මුරුසි දිවයිනේ ඇහැලේපොළ සොහොන සොයා ගිය ගුවන් නියමුවා


.

 

 

සැමීගේ කතාව නවකතාව සඳහා ග්‍රේෂන් සම්මානය හිමිකරගත් කපිතාන් එල්මෝ ජයවර්ධන පළපුරුදු සහ දක්ෂ ගුවන් යානා නියමුවෙකි. එසේම බෝයිං ගුවන් යානා පදවන්නන් පුහුණු කරවන්නෙකි. ලංකා ගුවන් සේවාවේ කාලයක් ගතකළ කපිතාන් එල්මෝ ජයවර්ධන වසර විස්සක්ම සිංගප්පූරු ගුවන් සේවයේ කපිතාන්වරයෙකු වශයෙන් කටයුතු කළේය. එසේ කටයුතු කරද්දී ඔහු ලෝකයේ නොයෙක් රටවලට පියාසර කළේය.  


මුරුසි දිවයිනට ගිය ගමනකදී ඔහු ඇහැලේපොළ සොහොන සොයා කළ ගවේෂණය මෙලෙසින් හෙළි කළේය.  
මුරුසියට එන හැම වෙලාවකම මගෙ හිතේ ඉටුකරගතයුතු අභිප්‍රායක් රැඳිලා තිබුණා. මෙවර ඒක කොහොම හරි ඉටුකරගන්න ඕනැ කියල මට හිතුණා. මට ඕනැ වෙලා තිබුණේ මුරුසියේ තියෙනවාය කියන ඇහැලේපොළ අදිකාරම්ගේ සොහොන් ස්මාරකය සොයාගන්න. කපිතාන් එල්මෝ ජයවර්ධන පැවසීය.  
‘මා සතුව තිබුණු එකම තොරතුර වූයේ මේ ස්මාරකය තියෙන්නේ පම්පලමුසි කියල ස්ථානයක කියලයි. මට මුලින්ම හිතුණේ පම්පලමුසි කියන එකේ තේරුම කනත්ත, සොහොන් බිම කියලයි කියන්නෙ. වටේම ඇවිදල සොහොන සොයන්න මට ඕනෑකම තිබුණා.
එක්තරා දවසක මෙම මෙහෙයුම සඳහා කපිතාන් එල්මෝ ජයවර්ධන සූදානම්ය.  


තමන් නතරව සිටි හෝටලයේ කාර්ය මණ්‍ඩලය සමග කළ කතාබහේදී කපිතාන් එල්මෝට සිතුණේ මහඅදිකාරම් ඇහැලේපොළගේ සොහොන සොයාගැනීමේ කාර්ය එතරම් පහසු කටයුත්තක් නොවන බවය. ඔහුට අවශ්‍ය වූයේ පම්පලමුසි අවට ඇති සුසාන භූමි පරීක්ෂා කිරීමය. හෝටලයේ අය පැවැසුවේ පම්පලමුසි යනු කොළඹටත් වඩා විශාල ප්‍රදේශයක් බවය. එසේම එහි සුසාන භූමි බොහෝමයක් ඇති බවය. 

 
‘එහෙ හිටිය කවුරුත් ඇහැලේපොළ කියන නමක්වත් අහල තිබුණේ නැහැ. වැඩේ ඉතාමත්ම සංකීර්ණ බව මට තේරුණා. කපිතාන් එල්මෝ පැවසීය.  
හෝටලයෙන් බැහැරට පැමිණි ඔහු එහි තිබූ කුලී රථයකට ගොඩවී මාව පම්පලමුසි ගෙනියන්න පැවසීය. උදෑසන දහයවන විට ඔව්හු පම්පලමුසි වෙත පැමිණියහ. කුඩා හෝටලයකින් තේ බොන අතරතුර ඔව්හු ඒ අවට ඇති සොහොන් භූමි ගැන විමසූහ. හෝටලයෙන් ලද තොරතුරු අනුව එක්තරා ස්ථානයකට විනාඩි පහකින් ළං වූහ.  
‘කාර් එකෙන් එළියට ආපු මම ඉක්මණින් සොහොන් ස්මාරක අතර ඇහැලේපොළ ස්මාරකය සොයමින් ඇවිද්දා. හුඟාක් ප්‍රංශ නම් තිබුණේ. ඇහැලේපොළ නමක් තිබුණෙ නැහැ. තමන්ගේ ප්‍රථම ප්‍රයත්නය පිළිබඳව හෙතෙම එලෙසින් පැවැසීය.  


