මිල්ටන්ගේ ‘‘අපූරු’’ අමනාපකම්


හදවත් ආදරයෙන් පිරවූ මිල්ටන් මල්ලවආරච්චිගේ උපන් දිනය යෙදී ඇත්තේ මේ මස 7 වැනිදාය. ඔහු අද ජීවත්ව සිටියේ නම් අවුරුදු 77කි.  

1944 අප්‍රේල් 7 වැනිදා උපන් ඔහු මෙලොව හැර ගියේ 1998 මාර්තු 10 වැනිදා 54 වැනි වියේදීය.  


ඔහුගේ මියුරු හඬ නිහඬ වී වසර 23කට ආසන්න කාලයක් ගත වුව ද ඒ ආදර ගීත තවමත් රසිකයන්ගේ මුවග රැව් දෙයි. විවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රතිිනිර්මාණය වී අසන්නට ලැබෙයි.  


මිල්ටන් උපන්නේ කෝට්ටේය. ගමේ බොහෝ දෙනා මිල්ටන් හැඳින්වූයේ සුමනසිරි නමිනි. ඔහු ඉගෙනුමට දක්ෂ දරුවෙක් විය. එමෙන්ම ඒ කාලයේ සිටම ඔහු ගීත ගැයුවේය.  
අමරදේවයන්ගේ සිනිඳු සුදු මුදු තලාවේ, ගීතය එකල ඔහු බෙහෙවින් ප්‍රිය කළේය. ඒ හැරුණු විට විවිධ හින්දි ගීත ගැයුවේය. සී.ටී. ප්‍රනාන්දුගේ පින්සිදුවන්නේ, ඔහු වඩාත් ප්‍රිය කළ තවත් ගීතයක් විය.  


ගමේ හැටියට කිව්වොත් සුමනසිරිගේත්, සංගීත අධ්‍යක්ෂ සුනිල් ධර්ම​සේනගේත් ගෙවල් තිබුණේ එක ළඟය. සුමනසිරිත්, සුනිලුත් අධ්‍යාපනය සඳහා ගියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයටය. සුමනසිරි සුනිල්ට වඩා පන්ති කීපයක් ඉහළින් සිටියත් ගමේ කමත්, එකම පාසලත් නිසා මිත්‍රත්වය ඉතා දැඩි විය.  
‘‘මිල්ටන් වයස 17 දී විතර කෝට්ටේ ෆාදර් කෙනෙක් ළඟට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියා. මමත් ඒ පන්තියට සහභාගි වුණා. මිල්ටන් ඒ පන්තියේ දී හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඒත් ඔහු කවදාවත් ඒ කාලේ ඉංග්‍රිසියෙන් කතා කරන්නෙ නෑ. ඉංග්‍රීසි භාෂාව හොඳින් දැන ගත්තත් ඔහු පසු කාලෙ දී වුණත් වැඩිය ඉංග්‍රීසියෙන් කතා කරන්න කැමැති වුණේ නෑ.”  
“මිල්ටන්ට සින්දු කියන්න මයික් එකක් ඕනෙ නෑ. ඔහු සින්දු කියන්නෙ මහා හඬින්. අපේ පුංචි අම්මලගෙ බේකරියක් තිබුණා කෝට්ටේ. ඕකෙ බක්කරේ ඉන්න තැන ගෝනි උඩ වාඩිවෙලා අපි සින්දු කියනවා. මිල්ටන්ට හොඳට ඩොලැක් ගහන්න පුළුවන්. ඔහු ඩොලැක් එක ගහමින් තමයි හයියෙන් සින්දු කියන්නේ.”  
‘‘දැන් මම මිල්ටන් කියල කිව්වට ඒ කාලෙ අපි සුමනසිරි කියලයි කතා කළේ. දිනෙක සුනිල්, මිල්ටන් සමග අමිතා වැදිසිංහ හමුවීමට ගියේය. ඒ මිල්ටන්ට ගීයක් ගැයීමට අවස්ථාව ගෙන දීමටය.  


කෝට්ටේ සිට නුගේගොඩට බස් රථයෙන් ගොස්, කිරුලපන සිටි අමිතා වැදිසිංහ හමුවීමට ඔවුහු රේල් පාර දිගේ පයින්ම ගියහ. බස් ගාස්තුවටවත් මුදලක් ඔවුන් අත නොතිබිණ.  
එදා අමිතා ඉදිරියේ මිල්ටන් අමරදේවගේ ගීතයක් ගැයූ විට ඇගේ නෙත් ඉහළ ගියේය. ඊළඟට ඔහු හින්දි ගීයක් ගැයුවේය. එහෙත් ඔහුට අවස්ථාවක් නොලැබුණත්, අමිතා ඔහුගේ ගායන දක්ෂතා අගය කළාය. එහෙත් පසුව අමිතාගේ සරල ගී වැඩසටහනක ඔහුට අමිතා සමග ගයන්නට අවස්ථාව ලැබිණ.  
චිත්‍රපට අධ්‍යක්ෂ හර්බට් රංජිත් පීරිස් එකල ශාක්‍යන්ස් සංගීත කණ්ඩායමේ එකෝඩියන් වාදකයා විය. මිල්ටන් එහි ගායකයකු ලෙස කටයුතු කළේය.  
ඉන්පසුව ලා සිලනියන්ස් කණ්ඩායමේ ද ඔහු ගීත ගායනා කළේය. ‘‘දහදුක විඳලා’’ ගීතයේ දෝරා කොටස ගායනා කළේ මිල්ටන්ය. ‘මේ තරුණ ජීවිතේ විනෝදයෙන්’ ගීතයට ද ඔහු සම්බන්ධ විය.  


පටිගත කිරීමකට සහභාගි වූ අවස්ථාවක දී ශබ්ද පරිපාලන මර්වින් රුද්‍රිගෝ මිල්ටන් ගැන පැට්රික් කොරයාට කියා ඇත්තේ ‘‘කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මිල්ටන්ගෙ සින්දු ටිකක් කරන්න. ජනප්‍රිය වෙයි’’ කියාය. ඒ නිසාම මිල්ටන්ගේ ප්‍රථම ගීතැටි එළියට ආවේය. එම තැටි ‘‘ඔරුවක පාවෙන, සංසාර සෙවණැල්ල, රන් කූඩුව හා මා නෙත් විය.  
ඒ ගීත බෙහෙවින් ජනප්‍රිය වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ජනප්‍රියත්වය සමගම ඔහුට දිනපතා ලැබෙන රසික ලිපි සංඛ්‍යාව ද අධික වන්නට විය.  
ඒ කාලේ තැපැල්කරු ලොකු ලියුම් මල්ලක් ගෙනත් දෙනවා. අපි තමයි ඒවට උත්තර ලියන්නෙ. යාළුවෝ ලියුම් ලියල දුන්නම මිල්ටන් එයාගෙ අත්සන ගහනවා.” සුනිල් කියයි.  
“මිල්ටන් අම්මට හරිම ආදරෙයි. අම්ම නැති වුණාට පස්සෙත් මිල්ටන් අම්මා වෙනුවෙන් දාන මාන කටයුතු හරියටම කළා. ඇත්තටම මිල්ටන් හොඳ බෞද්ධයෙක්. මට මතකයි වරක් මිල්ටන් කෝට්ටෙ රජමහා විහාරයේ දොරකඩ අස්න කියෙව්වා” මිල්ටන්ගේ ජනප්‍රියත්වය කොතෙක්ද යත් ඔහුට දිනපතාම සංදර්ශනවලින් අඩුවක් නොවීය. ඔහු සංගීත සංදර්ශනවලට යෑම සඳහා ශ්‍රී ලංකා සිතියමක් භාවිත කළේය. දුර ප්‍රමාණය ඔහු බැලුවේ ඇඟිලි බාගය, අැඟිලි බාග දෙක, කිලිනොච්චිය වැනි දුර පළාතක නම් වියත ආදී වශයෙනි.   
වරක් රට පුරා සංගීත සංදර්ශන බාරගැනීම නිසා මිල්ටන් සමග සත්සර වාදක මණ්ඩලය අමනාප විය.  


එකල සත්සර වාදක මණ්ඩලයේ වාදනය කළේ සරත් ද අල්විස්, අර්නස්ට් සොයිසා, සුසිල් පෙරේරා, උපාලි කන්නන්ගර, ඩයමන්ඩ් පෙරේරා, සෙබස්තියන් ප්‍රනාන්දු. මිල්ටන්ගේ ගමේ මිතුරු සුනිල් ධර්මසේනය. එය රක්වාන ප්‍රදේශයේ පැවැත්වූ සංගීත සන්දර්ශනයකි. මොහිදින් බෙග්, ඇන්ජලින් ගුණතිලක, ශ්‍යාමලි ලිවේරා, මිල්ටන් මල්ලවආරච්චි සහ ඒ.ඊ. මනෝහරන් මීට සහභාගි වීමට නියමිතව සිටියහ. 

