මිරිස් කුඩු ගසා බැංකු කැඩූ හොරා අල්ලයි


අවිගත් දඩබ්ම

ආරක්ෂක නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කර සහ අත්බෝම්බයක් පෙන්වා කිරිබත්ගොඩ, කඳාන, වත්තල පොලිස් බලප්‍රදේශවල බැංකු සහ උකස් ආයතන කොල්ලකා ලක්ෂ 60ට ආසන්න මුදල් හා රන්බඩු කොල්ලකෑ මිරිස් කුඩු කොල්ලකරු නමින් ප්‍රසිද්ධියට පත් සැකකරු පසුගියදා කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිසියට කොටු විය.   


කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතා විසින් තවත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු වන තිලකරත්න (36122), මධුසංඛ (83272) යන අය සමඟ මෙම කොල්ලකරු පසුපස යතුරුපැදි දෙකකින් හඹා ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. 


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ද සැකකරු කරේ එල්ලා සිටි මල්ලේ ග්‍රෑම් 500ක පමණ මිරිස් කුඩු බෝතලයක් තිබී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය ඊරියවැටියේ පදිංචි කොටිගලගේ ජගත් සිසිර කුමාර (42) නමැත්තාය. 


මෙම සැකකරු දැනට කිරිබත්ගොඩ උකස් ආයතනයක්, කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවක්, වත්තල නගරයේ පිහිටි මූල්‍ය ආයතනයක් කොල්ලකා, තවත් බැංකු සහ මූල්‍ය ආයතන රැසක් කොල්ලකෑමට පැමිණ එම කොල්ලයන් මගහැරී ඇති බව පොලිසිය කියයි. මෙම කොල්ලකරු කාලයක් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවකු වූ අතර එක්දරු පියකු වන මොහු ඉතාමත් සැපවත් ජීවිතයක් ගතකර ඇති පුද්ගලයෙකි. ධනවත්, උසස් පැලැන්තියේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස සමඟ මොහු කටයුතු කර ඇති අතර අත්අඩංගුවට ගන්නා තෙක් එම පිරිස ද බැංකු කොල්ලකරු බවට දැන සිට නොමැත. 


මෙම කොල්ලය සඳහා එකම වර්ගයේ යතුරුපැදියක්, මුහුණ ආවරණ කරන සුදුපාට ලේන්සුවක්, මුදල් රැගෙන යාමට බෑගයක්, සීතලට අඳින ජර්සියක් මොහු භාවිත කරන බව ද පොලිසිය කියයි. 


 මොහුගේ මුල්ම කොල්ලය කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයකි. 


2017.9.22 දින සවස 5.50ට පමණ මොහු මෙම කොල්ලය සිදුකර තිබුණේ එහි සේවකයන්ට අත්බෝම්බයක් පෙන්වා බිය ගන්වමිනි. එහිදී රුපියල් ලක්ෂ 42කට ආසන්න වටිනාකමක් ඇති රන් මාල 40ක් පමණ මොහු කොල්ලකා පලාගොස් තිබුණි. සැකකරු කොල්ලයට පෙර එම ආයතනයට දින තුනක් වරින්වර පැමිණ එහි සේවයකයන්ගේ විශ්වාසය දිනාගෙන තිබුණේය. 


 පළමු දිනයේ ඔහු පැය 3ට ආසන්න කාලයක් එහි ගතකර ඇත. එහි සේවකයන්ට පවසා ඇත්තේ ‘මට නෙමේ මල්ලි මගේ වයිෆ්ට තමයි මේ බඩු ගන්න ඕනැ වෙලා තියෙන්නේ, එයා මග එනවා මම එයා එනකම් ඉන්නම්’ කියාය. 


එදින කාලය සේවකයන් සමඟ කතා කරමින් සිට ‘අද වයිෆ්ට එන්න බැහැලු මල්ලි, එයා වෙන වැඩකලු ඉන්නේ, වෙන දවසක එන්නම්’ කියා ඔහු පිටව ගොස් තිබුණි. දෙවන දිනයේ ද ඔහු යළි පැමිණ ඇති අතර එදා ඔහු ගොස් ඇත්තේ පෙර දිනයේ ඔහු සමඟ කතාබස් කළ සේවක තරුණයා වෙතයි. ඔහුට මොහු පිළිබඳ සැකයක් ඇතිවී නැති අතර ඒ තරමට මොහු සේවකයා සමඟ කුලුපග වී තිබුණි. 


එදින ද ඔහු ඇති තරම් රන් බඩු පරීක්ෂා කර ඇති අතර ‘මල්ලි, මට ලොකු මාලයක් ගන්න ඕනෑ. මෙතන තියන ඒවා මදි වගේ. පුළුවන්නම් පවුම් 10ක විතර මාලයක් ගෙනත් තියන්න, මම ආයෙත් එන දවසට ගන්න එන්නම්’ කියා ඔහු පිටව ගොස් තිබුණි. 


තෙවැනි දිනයේ ද සවස ඔහු පැමිණ රන්බඩු තෝරන අතරේ කොල්ලය සිදුකිරීමට පෙර අන්තිම තත්පර කිහිපය තුළදී ‘මල්ලි මට වතුර තිබහයි, වතුර එකක් බොන්න පුළුවන්ද?’ යැයි ඉල්ලීමක් කර ඇත. 
 ඔහු සමඟ කටයුතු කළ සේවකයා අනිත් සේවකයාට ‘පොඩ්ඩක් මේ පැත්ත බලාගන්න, මම වතුර එකක් අරගෙන එන්නම්’ කියා පිටව ගොස් ඇති අතර එම සේවකයා වතුර රැගෙන එන අතරතුර බෑගය තුළ දමාගෙන සිටි බෝම්බයක් හා පිස්තෝලයක් පෙන්වා සේවකයන් බිය ගන්වා ලාච්චුවල තිබූ රුපියල් ලක්ෂ 42ට ආසන්න රන් මාල කොල්ලකා ඔහු ඒ සඳහා රැගෙන ආ ගමන් මල්ලේ දමාගෙන පැමිණි යතුරුපැදියේම නැගී සාමාන්‍ය පුද්ගලයකු ලෙස පලා ගොස් තිබුණි. 


2018.3.20 දින මොහු මේ ආකාරයෙන්ම දහවල් 1.40ට පමණ ගනුදෙනුකරුවකු වශයෙන් කිරිබත්ගොඩ පොලිස් වසමේ අලුත් පාරට හැරෙන හන්දියේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත පෙර සේම බෑගයක් කරේ එල්ලාගෙන පැමිණ එහි පිරිස අඩු ​ෙවන තෙක් මුදල් බැර කිරීමේ රිසිට්පත් පුරවමින් සිට ඇත. 


එදින විනාඩි 5-10ක පමණ කාලයක් රැඳී සිට ගනුදෙනුකරුවන් අඩුවූ පසුව පිහියක් එල්ල කරමින් බැංකුවේ කවුන්ටරය වෙත කඩා වැදී සේවිකාව බිය ගන්වා එම අවස්ථාවේ කවුන්ටරයේ එක්රැස්ව තිබූ රුපියල් 9,50,000ක මුදල ඔහු රැගෙන ආ මල්ලට පුරවාගෙන බැංකුවෙන් පිටව ගොස් තිබුණි. 


2018.4.25 දින ද ඔහු ගමන් මල්ල කරේ එල්ලාගෙන පෙරවරු 9.30ට පමණ කඳාන පෞද්ගලික බැංකුවක් වෙත ගොස් ඇති අතර එහිදී එහි ආරක්ෂක නිලධාරියා මොහු පිළිබඳ ඇති වූ සැකයක් අනුව ප්‍රශ්න කිරීමේ දී සැකකරු ආරක්ෂක නිලධාරියා සමඟ බහින් බස් වී ඔහුට මිරිස් කුඩු ගසා තම යතුරුපැදියේම නැගී බැංකුවෙන් පැනගොස් තිබුණි. 


එම කොල්ලය වැරදුණ ද සිය උත්සාහය අත්නොහැර සැකකරු සිද්ධියෙන් දින දෙකකට පසු එනම් අප්‍රේල් 27 දින පෙර පරිදි යතුරුපැදියෙන් පස්වරු 2.30ට පමණ වත්තල නගරයේ පෞද්ගලික බැංකුවට ඇතුළු විය. 
එදින ඔහු කලින්ම එහි ආරක්ෂක නිලධාරියා වෙත මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර බැංකුව තුළට කඩා වැදී එදින කවුන්ටරයේ තිබූ රුපියල් 7,50,000ක මුදලක් කොල්ලකා පෙර පරිදිම යතුරුපැදියේ නැගී පලා ගියේය. පසුව තවත් දිනක කඩවත පෞද්ගලික බැංකුවක් වෙත ගිය ද එහිදී ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ කොල්ලය වැරදීමෙන් ඔහු පලාගොස් තිබුණි. 


දිගින් දිගටම සිදුවන මෙම බැංකු කොල්ල දෙස බැලීමේ දී මේවා එකම පුද්ගලයකු විසින් සිදුකළ බවට පොලිසියට සීසීටීවී කැමරා දර්ශන අනුව තොරතුරු හෙළිවිය. යතුරුපැදියකින් පැමිණෙන බෑගයක් කරේ එල්ලා ගත් පුද්ගලයකු විසින් මේවා සිදුකරන ලද බවට පොලිසිය තහවුරු කරගත්තේය. 


 මෙම කොල්ලකරු සිදුකළ සෑම කොල්ලයකදීම සුදු පාට ලේන්සුවකින් මුහුණ ආවාරණ කරගෙන පැමිණීම විශේෂ සිද්ධියක් විය. දිනෙන් දින කැලණිය පොලිස් බලප්‍රදේශයේ එකම පුද්ගලයකු විසින් සිදුකළ මෙම කොල්ලකෑම් ගැන බැංකු තුළ හා මූල්‍ය ආයතන තුළ භීතියක් හටගෙන තිබූ අතර පොලිසියට එය මහත් හිසරදයක් විය. 


පොලිසියට අභියෝග කරන මෙම කොල්ලකරු කොටුකර ගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේ එලෙසිනි. 


මෙම බැංකු කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ, පොලිස් අධිකාරිනී (I) මධාරා ආරියසේන යන මහත්ම මහත්මීහු එම මෙහෙයුමට අවශ්‍ය පිඹුරුපත් සකස් කළහ. 

දිගින් දිගටම සිදු​ෙවන මෙම බැංකු කොල්ල දෙස බැලීමේ දී මේවා එකම පුද්ගලයකු සිදුකළ බවට පොලිසියට සීසීටීවී කැමරා දර්ශන අනුව තොරතුරු හෙළිවිය. යතුරුපැදියකින් පැමිණෙන බෑගයක් කරේ එල්ලා ගත් පුද්ගලයකු විසින් මේවා සිදුකරන ලද බවට පොලිසිය තහවුරු කරගත්තේය.


නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කැලණිය කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරුන් කැඳවා මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන්හ. 
ඔවුන් දිනපතාම පොලිස් නිලධාරීන් දැනුම්වත් කළේ ‘අද සිද්ධියක් වෙන්න පුළුවන්, අවධානයෙන් ඉන්න’ යනුවෙනි. ඒ තරමටම උසස් නිලධාරීහු සෙසු නිලධාරීන් දිරිමත් කළහ. 


ඉන් නොනැවතුණ පොලිසිය එම ප්‍රදේශයේ බැංකු නිලධාරීන්, මූල්‍ය ආයතන දැනුම්වත් කළ අතර ඒ වනවිට එම බැංකු කළමනාකාරීත්වය බැංකු සේවක සේවිකාවන්ට දැනුම් දී ඇත්තේ, ‘මෙවන් අවස්ථාවකදී ජීවිත අවදානම නොතකා කොල්ලකරුවන් අල්ලන්න මහන්සි වෙන්න එපා, තමන්ගේ ජීවිත බේරාගන්න අවශ්‍ය කටයුතු සිදුකර ගන්න’ යනුවෙනුයි. 


 එසේ වුව ද පොලිසිය කිරිබත්ගොඩ, කැලණිය, වත්තල හා අවට ප්‍රදේශවල බැංකු, මූල්‍ය ආයතන නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇති අතර සැකකරුගේ ඡායාරූපයක් පොලිසියේ වියදමින් බැංකු සේවකයන් හා ආරක්ෂක නිලධාරීන්ට ලබාදී ඔවුන් දැනුම්වත් කර තිබුණි. 


සැකකරුගේ ඡායාරූප සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ලබා දී ඇත.  කිරිබත්ගොඩ පොලිසියේ සියලුම පොලිස් නිලධාරීන්ගේ ජංගම දුරකතනවලට සැකකරුගේ ඡායාරූප ඇතුළත් කිරීමට ස්ථානාධිපතිවරයා පියවර ගත් අතර ඒ උසස් නිලධාරීන්ගේ දැනුම්වත් කිරීම අනුවයි. 


එම ක්‍රියාවන්ට අමතර තෝරාගත් බැංකු කිහිපයකට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට ස්ථානාධිපතිවරයා පියවර ගත්තේය. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සියලු කටයුතු සිදුකරමින් පොලිසිය නිරන්තරයෙන් අවදියෙන් සිටියේය. 


 2018.5.10 දින සැකකරු සුපුරුදු සෙල්ලම කිරීමට යතුරුපැදියේ නැගී ගමන් ගත්තේ වත්තල දෙසටය. ඒ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙතය. 


එදින ඔහු බැංකුවට බෑගයක් කරේ එල්ලාගෙන ඇතුළුවීමට උත්සහ ගත් අවස්ථාවේ එහි ආරක්ෂක නිලධාරියා මොහු පිළිබඳව ඇති සැකයක් මත මොහුගෙන් ප්‍රශ්න කර ඇති අතර මොහුට බැංකුව තුළට ඇතුළු වීමට ඉඩ ලබා දී නොමැත. 


ඉන් කෝපයට පත් කොල්ලකරු ආරක්ෂක නිලධාරියා තමන් හඳුනාගත් බවට සැකකර පැමිණි යතුරුපැදියේම නැගී පලාගොස් ඇත. 


 මොහු පලා යාමත් සමඟ ආරක්ෂක නිලධාරියා වහාම ක්‍රියාත්මක වී මොහු පිළිබඳව වත්තල පොලිසියටත්, පොලිස් හදිසි ඇමතුම් අංශයටත් දැනුම් දී තිබුණි.  ඒ අනුව මොහු සම්බන්ධයෙන් කැලණිය පොලිස් කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දෙනු ලැබිණ. එසේ වුව ද මොහු කිරිබත්ගොඩ පොලිසියට කොටු වූයේ ඉතාමත් අහම්බෙනි. 


මෙම අවස්ථාවේ කිරිබත්ගොඩ පොලිසියේ කොස්තාපල් (36122) තිලකරත්න මහතා කිසියම් රාජකාරියක් සඳහා හුණුපිටිය අලුත් පාරට ගොස් සිටියදී වේගයෙන් පලායන යතුරුපැදිය දැක ඇති අතර එය ඉතා වේගයෙන් ගමන් ගැනීම නිසා ඒ මහතාගේ අවධානය ඒ වෙත යොමුවී තිබුණි. 


 පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ යතුරුපැදියෙන් එම යතුරුපැදිය පසුපස ගොස් ඔහුට එය නවත්වන ලෙසට සංඥා කර ඇතත් ඔහු ඒ බව නොතකා තවත් වේගයෙන් පලාගොස් ඇත. 


බැංකු කොල්ලයට පැමිණෙන සැකකරු පැමිණෙන්නේ මේ ආකාරයේ යතුරුපැදියකින් බැවින් එම සැකයත්, මොහු සෑම අවස්ථාවකදීම සීතලට අඳින ජර්සියකින් සැරසී සිටීමත්, බෑගයක් කරේ එල්ලාගෙන සීටීමත් යන කරුණු සැලකිල්ලට ගෙන මොහු ද ඒ ආකාරයෙන් සිටීම හේතුවෙන් මොහු බැංකු කොල්ලකරු බවට කොස්තාපල්වරයාගේ සැකය තවත් වැඩි වී තිබුණි. 


පසුව කොස්තාපල්වරයා ඔහු පසුපස යතුරුපැදියෙන් පන්නා ගොස් නවත්වන ලෙසට යළි අණ කළත් ඔහු යතුරුපැදියේ වේගය තවත් වැඩිකර ඇත. කොස්තාපල් තිලකරත්න මහතා වහාම කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකනතයට ඇමතුමක් ලබා ගනිමින් ‘සර්, බැංකු කොල්ලකරු වගේ මිනිහෙක් යනවා හුණුපිටිය අලුත් පාරේ, මට සැකයි, මම ෆලෝ කරන්නම්, සර් ඉක්මනින් ඊරියවැටිය පාරෙන් එතනට එන්න’ කියා දැනුම් දුන්නේය. 


එම ඇමතුම අනුව ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වී ඇති අතර පොලිස් වාහනයකින් එම ස්ථානයට ගියහොත් වාහන තදබද හසුවීමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් සැකකරුට පැනයාමට ඉඩකඩ වැඩි නිසා පෞද්ගලික යතුරුපැදියකින් කොස්තාපල් (83272) මධුසංඛ සමඟ ඒ දෙසට ගමන් ගත්තේය. 


කොස්තාපල් තිලකරත්න කළ දැනුම්දීම අනුව ස්ථානාධිපතිවරයා වෙනත් මාර්ගයක් ඔස්සේ ඊරියවැටියට පැමිණ සැකකරු එන මග හරස් කරමින් සිටියේය. සැකකරුගේ යතුරුපැදිය නවත්වන ලෙසට අණ කළත් ඔහු එය ද පිළිනොගෙන ඉදිරියට යතුරුපැදිය ධාවනය කළේය. 


ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනාම මහත් පරිශ්‍රමයක් යොදා සැකකරුගේ යතුරුපැදිය නවත්වා ගැනීමට සමත්විණි. එම යතුරුපැදියේ හැඩි දැඩි පුද්ගලයෙක් සීතලට අඳින ජර්සියකින් සැරසී බෑගයක් කරේ එල්ලාගෙන සිට ඇත. ස්ථානාධිපතිවරයා ඔහුගේ බෑගය උදුරාගෙන පරීක්ෂා කිරීමේ දී එහි මිරිස් කුඩු බෝතලයක් හා දම්වැලක් තිබී ඇත. 


පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු ඇඳ සිටි ජර්සිය එම අවස්ථාවේ ගලවා බැලීමේ දී සුදු පාට ලේන්සුවක් තිබී ඇති අතර සැකකරු කොල්ලය සඳහා යාමේදී මුහුණ ආවරණ කරගෙන යන්නේ එම ලේන්සුවෙන් බවට පොලිසියට තවත් සැකයක් ඇති විය. මේ කරුණු අනුව මෙම සැකකරු බැංකු කොල්ලකරු බවට සැකකර ඔහු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනිණි. 


මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශ සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබුණි. කොස්තාපල් තිලකරත්න මහතා මොහු අහඹු ලෙස හඳුනා ගැනීම නිසා මොහු පොලිස් අත්අඩංගුවට පත්විය. 


 කොස්තාපල් තිලකරත්න සිද්ධිය දැනුම් දුන් පසු ස්ථානාධිපතිවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කර වහාම ක්‍රියාත්මක වීම නිසා විනාඩි 5-10ක් අතර කාලයක් තුළ මොහු කොටුකර ගැනීමට හැකිවීම විශේෂත්වයකි. 
සැකකරු පැමිණි යතුරුපැදියේ අංකය පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරු ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ‘සර්, මේක බොරු නම්බරයක්, බොරුවට චෙක් කරන්න එපා, මම බැංකු කොල්ලයට එනකොට ගෙදරින් අංක තහඩුවක් සවිකරගන්නවා, ගෙදර මේ වගේ අංක ගොඩක් තියනවා’ යනුවෙනි. 


සැකකරු අත්අඩංගුවට ගත් බවට උසස් නිලධාරීන් දැනුම්වත් කර පසුව සැකකරු පොලිසියට රැගෙනවිත් ප්‍රශ්න කිරීමේදී පළමු දිනේ ඔහු පොලිසියට කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර දෙවන දිනයේ දී සියල්ල පවසා ඇත. 
ඔහු මෙම කොල්ලය සඳහා භාවිත කළ අත්බෝම්බය හා පිහිය එම ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී පොලිසිය සොයාගෙන ඇත. 


 පොලිසිය සැකකරු පසුපස හඹා එමින් සිටියදී ඔහු මේවා අතුරු මාර්ගයක සඟවා පැනගොස් ඇත. මොහු මුලින්ම පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමා කළ ව්‍යාපාර පාඩුවීම හේතුවෙන් අධිකව ණය වී ඇති බවත් එම ණය පොලී ගෙවීම සඳහා මෙම කොල්ලකෑම් සිදුකළ බවයි. 


පසුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ මොහු තදින්ම කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහිව සිටින්නකු බවයි. මොහු දිනකට ලක්ෂ 10-15 කැසිනෝ ක්‍රීඩා කරන බවත් ලක්ෂ 30-40 අතර ප්‍රමාණයක් පරාද වී ඇති බව ද පොලිසිය කියයි. 


පොලිසිය මොහු පිළිබඳ සෝදිසියෙන් සිටින බවට හෙළිවීමෙන් පසු මොහු සිද්ධිය වූ දිනයේ නිවසින් පිටව ඇත්තේ ‘අද බැංකුවක් කොල්ලකන්න බැරි වුණොත් මාලයක් හෝ කොල්ලකන චේතනාවෙන්’ බව ද පොලිසිය පවසයි. 


විවාහක එක් දරු පියකු වන මොහු ව්‍යාපාර සිදුකරන කාලයේ ඔහුගේ ගිණුම්වල කෝටි ගණන් මුදල් තිබී ඇති අතර කැසිනෝ ක්‍රීඩාව හේතුවෙන් ඒ සියල්ල අහිමි වූ බවට සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. මොහු මෙම ක්‍රියාවන් තුළින් කැලණිය පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත එල්ල කළේ විශාල අභියෝගයකි. 


එම අභියෝග භාරගෙන උසස් නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා අවධානයෙන් සිටීම හේතුවෙන් කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම කොල්ලකරු සාර්ථක ලෙස කොටුකර ගැනීමට හැකි විය. ඒ අනුව මෙතෙක් කාලයක් කැලණිය පොලිස් කොට්ඨාසය තුළ නිලධාරීන්ට මහත් හිසරදයක්ව සිටි මෙම මිරිස් කුඩු කොල්ලකරු අහඹු ලෙසින් හෝ ඒ අයුරින් පොලිස් අත්අඩංගුවට කොටුවීම විශේෂ සිද්ධියකි. 


කොළඹ උතුර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණ යටතේ, පොලිස් අධිකාරී (I) මධාරා ආරියසේන මහත්මියගේ මෙහෙයවීමෙන්, කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානාත්වයෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සඳනුවන්, මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති. 

 

 

 


සටහන : 
ඉන්දිකා රාමනායක