මුතු නගරයේ කහ උණ පැතිරෙයි


අරිප්පුවේ මුතු කිමිදීම-3

 

 

 
මුළු වෙරළ පුරාම කුඩා පොල් අතු පැල්පත් සියදහස් ගණනකි. ඒ සියල්ලම මුතු වාඩි ය. මුතු සොයා කිමිදෙන කිමිදුම්කරුවන්ගේත් ඔවුන් ගෙන එන මුතු බෙල්ලන් දෙපළු කර මුතු සොයන කම්කරුවන්ගේත් වාඩි ය. පොල් අතු පැළලිවලින් මුවා වී ඇති තැන් කීපයකම මුතු බෙල්ලන්ගේ කටු දහස් ගණනක් තිබේ. ඒවා අනාදිමත් කාලයක පටන්ම මුතු සොයා දෙපළු කළ බෙල්ලන්ගේ කටු ය. 


මේ වාඩි එකල හඳුන්වා ඇත්තේ ‘‘කොඩ්ඩු’’ නමිනි. එහි අරුත කොටුව යන්නයි. එම ප‍්‍රදේශයේ භාවිත වී ඇත්තේ යාපනෙන් ආ දෙමළ ජනතාවගේ භාෂාවය. 

කාලවර්ණ බඳෙන් යුත් රුවල් නැව් ගණනාවක් අරිප්පු වෙරළේ නවතා තිබිණි. ඒ හැම රුවල් නැවක්ම එක වගේය. ඒ හැම එකකම සුදු පැහැති දැවැන්ත රුවල් අකුළා බරැති නැංගුරම් කඹවලින් ගැටගසා තිබුණේ ඒවා ලිහිල්ව තිබුණේ නම් ගැඹුරු මුහුදට ඉබේ පාවී යාමේ අවදානම නිසාය. මුහුදු ලිහිණි රංචු පිටින් රුවල් උඩ වසා සිටියහ. 


 විවිධාකාර ඇඳුමින් සැරසුණු සුදු නෝනලා ද සුදුමහත්තුරු ද වෙරළ පුරාම නිදහසේ ඇවිද යමින් සිටියහ. දහස් සංඛ්‍යාත කම්කරුවන්ගෙන් පිරුණු වෙරළ තීරයේ ඉංග්‍රීසි ජාතිකයන් කැපී පෙනුණේ ඔවුන්ගේ ඇඳුම් සහ සුදු හම නිසාය. ඔවුන් අතර වෙනසක් වූයේ නම් ඒ ඇඳුමෙන් සහ වර්ණයෙනි. කම්කරුවෝ වෙරළේ තැන තැන ඉඳ සිටියහ. ඔවුන්ට අරිප්පු වෙරළ අමුත්තක් නොවේ. සමහරු එහි උපන්නෝ වෙති. තවත් සමහරු වසර ගණනාවක් මීගමුවෙන් ද හලාවතින් ද මුතු සොයා ආ අය වෙති. ළා නිල් පැහැයෙන් යුතුව වෙරළේ නවා ඇති ඔරුවල හෝ අලුත් යමක් දකින්නට නැති හෙයින් කම්කරුවෝ වැටුණු වැටුණ අත ගුළි වී හෝ නිදමින් හෝ සිටියහ. 


එහෙත් ඉංග්‍රීසි නෝනලාට හෝ මහත්වරුන්ට අරිප්පු වෙරළ එයට වඩා වෙනස් විය. ඔවුන් මෙහි ආවේ මුතු ගෙනියන්නටය. අරිප්පුවේ මුතු ලෝක ප‍්‍රසිද්ධ වන්නේ ඉතා දීප්තිමත් ස්වභාවික මුතු නිසාය. ඒවා එංගලන්තයේ බොහෝ ජනප්‍රිය ය. මුතු සොයා කිමිදෙන කුලීකරුවන්ගේ බිරියන්ගේ ගෙල සරසන්නට මේ මුතු නොලැබෙන බව නොදන්නා එංගලන්තයේ නෝනලා මුතු සොයා අරිප්පුවට එති. 


බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙම මුතු බිම් මගින් විශාල ආදායමක් උපයා ගැනිණි. මාස්ටර් ඇටෙන්ඩන්ට් නමැති නිලධාරියකු අරිප්පුව සිලාවතුර මුහුදු තීරයට පත්කළ බ්‍රිතාන්‍යයෝ ඔහු මගින් මුතු කිමිදීම කාර්යක්‍ෂම කළහ. එමගින් බලාපොරොත්තු වූයේ මුතු කිමිදෙන සෑම යාත‍්‍රාවකින්ම වැඩි මුදලක් රජයට ලබාගැනීමය. 


