මුස්ලිම් පාතාලය කොළඹ කුඩු රාජධානියේ රජ කළ හැටි


අගනුවර කුඩු කිරුළ

 

මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන යන තැන පාතාලයක් පැවැතීම අනිවාර්යයකි. මන්ද එවැනි බලයක් නැත්තකුට මත්ද්‍රව්‍ය පමණක් නොව කිසිදු ජාවාරමක් පවත්වාගෙන යා නොහැකි බැවිනි. මත්කුඩුත් පාතාලයත් ඇති තැන ප්‍රබල දේශපාලනඥයකුගේ හෝ කීපදෙනකුගේ සම්බන්ධතාවක් පැවැතීම ද අනිවාර්යයකි. එසේ නොවන්නට ඔවුන්ට නීතියේ රැහැනින් මිදී කටයුතු කළ නොහැකි වනු ඇත. මේ තුනම එකට ගැට ගැසුණ තැන පොලිසියේ නිහඬ සහාය ලැබීම නැත්නම් අත යට ගනුදෙනු ඇතිව දැක්කා නොදැක්කා සේ සිටින පොලිස් ලොක්කන්ගේ සම්බන්ධතාවන් පැවැතීම එසේත් නැත්නම් දේශපාලන බලය හමුවේ පොලිසියට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට සිදුවීම නිසා අනියම් සහාය ද අරුමයක් නොවේ. 


දෙමළ පාතාලය කොළඹ කුඩු ජාවාරම ජයටම කරගෙන යද්දී එයින් පරිබාහිරව කුඩු ජාවාරම පවත්වාගෙන ගිය කල්ලියක් ද විය. ඒ සොත්ති උපාලි හා ඔහුගේ කල්ලියත්, නොයෙල් අමරසිංහ සහ ඔහුගේ ඥාති පුතුන් ඇතුළු කල්ලියත්ය. ඔවුන් ගැන ද කතා නොකර යාම කුඩු කිරළේ සටන ගැන කතාබහ අසම්පූර්ණ වනු ඇත. 


සොත්ති උපාලි කියන්නේ තිඹිරිගස්යායේ බේකරි වත්තේ ඉපිද ජීවිතේ නොයෙක් හැලහැප්පීම්වල ප්‍රතිඵලයක් ලෙස අවසානයේ හැටේ වත්තේ ජීවත් වීමට සිදුවූ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරය වුණේ සෙවණට ගස් සිටුවීමය. ඒ ප්‍රේමදාස අගමැතිවරයාගේ කාලයේය. එකල ගම් උදා වැඩසටහනට සමගාමීව ප්‍රධාන මාර්ගවල දෙපස ගස් සිටුවා සෙවණ සෑදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නැගිණ. උපාලි මේ ගස් සිටුවීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් අතර පසුව ප්‍රේමදාස අගමැතිවරයාගේ හිතවත්කම මත ගම් උදා නිවාස ව්‍යාපෘතිවල පිඩලි සිටුවීමේ ව්‍යාපෘතිය ද තමන් සතු කරගත්තේය. ඒ අනුව ඔහු පිඩලි උපාලි බවට ද පත්විය. ඔහුට මේ දේවල් කරගන්න සහාය වුණේ එජාපයත් සමග සමීප ගනුදෙනු තිබූ නිවාස අධිකාරියේ සිවිල් ඉංජිනේරු මහතකුගේ සහායෙනි. එහෙත් පසුව ඔහු ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙක් බවට පත්ව තිබේ. 


