මිලියන ගණනකට මරු කැඳවූ ‘ස්පාඤ්ඤ’ වෛරස් උණ


 

ලොව පුරා කලින් කලට විවිධ ලෙඩ රෝග හා වසංගත පැතිර යාම වර්තමානයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. පසුගිය දිනවල අප රටේ ද ඉන්ෆ්ලුඑන්සා ඒ නොහොත් එච්1එන්1 වෛරසය මගින් ඇති කරන ලද උණරෝගය පැතිර ගියේය.

සාමාන්‍යයෙන් මෙම රෝගය බෝවන්නේ රෝගියකුගේ කෙළ හා සොටු දියරවලිනි. එච්1එන්1 වෛරසය ලොව පුරා බහුලව පැතිර ගියේ  2009 වසරේ වුවද  එය මුලින්ම ව්‍යාප්ත වූයේ මින් සියවසකටත් ඉහත එනම් 1918 වැනි කාලයේය. මිලියන ගනනකට මරු කැඳවූ එම වසංගතය එකල හැඳින්වූයේ ස්පාඤ්ඤ ඉන්ෆ්ලුඑන්සාව නමිනි.


1918ත් 1919ත් අතර කාලයේ ලා ග්‍රිපෙ, ලා ග්‍රිපෙ එස්පැනොලා නොහොත් ස්පාඤ්ඤ ඉන්ෆ්ලුඑන්සාවෙන් ලොවපුරා ජනගහනයෙන් මිලියන 50ත් 100ත් අතර පිරිසක් මරණයට පත් වූ බවට වාර්තා විය. මානව ඉතිහාසයේ ඇති වූ මාරාන්තික වසංගතයක් වශයෙන් එය ඉතිහාසගතය.


1918 වසරේ මෙම රෝගය ලොව පුරා ව්‍යාප්ත වන්නට විය. එච්1එන්1 වෛරසයේ බලපෑමෙන් සිරුරේ සෛල විනාශ වීම හේතුවෙන් මරණය සිදු වූ අතර වැඩිවශයෙන්ම ආසාදනයට ලක් වූයේ පෙණහළු සෛලය. ප්‍රතිශක්තිකරණ ශක්තිය අනවශ්‍ය පරිදි උත්තේජනයකට ලක්වීමෙන් ශරීරගත ප්‍රෝටීන පෙනහළු පටක මතට කාන්දු වී එහි සෛල විනාශ වීම රෝගයේ ලක්ෂණ ලෙස හඳුනාගනු ලැබිණි. රෝගියාට ආශ්වාස ප්‍රස්වාස කිරීමේ අපහසුතා ඇති වීමෙන් ඔහු මරණයට පත්වේ. මෙය වසංගතයක් ලෙසින් ලොව පුරා පැතිර යන්නට විය. 


පළමුවැනි ලෝක යුද සමයේ සිවිල් ජනයාගේ සහ සොල්දාදුවන්ගේ  චිත්තධෛර්යය බිඳ වැටීම වළක්වා ගැනීමට ජර්මනිය, බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ ඇමෙරිකාව වැනි රටවලට අවශ්‍ය විය. ඔවුහු තම රටවල පුවත්පත්වල වසංගතය හා මරණ සම්බන්ධ වාර්තා පළ කිරීමට වාරණයක් දැමුහ. එහෙත් මැදිහත් රාජ්‍යයක් වූ ස්පාඤ්ඤයේ පුවත්පත්වලට එවැනි වාරණයක් නොතිබිණි. පළමුවන ලෝක යුද්ධයේදී සටන් කළ හමුදා භටයන්ගෙන් විශාල පිරිසක් මෙම රෝගයෙන් මිය ගිය බවට වන වාර්තා පළ කළ එකම යුරෝපා රාජ්‍යය වූයේ ස්පාඤ්ඤයයි. මෙවැනි පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤයට විවිධ නම් පටබැඳිණි. මෙම රෝගයට ‘ස්පාඤ්ඤ ඉන්ෆ්ලුඑන්සාව’ යන නම පටබැඳුණේ එරට පුවත්පත් මගින් රෝගය හා මරණ පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබාදීම හේතුවෙනි.