මුතු කිමිදෙන වාරයට මාස ගණනකට පෙර ප‍්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා මුතු පර බදුදෙන අතර එමගින් පළමුව මුදලක් එකතු කර ගනී. මුතු කිමිදීම සඳහා රජයේ ආරක්‍ෂාව ලබාදෙයි. 


අරාබියේත්, ඉන්දියාවේත් බොහෝ වෙළෙන්දෝ මෙම ටෙන්ඩරය මගින් මුතු පර බදුගෙන අරිප්පුවට එති. ඉන්පසු අල්ලා ගැනෙන මුතුවලින් වැඩි කොටසක් අයත් වන්නේ බ්‍රිතාන්‍ය රජයටය. 


මුතු බෙල්ලන් කුණු වී කටුවෙන් මස් ගැල වී යනතුරු ගොඩ ගසා තබන කොටුව හැඳින්වෙන්නේ කොඩ්ඩු නමිනි. මේවා සිය ගණනක් වෙරළ තීරය පුරා ඉදිකර ඇති අතර ඒවා කොටුකර ඇත්තේ පොල් අතුවලිනි. එහි වහළ ද පොල් අතුය. එම කොටු මිහිමත අපායක සිරිය මවා ඇති බව අප පෙර කී ලේඛකයන්ගේ සටහන්වල දැක්වේ. 


 1836 වසරේදී එවකට මෙරට ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් හෝර්ටන්ගේ බිරිඳ වූ ඇනී බියට්‍රිස් හෝර්ටන් ආර්යාව මෙම ප‍්‍රදේශයේ සංචාරයක යෙදුණේ තම සැමියාගේ අනිවාර්යය නිල සංචාරයට සමගාමීවය. ඇයගේ සංචාරය ගැන බොහෝ විස්තර ඉංග්‍රීසි ලේඛකයන්ගේ සටහන් තුළ වේ. 


 ඇය කොඩ්ඩු කුටි තුළ ද මුතු නගරය පුරා ද ඇවිද ගියාය. ඒ වනවිට ඇය දරු දෙදෙනකුගේ මවක බව ද එහෙත් ඇය කුඩා දැරියක සේ මුතු නගරයේ ඇවිද ගිය බව ද ස්ටුවට්ගේ කෘතියේ දැක්වේ. 


කුණුවෙන්නට වැලි ගොඩවල් යට තැන්පත් කළ බෙල්ලන් එළියට අදින මිනිසුන් අසලටම ගිය ආර්යාව එම මිනිසුන් සමග කතා කළ බව ද ඒ වනවිටත් පණුවන්ගෙන් පිරුණු මස් ගුළි එළියට අදිමින් සිටි කුලීකාරයන් ආර්යාව දැක මවිත වූ බව ද සඳහන් ය. 


 පළාතම දුඟදින් පිරී යන්නේ කුණුමස් වැලි අතරින් උඩට ගනිද්දීය. ඒ මදිවට පණුවන් දහස් ගණනකි. 


මේ සියල්ල එකිනෙක පරීක්‍ෂා කර වැලි ගොඩවල් වෙනමත් කුණු වූ මස් වෙනමත් ගොඩ ගැසීමට මේ කුණු ගඳ මැද කුලීකාරයෝ කටයුතු කරන්නේ නිලධාරීන්ගේ පෙළඹවීම නිසාය. 


අගනාම ද්‍රව්‍යය ඇත්තේ කුණුමස් සහ වැලි අතරය. එනම් මුතු ඇටයි. කාන්තාවන්ගේ ගෙල සුන්දර කරන්නේ මෙසේ ගලවා ගන්නා මුතු ඇට මගිනි. 


කිළිටි රෙදි ගුළි තුළ රිංගා සිටි කාන්තාවෝ රන්වන් පාටින් දිලිසෙන ආර්යාවගේ සම දෙස බලා සිටියහ. 
සමහර කාන්තාවන් සුදු කාන්තාවක දුටු පළමු දවස එදා වන්නට ඇත. 


