයන්ගේ සමාජ පසුබිම කෙබඳු ද? 


ෆේස්බුක් සාදවලට සහභාගී වන බහුතරයක් දෙනා තරුණ තරුණියන්ය. ඉඳහිට මැදිවියේ කාන්තාවෝ හා පිරිමි ද එකතු වෙති. මේ අයගෙන් බහුතරය ඉහළ මධ්‍යම පංතිය නියෝජනය කරන අතර පහළ මධ්‍යම පංතිය නියෝජනය කරන තරුණ පිරිස් ද මේ අතරට සිටිති. රස්සාවක් නොකර විනෝදයෙන් එහෙ මෙහේ රස්තියාදුවේ යමින් සිටින පිරිස් මෙන්ම රැකියාවක නිරත වන විශාල පිරිසක් ද සිටිති. මේ සාදවලට මුලින්ම නැඹුරු වූයේ මධ්‍යම පාංතික පවුල්වල දරුවන්ය. ඇතැම් විට මව හා දියණිය දෙදෙනාම එකම සාදයේ සිටිති. ඒ ඔවුන්ගේ සමාජයේ පවතින හුදෙකලාව මගහැර ගන්නටය. 


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රකාශිකාවක අප සමඟ දැක්වූ අදහස්වලට ද අනුව මධ්‍යම පාංතික පවුල් බොහොමයක දරුවන් හා දෙමාපියන් අතර මනා සම්බන්ධතාවක් නැත. ඒ පවුල්වල දෙමාපියෝ දරුවන්ට ආදරය පෙන්වන්නේ ද මුදල්වලිනි. 

 
ඒ නිසා දරුවන් ඉල්ලන තරමින් මුදල් ලබාදෙති. දරුවෝ ඉල්ලා සිටින ඕනම ආකාරයේ ජංගම දුරකථනයක් ලබාදෙති. යතුරුපැදි ලබාදෙති. දියණියන්ට තමන්ගේ ගමන් බිමන් යාමට මෝටර් රථ ලබාදෙති. එහෙත් ඒ කිසිවකින් ඔවුන් සොයන ආදරේ ලැබෙන්නේ නැත. ඒ නිසා ඔවුන් තමන්ගේ දුක බෙදා ගැනීමට වෙනම මිතුරු සමාජයක් සොයා යති. ෆේස්බුක් ඔවුන් අතර ජනප්‍රිය වන්නේ ඒ නිසාය. නිදහසේ විනෝද විය හැකි තැන් සොයා යති. එසේම මධ්‍යම පාංතික පවුල්වල ඇතැම් බිරින්දෑවරුන්ට ද තිබෙන්නේ මේ හුදෙකලාවමය.


සැමියා ව්‍යාපාරික ලෝකය තුළම ජීවත් වෙද්දී බිරිඳ නිවෙසේ තනි වේ. ඔවුන් ද පෙර කී තරුණයන් සේම තමන්ගේ දුක සැප බෙදාගන්නට වෙනත් අය සොයති. එහිදී මුණගැසෙන අය ඔවුන්ට අලුත් ලෝකයක් පෙන්වන්නේ මත්ද්‍රව්‍යවලට ඔවුන් ඇබ්බැහි කරමිනි. ඒ නිසා එැවනි පිරිස් ද මෙවැනි සාදවලට එකතු වෙති. 


මේ සාදවලට ඇබ්බැහි වූවන් එයින් මුදවාගත නොහැකි ද? ඒ සඳහා අප කළ යුත්තේ කුමක් ද? අපි ලබන කලාපයෙන් ඒ ගැන කතා කරමු. 

 

 

 


මුදිතා දයානන්ද