ඊළඟට ඔවුහු දෙවැනි සුසාන භූමියෙහි සොයා බැලීම් කළහ.  


හෝටල් කීපයකට යමින් තේ කෝප්ප කීපයක් බොමින් විමසීම් කීපයක් කරමින් සුසාන භූමි කීපයක්ම පරීක්ෂා කළහ.  
වේලාව සවස හතර විය. සුසාන භූමි පරීක්ෂා කරමින් පැය හයක් ගතකර ඇත.  


‘ඊළඟ දවස පාන්දර දෙකට මම ගුවන් යානය භාරගන්න ඕනැ. ඒක නිසා හෝටලයට ගිහිල්ලා හොඳට නිදාගන්න ඕනැ. උත්සාහය අත්හැරලාදාලා ආපහු එන්න හිතුවා.  
උක්ගස්, කුඩා පඳුරු වැඩී තිබූ කුඩා වනයක් මැදින් වූ පාරක ඔවුහු ගමන් කරමින් සිටියහ.  
‘මට මහා පුදුම සිතුවිල්ලක් එක පාරම හිතට ආවා. මම කිව්වා ඩ්‍රයිවර්ට වාහනය නතර කරන්නය කියලා’  
මාර්ගයේ සිට පෙනෙන දුරින් උක් ගස් මැද ධවල වර්ණ ප්‍රසන්න ස්මාරකයක් විය. එය පම්පලමුසි පවර් මිල් මාර්සෙල්මට් සාන්ත ඇන්ඩ්‍රෘ සුසාන භූමිය විය.  
කපිතාන් එල්මෝ ජයවර්ධන ස්මාරකය වෙත සමීප විය. එය අඩි දහයක් හරි හතරැස් පිරිසිදු හා සුන්දර එකක් විය. එම ස්මාරකයෙන් එක්තරා තේජස්වන්ත ශෝකයක්ද ප්‍රකට විය.  


එතනට ගියාම මට හිතුනා එතන කවුරු හරි පිරිසිදු කරනවා රැක බලාගන්නවා කියලා. එහි ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහලෙන්ද විස්තර ලියලා තිබුණා. එහි මියගිය දිනය තිබුණේ අප්‍රේල් 4 යි. අප්‍රේල් 24 නොවෙයි.  
පුරාවෘත්තයක් බඳු වූ පුද්ගලයකු නොදක්නා ප්‍රදේශයක මියගොස් හුදකලා මතකය මගේම මව් භාෂාවෙන් කියවද්දී මට අමුතුම හැඟීමක් ඇතිවුණා.  
ඇහැලේපොළ මහ අදිකාරම්ගේ සොහොන් ස්මාරකය දුටු අවස්ථාවේ ඇතිවූ හැඟීම් කපිතාන් එල්මෝ ජයවර්ධන එසේ විස්තර කළේය.  
ක්‍රි.ව. 1773 මාතලේ උඩුගොඩ උඩසියපත්තුවේ ඇහැලේපොළ ග්‍රාමයේ උපත ලද විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න ජයතිලක ඒකනායක අමරකෝන් වාසල පණ්‍ඩිත මුදියන්සේ හෙවත් ඇහැලේපොළ මහ අදිකාරම්ගේ දෙමාපියන් වූයේ ඇහැලේපොළ පඩිකාර මුදියන්සේ සහ කොස්ඉන්න කුමාරිහාමිය.  
ඇහැලේපොළ මහ අදිකාරම් රණකෙළියෙහි සහ පාලනයෙහි දක්ෂයකු වූවාක් පමණක් නොව දක්ෂ සිංහල කවියෙකුද පාලි භාෂා විශාරදයකුද සංස්කෘත සහ ද්‍රවිඩ භාෂාව පිළිබඳව මනා දැනුමක් ඇත්තෙකු ද විය. සපරගමුව සහ පල්ලේගම්පහේ අදිකාරම් ධුරයද දැරූ පිළිමතලාව මහ අදිකාරම්ගේ දියණියක සමග විවාහ වූ ඇහැලේපොළ අදිකාරම් මාතලේ නගරයට සැතපුම් දොළහක් පමණ ඈත වූ පල්ලෙදෙණිය නම් ප්‍රදේශයේ කුඩා කඳුගැටයක් මත දෙමහල් ප්‍රාසාදය ඉදිකර එහි පදිංචි විය.  
සපරගමු දිසාවෙන් අයකරන ලද බදු මුදල් වගයක් ගෙවන ලෙස සපරගමු වාසීන්ට දැන්වුවත් ඔවුන් එය නොකරන ලදින් එම මුදල් අයකිරීම පිළිබඳව අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ඇහැලේපොළ මහ අදිකාරම්ව ශ්‍රී වික්‍රම රාජසිංහ  රජු විසින් සපරගමුවට යවන ලදී.  


සපරගමුවට පැමිණි ඇහැලේපොළ මහඅදිකාරම් තමන් සතු පැරණි වලව්වක් ඇති ගබඩා ගමක් වූ බටුගෙදරට පැමිණ එහි පදිංචි විය. එහිදී එක්නැලිගොඩ ප්‍රමුඛ නියෝජිත පිරිසක් පැමිණ ඇහැලේපොළ මහ අදිකාරම් මුණගැසී ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් තම ජනතාවට ගෙවීමට නියම කර ඇති බදුවල අසාධාරණ බව පැහැදිලි කර දුන්හ.  
සපරගමු වැසියන්ගේ යුක්තිසහගත සාධාරණ ක්‍රියාදාමය වටහාගත් ඇහැලේපොළ මහඅදිකාරම් රජු විසින් පනවනු ලැබූ අය බදු ලබාගන්නවා වෙනුවට පෘතුගීසි සමයේ නටබුන් වී ජරාවාසව පැවැති බැව්, පොකුණු, ඇළ දොළ, අමුණු ආදිය ප්‍රතිසංස්කරණය කළේය. පෘතුගීසි සමයේ ජනයා ඇබ්බැහිව සිටි අරක්කු පානය තහනම් කළේය. එලෙසම පෘතුගීසීන්ගෙන් පුරුදු වුණ මස් පිණිස ඌරන්, කුකුළන්, එළුවන් ඇති කිරීම නතර කළේය.  
තමන් විසින් නියෝග කළ බදු මුදල් එකතු නොකිරීමත්, රජුට පිටුපා සපරගමුව වැසියන්ගේ පක්ෂය ගැනීමත් පිළිබඳව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ අදිකාරම් පිළිබඳව පසුවූයේ දැඩි කෝපයෙනි. මොල්ලිගොඩ අදිකාරම් රජුගේ මෙම කෝපය වැඩි කිරීමට තවත් කරුණු එකතු කළේය.  
පුස්සැල්ලේ අදිකාරම් ද ඇහැලේපොළ අදිකාරම්ට රහසින් ආධාරකරනවා යැයි සැක කළ රජු ඔහුට වේවැලෙන් තැලීම, කටු සැමිටිවලින් තැලීම, අත් පා කැපීම, නාසය කැපීම ආදී දෙතිස් වධදී කටු පීප්පයක බහා උඩවත්ත කැලේ කඳු මුදුනින් පහතට හෙළා මරණයට පත් කරන ලදී.  
මේ අතර තමන්ට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලමින් ඇහැලේපොළ අදිකාරම් විසින් සංදේශයක් එවකට කොළඹ දිසාපතිව සිටි ජෝන් ඩොයිලිට එක්නැලිගොඩ මහීපාල අක්කර කුරුප්පු වික්‍රමසිංහ බස්නායක මුදියන්සේ හෙවත් එක්නැලිගොඩ නිලමේ අත යවන ලදී. බ්‍රිතාන්‍ය ආණ්‍ඩුවෙන් ආරක්ෂාව පතන ඕනෑම කෙනෙකුට ආරක්ෂාව සපයන බව ඩොයිලි විසින් ඔහුට දන්වා එවන ලදී.  


ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව ඇහැලේපොළ මහ අදිකාරම් එක්නැලිගොඩ නිලමේ සහ දෙල්ගොඩ අතපත්තු නිලමේ ප්‍රමුඛ සත්කෝරළයේ සපරගමුව දිසාවෙන් ඇති කරන ලද කැරැල්ල මොල්ලිගොඩ නිලමේ විසින් 1814 මැයි මස මුල් දිනවල මර්දනය කරන ලදී. ඇහැලේපොළ අදිකාරම් ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව තිබූ ප්‍රදේශයක් කරා පලාගිය හෙයින් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මෙයින් අතිශය කෝපයට පත් රජු ඇහැලේපොළ මහ අධිකාරම්ගේ පිරිමි දරුවන්ගේ හිස් සිඳ වංගෙඩියක ලා ඔහුගේ මෑණියන්​ ලවා එම හිස්ගෙඩි මෝල්ගසකින් කෙටීමටත් ගැහැනු දියේ ගිල්වා මැරීමටත් නියම කරන ලදී.  
1815 මාර්තු දෙවැනි දින සිංහල ජන ප්‍රධානීන් සහ බ්‍රිතාන්‍යයින් අතර ගිවිසුමක් ඇතිවිය. නමුත් බ්‍රිතාන්‍යයින් කලින් පොරොන්දු වූ පරිදි කන්ද උඩරට රජකම ඇහැලේපොළට දෙන බවක් නොවීය. උඩරට අල්ලාගැනීමට උපකාර කිරීම සඳහා තුති පඬුරු වශයෙන් රන් පගෝදි 2000 ක් බ්‍රවුන්රිග් ආණ්‍ඩුකාරයා විසින් ඇහැලේපොළ අදිකාරම්ට එවුවත් ඔහු එය භාරගත්තේ නැත.  


ඇහැලේපොළ නිලමේ විසින් කලින් දරන ලද මහා අදිකාරම් පදවිය ඔහුට භාරගන්නා ලෙස පැවසුවත් ඔහු එයට එකඟ නොවීය. පසුව බ්‍රිතාන්‍යයන් විසින් රජුගේ ගබඩාගම්වල අධිකාරිත්වය ඇහැලේපොළ අදිකාරම්ට පවරන ලදී.  
උඩරට ගිවිසුමේ අන්දමට බ්‍රිතාන්‍යයින් විසින් සිංහලයන්ගේ ආගමික නිදහස සහ අනිකුත් පහසුකම් නොසැලකූ නිසා මොල්ලිගොඩ අදිකාරම්, මිල්ලෑවෙ අදිකාරම්, දෙල්වැව අදිකාරම්, මඩහල ගබඩා නිලමේ යන අයගේ ප්‍රධානත්වයෙන් ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරැල්ලක් ආරම්භ විය.  
විල්බාවේ නම් ව්‍යාජ රජුගේ නායකත්වයෙන් පැවැති වෙල්ලස්ස කැරැල්ලටද ඇහැලේපොළ අදිකාරම් සම්බන්ධව ඇතැයි ඉංග්‍රීසීහු සැක කළහ. ආණ්ඩුකාරවරයාගේ හදිසි පණිවිඩයක් දීම සඳහා 1818 මාර්තු 02 දින රාත්‍රියේ මගුල් මඩුවට එන ලෙස ඇහැලේපොළ අදිකාරම් රැවටිල්ලෙන් කැඳවා කොළඹට ගෙන එන ලදී.  
කොළඹ සිරගතව සිටින කාලයේ ඇහැලේපොළ අදිකාරම්ට විවිධ හිරිහැරවලට මුහුණ පාන්නට විය.  
උදෑසන ස්නානය සඳහා පෙර දින සවස පුරවා තබන වතුර කල්දේරම්වලට සුරුට්ටු කොට, අඟුරු කෑලි, පොල් කටු ආදිය දමා පාවිච්චි කිරීමට නොහැකි වන ලෙස සමහර දේ හේවායෝ ඒවා අපිරිසිදු කළහ. සුදු හේවායෝ නිතර නිතර ඇහැලේපොළ අදිකාරම් ඇතුළු අනික් අය සිටින කුටිවලට ඇතුළුවී ඒවා පරීක්ෂා කරන්නට වූහ. මෙලෙස වසර හතක් ඇහැලේපොළ කොළඹ සිරගත කොට තිබුණි.  