ආර්යාව බැලුවේ කුණු වූ මුතු බෙල්ලන්ගේ කටු ගලවන කාන්තාවන් දෙසය. ඔවුන් මේ අප‍්‍රසන්න කටයුත්ත කරන්නේ ජීවත්වීමට කීයක් හරි සොයා ගන්නටය. සමහර කාන්තාවක ළඟ ඇති බෙල්ලන් ගුළි අතර පණුවන් නළියන බවත් මැස්සන් දහස් ගණනක් සිලිසිලි හා ඉගිලී යන බවත් දුටු ආර්යාව ඈ දෙස අනුකම්පාවෙන් බැලුවාය. සමහර කාන්තාවක ළඟ කුඩා දැරියක සිටියාය. ඇගේ හිසේ ද මුහුණේ ද මැස්සෝ ගණනාවක් වසා සිටිති. 


ඇතැම් කාලසීමාවල කහ උණ රෝගය ද අරිප්පුවේ ‘‘මුතු නගරය’’ පුරා පැතිර යයි. එය අරිප්පුවට එන්නේ ඉසුරු සොයා මුතු නගරයේ සේවයට එන සංක‍්‍රමණිකයන්ගෙනි. 


අරිප්පුවට එන සේවකයන් බහුතරය යාපනයෙනි. හලාවත සහ පුත්තලමෙන් ද ටික දෙනෙක් එති. මලබාරයේ, මදුරාසියේ සහ අරාබිකරයේ සිට එන ඇතැම් වෙළෙන්දෝ ද රෝග වාහකයෝ වෙති. 

මාල සෑදීම සඳහා මුතු ඇට විදින පිරිස්


මේ කොතැනක හෝ තැනකින් මුතු නගරයට ලැබෙන ‘‘කහ උණ දායාදයට’’ බිය නොවන්නෙක් නැත. ආසන්නතම ජනාකීර්ණ ප‍්‍රදේශය යාපනය වුවත් එහි ද හරිහමන් රෝහලක් නැත. මුතු නගරයට එන කුලීකාරයන් බහුතරය හැඩි දැඩි නහරකාරයන්ය. 


ඇතැම් ගම්පතිවරුන් ගම් පළාත්වල රස්තියාදු වන කරදරකාරයන් මුතු නගරයේ සේවයට එවන්නේ කරදරය ටික කාලයකට හෝ තම ගම් පෙදෙසින් ඉවත්කර ගැනීමේ අධිෂ්ඨානයෙනි. ගම්පති හෝ ආරච්චිල නියම කරන හෙයින් රස්තියාදුකාරයන්ට මුතු නගරයේ සේවය පිණිස යාමට සිදුවේ. 


මාස හතරක පහක පමණ කාලයක් මේ නිසා ගම්පතිලාට කරදරයෙන් නිදහස්වීමට ද හැකියාව ලැබේ. සමහර කරදරකාරයෝ කහ උණට ගොදුරු වී අවසන් ගමන ද යති. 


1832 වසරේදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය. අරිප්පුව පුරා කහ උණ රෝගය පැතිර ගියේය. 


උණ රෝගයට හසුවූවෝ කහ ගැහුණු සිරුරින් ද ඇවිද ගැනීමට අසීරුවෙන් ද යුතුව තැන තැන වාඩිගෙන සිටියහ. මිනිසුන්ගේ මළ මුත‍්‍ර වෙරළ පුරාම පිරී ගියේය. මළ මුත‍්‍ර විනාශ කරන්නට ආ සක්කිළින්ට ද රෝගය බෝවූයෙන් අරිප්පුව එකම නරකාදියක් වී තිබුණේය. ඒ වනවිට මුතුවාරය අරඹා මාසයක්වත් ගතවී තිබුණේ නැත. 


තත්ත්වය භයානක වන්නට වූයෙන් ආණ්ඩුකාරයා ආරක්‍ෂිතව කොළොම්තොටට පිටත්කර යැවූ ඉංග්‍රීසීහු අරිප්පුවේ මුතු කඩන වාරය නිම කරන බවට අණබෙර යැවූහ. එමගින් අරිප්පුවේ රැස්ව සිටි දහස් ගණන් ජනයා ගම්බිම් කරා පිටත්කර යැවීම අරමුණු කළ ද එසේ ගිය අයගෙන් යාපා පටුන ද උණ රෝගීන්ගෙන් පිරී ගියේය. 


 දහස් ගණන් නිරෝගී ජනයා පටවාගෙන මුතු අගනුවර කරා ආ කරත්ත මුතුවාරය අතරමැද දී දහස් ගණන් රෝගීන් පටවාගෙන ආ පාරේ ආපසු ගියේය. අරිප්පුවට එද්දී ගී ගයමින්, බෙර වයමින් සතුටින් ආ ගමන යාල්පානමට ආපසු යද්දී ඒ අයුරින්ම තිබුණේ නැත. මන්නාරම් බළකොටුව උණ රෝගීන් හා ඒ අහලකටවත් වැද්ද නොගන්නට තීරණය කර තිබූයෙන් රෝගීන් පිරුණු කරත්ත මහ වනය මැදින් වැටී තිබූ අබලන් කරත්ත පාරේ යාල්පානම කරා ගාට ගාටා ගියේය. 


1831 වසරේ මුතු නගරයේ තවත් කරදරයක් පැතිර ගියේය. එනම් කිමිදුම්කරුවන් මුහුදට යාමට පෙර කරන සාම්ප‍්‍රදායික වතාවකට සුදුසු පූජකවරයකු නොමැතිවීමය. එය වූයේ අහඹු සිදුවීමකිනි. 


 සිලාවතුර මරිච්චිකට්ටි අරිප්පු මුහුදු තීරය මෝරුන් බහුල ප‍්‍රදේශයක් ලෙස එකල සැලකිණි. මුතු නෙලාගත යුත්තේ මේ මුහුදෙන් හෙයින් කවර ක‍්‍රමයකින් හෝ මුහුදට යා යුතුය. මේ නිසා මුහුදට අරක්ගත් යක්‍ෂයන් මෙල්ල කර මුහුදු ප‍්‍රදේශය පිරිසිදු කරගැනීම පූසාරිවරයකු ලවා කරගත යුතුය. මේ පූසාරිලා ආවේ යාපනයෙනි. 


 මේ සඳහාම ඩෙල්ෆ්ට් දූපතේ නම් දැරූ පූසාරිලා පිරිසක් ජීවත් වූහ. ප‍්‍රධාන පූසාරිවරයකු යටතේ ගෝල බාලයෝ පිරිසක් ඩෙල්ෆ්ට් දූපතේ සිට එන්නේ එම දුපතේ ඇති පතුල නොපෙනෙන ළිඳකින් ගත් ‘‘ශුද්ධ වූ ජලය’’ ද සමගය. මුතු කඩන වාරය ආරම්භ වූ පසු පළමුව කෙරෙන කටයුත්ත මුහුද පිරිසිදු කිරීමය. 


පූසාරිලාගේ කටයුත්තට පෙර මුහුදු කාන්තාවගේ වේසයෙන් සැරසුණු කාන්තාවක් හිමිදිරි පාන්දර අරිප්පු වෙරළේ සුන්දර නර්තනයක යෙදෙන්නීය. ඇය සැරසී සිටින්නේ දුහුල් සළු පිළියෙනි. එම සළු පිළි මුහුදු ජලයට හුරු වර්ණයක් ගනියි. ඇය මුහුදු දියකඳට බැස නර්තනය කළ පසු පූසාරි දියට බැස යක්‍ෂයන් බන්ධනය කිරීම සඳහා ස්තෝත‍්‍ර කීම අරඹයි. 

 

මුතු කැඩීමට මුහුදට බැසීම

 


එම ස්තෝත‍්‍ර මගින් මුහුදේ සිටින මෝරුන්ගේ මුඛ වැසෙන බවටත් ඔවුන්ට තමන් ගොදුරු කරගැනීම සඳහා මුව විවර නොවන බවත් මුහුදු යන කිමිදුම්කාරයෝ විශ්වාස කරති. මේ විශ්වාසය මත හත් අට දහසක් වන කිමිදුම්කාරයන්ගේ මුතු නෙලීමේ රාජකාරිය ගැට ගැසී තිබේ. 


 මුහුදු යක්‍ෂයා පලවා හැරීමේ නර්තනය සඳහා විෂු සහ රුලිනි නමින් යුත් සොයුරු සොයුරියන් දෙපළක් 1831 වසරේ මුතු නගරයට ආ බව ‘‘ඇන් එකවුන්ට් ඔෆ් පර්ල් නිෂරිස් ඔෆ් සිලෝන්’’ කෘතියේ සඳහන් වේ. 


එවකට මෙරට ආණ්ඩුකාරයා වූයේ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ය. ඒ වනවිට බ්‍රිතාන්‍ය රජයට ආදායමක් ලබාගැනීම සඳහා තිබූ එක් ස්ථානයක් වූයේ මෙම මුතු පර නිසා බ්‍රිතාන්‍ය නිලධාරීහු මෙම තාවකාලික මුතු නගරයට දැඩි නීති රීති යොදා මුතු බෙල්ලන් නෙලමින් සිටියහ.
 
මතු සම්බන්ධයි. 
ප්‍රේමකීර්ති රණතුංග