මෙම රෝගයේ සම්භවය සම්බන්ධයෙන් විවිධ මත පවතී. එය ප්‍රථමයෙන් වාර්තා වූයේ ඇමෙරිකාවේ කැන්සාස්හි පිහිටි රයිලි බලකොටුව ආසන්නයේ පිහිටි ෆන්ස්ටන් හමුදා කඳවුරෙන් බවට මතයක් පැවතියේය. ෆන්ස්ටන් හමුදා කඳවුර පළමුවැනි ලෝක යුද්ධයට සහභාගී වූ ඇමෙරිකානු සෙබළුන් හට පුහුණුව ලබා දුන් ප්‍රධාන කඳවුරකි. එම කඳවුරේ පළමු රෝගියා පිළිබඳව වාර්තා වූයේ 1918 මාර්තු 11 වැනි දිනය. ඒ එහි අරක්කැමියා වූ සෙබළ ඇල්බට් ගිචෙල්ය. ඉතිහාසඥයකු වන ඇල්ෆ්‍රඞ්  ක්‍රොස්බි වාර්තා කරන අන්දමට මෙම රෝගයේ මූලය කැන්සාස් ප්‍රදේශයයි. එය වඩාත් නිවැරදි කරමින් ජෝන් බැරී නම් ලේඛකයා රෝගය පැතිර යන්නට වූයේ කැන්සාස්හි හස්කල් කවුන්ටි ප්‍රදේශයෙන් බවට තහවුරු කළේය.


එහෙත් බි්‍රතාන්‍ය රාජකීය ලන්ඩන් රෝහලේ සහ සාන්ත බර්තොලමියු රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් 1999දී මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණයකට අනුව මෙම මතයට විරුද්ධ මතයක් ඉදිරිපත් වූයේය. එහි ප්‍රධානියා වූ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජෝන් ඔක්ස්ෆර්ඞ් ඇතුළු කණ්ඩයමේ පර්යේෂණවලට අනුව තහවුරු වූයේ මෙම රෝගය ප්‍රංශයේ එටාප්ලස් ප්‍රදේශයේ රෝහල් කඳවුරක සිටි සෙබළුන් පිරිසකට ප්‍රථමයෙන් වැළඳී ඇති බවකි. මෙම වෛරසය පක්ෂීන්ගේ සිරුරේ තිබී එම කඳවුර අසළ ගොවිපළක සිටි සූකරයන්ට පැතිරෙන්නට ඇති බවත්, සෙබළුන් එම සුකරයන් ආහාරයට ගැනීම හේතුවෙන් ඔවුන් අතර රෝගය පැතිර යන්නට ඇති බවත් ඔවුන්ගේ නිගමනය වී තිබේ.


තවත් පර්යේෂකයන් පිරිසකට අනුව එය නැගෙනහිර ආසියාවෙන් පැතිර ගිය බවට මතයක් පවතින අතර එය චීනයෙන් පැතිර යන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති. චීනයෙන් ඇමෙරිකාවේ බොස්ටන් නුවරටත්, එතැනින් ප්‍රංශයේ බ්‍රෙස්ට් ප්‍රදේශයටත්, එතැනින් යුරෝපා සටන් පෙරමුණටත් ව්‍යාප්ත වන්නට ඇතැයි එච්1එන්1 වෛරසය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය සී. හැනවුන්ගේ මතය වී තිබේ. දේශපාලන විද්‍යාඥයකු වන ඇන්ඩෲ ප්‍රයිස් ස්මිත්ගේ මතය වනුයේ මෙම රෝගය 1917දී ඔස්ටි්‍රයාවෙන් පැතිර ගිය බවටය.


සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුඑන්සා රෝගයෙන් මරණයට පත්වනුයේ මහල්ලන් සහ ළදරුවන් වුවද මෙම වෛරසයෙන් මිය ගියේ  තරුණ වියේ පසු වූ පුද්ගලයන්ය. 1918 පැතිර ගිය වෛරසය එතරම් දරුණු වූයේ කෙසේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයන පර්යේෂකයන් පවසනුයේ එය අසාමාන්‍ය ප්‍රචණ්ඩකාරී මුහුණුවරකින් පැතිරයන්නට ඇති බවය. රෝගයට ගොදුරුව මරණයට පත්වූවන්ගේ අධික ශීතලෙන් ගල් වූ සිරුරුවල තිබී එම වෛරසය සොයා ගැනීමට පර්යේෂකයන් කණ්ඩායමක් පසුකාලයේ සමත් වූහ. වෛරසය සතුන්ගෙන් පැතිර යන්නට ඇතැයි ඔවුහු නිගමනය කර තිබුණාහ. 


1918 කාලයේ නිකුත් කෙරුණු වෛද්‍ය වාර්තා පදනම් කර ගනිමින් මෑත කාලයේ සිදු කෙරුණු පර්යේෂණයන්ගෙන් අනාවරණ වූයේ මෙම වෛරසය ඉන් පෙර පැවැති වෙනත් වෛරසවලට වඩා දරුණු නොවූවක් බවයි. එහෙත් එවක පැවැති දුර්වල සනීපාරක්ෂක ක්‍රම, මන්දපෝෂණය, රෝහල් සහ වෛද්‍ය කඳවුරුවල පැවැති තදබදය හේතුවෙන් බැක්ටීරියා පහසුවෙන් වර්ධනය වීමෙන් විශාල පිරිසකට මරණය ගෙන දෙන්නට ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති.


කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ත විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥ මාක් හම්ප්රීස් 2014  හෙළිදරව් කළ තොරතුරුවලට අනුව පළමුවන ලෝක යුදසමය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වූයේය. 1918 කාලයට අයත් මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු රැසක් ඔහු විසින් අනාවරණ කරගෙන තිබේ. පළමුවන ලෝක යුද්ධයේදී ඉංග්‍රීසි හා ප්‍රංශ බටහිර සටන් පෙරමුණේ සේවය සඳහා 96,000 අධික චීන කම්කරුවන් පිරිසක් යොදා ගෙන ඇති බවත් ඔවුන්ගෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන්නට ඇති බවටත් ඔහු අනුමාන කර තිබේ. 1917 නොවැම්බර් මාසයේ මෙම වෛරසය මගින් ඇති කරන රෝගයට සමාන රෝගයක් උතුරු චීනයේ පැතිර ගොස් ඇතැයි හම්ප්රිස්ගේ වාර්තාවලට අනුව අනාවරණ වී තිබේ. රෝගය පැතිර වසරකට පසු චීන වෛද්‍ය නිලධාරීන් විසින් මෙම රෝගය හඳුනාගනු ලැබූ අතර ඔවුන් සඳහන් කර ඇති රෝග ලක්ෂණ ස්පාඤ්ඤ ඉන්ෆ්ලුඑන්සාවට සමාන යැයි හම්ප්රිස් කියා සිටී. එහෙත් චීන වෛද්‍ය සභාව මගින් 2016 පළ කෙරුණු වාර්තාවකට අනුව මෙම රෝගය චීනයෙන් යුරෝපයට සංක්‍රමණය නොවූ බවට ඔවුන් අවධාරණය කර තිබේ.


රෝගය පැතිර යන්නේ කිඹුහුම් මගින් සහ කැස්ස මගිනි. පළමුවන යුද සමයේ හමුදා භටයන් විශාල පිරිසක් යුද පෙරමුණේදී එකිනෙකාට සමීපව සිටි අතර ආසාදිත පුද්ගලයකුගෙන් රෝගය පහසුවෙන් පැතිර යෑමට හැකියාව පවතී. ප්‍රතිශක්තිය හීන සොල්දුදාවන් අතර මෙය පහසුවෙන් පැතිර යන්නට ඇති බවත් යුද්ධයේ බිහිසුණු බව නිසා ඇතිවූ මානසික ආතතිය හා රසායනික ප්‍රහාර මගින් ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය හීන වන්නට ඇතැයි පර්යේෂකයෝ අනුමාන කරති.