සිරගෙදර රැකවලුන්ට අල්ලස් දී සිරෙන් පැනගොස් ඉංග්‍රීසීන්ට විරුද්ධව නැවත කැරැල්ලක් ඇතිකරාවිය යන බිය නිසා ඉංග්‍රීසීන් 1825 මැයි මස 14 දින අැලෙක්සැන්ඩ්‍රියා යන නෞකාවෙන් මුරුසි දිවයිනට පිටත්කර යවන ලදී.  


මුරුසි දිවයිනේ ඇහැළේපොළ අදිකාරම්ව සිරගතකොට තබන ලද්දේ පම්පලමුසි නම් ස්ථානයේ නිවසකය. ඇහැලේපොළ මුරුසියට එන විටත් පිළිමතලව්වේ, ඉහගම, කොහුකුඹුර, හපන්ගම, මත්තමගොඩ, මීගහපිටිය, අඹගස්පිටිය, ගොඩගෙදර, වෑඋඩපොළ ආදී සිංහල නායකයෝ රාශියක් එහි සිටියහ.  
මුරුසියට පැමිණ වසර හතරක් පමණ යන විට ඇහැලේපොළ අදිකාරම් නිතර නිතර රෝගී තත්ත්වයෙන් පසුවෙන්නට විය. ඩෙකරන් නමැති වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර කළේය.  
ඇහැලේපොළ සමග සිටි අනික් සිරකරුවන් ඔහුට උවටැන් කරමින් ඔහුගේ සුවදුක් බලන්නට වූහ. තමන්ගේ ජීවිතයේ අවසාන කාලය ළඟා වූ බව දැනගත් ඇහැලේපොළ අදිකාරම් එහි සිටි ඉහළගම හිමි ලවා සිය අන්තිම කැමැති පත්‍රය ලියා 1829 අප්‍රේල් 4 දින මිය ගියේය.  


තමන්ගේ අවසාන කටයුතු සිදුවිය යුතු අන්දම මෙන්ම සිදුකළ යුතු ස්ථානයද ඇහැලේපොළ අදිකාරම් තම අන්තිම කැමැති පත්‍රයෙන් ලියා තැබීය. තමන්ගේ සොහොන මත තමන්ගේ සම්පූර්ණ පටබැඳි නම් ඇතුළත්ව සටහන් කළ යුතු බවත් සඳහන් කළේය.  


එවකට එහි සිටි අනිකුත් සිංහල සිරකරුවෝ බ්‍රිතාන්‍ය පාලකයින්ගේ අවසරය ඇතිව එය ඉටු කළහ.  
කපිතාන් එල්මෝ ජයවර්ධන වඩාත් පුදුමයට පත්කළේ ඇහැලේපොළ ස්මාරකයේ සුදු පැහැති පාදම මත තිබූ මල් වඩමය. එය දින හතකට හෝ අටකට පෙර තැන්පත් කළ ස්වරූපයක් පළවිය. එහි තේරුම දින කීපයකට පෙර මෙතැනට කිසිවෙකු පැමිණ ඇති බවය.  
එලෙස පැමිණියේ කවුද?  


වසර එකසිය ගණනකට පෙර ඈත රටක මියගිය සිංහල නායකයාගේ සොහොන් ස්මාරකය තවමත් පිරිසිදු වෙයි. ඒ මත මල්වඩම් තැබෙයි.  


මෙලෙසින් මේ සිංහල නායකයාට ගරු කරන්නේ කවුද?  


සිංහලයේ අවසන් රජු කාලයේ ඉංග්‍රීසීන් විසින් මුරුසියට පිටුවහල් කළ සිංහල නායකයින්ගේ පරම්පරාවෙන් පැවත එන්නන් තවමත් මුරුසියේ සිටිනවාද?  
ඇහැලේපොළ ස්මාරකය මත මල්වඩම් තැබීමෙන් ප්‍රකට කරන්නේ සිංහලයා කෙරෙහි ඇති ආදරය සහ අභිමානයද?  


ඉංග්‍රීසීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම්කරන සමයේ ඉංග්‍රීසීන් මෙලෙස මුරුසිය සහ තවත් රටවලට පිටුවහල් කළ සිංහල නායකයන්ගෙන් පැවත එන්නන් සිටීද කියා සොයා බැලීමට මේ හොඳම කාලයයි.

 

 

පීටර් කැනියුට් පෙරේරා