 
සන්දර්ශනයේ දී බෙග්ට ගීත දහයකටත් වඩා ගයන්නට සිදුවූයේ මිල්ටන්ගේ ප්‍රමාදය නිසාය. ඇන්ජලින් හා ශ්‍යාමලී ද බොහෝ වේලා ගී ගැයූ අතර, අන්තිමට සුසිල් ප්‍රනාන්දුගේ ඩ්‍රම්ස් වාදනයක් ද ඉදිරිපත් කෙරිණි. එහෙත් මිල්ටන් හා මනෝහරන් නැත.  


රෑ 12ත් පසුවීත් මිල්ටන් එන පාටක් නැති නිසා ජාතික ගීය වාදනය කිරීමෙන් පසු සන්දර්ශනය නිමා කෙරිණ. මහ රෑ එක පසුවී මිල්ටන්ගේ වාහනය වට වංගු අතරින් රක්වානේ කඳු නැග එද්දී නරඹන්නෝ ද පිටත්ව යාමට සුදානම් ව සිටියහ.  
එහෙත් මිල්ටන් පැමිණ මෝටර් රථයෙන් බසිනු දුටු රසිකයෝ යළිත් දිව ආහ.  


මිල්ටන් ඉල්ලා සිටියත් වාදක මණ්ඩල සාමාජිකයෝ නැවත සන්දර්ශනය යළි පටන් ගැනීම ප්‍රතික්ෂේප කළහ.   
“ජාතික ගීතයත් වාදනය කරල ඉවරයි. දැන් ආපහු ෂෝ එක පටන් ගන්න කොහොමටවත් බැහැ” සුසිල් පෙරේරා කීවේය. මෙයින් මිල්ටන් අමනාපයට පත්විය  
මිල්ටන් හා මනෝහරන් සමග දක්ෂ ට්‍රම්පට් වාදකයකු වූ සිසිල් ප්‍රනාන්දු ඔවුන්ගේ වාහනයේ සිටියේය. රසික ඉල්ලීම නිසා මිල්ටන්ට හා මනෝහරන්ට ට්‍රම්පට් වාදනය පමණක් යොදාගෙන එදා ගී ගයන්නට සිදුවිය. මෙයින් මිල්ටන් හා වාදක මණ්ඩල සාමාජිකයන් අතර විරසකයක් ඇති විය. එහි සිටි වාදකයන් වාදනය කරන කිසිම වේදිකාවක මිල්ටන් යළි ගී නොගයන බව එදා ඔහු කීවේය.  
එහෙත් ප්‍රවීණ සංගීතඥ සරත් දසනායකගේ නැගණියගේ මංගල්‍යයේ දී එහි වාදක මණ්ඩලයේ සරත් ද අල්විස් වාදනය කළේය එහිදී රක්වානේ ප්‍රශ්නය නිසා මිල්ටන් වේදිකාවට නගින්නට අදිමදි කළේය.  


එහෙත් සරත් දසනායකගේ ඉල්ලීම නිසා මිල්ටන් වේදිකාවට නැග ගී ගැයුවේය. අමනාපය තරමක් සමනය වූයේ ඒ අයුරිනි. පසු කලෙක සරත්, මිල්ටන් වෙනුවෙන් ගී තනු නිර්මාණය කළේය. කාලයත් සමග අනෙක් වාදකයන්ට විරසකය අමතක වුව ද මිල්ටන් මියයන තුරුම වේදිකාවල දී සුනිල් ධර්ම​සේන ඔහුට ගිටාරය වාදනය කළේ නැත.  
“ඒ කාලේ මම තමයි මිල්ටන්ගෙ ෂෝවලට බේස් ගහන්න එක්කගෙන යන්නෙ. යාළුකමට අපි දෙන්නා ලංකාව පුරාම ෂෝවලට යනවා. මේ සිද්ධියෙන් පස්සේ මිත්‍රත්වය නැතිවුණත් මම වාදනය කරන මිල්ටන් එන ෂෝවලට මම අමතර බේස් ගිටාර් වාදකයෙක් එක්කගෙන යනවා. මිල්ටන් එනකොට මම වේදිකාවෙන් බහිනවා. බේස් ගහන්නෙ අර අමතර වාදකයා.  