කැන්සාස්හි හැස්කල් කවුන්ටි ප්‍රදේශයෙන් මෙම වෛරසය මුලින්ම හඳුනා ගනු ලැබුවේ වෛද්‍ය ලොරින් මයිනර් විසිනි. 1918 මාර්තු 04 වැනිදා භට කණ්ඩායමේ කෝකියා වූ ඇල්බට් ගිට්චෙල් රෝගාතුර වූ අතර නොවැම්බර් 11 වැනිදින දහවල වන විට සොල්දාදුවන් 100කට ආසන්න පිරිසක් රෝහල් ගතවී තිබිණි. දින කිහිපයකට පසු 522කුට රෝගය වැළඳී තිබිණි. වෛරසය නිව්යෝක් නුවර තෙක් පැතිර ගියේය. 1918 අගෝස්තු වන විට එය ප්‍රංශයේ බ්‍රෙස්ට්, සියරාලියොනයේ ෆ්‍රී ටවුන්, ඇමෙරිකාවේ මැසචුසෙට් දක්වාද පැතිර ගිය අතර අයර්ලන්තයට නැවත පැමිණි සොල්දාදුවන් විසින් එය අයර්ලන්තයේද පතුරුවාහරින ලදහ. අප්‍රකට පැසිෆික් දූපත්වල මෙන්ම උත්තරධ්‍රැවයේද පැතිර යන්නට විය. 1918 අගෝස්තුවේ මරාන්තික ඉන්ෆ්ලුඑන්සාවේ දෙවැනි ප්‍රහාරය පැතිර ගියේය. එය පළමු ප්‍රහාරයටත් වඩා මරාන්තික විය. 


රෝගයෙන් සිදුවූ මරණ සංඛ්‍යව ස්ථිර වශයෙන්ම ගණනය කෙරී නොමැති වුවද රෝගයට ගොදුරුවූවන්ගේ 20%ක් පමණ මරණයට පත් වූ බවට නිගමනය වි තිබේ. එමඟින් ලොව සමස්ත ජනගහණයෙන් 3%ත් 5%ත් අතර ප්‍රමාණයක් එනම් මිලියන 50ත් 100ත් අතර සංඛ්‍යාවක් මරණයට පත් වූයේ මානව සංහතියේ මාරාන්තිකම ස්වාභාවික ආපදාව බවට පත් වෙමිනි. 


වෛරසය පැතිරී ගිය පළමු සති 25 ඇතුළත මිලියන 25කට අධික පිරිසක් මරණයට පත් වූ බවට වාර්තා වේ. ඉන් මරණ මිලියන 17ක් වාර්තා වූයේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවැති ප්‍රදේශවල පමණක් මියගිය සංඛ්‍යාව මිලියන 14ක් පමණ විය. ජපාන ජාතිකයන්ගෙන් මිලියන 23ක් රෝගයට ගොදුරු වූ අතර ඔවුන්ගෙන් 390,000 මියගියහ. ඕලන්ද නැගෙනහිර ඉන්දියානු කලාපයේ (වර්තමාන ඉන්දුනීසියාවේ) රෝගීන් මිලියන 30ක් වාර්තා වූ අතර ඉන් මිලියන 1.5ක් මරණයට පත් වුහ. තහිටියේ සමස්ත ජනගහනයෙන් 13%ක් මසක් ඇතුළත මරණයට පත්වූහ. සමෝවාවේ සමස්ත ජනගහණයෙන් 22% නොහොත් 38,000 පිරිසක් මාස දෙකක් ඇතුළත මරණයට පත් වූහ. ඇමෙරිකානු එක්සත් ජනපදයේ සමස්ත ජනගහනයෙන් 28%ක් ආසාදනයට ලක් වූ අතර ඔවුන්ගෙන් 500,000ත්  675,000ත් අතර පිරිසක් මරණයට පත් වූහ. ඇලස්කාවේ ගම්බද ජනගහනයෙන් විශාල පිරිසක් මරණයට පත් වූ අතර කැනඩාවේ 50,000ක්ද, බ්‍රසිලයේ ජනාධිපති රොඞ්රිගෝ ඇල්වෙස් ඇතුළු 300,000ක්ද බි්‍රතාන්‍යයේ 250,000ක්ද ප්‍රංශයේ 400,000කට අධික පිරිසක්ද, ඝානාවේ 100,000ද ඔස්ටේ්‍රලියාවේ 12,000ද වශයෙන් මරණයට පත්වී තිබිණි.


ආසියාවේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් අවම මරණ සිදුවූයේ ජපානයේය. ජපාන රජය මුහුදු මගින් කෙරෙන සියලු ගමනාගමන කටයුතු පාලනය කිරීමට පියවර ගැනීම හේතුවෙන් මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට සමත් විය. පැසිපික් සාගරයේ ඇමෙරිකානු සැවෝමා සහ ප්‍රංශ කොලනියක් වූ නව කැලිඩෝනියාවේ එකදු මරණයක් හෝ වාර්තා නොවුයේ ඔවුන් සාර්ථක නිරෝධායන ක්‍රම අනුගමනය කිරීමට පියවර ගත් බැවිණි. රෝගය පැතිරයාමෙන් වැළකුණු එකම රට වූයේ බ්‍රසිලයේ ඇමසන් නදී ඩෙල්ටාවේ හුදෙකලා දිවයිනක් වූ මරායෝ රාජ්‍යය පමණි.


ගත වු වසර 24ක කාලය තුළ ඒඞ්ස් රෝගයෙන් මියගිය සංඛ්‍යාවට වඩා අධික පිරිසක් පළමු සති 25 ඇතුළත ඉන්ෆ්ලුඑන්සා රෝගයෙන් මිය ගොස් තිබිණි. එහි බලපෑමෙන් 20 වැනි සියවසේ මුල්කාලීන වැසියන්ගේ ආයු කාලයද කෙටි වූ අතර ඇමෙරිකානුවන්ගේ ආයුකාලය වසර 12කින් අවම වු බවට වාර්තා විය. එහි අවුරුදු 20ත් 40ත් අතර වයස් සීමාවේ පසු වූවන්ගෙන් අඩක් පමණ මෙම රෝගයේ ගොදුරු බවට පත්වී තිබිණි. 


මෙම රෝගය පාලනය අසීරු වූයේ එය ඩෙංගු හෝ කොළරාව හෝ ටයිෆොයිඞ් උණ හෝ ආදි වශයෙන් වැරදි ආකාරයට හඳුනා ගැනීම හේතුවෙනි. රෝගය උත්සන්න වූවන්ගේ නාසයෙන් හා දෙකන්වලින් රුධිරය ගලන්නට වූ අතර අවසානයේ මරණයට පත් වූහ. ඇතැමුන්ගේ චර්මය විවිධ ස්ථාවලින් පුපුරා රුධිරය වහනය වන්නට විය. තවත් පිරිසක් මරණයට පත් වූයේ බැක්ටීරියා නිව්මෝනියාවෙනි.


2009 පළ කෙරුණු වෛද්‍ය වාර්තාවකට අනුව ඇමෙරිකාවේ ඉන්ෆ්ලුඑන්සාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව වර්ධනය වූයේ ඇස්පිරින් විෂවීම හේතුවෙන් යැයි කැරන් සටාර්කෝ සඳහන් කර තිබේ. එකල සිදු වු මරණවල වෛද්‍ය වාර්තා නිරීක්ෂණය කිරීමේදී 1918 ඔක්තෝබර් මාසයේ මරණ සංඛ්‍යාවේ ඉහළ අගයක් පෙන්නුම් කරන අතර ඇමෙරිකානු එක්සත් ජනපද හමුදාවේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා රෝගීන්හට ඇස්ප්‍රින් අධි මාත්‍රාවෙන් නිර්දේශ කිරීමෙන් පසු එම තත්ත්වය උදාවී ඇතැයි ඇය පෙන්වා දෙන්නීය. ඔහු එක් රෝගියකුහට ඇස්ප්‍රින් ග්‍රෑම් 8.0 සිට 31.2 වැනි ප්‍රමාණයක් නිර්දේශ කර තිබේ. එහෙයින් බොහෝ මරණවලට එම අධි මාත්‍රාවද බලපාන්නට ඇතැයි ඇය අනුමාන කරන්නීය.


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා