මියගිය පාසල් දැරිය පිරිමි දරුවෙකු වී යළි උපදී


පෙර භවයේ ප්‍රබල සාක්කි

එක්දහස් නවසිය හැට එකේ දෙසැම්බර් 16 වැනි ද‌ා මහනුවර මහ රෝහලේ දී උපත ලද සිඟිති දැරියට සෙනාලි යනුවෙන් නම් තැබිණි. බහ තෝරන වියට පත්වන විට ඇය දඟකාර දැරියකව සිටියාය. වයස අවුරුදු තුනේදී අකුරු කියවූ ඇයට උසස් අධ්‍යාපනයක් ලබාදීම දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව විය. ව්‍යාපාරිකයකු වූ පියා අැගේ අධ්‍යාපනය සඳහා මහත් උනන්දුවක් ගනු ලැබීය. ඒ වන විට ඔවුන් පදිංචිව සිටියේ රඹුක්කන ප්‍රදේශයේය.   

කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට දියණිය ඇතුළත් කළ දෙමාපියෝ ඇගේ සුව පහසුව සඳහා කොළඹින් නිවසක් ද ලබා ගත්හ. කොළඹ නිවසේ දියණිය නතර කිරීමට කටයුතු කළ අතර ඇගේ ආරක්ෂාව සඳහා ඥ‌ාතිවරියක් ද යොදවනු ලැබීය. සෑම සති අන්තයකදීම කොළඹ සිට නිවසට පැමිණීම සඳහා මෝටර් රථයක් ද ලබා දී තිබිණ. ඒ අනුව සෑම සිකුරාදවකම ඥාතිවරයා සමග පුංචි දියණිය නිවසට පැමිණීම සිරිත විය. ඇය කැටුව නිවසට පැමිණ සති අවසානයේ නැවත පාසල් වෙත මෝටර් රථයෙන් ගමන් කිරීමටද පුරුදුව සිටියාය.  


දෙවසරක් තිස්සේ මේ අයුරින් පාසල් ජීවිතය ගත කළ දැරිය එ් වන විට දෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියාය. නිවසේ සිට පාසල වෙත යාමට ප්‍රථම බුදුන් වැඳ මල් පූජා කිරීමට ද දෙමාපියන් විසින් සිය දියණිය පුරුදු කර තිබිණ. එද‌ා 1967 ජුනි 30 වැනිද‌ාය. පාසල් අවසන් වී කොළඹ නිවසට පැමිණි දැරිය ආහාර ගැනීමෙන් පසු ඥාතිවරයා ද සමග දෙමාපියන්ගේ නිවස වෙත යාමට සුද‌ානම් වූවාය. මව වෙත යාමට මහත් ආශාවෙන් සිටි දැරිය සමඟ ඥ‌ාතිවරයා ද ඔවුන්ගේ මෝටර් රථයේ නැගී ගමන් ගනිමින් සිටියේය.  


වේලාව සවස හතර පමණ වී තිබිණි. රියැදුරු විසින් පදවාගෙන ගනු ලැබු රථයේ ඉදිරි අසුනේ සිඟිති දැරිය අසුන්ගෙන සිටි අතර ඥාතිවරිය සහ සේවිකාවක් පසු පස අසුනේ සිටියහ. රථයේ ඉදිරි අසුනේ සිට අවට සිරි නරඹමින් සිටි දැරිය පිටුපස අසුනේ සිටි ඥාතිවරිය වෙත හැරුණාය.  


‘මේකෙත් ගියොත් නම් අපි මැරේවි’ යයි ඇය එක් වරම ප්‍රකාශ කළාය. පුංචි දැරියගේ එම වදන කෙරෙහි විරුද්ධ වූ ඥ‌ාතිවරිය එවැනි වදන් නොකියන ලෙස ඇයට අවවාද කළාය. ඒ වන විට රථය නෙළුම්දෙනිය ප්‍රදේශයට ආසන්න වෙමින් තිබිණි. රථයේ පිටුපස අසුනේ සිටි ඥ‌ාතිවරියට බුලත් කැමේ ආශාවක් ඇති විය. රියැදුරු බුලත් කෑම නිසා ඇයට ද බුලත් කෑමේ කැමැත්තක් නිසා ඇය රියැදුරාගෙන් බුලත් ඉල්ලා සිටියාය.  
රියැදුරු අසුන අසල තිබූ බුලත් රැගෙන පිටුපස අසුන වෙත දිගු කිරීමත් සමගම රථය මහ හඬදෙමින් අසල ගසක වැදුණි. රථයේ ඉදිරිපස අසුනේ සිටි දැරිය දරුණු ලෙස තුවාල ලැබීය. රථය පාරෙන් ඉවතට පැන අසල මාරගසක වැදීම නිසා අනතුර සිදු වී තිබිණි. දැරියව වහා කෑගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය. අනතුරුව ඇය මහනුවර රෝහලට රැගෙන යාමෙන් පසු දැඩි සත්කාර එ්කකයේ දී සිහි නොලබාම සිඟිති දැරිය ජීවිතයෙන් සමුගෙන තිබිණි.  


තම දියණිය නිවසට පැමිණෙන තුරු මග බලමින් සිටි දෙමාපියන්ට ඇගේ නිසල සිරුර නිවසට රැගෙන ඒමට සිදුවිය. සිය දියණිය වෙනුවෙන් නිතර නිතර පින් දහම් කරමින් සිටි දෙමාපියන්ට ඇගේ වියෝවීම විඳ දරා ගැනීම අපහසු විය. සිය දියණියගේ අකල් මරණය නිසා දැඩි සිත් වේදනාවට පත්ව සිටි මව විසින් වරක් ඇගේ ශෝකය සටහනක් මගින් ලියා තිබුණේ මෙසේය.  


‘දරු සුරතල් මැදින් හිමිගෙ දුක සැප බලමින්  
දුක නෑ හැඳින්නේ සතුටමයි මගෙ හිතට දැනුණේ  
ටක් ටික් යන හඬින් කාලය ගෙවුණි නොදැනී  
දිවි සයුර කළඹා දිය රැළි කෙමන් නැඟුණේ’  
සිඟිති දුව උකුළේ ලොකු දුව තක්සලාවේ  
නවසිය හැට හතේ ජුනි තිස් වැනිද‌ා  
දිනය හැන්දෑවේ මහ මඟ බලා සිටියේ  
දැන් දැන් දුව මගේ උකුලට හණික එන්නේ  
ඇය සිප ගන්න මා ඉක්මන් වෙන්නේ  
මුසල පරිසරය ලොකු දූ තවමත් නැතිය
 නුහුරු නුපුරුදු බියක දෑවයි මා යොවුන් හදවත  
දුරකථනය හැඬුණා සැමියා අතට ගැනුණා
 ඔහු කලබල වුණා නොදොඩාම ගෙන් පිටවුණා  
මගේ සතුටු ගඟුලට කණ කොකා හැඬුවා  
මහද ආලෝකේ පහන් සිල නිවුණා  
රුදුරු මරු සමග සටන් වැදිලලු සමග මගෙ දුව  
නපුරු මරු දිනුවා දුව මගේ නිසල වූවා’’  


මේ අයුරින් සිය දියණියගේ වියෝවෙන් මව ශෝකය නිවාගත නොහැකිව දිවි ගෙවන්නට වූවාය.  


කාලය ගෙවී ගියේය. පුංචි දැරියගේ අකල් මරණය සිහිපත් වන මොහොතක් පාසා මව ශෝකය විඳ දරාගත නොහැකිව සිටියාය. මේ අයුරින් සිව් වසරක් ගතවිණි. ගම්පොළ පදිංචිව සිටි ගුරු යුවලකගේ පුත​්‍රයෙකු ලෙස මෙලොව එළිය දුටු පිරිමි දරුවෙකුට නන්ද යනුවෙන් නම් තැබිණි. එම දරුවාගේ උපත සිදුවූයේ 1971 නොවැම්බර් 17 වැනි ද‌ාය.  


දෙමාපියන්ගේ මහත් ආදරය මැද ඇති දැඩි වූ දරුවාට දෙවසරක් ගතවීමත් සමග හොඳින් කතා කිරීමේ හැකියාව ලැබිණ. දිනක් මව වෙත පැමිණි පුංචි දරුවා එක් වරම ‘රඹුක්කන’ යනුවෙන් පැවසීය. මීට ප්‍රථම කිසි දිනෙක වදනක් ප්‍රකාශ කර නොමැති නන්ද එවැන්නක් කීවේ කෙසේදැයි මවට ගැටලුවක් විය. දරුවාට එම නම නිවසේ දී හෝ අසන්නට නොලැබුණ බැව් දෙමාපියන්ට පැහැදිලිය. නැවතත් දිනෙක එම වදන ප්‍රකාශ කිරීම නිසා පුත්‍රයා ඇමතු මව ‘ඔයා ඒ ගම දන්නෙ කොහොමද? යයි විමසීමක් කළාය. එයට ක්ෂණිකව පිළිතුරු දුන් දරුවා.  


‘‘මම ඉස්සර හිටියේ එහෙ’’ යයි පිළිතුරු දුන්නේ මව පුදුමයට පත් කරමිනි. එතැන් සිට පෙරභවය පිළිබඳව තොරතුරු හෙළි කිරීම ආරම්භ කළ දරුවා,  


‘අපි ඉස්සර හිටපු ගෙදර වැඩට ගොඩක් අය සිටියා. ඒ ගෙදර හරි ලොකුයි. අපේ ගේ ළඟ පන්සලක් තිබුණි’’ යනුවෙන් අනාවරණය කළේය. තම පුත්‍රයා කිසියම් පෙර භවයක තොරතුරු හෙළි කරන බැව් පියාට අවබෝධ විය. ​අනෙත් පුත්‍රයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට ඔහු අකමැති විය. පුත්‍රයාගේ ප්‍රකාශ ගැන කිසිදු විමසීමක් නොකරන ලෙස පියා සිය බිරියට ද කියා සිටියේය. එහෙත් පෙරභවය ගැන හොඳ මතකයකින් සිටි දරුවා ඔහුගේ පෙර තොරතුරු නැවත නැවත හෙළි කළේය.  


අපිට එහෙ දී කාර් එකක් තිබුණා. ඉස්කෝලේ ගියේ කාර් එකෙන්’’ යයි පැවසුවේය. දරුවාගෙන් ඒ පිළිබඳව කිසිදු විමසීමක් නොකරන ලෙස පියා දැඩිව කියා සිටියේය. එහෙත් කුඩා දරුවා ඔහුගේ පෙරභවයේ ජීවිතය අවසන් වූ අන්දම ද පැහැදිලිව හෙළි කරන්නට විය.  


‘‘දවසක් අපි කාර් එකේ යනකොට කන්දක් ළඟදී ඩෝං ගාල ගහක හැපුණා’’ යයි තවත් දිනෙක මව සමග කීවේය. ‘‘ගහේ හැපුණම මොකද වුණේ ?’’ යයි මව පුංචි විමසීමක් කළාය. එයට පිළිතුරු දුන් දරුවා,   
‘ඉතින් එච්චරයි’ යයි කීය. තම පුත්‍රයා නියත වශයෙන්ම පෙර භවයක තොරතුරු හෙළි කරන බැව් මව පියා සමග ද හෙළි කර සිටියාය. එහෙත් ඒ පිළිබඳව සොයා බැලීමට යාමෙන් තම පුත්‍රයාගේ මානසික තත්ත්වයට අවහිරයක් වේයයි පියා සිතුවේය. එබැවින් පුත්‍රයාගේ පෙරභව තොරතුරු හෙළිකිරීම රහසක් ලෙස තබාගත යුතු බැව් බිරියට පැවසුවේය. ඒ අනුව දරුවා හෙළි කරන තොරතුරු ඔහු තරුණ වියට පත්වන තුරුම රහසක්ව පැවතිණි.  


කාලය ගෙවී ගොස් නන්ද පෙරභවය හෙළි කළ ​තොරතුරු මව විසින් ඔහුගේ බිරියට හෙළි කළාය. එම තොරතුරු විමර්ශනය කිරීමට ඔවුන් දෙදෙනාම දැඩි උනන්දුවක් දැක් වූහ. ඒ අනුව සෙනාලි දැරියගේ දෙමාපියන් හමුවීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි. සෙනාලිගේ මරණ සිදුවී තිබුණේ නෙළුන්දෙනිය ප්‍රදේශයේ දී. ඔවුන් ගමන් ගත් මෝටර් රථය ගසක හැපීම නිසාය. නන්ද දරුවා අනාවරණය කළ පරිදි මෝටර් රථය ගසක හැපි සිදු වූ අනතුර නිවැරැදිව සනාථ විය. ඔහු පැවසූ පරිදි පියාට රතුපාට කාරයක් තිබූ බැව්ද සනාත වූ ප්‍රබල සාක්කියක් බවට ද පත්විය. පෙර භවයේ නිවස අසල පන්සලක් තිබූ බැව් එම දරුවා මගින් අනාවරණය වීම ද නිවැරදි ප්‍රකාශයක් ලෙස පිළිගැනීමට සිදුවිය.  


මෙම පුනර්භව සාධකය පිළිබඳව විමර්ශනයක් කිරීමට වසර කීපයකට උඩදී අපටද අවස්ථාව ලැබිණි. එහිදී එම දරුවාගේ දෙමාපියන් සහ මියගිය දැරියගේ දෙමාපියන් හමුවීමට ද අපට අවස්ථාව ලැබිණි. තම පුත්‍රයා ඉතා නිවැරදිව පෙරභව තොරතුරු හෙළි කළ බවත් ඒ පිළිබඳව සෙවීමෙන් දරුවාට හිරිහැරයක් වේයයි සිතු නිසා කුඩා කළදී කිසිදු අවධානයක් යොමු නොකළ බවත් නන්දගේ පියා අප සමග පැවසීය. රතු පාට කාරයක් ඔවුන්ට තිබූ බැව් හෙළි කළ දරුවා පෙර භවයේ දී පාසල් ගියේ කාරයකින් බවත් පැවසූ බැව් ද කීය.  


අනතුර සිදු වූ දවසේ රථයේ සිටිය දී මෝටර් රථය කන්දක් අසල දී ගසක හැපීම සිදු වූ බැව්ද ඔහු පවසා ඇත්තේ ඉතා කුඩා අවදියේ සිටය. කිසිවෙකුට එම තොරතුරු හෙළි නොකර සිටීම නිසා දරුවා කුඩා කල දී පෙරභව නිවස සෙවීමෙන් වැළකී සිටි බැව්ද එම දරුවාගේ පියා අප සමග පැහැදිලි කළේය.  


නන්ද විසින් සොයාගනු ලැබු පෙරභව තොරතුරු සනාථවීමෙන් පසු සොනාලි දැරියගේ මව ඒ පිළිබඳව අප සමග හෙළි කළේ මෙසේය.  


‘මගේ සොනාලි දුව නැතිවුණ දවසේ පටන් ඇය වෙනුවෙන් අපි පින් දහම් කළා. නන්ද පුතා අපව හොයාගෙන පැමිණීම හීනයක් වගෙයි. ඒ පුතා පුංචි කාලේ ඉදලා අ​ෙප් ගෙදර සහ අවට පරිසරය ගැන කියල තිබුණු තොරතුරු නිවැරදිව සනාථ වුණා. මගේ මැරුණ දුව නන්ද පුතා ලෙස උපත ලබා ඇතැයි මම පිළිගන්නවා’’ යයි සොනාලිගේ මව අප සමග පැවසුවාය. සොනාලිගේ පෙර ජීවිත තොරතුර හෙළි කළ නන්ද පෙර භවයේ නිවසට ගිය දිනයේ නිවස අසල පිහිටි පූජනීය ස්ථානයටත් මිය ගිය දැරිය භූමද‌ානය කළ ස්ථානයේ සොහොන වෙත ද ගියේය.  


පෙරභවයේ මරණය සිදුවී වසර හතරකුත් මාස පහකට පසු පෙරභවය හෙළි කළ දරුවාගේ උපත සිදු වී ඇති බැව් මෙම පුනර්භව සාධකයේ දී දක්නට ලැබිණි.  


එම දරුවා කුඩා කල දී ප්‍රකාශ කළ පෙර භවය පිළිබඳව සනාත වූ කරුණු කීපයක් මෙසේය.  


පෙරභවයේ දී රතු පාට කාරයක් තිබීම.  
නිවස විශාල බැව් කීම  
නිවසේ සේවක පිරිසක් සිටීම.  
ඇගේ වැඩට වෙනම සේවිකාවක් සිටීම.  
පාසලට කාරයෙන් යෑම.  


ගමන් කළ කාරය කන්දක් අසල දී ගසක හැපීම මෙම කරුණු පදනම් කරගෙන පෙර භවය සොයාගත් මෙම පුනර්භව සාධකයේ දී දක්නට ලැබු විශේෂත්වය වූයේ මිය ගිය දැරියගේ ජීවිත තොරතුරු අනාවරණය කළ දරුවා පිරිමි දරුවකු ලෙස උපත ලබා තිබීමය.   

 

 

 


තිස්ස ජයවර්ධන