මේ අමනාපකම් නම් හරි අපුරුය. පුවත්පත්කලාවේදියකු ලෙස මා මිල්ටන් හා කොතෙක් සම්බන්ධ වී සිටිය ද මිල්ටන්ට ගීතයක් ලියන්නට මට මුලින්ම දුන්නේ සුනිල්ය. සුනිල් තනුවක් ද නිර්මාණය කර තිබිණ. මම ඒ තනුවට අනුව ගීතය ලීවෙමි. එහෙත් මගේ ගීතය බැලු මිල්ටන් එය ප්‍රතික්ෂේප කළේය.  
“මට මේ සින්දුවෙන් මොකක් හරි කතාවක් කියවෙන්න ඕනෑ. මේකෙ එහෙම එකක් නෑ” ඔහු කීවේය. එය යළිත් සකස් කර දෙන මෙන් සුනිල් මගෙන් ඉල්ලා සිටිය ද මම එයට කැමැති නොවූයෙමි.  


“ඕක හරියන වැඩක් නෙවෙයි” මම කීවෙමි. සුනිල් මිල්ටන් මියයන තුරුම සංදර්ශනවල දී බේස් ගිටාරය වාදනය නොකිරීමේ ප්‍රතිපත්තිය එසේම තියා ගත්තද ඔහු මිල්ටන්ට ගීත අටකටත් වඩා තනු නිර්මාණය කළේය. ඒ ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ සංගීතමය ටෙලි නාට්‍යයක් වෙනුවෙනි.  
විශේෂත්වය මිල්ටන් ඒ ගීත අටම ගායනා කළේ නොමිලේය. කිසිම දිනෙක සුනිල්ගෙන් සතයක්වත් ඉල්ලුවේ නැත. මා මේවා අපූරු අමනාපකම් යයි කීවේ ඒ නිසාය.  
මා ‘‘සාගර තරංගා’’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කිරීමේදී ද මා ලියූ සාගර තරංගා ගීතය ඇතුළු ගීත කිහිපයක්ම ගායනා කිරීමට මිල්ටන් තෝරාගෙන තිබුණත් රෝගීව රෝහල් ගත කිරීම නිසා ඒ අවස්ථාව අපට නැතිව ගියේය. පසුව ගීත සියල්ලම ජගත් වික්‍රමසිංහ ගායනා කළේය.  


සුනිල්ගේ තවත් ටෙලිනාට්‍යයකට මිල්ටන් වෙනුවෙන් ගීතයක් ලියන්නට යළිත් මට සිදුවිය. ‘යොවුන් වියේ හසරැල්ලේ’ නම් මගේ එම ගීතය පටිගත කරන දින මිල්ටන්ට ජගත් ගායනා කළ සාගර තරංගා ගීතය ද ශබ්දාගාරයේ දී අසන්නට දුන්නේය. මිල්ටන් එය අසා ඒ ගීතයට කැමැති වූයේය.  
‘‘කෝ උඹල අපිට මේ වගෙ සින්දු කරල දුන්නෙ නෑයි,’’ මිල්ටන් සුනිල්ට එදා කීවේය.  


මගේ මුල් ගීතය ප්‍රතික්ෂේප කළ ද මිල්ටන් කිසිදු ගැටලුවකින් තොරව යොවුන් වියේ ගීතය ගායනා කළේය. ඒ වන විට රෝගී තත්ත්වය නිසා එම ගීතය පේලියෙන් පේලිය ගීතය පටිගත කළ යුතු විය. රෝගී තත්ත්වයක සිටියත් ඔහුගේ හඬේ තිබූ මාධුර්​යයේ නම් අඩුවක් නොතිබිණි.  
මිල්ටන් මේ කාලය අතරතුර වරින් වර රෝගාතුර විය. ඒ නිසාම වරින් වර රෝහල් ගතවී සිටින්නට ද සිදුවිය.  


ඔය අතරතුර මිල්ටන්ගේ වැඩිමහල් පුතු වූ රනිල්ගේ ගීත එකතුවක් නිකුත් කිරීමට සුදානම්ව තිබිණ. එහි ‘ආවා එදා’ නමින් ගීතයක් ලියන්නට මට ලැබිණ.  
මිල්ටන්ගේ බලාපොරොත්තුව වූයේ රනිල් ගායකයකු ලෙස ජනප්‍රිය වී ඉදිරියට යනු දැකීමය. ඔහු සංගීත පට නිර්මාණය කරද්දී කීපවරක්ම ශබ්දාගාරයට පැමිණ ගීත ගැනත් ගීත රචනා ගැනත් සොයා බැලුවේය.  


මේ කාලය අතරතුර විජය රාමනායක ද මිල්ටන්ගේ අලුත් ගීත එකතුවක් එළිදක්වන්නට සූදානම් විය.  
මිල්ටල් මල්ලවආරච්චිගේ පමණක් නොව, සිංහල ගී ඉතිහාසයේම ප්‍රථම කැසට් පටය වූයේ මිල්ටන්ගේ ‘එනිටයිම් වැනි වෙයා’ කැසට් පටයයි. එය පසුව නම වෙනස් කර ‘සඳෙන් එහා’ නමින් එළිදැක්විණි. එය නිෂ්පාදනය කළේ ද විජය රාමනායකය.  
මේ නව ගීත එකතුව සඳහා ස්ටැන්ලි පීරිස් මිල්ටන් පීරිස් අාදී සංගීතඥයෝ රැසක්ම නව තනු නිර්මාණය කිරීමේ යෙදී සිටියහ. ස්ටැන්ලි පීරිස් මට එම ගීත එකතුවේ ගීත දෙකක් ලියන්නට බාර දී තිබිණි. ඒවා තනුවට අනුව ලිවිය යුතු ගීතය.  


මුලින්ම සංගීත පටය නිර්මාණය කෙරිණ. මම එම ගීත තනුවට අනුව ලියා ස්ටැන්ලිට දුනිමි.  
මිල්ටන්ට ගී ගයන්නට දින ද නියම කර තිබිණ. රෝගාතුර තත්ත්වයෙන් සිටිය ද මිල්ටන් තනු හා පද රචනා පිළිබඳව නුගේගොඩ නෙකෝ ශබ්දාගාරයට පැමිණ සොයා බැලුවේය. නව ගීත එකතුව කෙරෙහි ඔහුගේ විශාල බලාපොරොත්තුවක් තිබිණ ඇත්තෙන්ම මෙය මිල්ටන්ගේ අවසාන ගීත එකතුව විය හැකි යැයි ඔහුට සිතුනාවත් ද?  
මිල්ටන්​ ජෝති මෙන් එකවරම අදහස් ප්‍රකාශ කරන කලාකරුවකු නොවේ. ඒ ඔහුගේ හැටිය. ඔහු බොහෝ විටෙක නිහඬය.  
ගීත පටිගත කරන්නට දින නියම කර ගත්තද මරණය ඊට ඉඩ නොදුන්නේය. ඊට කලින් ගිලන් වූ ඔහු රෝහලට ඇතුළත් කෙරිණ. 1998 මාර්තු 10 වැනි ඔහු මෙලොව හැර ගියේය.  
එම ගීත එකතුව නිකුත් වූවා නම් එය විජය රාමනායක කළ ප්‍රථම කැසට් පටය ‘සඳෙන් එහා’’ සේම ‘‘හිම පාරාදීසේ’’ ලෙස නම් කර තිබූ මේ සීඩී පටය මිල්ටන්ගේ අවසන් ගීත එකතුව වන්නට තිබිණ.  


හිරුනැගී, කුසුමක් පිපේ නම් මා ලියූ එම ගීත දෙක ඇතුළු එම ගීත එකතුවේ එම සංගීත පට සඳහා පසුව ගායනා කළේ ජගත් වික්‍රමසිංහ විසිනි. එය පසු කලෙක ‘හිම පාරාදීසේ’’ නමින් වෙළෙඳ පොළට නිකුත් විය. මිල්ටන්ගේ හඬ තවමත් යොවුන් විය උන්මාදයට පත් කරන්නකි. ඒ ඔහුගේ හ​ෙඬ් ඇති ආදරණීය බව නිසාය.  
ශ්‍රී ලංකාවේ ගීත ඉතිහාසයේ ජනප්‍රියතම ගායකයන් අතරට එක්වන ඔහුගේ විශේෂත්වය වනුයේ මිල්ටන් කිසිම දිනෙක එතෙර සංගීත සංදර්ශන සඳහා සහභාගි නොවීමය.   
ඒ පිළිබඳව මිල්ටන්ගේ වැඩිමහල් පුතු රනිල් පවසන්නේ බොහෝ විටෙක ඊට හේතු දෙකක් බලපාන්නට ඇති බවයි.  


“ගුවන් ගමන් ගැන තාත්තගෙ අවිශ්වාසයක් තිබුණා. හිටිගමන් සිදුවන ගුවන් අනතුරු බොහෝ දුරට ඔහුගේ සිතට කාවදින්නට ඇත. අනෙක් කාරණය තමයි දීර්ඝ කාලයක් විදේශ සංචාර සඳහා ගත වෙන නිසා සිය පවුල තනිකර යන්නට ඇති අකමැත්ත.”  


මිල්ටන් සිය පවුල මුල් තැනට තබා කටයුතු කළ ගායකයකු බව මෙහිදී සඳහන් කළ යුතුය. 

 

රොඩ්නි විදානපතිරණ