නොයෙල් අමරසිංහ කියන්නේ උපාලිගේ පරම හතුරාය. දෙදෙනාගේම කුඩු බිස්නස් මේ සියල්ලට මූලික හේතුවය. උපාලි දේශපාලන රැකවරණ මැද කුඩු ජාවාරම කරගෙන යද්දී නොයෙල් අමරසිංහට එය දිරවූයේ නැත. ඔහු උපාලි ගැටුමකට සම්බන්ධ කරගැනීමට නොයෙක් දේවල් කළේය. එහෙත් ඒ කිසිවකට උපාලි කොටුකර ගත නොහැකි වූ තැන ඔහුට රිදවීමට නොයෙල් උපාලිගේ සහෝදරයන් දෙන්නෙක් ඝාතනය කරවූයේය. මෙයින් කිපුණු උපාලි අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බාරයේ සිටි නොයෙල් මැරවීමට බොරු ප්‍රශ්නයක් ඇති කර තමන්ගේ ගෝලයෙක් වූ කොටියාගොඩ නිහාල්ව රිමාන්ඩ් කරවා ගත්තේය. එසේ කර නිහාල් බලන්න යන මුවාවෙන් ගොස් ඔහුගේ කෑම භාජනයේ සඟවාගෙන ගිය රිවෝල්වරයකින් සිරගෙදරදීම නොයෙල්ව ඝාතනය කෙරෙව්වේය. 


උපාලි මහා කෙරුමෙක් වුණේ මේ සිදුවීමෙන් පසුවය. සිරගෙදරදී සැකකරුවෙක්ව පිටස්තරයකු විසින් ඝාතනය කළ පළමු අවස්ථාව එය වීම ඊට හේතුව විය. උපාලිට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවන වටපිටාව ඇති වූයේ ඉන් අනතුරුවය. ඒ නොයෙල්ගේ ඥාති පුතුන් වන චින්තක අමරසිංහ හා ධම්මික අමරසිංහගේ පාතාල ආගමනයය. ඔවුන් දෙදෙනාට උදව් කළේ නාවල නිහාල් වැන්නන්ය. 


නාවල නිහාල් ද එජාපයේ ආශිර්වාදය ඇතිව හැදී වැඩුණ පාතාල නායකයෙකි. එසේම කුඩු ජාවාරම්කරුවෙකි. ඔහුට ද උපාලි සමග එදිරිවාදිකම් තිබුණි. ඒ නිසා ඔහු ද ධම්මිකලා සමග එක්විය. එහෙත් කළු අජිත්ලා සමග ඇති වූ ගැටුම් දුරදිග යාමෙන් චින්තක හා ධම්මික අමරසිංහලා ඝාතනයට ලක්වූ අතර උපාලි ඝාතනය වන්නේ කඩුවෙල වසන්ත අතිනි. සොත්ති උපාලි සමග දෙමළ පාතාලයේ සාමාජිකයෙක් වූ ක්‍රිස්ටෝපර් ද එක්ව සිටියේය. එලෙස කිඹුලා ඇළේ ගුණා ද ඔහු සමග විය. සොත්ති උපාලි සමග සිටි කල්ලියෙන් අදටත් ඉතිරිව සිටින්නේ ඉන්දියාවට පළා ගිය කිඹුලා ඇළේ ගුණා සහ එංගලන්තයට පළා ගිය උලපනේ මුදියන්සේලාගේ උදය කුමාර නොහොත් පන්සල් වත්තේ උදය නොහොත් ගලාය. කිඹුලා ඇළේ ගුණා තවමත් ඉන්දියාවේ සිට කුඩු ජාවාරම මෙහෙයවමින් සිටී. ඔහුගේ කල්ලියේ සිටි කනත්තේ ආරච්චිගේ පියරත්න නොහොත් කනත්ගේ පියරත්න නොහොත් මෝල් පියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇල්පිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පසුගිය වසරේදී ඝාතනයට ලක් විය. 


දෙමළ පාතාලය පරාජය කරමින් ඉහළට එසවුණ මුස්ලිම් පාතාලය කොළඹ රජ කරද්දී කඩුවෙල ප්‍රදේශයේ බලය අල්ලා ගත්තේ කඩුවෙල වසන්තය. කඩුවෙල වසන්ත ද නීති විරෝධී මත්පැන් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටියදී එකල කඩුවෙල ප්‍රදේශයේ සිටි ප්‍රබල දේශපාලනඥයකුගේ පෝස්ටර් ඇලවීමට යොදාගැනීමට පොලිසියේ ලොක්කා කටයුකු කළේ පෝස්ටර් වැඩේ හරියට කළොත් උසාවි නොදා නිදහස් කරන බවට පොරොන්දු වෙමිනි. ඒ අනුව ඔහු දිගටම පෙර කී දේශපාලනඥයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වූ අතර එයින් ඔහුගේ සිත දිනා ගැනීමට ද සමත් විය. එයින් ඔහු දේශපාලන රැකවරණ සහිතව වැඩෙන පාතාලයෙක් බවට ක්‍රමයෙන් පත්විය. පසු කලෙක දේශපාලන බලය මාරුවෙද්දී වසන්ත ද පක්ෂ මාරු කළේය. ඔහු ඝාතනයට ලක්වන්නේ කරාටේ ධම්මිකගේ කල්ලිය අතිනි. 


දෙමළ පාතාලය තමන්ගේ බලය පුළුල් කර ගනිමින් මාළිගාවත්ත ආක්‍රමණය කරන්නට වූයෙන් මුස්ලිම්වරුන්ට දැඩි ලෙස හිරිහැරයට පත්වන්නට සිදුවිය. දෙමළ පාතාලයේ නායකයා වූ සුදාකරන්ගේ අරමුණ වූයේ මාළිගාවත්තේ ද දෙමළ ජනතාව පදිංචි කරවීමය. එයට ආරම්භයක් ගනිමින් ඔහු බීබීසී පාලම අසල සිටි ජනතාව පන්නා දමමින් එහි තමන්ගේ හිතුවතුන් පදිංචි කරවූයේය. මේ අතර ඔහුගේ ගෝලයන් වූ විජේපාලන් හා ක්‍රිස්ටෝපර් වැන්නන් මුස්ලිම් ජනතාව මත දැඩි පීඩාවක් එල්ල කරනු ලැබිණ. 
මුස්ලිම් තරුණයන් බහුතරයක් දෙනා ඒ වනවිටත් කුඩුවලට ඇබ්බැහිව සිටියේ නැත. ඔවුන් ලීවර් පූල් ක්‍රීඩා සමාජය සමග එක්ව ෆුට් බෝල් සෙල්ලම් කරනු ලැබිණ. ලීවර් පූල් පාපන්දු සමාජය එකල අගනුවර පාපන්දු කිරුළ දිනා සිටි කණ්ඩායම විය. මේ කණ්ඩායමට දෙමළ පාතාලයේ හිරිහැර විඳීම කිසිසේත්ම දරාගත නොහැකි විය. සිත් තැවුලට පත් ඔවුන් අතරට පැමිණි අයුබ්ඛාන් දෙමළ පාතාලයට එරෙහිව සංවිධානය විය යුතු බවට මේ ක්‍රීඩා සමාජයේ තරුණයන්ට එ්ත්තු ගැන්වීය. ක්‍රීඩා සමාජය සමග සිටි මාමස්මී, ෆාජි වැන්නන් අයුබ්ඛාන් සමග එක්වූයේ ඒ දෙමළ පාතාලයේ පීඩාවට එරෙහිවය. 


අයුබ්ඛාන්ලාට උදව් කිරීමට කොළඹ නගර සභාවේ එවකට සිටි මන්ත්‍රීවරයෙක් වූ ඉමිටියාස් උදව් කළ අතර ඔවුන්ට අවි පුහුණුව ලබාගැනීමට ජිඩාඩ් සංවිධානයේ සහාය ද ලබාදෙනු ලැබුවේ නැගෙනහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය ද ඇතිවය. මෙලෙස අවි පුහුණුව ද ලබා දෙමළ පාතාලය එරෙහිව අවි එසවූ මුස්ලිම් තරුණයෝ පසුව මාළිගාවත්තේ මුස්ලිම් පාතාලය බවට පත්විය. 

 

 


දෙමළ පාතාලය මර්දනයට ඔවුන් කටයුතු කරද්දී නිහඬව බලාහුන් පොලිසියට මුස්ලිම් පාතාලය මර්දනය කිරීම පහසු වූයේ නැත. ප්‍රදේශයේ පොලිසිය මුස්ලිම් පාතාලයට වැඩෙන්නට ඉඩහැර බලා සිටියේ එක ඔලුවේ කැක්කුමක් ඉවර කළ වීරයන්ට නිහඬව සහාය දෙන්නාක් සේය. එහෙත් ඔවුන් ද බලය ඍජුවම තමන් අතට ලබාගත් පසු මාළිගාවත්තේ කප්පම් ගැනීම් හා කුඩු ජාවාරම ද තමන් අතට ගැනීමට කටයුතු කරනු ලැබිණ. ඔවුන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඉදිරියට යද්දී කප්පම් ගැනීම් හා කුඩු ජාවාරම් පවත්වාගෙන යාම සඳහා එකම කල්ලියේ සාමාජිකයන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් දිගින් දිගටම එකිනෙකා මරාගන්නා තත්ත්වයන් නිර්මාණය විය. එසේම ඇතැම් පාතාලයන් ප්‍රදේශය හැර යන තත්ත්වයක් ද නිර්මාණය විය. 


දෙමළ පාතාලයේ පීඩාවෙන් ගලවා ගන්නට නැගුණ මුස්ලිම් පාතාලය ද මුස්ලිම් ජනතාව පීඩාවට පත් කරන්නට විය. තමන්ට එරෙහිව කතා කරන කටයුතු කරන සෑම අයෙක්ම තමන්ගේම කැලෑ අධිකරණයේ නඩු අසා දඬුවම් දෙන්නට ද ෆාජිලා මාමස්මීලා කටයුතු කරනු ලැබිණ. එසේම ඇතැම් අය අමු අමුවේ පුළුස්සා ඝාතනය කරනු ලැබිණ. ඇතැමුන් වාහනවල බැඳ පාර දිගේ ඇදගෙන ගොස් ඝාතනය කරනු ලැබුවේ මාළිගාවත්තම වධකාගාරයක් බවට පත් කරමිනි. මේ නිසා කිසිවෙක් මුස්ලිම් පාතාලයට එරෙහිව වචනයක්වත් කතා කරන්නට බිය විය. ඇතැම් දේශපාලනඥයන් මේ පාතාලයන්ගේ සහාය ලබාගෙන ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ආධාර එකතු කරගනු ලැබුවේය. ප්‍රචාරක කටයුතු කරවා ගත්තේය. 


කුඩු නූර්ලා අයුබ්ඛාන්ලා මෙන්ම කුඩුවලට මුලින් විරෝධය දැක්වූ ෆාජිලා පවා පසුව කුඩු ගෙන්වීමේ කාර්යයේ නිරත වූහ. මේ නිසා කුඩු නූර් හා අයුබ්ඛාන්ලා අතර ගැටුම් ඇති විය. මේ ගැටුම් නිසා දෙපිරිසේම සාමාජිකයන් රැසක් ඝාතනයට ලක්විය. මෙලෙස ගැටුම් උත්සන්න වෙද්දී මුස්ලිම් පාතාලය මර්දනයට පසු කලෙක මැදිහත් වූයේ පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිව එකල කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතාය. ඔහුගේ අත්දැකීම් ද සමග මුස්ලිම් පාතාලය මර්දනය කරමින් මාළිගාවත්තෙන් කුඩු ජාවාරම මැඩපැවැත්වූ ආකාරය හා ඉන්පසු ඉහළට එසවුණ සෙල්විගේ වත්තේ කුඩු සටන ගැන අපි ලබන කලාපයෙන් කතා කරමු. 

 


මුදිතා දයානන්ද